රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

ගොන් ප්‍රේතයාගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. තාම්‍රපර්ද්වීපයෙහි රම්‍ය දනව්වක පිහිටි මාමවනද්දි ගමෙහි ගඟ සමීපයෙහි විහාරයක් විය. ඒ වෙහෙරෙහි එක්තරා පිණ්ඩපාතික වූ රහත් තෙර නමක් ගමට පිඬු පිණිස ඇතුල් වී (මල පහරනු කැමතිව කැලයට ගොස්) පඳුරු අතරේ සිටි ගොනෙකු දැක සමීපයට ගොස්:(1) පඳුරු අතරට වී බොහෝ කලක් සිටියා සේ පෙනේ; පාසතර නොසොල්වන්නෙහි, ගොනෙක් මෙන් පෙනේ යයි කීය.
ප්‍රේතයා:(2) ස්වාමීනි, මම දුගතියට පත් යමලොවට අයත් ප්‍රේතයෙක්මි; ගොනෙක් වී බොහෝ කලක් මෙහි සිටියෙමි යි කීය. (3) යම් පවක හේතුවෙන් ගොනෙක් වී තෝ මෙහි බොහෝ කලක් සිටියෙහි නම් ඒ කවර පාපයක් දැයි කියනු මැනවැයි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය:(4) පෙර මම මෙගම්හි ගම් වැස්සෙක් වීමි. මම අනුරාධපුරයෙහි කඩුමිටි ආදිය සෑදුවෙමි.

(5) ඒ කාලයේදී ලෝකනායක වූ කාශ්‍යප බුදුරද උපන්නේ ය. ඒ බුදුන්ගේ ධර්මය මේ ද්වීපයෙහිද බැබළුණි. (6) මෙහි බුද්ධ ශ්‍රාවකයෝද විසූහ. ගම්වැසියෝ ඒ බුද්ධ ශ්‍රාකයන්ට දන් වැලඳීම සඳහා ආසන ශාලාවක් සෑදවූහ. (7) මම ඒ ශාලාව අවට (එයට හැපෙන සේ) ධාන්‍ය ඇතුරුවෙමි.
ඒ බීජයෝ සත් දිනක් තුළදී පැලවූහ. (8) ඒ බීජයන් දැක භික්ෂූහූ එහි ඇතුල් නොවූහ. සත්දින ඉකුත් වූ පසු මම ඒවා ගෙන ගොස් මාගේ කුඹුරුවල වැපුරුවෙමි. (9) එකල්හි මම ගමේ නපුරු මිනිසෙක් වී භික්ෂූන්ට අපහාස කරමින් අසුන්හල අවුරා ඔවුන්ට අපහසුවක් කෙළෙමි. (10) මේ ක්‍රියාව කොට කලුරිය කළ මම ගොන් ප්‍රේතයෙක් වී මේ දුක් ලබමි.
(11) සිල්වතුන්ට අපහසුවක් කළ බැවින් මට රෑ දාවල් දෙක්හිම පහසුවක් නැත. (12) කාශ්‍යප - ගෞතම යන බුදුවරුන් දෙනමගේ කාලය අතරෙහි මේ පොළොව සත් ගව්වක් වැඩුනි. (13) සිටගෙන දුක් විඳින්නා වූ මට ඉක්මගිය කාලය අවුරුදු ගණනින් කිය නොහැක.
(14) මට කෑමක් බීමක් නැත; ඇවිදීමක් හෝ නිදීමක් නැත; පා සෙලවිය නොහැක.(15) දැන් අවීචියට ගොස් අවශේෂ කර්මයාගේ විපාක වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට ගියේ ය. (16) ගුනාධිකයන් කෙරෙහි අපරාධ කිරීම මෙසේ දොස් එළවන්නේ වේ.
ගුණවතුන්ට ගෞරව කිරීම එසේම යහපත එළවන්නේ වේ.(17) දුකින් වැඩුණු මා දුටු ඔබවහන්සේ සත්පුරුෂයන්ට බාධා කිරීමේ විපාකය මිනිසුන්ට කිව මැනවි. (18) මණ්ඩපයක හෝ ගසක් මුල හෝ ශාලාවක හෝ නිදන ගෙයක හෝ සාධුන්ගේ වාසයට පීඩාවක් නොකළ යුතුය. (19) එසේ බාධාකරන්නා ප්‍රේත භවයෙහි ඉපිද මා මෙන් දුක් විඳින්නේ ය. (20) සංඝයාට සැප පහසු ඇතිකොට සුගතියෙහි සැප ලබා ධර්ම පී‍්‍රති ඇති භික්ෂුවගේ දුක් නැසීම සිදුවේ.මෙසේ ඒ ප්‍රේතයා තමා කළ කර්මය තෙරුන්ට කියා සත් දිනකින් පසු චුත වී අවීචියට ගියේ ය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ
‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.
Related Posts Plugin for WordPress, Blogger...