රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

පන්සිය පණස් ජාතක පොත් වහන්සේගෙන් 1

කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 

උඩුහාවර ආනන්ද හිමි

"මිනිසාගේ හැසිරීම හා සිතුම් පැතුම් මෙන්ම ඔහුගේ අත්දැකීම් මැනවින් නිරුපණය කෙරෙන ජාතක කථා සමාජය අධ්‍යනයෙහිලා නියුක්ත වූවෙකුට ප්‍රමාණික මූලාශ්‍රයක් වේ. සදාචාර ධර්ම පද්ධතියක් මෙන්ම උසස් සාහිත්‍ය නිර්මාණයක් වන ජාතක කථාව සාකල්‍යයෙන්ම පිරිපුන් දැනුම් ගබඩාවක් වේ. එය ගවේෂණය කරන්නෙකුට අමිල ධන සම්පත් සමූහයක් එයින් සොයා සපයාගත හැකි වේ."
 අමිල ධන සම්පත් නිමල ගුණ උල්පත්
පාලි සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකාය ග්‍රන්ථ පහළොවකින් සමන්විත වන අතර ජාතක පාලිය එහි දස වැන්නයි. පද්‍යයෙන් රචිත ජාතක පාලිය විවරණය කරමින් ලියවුණු අට්ඨකථාව ජාතකට්ඨකථා නම් වේ. ජාතක පාලියේ අන්තර්ගත සංක්‍ෂිප්ත ගාථා තවදුරටත් විවරණය කිරීම එහි අරමුණු වී තිබේ. එම පාලි ජාතකට්ඨකථාව සිංහලයට පෙරළමින් පන්සිය පනස් ජාතක පොත ලියවී තිබේ. ජාතක කථාවෙහි ආකෘතිය අනුව එය වර්තමාන කථාව (පච්චුප්පන්න වත්ථු), අතීත කථාව (අතීත වත්ථු), ගාථාව (ගාථා), අට්ඨකථාව හෙවත් ගාථාවට අර්ථ දැක්වීම හා පූර්වාපර සන්ධි ගැලපීම යනුවෙන් ප්‍රධාන කොටස් පහකින් යුක්ත වේ. බුදුරදුන්ගේ අතීත භවයන් පදනම් කරගනිමින් සම්පාදිත ජාතක කථා බෝසත් චරිතය නිරූපණය කරයි. විවිධ භාෂාවන්ට පරිවර්තනය කර ඇති ජාතක පොත විශ්ව සාහිත්‍යයට අයත් වේ.
ජාතක පොත්වහන්සේ යනුවෙන් ගරු සම්භාවනාවට පත් එය සිංහල බෞද්ධ සාහිත්‍යයේ අද්වතීය කෘතිය වේ. ලංකා ඉතිහාසය අනුව කුරුණෑගල අවදියේ රචිත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය පෝෂණය වීමෙහිලා අවශ්‍ය න්‍යායාත්මක පදනම සපයා තිබේ. සිංහල බෞද්ධ සංස්කෘතිය මැනවින් පරීක්ෂා කළ විට පෙනී යන්නේ ජාතක පොතෙහි යෝධ සෙවනැල්ල සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය හා ඇදහිලි විශ්වාස මත වැටී තිබෙන බවයි.
පර්යේෂණාගාරයක්
පන්සිය පණස් ජාතක පොත තරම් අධ්‍යයනයට භාජනය වූ වෙනත් කෘතියක් නොමැති අතර එය විද්වත් පාඨකයා අතර මෙන්ම සාමාන්‍ය ජනයා අතරද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එහි ඇතුළත් කථාපුවත් චිත්‍ර ශිල්පියා මනහර සිතුවමට නැගූ අතර කවියා එය රසවත් පද්‍යයෙන් සරසා ළයාන්විතව ගයමින් ආශ්වාදයක් ලැබුවේය. මූර්ති ශිල්පියා එහි කථා පුවත් උපයෝගී කරගනිමින් විසිතුරු මූර්තියක් නිමවූ අතර නූර්ති ශිල්පියා එයින් ගීතවත් නූර්තියක් නිර්මාණය කොට රස වින්දේය. නාට්‍ය වේදියාට අර්ථවත් නාට්‍යයක් නිර්මාණය කිරීමට ජාතක කථාව මනා වස්තු බීජයක් විය. මනෝ වෛද්‍යවරයාට මිනිස් සිතේ ස්වභාවය වටහාගැනීමටත් මානව විද්‍යඥයාට මානව චින්තනයේ ආදි ස්වරූපය අවබෝධ කරගැනීමටත් එය පර්යේෂණාගාරයක් විය. ප්‍රබන්ධ කරුවාට එම කථා පුවත් යථාර්ථවාදී සාහිත්‍ය ප්‍රබන්ධයක් ප්‍රති නිර්මාණය කිරීමට අවශ්‍ය සාහිත්‍යමය මෙවලම් සැපයීය. සමාජ සදාචාරය ගොඩ නැගීමෙහිලා පුරෝගාමි වූ පරමාදර්ශී අනුශාසකයා වූ ධර්මකථිකයන් වහන්සේට බුදු බණ සරලව වටහා දීමට ජාතක කථාව මහෝපකාරී විය. ජිවිතයේ සැඳෑ සමය ගතකරන වියපත් තැනැත්තා ජාතක කථාව කියවීමෙන් හුදකලාව පළවා හැර තමා සමඟ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවාදයක යෙදුණේය. ගැමියා තම ප්‍රියතමයන් මියගිය පසුව වෙස්සන්තර ජාතකය ඇසුරෙන් ප්‍රබන්ධිත කවි ගායනයෙන් දුක ශෝකය තුනීකරගත්තේය. පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියෝ දම්සභා මණ්ඩපයට රැස් වී මිහිරි හඩින් කියන ජාතක කථා ඇසීමෙන් ලද අවබෝධයෙන් තම ආධ්‍යාත්මික ජිවිතය අර්ථවත් කරගත්තහ. සංසාරික ජීවිතයේ යථා ස්වභාවය මෙන්ම කර්මය හා එහි අනුරූපි විපාක කථාපුවත් ඇසුරෙන් ගැඹුරින් විශ්ලේෂණය කෙරෙන හෙයින් ජාතක පොත බෞද්ධ සදාචාරය පිළිබඳ ඉගැන්වෙන මූලාශ්‍රයක් ලෙස නම් කළ හැකිය.
පොත් වහන්සේ
පොදු ජනයා විසින් ‘පොත් වහන්සේ’ යන ගෞරවණීය අභිධානයෙන් හඳුන්වනු ලබන ග්‍රන්ථ දෙකක් දක්නට ලැබෙන අතර එයින් එක් ග්‍රන්ථයකි ජාතක පොත් ‘වහන්සේ.’ වහන්සේ යන අභිධානයෙන් සම්භාවිත අනෙක් ග්‍රන්ථය වන්නේ පිරුවානා පොත් වහන්සේය. ශ්‍රී ලාංකික බෞද්ධ ජන චින්තනය පෝෂණය කළ සාරධර්ම පද්ධතියේ මූලයන් දක්නට ලැබෙන්නේ ජාතක කථා වස්තූන් තුළය. ඒ සියල්ල බෝධි සත්ත්ව චරිතය ආදර්ශ කරගත් බණ කථා වේ. එම කථාවල මුඛ්‍යතම අරමුණ සමාජයට සාරධර්ම පිළිබද ආදර්ශයක් සැපයීම ය. ඒ සඳහා පදනම් කර ගෙන තිබෙන්නේ දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන පාරමිතාවන්ය. බුද්ධකාරක ධර්ම යනුවෙන් හැඳීන්වෙන මෙම පාරමිතා විමුක්තිය අපේක්ෂා කරන්නෙකු විසින් දිගුකලක් තිස්සේ පුහුණු කළ යුතු ප්‍රතිපත්ති ධර්මයෝය.
කර්මඵල විශ්වාසය
බෞද්ධ සමාජය තුළ කර්මය, සංසාරය පුනර්භවය හා සම්බන්ධ පරලොව පිළිබද විශ්වාසය ඇති කිරීමත් කම්මස්සකථා සම්මා දිට්ඨි යනුවෙන් හැඳීන්වෙන කර්ම ඵල පිළිබද විශ්වාසය තහවුරු කිරීමත් ජාතක කථාවෙහි තවත් එක් අරමුණක් වේ. එමගින් පවට බිය දක්වන හොඳ නරක පිළිබඳ විශ්වාසයක් ඇති යහපත් අයෙකු නිර්මාණය කිරීම අපේක්‍ෂිතය. බෞද්ධ උපදේශ සාහිත්‍යයට අයත් ජාතක කථා සාධු සමාජයක් නිර්මාණය කිරීමෙහිලා බෙහෙවින් උපයෝගීකරගත හැකි උපදෙස් සමූහයකින් පෝෂණය වී තිබේ. පන්සිය පනස් ජාතක කථා අතරින් ඇතැම් ජාතක කථා බෞද්ධයා අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අයුරු උම්මග්ග ජාතකය, වෙස්සන්තර ජාතකය හා කුස ජාතකය ආදී විශේෂ ජාතක කථා මගින් පැහැදිලි වේ. මෙයින් උම්මග්ග ජාතකය වෙනම කෘතියක් ලෙසද භාවිතයට ගැනීමෙන් එහි ජනප්‍රියතාව විෂද වේ. ජාතක කථා පොදු ජන විඥානය පුළුල් කළ නිර්මාණාත්මක ගුණයෙන් අනූන වන අතර වස්තු විෂයය චරිත නිරූපණය හා මානසික විග්‍රහය ආදි බොහෝ ලක්ෂණ අතින් උසස් සාහිත්‍ය ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණ වේ. ජීවිතය පිළිබඳ යථා ස්වභාවය පැහැදිලි කිරීම උසස් සාහිත්‍ය කෘතියක දක්නට ලැබෙන විශේෂ ගුණයක් වේ. මානව චින්තනයේ විවිධ පැතිකඩ මෙන්ම පුද්ගලයාගේ අභිරුචීන් ගතිගුණ හා විවිධ චර්යාවන් මැනවින් නිරූපණය කෙරෙන හෙයින් ජාතක කථාව උසස් සාහිත්‍ය නිර්මාණයක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි වේ. මෙයින් තවදුරටත් ගම්‍ය වන්නේ ජාතක කථා කරුවා සතුව පැවති ජීවිත පරිඥානයයි.
ගැටලුවට මග පෙන්වීම ධනාත්මක චින්තනය පිළිබඳ විවිධ දේශන වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වෙන නූතන යුගයේ බොහෝදුරට ඉදිරිපත් කෙරෙන්නේ බටහිර සංකල්පය. එහෙත් පෙරදිගට ආවේණික වූ දියුණු ධනාත්මක ආකල්ප සමූහයක් පැවති බව ජාතක කථා ආශ්‍රයෙන් පැහැදිලි වේ. මානසික හා සාමාජික ගැටළු විසදීමෙහිලා මඟපෙන්වන බටහිර සංකල්පවලින් ශික්ෂණය වූ වෘත්තීය උපදේශකයන් බිහි විමට පෙර සිංහල බෞද්ධයාගේ ජීවන ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලැබුණේ ජාතක කථා තුළින්ය. ජාතක පොත සාමුහිකව හෝ පෞද්ගලිකව කියවීමෙන් ලත් දැනුම සිංහලයාගේ දෛනික ජිවිතය හා සම්බන්ධ වූ අනේක විධ අර්බුද විසඳා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයී ය. තමා අවට පරිසරයේ ජිවත් වූ විවිධ සතුන්ගේ චර්යාවන් මිනිස් චර්යාවන් සමඟ සමපාත කෙරෙමින් කෙරෙන විග්‍රහය ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත වේ. මිනිසාගේ හැසිරීම හා සිතුම් පැතුම් මෙන්ම ඔහුගේ අත්දැකීම් මැනවින් නිරුපණය කෙරෙන ජාතක කථා සමාජය අධ්‍යනයෙහිලා නියුක්ත වූවෙකුට ප්‍රමාණික මූලාශ්‍රයක් වේ. සදාචාර ධර්ම පද්ධතියක් මෙන්ම උසස් සාහිත්‍ය නිර්මාණයක් වන ජාතක කථාව සාකල්‍යයෙන්ම පිරිපුන් දැනුම් ගබඩාවක් වේ. එය ගවේෂණය කරන්නෙකුට අමිල ධන සම්පත් සමූහයක් එයින් සොයා සපයාගත හැකි වේ. සාරධර්ම පිරි එම ධන සම්පත ලෞකික ජිවිතය මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයත් අර්ථවත් කරනු නොඅනුමානය. එබැවින් ඉදිරි ලිපි මඟින් ජාතක පොතෙන් තෝරාගත් ජාතක කථා රස විඳිමින් ජීවිතය ආලෝකමත් කර ගැනීමට ඔබට ආරාධනා කරමු.

අර්බුද විසඳීමේ හොඳම මග


පන්සිය පනස් ජාතක පොතෙහි එන විසි දෙවන ජාතක කථාව කුක්කුර ජාතකයයි. කුක්කුර යනු සුනඛයාය. සුනඛයන් මූලික කරගෙන ඉදිරිපත් කරන ලද හෙයින් කුක්කුර ජාතකය යනුවෙන් නම් කර තිබේ.
යටගිය දවස බ්‍රහ්ම දත්ත රජ්ජුරුවන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ පුරාකෘත අකුශල කර්මයක් හේතුවෙන් සුනඛ යෝනියෙහි ඉපිද ස්වකීය ඤාතීන් සමඟ සොහොන් බිමක වාසය කළේය. දිනක් බඹදත් රජු උද්‍යාන ක්‍රීඩාවට ගොස් ආපසු රජ මැදුරට පැමිණ ස්වකීය රථය රාජාංගණයේ නවතා තැබීය. රාත්‍රී කාලයේ වාර්ෂාවට හසු වීමෙන් එහි සමින් යෙදු වරපට තෙතබරිත වූ අතර රජ මැදුරෙහි සුරතලයට ඇතිකරනු ලබන සුනඛයන් විසින් කා දමන ලදි. මේ පිළිබඳ රජුට පැමිණිලි කළ සේවකයෝ, දිය බැස යන සොරොව්වෙන් රජ මැදුරට ඇතුල් වූ පිටස්තර සුනඛයන් විසින් රාජාංගණයේ නවතා තිබූ රථයෙහි වරපට කා දමා ඇතැයි පැවසූහ. මෙයින් කෝපයට පත් රජ නගරයෙහි වාසය කරන සියලු සුනඛයන් සමූල ඝාතනය කරන මෙන් නියෝග කළේය. දුටු දුටු තැන සිටින සුනඛයන් ඝාතනයට ලක්වන හෙයින් සුනඛයන්ට මහත් විපතක් විය.
මෙයින් බේරීම සඳහා ඇතැම් සුනඛයන් සොහොන් බිම කරා ගොස් බෝසත් සුනඛයා සමඟ එක් විය. විශාල සුනඛයන් සමූහයක් සොහොන් බිම වෙතට පැමිණි හෙයින් එයට හේතුව කවරේදැයි ඇසූ බෝසත් සුනඛයාට රජු විසින් පනවන ලද නියෝගය හා එයට හේතු දැන ගන්නට හැකිවිය. රජුගේ නියෝගය හේතුවෙන් තම ඤාති වර්ගයාට නිකරුණේ ජිවිතක්ෂයට පත්වීමට සිදුව ඇති බව කල්පනා කළ බෝසත් සුනඛයා රථයෙහි වරපට විනාශ කරන ලද්දේ රජුගේම සුනඛයන් විසින් බව කරුණු විමර්ශනය කිරීමෙන් වටහා ගත්තේය. අනතුරුව උපක්‍රමශීලිව රජුගේ රාජසභාවට ඇතුල් වූ බෝසත් සුනඛයා රජු ඉදිරියේ කරුණු දක්වන්නට විය. තම රථයෙහි වරපට කා දැමූ හෙයින් සුනඛයන් සමූල ඝාතනය කරන්න යැයි අණකළ බව රජු කියා සිටියේය. වරපට කෑ සුනඛයන් කවුරුන්දැයි නිවැරදිව හඳුනා ගැනීමෙන් තොරව සියලු සුනඛයන් ම ඝාතනය කිරීමට අණකිරීම නොමනායැයි දන්වා සිටි බෝසත් සුනඛයා රාජ අණට යටත් නොවන සුනඛයන් පිරිසක් වේදැයි රජුගෙන් විමසා සිටියේය. එයට පිළිතුරු දුන් රජු ප්‍රකාශ කළේ රාජකීය සුනඛයන් එම නියෝගයට අයත් නොවන බවයි. මෙහිදී බෝසත් සුනඛයා ප්‍රකාශ කළේ රජු තම රාජකීය සුනඛයන් එම අණට අඩංගු නොකිරීමෙන් අගතිගාමීව කටයුතු කර ඇති බවත් එය රාජ්‍ය පාලකයෙකුට නොගැළපෙන්නක් බවත්ය.
එසේම වරදක් නොකළ අහිංසකයන් ඝාතනය කොට වරදකළ රාජකීය සුනඛයන් ආරක්ෂා කිරීම රාජ ධර්මයට පටහැනි බවත් ප්‍රකාශ කළේය. බෝසත් සුනඛයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව රජු ඒ පිළිබඳ තම සේවකයන්ගෙන් කරුණු විමසා බැලූ අතර ඔවුන් ප්‍රකාශ කළේ සැබැවින්ම රජ මැදුරේ සිටින සුනඛයන් විසින් රථයෙහි වරපට කා දමා ඇති බවත් තමන් රජුට වැරදි තොරතුරු සැපයූ බවත්ය. අවසානයේදී බෝසත් සුනඛයාගේ යෝජනාව අනුව රාජකීය සුනඛයන්ට මෝරු සමඟ ඊ තණ පෙවීමෙන් වමනය කරවීමට සළස්වා වරපට කෑ බව සත්‍ය වශයෙන් තහවුරු කර ගන්නා ලදි. මෙම ජාතක කථාවෙන් පෙන්වා දෙන ආදර්ශ රාශියකි. නිසි ලෙස කරුණු විමසීමකින් තොරව වරද කළ අය මගහැර නිකරුණේ නිවැරදි අයෙකුට දඩුවම් දීම යහපත් පාලකයෙකුගේ ලක්ෂණයක් නොවේ. එසේම වරද කළ පුද්ගලයාගේ තරාතිරම නොව වරද පිළිබඳ සළකා දඩුවම් කළ යුතුය යන්න මෙයින් ඉදිරිපත් කරන එක් ආදර්ශයකි. එබැවින් රජවාසල අයත් සුනඛයන් වුව වරදක් කළේ නම් එයට දඬුවම් දියයුතුයැයි බෝසත් සුනඛයා රජුට දන්වා සිටියේය.
යමක් සමබන්ධයෙන් සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයන් නිසා ඇතිවෙන විනාශය සුළුපටු එකක් නොවේ. බොහෝ විට තමන්ගේ ආරක්ෂාව සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කටයුතු කරන පුද්ගලයන් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන තුළද දක්නට ලැබේ. ඔවුන්ගේ මෙම වැරදි පිළිවෙත හේතුවෙන් බොහෝ කීර්තිමත් ආයතන පසු කාලයක ආර්ථික හා සාමාජික වශයෙන් ද පරිහානියට පත්ව ඇති අයුරු දක්නට පුළුවන. පාලකයෙකුගේ හෝ ආයතන ප්‍රධානියෙකුගේ පරිහානිය කෙරෙහි ඔහු වටා සිටින අය විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාජ තොරතුරු බෙහෙවින් හේතුවිය හැකිය යන්න මෙම ජාතක කථාවෙන් පෙන්වා දෙයි. මෙම කථාවෙහි එන බෝසත් සුනඛයා තම ඥාතීන් බේරා ගැනීම සඳහා අනුගමනය කළේ ප්‍රචණ්ඩ පිළිවෙතක් නොවේ. එසේම මරණයට බියෙන් පලා යාමද නොවේ. ඒ වෙනුවට තෝරාගත්තේ සාකච්ඡාමය විසඳුමකි. කවර අර්බුදයක් වුවද නිසි ලෙස කෙරෙන සාකච්ඡාවකින් විසඳාගත හැකි බව මෙමගින් සැපයෙන ආදර්ශයයි. කවර හෝ සමාජ වගකීමක් දරන නායකයා හෝ ප්‍රධානියා කලබලයට පත් වුවහොත් අර්බුද හා අභියෝග ජයගත නොහැකිය. මෙම ජාතක කථාවෙහි එන රජු අදූර දර්ශී කලබලකාරී නායකයෙකුගේ ගති ලක්ෂණ ප්‍රකට කරයි. තමා වෙත ලැබුණ තොරතුරු නිසි පරීක්ෂාවකින් තොරව පිළිගෙන ක්‍රියාත්මක කළ තීන්දුව අගතිගාමි වේ. එහෙත් බෝසත් සුනඛයා තම ඥාතීන් ඉදිරිපත්කළ තොරතුරු වලින් කලබල නොවී විවේක බුද්ධියෙන් යුක්තව කල්පනා කළේය.
එනිසා ඌට පෙනීගියේ පිටස්තර සුනඛයන්ට මාලිගාවට ඇතුළ් වී රථයෙහි වරපට කෑමට නොහැකි බවත් එය රාජකීය සුනඛයන්ගේ ම ක්‍රියාවක් බවත් ය. විවේක බුද්ධියෙන් එළඹුන නිගමනය නිවැරදි බව රජු ඉදිරියේ ඔප්පු කිරීමට හැකියාව ලැබුණ අතර එයින් තම ඥාති වර්ගයාට ඇති වී තිබෙන ව්‍යසනය වළක්වා ගත හැකිවිය. නායකයා අගතිගාමි නොවී මධ්‍යස්ථ ප්‍රතිපදාවක පිහිටා කටයුතු කළ යුතුවේ. මෙය හුදෙක් රාජ්‍ය පාලකයාට පමණක් නොව සාමාන්‍ය වගකීම් දරන කවර පුද්ගලයෙකුට වුවද සාධාරණ වේ. ආයතනයක, නිවසක හෝ වෙනත් සංවිධානයක වගකීම් දරන්නන් විසින් මධ්‍යස්ත ප්‍රතිපත්තියක පිහිටා තීන්දු තීරණ ගත යුතුවේ. එසේම පාලකයා විසින් තම ප්‍රජාවගේ ආරක්ෂාව සුරක්‍ෂිත කළ යුතුය ඔවුන් අනාගත උවදුරුවලින් වළක්වාගත යුතුය. යන්න බෝසත් සුනඛයාගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වේ. වරද කළ අයට නීතිය ක්‍රියාත්මක නොකර නිකරුණේ නිවැරදි අයට දඬුවම් කිරීම රාජ්‍යය පාලකයා විසින් පමණක් නොව සෙසු අයද නොකළ යුතු දෙයක් ලෙස මෙම කථාවෙන් පෙන්වාදෙයි. වරද කළ අය සම්බන්ධයෙන් වුව ද දඩුවම් නියම කිරීමේදී සාධාරණ විය යුතුවේ. එසේ නොවුණ හොත් මානව හිමිකම් උල්ලංඝණය කළේය යන වෝදනාවට ලක්විය හැකිය. වරදකරුවා ආරක්ෂාකොට නිවැරදි අය දණ්ඩනයට ලක්කිරීම සදාචාරාත්මක නොවන බව සමස්ත පිළිගැනීමයි. ජාතක කථා කරුවා එම සදාචාර ප්‍රතිපත්තිය ඉතා මැනවින් මෙහි නිරූපණය කර තිබේ.
කුක්කුර ජාතකයෙන් ලබාදෙන ආදර්ශය අතිශය ප්‍රබල එකක් බව කථාවෙහි අන්තර්ගතය සියුම්ව පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. රාජ්‍යයක ප්‍රතිපත්ති සැකසීමේදී මෙන්ම අධිකරණමය ක්‍රියාකාරකම් වලදි ජාතක කථාවෙන් සැපයෙන උපදෙස් ඉවහල් කරගත හැකි වේ. සාධාරණත්වය හා යුක්තිගරුක බව පුද්ගල මෙන්ම ආයතනගත පරිපාලනයක තිබිය යුතු උදාර ලක්ෂණයක් ය යන්න මෙම ජාතකකථාවෙන් ලබාදෙන සමස්ත ආදර්ශය වේ.

මසුරුකමේ අනුරූපී විපාක ඉසුරුබවේ අඩුවක්මය සැම දාක

ආහාරය වැළැක්වීමේ කර්මයෙන් ලද දරුණු විපාක විස්තර කරන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ හතළිස් එක්වන වන ජාතක කථාව ලෝසක ජාතකයයි. එය ලෝසක තිස්ස නම් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරබයා දේශනා කරන ලද්දකි.
කොසොල් රට පවුල් දහසක් වෙසෙන ගමක එක්තරා ධීවර පවුලක ධීවර කාන්තාවකට දරුවෙකු පිළිසිඳ ගත්තේය. එම දරුවා පිළිසිඳ ගත් දිනයෙහි ම ධීවරයන්ට මසුන් නොලැබුණ අතර ගම ද සත්වරක් ගින්නෙන් දැවී ගිය අතර සත්වරක් ම රජුගේ උදහසට ලක් වී දඩ ගෙවන්නට ද සිදු විය. මෙසේ ක්‍රමයෙන් එම ධීවර ගම්මානය පිරිහීමට පත් වූ අතර එයට හේතු සෙවූ ඔවුන්ට පෙනීගියේ මෙම ධීවර කාන්තාවගේ කුස පිළිසිඳගත් දරුවාගේ අවාසනාව නිසා එසේ අභාග්‍යමත් කාලයක් උදා වී තිබෙන බවයි. ගම්වැසියන් සියලු දෙන එක් වී එම ධීවර පවුල ගමෙන් බැහැර කරනු ලැබීය. අතිශය දුකට පත් ධීවර කාත්තාව කෙසේ හෝ තම දරුගැබ ආරක්ෂා කොට ගෙන නිසි කල පැමිණි පසුව දරුවා බිහි කළාය.
අතිශය බාධක මැද්දේ දරුවා පෝෂණය කළ අතර ඔහුට තනිව ඇවිදීමට හැකියාව ලැබුණු පසු සිඟමනට යොමුකොට, මව්පියන් වෙනත් පළාතකට පලා ගියහ. එතැන් පටන් මෙම ළදරුවා තැනින් තැන සිඟමන් යදිමින් අපිරිසුදුව පිසාචයෙකු මෙන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේය. එක් දිනෙක පිඬු සිඟා වැඩි අර්හත් සැරියුත් මහරහතන් වහන්සේ ඔහුගේ උපනිශ්‍ර සම්පත්තිය අනුව රහත් වීමට භාග්‍ය ඇති බව දැක ඔහු රැගෙන ගොස් බුදුසසුනේ පැවිදි කළහ. පැවිද්දට පත්ව විසිවයස් සම්පූර්ණ වූ පසුව උපසම්පදා කළ අතර නොබෝ කලකින්ම බවුන් වඩා අර්හත් ඵලයෙහි පිහිටි අතර ලෝසක තිස්ස යනුවෙන් ප්‍රසිද්ධියට පත්විය. පෙර ආත්මභවයෙහි කළ අකුශල කර්මයේ බලවත් විපාක වශයෙන් ප්‍රත්‍ය ලාභය නොලැබීමෙන් අතිශය දුකට පත් ලෝසක රහත් තෙරණුවෝ අප්‍රමාණ ලෙස කුස ගින්නෙන් පීඩාවට පත් වූහ.

පිරිනිවන් පාන දිනයෙහි සැරියුත් මහරහතන් වහන්සේ සියතින්ම පාත්‍රය අල්ලාගෙන සිටි හෙයින් කුස පුරා චතුමධුර වැළදීමට හැකියාව ලැබුණි. පිරිනිවන් පාන ලද ලෝසක හිමියන් පිළිබඳ දම්සභා මණ්ඩපයෙහි ඇති වූ සංවාදය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝසක තෙරුන්ගේ අතීත ජීවිත කථාව ඉදිරිපත්කළ සේක. ලෝසක තිස්ස හිමියන් කාශ්‍යප බුදුරදුන් සමයෙහි බුදුසසුන් හි පැවිදිව ප්‍රත්‍යන්ත ප්‍රදේශයක පිහිටි ආරාමයක වාසය කළ අතර එක් දිනෙක එහි පැමිණි රහත් භික්ෂුවක් කෙරෙහි ආවාස මච්ඡරිය හේතුවෙන් ද්වේෂයෙන් කටයුතු කළේය. ගමෙහි ප්‍රධාන දායක තැන විසින් එම රහතන් වහන්සේට ලබාදුන් චතුමධුර පාත්‍රය අසල හේනක ගිනි මැලයකට දමා එම රහත් භික්ෂුවගේ ප්‍රත්‍ය ලාභයද වැළක්වීය. රහත් භික්ෂුව පිළිබඳ දායකයාට නොයෙක් අගුණ ප්‍රකාශ කරමින් දායකයා උන්වහන්සේ කෙරෙහි බිඳවීය.
රහත් භික්ෂුව ආරාමය අතහැර ගිය පසුව තමා කළ පාප කර්මය පිළිබඳ දොම්නස උපදවා ගත් නේවාසික භික්ෂුව මරණය තෙක් මනුෂ්‍ය ප්‍රේතයෙකු ලෙසින් දිට්ඨධම්මවේදනීය වශයෙන් දුකට පත්ව මරණින් පසුව නරකයෙහි උපන්නේය. පිළිවෙළින් ආත්ම පන්සියයක් යක්ෂව ඉපිද ගර්භමල පමණක් ලද්දේය. ආත්ම පන්සියයක් සුනඛ යෝනියෙහි ඉපිද කුසපුරා ආහාරයක් නොලද්දේය. එයින් චුතව මිත්තවින්දක නමින් දුප්පත් කුලයක ඉපිද මහත් දුක් සමූහයක් වින්දේය. ජාතක කථාවෙහි මිත්තවින්දකයාගේ කථා පුවත දීර්ඝව විස්තර කෙරෙන හෙයින් ඒ සියල්ල මෙහි ඇතුළත් කිරිමට නොහැකිය. ලෝසක තිස්ස හිමියන් විසින් අර්හත් භික්ෂුවකගේ ප්‍රත්‍ය ලාභය වැළැක්වීම හේතුවෙන් නිවන් දක්නා ආත්ම භාවය දක්වා තමා කළ පාපකර්මයට අනුරූපීව කුස පුරා ආහාරයක් නොලද්දේය. ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේ සමඟ පිඩු සිඟා වැඩි අනෙක් ස්වාමින් වහන්සේලාටද පිණ්ඩපාතය නොලැබුණි. උන්වහන්සේට කුස පුරා ආහාරයක් ලැබුණේ සැරියුත් හිමියන්ගේ මැදිහත් වීමෙන් පිරිනිවන් පාන්නට සුළු මොහොතකට පෙරය.
රහත් වීමට අවශ්‍ය පින තිබුණත් අතීත අකුශල කර්මය බලවත් හෙයින් මුළු ජීවිත කාලයේම කුසගින්නේ ගතකරන්නට සිදු විය. භික්ෂුවක් අරබයා ඉදිරිපත් කරන ලද මෙම ජාතක කථාව සිංහල බෞද්ධ ජනයා අතර වඩාත් ප්‍රචලිත කථා පුවතකි. කර්මයේ අනුරූප විපාකවල පවතින අතිශය බිහිසුණු ස්වරූපය මෙන්ම ලෝභය හේතුවෙන් මිනිස් සිත අතිශය කෲර තත්ත්වයට පත්වන අයුරු ඉතා ගැඹුරින් විශ්ලෙෂණය කෙරේ. ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ ආරාමික භික්ෂුව තුළ ඇති වූ මසුරු සිත හා බැඳුණු ආකල්පය කොතරම් දරුණු අයුරින් ක්‍රියාවට නැගුණේ ද යන්න ආහාර ගින්නට දැමීමෙන් මෙන්ම දායකයාට ආගන්තුක භික්ෂුවගේ නුගුණ කීමෙන් පැහැදිලි වේ. ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරිය යනුවෙන් මසුරු බව ප්‍රභේද පහකින් යුක්ත වේ. පෙර ආත්මයේ ආරාමික භික්ෂුව (වර්තමාන භවයේ ලෝසක හිමියන්) තුළ ඇති වූයේ මුල් මසුරු ස්වභාවයන් තුනයි. රහත් භික්ෂුව ආරාමයේ වාසය කළ හොත් තමාට යම් කලෙක එය අහිමි වන්නට ඉඩ තිබේ යැයි යනුවෙන් උන්වහන්සේ කෙරෙහි ආවාස මච්ඡරිය ඇතිකරගත්හ. ප්‍රධාන දායකයා රහත් භික්ෂුව කෙරෙහි පැහැදුන හොත් තමාට දායකයාගේ සැළකිලි සත්කාර අහිමි වේයැයි සළකා කුල මච්ඡරිය ඇතිකරගත්හ. රහත් භික්ෂුව ඉදිරියටත් නේවාසිකව වාසය කළහොත් තම ප්‍රත්‍ය ලාභයට හානි වේයැයි සිතා ලාභ මච්ඡරිය ඇතිකරගත්තේය. මේ වනාහි ගිහි වුවද පැවිදි වුවද මසුරු මානසික ස්වභාවයේ පවතින යථා ස්වභාවයයි.
එය කොතරම් සියුම් ආකාරයෙන් පුද්ගල මනසේ පැළපදියංව පවතින්නේද යන්න ආවාසික භික්ෂුව පිඩුසිඟා යාමට පෙර හැසිරුණ ආකාරයෙන් ද රහත් භික්ෂුව වෙනුවෙන් ලද චතුමධුර පාත්‍රය ගින්නට දැමීමට පෙර එය කළ යුතු ආකාරය සැළසුම් කිරීමෙන් ද පැහැදිලි වේ. ගිහි වුවද, පැවිදි වුවද කෙනෙකුගේ වාසස්ථානය අහිමි කිරීමත්, ලාභයට හානිකිරීමත් බරපතල අකුශල විපාක ලැබෙන්නක් බව ලෝසක හිමියන්ගේ අතීත භවය හා සම්බන්ධ කථා පුවත් වලින් පැහැදිලි වේ. ඒ අතරිනුත් කෙනෙකුගේ ආහාරය වැළක්වීම දරුණු විපාක ගෙනදෙන්නක් බව නිවන් දක්නා තෙක් කුසපුරා අහරක් නොලැබීමෙන් ගම්‍ය වේ. කර්මය හා එහි විපාක නොසළකා ඒ ගැන අවබෝධයක් නොමැති වීමෙන් විවිධ හේතු සළකා අන් අයගේ මූලික අයිතිවාසිකම්වලට හානි කිරීම පුරුද්දක් කරගත් බොහෝ දෙනෙක් වර්තමානයේ දක්නට ලැබේ. එැවැනි පුද්ගලයන්ගේ අනාගත ඉරණම යහපත් එකක් නොවන බව මෙම ජාතක කථා පුවතෙන් පැහැදිලි වේ. අනෙක් අතට වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් යනුවෙන් සංස්ථාගතව ඉදිරිපත් කරන සංකල්ප කර්මය හා විපාක යටතේ බෞද්ධ ජාතක කථාවල මැනවින් අන්තර්ගත වී ඇති අයුරු පැහැදිලි වේ. බෞද්ධයා මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය ඇතිකරගත්තේ නෛතික ස්වරූපයෙන් නොව සදාචාරාත්මක සද්ගුණයක් වශයෙනි.

එම සද්ගුණය ක්‍රියාවට නැංවූයේ සම්‍යග්දෘෂ්ටිය පදනම්කරගත් සදාචාරමය ප්‍රඥාව අනුව මිස නීතිය හෝ ඒ හා සම්බන්ධ අධිකරණමය තත්ත්වයන් සැළකිල්ලට ගැනීමෙන් නොවන බව ජාතක කථා විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. වරදක් කළ පසුව වරදකාරී මානසික ස්වභාවය කර්ම විපාකයේ ආරම්භය ලෙස සැළකිය හැකිය. වරද බලවත් වන තරමට වරදකාරී හැඟීමද බලවත් වන බව ජාතක කථාවෙහි එන ආරාමික භික්ෂුව වරදකාරී මානසික තත්ත්වයේ බලපෑමෙන් නිරයේ ඉපදීමෙන් පැහැදිලි වේ. ඇතැම් විට වරදකාරී මානසික ස්වභාවය කෙනෙකු තුළ බරපතල මානසික ආබාධයන් ඇතිවීමට හේතුවක් විය හැකිය. එම පීඩාකාරී මානසික ස්වභාවය දරා ගැනීමට නොහැකි වීමෙන් කෙනෙකු මත් පැනට ඇබ්බැහිවිය හැකි මෙන්ම සියදිවි හානිකරගැනීමට ද පෙළඹිය හැකිය.
මසුරුකම නමැති මනෝභාවය හේතුවෙන් පුද්ගලයා විසින් සිදුකරනු ලැබූ පාපක්‍රියාවෙහි අනුරූපී විපාක අතිශය දුක්ඛදායක බවත් එය මෙලොවට පමණක් නොව අනාදිමත් සංසාරය තුළ දුකට කාරණයක් වන ආකාරයත් ලෝසක ජාතකයේ මැනවින් නිරූපණය වී තිබේ. ආරාමික අර්බුද මෙන්ම ගෘහස්ථ ජීවිතය හා සම්බන්ධ ඇතැම් ගැටලු විසඳා ගැනීමේදී ලෝසක ජාතකයෙන් ලැබෙන ආදර්ශය ඉමහත්ය.

ලෝලත්වයෙන් මිදෙමු චඉන්ද්‍රිය දමනය කර ගනිමු

"ලෝලත්වය සහජ මනෝභාවයක් වුවද දැඩි ලෝලත්වය විනාශයට හේතුවක් වේ."
පරවියෙකු හා කපුටෙකුගේ අතීත කථාවක් ඇසුරෙන් ආහාරයට ගිජු වූ භික්ෂුවක් අරබයා 42 වන කපෝත ජාතකය දේශනා කර තිබේ. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ පරවි යෝනියෙහි උපන්නේය. එකල බරණැස් වැසි ජනයා පින් කරගැනීමේ අරමුණෙන් කුරුල්ලන්ගේ පහසුව පිණිස තැනින් තැන කුඩා කූඩු එල්ලා තැබූහ.
බරණැස් නුවර සිටාණන්ගේ අරක්කැමියා ද තම මුළු තැන් ගෙය සමීපයෙහි එක් කූඩුවක් එල්ලා තැබීය. බෝසත් පරවියා එහි වාසය කළ අතර දිනපතා ගොදුරු සොයා ගොස් සවස් කල එහි පැමිණ වාසය කළේය. දිනක් එක්තරා කපුටෙක් ඒ අසලින් පියාසර කරන්නේ මුළුතැන් ගෙයි පිසින ලද 
ආහාරවල සුවඳ ආඝ්‍රණය කොට එහි ලෝභ උපදවා ගත්තේය. අනතුරුව එම රසවත් ආහාර ලබා ගන්නේ කෙසේදැයි නුදුරු තැනක හිඳ පරීක්ෂා කරන්නේ සවස් කාලයෙහි බෝසත් පරවියා පැමිණ කූඩුවට ඇතුල්වනු දැක ඌ සමග මිත්‍ර වී මෙම රසවත් ආහාර ලබාගත හැකි යැයි වටහා ගත්තේය. පසු දින බෝසත් පරවියා ගොදුරු සොයමින් යන අවස්ථාවෙහි උගේ පිටු පසින් පියාසර කළේ ය. කපුටාගේ මෙම හැසිරීම දුටු බෝසත් පරවියා කවර හේතුවක් නිසා තමා පිටුපස පැමිණේදැයි විමසා සිටියේය. එයට පිළිවදන් දුන් කපුටා, තමා පරවියාගේ හැසිරීම පිළිබඳ ප්‍රසාදයකින් සිටින බවත් එවැනි උතුම් හැසිරීමක් තිබෙන ඔබට උපස්ථාන කරමින් ඔබ සමඟ වාසය කිරීමට කැමැති බවත් ප්‍රකාශ කළේය. බෝසත් පරවියා කපුටාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් කපුටා එයින් නොනැවතී එසේ නම් ඔබ සමඟ එක්ව ගොදුරු සොයා යන්නට අවසර දෙන්නේ දැයි විමසා සිටියේ ය. බෝසත් පරවියා එයට එකඟතාව පළ කළ අතර කපුටා, පරවියා සමඟ ගොදුරු සොයා අනුභව කරමින් රාත්‍රී කාලයෙහි එකම කූඩුවෙහි වාසය කළේ ය. ගොදුරු සොයා යන ගමනේදී කපුටා ගොම පි¼ඬක් පෙරලා එහි ඇති පණුවන් හා කුරුමිණියන් ඇතිතාක් අනුභව කොට කුස පුරවාගෙන පරවියා වෙත පැමිණ කියා සිටියේ ඔබ බොහෝ වේලාවක් ආහාර ගන්නා බවත් එසේ නොකර භෝජනයෙහි පමණ දැන කටයුතු කිරීම වැදගත් බවත්ය. ටික දිනක් ඇවෑමෙන් කපුටා තම අදහස ක්‍රියාත්මක කිරීමට කල්පනා කළේය. සුපුරුදු පරිදි එක් දිනක උදැසන ආහාර සොයා යාමට පරවියා විසින් කැඳවූ අවස්ථාවෙහි කපුටා පවසා සිටියේ තමන් උදරාබාධයකින් පෙළෙන හෙයින් අද දින ආහාර සොයා යාමට නොපැමිණෙන බවයි. කපුටාගේ සහජ කුසගින්න හා ආහාර ගැනීමේ අසාමාන්‍ය පුරුද්ද දන්නා බෝසත් පරවියා එය කපුටාගේ කූට උපායක් බව අවබෝධකරගත් අතර කපුටන්ට කිසි දිනෙකත් උදරාබාධයක් නොවැළදෙන බවත්, තුන් යම් රාත්‍රියෙහි එක් යාමයකදී කුස ගින්න දරාගැනීමට නොහැකිව සිහි මූර්ඡා වන බවත්, මෙය මස් කෑමට ඇති කැමැත්ත නිසා සිදුකරන ව්‍යාජ හැසිරීමක් බවත් එසේ නොකර තමන් සමඟ ගොදුරු සොයා යාමට පැමිණෙන ලෙසත් දන්වා සිටියේය. එහෙත් කපුටා පවසා සිටියේ උදරාබාධය නිසා පැමිණිය නොහැකි බවයි. ව්‍යාජ ලෙඩක් පෙන්වා කූඩුවේ නතර වූ කපුටා අරක්කැමියා පිළිබඳ පරීක්ෂාවෙන් සිටියේය. මේ අතර ආහාර පිළියෙල කළ අරක්කැමියා ආහාර බඳුන්වල උණුසුම මදක් අඩුවන තෙක් අඩක් වසා මුළුතැන් ගෙයින් බැහැරට ගොස් දහඩිය පිසමින් එළිමහනෙහි රැඳී සිටියේය. මෙය දුටු කපුටා තම උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට සුදුසු වේලාව එය බව දැන මුළුතැන්ගෙට පියාසර කොට එහි අඩක් වසා ඇති එක් ආහාර බඳුනක පියන මත සිටගත්තේ ය. කුඩා මස් කැබැල්ලකින් සෑහීමකට පත් නොවී විශාල මස් කැබැල්ලක් ගෙන ගොස් කූඩුවේ වැතිර රසවිඳිමියි සිතා විශාල මස් කැබැල්ලක් ඩැහැ ගැනීමට සූදානම් විය.

එැසැනින් එම බඳුනෙහි පියන සෙළවුන අතර අරක්කැමියාට එම ශබ්දය ඇසී වහා මුළු තැන්ගෙය කරා පැමිණියේ ය. කපුටා දුටු අරක්කැමියා කෝපයට පත්ව දොර කවුළු වසා ඌ අල්ලාගෙන තටු ගලවා ඉඟුරු මිරිස් දුරු ආදී කුළු බඩු ගෙන දිය කොට එහි ගිල්වා කුණු භාජනයට දැමීය. සවස් කාලයේ කූඩුව කරා පැමිණි බෝසත් පරවියා වේදනාවෙන් පෙළෙන කපුටා දුටු අතර සියල්ල ඌ සිතූ පරිදි සිදු වී තිබෙන බව වටහා ගත්තේ ය. අනතුරුව කපුටා අමතා, “ඔබගේ ගිජු කම නිසා මේසා විශාල විපතකට පත්වූයේ වේදැයි” පවසා ඉතා ඉක්මනින් එම ස්ථානය අතහැර පළා ගියේ ය. වේදනාවට පත් කපුටා ටික වේලාවකින් මරණයට පත් විය. ලොල් බව නිසා විනාශයට පත් වූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරබයා දේශනා කොට වදාළ මෙම ජාතක කථාවෙන් ප්‍රධාන වශයෙන් පෙන්වා දෙන්නේ නුවණැතියන්ගේ උපදෙස් නොපිළිපදින තැනැත්තා විනාශයට පත්වන බවයි. ලෝලත්වය සහජ මනෝභාවයක් වුවද දැඩි ලෝලත්වය විනාශයට හේතුවක් වේ. ආහාරයට ගිජු වී අගෝචර තැනකට ගොස් කපුටා තම ජීවිතය විනාශ කරගත්තාක් මෙන් ඇතැම් පුද්ගලයන් ද අපත්‍ය ආහාර නිතර පරිභෝජනය කිරීමෙන් ජීවිතය විනාශ නොවුණත් ඒ හා සමාන දුකකට හා වේදනාවකට පත්ව ඇති අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. ආහාරපාන කෙරෙහි පමණක් නොව මතට මෙන්ම ලිංගික කාමය කෙරෙහි ලොල් වීමෙන් ද ජීවිතය අඳුරුකරගත් පුද්ගලයන් රැසක් දක්නට ලැබේ. අපගේ ඇසුර පතා එන්නන්ගේ විවිධ අභිලාස හා බලාපොරොත්තු තිබිය හැකිය. ඇතැමෙක් අවංකව අප ගැන කල්පනා කොට ඇසුරට එන අතර බහුතරයක් තම පටු අවශ්‍යතා වෙනුවෙන් ඇසුරු කරන අවස්ථා සුලභය. කපුටා පරවියාගේ ඇසුර බලාපොරොත්තු වූයේ තම පටු අරමුණ වෙනුවෙන්ය. කපටි අවස්ථාවාදී පුද්ගලයාගේ ගති ලක්ෂණ කපුටාගේ චරිතයෙන් මැනවින් නිරූපණය වේ. කපටි පුද්ගලයා අන් අය වර්ණනා කරන්නේ අවස්ථාවාදී අරමුණෙන්ය. පරවියා කෙරෙහි පැවති කපුටාගේ ප්‍රසාදය ද අවංක එකක් නොවේ. එය ව්‍යාජ ප්‍රසාදයකි. බෝසත් පරවියාගේ බුද්ධිමත් බව නිසා කපුටාගේ කපටි අවස්ථාවාදී හැසිරීම පිළිබඳ නිසි අවබෝධයක් තිබුණි. එනිසා ඔහුගේ කූට උපක්‍රමවලට හසු නොවී අනතුරෙන් බේරීමට ඌට හැකි විය. එහෙත් බොහෝ දෙනෙකුට එවැනි කපටි අවස්ථාවාදී පුද්ගලයන්ගේ නියම ස්වරූපය දත හැකිවන්නේ කරදරයේ වැටීමෙන් අනතුරුව ය. අවස්ථාවාදී පුද්ගලයන්ගේ ව්‍යාජ වර්ණනා හා ප්‍රසංශා කෙරෙහි විශ්වාසය තැබූ වැදගත් පුද්ගලයන් පසු කලෙක සමාජ අපවාදවලට ලක් වූ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. බොහෝ තරුණ පිරිස් අවස්ථාවාදී පුද්ගලයන්ගේ ව්‍යාජ ආදරය හා සෙනෙහස කෙරෙහි ආසක්ත වී අධ්‍යාපනය, තරුණ ජීවිතය මෙන්ම දෙමාපියන්ගේ බලාපොරොත්තු ද විනාශ කරගත් අවස්ථා නිතර අසන්නට ලැබේ. තමාට නොගැලපෙන අවස්ථාවාදී පුද්ගලයන් ලංකර ගැනීමෙන් තමාට හිමි වටිනාකම් ද නැතිකරගැනීමට සිදුවන බව පරවියාට තම වාසස්ථානය අතහැර යාමට සිදුවීමෙන් පැහැදිලි වේ. එසේම නුවණැතියන්ගේ අවවාද අනුශාසනා නොපිළිපදින තැනැත්තාගේ ජීවිතයේ ඛේදනීය අවසානය කපුටාට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමෙන් ප්‍රකට වේ.
කපටි සදාචාර වාදියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස කපුටා විසින් පරවියාට ආහාර සම්බන්ධයෙන් දෙන උපදෙස්වලින් පැහැදිලි වේ. කුස පුරා පණුවන් අනුභව කළ කපුටා පරවියාට ආහාරයෙහි පමණ දැනීම සම්බන්ධයෙන් දෙන අවවාදය තමා සම්මතෙහි පිහිටා කරන ලද්දක් නොවේ. එය කුහක පිළිවෙතකි. විවිධ වැරදි කරමින් සාධු සම්මත පුද්ගලයන් සේ පෙනි සිටිමින් අන්‍යයන්ට උපදෙස් සපයන ඇතැම් පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වීම අවශ්‍ය වේ. අන් අයට අවවාද කිරී
මට පෙර තමා පරමාදර්ශී විය යුතුය යන්න බුදුසමයේ පිළිගැනීමයි. කපෝත ජාතකයේ සමස්ත පරමාදර්ශය වන්නේ ලෝලත්වයෙන් මිදී ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව නුවණැතියන්ගේ උපදෙස් පිළිපැදීමේ වැදගත් කමයි.

දුර දක්නා නුවණින් අනතුරෙන් වැළකීම

බුදුරජාණන් වහන්සේ ජේතවනා රාමයෙහි වැඩ වාසය කරන සමයෙහි ඵලයෙහි දක්ෂ වූ එක්තරා උපාසකයෙක් අරබයා මෙම ඵල ජාතකය දේශනා කරන ලදි. සැවැත් නුවර වැසි එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් බුදුරදුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට ආරාධනා කොට තම උයනෙහි වැඩ සිටීමට සළස්වා කැඳ අවුළුපත් ආදිය පිළිගන්වා අනතුරුව උද්‍යාන පාලකයා අමතා භික්ෂු සංඝයා සමඟ උයනෙහි හැසිර උන්වහන්සේලාට නොයෙක් ඵලාඵලජාති පිළිගන්වන ලෙස අණකළේය. කෙළෙඹි පුත්‍රයාගේ අණ පරිදි උයන්පල්ලා උද්‍යානයේ ඇති පළතුරු ගස් වෙත ගොස් එහි මුල සිට පැසුණු හා නොපැසුණු විවිධ ඵලජාති මැනවින් තෝරාබේරාගෙන භික්ෂු සංඝයාට පිළිගැන්වීය. භික්ෂූන් වහන්සේලා ඔහුගේ දක්ෂතාව ගැන පුදුමයට පත් වූ අතර පසුව ඒ ගැන බුදුරදුන්ට ද දන්වා සිටියහ.
උයන්පල්ලාගේ දක්ෂතාව ගැන ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා ඵල ජාතකය දේශනා කොට වදාළහ. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ්‍ය කාලයේ බෝසතාණන් වහන්සේ සිටු කුලයක ඉපිද පන්සියයක් ගැල් ගෙන වෙළෙඳාමෙහි යෙදුණේය. වෙළෙඳාමෙහි නිරත එක් දිනක කැලෑවක් අසලට පැමිණියේ සියලු කාර්ය මණ්ඩලය කැඳවා මෙම වනාන්තරයේ විෂ ගස් පවතින බවත් ඒවායේ විෂ සහිත පත්‍ර මල් හා ඵල ඇති හෙයින් තමන් නොවිමසා කිසිවක් අනුභව නොකරන ලෙස දන්වා සිටියේය. ඔවුන් බෝසතුන්ගේ වචනය පිළිගෙන වනයට පිවිසියහ.
වනාත්තරය අභිමුවෙහි ගම්දොර කිංඵල නම් විෂ සහිත වෘක්ෂයක් තිබුණි. එම වෘක්ෂය හා එහි ඵල අඹගසක් හා එහි ඵල හා සමාන හැඩයෙන්ද සුවඳීන් ද යුක්ත විය. මෙය දුටු ඇතැමෙක් අඹයැයි සිතා අනුභව කළ අතර තවත් කෙනෙක් ගැල් සාත්තු නායකයාගෙන් විමසා අනුභව කරමු යැයි සිතා රැගෙන ගියහ. අනතුරුව බෝධිසත්ත්වයන් වෙත ගොස් එම ඵල පෙන්වා අනුභව කිරීමට සුදුසුදැයි විමසා සිටියහ. එම ඵල දුටු බෝධිසත්ත්වයන් වහන්සේ ඒ සියල්ල කිංඵල නම් විෂ සහිත ගෙඩිවර්ගයක් බවත් ඒවා අඹ නොවන බවත් දන්වා අනුභව කිරීමෙන් වැළැක් වූ අතර නොදන්වා අනුභව කළ අයට වමනය කරවා ගිතෙල් හා මී පැණි පොවා සුවපත් කළහ.
මෙම විෂ වෘක්ෂය අවට සිටි ගම්වාසීන් මෙතෙක් කලක් පුරුදුව සිටියේ එම විෂඵල අනුභව කළ මිනිසුන් මියගිය පසුව ඔවුන්ගේ දේපළ කොල්ලා කා ජීවත් වීමටය. ඒ අනුව සුපුරුදු පරිදි පසු දිනයේ එහි පැමිණි ගම් වැසියෝ විෂ ඵල අනුභව නොකොට ජීවත්ව සිටින පිරිස දැක විශ්මයට පත්ව ඒ පිළිබඳ කරුණු විමසූහ. තමන් කිසිවක් නොදන්නා බවත් ඒ පිළිබඳ සාත්තු නායකයාගෙන් විමසන ලෙසත් දැන්වූහ. අනතුරුව සාත්තුනායකයා වන බෝසතුන් වෙත ගිය ගම්වැසියෝ මේ වෘක්ෂය අඹ ගසක් නොවන බව කෙසේ දැනගත්තේදැයි විමසූහ. ගස දෙස බැලීමේදී එය මැනවින් වැඩී ඇති බවත්, ගම්දොර පිහිටි ගසෙහි හටගත් ගෙඩි මධුර රසයෙන් යුක්ත නම් එක් ගෙඩියක් හෝ එහි ඉතිරි නොවන බවත් දැක එය විෂ සහිත ගසක් යනුවෙන් නිගමනය කළ බව දන්වා සිටියේය.

යම් වෘත්තියක නිරත වන්නේ නම් එම වෘත්තිය පිළිබඳ මනා නිපුණතාවක් අවශ්‍ය බව උද්‍යාන පාලකයාගේ චරිතයෙන් නිරූපණය වේ. උද්‍යාන පාලකයෙක් ලෙස ඔහුට වෘක්ෂ ලතා පිළිබඳ මනා දැනුමක් තිබුණි. ගස මුලට ගොස් එදෙස බැලීමෙන් එහි හටගත් ඵල පැසී තිබේද නැත්ද යනුවෙන් පැවසීමේ හැකියාව ඔහු සතු විය. එම වෘත්තිය තුළ ඔහු පරිණත පුද්ගලයෙකි.
වර්තමානයේ ඇතැම් වෘත්තීන්හි නියුක්ත පුද්ගලයන්ට වෘත්තීය නිපුණතාවක් නොමැති වීමෙන් සේවා ලාභීන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. එසේම වෘත්තීය නිපුණතාව ඇතිවන්නේ දීර්ඝ කාලයක් අවංකව වැඩ කිරීමෙන්ය. අවංකව වැඩ නොකරන කෙනෙකුට වෘත්තීය නිපුණතාවක් ඇති නොවේ. තම වෘත්තියට අවංක වන තැනැත්තා ඒ පිළිබඳ දැනුම හා කුශලතා වර්ධනය කර ගැනීමට උත්සුක වෙයි. කවර වෘත්තියකට වුවද දැනුම අවශ්‍ය වේ. ඒ සඳහා පෙරටත් වඩා ලෝකය විවෘත වී තිබේ. එවන් පරිසරයක කවර වෘත්තියක නියැලී සිටියද ඒ පිළිබඳ නිපුණතාව අවශ්‍ය බව උද්‍යානපාලකයාගේ චරිතයෙන් පැහැදිලි වේ. නිපුණතාවන්ගෙන් පිරිපුන් වෘත්තිකයන් සමාජ සම්භාවනාවට පාත්‍රවන බව භික්ෂූන් විසින් උද්‍යාන පාලකයාගේ දක්ෂතා ඇගයීමෙන් පැහැදිලි වේ.
ජාතක කථාවේ එන බෝසත් සාත්තු නායකයා නායකත්ව ලක්ෂණ මැනවින් නිරූපණය කරන්නෙකි. තමා යටතේ සේවය කරන පිරිසේ ආරක්ෂාව තහවුරු කිරීම නායකයෙකු සතු වගකීමකි. අනතුර කල්තියා දැකීමේ නුවණ නායකයාට අවශ්‍ය වේ. බෝසත් සාත්තු නායකයාට දුරදක්නා නුවණක් තිබූ හෙයින් වනගත ප්‍රදේශයට ඇතුළත් වූ සැනින් තම සහායක පිරිස දැනුවත් කළේය. නායකයා දෙන උපදෙස් පිළිපදින අය මෙන්ම නොපිළිපදින අය ද සිටී. මෙය කවර ආයතනයක වුව දක්නට ලැබෙන සාමාන්‍ය ස්වභාවයයි. උපදෙස් නොපිළිපැද අනතුරට ලක් වූ පුද්ගලයාගේ ද ආරක්ෂාව තහවුරු කිරීම නායකයාගේ වගකීමකි. තම උපදෙස් නොසළකා විෂ ඵල අනුභව කොට අනතුරට පත් පිරිසට ද වමනය කරවා ගිතෙල් හා මී පැණි පොවා ඔවුන් සුවපත් කළේ උදාර නායකයෙකු නිසයි. අනෙක් අතට උපදෙස් නොපිළිපැද ස්වාභිමතයට අනුව කටයුතු කිරීම අනතුරට අතවැනීමක් බව මෙයින් ගම්‍ය වේ. නීතිය හෝ සම්මතයන් ඇතිකරගන්නේ පුද්ගලයාගේ හා සමාජයේ ආරක්ෂාව සඳහාය. සාත්තු නායකයා තමාගෙන් නොවිමසා කිසිවක් අනුභව නොකළ යුතුයැයි නියම කළේ තම පිරිසේ ආරක්ෂාව සඳහාය. කෙනෙකුට මෙය නිදහස අහිමිකිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකිය. එහෙත් පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් නිදහස සීමා කිරීමට සිදුවන බව මෙමගින් පැහැදිලි වේ.
ව්‍යාපාරික ලෝකය තුළ අනතුර කල් ඇතිව හඳුනා ගැනීමේ ඤාණය ව්‍යාපාරිකයා සතු විය යුතුවේ. බාහිර ස්වරූපය පමණක් සැළකිල්ලට ගෙන යමක් නිගමනය කිරීම බුද්ධිගෝචර නොවන බව සාත්තු නායකයා, ගස දෙස බලා එය අඹ නොවන බව තීරණය කිරීමෙන් පැහැදිලි වේ. මෙහිදී ඔහු සැළකිල්ලට යොමු කළේ වෙනත් කරුණු දෙකකි. ගම්දොර පිහිටි ගස අඹ ගසක් නොවන බව තීරණය කිරීමට ඔහු යොදාගත් සාධක තාර්කිකය. එකී තාර්කික ඤාණය උපයෝගීකරගනිමින් ඔහු නිවැරදි නිගමනයකට එළඹියේය. බාහිර වශයෙන් සමානවන බොහෝ දෑ තිබේ. එහෙත් ඒවායේ අභ්‍යන්තර සංයුතිය වෙනස් බව හඳුනා ගැනීමට තර්කය මෙන්ම ප්‍රඥාවද අවශ්‍ය වේ. ගැඹුරින් නොවිමසා බාහිර වශයෙන් යමක් දැක නිගමනයකට එළඹීම බෞද්ධ පිළිවෙත නොවන බව මෙම ජාතක කථාවෙන් තහවුරු වේ.
කෙනෙකු අනතුරට ලක්කොට තමාගේ පැවැත්ම තහවුරු කරගැනීමට මාන බලන අවස්ථාවාදී පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. ගම්දොර පිහිටි ගසෙහි ඵල අනුභව කොට වෙළෙඳාමෙහි නියුක්ත වූවන් මියගිය පසුව ඔවුන්ගේ වස්තුව කොල්ලකා ජීවත් වීමට පුරුදුව සිටි ගම්වාසී පිරිසක් පිළිබඳ ජාතක කථාවෙන් නිරූපණය වේ. ජාතක කථාවේ එන ගම්වාසීන් ආත්මාර්ථකාමී අවස්ථාවදී පිරිසකි.
ඔවුන් අවංක මානවවාදී පිරිසක් වූයේ නම් විෂ සහිත ගස හා එහි ඵල පිළිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා යම් උපක්‍රමයක් යොදනු ඇත. එහෙත් ඒ වෙනුවට ඔවුන් අනුගමනය කළේ මිනිසුන් අනතුරට පත්වන තෙක් බලා සිට ඔවුන් සතු දෑ කොල්ල කෑමයි. එවැනි අවස්ථාවාදීන්ගේ උපක්‍රමවලට හසු නොවී කටයුතු කිරීමේ උපාය කෞශල්‍ය ඤාණය ඇතිකරගත යුතුය යන්න ජාතක කථාවෙන් ලැබෙන පණිවිඩයයි.
Related Posts Plugin for WordPress, Blogger...