රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

අකුසල කර්ම දෙන විපාක

මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි

අපායේ බොහෝම කාලයක් දුක් විඳල ඉන් පසුව පේ‍්‍රත අපායේ උප්පත්තිය ලැබුවත් මුහුණ පේ‍්‍රතයකුගේ වගෙයි. කේලාම් කියමින් අනෙකුත් අය රවටපු නිසාම කට ඌරකුගේ වගේ වූ නිසයි සූකර පේ‍්‍රතයා කියලා කිව්වේ. ඔහු තමන්ගේ සිතින් තමන්ගෙ කටින් තමන්ගේ මනසින් කරන ලද අකුසල කර්මවල විපාක විඳිනවා
බුදුරජාණන් වහන්සේ, රජගහනුවර, වැඩ වාසය කරන සමයේදී මුගලන් මහරහතන් වහන්සේත්, ලක්ඛණ මහ රහතන් වහන්සේත් ගිජු කුළුපවිව මුදුනෙහි වැඩ වාසය කළා. එම පර්වතය මුදුනේ සිට පහළට බැහැගෙන එන අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේට එක්තරා පේ‍්‍රතයෙක් දක්නට ලැබුණා. “සූකර පේ‍්‍රතයා” යන නමින් එම පේ‍්‍රතයා පොත පතෙහි සඳහන් කරලා තිබෙන්නෙ.
ඌරා “සූකර” නමින් හඳුන්වනු ලබයි. “සූකර පේ‍්‍රතයා” යනුවෙන් හඳුන්වනු ලැබුවේ ඌරා වගේ ස්වභාවයකින් යුක්ත නිසයි. ගව් තුනක් පමණ උසින් යුත් ඌරකුගේ ස්වභාවය මෙන් හිසක් ඇති වුවද, ශරීරයේ අනෙකුත් අවයව මනුෂ්‍යයෙකුගේ අවයව මෙන් දක්නට ලැබෙයි. මුගලන් මහරහත් වහන්සේ මෙම පේ‍්‍රතයා දැකලා උන්වහන්සේට සිනහවක් පහළ වුණා. මුගලන් හාමුදුරුවන්ට මඳ සිනහවක් පහළ වූ බව දැකපු ලක්ඛණ හාමුදුරුවන් විමසා සිටිනවා. “මුගලන් හාමුදුරුවනේ” ඔබ වහන්සේ සිනහ වුණේ කුමන කාරණාවක් නිසාද? කියලා. එම දර්ශනය ලක්ඛණ හාමුදුරුවන්ට නොපෙනුන නිසා මෙම අවස්ථාව උන්වහන්සේට වැටහුණේ නැහැ.
මුගලන් හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේට මෙම සිදුවීම පෙනෙනවා. දෙදෙනාම එකම මග වැඩම කළත්, ලක්ඛණ හාමුදුරුවන් නොදකින මෙම විශාල පේ‍්‍රතයා මුගලන් හාමුදුරුවන් දැක්කා. මඳ සිනහවක් පහළ කළේ කුමක් නිසාද ?කියලා මුගලන් හාමුදුරුවන්ගෙන් විමසන විට උන්වහන්සේ මෙම පේ‍්‍රතයාගේ ස්වභාවය ලක්ඛණ හාමුදුරුවන්ට පැහැදිලි කරනු ලැබුවා.තුන්ගව්වක් පමණ විශාල හිස ඌරකුගේ ස්වභාවය ගත්ත, සෙසු ශරීර අවයව මනුෂ්‍යයකුගේ මෙන් අවුරුදු ගණනාවක් සා පිපාසාවෙන් දුක්ඛ සන්තාපයන්ට පත්වෙමින් ඉන්න පේ‍්‍රතයා මට පෙනෙනවා.
අද මෙහෙම දුක් වින්දට ඔහු පිළිබඳව අනුකම්පාවකට වඩා ඔහු පිළිබඳව ජුගුප්සාවක් මට දැනෙන්නේ. ඒක නිසයි මට සිනහ ගියේ කියලා මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ හාමුදුරුවන්ට කාරණාව පැහැදිලි කළා.
අසරණ අහිංසක මනුෂ්‍යයකු දැක්ක විට අනුකම්පා කරන, උදව් උපකාර කරන මුගලන් හාමුදුරුවන් මෙම පේ‍්‍රතයා දැක්ක විට උපහාසාත්මක, ජුගුප්සාජනක හැඟීමක් එනවායි කිව්වේ කුමක් නිසාද? කියන කාරණාව ලක්ඛණ හාමුදුරුවන්ටත් ප්‍රශ්නයක්. මෙම පේ‍්‍රතයා දැක්කවිට ජුගුප්සාජනක හැඟීමක් ඇතිවන්නේ ඇයිද? යන ප්‍රශ්නය ලක්ඛණ හාමුදුරුවන් මුගලන් මහරහත් වහන්සේගෙන් විමසනු ලැබුවා. එසේ විමසන විට මුගලන් හාමුදුරුවන් ලක්ඛණ හාමුදුරුවන් නොදන්න මුගලන් හාමුදුරුවන් දන්න මෙම පේ‍්‍රතයා පිළිබඳව අතීත කතාව පැහැදිලි කරල කියන්න පටන් ගත්තා.
අද මෙම පේ‍්‍රතයකු හැටියට දුක් වින්දට මට මොහු පිළිබඳව අනුකම්පාවක් නොහිතෙන්නේ මොහු බුදුන් දකින්න තරම් පින්කරපු කෙනෙක්. ඒ විතරක් නොවෙයි, බුද්ධ ශාසනයේ මහණ වෙන්න තරම් පින් කරපු කෙනෙක්. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගේ ශාසනයේ මහණ වෙලත් හිටියා. මහණවෙලා ඉන්න කාලය තුළ කරන ලද අකුසල කර්මයක් තමයි මෙම විපාක දෙන්නේ.
ඒ කාලය තුළ මෙම හාමුදුරුවන් බොහොම දක්ෂ ධර්ම කථිකයෙක් ධර්ම කරුණු හරිම අපූරු ආකාරයට මිනිස්සුන්ගේ හිත්වලට කා වදින ආකාරයට පැහැදිලි කරල දීමේ හපන්කම තිබුණා ස්වාමින් වහන්සේ නමක්.ඒ නිසාම මිනිස්සුත් හරිම කැමැතියි. බොහෝ දෙනා අතර හරිම ප්‍රසිද්ධයි. ධර්ම කරුණු ඉතා හොඳින් විස්තර කරල, විග්‍රහ කරල හිත්වලට කාවදින ආකාරයට දේශනා කරන නිසා.
මෙම ප්‍රසිද්ධ තත්ත්වයට පත්වුණහාමුදුරුවන් එම ප්‍රදේශය තුළ තිබුණ ප්‍රධාන විහාරයකට ගියා. එම විහාරයේ ටික දවසක් නතර වුණා. ඒ විහාරය තරමක් ධනවත් ප්‍රසිද්ධ ස්ථානයක්. එහි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටියා. එම විහාරස්ථානයට ටික දවසකට නේවාසික වෙන්න ගිය ධර්ම කථික භික්ෂූන් වහන්සේ මෙම පන්සල මට අල්ලගත්තා නම් හොඳයි කියලා හිතින් හිතන්න පටන්ගත්තා. එහෙම සිතමින් මෙහි වැඩ වාසය කළ ප්‍රධාන භික්ෂූන් දෙනම සමඟ වෙන වෙනම කතා බහ කරන්නට යෙදුණා. වෙන වෙනම කතා බහ කිරීමෙන් ඒ දෙදෙනා අතර කිසියම් මානසික නොසන්සුන්තාවකට පත් කළා. ඒ මානසික නොසන්සුන්තාවය ගැටුමක් බවට පත්වුණා. මෙම භික්ෂුව එම දෙනම සමඟම බොහෝ හිතවත් ස්වාමින් වහස්සේ නමක ලෙස කටයුතු කළා. මොහු මෙලෙස කටයුතු කරමින් තමාගේ මානසික අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා ඉතාමත් සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනම අතර භේද භින්නතා ඇති කළා.
අවුල් වියවුල් ඇති කළා. මෙම සියලුම කාරණාවන් කරනු ලැබුවේ පන්සල අල්ලා ගැනීමේ චේතනාවෙන්. පන්සල තමන් සතු කරගැනීමේ චේතනාව අනෙකුත් අයට නොදැනෙන ආකාරයට අනෙකුත් අයට උදව් උපකාර කරන ස්වරූපය පෙන්වමින් තම මානසික තත්වය ක්‍රියාවට නැංවූවා.
දායක කාරකාදීන් අතර වුවත් කතා බහ කරන විට මෙම භික්ෂුව කියන්නෙ මෙම කරුණු වෙනත් ස්වාමීනි වහන්සේලාත් සමඟ කතා කරන්න යන්න එපා, මම ඔය ඇත්තන්ට හිතවත් නිසයි මෙහෙම කියන්නේ. මෙම පන්සලේ අධිපති භික්ෂූන් වහන්සේලා දෙනම අතර ලොකු ගැටුමක් තිබෙනවා. පන්සල්වලට එන්නේ සියල්ල අතහැරලා නේද? මෙම ගැටුම කුමක්ද? මේ ආකාරයට ගමේ දායක කාරකාදින් අතර තමන් නිවැරැදි ස්වාමීන් වහන්සේ යන හැඟීම ඇතිවන ආකාරයට කතාබහ කරන්න පටන් ගත්තා. කාලයක් ගත වීමත් සමඟම මේ දෙනමගේ අරගලය වැඩි දියුණුූ වෙලා ගිහිල්ලා උන්වහන්සෙලා දෙනමම පන්සල අතහැර දමලා ගියා. පන්සලේ සියලුම කටයුතු කාරණා අලුත් භික්ෂූන් වහන්සේගෙන් ඉෂ්ට සිද්ධ වන නිසා ඇත්ත යුක්ත නිවැරැදිව සොයා බැලීමට නොපෙළඹුණ දායක කාරකාදීන් තමන්ගේ වැඩ කොටස කෙරෙන නිසා අලුත් හාමුදුරුවන් පන්සලේ අධිපති හැටියට පත්කරගෙන ආගමික වැඩ කටයුතු දැහැමෙන් සෙමෙන් කරගෙන ගියා. අවට පන්සල සමඟ වටපිටාවේ මිනිසුන් සමඟ සමඟි සම්බන්ධතා ඇතිකර ගැනීමට උන්වහන්සේගේ ප්‍රසිද්ධියත් හේතු වුණා. යමක් පැහැදිලි කරදීමේ හොඳ හැකියාවක් එයටම හේතුවක් වුණා.
ඒ වගේම මානසික වශයෙන් තිබුණ වංචනික බවත් හේතු වුණා. මේ හාමුදුරුවන් අපවත් වුණාට පසුව උන්වහන්සේ එසේ කරන ලද බලවත් අකුසලයට උන්වහන්සේට විපාක දෙන්න පටන් ගත්තා. පන්සල තුළ සමගියෙන් වැඩ වාසය කරන ලද භික්ෂූන් වහන්සේලා භේද භින්න කර සතර පේරුවේ දායකකාරකාදීන් නොමග යැවීම, තමන්ට අයිති නැති ස්ථානයක් අයිති කරගැනීම, තමන් කළ වංචනික ක්‍රියාව සඟවාලමින් අනික් ස්වාමින් වහන්සේලා නැති අඩුපාඩුව පිරිමැසීමට මෙම ස්ථානයේ වැඩ වාසය කරන බවට අදහස පැතිරීම යන අකුසල කර්ම රාශියක් විපාක දෙන්න පටන් ගත්තා. අපායේ බොහෝම කාලයක් දුක් විඳල ඉන් පසුව පේ‍්‍රත අපායේ උත්පත්තිය ලැබුවත් මුහුණ පේ‍්‍රතයකුගේ වගෙයි. කේලාම් කියමින් අනෙකුත් අය රවටපු නිසාම කට ඌරකුගේ වගේ වූ නිසයි සූකර පේ‍්‍රතයා කියලා කිව්වේ. ඔහු තමන්ගේ සිතින් තමන්ගෙ කටින් තමන්ගේ මනසින් කරන ලද අකුසල කර්මවල විපාක විඳිනවා කියලා ලක්ඛණ හාමුදුරුවන්ට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා.
තමන් කළ යුතු දෙය නිවැරැදිව වටහාගෙන කරන්නේ නැතිව ආත්ම වංචනික ආකාරයට තමන්ට හිමි නැති අනුන්ට අයිතිදේ බව දැන දැනත් ඒවා තමන් සතු කරගැනීමට උත්සාහ කිරීම වගේ දේවල් මනුෂ්‍ය ධර්මවලටත් පටහැනියි.ආගම දහම කියෙන්නේත් එයිට උඩින් ඒවා පිළිපදින පිරිසට රැකීමට ආගම දහම රකිනවාය කියලා මනුෂ්‍ය ධර්මවලටත් පහළ දේවල් තමයි මෙම භික්ෂූන් වහන්සේ කරල තියෙන්නේ. ඒ වගේ මනුෂ්‍යයකු දුක් විඳිනවා දැක්ක විට මගේ සිතට දුකක් දැනෙන්නේ නැහැ. ජුගුප්සාජනක බවක් දැනෙනවාය කියන කාරණාව මුගලන් හාමුදුරුවන් ලක්ඛණ හාමුදුරුවන්ට පැහැදිලි කරල දෙනකොට ලක්ඛණ හාමුදුරුවොත් මුගලන් හාමුදුරුවොත් පිළිබඳව ලොකු ප්‍රසාදයත් ඇතිකර ගත්තා.
හේමමාලා රන්දුනු

මෛත්‍රිය නිසා භවාන්තරගත වෛරයක්‌ සංසිඳේ...

පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි

'තිට්‌ඨං චරං නිසින්නෝවා
සයානෝවා යාවතස්‌ස විගත මිද්ධෝ
ඒතං සතිං අධිට්‌ඨෙය්‍ය 
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු'

තිට්‌ඨං - සිටගෙනද, චරං - යන එන ගමන් කරන විටද, නිසින්නෝවා - හිඳගෙනද, සයානෝවා - නිදාගෙනද, යාවතස්‌ස විගත මිද්ධෝ - නින්ද යනතුරුද. ඒතං සතිං - මේ මෛත්‍රී සහගත සිහියම, අධිට්‌ඨ්‍ය - සිතේ රඳවාගත යුතුය.

කරණීය මෙත්ත සූත්‍රයේ එන මෙම නව වැනි ගාථාවෙන් දැක්‌වෙන්නේ මෛත්‍රී සහගතව ජීවත්වන ආකාරය ගැනයි. මෛත්‍රිය ඉඳගෙන ඉන්න වෙලාවටද, ගමන් කරන විටද, එකතැනක සිටගෙන සිටින විටද නිදාගත් විටට නින්ද යනතුරුද වැඩිය හැකිය. මෙත් සිත ඇති කරගැනීම කවර වේලාවක වුවද කළ හැක්‌කක්‌ බව මෙයින් පැහැදිලි වේ. තමන්ගේ පටන් සකලවිධ ලෝකයා වෙතම සකල සත්ත්ව ප්‍රජාව කෙරෙහිම මේ මෙත් සිත වැඩිය හැකිය. ඒ සඳහා අරඤ්ඤගතෝවා . රුක්‌ඛමූලගතෝවා - සුඤ්ඤගාර ගතෝවා යි දැක්‌වෙන පරිදි වනාන්තරයකට, මහ ගසක්‌ මුලට, ජන ශූන්‍ය ප්‍රදේශයක විවේක ආරාමයකටම යා යුතු නැත. මෙයින් අදහස්‌ කරන්නේ දෛනික කටයුතු කරන කියන අවස්‌ථාවලදීද මෙත් සිත ඇති කරගෙන ක්‍රියාකළ හැකි බවයි. ඊර්ෂ්‍යා, ක්‍රෝධ සිත්වලින් තොරව ප්‍රියශීලී නම්‍යශීලී වචන භාවිත කරන, තව කෙනකුට පීඩනයක්‌ ඇති නොවන පරිදි ක්‍රියාකරන විට, එම ගුණයද මෛත්‍රියෙහි ප්‍රධාන ලක්‌ෂණ වන්නේය. එවන් අයුරින් එදිනෙදා කටයුතු කිරීමට තම ජීවිතය හැඩගස්‌වා ගැනීම මෛත්‍රී විහරණයක්‌ , හැසිරීමක්‌ සේ සැලකිය යුතුය.

මෛත්‍රියට මෙතරම්ම ඉහළ තැනක්‌ දී ඇත්තේ මෙත් වඩන්නා සදාකාර සම්පන්න පුද්ගලයකු වන නිසාය. මෙත් සිත් ඇති පුද්ගලයා ප්‍රසන්න අයෙකි. තව කෙනකුගේ අඩුපාඩු නොදකින්නෙකි. නොකියන්නෙකි. එකිනෙකා පිළිබඳව විවේචන ද ඔහු තුළ නැත. ඔහුට හෝ ඇයට පෙනෙන්නේ කෙනකුගේ හොඳ පැත්ත පමණි. ගුණය පමණි. කලක්‌ ගත වනවිට ඉබේම ඔහුට අන් අයගේ අඩුපාඩු නොපෙනෙ ගතියක්‌ද ඇති වේ. 

තමාගේ අඩුපාඩු සකස්‌ කර ගැනීම මේ මෛත්‍රී සහගත පුද්ගලයාගේ හෝ කාන්තාවගේ ස්‌වභාවය බවට පත්වන්නේය. මෙසේ සෞම්‍ය ගති පැවතුම්වලින් යුක්‌ත වන ඔහුගේ හෝ ඇයගේ පුදුමාකාර ගුණාත්මක ගති පැවතුම් ඇති වන්නේය. හෙතෙම ගමනක්‌ බිමනක්‌ යන විටද වල්පල් දේ ගැන නොසිතා සැමටම යහපතක්‌ වේවායි යන මෙත් සිත ඇතිකර ගනී. කවුරුන් හෝ හොඳට තනාගත් ගෙයක්‌ දොරක්‌ දකින විටද සතුටක්‌ ඇති වේ. එය මෛත්‍රියටම සම්බන්ධ මුදිතා ගුණයේ ස්‌වභාවයයි. මේ අයුරින් අපට අපේ ජීවිත සකස්‌ කර ගත හැකි නම් එය සමාජයට කෙතරම් උසස්‌ සහනයක්‌ වනු ඇතිද යන්න කාහට වුවද වටහාගත හැකිය. මේ මෛත්‍රිය නියම අයුරින් හැදැරීමක්‌ නොකරන බැවින් බොහෝ දෙනා සිතා සිටින්නේ සැමට සැපතක්‌ වේවායි පමණක්‌ සිතීමම මෛත්‍රිය බවයි. එය එසේ නොවන බව මහාවංශයේ 37 වැනි පරිච්ඡේදයේ එන පහත කතා පුවතින් පැහැදිලිව තේරුම් ගත හැකිය. මේ සිද්ධිය තවත් පුරාවෘත කිහිපයකද සඳහන් වේ.

ක්‍රි.ව. 332 සිට අවුරුදු 9 ක්‌ මෙරට රාජ්‍යය කළේ දෙටුතිස්‌ රජතුමාය. එතුමාගේ අභාවයෙන් පසු ඒ රජුගේ පුත් කුමරා වන බුද්ධදාස කුමරු රජකමට පත් විය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 39 කි. මෙතුමා සිංහල, පාලි, සංස්‌කෘත ආදී භාෂාවන් පමණක්‌ නොව වේද, වේදාන්ත පිළිබඳවද දැනඋගත් කෙනෙක්‌ වූ අතර, කුඩා කල දඹදිව ගොස්‌ උත්තර භාරතයේ නාලන්දා මහා සරසවියෙන් වෛද්‍ය ශාස්‌ත්‍රයෙහිද පර තෙරට ගිය කෙනෙකි. බුදුදහමින් ලද නිසි ආභාෂය නිසා පිරුණු කරුණාවකින් යුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දසරාජ ධර්මයෙන් රට පාලනය කළ කෙනෙක්‌ බව අපේ වංශකතාවෝ නොමසුරුවම පැහැදිලිව දක්‌වා ඇත. බුද්ධදාස රජතුමාගේ පියාගේ පියා වන කිත්සිරිමෙවන් රජතුමා නාලන්දා සරසවියට ඉඩකඩම් මිලදීගෙන පරිත්‍යාග කළ ශිලා ලේඛන මේ දක්‌වා නාලන්දාවෙහි ඇත. දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ ලක්‌දිවට රැගෙන ආවේ මේ රජුගේ කාලයේදීය. මෙසේ පියමුතු පරපුරෙන් ආ ආභාසය අනුව බුද්ධදාස රජතුමාද දිනපතා උදේa සවස දළදා පූජාව පවත්වමින් මහා සංඝයාටද ඇප උපස්‌ථාන කරමින් රට පුරා වෛද්‍ය සේවාව ව්‍යාප්ත කරමින් ගොවිතැන් බත් නඟාසිටුවමින් රට ස්‌වයංපෝෂිත කළේය. එතුමා තිරිසන් සතුන්ට පවා ගිලානෝපස්‌ථානය කළ බව කුසේ ගෙඩියක්‌ නිසා පීඩිතව සිටි නාගයකුට එතුමා විසින්ම සැත්කමක්‌ කර සුවපත් කරවීමේ සිද්ධියෙන් මනාව පැහැදිලිය.

දිනක්‌ බුද්ධදාස රජතුමා සර්වාභරණයෙන් සැරසී, මංගල හස්‌තිරාජයා පිට නැඟී මහත් වූ රාජ තේජසින් යුතුව ගමන් කරද්දී මහමඟ අයිනේ සිටි මධ්‍යම වයසේ විරූපී කුෂ්ට රෝගියෙක්‌ මෙසේ බණින්නට පටන් ගත්තේය. 'මේ බුද්ධදාසයා මගේ මෙහෙකරුවෙක්‌, මොකක්‌දොa පිනකින් අද රජකමට පත්වෙලා. මා ඉදිරියේම මට කිසි ගරුසරුවක්‌ නැතුව මඟුල් ඇතු පිට නැඟී යනවා. මට අහුවුණොත් මූ අල්ලා මරා මුගේ ලේත් බොනවා වසලය, බැහැපිය ඇතු පිටින්ෘ මා මෙතන සිටින බව තට නොපෙනේද? 

මෙසේ අපහාසාත්මකව මේ හිඟන කුෂ්ඨ රෝගියා තොරතෝංචියක්‌ නැතිව දිගටම බණින්නට විය. සිය ගණනක්‌ මිනිසුන්ද අසා සිටිති. රජතුමාට මෙය ඇසුණේය. එතුමා කුපිත නොවී කල්පනා කරනුයේ 'මමමේ රටේ මහ රජුය. මට මෙසේ කතාකරන්නට කිසිදු කෙනෙක්‌ තවත් නැත. මේ කුෂ්ට රෝගියාගේ ස්‌වරූපයෙන් පෙනෙන්නේ මොහු මගේ සංසාරික වෛරක්‌කාරයෙක්‌ බවයි. මගේ මෛත්‍රී බලයෙන් මොහු නම්මවාගෙන සංසාරික වෛරය මේ භවයේදීම අවසන් කරගත යුතු යෑයි සිතා රාජදූතයකුට කතාකොට 'රෝහිත' මහමඟ අයිනේ බිම වැටී සිටිමින් තද වෛරයකින් මා හට දොස්‌ පරොස්‌ කියන කුෂ්ට රෝගියා වෙත යන්න. මිත්‍ර ලීලාවෙන් ඔහු සමග කතාකරන්න. ඔහු සමග එකතුවී ඔබත් මටම දොස්‌ කියා දැඩි ලෙස මිත්‍රවී ඔහුට සලකා අද සවස්‌ භාගයේ මා වෙත පැමිණ සියලු තොරතුරු දන්වන්න' යෑයි නියෝග කළේය.

රෝහිත රාජ දූතයා ද රජු උගන්වන ලද ආකාරයටම යාචකයා වෙත ගොස්‌ අප දෙදෙනාම එක්‌ව බුද්ධදාසයා විනාශ කරමු' යෑයි සාකච්ඡා කළහ. මෙම රෝගියා රෝහිත සමග දැඩි ලෙස මිතුරු විය. 'මොහු නම් මගේ සංසාරගත වෛරක්‌කාරයෙක්‌' ම යෑයි තොරතුරු අසා අවබෝධ කරගත් රජතුමා රාජදූතයාට මෙසේ කීය.

'ඔබ අද සවසම ඔහු සුදුසු නිවසකට ගෙන යා යුතුයි. අද සිට හත් අට මසක්‌ මොහුට නේවාසික පහසුකම් ඉතා ඉහළින්ම සපයා, දිනපතා උණුවතුරෙන් නාවා මා නියම කරන ඖෂධ වර්ග දී, ඔහු සුවපත් කළ යුතුය. ඉතා සුව පහසු ඇඳක ඇතිරිලි යොදා ඇමැතිවරයකුට සේම පහසුකම් ලබාදිය යුතුය. දිනපතා රාජ මාළිගාවෙන් රාජ භෝජනයම ගෙන ගොස්‌ අනුභව කරවිය යුතුයි. දිනපතාම ඔහු සමග සුහදව කතාබස්‌කර දිනපතාම මට ඔහුගේ තොරතුරු දැන්විය යුතුයි. මේ සඳහා සියලු වියදම් රාජ මාලිගාවෙන් ලැබෙනවා ඇත.'

රජුගේ මෙම උපදෙස්‌ පරිදි රෝහිත තෙමේ ඊටත් වැඩියෙන් සලකමින් නව යොවුන් කාන්තාවන් කිහිප දෙනෙක්‌ද යොදවා මොහු සතුටු කරවනු පිණිස නෑවීම්, කැවීම්, පෙවීම් සහ බෙහෙත් හේත් ගැල්වීමද කරවූයේය. මෙලෙස දෙතුන් මසක්‌ ගත වෙත්ම මොහුගේ කුෂ්ඨය සුවපත් විය. පාට පෙනුම ඇති විය. 

දැන් ඔහු මහත් සේ ප්‍රීතිමත් පුද්ගලයෙක්‌ බවට පත් වීමෙන් අනතුරුව ටිකෙන් ටික දවසින් දවස මහරජුගේ ගුණ කියා රෝගියාගේ සිත වෙනසකට පත්කොට එක්‌ දිනෙක සියලු විස්‌තරම පවසා 'ඔබට මේ සියලුම උපස්‌ථාන මා ලවා කරවූයේ බුද්ධදාස මහරජතුමා' යෑයි පැවැසීය. 'එතුමා මෛත්‍රී සහගත උත්තමයෙකි. දස රාජ ධර්මයෙන් රට කරවන්නෙකි. මිනිසුන්ට පමණක්‌ නොව තිරිසන්ගත සතුන්ටද අවශ්‍ය උවටැන් කරන්නෙකි. ඔබ එදා එතුමාට බණින ආකාරය අසා ඔබගේ වෛරය සන්සිඳවිය යුතු යෑයි මා සමග කතිකා කොට මේ සියලු ඇප උපස්‌ථාන සඳහා මට නියම කළේය. ප්‍රනීත ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි හා සේවිකාවන් පිළියෙල කිරීමට උපදෙස්‌ ලෙද ලද්දේද ඒ සඳහා වැටුප් දෙන ලද්දේද රජතුමන් විසින්. එපමණක්‌ නොවේ පසුගිය මාසවල ඔබගේ දිවා භෝජනයත්, රාත්‍රී වේලත් රජතුමාගේ රාජභෝජනයෙන්ම එවන ලද ඒවාය. ඔබට අවශ්‍ය නම් තව ඕනෑම සැප පහසුකමක්‌ සපයාදීමට රජතුමා කැමැත්තෙන් සිටිනවා. එපමණක්‌ නොවේ, දිවි ඇති තෙක්‌ ඔබට සැලකීමට රජු සතුටින් ඉදිරිපත්ව සිටී. එබැවින් බිය නොවන්න යෑයි රෝහිත රාජදූතයා පවසත්ම කුෂ්ඨ රෝගියා විමතියට පත්විය. ඔහුගේ දෙනෙතින් සෙනෙහබර සතුටු කඳුළු වැගිරෙන්නට විය.

'අනේ බුද්ධදාස රජතුමාට එතුමා පතන බුදු බවම ලැබේවාෘ එතුමා කෙරෙහි මගේ කිසිම වෛරයක්‌ නැහැ' යි කඳුළු වගුරුවමින් මහරජතුමාට දන්වනු මැනැවයි රෝහිතගෙන් ඉල්ලා සිටියේය. මේ තොරතුරු ඇසීමෙන් සතුටට පත් මහරජු, ඔහු මාලිගයට කැඳවා සුවපත් රෝගියාට තෑගි බෝග දී සතුටින් විසීමට කටයතු සැලැස්‌වීය. ඔහුගේ වෛරයද එයින්ම සන්සිඳුණේය. කරණීය මෙත්ත සූත්‍රයේ දැක්‌වෙන පරිදි බුද්ධදාස මහරජතුමා මෛත්‍රිය තම පැවැත්මට යොදාගත් අයුරු මෙයින් පැහැදිලි වේ.

මෙවන් අයුරින් මෙත් සිත් වැඩීමට, කෙතරම් උසස්‌ අයුරින් මෛත්‍රී සහගත මනෝ කර්මයන්, වාග් කර්මයන් සහ කාය කර්මයන් දියුණු කරගෙන සිටියේද යන්න මෙම ඓතිහාසික කතා පුවතින් මනා ලෙස දැක්‌වෙයි. බුද්ධදාස රජතුමාගේ සත්කාරය ලැබ සුවපත්වූ මෙම කුෂ්ට රෝගියා පසුකලෙක රජතුමාගේ මරණය ඇසීමෙන් දරාගත නොහැකි ශෝකයෙන් යුතුව එකෙණෙහිම ළය පැලී මියගිය බවද මහාවංශයෙහි සඳහන් කොට ඇත. භවාන්තරගත වෛරයක්‌ අවසන්කරගත් ආකාරය මෙම කතා ප්‍රවෘත්තිය අපට ද කියාපායි.

අග්ගමහා පණ්‌ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ ධර්මදේශනාවක්‌ අසුරිනි.

සටහන - සනත් ලියනගේ

සිදුරු පහක්‌ වසා හයවැනි සිදුරෙන් පමණක්‌ අත දමා විමුක්‌තිය අල්ලාගැනීම

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

කඩේට යන විට, වැසිකිළි කැසිකිළි යන විට, ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී මේ කමටහනේ ම ඉන්න බැහැ. සාමාන්‍යයෙන් දක්‌ෂ නැහැ. මේක හැම තැන දි ම කරන්න බැහැ. ඒ නිසා, ඒ වේලාවට පරිහරණය කරන්න, මනස රැක ගන්න, නීවරණ ධර්ම උපදින්නේ නැති විදිහට කමටහන් තබාගන්නවා. ඒකට කියනවා පරිහාරිය භාවනාව කියලා. ඒකට අතුරු නමක්‌ විදියට කියනවා චතුරාරක්‌ෂක භාවනාව කියලා. බුදුගුණ, අශුභය, මරණය, මෛත්‍රිය තමයි ඒ හතර. 

ලෝකයේ චරිත හයක්‌ තියෙනවා. රාග චරිත, දොaස චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්‌ක චරිත කියලා. මේ වාගේ ඕනෑ ම චරිතයකට ගැලපෙන කමටහන් හතරක්‌ තමයි මේ චතුරාරක්‌ෂක භාවනා. ලෝකය තුළ හැසිරෙද්දී, වැඩ කටයුතු කරද්දී, ආවරණීය ධර්ම ඇති නො වන විදිහට මේ හතර තමන්ගේ ආරක්‌ෂාවට තියා ගන්නවා. මොකද, අර වගේ සියුම් බොඡ්ධංග භාවනාවක්‌ කරන්න අමාරුයි ඒ වේලාවට. ඒ වෙලාවට සති නිමිත්තේ ම සිත තියාගන්න ඕන. කුමන භාවනාවක්‌ කළත්, සති නිමිත්තේ ම තියාගෙන, සති නිමිත්ත ඇසුරු කරමින්, දැඩි අවධානයෙන් ම කළ යුතුයි. 

ඉරියව් පැවැත්ම තුළ දී කෙලෙස්‌ අඩු වෙන තරමට, ඒ ටික පහසු වෙනවා. අපි කියමු දැන් කඩේට යන්න වෙනවා. නගරයට යන්න වෙනවා. කඩේ යැම තුළ නුවණින් කඩේ යනවා. බුද්ධිමත් ව කඩේ යනවා. මෝඩකමට කඩේ යනවා කියලා එකක්‌ තියනව ද? හොඳයි කොහොම ද බුද්ධිමත්කමට කඩේ යන්නේ? කොහොම ද මෝඩකමට කඩේ යන්නේ? මෙහෙමයි. ඒ ක්‍රියාව තුළ ඇති කරගන්නා මානසික මට්‌ටමින් ඒ ක්‍රියාව නම් කරනවා.

අපි කියමු කඩේ යන්න ඉස්‌සෙල්ලා අරමුණක්‌ අරමුණක්‌ ගනේ රාග ෙච්තනා ඇති කරගන්නේ නැති ව ඉන්න තාම ඔබට හයිය නැහැ. ඒ බව ඔබ දන්නවා. ඉතින් ඔබ කල්පනා කරනවා කඩේ ගිහිල්ලා එනකොට ලාමක කෙලෙස්‌ ධර්ම ඇති වෙන්න පුළුවන්. ඊට ඉස්‌සෙල්ලා මම සිහියෙන් යන්ඩ ඕන. තමාව රැකගෙන යන්න ඕන කියලා. 

ලෝකය දිහා බැලුවත්, එයා තමන් ගේ දිහා බලාගෙනයි ඉන්නේ. හැම වේලාවෙ ම එයා තමන් ගේ පැත්තට නැමිලා, හැරිලා ඉන්නේ. ඒ කියන්නේ "රාග, ද්වේෂ, මෝහ අකුසල ධර්ම ඇති නො වෙන විදිහට මං ගිහින් එනවා" කියන තැනකින් ඉන්න වෙනවා. බුදුගුණ සිහි කර කර යනවා. ගිහිල්ලා බඩු ටිකත් අරගෙන එනකොටත් එහෙමයි එන්නේ. 

මේ විදියට කළා ම කෙලෙස්‌ ඇති වෙන්න කලින් ම, තමන්ව රැකගන්නවා. එහෙම ගියා ම නුවණින් ගිහිල්ලා ආව කියනවා. එහෙම තමන්ව රැකගන්නේ නැතිව, වටපිට බල බල, දකින දකින අරමුණට පැටලි පැටලී, රාග, ද්වේෂ, මෝහ ඇති වෙවී යන එකට කියනවා මෝඩකමට ගිහිල්ලා ආවා කියලා. එතකොට මෙතැන දී වගේ නුවණින් ඉරියව් පරිහරණය කරන එකට කියනවා පාරිහාරිය භාවනාව කියලා. 

ඒ විදිහට ඉරියව් පරිහරණය කරන කොට, ඊට පස්‌සේ එක තැනක ඉඳගෙන ඉන්න කොට ආපහු තමන් ගේ අර හුරු පුරුදු කමටහනට එනවා. 

දැන් මේ ටික කරන කොට ළිඳේ තියෙන මඩ සහිත, කුණු සහිත ජලය අයින් වෙනවා වගේ, වැඩ කටයුතු කරද්දීත් එක තැන ඉඳගෙනත් මෙහෙම පුළුවන් තරම් උත්සාහවත් වෙනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. හොඳ බැම්මක්‌ දැම්මා වගේ. නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම අඩු වුණා, දුරු වුණා කියලා කියන්නේ හිතේ විසිරුණුකම ගිහිල්ලා, හොඳ චිත්ත ඒකාග්‍රතාවක්‌ ඇති වෙනවා. හිත එකඟ වෙනවා. කෙලෙස්‌ කුණු ගියා ම හිත සමාධිගත තත්ත්වයකට පත් වෙනවා. නීවරණ ධර්ම දුරු වුණා ම සිත පිරිසිදු වෙනවා. හිත එකඟ වෙනවා. ළිඳ ඉහින කොට පිරිසිදු වතුර ආවා වගේ, ඒ වතුර ම අරගෙන ළිඳ හෝදනවා වගේ ඒ උපන්න සමාධිය ම උදව් කරගෙන විදර්ශනා කරනවා. ස්‌කන්ධයන් ගේ උදය වැය නුවණින් බලනවා. 

මේ හේතුවත්, මේ හේතුව නිසා හටගන්නා ඵලයත්, හේතුව නැති වුණොත් මේ ඵලය නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ හේතු ඵල දහම දැකලා, හටගත්ත දෙයක්‌ තියනවා නම්, නැති වෙනවා කියන දැනුම ඇවිල්ලා කෙලෙසුන් ගෙන් ආශ්‍රවයන් ගෙන් මනස මිදෙනවා. 

මේ දහම ඉතා දක්‌ෂ මනසක්‌ තියෙන කෙනාට හරි ම ලෙසි දෙයක්‌. බැරි වුණොත් ඒ තරම් අමාරු දේකුත් තව නෑ. හරියට අදින ගැට වාගෙයි. අදින පැත්තෙන් ඇද්දොත් ලිහෙයි. ඉතින් මේ දහම අවබෝධ කරගන්න ගිහිල්ලා ගැටේ අනිත් පැත්තෙන් එහෙම ඇද්දොත් ඒකමයි තද වෙන්නේ. කොහෙට වත් යන්නේ නැහැ. 

ඉතින් මෙතැන දී නැත්නම් නිවන් දකිනවා කියන නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය විතර සරල, පහසු, වෙන එක දෙයක්‌ වත් නැහැ. බැරි කෙනාට ඒ විතර ගැඹුරු වෙන එක ම දෙයක්‌ වත් නෑ වගෙයි. ඉතින් මා පොඩි උපමාවක්‌ කියලා විදර්ශනා කරන හැටි මතක්‌ කරන්නම්. හැබැයි ගැඹුරුයි. 

මා පොඩි කතාවක්‌ කියලා ම විදර්ශනා කරන හැටි කියන්නම්.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ඡේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේ දී සැවැත් නුවර හිටියා යාළුවෝ දෙන්නෙක්‌. එක්‌කෙනෙක්‌ ටිකක්‌ වයසයි. එක්‌කෙනෙක්‌ ටිකක්‌ තරුණයි. නමුත් දෙන්නා හරි යාළුයි. දෙන්න ම ඡේතවනාරාමයට යන පිරිසකට එකතු වෙලා බණ අහන්න හෙම යනවා. බොහොම ශ්‍රද්ධාවෙන් බණ අහනකොට මේ දෙන්න ම කල්පනා කරනවා. "ගිහි ජීවිතේ නම් කරදර වැඩියි. ප්‍රශ්න වැඩියි. සම්බාධක වැඩියි අපි දෙන්න ම මහණ වෙමු ද" කියලා. එක්‌කෙනෙක්‌ ටිකක්‌ වයස වුණාට, අනෙක්‌ කෙනා තරුණ වුණාට, දෙන්නා ගේ ම අදහස්‌ බොහෝ ම දැහැමියි. දෙන්නා අනුමත කළා ඒක හොඳයි කියලා. 

යාළුවෝ දෙන්න ම එකට ඇවිල්ලා මහණ වුණා. මහණ වෙලා බණ දහම් ඉගෙනගන්න ගුරුවරුන් ළඟට ගිහිල්ලා අහනවා. "ස්‌වාමීනි, මේ ශාසනේ කෙතෙක්‌ ධුර තියෙනවා ද? කොහොම ද කොහොම ද යෙදෙන්න පුළුවන් මේ ශාසනේ?" එතකොට ස්‌වාමීන් වහන්සේලා කියනවා "මේ ශාසනේ තියනවා ග්‍රන්ථ ධුර හා විදර්ශනා ධුර කියලා දෙකක්‌. හොඳට ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන ඒවා අනුන්ට උගන්වමින් ශාසනයට සේවයකුත් කරලා, පසුව නිවන් දකින්න කෙනෙකුට පුළුවන්. එහෙම නැත්නම් තනියම, එහෙම ත්‍රිපිටක ධර්මය ගොඩාක්‌ ඉගෙනගන්න කාලය ගත කරන්නේ නැතිව, තමන් ගේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ කරුණු ටික විතරක්‌ ඉගෙනගෙන භාවනා කරන්නත් කෙනෙකුට පුළුවන්. 

වයසක හාමුදුරුවෝ "මම දැන් වයසයි" මට ග්‍රන්ථ ධුරය කරන්න අමාරුයි. මම මගේ විමුක්‌තියට අදාළ කරුණු ටික විතරක්‌ ඉගෙනගෙන භාවනා කරන්නම්" කිව්වා. "ලෝකයටත් සේවයක්‌ කරලා ම මාත් නිවන් දකින්නම්" කියලා තරුණ කෙනා කිව්වා. දැන් ඔහොම දෙන්නා දෙපැත්තට ගියා.

අර තරුණ ස්‌වාමීන් වහන්සේ හරි දක්‌ෂයි. නොබෝ කලකින් ත්‍රිපිටකය ම කට පාඩම්. කටපාඩම් කියන්නේ, අහවල් නිකායේ අහවල් සඟියේ අහවල් වග්ගයේ තියෙන සූත්‍රය මොකක්‌ ද කියලා ඇහුවොත් කිව්ව හැකි. ආයෙ පොත් බල්නන ඕන නැහැ. සම්පූර්ණ කටපාඩම්. දැන් මෙයා ත්‍රිපිටකය ම කටපාඩම් කරලා ගෝලයන්ට උගන්වනවා. ගෝලයෝ පන් සීයකුත් ඉන්නවා දැන්. ඒ අයත් බොහොම ගෞරව කරනවා. ගුරු හාමුදුරුවන්ට හොඳට වතාවත් කරනවා.

දැන් අර වයසක හාමුදුරුවෝ පැත්තකට ගිහිල්ලා තමන් ගේ වැඩක්‌ කරගෙන ඉන්නවා. ටිකක්‌ යනකොට අර තරුණ හාමුදුරුවන්ට හරි මාන්නයක්‌ ආවා තමන් ගේ දක්‌ෂකම, ඉගෙනීම ඒ වාගේ ම තමන් ගේ පිරිස දිහා බලලා. දෙන්නා ම එකට ශාසනයට ආවාට, මගේ යාළුවාට මොකුත් නෑ නේ. මට මෙච්චර හැකියාවල් තියනවා කියලා යාළුවට පෙන්නන්ඩ ඕන කියලා හිතුණා අර තරුණ යාළුවාට. තරුණ යාළුවා ගේ නම පෝටිල. ඊට පස්‌සේ මෙයා කල්පනා කළා "මගේ යාළුවත් එක්‌ක මා පොඩි වාදයක්‌ කරන්න ඕන. වාදයක්‌ කරලා මගේ යාළුවාට වඩා මා දන්නවා කියලා පෙන්නන්න ඕන, පරද්දන්න ඕන. මෙයාට ලඡ්ජා කරවන්න ඕන. කියලා හිතුණා. ඊට පස්‌සේ පණිවිඩයක්‌ යෑවුවා යාළුවාට, අර වයසක හාමුදුරුවන්ට, "මම එනවා. අපි දෙන්නා පොඩි ධර්ම සාකච්ඡාවක්‌ කරමු. වාදයක්‌ කරමු" කියලා.

දැන් අර වයසක හාමුදුරුවෝ හම්බ වෙන්න මේ තරුණ හාමුදුරුවෝ එද්දී බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්‌කා මේක. ඒකාන්තයෙන් අර වයසක හාමුදුරුවෝ පරාද වෙනවා. මේ ප්‍රශ්න අහන්න ගියහම කියලා. මේ තරුණ හාමුදුරුවෝ, පෝටිල හාමුදුරුවෝ අකුසලයකුත් සිද්ධ කරගන්නාවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ ඊට කලින් එතැනට වැඩියා. වැඩලා පනවපු ආසනේ ඉන්නකොට, ඔන්න අර තරුණ හාමුදුරුවොත් පෝටිලල හාමුදුරුවෝ - එතැනට ආවා. දැන් ඔන්න වයසක හාමුදුරුවොයි තරුණ හාමුදුරුවොයි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තරුණ හමුදුරුවන් ගෙන් සූත්‍ර පිටකයෙන් ප්‍රශ්න ඇහුවා. ක්‍ෂණික ව උත්තර දුන්නා. විනය පිටකයෙන්, අභිධර්ම පිටකයෙන් ප්‍රශ්න ඇහුවා. ක්‍ෂණිකව උත්තර දුන්නා. අහන අහන ප්‍රශ්නවලට වේගයෙන් උත්තර දුන්නා. හැබැයි මාර්ග ඵල පැත්තෙන් ප්‍රශ්න ඇහුවා. මොකුත් බෑ. මාර්ගඵල පැත්තෙන් ප්‍රශ්න ඇහුවා - මොකුත් බෑ. 

ඉතින් වයසක හාමුදුරුවන් ගෙන් මාර්ගය ගැන, ඵලය ගැන විමුක්‌තිය ගැන, නිවන ගැන ප්‍රශ්න ඇහුවා. අහන අහන එකට හොඳට උත්තර දුන්නා. එයා ගෙන් ත්‍රිපිටකයෙන් ප්‍රශ්න ඇහුවේ නැහැ.

ඉතින් දැන් ඊට පස්‌සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ පෝටිල - මේ තුච්ඡ පෝටිල හිස්‌ පුරුෂයෙක්‌ කියලා, මෙයා අනුන් ගේ හරක්‌ බලන කෙනෙක්‌ වගේ කියලා. ඒ කියන්නේ අනුන් ගේ හරක්‌ බලන කෙනා උදේ ඉ`දන් හවස්‌ වෙන තුරු ම හරක්‌ ටික අරගෙන පිට්‌ටනි ගානේ ඇවිදලා, තණකොළ කවලා, වතුර පොවලා, 

හරියට මහන්සි වෙලා සවසට හරක්‌ ටික ගිහිල්ලා දානවා. ගව හිමියා කිසි ම මහන්සියක්‌ නැති ව ගෙදරට වෙලා කිරිත් බොනවා, ගිතෙලුත් වළ`දනවා, වෝඩරුත් ගන්නවා, ගෝරෝචන, ඔය වගේ පස්‌ගෝ රස ම වළඳනවා. අරයාට අච්චර මහන්සිවෙලත් ලැබෙන්නේ දවසකට වැටුපක්‌ වශයෙන් කීයක්‌ හරි විතරයි. 

ඒ වගේ මේ පෝටිලත් අනුන් ගේ හරක්‌ බලන්නෙක්‌ වගේ අනුන්ට බණ දහම් කියලා දෙන එකට අනුන් ගෙන් දානේ ටිකක්‌ ගෙනත් දෙනවා, වතක්‌ පිළිවෙතක්‌ ලැබෙනවා මිසක, පඩියක්‌ ලැබෙනවා මිසක, මේ ශාසනේ කිසි ම රසයක්‌ ලැබෙන්නේ නැහැ. මගේ පුතා හරියට ගව හිමියා වගෙයි කියලා අර වයසක හාමුදුරුවෝ පෙන්නනවා. මෙයා හරියට ගව හිමියා වාගෙයි. වෙහෙසක්‌ නැතිව ම පස්‌ගෝරස වළඳන ගව හිමියා වගෙයි කියලා අර මහළු හාමුදුරුවන්ට ප්‍රසංසා කරනවා. 

ඉතින් පෝටිල හාමුදුරුවෝ හරියට කලකිරෙනවා. හරි දුක හිතෙනවා. "මෙච්චර ත්‍රිපිටකය ඉගෙනගෙන, මෙච්චර ගෝලයන්ට උගන්වලා. ගෝලයන් හදපු මටත් බුදුරජාණන් වහන්සේ තුච්ඡ පෝටිල කියලා කිව්වා. එහෙනම් ඉතින් මේකේ තවදුරටත් ඉඳීමේ තේරුමක්‌ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මුකුත් උගන්වපු නැති, නමුත් දහමේ හැසිරෙච්ච කෙනාට "මගේ පුතා" කියලා කිව්වා. මට "තුච්ඡ පෝටිල" කියලා කිව්වා. මාගේ මේ ඉගැන්වීමත් මේ දැනුමත් ඵලක්‌ නෑ කියලා තමන් ගැන ම හරියට කලකිරුණා. කලකිරී එතැනින් නැගිටලා පාත්තරෙත් සිවුරත් අරගෙන තමන් ගේ ගෝලයන්ටත් කියන්නේ නැති ව, තමන් ගේ වෙහෙරටත් යන්නේ නැතුව එහෙම ම පිට පාරේ යොදුන් සිය ගණනක්‌ ඈත තැනකට ගියා. 

ගිහිල්ලා එතැන විහාරස්‌ථානයකට ගිහිල්ලා ඒ විහාරස්‌ථානයේ හාමුදුරුවන්ට කිව්වා."ස්‌වාමීනි, මට භාවනා කරන්න ඕන. මට කමටහනක්‌ දෙන්න" කියලා. මෙයා ගේ ස්‌වාභාවයෙන් ම හිත ටිකක්‌ මාන්න සහිතයි. තවදුරටත් මාන්නය අඩු කරන අදහසින් ඒ හාමුදුරුවෝ කිව්වා. "මගෙන් නොවෙයි, අනික්‌ පොඩි හාමුදුරුවන් ගෙන් ගන්න" කියලා. ඒ හාමුදුරුවෝ ළඟට ගිහාම "මගෙන් නො වෙයි අන්න අර පොඩි හාමුදුරුවන් ගෙන් ගන්න" කිව්වා. ඔහොම ඔහොම ගියහම, කිව්වා "මගෙන් නොවෙයි අර පොඩි හාමුදුරුවන් ගෙන්" කියලා. හත් හැවිරිදි වයසේ පොඩි හාමුදුරවන් ගාවට ගිහිල්ලා කමටහන් ඉල්ලුවහම කිව්වා "හොඳයි මං කමටහන් දෙන්නම් හැබැයි මම කියන දේ කරනව ද ඇහුවා. "ඕව්" කිව්වා. (පෝටිල හාමුදුරුවෝ කියන්නේ උපසම්පදා, හොඳට වැඩිහිටි ගුරු හාමුදුරු නමක්‌) "එහෙනම් අර පේන මඩ වළට බැහැලා එන්න. කියලා පොඩි හාමුදුරුවෝ මඩ වළක්‌ පෙන්නුවා. ඉතින් දැන් මේ පෝටිල හාමුදුරුවෝ මානය ඔක්‌කොම අතහැරලා මඩ වළට බහින්න යනකොට සිවුර තෙමෙන මට්‌ටමට යනකොට, අනේ, ස්‌වාමීනි, වඩින්න කියලා කතා කරලා දැන් මේ පොඩි හාමුදුරුවෝ උපමාවකින් කමටහන් කියලා දෙනවා. 

එක්‌තරා සිදුරු හයක්‌ තියෙන හුඹහක්‌ තියෙනවා. ඔය හුඹහට තලගොයෙක්‌ යනවා. මේ තලගොයා අල්ලගන්න ඕන වෙන කෙනෙක්‌ ඇවිල්ලා මේ හුඹහේ සිදුරු පහක්‌ වහනවා. සිදුරු පහක්‌ වහලා එක සිදුරකින් අත දාලා තලගොයා අල්ලගන්නවා. ඔය වගේ මේ ලේ, අසූචිවලින් හැදුණු, කන බොන ආහාර නිසා හැදුණු, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතූන් ගෙන් යුක්‌ත මේ ශරීරයේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන සිදුරු හයක්‌ තියනවා. මේකෙන් ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන සිදුරු පහ වහලා අවධානය යොමු නො කර මනෝ විඤ්Æණ සම්ඵස්‌සය නමැති මේ එක ම සිදුර හරහා අත දාලා විමුක්‌තිය නැමැති තලගොයා අල්ලගන්නවා." කියලා කමටහන් දුන්නා. කමටහන් අරගෙන පැත්තකට ගිහිල්ලා භාවනා කරලා නොබෝ දිනකින් පෝටිල හාමුදුරුවෝ මහ රහතන් වහන්සේ නමක්‌ බවට පත් වුණා.

ඉතින් මම මේ කතාව කිව්වේ සමාධිගත බව ඇති වෙන්නත් එක්‌කයි.
Related Posts Plugin for WordPress, Blogger...