රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

මෛත්‍රිය නිසා භවාන්තරගත වෛරයක්‌ සංසිඳේ...

පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි

'තිට්‌ඨං චරං නිසින්නෝවා
සයානෝවා යාවතස්‌ස විගත මිද්ධෝ
ඒතං සතිං අධිට්‌ඨෙය්‍ය 
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු'

තිට්‌ඨං - සිටගෙනද, චරං - යන එන ගමන් කරන විටද, නිසින්නෝවා - හිඳගෙනද, සයානෝවා - නිදාගෙනද, යාවතස්‌ස විගත මිද්ධෝ - නින්ද යනතුරුද. ඒතං සතිං - මේ මෛත්‍රී සහගත සිහියම, අධිට්‌ඨ්‍ය - සිතේ රඳවාගත යුතුය.

කරණීය මෙත්ත සූත්‍රයේ එන මෙම නව වැනි ගාථාවෙන් දැක්‌වෙන්නේ මෛත්‍රී සහගතව ජීවත්වන ආකාරය ගැනයි. මෛත්‍රිය ඉඳගෙන ඉන්න වෙලාවටද, ගමන් කරන විටද, එකතැනක සිටගෙන සිටින විටද නිදාගත් විටට නින්ද යනතුරුද වැඩිය හැකිය. මෙත් සිත ඇති කරගැනීම කවර වේලාවක වුවද කළ හැක්‌කක්‌ බව මෙයින් පැහැදිලි වේ. තමන්ගේ පටන් සකලවිධ ලෝකයා වෙතම සකල සත්ත්ව ප්‍රජාව කෙරෙහිම මේ මෙත් සිත වැඩිය හැකිය. ඒ සඳහා අරඤ්ඤගතෝවා . රුක්‌ඛමූලගතෝවා - සුඤ්ඤගාර ගතෝවා යි දැක්‌වෙන පරිදි වනාන්තරයකට, මහ ගසක්‌ මුලට, ජන ශූන්‍ය ප්‍රදේශයක විවේක ආරාමයකටම යා යුතු නැත. මෙයින් අදහස්‌ කරන්නේ දෛනික කටයුතු කරන කියන අවස්‌ථාවලදීද මෙත් සිත ඇති කරගෙන ක්‍රියාකළ හැකි බවයි. ඊර්ෂ්‍යා, ක්‍රෝධ සිත්වලින් තොරව ප්‍රියශීලී නම්‍යශීලී වචන භාවිත කරන, තව කෙනකුට පීඩනයක්‌ ඇති නොවන පරිදි ක්‍රියාකරන විට, එම ගුණයද මෛත්‍රියෙහි ප්‍රධාන ලක්‌ෂණ වන්නේය. එවන් අයුරින් එදිනෙදා කටයුතු කිරීමට තම ජීවිතය හැඩගස්‌වා ගැනීම මෛත්‍රී විහරණයක්‌ , හැසිරීමක්‌ සේ සැලකිය යුතුය.

මෛත්‍රියට මෙතරම්ම ඉහළ තැනක්‌ දී ඇත්තේ මෙත් වඩන්නා සදාකාර සම්පන්න පුද්ගලයකු වන නිසාය. මෙත් සිත් ඇති පුද්ගලයා ප්‍රසන්න අයෙකි. තව කෙනකුගේ අඩුපාඩු නොදකින්නෙකි. නොකියන්නෙකි. එකිනෙකා පිළිබඳව විවේචන ද ඔහු තුළ නැත. ඔහුට හෝ ඇයට පෙනෙන්නේ කෙනකුගේ හොඳ පැත්ත පමණි. ගුණය පමණි. කලක්‌ ගත වනවිට ඉබේම ඔහුට අන් අයගේ අඩුපාඩු නොපෙනෙ ගතියක්‌ද ඇති වේ. 

තමාගේ අඩුපාඩු සකස්‌ කර ගැනීම මේ මෛත්‍රී සහගත පුද්ගලයාගේ හෝ කාන්තාවගේ ස්‌වභාවය බවට පත්වන්නේය. මෙසේ සෞම්‍ය ගති පැවතුම්වලින් යුක්‌ත වන ඔහුගේ හෝ ඇයගේ පුදුමාකාර ගුණාත්මක ගති පැවතුම් ඇති වන්නේය. හෙතෙම ගමනක්‌ බිමනක්‌ යන විටද වල්පල් දේ ගැන නොසිතා සැමටම යහපතක්‌ වේවායි යන මෙත් සිත ඇතිකර ගනී. කවුරුන් හෝ හොඳට තනාගත් ගෙයක්‌ දොරක්‌ දකින විටද සතුටක්‌ ඇති වේ. එය මෛත්‍රියටම සම්බන්ධ මුදිතා ගුණයේ ස්‌වභාවයයි. මේ අයුරින් අපට අපේ ජීවිත සකස්‌ කර ගත හැකි නම් එය සමාජයට කෙතරම් උසස්‌ සහනයක්‌ වනු ඇතිද යන්න කාහට වුවද වටහාගත හැකිය. මේ මෛත්‍රිය නියම අයුරින් හැදැරීමක්‌ නොකරන බැවින් බොහෝ දෙනා සිතා සිටින්නේ සැමට සැපතක්‌ වේවායි පමණක්‌ සිතීමම මෛත්‍රිය බවයි. එය එසේ නොවන බව මහාවංශයේ 37 වැනි පරිච්ඡේදයේ එන පහත කතා පුවතින් පැහැදිලිව තේරුම් ගත හැකිය. මේ සිද්ධිය තවත් පුරාවෘත කිහිපයකද සඳහන් වේ.

ක්‍රි.ව. 332 සිට අවුරුදු 9 ක්‌ මෙරට රාජ්‍යය කළේ දෙටුතිස්‌ රජතුමාය. එතුමාගේ අභාවයෙන් පසු ඒ රජුගේ පුත් කුමරා වන බුද්ධදාස කුමරු රජකමට පත් විය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 39 කි. මෙතුමා සිංහල, පාලි, සංස්‌කෘත ආදී භාෂාවන් පමණක්‌ නොව වේද, වේදාන්ත පිළිබඳවද දැනඋගත් කෙනෙක්‌ වූ අතර, කුඩා කල දඹදිව ගොස්‌ උත්තර භාරතයේ නාලන්දා මහා සරසවියෙන් වෛද්‍ය ශාස්‌ත්‍රයෙහිද පර තෙරට ගිය කෙනෙකි. බුදුදහමින් ලද නිසි ආභාෂය නිසා පිරුණු කරුණාවකින් යුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දසරාජ ධර්මයෙන් රට පාලනය කළ කෙනෙක්‌ බව අපේ වංශකතාවෝ නොමසුරුවම පැහැදිලිව දක්‌වා ඇත. බුද්ධදාස රජතුමාගේ පියාගේ පියා වන කිත්සිරිමෙවන් රජතුමා නාලන්දා සරසවියට ඉඩකඩම් මිලදීගෙන පරිත්‍යාග කළ ශිලා ලේඛන මේ දක්‌වා නාලන්දාවෙහි ඇත. දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ ලක්‌දිවට රැගෙන ආවේ මේ රජුගේ කාලයේදීය. මෙසේ පියමුතු පරපුරෙන් ආ ආභාසය අනුව බුද්ධදාස රජතුමාද දිනපතා උදේa සවස දළදා පූජාව පවත්වමින් මහා සංඝයාටද ඇප උපස්‌ථාන කරමින් රට පුරා වෛද්‍ය සේවාව ව්‍යාප්ත කරමින් ගොවිතැන් බත් නඟාසිටුවමින් රට ස්‌වයංපෝෂිත කළේය. එතුමා තිරිසන් සතුන්ට පවා ගිලානෝපස්‌ථානය කළ බව කුසේ ගෙඩියක්‌ නිසා පීඩිතව සිටි නාගයකුට එතුමා විසින්ම සැත්කමක්‌ කර සුවපත් කරවීමේ සිද්ධියෙන් මනාව පැහැදිලිය.

දිනක්‌ බුද්ධදාස රජතුමා සර්වාභරණයෙන් සැරසී, මංගල හස්‌තිරාජයා පිට නැඟී මහත් වූ රාජ තේජසින් යුතුව ගමන් කරද්දී මහමඟ අයිනේ සිටි මධ්‍යම වයසේ විරූපී කුෂ්ට රෝගියෙක්‌ මෙසේ බණින්නට පටන් ගත්තේය. 'මේ බුද්ධදාසයා මගේ මෙහෙකරුවෙක්‌, මොකක්‌දොa පිනකින් අද රජකමට පත්වෙලා. මා ඉදිරියේම මට කිසි ගරුසරුවක්‌ නැතුව මඟුල් ඇතු පිට නැඟී යනවා. මට අහුවුණොත් මූ අල්ලා මරා මුගේ ලේත් බොනවා වසලය, බැහැපිය ඇතු පිටින්ෘ මා මෙතන සිටින බව තට නොපෙනේද? 

මෙසේ අපහාසාත්මකව මේ හිඟන කුෂ්ඨ රෝගියා තොරතෝංචියක්‌ නැතිව දිගටම බණින්නට විය. සිය ගණනක්‌ මිනිසුන්ද අසා සිටිති. රජතුමාට මෙය ඇසුණේය. එතුමා කුපිත නොවී කල්පනා කරනුයේ 'මමමේ රටේ මහ රජුය. මට මෙසේ කතාකරන්නට කිසිදු කෙනෙක්‌ තවත් නැත. මේ කුෂ්ට රෝගියාගේ ස්‌වරූපයෙන් පෙනෙන්නේ මොහු මගේ සංසාරික වෛරක්‌කාරයෙක්‌ බවයි. මගේ මෛත්‍රී බලයෙන් මොහු නම්මවාගෙන සංසාරික වෛරය මේ භවයේදීම අවසන් කරගත යුතු යෑයි සිතා රාජදූතයකුට කතාකොට 'රෝහිත' මහමඟ අයිනේ බිම වැටී සිටිමින් තද වෛරයකින් මා හට දොස්‌ පරොස්‌ කියන කුෂ්ට රෝගියා වෙත යන්න. මිත්‍ර ලීලාවෙන් ඔහු සමග කතාකරන්න. ඔහු සමග එකතුවී ඔබත් මටම දොස්‌ කියා දැඩි ලෙස මිත්‍රවී ඔහුට සලකා අද සවස්‌ භාගයේ මා වෙත පැමිණ සියලු තොරතුරු දන්වන්න' යෑයි නියෝග කළේය.

රෝහිත රාජ දූතයා ද රජු උගන්වන ලද ආකාරයටම යාචකයා වෙත ගොස්‌ අප දෙදෙනාම එක්‌ව බුද්ධදාසයා විනාශ කරමු' යෑයි සාකච්ඡා කළහ. මෙම රෝගියා රෝහිත සමග දැඩි ලෙස මිතුරු විය. 'මොහු නම් මගේ සංසාරගත වෛරක්‌කාරයෙක්‌' ම යෑයි තොරතුරු අසා අවබෝධ කරගත් රජතුමා රාජදූතයාට මෙසේ කීය.

'ඔබ අද සවසම ඔහු සුදුසු නිවසකට ගෙන යා යුතුයි. අද සිට හත් අට මසක්‌ මොහුට නේවාසික පහසුකම් ඉතා ඉහළින්ම සපයා, දිනපතා උණුවතුරෙන් නාවා මා නියම කරන ඖෂධ වර්ග දී, ඔහු සුවපත් කළ යුතුය. ඉතා සුව පහසු ඇඳක ඇතිරිලි යොදා ඇමැතිවරයකුට සේම පහසුකම් ලබාදිය යුතුය. දිනපතා රාජ මාළිගාවෙන් රාජ භෝජනයම ගෙන ගොස්‌ අනුභව කරවිය යුතුයි. දිනපතාම ඔහු සමග සුහදව කතාබස්‌කර දිනපතාම මට ඔහුගේ තොරතුරු දැන්විය යුතුයි. මේ සඳහා සියලු වියදම් රාජ මාලිගාවෙන් ලැබෙනවා ඇත.'

රජුගේ මෙම උපදෙස්‌ පරිදි රෝහිත තෙමේ ඊටත් වැඩියෙන් සලකමින් නව යොවුන් කාන්තාවන් කිහිප දෙනෙක්‌ද යොදවා මොහු සතුටු කරවනු පිණිස නෑවීම්, කැවීම්, පෙවීම් සහ බෙහෙත් හේත් ගැල්වීමද කරවූයේය. මෙලෙස දෙතුන් මසක්‌ ගත වෙත්ම මොහුගේ කුෂ්ඨය සුවපත් විය. පාට පෙනුම ඇති විය. 

දැන් ඔහු මහත් සේ ප්‍රීතිමත් පුද්ගලයෙක්‌ බවට පත් වීමෙන් අනතුරුව ටිකෙන් ටික දවසින් දවස මහරජුගේ ගුණ කියා රෝගියාගේ සිත වෙනසකට පත්කොට එක්‌ දිනෙක සියලු විස්‌තරම පවසා 'ඔබට මේ සියලුම උපස්‌ථාන මා ලවා කරවූයේ බුද්ධදාස මහරජතුමා' යෑයි පැවැසීය. 'එතුමා මෛත්‍රී සහගත උත්තමයෙකි. දස රාජ ධර්මයෙන් රට කරවන්නෙකි. මිනිසුන්ට පමණක්‌ නොව තිරිසන්ගත සතුන්ටද අවශ්‍ය උවටැන් කරන්නෙකි. ඔබ එදා එතුමාට බණින ආකාරය අසා ඔබගේ වෛරය සන්සිඳවිය යුතු යෑයි මා සමග කතිකා කොට මේ සියලු ඇප උපස්‌ථාන සඳහා මට නියම කළේය. ප්‍රනීත ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි හා සේවිකාවන් පිළියෙල කිරීමට උපදෙස්‌ ලෙද ලද්දේද ඒ සඳහා වැටුප් දෙන ලද්දේද රජතුමන් විසින්. එපමණක්‌ නොවේ පසුගිය මාසවල ඔබගේ දිවා භෝජනයත්, රාත්‍රී වේලත් රජතුමාගේ රාජභෝජනයෙන්ම එවන ලද ඒවාය. ඔබට අවශ්‍ය නම් තව ඕනෑම සැප පහසුකමක්‌ සපයාදීමට රජතුමා කැමැත්තෙන් සිටිනවා. එපමණක්‌ නොවේ, දිවි ඇති තෙක්‌ ඔබට සැලකීමට රජු සතුටින් ඉදිරිපත්ව සිටී. එබැවින් බිය නොවන්න යෑයි රෝහිත රාජදූතයා පවසත්ම කුෂ්ඨ රෝගියා විමතියට පත්විය. ඔහුගේ දෙනෙතින් සෙනෙහබර සතුටු කඳුළු වැගිරෙන්නට විය.

'අනේ බුද්ධදාස රජතුමාට එතුමා පතන බුදු බවම ලැබේවාෘ එතුමා කෙරෙහි මගේ කිසිම වෛරයක්‌ නැහැ' යි කඳුළු වගුරුවමින් මහරජතුමාට දන්වනු මැනැවයි රෝහිතගෙන් ඉල්ලා සිටියේය. මේ තොරතුරු ඇසීමෙන් සතුටට පත් මහරජු, ඔහු මාලිගයට කැඳවා සුවපත් රෝගියාට තෑගි බෝග දී සතුටින් විසීමට කටයතු සැලැස්‌වීය. ඔහුගේ වෛරයද එයින්ම සන්සිඳුණේය. කරණීය මෙත්ත සූත්‍රයේ දැක්‌වෙන පරිදි බුද්ධදාස මහරජතුමා මෛත්‍රිය තම පැවැත්මට යොදාගත් අයුරු මෙයින් පැහැදිලි වේ.

මෙවන් අයුරින් මෙත් සිත් වැඩීමට, කෙතරම් උසස්‌ අයුරින් මෛත්‍රී සහගත මනෝ කර්මයන්, වාග් කර්මයන් සහ කාය කර්මයන් දියුණු කරගෙන සිටියේද යන්න මෙම ඓතිහාසික කතා පුවතින් මනා ලෙස දැක්‌වෙයි. බුද්ධදාස රජතුමාගේ සත්කාරය ලැබ සුවපත්වූ මෙම කුෂ්ට රෝගියා පසුකලෙක රජතුමාගේ මරණය ඇසීමෙන් දරාගත නොහැකි ශෝකයෙන් යුතුව එකෙණෙහිම ළය පැලී මියගිය බවද මහාවංශයෙහි සඳහන් කොට ඇත. භවාන්තරගත වෛරයක්‌ අවසන්කරගත් ආකාරය මෙම කතා ප්‍රවෘත්තිය අපට ද කියාපායි.

අග්ගමහා පණ්‌ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ ධර්මදේශනාවක්‌ අසුරිනි.

සටහන - සනත් ලියනගේ
Related Posts Plugin for WordPress, Blogger...