රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

බෞද්ධ කතා

ජාතක කතා 550 ම කියවන්න

පන්සිය පනස් ජාතක කතා






Powered by දහම් විල
Share this page

සිත පහදවා දුන් දානයේ අනුසස්

දන් පිළිගැන්වීමේ අනුසස් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් අසා පැහැදුණු දඹදිව් වැසියෝ සිත් පහදවා ගෙන ගේ මිදුලෙහි පැන් සකසා තැබූහ. ශ්‍රමණ, බ්‍රාහ්මණයින්ට, දුගී මගී යාචකාදීන්ට හැකි පමණින් දන් පිළිගැන්වූහ. පන්සිල් සුරැකූහ. මේ අතර එක් ශ්‍රද්ධාවන්ත කුල දුවක් වූවාය. දිනක් සතර ඉරියව් පැහැදීම් ඇති, පිඬු පිණිස වඩින තෙරුන් වහන්සේ නමක් දුටු ඈ මහත් සේ පී‍්‍රති වූවාය. උන්වහන්සේ නිවෙසට පමුනුවා පසඟ පිහිටුවා වැඳ වැටුණාය. දොහොත් මුදුන් තබා වැඳ වැටුණාය. අසුනක් සකසා ඒ මත රන්වන් සිනිදු වස්ත්‍ර අතුරා පිළිගැන්වූවාය. තෙරුන් වහන්සේ එහි වැඩ සිටියහ.
“මා වෙත වැඩම කර සිටින්නේ උතුම් පින් කෙතකි” ඇය තව තවත් සිත පහදවා ගත්තීය. ඇති හැකි පමණින් ආහාරමය දානයක්ද පිදුවාය. විජිනිපතක් ගෙන පවන් සැලුවාය. තෙරුන් වහන්සේ සිත පහදවාගෙන කළ පින්කම් ගැන ඇයට පින් අනුමෝදන් කරවූහ. නුවනින් බණ ඇසූ ඇය පී‍්‍රතියෙන් යුතු වන්නී, උන්වහන්සේ වැඩ සිටි ආසනයද පුජා කළාය.
දුන් දානය පිළිබඳ නිතර පී‍්‍රතියෙන් සිතුවා ය. මරණින් මතු ඇය දෙව්ලොව දොළොස් යොදුන් වු රන් විමානයක පහළ වූවාය. අප්සරාවෝ දහසක් පිරිවර සහිත වූවාය. ආසන පූජාවේ අනුහසින් ඕ හට අහසේ වේගයෙන් යා හැකි රන්මුවා යොදුනක් පමණ වු අසුනක් ද පහළ විය. මේ හේතුවෙන් එය පීඨ විමානය විය. රන්වන් වස්ත්‍ර අතුරා කළ පුජාව නිසා ඒ අසුන ස්වර්ණමය විය. තෙරුන් වහන්සේගේ රුචිය සලකා ආහාර පිළිගැන්වීමේ කර්මයෙන් ඇය කැමැති භෝග ද පහළ විය. දීමෙහි දී ඇති වූ මහත් ප්‍රසාදය නිසා අතිශය ශෝභමාන ශරීර ඇත්තියක් ද විය.
එක් උත්සව දිනෙක නන්දන උයනට එන දෙවි දේවතාවියන් අතර මේ දෙවඟන ද සඳ හිරු සේ බබළමින් යන්නී ආයුෂ්මත් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන සේක් මෙම දේවතාවියට පෙනෙන පරිදි වැඩ සිටියහ. දෙවඟන උන්වහන්සේ දැක බලවත් ප්‍රසාදයෙන් පීඨයෙන් බැස පසඟ පිහිටුවා වැඳ වැටුණාය. අනතුරු ඇඳිලි බැඳ නමස්කාර කළාය. මුගලන් මහරහතන් වහන්සේ කර්මානුරූපව ඇය කළ පින්කම් දැන සිටියද ඒ ගැන ඇය ලවාම කියවාගෙන සිත් පහදවා කරන පිනෙන් මහත් අනිශංස ලැබෙන අයුරු පැහැදිලි කිරීම සඳහා මෙසේ විමසූ සේක.
“මහත් අනුභාව ඇති පින්වත් දේවතාවිය,මනුෂ්‍යව සිටියදී ඔබ කවර පිනක් කළාද? ඔබ දැකුම්කළු දිව සළු ඇද ඇත. දිවමලින් සැරසී ඇත. සිරුරේ පැහැය සියලු දිසා බබළවයි. රන්මුවා පීඨය පවනට බඳු වේගයෙන් කැමැති තැනට ගමන් කරයි. ඔබ විදුලිය වැළඳගත් සැඳෑ වළාකුලක් මෙන් බබළවයි. මෙබඳු පැහැ සටහන්, මන වඩන සම්පත් කවර පුණ්‍ය සම්පතකින් පහළ වූයේද?
දේවතාවිය මෙසේ ප්‍රකාශ කළාය.
“මහත් අනුභාව ඇති ස්වාමින් වහන්ස, මිනිස් ලොව මනුෂ්‍ය ස්ත්‍රියක් වූ මම ආගන්තුකව පැමිණි පැවිදි කෙනෙකුන් හට කසාවන් ඇතිරිල්ලක් අතුරා අසුනක් දුනිමි. ඇඳිලි බැද වැන්දෙමි. තිබු පරිදි දන් දුනිමි,” යි. ඇය කළ පින්කම විස්තර කළාය.
මුගලන් මහරහතන් වහන්සේ දෙවි දේවතාවුන්ට ධර්ම දේශනාවක් කොට මිනිස් ලොව වැඩියහ. භාග්‍යවතුන් වහන්සේ හමුවී සියලු පුවත් දැන්වූහ. බුදුරජාණන් වහන්සේ අර්ථෝත්පත්ති කොට ඒ ඒ අවස්ථාවන් හි දී ධර්මය දේශනා කළ සේක.
ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ
ලේකම් (බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව)
කේ.කේ. සුගතපාල

සිවුරු හැර ගිය භික්ෂුවක් වසරකට පසු නායක ස්වාමින්වහන්සේට ලියු සංවේදී ලිපිය..


පින්වත් ලොකු හාමුදුරුවනේ,
මන් ගියා පන්සලෙන් සදහටම.
ඔබ වහන්සේගේ ගුරු සෙවනේ පුරා වසර 20ක් හිටපු මට ඔබ වහන්සේ සැලකුවේ පියෙක් වගේ.
මට සමාවෙන්න මන් අතින් දැන හෝ නොදැන යම්කිසි වරදක් උනා නම්..
අන්තිම කාලේ මන් හිටියේ මහණකම ගොඩක් නීරස වෙලා.
කීපවතාවක්ම ඔබ වහන්සේ ලඟට ඇවිත් මේ වග නොකියා අපහු හැරිලා ගියේ ඔබ වහන්සේට තිබුණු අසීමිත ආදරය නිසා, භක්තිය නිසා...
"හදවතින්ම සිනහ වන්නේ කිරි දරුවන් පමණයි" කීවාට ඔබ වහන්සේගේ සෙනෙහබර සිනහව සිහි වන විට මගේ හදවත තවමත් රිදුම් දෙනවා.
ඇත්තම කිවොතින්, මගේ හිත තිබුනේ වෙන තැනක..
ඉස්සර මගේ හිත තිබුනේ බුද්ධ පුජාව ගැන, පන්සලේ වත් පිළිවෙත් ගැන..
පස්සේ ඒ හිත "නිලන්ති" ළඟ නැවතුනා...
අපේ හාමුදුරුවන්ට මතකයි නේද ඉස්සර සුදු ගැහැණු ළමයෙක් මගෙන් ධර්ම ගැන ප්‍රශ්න අහනවා. අන්න එයයි නිලන්ති කියන්නේ.
මන් ඉස්සර ආදරේ කරේ මහණකමට, ඒත් මගේ නිලන්ති ඉස්සරහ ඒ මහණකම දියවුනා.. (පිය උරුමයෙන් අපට ලැබුණු ආරක්ෂක ස්ථානය සතර සතිපට්ඨානය. මම මේ ආරක්ෂක ස්ථානයේ නොසිටිය නිසයි මාරයට අසුවුනේ.)
ඒත් මන් මේ ටිකත් දන්නවා අපේ හාමුදුරුවනේ...
ඒත් දැන් ප්‍රමාද වැඩිය...
"අප්පමාදෝ අමත පදං...
පමාදෝ මච්චුනෝ පදං" යන ඔබ වහන්සේ විසින් මට ඉගැන්වූ බුදු වදන මා ඇස් ඉදිරියේ සත්‍ය වෙලා වගේ මට දැනෙනවා.
මට ඉස්සර මිනිස්සු දානේ බෙදලා කැව්වේ නැති ටික විතරයි..
ඉස්සර මට මිනිස්සු ගොඩක් ආදරෙයි...
නූල් පොටකින්වත් අඩුවක් දැනුනේ නැහැ..
මේ සුන්දර නිවන් මඟ වඩන්නන්ට සිවුපසයෙන් නම් කිසිම අඩුවක් දැනෙන්න දුන්නේ නැති මිනිස්සු කොටසක් එදා පන්සලේ මං දැක්කා...
එදා ඔබ වහන්සේ එක්ක පිරිතකට වඩිනකොට මිනිස්සු සාධු කාර දුන්න හැටි මට මතක් වෙනවා.
ඒත් අද මිනිස්සු මං දිහා බලන්නේ වපර ඇහැකින්...
අවඥා සහගත වාග් ප්‍රහාර වලින් මගේ හිත නිතර පැරෙනවා...
එදා සිනහවෙන් මුව පුරවගෙන සිටි නිලන්ති දවසම ඉන්නේ ඔරෝගෙන...
සිවුර දාගෙන ඉන්න ගමන් මන් ගහපු සුන්දර පැලෑන් හිතපු තරම් සුන්දර උනේ නෑ..
ජොබක් හොයාගෙන ගැහැණියක් නඩත්තු කරන එකේ අමාරුව දැනුයි මට තේරෙන්නේ...
ලුණුයි, බතුයි කන්න උනත් ලෑස්ති කියපු අය අද නැහැ.
මුදල් සොයන්නට දරන කායික වෙහෙස පරදා මානසික වෙහෙස සහ පීඩනය තදින්ම දැනෙන්න පටන් අරන්.
ඔබ වහන්සේ පෙන්වූ සුන්දර නිවණ කුමක්දැයි මා නොදන්නා මුත් එහි කෙතරම් මීට වඩා කෙතරම් අගනේ දැයි දැන් මට වැටහේ...
යලි සිවුරට යා යුතු යයි සිතෙන වාර ගණන නම් මෙතකැයි කිව නොහැකිය.
මකුළු දැළක සිරවූ කුරුමිණියෙක් මෙන් සිතුවිළි නමැති යුද්ධ භූමියක මා අතරමං වී ඇති සෙයකි.
ඊයම් බරුවක් ඔලුවේ හිරවූ පරිද්දෙන් දීර්ඝ හිසේ රුදාවක් මට වැළදී ඇත. 
මා අරිහත් ධජය පොරවාගෙන කම් සැප වෙනුවෙන් මැවූ හීන හුදෙක් සිහිනම බව මට තේරී අවසන්ය...
යමෙක් නිබ්බාණ වෙනුවෙන් සිවුරක් ඉල්ලාගත් විට ඔහුට හෝ ඇයට වෙනත් කිසිවක් යා දෙන්නේ නැත.. 
උතුම් වූ නිබ්බාණ ධාතුවට සළකන්නට, 
ඒ උතුම් ආර්ය මාර්ගය වඩන්න උන් වෙනුවෙන් බැල මෙහෙවරකම් කරන්නට පිරිසක් නිතැතින්ම බිහිවේ.
ලියමින් ඉන්න අතරේ පුතු හඬනු ඇසේ... 
පුතු නැළවීමට මා යා යුතුව ඇත.
මතු මතු උපදින භවයන් හි මට ඔබ වහන්සේගේ කල්‍යාණ මිතුරු අසුරම ලැබේවා (සතර සතිපට්ඨානය කිසි දිනක මට මග නොහැරේවා) යයි පතමින් මා නවතිමි...
මීට 
පොඩි නම සුනන්ද...(සම්පත්)

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තව්තිසාවේ උපන් කපුටු ජෝඩුව


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

තව්තිසාවේ උපන් කපුටු ජෝඩුව- අපේ ආච්චිගේ ලස්සන බණකතා.
අපේ ආච්චි රසට අග්ගලා හදන්ට දන්නවා. දවසක් ආච්චි අග්ගලා හැදුවා. එදා මුළු ගෙදර ම සුවඳයි. හාල් බැදලා බොහෝම පිළිවෙළකට අපේ ආච්චි අග්ගලා හදන හැටි අපි බලාගෙන හිටියා. ඊටපස්සේ ඒ අග්ගලා ගුලි බොහෝ ම ලස්සනට පෙට්ටියකට ඇසුරුවා.

“කෝ… ඔය දරුවොත් මෙහෙට එන්න. ආ… මේ අග්ගලා කන්න.”
“ආච්චියේ…. දැන් ඔය පෙට්ටියේ ඇසුරුවේ කාට ගෙනියන්ට ද?”
“දරුවෙනි…. දැන් ඔයාලා දන්නවා නේ මං ගොඩාක් බණදහම් දන්නා වග.”
“ආපෝ…. අපි විතරක් යැ දන්නේ…. දවසක් අපේ අප්පච්චි ආච්චිට කිව්වේ ‘අම්මා දැන් හරි බණකාරියක්’ කියලා.”
එතකොට ආච්චි මලක් පිපුනා වගේ ලස්සනට හිනාවුනා. “ඔව් පුතේ… දැන් නම් මාත් බණකාරියක් තමයි. හැබැයි පුතේ මීට අවුරුදු පහළොවකට ඉස්සරියෙන් නම් මං පන්සිල් පද පහේ තේරුමවත් දැනගෙන හිටියේ නෑ… දැන් නම් චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය වගේ මහා ගාම්භීර දේ පවා අපි දන්නවා නොවැ…. ඒක නේ පුතේ…. මං මේ අග්ගලා හදාන සූදානම් වෙන්නේ…!”
“ඇයි ආච්චියේ අග්ගලා හදාන සූදානම?”
“මයෙ දරුවනේ… කළුතර ඉන්නවා මං හඳුනන නංගියෙක්. අනේ…. එයා තමයි මාව මේ දහම් වැඩසටහන් වලට ඉස්සෙල්ලා ම එක්කරගෙන ගියේ…. මං එදා ඉඳලා මොන පින්කමක් කළත් ඈට පින් දෙනවා…. අපි ගම්පහ ආවාට පස්සේ ඈ බලන්ට ගියේ නෑ. මං මේ ඈ බලන්ට යන්ටයි මේ අග්ගලා හැදුවේ. මයෙ දරුවනේ…. ඉස්සර කාලෙ කපුටන්ටත් කෙළෙහි ගුණේ තිබිලා තියෙනවා.”
“අනේ ආච්චියේ අපිත් ආසයි ඒ කෙළෙහි ගුණ දන්නා කපුටන් ගේ කතාව අහන්ට.”
“දරුවනේ… රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ රුහුණු රටේ මාගම්පුරේ තිසාවැවට යටි පැත්තේ කපුටු බෝ ගසක් තිබුනා.”
“කපුටු බෝ කියන්නේ ඇයි ආච්චියේ?”
“පුතේ… කපුටු බෝ කියන්නේ අපේ ජය සිරිමා බෝරජුන්ට අයිති වෘක්ෂයක් නොවෙයි. කපුටෙක් බෝගෙඩි කාලා වසුරු කළ තැන හටගත්තු ගසයි… ඉතින් මේ කපුටු බෝධියේ කපුටු කූඩුවක කපුටෙක් වාසය කළා.
දවසක් මේ කපුටා ඈතට පියාඹා ගියා. උතුරු රටේ මණිනාග දිවයිනේ තැන් තැන්වල පියාඹා ගියා. ඒ පළාතේ ‘නාග’ කියන ගමේ තල්ගසක කූඩුවක සිටිය කපුටියක් එක්ක මේ කපුටා යාළු වුනා. රුහුණු රටේ හිටිය කපුටාගේ වාසස්ථානෙට කැන්දන් ආවා. මේ දෙන්නා ලැබෙන දෙයක් කාලා සතුටින් වාසය කළා. දවසක් මේ කපුටා වෙනත් කපුටියක ගේ කූඩුවක ලැගලා ඉන්නවා අර කපුටි දැක්කා. ඒකිට හොඳට ම කේන්ති ගියා.
‘මං නම් ආයෙත් නුඹ වැනි කපුටෙක් එක්ක පවුල් කන්ට එන්නේ නෑ’ කියලා ඒ කපුටි හඬ හඬා මණිනාග දිවයිනට ම ගියා.
කපුටාට හරිම දුකයි. කපුටා තමාගෙන් වෙච්චි වැරැද්ද ගැන පසුතැවි තැවී හඬ හඬා හිටියා. ‘ආයෙත් නම් වෙනත් කපුටියක ගේ මූණවත් බලන්නේ නෑ. මං කොහොම හරි මගේ සුදු කපුටිව එක්කරගෙන එනවා’ කියලා ඒකිව සොයාගෙන ගියා.
දැන් කපුටාට ගොඩාක් වෙහෙසයි. කපුටාත් අතරමග දී ‘තේලිය’ කියන ජනපදේ මාතුල කියලා විහාරයකට ගොඩ වුනා. එතන දානශාලාවේ පුටුවක මහතෙරුන්නාන්සේ නමක් වාඩිවෙලා සිටිද්දී මේ කපුටාව දැක්කා. උන්නාන්සේ කපුටු භාෂාව දන්නවා පුතේ. මේ කපුටාත් ගසක අත්තක වහලා තමන් ගේ දුක මෙහෙම කියන්ට පටන් ගත්තා.
ඇඟ පත වේලීයන්නට ශෝකය වැනි තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
ගමන් බිමන් යෑම තරම් වෙහෙස කරන තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
විලි ලැජ්ජාවක් නැති තණ්හා සමාන තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
කුස ගින්නේ සිටීම වැනි පීඩා ඇති තවත් දුකක්
මේ ලොව නම් නැත්තේ…
හනේ හපොයි මේ කියනා හැම දුකක් ම
දැන් මා හට ඇත්තේ…
දන් දීමේ සැප විපාක සඟරුවන ම දන්න නිසා
මං ආවා මේ පැත්තේ…

එතකොට මහ තෙරුන්නාන්සේට හොඳටෝ ම දුක හිතුනා. “හා… හා… කපුටෝ… දුක් වෙන්ට කාරි නෑ. මං නුඹ ගේ කුස ගින්න නිවා දමන්නම්” කියලා පොඩි නමකට කතා කළා.
“අනේ මෙහාට එන්න පොඩිනම…. අර කපුටා මහා බඩ ගින්නකින් ඉන්නේ. රෙදි කැබැල්ලක් ගෙනැවිත් පාන්තිර ටිකක් අඹරා දෙන්ට” කියලා පහන්වැටි අඹරවාගෙන ඒවා ගිතෙල්වල පෙඟෙව්වා. තැටියක දමා ටිකක් රත් කළා. කපුටාට අනුභව කරන්ට සැලැස්සුවා. කපුටා එය අනුභව කොට ගොඩාක් සතුටු වුනා. කපුටා තෙරුන් වහන්සේට තමන් යන කාරිය කිව්වා.
“අනේ ස්වාමීනී… මගෙන් වෙච්චි වැරැද්දකට අපේ කපුටි මාව දාල ගියා. මං මේ ඈව ආපහු එක්කරගෙන එන්ට යන ගමන්… ඔබවහන්සේ මා හට අනුකම්පාවෙන් කළ උපකාරයෙන් මට මහා සැපයක් දැනුනා. මං ආපසු යද්දී අපේ බිරිඳත් එක්ක එන්නම්” කියා පිටත්ව පියාඹා ගියා. කපුටා නාගදිවයිනට ගිහින් කපුටිත් එක්ක ටික දොහක් වාසය කළා. ආපසු යන්ට කැමති කරවා ගත්තා. එමින් ගමනේ දී මාතුල විහාරයටත් ආවා. මහතෙරුන්නාන්සේට ආ බව කියා සිටියා. එදාත් තෙරුන්නාන්සේ කපුටු ජෝඩුවට ම පහන් වැටි අඹරවලා ගිතෙලෙන් පොඟවා රත් කරවා කුස පිරෙන්ට දුන්නා.
ඉතින් පුතේ කපුටු ජෝඩුවට හරිම සතුටුයි. දෙන්නා ගේ වෙහෙස සංසිඳී ගියා. එදා කපුටා මහතෙරුන්නාන්සේට මෙහෙම කිව්වා.
“අනේ ස්වාමීනී… මේ කාක්කෝ කියන්නේ චපල සිත් ඇති සත්තු ජාතියක් තමයි. නමුත් හැම කපුටා ම එහෙම නෑ ස්වාමීනී. මා කියන්ට යන දේ ගැන පොඩිත්තක් ඇසුව මැනව. අපවිත්‍ර අශුචි ගොඬේ තිබුණත් මැණික වටිනවා නොවැ. ගඳ ගසන මඬේ පිපෙන මානෙල් මලත් පළඳින්ට ගන්නවා නොවැ. ගව කුණේ තිබ්බා කියල අහක නොදමා ගෝරෝචන ගන්නවා නොවැ… ඉතින් ස්වාමීනී අපි කල්පනා කළේ මෙතැන තමුන්නාන්සේලා දුකසේ වසන බව පෙනුනා. ප්‍රණීත දානමාන ඇති සැපදායක පළාත් ගැන අපි දන්නවා… මං මගේ ශක්ති පමණින් මේ සියලු සංඝයා වහන්සේට උපස්ථාන කරන්නම්. අපට අනුග්‍රහ පිණිස මාත් සමග වඩිනා සේක්වා!”
මේ කපුටා අවංකව කරුණු කියන බව මහතෙරුන්නාන්සේට වැටහුනා. සඟපිරිස රැස්කොරලා මෙහෙම කිව්වා.
“ඇවැත්නි… මේ කපුටා අපට උපස්ථාන කරන්ට කැමතියි. අපටත් යන්ට කතා කරනවා. අපිත් යමු” කියලා විසිපස් නමක් කපුටා සමග පිටත් වුනා.
ඉතින් පුතේ මාතුල විහාරයේ ඉඳලා මාගම මංජල විහාරයට යනකල් යොදුන් හතළිස් හතරක් තියෙනවා. මේ කපුටා ප්‍රණීත දානමාන ඇති ප්‍රදේශ වේලාසනින් හඳුනාගෙන ඒ පළාත්වලින් අපේ ස්වාමීන් වහන්සේලාව වැඩමවාගෙන ගියා. කපුටා මහ තෙරුන්නාන්සේ බැහැ දැක මෙහෙම කියනවා.
“ස්වාමීනී… අසවල් මගින් වඩින්ට එපා. ඒ ගමේ සැදැහැවත් උදවිය නෑ… ස්වාමීනී, මේ පැත්තේ වඩින්ට. මේ පැත්තේ සැදැහැවතුන් ඉන්නවා.” කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා කපුටා පෙන්වන පාරවල් වලින් වඩිනවා. සුවසේ දන්පැන් ලබාගෙන වැඩම කළා. ඉතින් පුතේ මේ කපුටු ජෝඩුව උන්නාන්සේලාට මංජල විහාරයේ වාසය කරන්ට සැලැස්සුවා. වස් තුන් මාසෙ ම උපස්ථාන කළා. වස් පවාරණය කරපු මහතෙරුන්නාන්සේ කපුටාට මෙහෙම කිව්වා.
“පින්වත් කපුට, දැන් අපි ආපසු මාතුල විහාරයට ම යන්ට සතුටු යි”
“හොඳයි… ස්වාමීනී… මං මේ භික්ෂූන් වහන්සේලා අතර සිවුරු දිරා ගිහින් තියෙනවා දැක්කා. ස්වාමීනී, සිවුරු ලබාගන්ටත් අවස්ථාවක් තිබෙන බව පේනවා. තව කිහිප දවසක් වැඩ සිටින්ට ස්වාමීනී” කියලා උන්නාන්සේලා පිටත්වෙන දවසේ “ස්වාමීනී…. මුහුදට කිට්ටුවෙන්ට ඇති අසවල් ගම්මානෙට වඩින්ට. ඒ ගමේ එක් උපාසිකාවක් ඉන්නවා. ඈ ගොඩාක් සිවුරු මසාගෙන පිරිකර සකසගෙන අනේ අපේ ස්වාමීන් වහන්සේලා මේ පැත්තේ කවරදාක නම් වඩිනවාද කියමින් මග බලාන ඉන්නවා”
ඉතින් පුතේ මහතෙරුන්නාන්සේ භික්ෂූන් කැඳවාගෙන ඒ ගමට වැඩියා. බොහෝ සිවුරු ලැබුනා. උන්නාන්සේලා ඉතා සුවසේ මාතුල වෙහෙරට වැඩියා.
“ඉතින් ආච්චියේ… ඒ කපුටු ජෝඩුවට මේ නිසා ගොඩාක් පින් ලැබෙන්ට ඇති නේද?”
“මොනවා කියනවද දරුවනේ… භික්ෂූන් වහන්සේලා ගැන සිත පහදවාගත් කපුටු ජෝඩුව මරණින් පස්සේ කොහේද උපන්නේ කියලා දන්නවා ද පුතේ? තව්තිසාවේ… ඔව් පුතේ… තව්තිසාවේ උපන්නේ… බලන්ට දරුවනේ තමන් ගේ කුසගින්න නිවාගන්ට කළ උපකාරය ඒ තිරිසන්ගත කපුටා මතක තියාගෙන හිටියා නොවැ. නුවණැත්තෝ එහෙම තමයි. ඔවුන් කවරදාකවත් මිත්‍රද්‍රෝහී වෙන්නේ නෑ. කළ උපකාරය සිහි කරනවා ම යි කියලා ආච්චි මිහිරට මේ කවිය කිව්වා.
කළ උපකාරය සිතන්න පුතුනේ
කපුටත් එය සිහි කෙරුවා නිතිනේ
නුවණැත්තා එය රඳවා සිතිනේ
මිත්‍රද්‍රෝහියෙක් නොවන්න පුතුනේ

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

Related Posts Plugin for WordPress, Blogger...