ගෞතම බෝධිසත්වයෝ පදුමුත්තර බුදුහිමි ජීවමානව සිටියදී එම බුදුරජාණන්වහන්සේගේ පාද මූලයේදී ජටිල නම් රැටියෙක්ව බුදුපාමොක් මහා සඟනට ආහාර සහිතව සිවුරු පූජා කිරීම සිදු කළහ ...පදුමුත්තර බුදුරජාණන්වහන්සේ ගෞතම බෝසතුන්ට දස වැනි නියත විවරණය ලබා දුන් සේක ...
එකල රාහුල ස්වාමින් වහන්සේ හංසවතී නුවර සිටු ගෙදරක උපත ලැබුවා. තරුණ වියට පත් වූ ඔහු නිරන්තරයෙන් පදුමුත්තර බුදුරජාණන්වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කළා. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි මහදන් පවත්වමින් සිටිය දී උපරේවත නම් කුඩා රහත් තෙරනමක් ඍද්ධි ප්රාතිහාර්ය පාන බව දැක සතුටට පත් වුණා. ඒ උපරේවත තෙරුන් පදුමුත්තර බුදුරදුන්ගේ ගිහි කාලයේ පුතනුවන් බව දැන තමන් ද මතු බුදු කෙනෙකුන්ගේ පුතෙකු බවට පත් වන්නට ඇත්නම් ඉතා හොඳය යි ප්‍රාර්ථනා කළා.
එදා පටන් ඔහු බොහෝ සංඝෝපස්ථාන කළා. සේනාසන ආදිය පිරිසුදු කරමින්, දානමාන පූජා කරමින් ජීවිතයට පින් රැස්කර ගත්තා. දිනක් ඉතාමත් සෝභමාන අගනා ඇතිරිල්ලක් මේ තරුණයා විසින් අප්‍රමාණ පැහැදීමෙන් ‘මේ අගනා ඇතිරිල්ල දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණැති මහා මුනි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා’යි පවසා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තුළ ඇතිරුවා. දහසක් මහ රහතුන් පිරිවරා ගෙන ගන්ධ කුටියට පිවිසි උන් වහන්සේ මේ ඇතිරිල්ල පූජා කොට රැස් වූ පිනෙන් ‘කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වන ගෞතම බුදු සසුනේ මේ තරුණයා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරු ලබන්නේය’ යැයි අනාගතය දෙස බුදු නුවණින් බලා පවසා වදාළා.
අතිශයින්ම සතුටට පත් වූ ඒ තරුණයා එදා පටන් දිවි ඇති තෙක් තවත් බොහෝ පින්දහම් රැස් කළා. ඒ අගනා ඇතිරිල්ල පූජා කළ පින මේ තරුණයාට මරණින් මතු බොහෝ සැප ලබා දුන්නා. හැට හතර වතාවක් සක් දෙව් පදවිය ලබා දෙදෙව් ලොවට අධිපති ලෙස සැපසේ වාසය කළා. අනතුරුව ‘විමල’ නම් සක්විති රජු ලෙස ඉපදී මුළු පෘථිවියම ධාර්මික ලෙස පාලනය කළා. සක්විති රජු වූ ඔහුගේ රාජධානිය යොදුන් තුන්සීයක් විශාල ‘රේණුවතී’ නම් නගරයක්. එහි සත්රුවනින් නිමවන ලද උස් වූ කුළු ගෙවල් ඇති ‘සුදර්ශන’ නම් සුවිශාල ප්‍රාසාදයක් ඔහුගේ් මාලිගය වුණා. මේ සෑම උපතකදීම ඔහු උදෙසා රන්, රිදී, වෛරෝඩි ආදි වටිනා කැටපත් පහළ වුණා. මේ අයුරින් බුදු රජුන් උදෙසා කළ පූජාවේ විපාක ඔහු භුක්ති වින්දා.
රාහුල මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉටුවුන භවය
මේ මහා භද්‍ර කල්පයේ ඒ වනවිට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 ක් වී තිබුණා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මේ මනුලොව ඉපදී දහසය වෙනි වියේදී යශෝධරාවන් හා විවාහ වුණා. තුසිත ලොවින් චුත වූ මොහු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දාව යශෝධරාවන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අතීත ජීවිතයක ‘පඨවින්ධර’ නම් නා රජෙකුව ඉපදී සිටියදී බෝසතාණන් වහන්සේ නමකගේ පුත්‍රයෙකු ලෙස ඉපදේවායි බුදු කෙනකු හමුවේ කළ පැතුමක් නිසයි. ඒ අනුව මහා පුණ්‍යවන්තයෙකු වූ මොහු සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේගේ විසිනව වෙනි වියේ දී ඇසළ පුන් පොහෝ දිනයක යශෝධරාවගේ කුසින් ‘රාහුල’ නමින් උපත ලැබුවා. රාහුල උපත ගැන සැල වූ මහබෝසතාණන් වහන්සේ (රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං) රාහුලයෙක් උපන්නා, තවත් බන්ධනයක් ඇතිවුණා යැයි පැවසුවා. එදා තමා අප මහ බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළ උතුම් ඇසළ පුන්පොහෝ දිනය.
එදා පටන් තම මෑණියන් වූ යශෝධරාවගේ තුරුලේ සුද්ධෝදන රජුගේ රාජධානියේ රාහුල කුමාරයා ඇතිදැඩි වුණා. රාහුල කුමරුට වයස අවුරුදු සතක් පමණ වනවිට සුදොවුන් රජුගේ ඇරයුමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ් ගෞතම බුදුරජාණන් වහන්සේ ඤාතීන්ට අනුග්‍රහ පිණිස විසිදහසක් භික්ෂු සංඝයා පිරිවරාගෙන කපිලවස්තු පුරයට වැඩමකොට වදාළා. ‘යමක මහා ප්රාතිහාර්යය’ පවත්වා ඤාතීන් දමනය කොට වදාළා. එදින තරු පිරිවැරූ සඳ මඩල සේ බබලමින් බුදුරජාණන් වහන්සේ වඩිනා අයුරු යශෝධරාව සමඟ සිටි රාහුල කුමාරයාට දැක ගන්නට ලැබුණා.
“ඇයි, අම්මේ අඬන්නේ?” යසෝදරා අසල සිටි රාහුල කුමරු ඇසුවේ මවගේ දෙනෙත්වලින් ගලන කඳුළු බිඳු දුටු බැවිනි. වහා ම සළුපටින් දෙනෙත් පිසදාගත් ඇය පුතු තුරුලට ගෙන ඔහුගේ සිරස පිරිමදින්නට වූවා ය.
“මගේ පුතා, පියතුමා වඩිනවා දැක්ක ද?”
“කෝ කෝ, අම්මේ? මට පෙන්නන්නකෝ?”
කවුළුව තරමක් උසින් තිබෙන නිසා කුමරුට මාවත හොඳින් නොපෙනිණි. යසෝදරා පුතු ඔසවා උකුළට ගෙන මහසඟරුවන සමඟ මාවතේ වැඩම කරන බුදුහාමුදුරුවන් ඔහුට පෙන්වූවා ය. ඉක්බිති ඇය (ඒස හි තුයිහ පිතා නරසීහෝ) ‘පුතේ අර වඩින්නේ නරයන්ට ශ්‍රේෂ්ඨ වූ නුඹේ පියාණන්’ ලෙස පවසමින් ගාථා නවයකින් (නරසීහ ගාථා) බුදුරජාණන් වහන්සේව වර්ණනා කළා.
“පුතා, මුත්තණුවන්ගෙන් පස්සේ රජකම උරුම වෙන්නේ ඔබේ පියතුමාට යි. නමුත් එතුමා රජකම් කරන්නට එන්නේ නෑ. ඒ නිසා ඊළඟට ඔටුන්න හිමි මගේ පුතාට යි. පියතුමා සතු මහ නිදන් වස්තු රාශියකුත් තියෙනවා. එතුමා නුවරින් පිටවෙන්නට කලින් දුවලා ගිහින් පියතුමාගෙන් පුතාට දෑවැද්දක් හැටියට ඒ ඔක්කොම වස්තුව ඉල්ලාගන්න. යන්න, දුවලා යන්න,” කියමින් යසෝදරා බුදුහාමුදුරුවන් වෙත පුතු යැව්වා ය.
වේගයෙන් දිව ගිය ළදරු රාහුල කුමරුට සන්සුන් ගමනින් වඩිනා බුදුහාමුදුරුවන් සමීපයට ළඟා වීමට වැඩි වෙලාවක් ගත වුණේ නැත. උන් වහන්සේ පුතුගේ සුරත අල්ලාගත්හ. සන්සුන් ව පියවර තබන පියාණන් සමග පුතු ද නිහඬ ව ම ඉදිරියට පා නැගුවේ ය. මේ දසුන දුටු මග දෙපස රැඳී සිටි දහස් ගණනක් පිරිසගේ හදවත් දාරක ස්නේහයෙන් පිරී ඉතිරී ගියේ ය. සත් අවුරුද්දක් අහිමි ව තිබුණු පිය සෙනෙහස රාහුල පුතුට යළි ලැබී ඇති අයුරු දුටු ඇතැමුන්ගේ දෑස්වලින් සතුටු කඳුළු වැගිරිණි.
“ඔබේ හෙවණේ ඉන්න විට මගේ ඇඟට ලොකු සනීපයක් දැනෙනවා, පියාණනි,” කියමින් කුමරු හිස ඔසවා බුදු පියාණන්ගේ මුහුණ දෙස බැලී ය.
“පුතාට විතරක් නො වෙයි, මා ළඟ ඉන්න ඕනෑ ම කෙනකුගේ ගත – හිත දෙකට ලොකු සුවයක් දැනෙනවා” යැ යි බුදුහාමුදුරුවන් පවසද්දී ඒ වදන් වැටහුණු බව ඇඟවීමට මෙන් සුරතල් සිනාවක් පෑ කුමරු “පියාණනි, ඔබට අයිති ලොකු වස්තුවක් තිබෙන බව අම්මා කීවා. ඒ ඇත්ත ද?” යි ඇසුවේ ය.
“ඒ කථාව ඇත්තක් පුතා, මීට අවුරුද්දකට කලින් ගයාවේ ඇසතු ගහක් මුල දී ලැබුණ ඉතා වටිනා වස්තුවක් මා සන්තක ව තිබෙනවා. ඒ තමයි සප්තාර්ය ධනය!” පුතු දෙස බලා මඳ සිනාවක් පාමින් බුදුහාමුදුරුවෝ පැවසූහ.
“එහෙම නම් අම්මා මට කිව්ව දේ හරි. ඒ ඔක්කෝම වස්තුව තෑග්ගක් විධියට මට දෙන්න කෝ. පියාණනි, ඔබට ඒවයින් දැන් වැඩක් නෑ නේ. ඔබ රජකම් කරන්න එන්නැති වෙයි කියලා අම්මා කීවා.”
“හොඳයි, මම එය පුතාට දෙන්නම්. හැබැයි මාත් එක්ක ආරාමයට ගිහින් මහණ වුණොත් තමා එය ලබාගන්නට පුළුවන් වෙන්නේ. මගේ පුතා කැමති ද මහණ වෙන්න?” යනුවෙන් අසමින් බුදුහාමුදුරුවෝ කුමරු දෙස බැලූ හ. ඔහු එයට කැමති බව ඇඟෙව්වේ කිරිසුදු දසන් පෙන්නා සිනා සී හිස වැනීමෙනි.
රාහුල පුතු බුදු පියාණන්ගේ අත අල්ලාගෙන යන අයුරු යසෝදරා සොම්නසින් බලා සිටියා ය. පුතු වහා ම ආපසු එති යි ඇය සිතුවා ය. එහෙත් ඔහු බුදු හාමුදුරුවන් සමග ඈතින් ඈතට යන බව ඇයට පෙනිණි. ‘මගේ බුදුහිමි දින කීපයකට කලින් නන්ද කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කළ අන්දමට මගේ පුතාත් පැවිදි කරයි ද?’ යන සැකය ඇයට ඇති විය. ඒ නිසා ඇය, පුතා බුදු හාමුදුරුවන් සමඟ ගිය බව සුදොවුන් රජුට වහා ම දැන්වූවා ය.
පුත් කුමරු කැඳවාගෙන නිග්‍රෝධාරාමයට වැඩි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන් ඇමතූ හ.
“සාරිපුත්ත, මේ මගේ පුතා - රාහුල. මා සමඟ පැමිණියේ මා සන්තක වස්තුව ලබාගන්නට යි. ඔහු මෙලොව එළිය දුටු දවසේ මා අභිනිෂ්ක්‍රමණය කළ නිසා පියකු වශයෙන් මගෙන් ලැබිය යුතු දරු සෙනෙහස හෝ මගපෙන්වීම් ඔහුට ලැබුණේ නෑ. බුදුවරයකු සතු මහාකරුණාවෙන් ලෝවැසි සියලු දෙනා ම දරුවන් මෙන් සලකා ඒ සැමට ම සෙත සලසන මම, මගේ ම පුතාටත් සෙත සැලසිය යුතු යි.
“සාරිපුත්ත, රාහුල පැවිදි වීමට කැමැති යි. ශ්‍රද්ධාව, සිල්වත්කම, පව් කරන්නට ලජ්ජාව හෙවත් හිරිය, ඒ සඳහා බිය හෙවත් ඔත්තප්පය, දැන-උගත්කම හෙවත් ශ්රැතමය ඥානය, පරිත්‍යාගශීලි භාවය හා ප්‍රඥාව යන සප්තාර්ය ධනය තමයි ඔහුට දීමට මා සතු ව ඇති වස්තුව. ඔහුගේ ජීවිතය සැපවත් වන්නේ එයිනුයි. ඒ නිසා රාහුල පැවිදි කරන්න” යැ යි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දැන්වූ හ. ඒ අනුව උන් වහන්සේ කුමරු පැවිදි කළහ.
රාහුල හිමියන් පැවිදි කළ ආචාර්යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. උපාධ්‍යායන් වහන්සේ වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යි.
රාහුල හිමියන්ට තිබුණේ ඉතාමත්ම වාසනාවන්ත, පුණ්‍යවන්ත ගුණවත් ජීවිතයක්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට මේ අයුරින් අවවාද කළා. ‘පින්වත් රාහුලය, සැදැහැ සිතින් බුදු සසුනේ පැවිදි වූ ඔබ පස්කම් සැප අත්හැර දමා දුක් කෙළවර කර ගැනීමට මහන්සි වෙන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. හුදෙකලාවේ වාසය කරන්න. නුවණින් යුතුව දානය වළඳන්න. සිවුපසයට ගිජු නොවී වාසය කරන්න. ආයේ කවදාවත් මේ ලෝකයට නම් එන්න එපා! හොඳින් සිල්වත් වෙන්න. ඉඳුරන් සංවර කර ගන්න. කායානුපස්සනාවේ යෙදෙන්න. මේ සසර කෙරෙහි කළකිරෙන්න. රාගය ඇති කරන සුභ නිමිති අත්හැර දමන්න. අසුභ භාවනාවේ මැනවින් යෙදෙන්න. රාහුලයෙනි, හොඳින් විදසුන් වඩන්න. මාන්නය දුරින්ම දුරු කරන්න. කෙලෙස් සටහනක් නොමැතිව උපශාන්ත බවට පත්වී සැනසීමෙන් කල් ගෙවන්න. (මෙය සුත්ත නිපාතයේ රාහුල සූත්‍රයේ සඳහන් වේ)
රාහුල හිමියන්ද භාග්‍යතුන් වහන්සේගෙනුත් තම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙනුත් අවවාද අනුශාසනා ලැබීමට අතිශයින්ම ආසා කළා. උදෑසනම මුහුණකට සේදීමටත් පෙර මිදුලෙන් වැලි දෝතක් ගෙන ‘මේ වැලි දෝතේ වැලි කැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා’යි සිතමින් එය උඩට විසි කිරීම උන්වහන්සේගේ සිරිතක් වුණා. මේ සිදුවීම සැලවූ බුදුජාණන් වහන්සේ අතීත පුවතක් ගෙනහැර දක්වමින් ‘මිග ජාතකය’ දේශනා කළා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ හමුවේ රාහුල හිමියන් ලැබූ අවවාද අනුශාසනා අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල රාහුලෝවාද සූත්‍රය ආදී සූත්‍රවලත් රාහුලෝවාද සූත්‍ර වශයෙන් බොහෝ සූත්‍ර ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙනවා.
රාහුල හිමියන්ට බුදුරජාණන්වහන්සේ පැන් බඳුනක් උපකාරී කරගෙන කියාදුන් පාඩමක්
බුදුහු රාහුල හිමියන් අම්බලට්කාව නම් වනබද විහාරයකට පිටත් කළහ. ටික දිනකින් එහි වැඩි බුදුරදුන් වඩිනු දුරදීම දුටු රාහුල හාමුදුරුවෝ පා සෝදනු පිණිස දිය බඳුනක් තැබූහ. හිඳිනට අසුනක් ද පැන වූහ. එම අසුනෙහි වැඩ සිටි බුදුරදුන්ගේ දෙපා පැන් වක්කොට සේදූහ. දැන් බඳුනෙහි අඩක්ම හිස්ව ඇත.
රාහුලයෙනි! පළමුව මෙම බඳුනෙහි පැන් පිරී තිබුණා නේද? එසේය. භාග්‍යවතුන් වහන්ස,
පා සේදීම නිසා එයින් අඩක්ම හිස් විය. රාහුලයෙනි, අනුන් සිනා ගැන්වීමට හෝ බොරු බස් තෙපලන කළ එම පැවිද්දන්ගේ ගුණ ධර්මද අර ජලය මෙන්ම නැතිවී යන්නේය.
රාහුල, එම බඳුන මුනින් අතට හරවන්න.
දැන් මීට පිරිවිය හැකිද? රාහුල! නොහැකිය හිමියනි!
එපරිද්දෙන් රාහුල බොරු බස් තෙපලන පැවිදි තැනගේ ශ්‍රමණ ගුණයන් ද එකතු නොවන්නේය. රාහුලයෙනි, දැන්වහාම බඳුන උඩ අතට හරවන්න. රාහුලයෙනි, ශ්‍රමණ ගුණධර්මයන් පිරෙන්නේ උඩ අතට හැරවූ දිය බඳුනක මෙන් තමාගේ හිත කය වචනය වැරැදි වලින් වළකාගත් කල්හිම පමණෙකි.
සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන්ට අදාස තලය (කැඩපත හෙවත් කන්නාඩිය උපමා කරමින් තම ශ්‍රමණ ධර්මයන් හෙවත් පැවිදි බිමෙහි අපේක්ෂා කරන ගුණ ධර්මයන් තවත් අයුරෙකින් දක්වතොත් තම ශීලාදී ගුණධර්මයන් සපුරා ගනු ලබන පිළිවෙල ද සවිස්තරව දෙසූහ. රාහුල, මෙහිහි රන්මුවා කැඩපතකින් රජ ගෙයි දී ඔබ ලබා ගත් ප්‍රයෝජන කවරේද?
භාග්‍යවතුන් වහන්ස! විමස විමසා බලමින් මුහුණ ආදියෙහි වූ ඉවත් කළ යුතු වූ අප ද්‍රව්‍යයන් දැන හඳුනා ගෙන ඒවා ඉවත් කරමි. එපරිද්දෙන් රාහුල, නිරතුරුවම විමසා විමසා අපිරිසුදු පාප චේතනාවන් ඉවත් කොට තම පිරිහුණු බව රැක ගත යුතු ප්‍රධාන කරුණු 3 ක් තිබෙනවා. ඒවා නම් තමාගේ කාය කර්ම, වචී කර්ම, හා මනෝ කර්ම යනු මේවායි.
යම් කාය කර්මයක් කරන්නට සූදානම් වන කල්හි ද සිදු කරන කල්හිද සිදුකොට අවසන් වු කල්හිද එම කර්මය තමාට අනුන්හට අවැඩ පිණිස පවතින්නේද පළමුවෙන් කරන කල්හිත් කළායින් පසුවත් විමසා බලමින් (පච්චවේත්ඛිත්වා ප්‍රාත්‍යවේක්‍ෂා කරමින්) කැඩපතින් මුහුණ පිරිසුදු කරගන්නාක් මෙන් අවැඩදායක දෙයින් සම්පුර්ණයෙන් වැළැකී සිටීමට උත්සාහ කළ යුතුවේ.
එම කියන කරන සිතන දේ තමාට අහිතක් පිණිසවේද අනුන්ට අහිත පිණිස වේද උභය පක්ෂයටම අහිත පිණිස වේද එසේ නම් එය නොකටයුතුයයි අවවාද කළ සේක. මෙම කරුණු මැනවින් වටහාගත් පුංචි රාහුල හාමුදුරුවන් ශීල ගුණයෙන් ද එසේම සමථ විපස්සනා භාවනාවන්ගෙන් හා ප්‍රඥාවෙන් පරිපූර්ණව නිවන් සුව සලසා ගත් සේක.
රාහුල මහ රහතන් වහන්සේ වයස අවුරුදු හතේදී පැවිදි ව අවුරුදු විස්සේදී රහත් බව ලැබූ උන් වහන්සේ අවුරුදු පණහේදී පිරිනිවන් පෑ සේක.
The Buddhist