විසි අට වසරක උත්සාහය කොත පළදී
කොත පැළඳවීමේදී
මහා සංඝරත්නය සමග ගිය ප්‍රචාරක රථයක්
අවසානයේ ඥතිහිතමිත්‍රාදීන් සහ ගම්වාසීහු එක්‌ව එතුමන්ගේ අවසන් කටයුතු මහා ඉහළින් සිදු කිරීමට පියවර ගත්හ. අදටත් ඇවරියවත්තේ රන්සිරිනෙල් වෙදැදුරාණන් ජීවත් වූ නිවස ආසන්නයේ තිබෙන එතුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමෙන් පසු ඉදි කොට ඇති සොහොන් කොත ඊට ඇති හොඳම සාක්‍ෂිය වේ.
රුවන් මැලි සෑ රදුන් නැවත ගොඩ නැගීමේ කටයුතු වීර්යයෙන් යුතුව සිදු වෙමින් තිබියදී අනියත දහම අනුවම සිදුවූ රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ ජීවිත සමුගැන්ම පිළිබඳ කළ සටහනත් සමග අපට මතුවූ නොවැළැක්‌විය හැකි හේතූන් කිහිපයක් හමුවේ මෙම ලිපියේ ඉතිරි කොටස ඉකුත් දෙසතියක් පුරා පළ කිරීමට නොහැකි විය.
හුදෙක්‌ම එහිදී මුලටම වූයේ ඉතා සීමිත වපසරියක් තුළ පුවත් පතක් ලෙසින් අතිශය කාර්ය බහුතල්වයකට මැදිව අප කරගෙන යන කටයුතු හමුවේ මතුවූ ගැටලුවක් බවද මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. ඉන් එහා යමක් එහි නොවූ බවද කිව යුතුය.
1932 වසරේ රන්සිරිනෙල් වෙදැදුරාණන් මොලොව හැරදා සමුගෙන යන විට රුවන් මැලි සෑය යළි ගොඩනැගීමේ කටයුතු එහි හතරැස් කොටුවේ ඉදිකිරීම් සිදු කෙරෙන මට්‌ටම දක්‌වාම විහිදී අවසන්ව තිබිණි.
හතරැස් කොටුවේ වැඩ කටයුතු එසේ නිම වෙමින් තිබෙන අතරේ ඊට සමගාමීව තවත් සුවිශාල කාර්යභාරයක් කිරීමේ වගකීම එකල පිළිමතලාවේ විසූ පිරිසක් වෙත පැවැරී තිබිණ. ඒ අද අපි දකින රත්නමාලී මහා සෑයේ දර්ශනීය කොත් කරැල්ල නිම කිරීමේ කටයුත්ත විය.
එහෙත් රන්සිරිනෙල් වෙදැදුරාණන් එසේ සමුගෙන යැමත් සමග හිටි හැටියේ උදා වූයේ අභාග්‍ය සම්පන්න කෙටි කාල පරාසයකි. එතුමන්ගෙන් පසු රුවන්මැලි සෑ චෛත්‍ය වර්ධන සමාගමේ මූලිකත්වය ගෙන සෑ රදුන්ගේ ඉදිරි කටයුතු කරගෙන යැමට අයකු නොවීම ඊට හේතු විය.
මේ හේතුවෙන්ම 1932 සිට සිව් වසරක් පමණ යන තුරුම රුවැන් මැලි සෑ රදුන් යළි ගොඩනැගීමේ කටයුතු සිදු වන්නට වූයේ මන්දගාමී ලෙසිනි. එහෙත් ඇවරියවත්ත ඇතුළු අවට ගම්වාසි ජනතාව තුළ ඒ කෙරෙහි වූ උනන්දුව නම් තිර ලෙසම පැවැතිණි.
මෙහිදී ඇවැරියවත්ත ග්‍රාමය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ දායකත්වය සේම රත්නමාලී මහා චෛත්‍යය යළි ගොඩනැගීමේ කර්තව්‍යයේදී කේන්ද්‍රීයම භූමිය ලෙසින් එකල ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයෙන් සිදුව ඇති කාර්යභාරය ෙඓතිහාසික එකක්‌ම වන බැවිනි.
මෙසේ රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ අභාවයෙන් පසු සෑ රදුන් ගොඩනැගීමේ කටයුතු මන්දගාමී වෙමින් තිබියදී මේ උදාර පුන්‍යකර්මය කෙරෙහි ප්‍රදේශයේ ජනතාව තුළ වන උනන්දුවත් සුමිත්‍රාරාම විහාරයේ වැඩවිසූ මහා සංඝ රත්නයෙන් ලද උත්තේජනයත් හමුවේ තවත් අයෙක් එහි පෙරමුණ ගන්නට පෙරට පැමිණියේ මේ අතරතුරය.
මේ කතාවේදී අපට තොරතුරු සැපයූ කුමාරසිංහ ඉස්‌කෝලේ මහත්තයාට අනුව නම් එය මෙතෙක් වැඩි ප්‍රසිද්ධියකට පත්ව නොතිබූ කතාන්තරයකි.
"ඔව් මහත්තයෝ. රන්සිරිනෙල් වෙද මුත්තා මැරුණට පස්‌සේ සෑයේ වැඩකටයුතු දවසින් දවස ප්‍රමාද වෙන්න පටන් ගත්තා. හේතුව වුණේ රුවන්මැලි චෛත්‍ය වර්ධන සමාගමේ මූලිකත්වයට කෙනෙක් නොසිටීම.
ඔය අතරේ තමයි ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ වැඩ වාසය කළ ඇවරියවත්තේ ජිනරතන නායක හිමියන්ගේ වගේම මිනුවන්ගොඩ රතනජෝති නාහිමියන්ගේ අනුශාසනා මැද මේ පිංකමේ මූලිකත්වය ගන්න රන්සිරිනෙල් වෙද මුත්තගේ දියණිය සමග විවාහ වෙලා හිටිය මහර ඒබරන් එදිරිසිංහ (ඒබරන් අප්පු) වෙද මුත්ත ඉදිරියට ඇවිත් තියෙන්නේ.
ඒ 1936 විතර. එතන ඉඳන් ආයෙත් රුවන් මැලි සෑය ගොඩනගන කටයුතු කාර්යක්‍ෂම වෙන්න පටන් ගත්තා. මේ ගම්වල මිනිස්‌සුත් එක්‌ක එකතු වෙලා ඒබරන් අප්පු වෙද මුත්ත ආයෙත් සෑයේ වැඩ පටන් ගත්තා. එතුමා තමයි මේ කාලේ රුවන් මැලි සෑ චෛත්‍ය වර්ධන සමාගමේ මූලිකත්වය අරගෙන ඉඳලා තියෙන්නෙත්.
කොහොම හරි 1939 අවුරුද්ද වෙනකොට චෛත්‍යයේ ගොඩක් වැඩ ඔය විදිහට අවසන් කෙරිලා. ඉතුරු වෙලා තිබිලා තියෙන්නේ චෛත්‍යයට කොත් පළඳවන එක. මේ වෙනකොට රන්සිරිනෙල් වෙද මුත්තා භාර දුන්නු විදිහට පිළිමතලාවේ පිරිස සෑයේ කොත් කැරැල්ලේ වැඩත් අවසන් කරලා.
මෙසේ මහර ඒබරන් එදිරිසිංහ වෙද මහතාගේ මූලිකත්වයෙන් යළි ආරම්භ වී වැඩ අවසන් කෙරෙමින් තිබූ රුවන් මැලි මහා චෛත්‍ය රාජයාණන්ට කොත් පැළඳවීමේ කතාව පසුපසද ඇති සිදුවීම් රාශියකි. පිළිමතලාවේදී නිර්මාණය වූ සෑ රදුන්ගේ අලංකාර කොත්කැරැල්ල චෛත්‍යයේ තැන්පත් කිරීමට පෙර එහි රන් ආලේප කිරීමේ කාර්යය මුලින්ම යෙදී තිබී ඇත.
එය සිදුව ඇත්තේ පිළිමතලාවේ සිට විශාල කොත් කැරැල්ල කොළඹට රැගෙන ඒමෙනි. මෙසේ එහි රන් ආලේප කිරීමේ කටයුතු සිදුවෙමින් රුවන් මැලි සෑ රදුන් යළි අපට උරුම කිරීමේ කතාවේ සියල්ල අවසානයට ළඟා වෙමින් තිබියදී ඒබරන් එදිරිසිංහ වෙද අප්පු ඇතුළු පිරිස හමුවේ තවත් ගැටලුවක් නිර§මාණය වී ඇත්තේ ඉතා වැදගත් නිමිත්තක් මුල් කරගනිමිනි.
කවුරුන් විසින් චෛත්‍යය රාජයාණන් වෙත කොත් කැරැල්ල පළඳවමින් එකී මාහැඟි පුන්‍ය කර්මය සිදු කරන්නේදැයි යන්න එකී ගැටලුව විය.
සියල්ලෝ සාකච්ඡා කළහ. ඔවුහු මෙහිදී ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ නායක හිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ උපදෙස් පතන්නටද වූහ. එම සාකච්ඡාවන්වලදී සියල්ලන්ගේ ඒකායන අරමුණ බවට පත්ව තිබුණේ මේ සුවිශාල පුන්‍ය කර්මයේ නියමුවාණන් වූ රන්සිරිනෙල් වෙදැදුරාණන් වෙනුවෙන් යමක් කිරීම වූහ.
මේ වන විට දිවංගත රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ බිරිඳ මැටිකොටුවේ හාමිනේද සිටියේ ජීවතුන් අතරය. එහෙත් කාන්තාවක බැවින් මේ කාර්යයේදී ඇය සම්බන්ධ කර ගැනීමද ගැටලුවක් බවට පත්ව තිබිණි. අවසානයේ සියල්ලෝ තීරණයකට එළැඹියහ.
එකී තීරණයට අනුව අද අප දර්ශනීය ලෙස දකින වත්මන් රුවන් මැලි මහා චෛත්‍ය රාජයාණන්ගේ දිදුලන කොත් කැරැල්ලේ මුලින්ම රන් ආලේප කිරීමේ අවස්‌ථාව රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ බිරිඳ වූ මැටිකොටුවේ හාමිනේට ලබා දීමට කටුයුතු කෙරී ඇත.
එකී කතාවද කුමාරසිංහ ඉස්‌කෝලේ මහත්තයා බොහෝ උනන්දු ඇතිව මෙලෙසින් අපට කියන්නට විය.
මේ කාලේ මැටිකොටු මාතාවත් බොහොම වයස්‌ගතව ඉඳලා තියෙන්නේ. එත් එතුමිය හරිම ආශාවෙන් ඒ කටයුත්තට සහභාගි වෙලා තියෙනවා. ඒක බොහොම ඉහළින් කෙරුණු පිංකමක්.
මේ විදිහට මැටිකොටුවේ මාතාව අතින් කොත් කැරැල්ලේ මුලින්ම රන් අලේප කෙරුණායින් පස්‌සේ සම්පූර්ණයෙන් කොත් කැරැල්ලේ රත්‍රං ආලේප කරලා ඉවර කරන්න තවත් මාස දෙක තුනක් ගත වෙලා තියෙනවා. ඒ තරමටම බක්‌තියෙන් තමයි මහත්තයෝ ඒ වැඩකටයුතු සිද්ධ වෙලා තියෙන්නේ.
ඔහොම කොත් කැරැල්ලේ රන් ආලේප කිරීමේ කටයුතු අවසන් වුණාට පස්‌සේ ඒක මුලින්ම ගෙනල්ලා තියෙන්නේ ඇවරියවත්ත සුමිත්‍රාරාම පන්සලට. රුවන්මැලි සෑයේ අද තියෙන ඒ කොත් කැරැල්ල අඩි විසිහතරක් උසයි කියලා අපේ තාත්තා අපිට කිව්වා. ඒක සුමිත්‍රාරාමයට ගෙනාවෙත් කොටස් විදිහට ගලවලා ලොරි තුනක පටවගෙනලු.
සුමිත්‍රාරාම පන්සලට ගෙනාපු කොත්කැරැල්ල සුමානයක් පන්සලේ තැන්පත් කරලා තිබිලා තියෙනවා බුරුමයෙන් චූඩාමාණික්‍ය ගෙන එනකම්. ඒ කාලේ මේ ගම්වල මිනිස්‌සු ඔය සුමානෙම රුවන් මැලි සෑයේ කොත් කැරැල්ලට වැඳුම් පිදුම් පවා කරලා තියෙනවා පන්සලට ඇවිත්.
ඔය විදිහට ඇවරිත්තට ගෙනාපු රුවන් මැලි සෑයේ කොත් කැරැල්ල අවසානයේ අනුරාධපුරයට ගෙහින් තියෙන්නේ මහා විශාල පෙරහැරකින්. එතකොටත් කොත්වහන්සේ කොටස් විදිහට ලොරි තුනකින් තමයි අරගෙන ගිහින් තියෙන්නේ..
මේ වන විට මෙකී පුන්‍ය කර්මය සඳහා එකල පැවැති සුදු ආණ්‌ඩුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයද හිමි වීම එකල්හි රුවන් මැලි සෑ රදුන් යළි ගොඩනැගීමට වෙහෙස ගත් සහ ඊට අවසන් මොහොතේ වීර්යය ගත් මහර ඒබරන් එදිරිසිංහ වෙද අප්පු ප්‍රධාන පිරිස ඇතුළු ඇවරියවත්ත සහ අවට ගම්වාසීන්ට විශාල ශක්‌තියක් වී ඇත.
අවසානයේ බුරුමයෙන් ලද චූඩාමාණික්‍යද තැන්පත් කිරීමෙන් අනතුරුව 1940 වසරේ වත්මන් රුවන්මැලි සෑ රදුන්ගේ රන්කොත් පැළඳවවීමේ උත්සවය පැවැත්වී ඇත්තේ මහා උත්කර්ෂවත් අයුරිනි.
එකී මහොත්සවයේදී එහි පෙරමුණ ගෙන ඇත්තේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන්ය. මෙම රන්කොත් පැළඳවීමේ උත්සවයේදී රුවන් මැලි මහා සෑ රදුන්ට රන්කොත පැළඳවීමේ ඒ පින්බර අවස්‌ථාව චෛත්‍ය ගොඩනැගීමේ කාර්යයට දායක වූ ප්‍රධාන බාසුන්නැහැ හෙවත් පෙදරේරුවාට හිමි කරදීමට එම මොහොතේ සියල්ලන් තීරණයකට එළැඹීමද මෙහිදී සිදුව ඇති තවත් සුවිශේෂී සිදුවීමකි.
අවසානයේ දුටුගැමුණු නිරිඳුන් අපට දායාද කළ අපේම බොදු උරුමයක් වූ රුවන් මැලි චෛත්‍ය රාජයාණන් යළි ජාතියට දායද කිරීමේ උදාර කටයුත්තට නාරංවිට සුමනසාර හිමියන් සහ රන්සිරිනෙල් වෙදැදුරාණන්, හේනේගම සිටු අප්පුහාමි, මහර ඒබරන් එදිරිසිංහ වෙද අප්පුහාමි ප්‍රධාන ඇවැරියවත්ත ඇතුළු අවට ගම්වාසීන් ගත් නොසැලුණු වීර්යයේ නිමාව විසි අටවසරක ඇවෑමෙන් සටහන් වී ඇත්තේ එලෙසිනි.
ලෝක වාසීන්ගේ සහ සදෙව් ලොවට අධිපති. සක් දෙවිඳුන් ඇතුළු සියලු දෙවි බඹුන්ගේ සාදු නාද මැද එය සිදු වූවා නිසැකය. එකී නිමාවත් සමග සිදුවූ තවත් එක් සුවිශේෂී සිදුවීමක්‌ද කුමාරසිංහ ඉස්‌කෝලේ මහතා මේ කතාවේදී අපට කීය.
ඒ මෙම මාහැඟි පුන්‍යකර්මය අවසානයේදී රුවන්මැලි සෑ රදුන් යළි ගොඩනැගීමේ කාර්යයේ අවසන් අධියරේදී ඊට ශක්‌තියක් වූ රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ දියණිය හා විවාහ වී සිටි මහර ඒබරන් එදිරිසිංහ හෙවත් ඒබරන් වෙද අප්පුහාමි එතෙක් ඉසිලූ සියලු වගකීම්වලින් නිදහස ලබා ගැනීමය.
එය එතෙක් රුවන්මැලි සෑ චෛත්‍ය වර්ධන සමාගමේ නිමාව ලෙසද සටහන් වූවකි. වර්තමානයේ රුවන්මැලි සෑ චෛත්‍ය වර්ධන සමිතිය නමින් සංවිධානයක් පැවැතියද එය පසුව පිහිටුවා ගැනුණකි.
ඒබරන් එදිරිසිංහ වෙද අප්පුහාමි එසේ තනතුරු සියල්ලෙන් ඉවත්ව යැමෙන් පසු කලක් ඇවරියවත්ත ප්‍රදේශයේ වෙදකමේ නිරතව ගමින් පිටව ගිය බව කුමාරසිංහ ඉස්‌කෝලේ මහතාගේ මතකයේ ඇති තවත් කතාවකි.
එහෙත් එතුමන් වැන්නකු රුවන් මැලි සෑ චෛත්‍ය යළි ගොඩනැගීමේ කාර්යයේදී පෙරමුණ ගෙන චෛත්‍ය වර්ධන සමාගමට නායකත්වය දුන් බව මෙතෙක් හෙළිදරව් නොවී තිබීමද එකී මතකයේම තිබෙන අපූරු සිදුවීමකි. අපේ අතීතයේ අපට අතපසු වූ දැ මෙසේ තව කොතෙක් තිබිය හැකිද?
ඒබරන් අප්පුහාමි වෙදැදුරාණන්ගෙන් පසු ඇවරියවත්ත ප්‍රදෙAශයේ ඒ තැන ගෙන ඇත්තේ රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ වැඩිමහල් සොයොරෙකගේ පුත්‍රයකු වූ එම්. පී. කුමාරසිංහ හෙවත් මද්දු වෙද මහතා වේ. අදටත් සීදුව අමන්දොළුව ප්‍රදේශය බබලවන සිප්හලක් වන සීදුව අමන්දොළුව මහ විදුහල නිර්මාණය කර රටට දායාද කිරීමේ නිර්මාතෘවරයාද වන්නේ මද්දු වෙදමහතා වේ.
අපේම අතීත උරුමයක් අපේම මිනිසුන් පිරිසක් එක්‌ව අනාගත පරපුර උදෙසා දායාද කිරීමේ ඒ පිංබර කටයුත්ත එදා සිදුව ඇත්තේ එලෙසිනි. නාරංවිට සුමනසාර හිමියන් සහ රන්සිරිනෙල් වෙදැදුරාණන්, හේනේගම සිටු අප්පුහාමි ඇතුළු පිරිස එහි නියමුවෝ වන්නාහ.
එහෙත් මේ ගෙවී යමින් තිබෙන්නේ මීට ශතවර්ෂයකට පෙර 1912 වසරේ එකී උතුමන් එක්‌ව ආරම්භ කළ මෙම වටිනා පුන්‍යකර්මයේ සියවස් සැමරුම වන්නේය. එහෙත් රටට අද දවසේ ඔවුහු සිහිපත් වී තිබේද? මෙකී වටිනා බොදු උරුමය අපට රැක දුන් ඔවුන් සිහිකර රත්නමාලී චෛත්‍ය රාජයාණන් අබිමුවේ පහනක් හෝ දල්වන්නට අපට කල්පනා වුණිද?
එසේ නොවූයේ වත්මන් රුවන් මැලි සෑ චෛත්‍ය වර්ධන සමිතිය මෙකී ඉතිහාසය පිළිබඳ නොදන්නාකම නිසාද? නැතහොත් ඒ ඉතිහාසයෙන් දැන් ඵලක් නොවේයෑයි කාට හෝ කල්පනා වූ බැවින්ද?
කෙසේ වෙතත් අපි මෙසේ කියමු. රත්නමාලි සෑ රදුන් යළි අපට දායාද කළ මේ සියලු උතුමෝ දිව්‍ය සම්පත් ලැබ ඒකාන්තයෙන් මතු බවයකදී දෙව් මිනිස් සැප කෙළවර උතුම් වූ නිර්වාණ සැපතට ළඟා වන්නාහ. අද මේ බිමේ වැසියන් රත්නමාලි චෛත්‍ය රාජයාණන් ඉදිරියට ගොස් එය දැක බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිත් පහන් කර ගන්නා මොහොතක් පාසා ඒ සියලු පින් ඔවුනට අත්වන්නාහ.
සමන් ගමගේ