කෝසල ජනපදය කියන්නේ ඒ කාලයේ භාරතයේ තිබුණු සොළොස් මහා ජනපදයන්ගෙන් බලවත් ජනපද 4 ට අයිති වුණු ජනපදයක්. මේ ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල එහෙමත් නැත්නම් ප්‍රසේනජිත් නමින් හඳුන්වපු රජතුමාට. බුදුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයේ වැඩිම කාලයක් වාසය කරපු සැවැත් නුවර පිහිටලා තිබුණෙත් මේ කොසොල් ජනපදයේමයි.
ඉතින් කොසොල් රජතුමාත් බුදුන් සරණ ගිය උපාසකයෙක් වුණා වගේම බුදුන් වහන්සේට අසීමිත ගෞරවයක් දක්වපු බවත් කියවෙනවා. මේ කොසොල් රජතුමා තමන්ගේ රජ මාළිගාව ආසන්නයේ දාන ශාලවක් කරවලා හාමුදුරුවරු 500 නමකට හැමදාම දානය පිළිගන්නනවා. හැබැයි මේ විදිහට හාමුදුරුවරුන්ට දානය පූජා කළත් විශ්වාසයෙන් ගෞරවයෙන් උන් වහන්සේලාට ඒවා පිළි ගන්වන ඒ වගේම වළඳන්න අවශ්‍ය පහසුකම් සලසන කවුරුත් එතැන හිටියේ නැහැ. ඒක නිසා හාමුදුරුවරු කරන්නේ රජතුමාගේ දාන ශාලාවෙන් දානය අරගෙන තමන් වහන්සේලාට විශ්වාස උපාසක උපාසිකාවන්ගේ ගෙවල්වලට වැඩම කරවනවා දානය වළඳන්න. ඒ උපාසක උපාසිකාවනුත් දානය වළඳන්න තමන්ගේ ගෙදරට වැඩම කරන හාමුදුරුවන්ට ගෞරවයෙන් පිළි අරගෙන ආසන පනවලා රජතුමාගේ දාන ශාලාවේ දානය පරීක්ෂා කරලා බලලා ඒකේ වරදක් තියෙනවා නම් තමන්ගේ ගෙදර සකස් කරපු දානය පිළිගන්වලා අවශ්‍ය ඇප උපස්ථාන සිද්ධ කරනවා.
මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී දවසක් රජතුමා විශේෂ ආහාරයක් ලැබිලා ඒක දාන ශාලාවට පිටත් කරවනවා හාමුදුරුවරුන්ට පූජා කරන්න කියලා. ඒත් දාන ශාලාවේ හාමුදුරුවරු කවුරුත් හිටියේ නැති නිසා ඒ ගැන කරුණු කාරණා හොයපු ඇමතිවරු රජතුමාට කියනවා රජතුමාගේ දාන ශාලාවෙන් දානය ගන්න හාමුදුරුවරු උන් වහන්සේලාට විශ්වාස ගෙවල්වලට වැඩම කරවලා ඒ දානය වළඳනවා කියලා. මේ කතාව අහලා හොඳටෝම කේන්ති ගත්තු රජතුමා වහාම බුදු හාමුදුරුවන්ට බැහැ දැකලා බුදුන් වහන්සේට කියනවා.
"ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලා මධ්‍යස්ථ නැහැ. මම වගේ රජෙක් දෙන අග්‍ර වෙන දානයක් මගේ දාන ශාලාවේදී වළඳන්නේ නැතුව වෙන ගෙවල්වලට වැඩම කරවලා වළඳනවා. ඒකට හේතුව මොකක්ද?" කියලා.
මේ අවස්ථාවේදී බුදු හාමුදුරුවේ වදාරනවා "රජතුමනි ඔබතුමාගේ දානය අග්‍ර වුණත් විශ්වාසයක් නැහැ, ඒක නිසා භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට විශ්වාස ආදරයෙන් දෙන දානය වළඳනවා වගේම ඒවගේ අය ඉන්න ස්ථානවලදී දානය වළඳනවා" කියලා.
පස්සේ රජතුමා අහනවා "ස්වාමීනි භික්ෂූන් වහන්සේලා කාව හරි විශ්වාස කරන්නේ කොහොමද?" කියලා. බුදුන් වහන්සේ වදාරනවා "රජතුමනි සෝවාන් වුණු අය ගැන වගේම ඥාතීන් ගැන භික්ෂූන් වහන්සේලා හුඟක් විශ්වාස කරනවා" කියලා.
ඒ වෙද්දී ශාක්‍ය වංශයේ රජ දරුවන්ගෙන් ප්‍රධාන රජතුමා විදිහට කටයුතු කරන්නේ මහානාම කියන ශාක්‍ය රජතුමා. කොසොල් රජතුමා මහානාම රජතුමා හසුනක් යවලා කියනවා ශාක්‍ය වංශයට නෑයෙක් වෙන්න කැමතියි. ඒක නිසා මට සරණ පාවා ගන්න කුමරියක් එවන්න කියලා.
ශාක්‍ය රජ දරුවෝ තමන්ගේ ජීවිතේ නැතිවුණත් තමන්ගේ තත්වයට නොගැලපෙන අයත් එක්ක කෑම කන්නේ නැති නිසා කෝසල රාජ දූතයෝ මහානාම ශාක්‍ය රජතුමාට කියනවා"ස්වාමීනි අපේ අපේ රජතුමාට බොහොම බයයි. ඒක නිසා ඔබතුමා දියණියත් එක්ක ආහාර අනුභව කරනවා නම් අපිට කිසිම සැකයක් නැහැ" කියලා. මහානාම ශාක්‍ය රජතුමා හා කියලා ඒ යෝජනාව පිළි අරගෙන සියලු දෙනාම ඉදිරියේ දියණියත් එක්ක ආහාර ගන්නම් කියලා ප්‍රකාශයක් කරලා තමන්ගේ ඇමතිවරුන්ට ප්‍රයෝගයක් කරන්න උපදෙස් දීලා වාසභඛත්තිකාව සරසවලා තමන් සමීපයට ගෙන්වනවා.
පස්සේ වාසභඛත්තිකාවගේ හිස අතගාලා බොරුවට කදුළු හළලා මහානාම රජතුමා "පුතේ කොසොල් රජතුමා සමීපයට ඔබව යවන්නයි මේ සූදානම. ආයි දකින්න සෑහෙන කාලයක් යනවානේ. අපි අන්තිමට පාරට බත් ටිකක් කමු" කියලා වාසභඛත්තිකාව අතට බත් තියෙන පිඟාන දෙනවා. හැබැයි වාසභඛත්තිකාව බත් අනන්න ගන්න කලින් මහානාම රජතුමා බත් පිඬක් අනාගෙන කන්න යද්දි කටට ළං කරද්දීම රජතුමාගේ ප්‍රයෝගයේ විදිහට ඇමතියෙක් ඇවිත් පසල් දනවුවකින් ආපු හදිසි හසුනක් කියලා රජතුමාට හසුනක් පිළිගන්නනවා.
ඒ වෙලාවේ රජතුමා පුතා බත් කන්න කියලා වම් අතින් හසුන අල්ලාගෙන බත් පිඟානේ අත දමන්නේ නැතුව හසුන කියව කියව වාසභඛත්තිකාව බත් කාලා ඉවර වෙනකම් අනම් මනම් කියව කියව ඉන්නවා. අන්තිමට වාසභඛත්තිකාවත් එක්ක බත් කෑවා වගේ පේන්න අත හෝදනවා. කෝසල රාජ දූතයන්ට මේ හොරේ අල්ලගන්න බැරිවෙනවා. ඉතින් එයාලත් වාසභඛත්තිකාව මහ පෙරහැරෙන් සැවැත්නුවර ගෙනිහින් කොසොල් රජතුමාට සරණ පාවා දෙනවා. රජතුමාට වාසභඛත්තිකාව තමන්ගේ අගමෙහෙසිය කරලා තමන් දැන් බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කියලා බොහොම සතුටට පත් වෙනවා. ටික කාලයකට පස්සේ වාසභඛත්තිකා අග බිසව රජතුමාට දාව පුත් කුමරෙක් බිහි කරනවා.
කොසොල් රජතුමා ඇමතිවරුන්ට නියම කරනවා මේ පිළිබඳව තමන්ගේ මව් බිසවට දැනුම් දෙන්න කියලා. මව් බිසව මේ ගැන අහලා සතුටු වෙලා "වාසභඛත්තිකාව අද ඉදන් මගේ පුතාට වල්ලභයි" කියලා කියනවා. මව් බිසවට මේ පණිවුඩය අරගෙන ගිය ඇමතියා පොඩ්ඩක් බීරි නිසා එයාට ඇහෙන්නේ "විඩූඪභ" කියලා. එයා රජතුමාට කියනවා කුමාරයාට මව් බිසව විඩූඪභ කියලා නම් තිබ්බා කියලා. ඒ නම තමන්ගේ රාජ පරම්පරාවේ පරණ නමක් කියලා හිතපු රජතුමා ඒ නම තමන්ගේ පුත් කුමාරයාට හොඳයි කියලා පිළිගන්නවා. දාසියක් වෙලා හිටිය තමන්ට මේ විදිහට කොසොල් රජතුමාගේ අග මෙහෙසිය වෙන්න පුලුවන් වුණේ බුදු හාමුදුරුවෝ නිසා කියලා සතුටු වුණු වාසභඛත්තිකාවත් ඒ වගේමයි කොසොල් රජතුමාත් බුදු හාමුදුරුවෝ ගැන ගොඩක් පැහැදුණා.
මෙහෙම ටික කාලයක් යද්දී විඩූඪභ කියන්නේ කඩවසම් තරුණයෙක්. එයාට පේනවා හැමෝගේම මව් පාර්ශවයේ නෑයෝ ඉන්නවා. ඒත් තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ නැහැනේ කියලා. අම්මාගෙන්ම මේ ගැන අහන්න ඕනේ කියලා හිතපු විඩූඪභ තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ ගැන වසභඛත්තිකා අග බිසවගෙන් අහපුවාම එයා කියනවා ශාක්‍ය වංශිකයෝ තමා තමන්ගේ නෑයෝ කියලා. තමන්ගේ අම්මාගේ නෑයෝ බලන්න තකහනියේ ලෑස්ති වුණු විඩූඪභ කුමාරයා තමන්ගේ පිරිසත් එක්ක කිඹුල්වත් නුවරට ගියා. දාසියගේ පුත්‍රයා වුණත් කොසොල් රජතුමාගේත් පුත්‍රයා නොවැ. ඒක නිසා ශාක්‍යයෝ විඩූඪභව බොහොම ආදරයෙන් පිළි අරගෙන සංග්‍රහ ආදිය කලා. ඊට පස්සේ ඉතින් විඩූඪභ ආපහු සැවැත් නුවරට එන්න පිටත් වුණා. මේ අතරවාරයේදී විඩූඪභගේ සොල්දාදුවෙක් තමන්ගේ කඩුව දාලා ඇවිත් ඒක අරන් එන්න ආපහු කිඹුල්වත් නුවරට ගියා. ඒ වෙලාවේ එයා දැක්කා විඩූඪභ කුමාරයා වාඩිවෙලා හිටිය පුටුව විඩූඪභට බැන බැන කිරිවලින් හෝදන සේවිකාවක්. "දාසියගේ පුතා දාසියගේ පුතා" කියලා තමා ඒ සේවිකාව විඩූඪභට බැන වදින්නේ.
පස්සේ කරුණු කාරණා දැනගත්තු සොල්දාදුවා මේ ගැන විඩූඪභට කියනවා. තමන්ගේ මව් පරම්පරාව ගැන මෙච්චර කල් රහසක් වෙලා තිබුණු කතාව අහපු විඩූඪභට හොඳටම කේන්ති යනවා. ඒ වෙලාවේ එයා තමන්ටම පොරොන්දු වෙනවා තමන්ට අපහාස කරපු ශාක්‍යයන්ගේ ලේවලින්ම ශාක්‍යයන්ගේ පුටු ඔක්කෝම හෝදනවා කියලා. මේ කාලය වෙද්දී කොසොල් රජතුමාටත් එච්චර හොඳ කාලයක් වුණේ නැහැ. මොකද රජතුමා තමන්ගේ හොඳම සේනාපතියා වුණු බන්ධුල සේනාපතියා වගේම එයාගේ දරුවන්ට නිස්කාරණේ සැකයක් ඇති කරගෙන මරා දමලා තිබුණේ. මේක නිසා රජතුමා බන්ධුල සේනාපතිගේ නෑයෝ හිතවත් කරගන්න බන්ධුල සේනාපතිගේ නෑයෙක් වුණු දීඝකාරායනව ප්‍රධාන සෙන්පතියා විදිහට පත් කළා.
දවසක් කොසොල් රජතුමා බුදු හාමුදුරුවෝ බැහැ දකින්න ගිය වෙලාවක තමන් එක්ක ගිය දීඝකාරායන සෙන්පතියාට රාජකීය ආභරණ, මඟුල් කඩුව ආදී සියල්ල දීලා බොහොම සාමාන්‍ය විදිහට තමා ආරාමයට ඇතුල් වෙන්නේ. ඒක අවස්ථාව කරගත්තු දීඝකාරායාන තමන්ගේ ඥාති සහෝදරයා මරපු පළිය ගන්න හොඳම අවස්ථාව මේක කියලා හිතලා රාජකීය භාණ්ඩ අරගෙන ගිහින් විඩූඪභ කුමාරයාව කෝසල ජනපදයේ රජතුමාට බවට පත් කරනවා. බුදු හාමුදුරුවන් බැහැ දැකලා කතා බහ නිමා කරලා එළියට ආපු කොසොල් රජතුමා දකිනවා තමන්ගේ සේනාවේ කවුරුත් එතැන නැති බව. එක අශ්වයෙකුත් පරිවාර කාන්තාවකුත් විතරක් ඉතුරු කරලා තමා දීඝකාරායන එතැනින් යන්නේ. පස්සේ කොසොල් රජතුමා ආයි පාරක් තමන්ගේ රාජ්‍යය ගන්න උපකාරයක් ඉල්ල ගෙන තමන්ගේ බෑණා වුණු මගධ ජනපදයේ රජතුමා වුණු අජාසත්ත හම්බෙන්න රජගහ නුවර බලා පිටත් වෙනවා.
කොසොල් රජතුමා රජගහ නුවරට යද්දී රෑ බෝ වුණා. ඒ වෙද්දී වාසල් දොරටු වහලා තිබුණේ. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයට ඇතුල් නුවරට ඇතුල් වෙන්න බැරිවෙන්න සතර වාසල් දොරටු වහලා දානවා. ඒක නිසා කොසොල් රජතුමා වාසල් දොරටුව ගාව තිබුණු ශාලාවක රාත්‍රිය ගත කරද්දී හිතේ තිබුණු දුක වගේම අධික සීතල ඉවසාගන්න බැරුව මියයනවා. පහුවෙනිදා උදෑසන මේ ගැන දැනගත්තු අජාසත් රජතුමා කොසොල් රජතුමාගේ අවසන් කටයුතු උසස් අන්දමින් සිද්ධ කරනවා. මේ අතරවාරයේ විඩූඪභ දීඝකාරායාන සේනාපතියාගේ උදව්වෙන් ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න සේනා අරගෙන පිටත් වෙනවා. මේ සිද්ධිය අලුයම් කාලයේදී මහා කරුණාවෙන් ලෝකය දිහා බලන බුදු හාමුදුරුවෝ දකිනවා. විඩූඪභ ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ලොකු අකුසලයක් කරගන්න යන නිසා ඒකෙන් එයාව මුදවන්න බුදු හාමුදුරුවෝ ශාක්‍ය දේශයට විඩූඪභ ගමන් කරන මාර්ගයේ අතර මැද ස්ථානයක වැඩ ඉන්නවා. ශාක්‍ය දේශය බලා යන ගමනේදී විඩූඪභ දකිනවා සෙවණක් නැති ස්ථානයක අධික රස්නේ මැදම බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා.
සෙවණක් නැති ස්ථානයක වැඩ ඉන්නේ ඇයි කියලාම විඩූඪභ ඇහුවාම බුදු හාමුදුරුවෝ පිළිතුරු දෙනවා උපන් බිමෙන් හමා එන මඳ සුළඟෙන් පවා තමන් වහන්සේට සුවයක් දැනෙනවා කියලා. බුදු හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශයත් එක්ක බුදු හාමුදුරුවෝ නිසා ශාක්‍ය ජනපදයේ සංහාරයට යන එක නතර කරලා විඩූඪභ ආපහු කෝසලය බලා පිටත් වෙනවා. දෙවෙනි වරටත් විඩූඪභ ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න යද්දී කලින් සිද්ධිය ආයි පාරක් වෙනවා. ඒක නිසා විඩූඪභ ආපහු කෝසලය බලා ගියත් තුන්වෙනි වතාවේ නම් බුදු හාමුදුරුවෝ මේ අකුසලයෙන් විඩූඪභ වළක්වන්න වැඩම කරන්නේ නැහැ. ඒකට හේතුව තමා ශාක්‍යයන්ගේ අකුසලයකුත් බලවත්ව ඉස්මතු වුණු එක.
අවසානයේදී සිද්ධ වෙන්නේ විඩූඪභ තමන්ටම පොරොන්දු වුණු විදිහට ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ශාක්‍යයන්ගේ ලේවලින් පුටු සියල්ලම හෝදනවා. මේ ශාක්‍ය සංහාරයෙන් ජීවිතය ගලවා ගන්නේ බොහොම ස්වල්ප පිරිසක්. ඒ පිරිසේ තමා ඉන්නේ සුද්ධෝදන රජතුමාගේ බාල සහෝදරයෙක් වුණු අමිතෝදන රජතුමාගේ පුත්‍ර පණ්ඩු ශාක්‍ය කුමාරයා. පණ්ඩු ශාක්‍යගේ දියණිය තමා භද්දකච්චායනා කුමරිය. එයා තමා ලංකාවේ රජ වෙලා හිටිය පණ්ඩුවාසදේව රජතුමා අග බිසව වෙන්නේ.
ශාක්‍යයන්ව මේ විදිහට සමූල ඝාතනය කරපු විඩූඪභට මොකද වුණේ කියන එකත් කට්ටියට ප්‍රශ්නයක් ඇති. ශාක්‍ය ජනපදයේ ආක්‍රමණය නිමා කරලා ආපහු එන විඩූඪභ ඇතුළු සේනාව කරපු බරපතල අකුසල කර්මය නිසා එයාලා ගමන් කරපු රථවල රෝද කළුගල් තලාවකදී මඩේ එරුණා හා සමානව එරුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ කියවෙනවා. දඹදිව වන්දනාවේ යන අය නරඹන්න යන එක් ස්ථානයක් තමා මේ විඩූඪභගේ රථ එරුණු කළුගල් තලාව.
ඒ කළුගල් තලාවත් පහු කරලා කෝසලය බලා එද්දී රෑ බෝ වුණු නිසා අචිරවතී කියන ගංගා ඉවුරේ රාත්‍රිය ගත කරන්න කඳවුරු බඳින්න කෝසල සේනාව තීරණය කරනවා. ඒ වෙද්දී ලොකු පෑවිල්ලක් තිබුණු නිසා ගං ඉවුරේ මේ කඳවුර ඉදි කරනවා වගේම හුඟක් සොල්දාදුවෝ නිදාගන්නේ ගං ඉවුරේ. ඒත් විඩූඪභගේ අකුසලයේ බලවත්කම කොච්චරද කියනවා නම් අකාලයේ වැහැපු වැස්සක් නිසා ඇතිවුණු ගංවතුරක් නිසා අචිරවතී ගං ඉවුරේ කඳවුරු බැඳගෙන හිටිය විඩූඪභ ඇතුළු සේනාව ගංවතුරට අහුවෙලා මියයනවා. හැබැයි සොල්දාදුවෝ කීප දෙනෙක් අරුම පුදුම විදිහට බේරෙනවා.
මේ විදිහට කෝසල ජනපදය වගේම ශාක්‍ය ජනපදය අරාජික වුණු ඒ ප්‍රදේශ සියල්ලම මගධයේ අධිපතියා වුණු අජාසත්ත අත්පත් කරගන්නවා. ඊළඟට කලින් කතාවකත් කිව්ව විදිහටම වසර 16 ක යුද්ධයකින් පස්සේ වජ්ජි ජනපදයේ ලිච්ඡවියන් පරාජය කරලා ඒ ජනපදයත් ඈඳා ගන්නවා. මේ විදිහට අජාසත්ත භාරතයේ මගධය මුල් කරගෙන අධිරාජ්‍යයක් බිහි කරන්න කටයුතු කරනවා.
ඕන් ඔහොමයි ශාක්‍ය වංශය අවසානය සිද්ධ වුනේ...
ප.ලි.: කතාව කියන්න කරුණු හොයාගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය ග්‍රන්ථයේඅසදෘශ මහාදාන පූජා කතා කොටසෙන් වගේම දහම් පාසල් අවසාන ශ්‍රේණියේ ශාසන ඉතිහාසය පෙළ පොතේ කෝසල රජතුමාගේ මරණය නම් කොටසෙන්
හසිත චාමිකර ගුණසිංහ