රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

රුවන්වැලි මහා සෑය හුණු පිරියම් කරන හැටි


දෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති බව කියැවෙන ”රුවන් වැලි සෑය”


කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පූර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගැන්වූ බව සඳහන් රුවන්වැලි සෑයේ ආකෘතිය අබිමුව මම නැවතී හිඳිමි. සළපතල මළුව මත දකුණු පස වාහල්කඩ අසලට වන්නට ඇති මේ කුඩා ශෛලමය චෛත්‍යය ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරුවකු වී හමාරය. කිසිදු චෛත්‍යයක තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම ”අසදෘස මහාථූපය” ලෙස ද රුවන්වැලි සෑයට නම් පටබැඳී ඇත. අතීතයේ ”ද්‍රෝණයක්” ලෙස හඳුන්වා ඇත්තේ ”ලාස්” හතරකට නොඑසේනම් ”නැලි” දාසයකටය.
 
”එම්.ජී. සුනිල් ශාන්ත”
 
 ”කේ.ඒ. ප‍්‍රභාත්”
 
”කුමාරගේ සම්පත්”
 
”පී.කේ. ජයතිස්ස”
 
”ගාමිණි අබේරත්න”
 
”ඞී.ජේ. විමලතුංග”
 
”සුමිත් කුමාර”
කි‍්‍ර.පූ. 161-137 තරම් දුරාතීතේ දුටුගැමුණු රජ දවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය ස්වර්ණමාලී, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථූප ආදී නම් වලින්ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරයි. ස්වර්ණමාලි නම් දෙවඟන විසූ තෙලඹු රුක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබූ බව ප‍්‍රකටව පවතින ජනප‍්‍රවාදයකි.
”හුණු ටොන් 10ක් විතර සම්පූර්ණයෙන්ම චෛත්‍යයේ හුණු ගාල ඉවර කරන්ඩ  ඕනෑ වෙනවා. අඩි 35 කට වැඩිය දිග උණ බම්බු 650 ක්, කොහු ලණු කිලෝ ග්රෑම් 650 ක්, ”කිත්තන්” ලණු අඟල් එකහමාරෙන් මීටර් 1,000 ක් විතරත්  ඕනෑ වෙනවා. ”කිත්තන්” ලණුම අඟල් දෙකෙන් මීටර් 200 ක් විතරයි, අඟලේ ප‍්‍රමාණෙන් මීටර් 800 ක් විතරයි අලූතෙන් ගන්ඩ වෙනවා. මොකද පාවිච්චි කරපු ලණු වල පොඩි හරි පලූද්දක් තිබ්බොත් ඒක හිතට හරි මදි. චෛත්‍යය සූරන්ඩ ගන්න ”වයර් බ‍්‍රෂ්” විතරක් දුසිම් 30 කට වැඩිය යනවා මේ වැඬේට”
රුවන්වැලි සෑයේ හුණු පිරියම් කිරීමේ කටයුත්තට මතුගම, වළල්ලාවිට හිඳ මෙහි පැමිණ සිටි ”කුමාරගේ සම්පත්” මා හා සිදුකළේ එවැනි හෙළිදරව්වකි. වර්ෂයක් පාසා සිදුවන රුවන්වැලි සෑ හුණු පිරියම් කිරීමේ කාර්ය වෘත්තිය නිපුනත්වයකින් යුතු මිනිස් ශ‍්‍රමය භාවිත වන අවස්ථාවක් ලෙසත්, විසල් ධන සම්භාරයක් වැයවන කාර්යයක් ලෙසත් හැඳින්විය හැකිය. මේ ශිල්පීන් පවසන පරිදි සමස්තයක් ලෙස මෙම හුණු පිරියම් කිරීමේ කාර්ය නිමා කිරීම සඳහා රුපියල් ලක්ෂ 65 කට ආසන්න මුදලක් වැයවේ. විවිධ රසයෙන් සපිරි අතීත මතකයන් යළි අවදිකළ ”සම්පත්” පහත දෑද මා හා පැවසුවේ නිර්ලෝභීවය.
”1981 අවුරුද්දේ ඉඳලා 2007 අවුරුද්ද වෙනකන්ම අපේ තාත්තා තමයි කට්ටිය අරගෙන ඇවිල්ලා චෛත්‍යයේ හුණු ගෑවේ. මාත් තාත්තත් එක්ක දන්න කියලා කාලේ ඉඳලා මේ වැඬේට අනුරාධපුරේට එනවා. මගේ අයියලා දෙන්නත් එදා ඉඳලා අද වෙනකන්ම මේ පිංකමට එකතු වෙනවා. 2007 ඉඳලා අවුරුදු හතරක් හුණු පිරියම් කරන එක වෙන කට්ටියක් තමයි කෙරුවේ. 2011 ඉඳලා ආපහු මේ වැඬේ අපිට පැවරුණා. අපි බොහෝම කැමැත්තෙන් මේ පිංකම කරන්නේ.”

සැඳෑ හිරු ක‍්‍රමයෙන් මෝදුවන අඳුර සමග හාදවෙමින් සිටී. වරෙක අනෝරා වැස්සටත් පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් අකා මකා දාගැබ සුදෝ සුදට හැරවීම මේ ශිල්පීන් අබිමුව ඇති අභියෝගයයි. උණ බම්බු ඉනිමං මත පියෙන් පිය නැග සෑය මත සුණු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. හමා එන සුළඟත්, විටෙක නැගී එන අකීකරු අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම කොතෙක් නම් විය හැකිද? එහෙත් මේ මිනිසුනට එහි ඇති අරුමයක් නැති සෙයකි.
”අපි කාලයක් තිස්සේ මේ වැඬේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. අලූතින් මේ වැඩවලට එකතු වෙන කෙනෙකුට ඇත්තටම බයක් දැනෙන්න පුලූවන්. එහෙම එකපාරටම අලූතින් එන කෙනෙක් හුණු ගාන්ඩ චෛත්‍ය උඩට යවන්නේ නෑ. හුණු දිය කරන්ඩ, පලංචි බඳින්ඩ වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ.”
ඉකුත් වසරේ ද මේ සලපතල මළුව මතදී මට මුණගැසුනු ඇල්පිටියේ සිට පැමිණි 52 හැවිරිදි ”එම්.ජී. සුනිල් ශාන්ත” මහතා මා හා පැවසුවේ එවැන්නකි. ඔහු සේම ”ජී.කේ. ජයතිස්ස මහතා” ද ඉකුත් වසරේ දී මේ බිම මත මා හා ලෙංගතු වූ අයෙකි. හෙතෙම හැටඑක් හැවිරිදිය. ඔහුගේ මෙන්ම මා තුළ ද එකම ඉසව්වකදී, එකම අරමුණක් සඳහා යළි හමුවීමේ සතුට දළුලා තිබිණි.
”ගිය පාර පත්තරේ දාපු විස්තරේ අපි දැක්කා. ඒ වෙලාවේ නම් කියාගන්ඩ බැරි තරම් ලොකු සතුටක් දැනුනා. ඉතිං මහත්තයාව මේ විදිහට ආයේ හම්බ වෙච්ච එකත් ලොකු සතුටක්” හෙතෙම පැවසීය.
එවක චෛත්‍යයේ ඉදිකිරීම් නිමා කිරීමට දුටුගැමුණු රජුට නොහැකිව ඇති බවත්, කි.පු. 137-119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමා කොට ඇති බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. මුල් වකවානුවේ අඩි 300 ක් උසට නිමවා ඇති රුවන්වැලි සෑයේ වටප‍්‍රමාණය අඩි 900 ක් පමණ වී ඇත. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැුස් සලපතල මළුවේ එක් අන්තයක දිග අඩි 480 ක් පමණකි. කි.ව. 1017 දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමග එහි වූ වෙහෙර විහාර ද විනාශයට පත්වී ක‍්‍රමයෙන් වල්වැදී ඇත.
”අපි ඉස්සෙල්ලම කරන්නේ පලංචි බඳින එක. පලංචි බඳින්ඩ විතරක් සති දෙක හමාරක් තුනක් විතර යනවා. ඊට පස්සේ ”වයර් බ‍්‍රෂ්” වලින් මුළු චෛත්‍යයම සම්පූර්ණයෙන්ම සූරනවා. ඊට පස්සේ හූරපු හුණු හේදෙන්ඩ වැස්සක් වහිනකන් ඉන්නවා. හුණු හේදුනාට පස්සේ තමයි හුණු ගාන්ඩ ගන්නේ. අපි වට දෙකක් හුණු ගානවා. සම්පූර්ණයෙන්ම හුණු ගාලා වැඩ ඉවර කරන්ඩ කොහොමත් මාස තුනක් තුන හමාරක් විතර යනවා. වැඬේ පටන් ගන්න කලින් ජයසිරිමා හාමුදුරුවන්ට භාර වෙනවා. කරදරයක් නැතිව අපිට මේ වැඬේ අවසන් කරන්න ආරක්ෂාව දෙන්ඩ කියලා. වෙසක් පෝයට කලින් වැඬේ ඉවර කරලා ශ්‍රී මහා බෝධිය ඉස්සරහ කිරි උතුරවලා භාරහාර ඔප්පු කරනවා.”
1981 වර්ෂයේ සිට මේ දක්වා හුණු පිරියම් කිරීමේ කටයුත්ත සඳහා මෙහි පැමිණ ඇති 46 වියැති ”සුමිත් කුමාර” පැවසුයේ එවැනි කථාවකි. ඔහු පෙර මා හා කතා කළ සම්පත්ගෙ සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකි.
”හොඳයි හදිසියේවත් වැස්ස වහින්ඩ ප‍්‍රමාද වුණොත් මොකද කරන්නේ” මා ඇසිමි.
”එහෙම වුණොත් ඉතිං බවුසර් වලින් වතුර ගෙනල්ලා චෛත්‍යයට වතුර ගහලා තමයි හුනු ගාන්ඩ ගන්නේ”
”මේ පාර කීදෙනෙක් විතර වැඩට ඇවිල්ලා ඉන්නවද?” මා යළි අමතක වන්නට ගිය පැනයක් හදිසියේ මතු කළෙමි.
”මේ පාර තිස්පස්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. හැමෝම නම් අද නෑ. හැමෝම ඔය මාස තුන හතරම එක දිගට වැඩ කරන්නේ නෑ. සතියකට හමාරකට සැරයක් ගෙදර ගිහිල්ලා එන්ඩ යනවා.”
මෙම මහාර්ඝ කාර්යයේ ඇති පුළුල් බව පහදමින් සුමිත් යළි පැවසීය. කාලානුරූපව ගරා වැටී, වල්වැදුනු රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ”නාරංවිට සුමනසාර හිමියන්ගේ” මූලිකත්වයෙන් 19 වැනි ශතවර්ෂයේ දී ආරම්භ වී වර්ෂ 1940 පමණ වන විට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338 කි. වටප‍්‍රමාණය අඩි 942 කි. රන් අලේපිත කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25 ක් පමණකි. අක්කර පහක පමණ හතරැුස් මළුවක් තුළ චෛත්‍යය නිර්මාණය වී ඇත.
”කිත්තන් ලණු වලින් තමයි ඉනිමං රඳවගන්නේ. හතරැස් කොටුවේ ඉනිමං එල්ලනවා. වාහල්කඩවල් වලට ලණු ඇදලා ඉනිමං රඳවා ගන්නවා. වැඩි හරියක් මේ ඉනිමං උඩ ඉඳගෙන තමයි හුනු ගාන්නේ.”
වසර කිහිපයක් මුළුල්ලේ මතුගම සිට මෙහි පැමිණ වාර්ෂික හුණු පිරියම් කිරීමේ කාර්යයට දායක වන තිස්හය වියැති ”ඞී.ජේ. විමලතුංග” පැවසුවේ එවැන්නකි. උණ බම්බු මගින් අඩි 60 ක් දිගට සිටින සේ ඉනිමං සකසා සලපතල මළුවේ සිට ධාතු ගර්භයේ අඩි 60 ක පමණ ප‍්‍රමාණයේ හුණු පිරියම් කිරීම සිදුකරනු ලබති. අනතුරුව දේවතා කොටුව දක්වා තවත් ඉනිමං 07 ක් උපයෝගී කොටගෙන හුණු ගැල්වීම සිදුකරන බව මේ ශිල්පීන් සඳහන් කළ කරුණකි.
”මං 1988 අවුරුද්දේ ඉඳලා මේ හුණු පිරියම් කරන පිංකමට සම්බන්ධ වෙනවා.” මතුගම, වළල්ලාවිට සිට පැමිණි 57 හැවිරිදි ”ගාමිණී අබේරත්න මහතා” පැවසූයේ එවැන්නකි. ජීවිතයේ සැඳෑ සමයේ ද ජීවිතය ජීවත් කරවීම උදෙසා වෙහෙසෙන ඔහුගේ වෙහෙසකර දෙනෙත බොඳවී ඇත.
”උදේ කීයට ද වැඩ පටන් ගන්නේ” මතුවූ කුතුහලයෙන් යුතුව මා යළි ඇසීමි.


 හුණු පිරියම් කිරීමේ පිංකමට මතුගම, වළල්ලාවිට සිට පැමිණ ඇති සහපිරිවර

”උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහ හමාර විතර වෙනකොට නවත්වනවා. දොළහ හමාරට විතර දවල්ට කෑමට වැඩ නවත්තපුවහම අපි පැය දෙකක් විතර ඉන්නවා. මධ්‍යහ්න වෙලාවට අව් රශ්නේ වැඩියි.” හේ පැවසීය.
”දැන් මේ එන හුළඟත් එක්ක හුණු ගාගෙන උඩට යනකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද?” පුපුරු ගසන යෞවනයේ මං සලකුණු නොඅඩුව සපිරි අයෙකු වෙතින් මා ඇසිමි. හේ වළල්ලාවිට සිට පැමිණි 27 හැවිදිරි ”කේ.ඒ. ප‍්‍රභාත්” තරුණයාය.
”එක අතකින් මේක පිනක්.... අපි ඉතිං මාස තුන හතරක් තිස්සේ ගෙදරින් ඈත්වෙලා ඉන්නේ... කාලා බීලා සන්තෝෂෙන් ඉන්නවා. බොරු කියන්ඩ  ඕන නෑ කීයක් හරි හම්බ කරගන්ඩත් පුලූවන්. ඉතිං මොකටද බයවෙන්නේ.”
එළැඹෙන වෙසක් සහ විශේෂයෙන් පොසොන් පොහොය අරමුණු කොටගෙන දියත් වන මේ හුණු පිරියම් කිරීමේ කාර්යය අවසාන දුර්වර්ණ සේයා පසුබා සෑය සුදෝ සුදට හැරී ඇති ස්වර්ණමාලිය දිදුලනයුරු ඔබ මා නෙත ගැටෙනු ඇත.

සටහන හා ඡායාරූප  - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග


පෙළින් පෙළට උණ බම්බු ඉනිමං මත නැගී හුණු පිරියම් කරන දසුන

රුවන් වැලි සෑ ගර්භය මත සකස් කළ උණ බම්බු ඉනිමං රඳවා ඇති අයුරු

හුණු සූරා ඉවත් කිරීම සඳහා භාවිතා කරන ”වයර් බ‍්‍රෂ්”

ඉනිමං රැඳවීම සඳහා භාවිතා කරන ”කිත්තං ලණු”
 2013 මාර්තු මස 31 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
Related Posts Plugin for WordPress, Blogger...