අවමන් ලද අමුත්තා ලක්‍ෂ 5 ක් පූජා කරයි
නාරංවිට සුමනසාර හිමියන් රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ආරම්භ කරන කාලයේ අනුරාධපුර ප්‍රදේශය පැවැතී ඇත්තේ දසතින් ඝන කැලෑවෙන් වට වූ ඉතාම දුෂ්කර පරිසරයක බව ඒ පිළිබඳ වන ඉතිහාස සටහන්හි සඳහන්ව තිබෙන්නකි.
අද මෙන් විශාල පිරිස් අනුරාධපුර වන්දනාවේ යැමක්‌ද එකල තිබී නැති අතර දැඩි ශ්‍රද්ධාවෙන් සහ වීර්යයෙන් යුක්‌ත වූ උන්වහන්සේ මේ මහා පිංකමට අත ගසා ඇත්තේ එවන් වටපිටාවක් යටතේ වීමද එහි ඇති විශේෂත්වයකි.
එහෙත් අවාසනාවකට මෙන් උන්වහන්සේට එකී කාර්යය නිමා කර ගැනීමට නොහැකි වීමත් සමග 1912 වසරේ සැබෑ සිංහල බෞද්ධ උපාසකයකු ලෙස මෙම භාරධූර වගකීමට උරදෙන කුමාරසිංහ රන්සිරිනෙල් වෙද මහතා එකී කටයුතු ආරම්භ කරනුයේ මුල් වරට රුවන්මැලි සෑ චෛත්‍ය වර්ධන සමාගම නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් එහිද ප්‍රධානත්වය උසුලමිනි.
මෙකී රුවන්මැලි සෑ චෛත්‍ය සංවර්ධන සමිතිය යන්න අද වන විට නාමික ආයතනයක් පමණක් බවට පත්ව ඇති අතර එහි අවසානය සටහන්ව ඇත්තේද චෛත්‍යයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු නිමාවත් සමගින් වේ. ඒ පිළිබඳ අපි පසුව සටහන් කරන්නෙමු.
හරියටම මෙයින් ශතවර්ෂයකට පමණ ඉහත සිදුව ඇති මෙම ආරම්භයත් සමග රුවන්මැලි මහා සෑ රදුන්ගේ සියලු ප්‍රතිසංස්‌කරණ කටයුතු සම්පූර්ණයෙන්ම සිමෙන්ති බදාමයෙන් නිම කිරීමට රන්සිරිනෙල් වෙදැදුරාණන් තීරණය කරනු ලබන්නේ ඒ සඳහා පිරිසිදු ඉංජිනේරු තාක්‍ෂණ ශිල්පීය ඥනය සේම අති දක්‍ෂ කර්මාන්තකරුවන්ගේ සේවයද ලබා ගනිමිනි. එහිදී නාරංවිට සුමනසාර හිමියන් කරවූ වෙහෙර කර්මාන්තයේදී ශේෂව තිබූ බදාම කොටස් පවා ඉවත් කරමින් එතුමන් මේ කටයුත්තට මුලපුරනුයේ අපේම වූ එකී බොදු උරුමය ශතවර්ෂ ගණනාවක් ගතව වුව අනාගත පරපුරට දායාද වන ලෙසින් සුරක්‍ෂිත කිරීමේ අරමුණින් බව නිසැකය.
එහෙත් අද දවසේ ඉඳහිට රුවන්මැලි සෑ රදුන්ගේ සුනු පිරියම පමණක් සිදුකරන ඇතැම් සංවිධාන සහ ආයතන තමන් රුවන්මැලි සෑය ප්‍රතිසංස්‌කරණය කළ බවට ඡායාරූපද සමග අපූරුවට වෙබ් අඩවි සරසා අන්තර්ජාලය ඔස්‌සේ පෙළහර පාන්නේ එහි සැබෑ ඉතිහාසය මකා දැමීමට නිර්ලඡ්ජිත උත්සාහයක් දරමින් බව මෙහිදී සංවේගයෙන් සටහන් කළ යුතුව ඇත.
අප මේ කතාව කියනුයේ ඒ අරබයා ඇති මෑත කාලීන සාක්‍ෂිද තිබෙන බැවිනි. එහෙත් ඇත්ත ඇත්ත ලෙස මිස නැත්ත ඇත්ත කිරීමට මෙවන් දේ තුළින් කිසිදු සට්‌ටඹියකුට නොහැකි බවද අප අවධාරණය කරනුයේ කාගෙ කාගේත් වැටහීම පිණිසමය. කුමාරසිංහ රන්සිරිනෙල් වෙදැදුරුතුමන් මේ බිමේ අනාගත පරපුරේ උරුමය වෙනුවෙන් එදා එකී පිංබර කටයුත්ත අරඹා තිබුණේ එලෙසිනි. ඒ ද නිකම්ම නොව මේ සා සුවිශාල කාර්යයක් හමුවේ අවශ්‍ය මුදල් සොයා ගැනීම ඇතුළු අභියෝග රැසක්‌ද සමගිනි. සිදු වූ අහඹු හමුවකදී සුහදව, මේ කතාවට බැඳී ඇති සහ නැති බොහෝ සිදුවීම් අපට කියන්නට වූයේ රන්සිරිනෙල් පරපුරේ පුරුකක් ලෙසින් අද මැදිවිය ඉක්‌මවූවකු ලෙස කටුනායක ඇවැරියවත්තේ දිවි ගෙවන බී. පී. කුමාරසිංහ ඉස්‌කෝලෙ මහතා විසිනි. ඔහුගේ කතාවෙන් කොටසක් ඉකුත් සතියේ අපි ඔබ හමුවේ තැබුවෙමු. එහි තවත් කීමට බොහෝ දේ තිබෙයි. හේ දැනුදු අප සමග සිටියි. මෙහි ඇති රසමුසු තැන් තව තවත් අප හමුවට ගෙනෙයි. අපි ඔහුට ඉඩ දුනිමු. ඔව් මහත්තයෝ, 1912 අපේ රන්සිරිනෙල් වෙද මුත්ත රුවන්මැලි සෑයේ කටයුතු ආරම්භ කරන්න ඉස්‌සර වෙලා ඒ දවස්‌වල හිටිය මහ ඒජන්ත උන්නාන්සෙගෙන් තුන් පාරක් ඒකට අවසර ඉල්ලලා තියෙනවා.. ඒත් මහ ඒජන්ත උන්නාන්සේ ඒක කනකට ගණන් අරගෙන නැහැ. අන්තිමේ මුත්තා දවසක් ඒජන්ත බංගලාවටම ගිහින් උන්දැට කියලා තියෙනවා "උඹ නොදන්නවට රන්සිරිනෙල් වෙදමහත්තා කියන්නේ මම. මං තුන් පාරක් උඹෙන් මේ කටයුත්තට අවසර ඉල්ලුවා ලැබුණේ නැහැ. හොඳයි බලාගමු කියලා.. එහෙම කියලා මුත්තා ආපහු හැරිලා එන්න ඇවිත්. ඒත් මුත්තා ඒ විදිහට හැරුණු වෙලේ ඉඳන් ඒජන්ත මහත්තයට පුටුවේ එක විදිහකට ඉන්න බැරිවෙලා. අන්තිමේ කොල්ලෙක් එවලා ආයෙත් මුත්තව බංගලාවටම ගෙන්නවාගෙනයි ඒජන්ත මහත්තයා වැඩේ කරන්න අවසර දීලා තියෙන්නේ.
මෙහෙම අවසර ලැබුණට පස්‌සේ රන්සිරිනෙල් වෙද මුත්තා රුවන්මැලි සෑය හදන වැඩේ පටන් ගත්තා. මේ කාලෙ වෙනකොට අනුරාධපුරේ පළාත ටිකක් එළිපෙහෙළි වෙලා රටේ මිනිස්‌සුත් වන්දනාවට අනුරාධපුරේ යනවා එනවා. රුවන්මැලි සෑය හදන වැඩේ තියෙන බරපතළකම නිසාම මෙහෙම සෙනඟ වන්දනාවේ එනකොට මුත්තලා පිහිටුවාගෙන තිබුණු චෛත්‍ය වර්ධන සමිතියේ පිරිස කතා වෙලා ඒ දවස්‌වල වන්දනාවේ එන අයගෙන් චෛත්‍ය හදන්න ආධාර මුදලක් එකතුකරන වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. රුවන්මැලි සෑ චෛත්‍ය ඉස්‌සරහ මේස දෙකක් දාලා සමිතියේ කිහිප දෙනෙක් එතන ඉඳගෙනයි ඔය ආධාර එකතු කරලා තියෙන්නේ.. ඒ වදන් කිහිපය පවසත්ම කුමාරසිංහ ඉස්‌කෝලේ මහත්තයාගේ මුවින් සිනහවක් නැගෙන්නට වූයේ තවත් රසමුසු සිදුවීමක් සිහියට නැගුනාක් මෙනි. අපි ඔහු උනන්දු කළෙමු. හේ මුවට නැගුනු සිනහවත් සමගින්ම ඒ සිදුවීම් පෙළද අප හමුවේ තැබීය. එකල රුවන්මැලි සෑ චෛත්‍ය වර්ධන සමිතියේ පිරිස් බැතිමතුන්ගෙන් ආධාරයක් ලබා ගන්නා අතරේ වන්දනාවේ පැමිණි නඩයක සිටි සරම බැනියමින් සැරසී, ලේන්සුවක් කරේ දාගත් පුද්ගලයකු දිනක් ඔවුන් සමීපයට පැමිණියේය.
එසේ පැමිණ මඳක් නිහඬව කෙරෙන කාර්යය දෙස විමසිලිමත් වූ හේ අවසානයේ "මහත්තයෝ මටත් මේ පිංකමට ආධාරයක් කරන්න ඕනේ" යෑයි පවසන්නට වූයේ ඉතා විනීත ලෙසිනි. පැමිණි අමුත්තා එසේ ආධාරයක් දීමට සැරසෙත්ම ඒ මොහොතේ එහි සිටි එකල චෛත්‍ය වර්ධන සමිතියේ ලේකම් ලෙසද කටයුතු කෙරූවකු ඔහු හැඳ සිටි සරම බැනියම දෙසට තියුණු බැල්මක් හෙලමින් කිසිදු ගරුසරුවක් නොදක්‌වාම "තමුසේ කීයක්‌ද දෙන්නේ යි.. අමුත්තා විමසන්නට විය. එකී විමසීමත් සමග මඳ සිනහවක් මුවගට නඟාගත් ඔහු "ම්.. මහත්තයලා එහෙනම් මගේ ගණනේ රුපියල් ලක්‍ෂ දෙකහාමාරක් ලියා ගන්න යෑයි කියන්නට වූයේ සිදු වූ කිසිවක් ගණනකට නොගනිමිනි. ලක්‍ෂ දෙකහමාරක් ? අමුත්තාගේ එකී වදන් පෙළ ඇසෙත්ම මුවගට උපහාසාත්මක සිනහවක්‌ද නගා ගනිමින් එසේ යළිත් ඔහු විමසන්නට වූයේ චෛත්‍ය වර්ධන සමිතියේ ලේකම්වරයාමය.
එකෙනෙහි ආධාර එකතු කිරීමට සිටි සෙස්‌සන්ද ලේකම්වරයා සමග එක්‌ව අමුත්තා දෙස බලා සිනහසෙන්නට වූයේ ඔහු පිස්‌සකු යෑයි සිතන්නාක් පරිද්දෙනි. එහෙත් ඒ කිසිවකින් නොසැලුණු හේ "ඔව් මහත්තයෝ.. ලක්‍ෂ දෙකහමාරක් තමා ඇයි..? මහත්තයලා ලියාගන්න මම දෙන්නම්.. යළිත් පැවැසීය. එකෙනෙහිම අමුත්තාට පිළිතුරු දෙන්නට වූ චෛත්‍ය වර්ධන සමිතියේ ලේකම්වරයා "අනේ මේ තමුසෙට පිස්‌සුද? යනවා ඕයි යන්න මෙතනින්.. ගිහින් අඳින්න හරියට ඇඳුමක් ගන්නවායි පැවසූයේ ඔහු ඇඳ සිටි ඇඳුම දෙස බලා යළිත් සිනහවක් මුව,ගට නගා ගනිමිනි. ලේකම්වරයාගේ එම වදන් කිහිපයත් සමග අමුත්තා වෙතින්ද මතු වූයේ කෝපසහගත ස්‌වභාවයකි. අවසානයේ ඔහු ලේකම්වරයා දෙස දැඩි බැල්මක් හෙළා එම ස්‌ථානයෙන් පිටව ගියේය. එකෙනෙහි ඔහු සමග පැමිණි හැඩි දැඩි මිනිසුන් කිහිපදෙනකුද ඒ පසුපසින් එක් වන අයුරු ආධාර එකතු කිරීමට සිටියෝ දුටුවහ. එහෙත් ඒ කිසිත් ගණනකට නොගත් ඔවුහු සිය කාර්යයේ යෙදෙන්නට වූහ.
ඝන අඩි සියයක් රුපියල් පනහ ගණනේ චෛත්‍යයේ වැඩ කෙරෙමින් තිබූ යුගයක පැමිණි මේ මිනිසා රුපියල් ලක්‍ෂ දෙකහමාරක් එම මහඟු පුන්‍යකර්මය උදෙසා එකවර පූජා කිරීමට සැරසීමෙන් ඇතිවූ විශ්මය නිසාම එදා අධාර එකතු කිරීමට සිටියවුන් එසේ හැසිරුණාදැයි සැකයකි. එහෙත් එකී අරුම පුදුම පරිත්‍යාගයට සැරසුණු උතුම් මිනිසා කවරෙක්‌දැයි අපට හෙළි කරමින් මේ කථාවේ ඉතිරිය යළිත් කුමාරසිංහ ඉස්‌කෝලේ මහතා කියන්නට වූයේ මෙලෙසිනි. "ඔව් මහත්තයෝ. එදා එහෙම චෛත්‍යය හදන පිංකමට එකතු වෙන්න හදලා තිබුණේ වෙන කවුරුවත් නෙමේ. මාතර හේනේගම සිටුගෙදර දොන් හෙන්ද්‍රික් අප්පුහාමි උත්තමයා. හේනේගම සිටු අප්පුහාමි කියන්නෙත් එතුමාට. එදා ඔය සිද්ධිය වුණාට පස්‌සේ කේන්තියත් එක්‌කම හේනේගම සිටු අප්පුහාමි තමන්ගේ පිරිසත් එක්‌ක අනුරාධපුරේ ස්‌ටේසමට ඇවිත් තියෙනවා ආයෙත් ගෙදර යන්න.. හරියටම එවෙලේ අපෙ රන්සිරිනෙල් වෙද මුත්තත් චෛත්‍යය හදන වැඩේට කටුනායක ඉඳන් සෙනඟ අරගෙන අනුරාධපුරේට ගිහිල්ලා. ඔය වෙලාවේ හෙනේගම සිටු මුත්තා එක්‌ක හිටිය කෙනෙක් රන්සිරිනෙල් වෙදමුත්තව හේනේගම සිටු අප්පුහාමිට පෙන්නල කියලා තියෙනවා මේ තමයි රුවන්මැලි සෑය හදන වැඩේ කරන කෙනා කියලා.. පස්‌සේ හේනේගම සිටු අප්පුහාමි වෙදමුත්තා ළඟට ඇවිත් කතා කරලා රුවන්මැලිසෑය ළඟදී තමන්ට වෙච්ච සිද්ධියත් කියලා තියෙනවා.
රන්සිරිනෙල් වෙදමුත්තා ඒක අහලා එවෙලේම හේනේගම සිටු අප්පුත් එක්‌ක ආයෙත් රුවන්මැල sසෑයේ ආධාර එකතුකරන තැනට ගිහින්. එතකොට තමයි ආධාර එකතු කරන තැන හිටිය අය දැනගෙන තියෙන්නේ ලක්‍ෂ දෙකහාමාරක් දෙන්න ආවේ කවුද කියලා. පස්‌සේ හේනේගම සිටු අප්පු දෙන්න හදපු ලක්‍ෂ දෙකහාමාර වෙනුවට ලක්‍ෂ පහක්‌ම එවෙලෙම රන්සිරිනෙල් වෙද මුත්තට දීලා තියෙනවා චෛත්‍යය හදන වැඩවලට ගන්න කියලා. එදා ඉඳන් එතුමා අපේ රන්සිරිනෙල් වෙදමුත්තත් එක්‌ක මේ පිංකමට එකතු වුණා. ලක්‍ෂ පහ විතරක් නෙමේ ඉන් පස්‌සේ වෙලාවක චෛත්‍යය හදන වැඩවලට ඕනම දෙයක් කරගන්න කියලා හේනේගම සිටු උත්තමයා දකුණු පළාතේ තමන්නට තිබුණු ඉඩම් අක්‌කර සියයකුත් චෛත්‍ය වර්ධන සමිතියට පූජා කළා. ඒ වගේම එතුමා හැම මාසයකට වතාවක් අනුරාධපුරේට ඇවිත් තව හුඟක් දේවල් මේ පිංකම වෙනුවෙන් කළා.
එදා අපේ රන්සිරිනෙල් වෙද මුත්තත් එක්‌ක ඇති වෙච්ච සම්බන්ධය නිසා පස්‌සේ හෙනේගම සිටු අප්පු ඇවරියවත්තට නිතර ඇවිත් ගිහින් තියෙනවා. එතුමා මේ පළාත එක්‌කත් ගොඩාක් සම්බන්ධකම් තියාගෙන හිටපු පිංවතෙක්.. "ඔන්න ඔය විදිහටයි මහත්තයෝ රුවන්මැලිසෑය ප්‍රතිසංස්‌කරණය කරන කොට අපේ රන්සිරිනෙල් වෙද මුත්තා එක්‌ක හේනේගම සිටු අප්පුහාමි අත්වැල් බැඳගත්තේ. හේනේගම සිටු අප්පුහාමිට එදා රුවන්මැලි සෑය අබියසදී සිදු වූ අකටයුත්ත හමුවේ පසු දිනෙක එකල චෛත්‍ය වර්ධන සමිතියේ ලේකම්වරයාව සිටි තැනැත්තා එම තනතුරින් ඉවත් කිරීමටද රන්සිරිනෙල් වෙදැදුරාණන් පියවර ගෙන ඇත්තේය. ඒ කෙනකු ඇඳ සිටින ඇඳුමින් ඔහුගේ තත්ත්වය පිළිබඳ නිගමනය නොකරන්නැයි යන අපූරු ඔවදනක්‌ද ඔහුට ලබා දෙමිනි.
සමන් ගමගේ
ඡායාරූප - ආනන්ද නිශ්ශංක
2012 ජුලි 08 ඉරිදා දිවයින