රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

බුදුරජාණන්වහන්සේගේ සිනහවට ලක් වූ සූකර පෝතිකාව (ඊරිය )

එක් දිනක් බුදු රජානන්වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා වඩිනා විට, එක් සූකර පෝතිකාවක් (ඊරියක්) දැක උන්වහන්සේ සිනහ පහළ කළ සේක. මෙය දුටු ආනන්ද තෙරනුවන්, තථාගතයන් වහන්සේ මෙසේ සිනහ පහළකිරීමට හේතුව විචාළ කල්හී උන්වහන්සේ මෙසේ වදාළ සේක. " ආනන්දය, මෙම සූකර පෝතිකාව කකුසඳ බුදුරජානන්වහන්සේ ලොව වැඩ වසනා සමයෙහි කිකිළියක්ව ඉපිද, භික්ෂුන් දන් වලඳනා දාන ශාලාවක් අසල ගැවසෙමින් සිටියාය. දිනක් ශාලාව තුළ වූ එක් යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා භාවනාවේ කර්මස්ථානය හඬ නගා සජ්ජායනය කරනු මෙම කිකිළියට අසන්නට ලැබිනි. තිරිසන් ආත්මභාවයක පසුවු මැයට එම දර්මය අවබෝධ කරගැනීමට භාග්‍යයක් නොමැති වුවද සතුටින් එම කර්මස්ථානයේ සිත යොමා සිටි බැවින්, එම කුසලයේ බලයෙන් තිරිසන් ආත්මයෙන් මිදීමෙන් පසු "උබ්බරී" නම් රාජකුමාරිකාවක් ලෙස උපත ලැබුවාය.
මෙමෙ රාජ කුමාරිය දිනක් අශුචිවල සිටි පණුවන් සමූහයක් දැක කළකිරී "පුළවක" සංඥාව උපදවා,එය කර්මස්ථානය කොටගෙන භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට පත්වී,ධ්‍යානය නොපිරිහී කලුරිය කළ බැවින් බ්‍රහ්මපාරිසජ්ජ බඹ ලොව උපත ලැබීය. ඉන් බොහෝ කළක් බඹ ලොව සමාධි සුවයෙන් ගතකළ ඇය එයින් චුතව කකුසඳ,කෝණාගමන,කාශ්‍යප යන තුන් බුදු රජානන්වහන්සේලා ලොව පහලව,උන්වහන්සේලාගේ ශාසනයන්ද අවසන් වන තුරුම සසරෙහි සුගතින් මෙන්ම දුගතින්හී ද උපත ලබමින් සසර සැරි සරා, අද දින මෙලෙස ඌරු යෝනියේ උපත ලැබුවාය.
මෙලෙස අනවරාග්‍ර සසරෙහි, බියකරු බව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ පිඬුසිඟා වැඩි මහාවිථිය මධ්‍යයෙහිම,ආනන්ද හිමියන් ප්‍රධාන මහාසංඝ රත්නයට, සසරෙහි ආදීනව පහදා දෙමින් මෙසේ ධර්මය දේශනා කළ සේක.
"යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
ජින්නෝපි රුක්ඛෝ පුන රේව රූහති
ඒවම්පි තන්හානුසයේ අනූහතේ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං"
"මුල ශක්තිමත්ව නිරුපද්‍රිතව තිබෙනාතාක් කල් කැපූගස නැවත නැවත නැග ඒම, වැඩීම එහි ස්වභාවයයි.එලෙසම නිදන්නාක් මෙන් එනම් අනුශය ලෙස චිත්ත සන්තානයේ සැඟවී පවතින තෘශ්ණාව, නැවත නූපදනා පරිදි අනුත්පාද නිරෝධයෙන් නසනා තාක් කල්ම, මෙම පංචස්කන්ධ දුක්ඛය නැවත නැවත ඇතිවීම එහි ස්වභාවයයි"
රජගහනුවර මහමග මධ්‍යයෙහි සිට මෙම ධර්මය ශ්‍රවණය කළාවූ ස්වාමින් වහන්සේලා ඇතුළු බොහෝ පිරිස් සෝවාන් ආදී මාර්ගඵල ලබමින්,නිර්වානාවබෝධයට පත්වූ බව ධර්මයේ සඳහන්වේ.
සූකර පෝතිකාවගේ ඉරණම මෙතෙකින් අවසන් නොවීය. මෙම සූකර පෝතිකාව එම ආත්මභාවයෙන් මිදී ,මීලඟ ආත්ම භාවය ස්වර්ණ භූමි නම් රට ,රජකුලයක උපත ලැබීය.අනතුරුව එයින් චුතව බරණැස් නුවර මනුෂ්‍ය දියනියක් ලෙසද,එයින් පසු ආත්මභාවයක සුප්පරක පටුනෙහි දිවිගෙවූ අශ්ව වෙළෙන්දෙකුගේ දියණියක් ලෙසද ,එයිනුත් අනතුරුව කාවිර පටුනෙ නැවියකුගේ නිවසෙහිද උපත ලැබීය. මීලඟ ආත්ම භාවය අප ලක්දිව අනුරාධපුරයෙහි ඉසුරුමත් කුළගෙයක උපත ලැබීය.ඒ වනවිට අප ගෞතම සර්වඥයන්වහන්සේ පිරිනිවී වර්ෂ 300ක් පමණ ගතවී අවසන්ය. ඇයගේ එම ආත්ම භාවයද කෙළවර, ඇය යලි අනුරපුරයෙහිම දකුණුදිශා භාගයෙහි "ගෝකන්න" නම් ග්‍රාමයෙහි සුමන නම් කෙළෙඹියාගේ සුමනා නම් රූමත් දියනිය ලෙස උපත ලැබීය. ඇය උපත ලැබූ වකවානුව, දුටු ගැමුණු අනුරපුරේ රජ වීමට ආසන්න සමයයි. අනතුරුව සුමන කෙළෙඹියා ගෝකන්න ග්‍රාමය අත හැර දිගාවැව "මහමුනිගාමය" නම් ගමෙහි වාසයට පැමිනි බැවින් මහමුනිගාමය ඇගේද වාසභූමි බවට පත්විය. සුමණා දියණිය වැඩිවියට පත්වනවිට දුටු ගැමුණු ලක්දිව රජු ලෙස අභිෂේකය ලැබීය. දිනක් මහ රජුගේ මහ ඇමතියෙකු වූ "ලකුන්ටක අතින්බර" නැමත්තා රාජකාරියක් පිනිස මහමුනිගාමයට පැමිනි කල්හී, රූමත් සුමනාවන් දැක ඇය කෙරෙහි සිත් බැඳී ඇය සරණපාවා ගත්හ. එලෙස ඇය දුටුගැමුණු රජුගේ මහ ඇමතියකුගේ දේවිය බවට පත්ව ඔහු වසනා "මහපුණ්ණ නම් ග්‍රාමයට වාසය පිණිස පැමිනියාය.
දිනක් මහාවිහාර වාසී මහා අනුල මහරහතන් වහන්සේ භික්ෂුන්ද පිරිවරා පිඬු පිණිස "මහාපුණ්ණ" ගමට වැඩම කළ අවස්ථාවේදී ලකුණ්ටක අමාත්‍ය මාළිගයටද වැඩමකල සේක. මෙවිට පිණ්ඩපාතය පිළිගන්වනු පිනිස මාලිගයෙන් එලියට බට සුමණා දේවිය දුටු මහරහතන් වහන්සේ, ඇයගේ පෙර භවය සිය නුවණින් දැක ඇයට ඇසෙන ලෙස "ඇවත්නි, මහා ආශ්චර්යයකි. සූකර පෝතිකාව ලකුන්ටක අමාත්‍ය දේවිය බවට පත්ව සිටි". මහ රහතන් වහන්සේ නමක කිසිදා නිශ්ඵල වදන් නොකියන බැව් මනාකොට සුමනා දෙවිය, තම කන වැකුනු එම ප්‍රකාශය පිළිබඳව මෙනෙහි කිරීමට පටන් මොහොතෙහිම ඇයට ජාතිස්මරණ ඥානය එනම් පෙර භවයන් සිහිකිරීමේ ඥානය පහළවිය.ඉන් පසුව පෙර සසරෙහි තමා ගත කළ දුක්ඛිත ආත්ම භාවයන් සිහිවී මහත් කළකිරීමට පත්වූ ඇය අනතුරුව තම ස්වාමියා වූ ලකුණ්ටක ඇමතිතුමාගේද අවසරය ඇතිව සසුන්ගතවිය. නොබෝ කලකින්ම සුමනා මෙහෙනින්වහන්සේ තිස්ස මහාවිහාරයේදී දෙතිස ,සතිපට්ඨාන සූත්‍ර දෙශනාව ශ්‍රවනය කිරීමෙන් සෝවාන් ඵලයට පත්විය. ඉක්බිති ලක්දිව ඇතිවූ දුටුගැමුණු එලාර යුද්ධයෙන් පසු, තම මව්පියන් විසූ ගෝකන්න ග්‍රාමයට නැවත වාසය පිනිස වැඩම කළාය. අනතුරුව කල්ලන මහා විහාරයේදී "ආශිවිෂොපම සූත්‍ර දේශනාව ශ්‍රවනයෙන් සව් කෙලෙසුන් නසා රහත්භාවයට පත්ව මෙම බියකරු සසරින් සදහටම එතෙර විය.
සුමනා රහත් මෙහෙනින් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහිදී භික්ෂුන්,භික්ෂුනීන්,උපාසක,උපාසිකාවන් විශාල පිරිසක් එහි රැස්වූහ. එවෙලෙහි ඕතොමෝ අහසට පැන නැගී තමා කිකිළියක්ව උපන් තැන් පටන් තම පෙර ආත්ම 13ම මුල්කොට දම් දෙසා රැස්වූ පිරිස සංවේගයට පත්කොට පිරිනිවීය.
අප සර්වඥයන් වහන්සේ වරක් මෙසේ වදාළසේක.
"සබ්බේ සංඛාරා අනිච්චාතී
යදා පඥ්ඥාය පස්සතී
අථනිබ්බින්දතී දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා"
"සියළුම සංස්කාරයෝ අනිත්‍යයි යම් කෙනෙක් ප්‍රඥාවෙන් දකීද, එම විසුද්ධි සංඛ්‍යාත නිවන ඔහු දකින්නේය". එනිසා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කොට සියළුම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය අවබෝධයෙන්ම වටහාගෙන, ඒ අමිල නිර්වානය සාක්ශාත් කොට, අනවරාග්‍ර සසරින් හා සසර දුකින් එතෙරවීමට සියල්ලෝම උත්සහ කරත්වා..!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දන්දීමේ යහපත සහ අනුසස්

මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානාධික බව දුරුකරලීම සඳහා සැවැත්නුවරදී යමා මහ පෙළහර පානු ලැබූ සේක. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පානු ලබන අසිරිය දෙස බලාසිටි බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ පිළිබදව ගෞරවයක්, පැහැදීමක් ඇතිකර ගනු ලැබූහ. සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකි, ඉතාමත් අපහසු කාරණා වුවද ඉතා සරල ආකාරයෙන් සිදුකරන නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීමක් ඇතිකරගනු ලැබූහ. උන්වහන්සේගේ ගිහිකළ ඥාතීන් බුදුරදුන් පිළිබදව ප්‍රසාදයක් ඇතිකර ගනු ලැබුවේද මේ ආකාරයටයි.

බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහිකල ඥාතීන් ඉදිරියේ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබු සේක. තව්තිසා දිව්‍ය ලෝකය බුදුරජාණන් වහන්සේට විශේෂ වූවක්.උන්වහන්සේගේ ගිහිකල මෑණියන් මාතෘ දිව්‍ය පුත්‍රයකු ලෙස පිරිමි ආත්මභාවයක් ලබාගෙන උප්පත්තිය ලබා සැපසම්පත් විඳීමින් තව්තිසා දිව්‍ය ලෝකය තුළ කාලය ගතකරමින් වැඩ සිටි සේක. තමන්ගෙන් තමන්ගේ මවට යුතුකම් ඉටුවිය යුතු බව සිතන පුතුන් සිටියි. එවැනි පුතුන් බුදුබණ අනුගමනය කරවන පුතුන් ලෙස හඳුනාගත හැකියි. බුදුරජාණන් වහන්සේ වුවත්, තමන් වහන්සේ බුද්ධත්වයට පත්වූවාට පසුවදි වුවත්, තමන්ගේ මවට ඉටුවිය යුතු යුතුකම් මොනවාද? යන්න පිළිබඳව කල්පනා කරනු ලැබූ සේක. ඒ අනුව දිව්‍යාලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳින මාතෘ දිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කර මාතෘදිව්‍ය පුත්‍රයාගේ දැනුම තවදුරටත් වර්ධනය කර නිවන් මාර්ගයට පාර කියන්න අවශ්‍ය යැයි සිතා තව්තිසා දිව්‍යලෝකයට වැඩම කරනු ලැබූහ.
තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ තම මාතෘදිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේ දිව්‍ය ලෝකය තුළ වැඩ සිටි විවිධ දැනුම් මට්ටම්වලින් යුක්ත වූ දෙවිවරුද, විවිධ සැපසම්පත් විඳිමින් සිටි බොහෝ දෙවිවරුද ධර්මය ශ්‍රවණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. බුදුරජාණන් වහන්සේ වටේ වාඩිවී සිටින දෙවිවරු බණ අසමින් සිටින ලදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබු ධර්මය මෑණියන්ට පමණක් නොවන අයුරුත් සියලුම දෙවිවරුන්ටත් ගැලපෙන ආකාරයටත් ධර්මය දේශනා කළ සේක. එම දෙවිවරු පිරිස අතර “අංකුර’ නම් වු දිව්‍ය පුත්‍රයකු ද “ඉන්දික” නමින් දිව්‍ය පුත්‍රයකු ද වැඩ සිටියේය. බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබූ බුදු බණ බුදුරජාණන් වහන්සේ සමීපයටම වී ඉතාම කැමැත්තෙන් ශ්‍රවණය කිරීමට පටන් ගනු ලැබූහ. එම දෙවිවරු දෙදෙනාම බණ ඇසීමට ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූවා සේම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූ නිසාම බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වී ඉතාම කැමැත්තෙන් ධර්මය ශ්‍රවණය කරනු ලැබූහ. “ඉන්දික” දිව්‍ය පුත්‍රයා ධර්ම ශ්‍රවණය කරමින් සිටිනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ සමීපයෙහි දකුණු පසින් වූ අතර අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි වම්පසින් වාඩිවී ධර්මය ශ්‍රවණය කරන ලදී. මඳ වේලාවක් ගතවීමත් සමඟ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩිවෙන්නට පටන් ගත්හ. බුදුරජාණන් වහන්සේ සමීපයට වී වාඩිවෙමින් ධර්මය ශ්‍රවණය කරනු ලැබු අංකුර දිව්‍යපුත්‍රයා බණ ඇසීමට පිරිස පැමිණීමත් සමඟම, දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පසුපසට ගියේය. ඉන්දික දිව්‍ය පුත්‍රයා ධර්මය ශ්‍රවණය කරමින් සිටි ස්ථානයෙහමි තවදුරටත් බණ අසමින් සිටියි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේදී ඉන්දික සහ අංකුර යන දිව්‍ය පුත්‍රයන් දෙදෙනා බණ ඇසීමට බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වුවත් එක් අයකු බොහෝ දුරට ගොස් සිටීමත් අනෙක් දිව්‍ය පුත්‍රයා සිටි ස්ථානයෙහිම සිටීමත් පිළිබඳව බුදුරජාණන් වහන්සේටත් ප්‍රශ්නයක් වුණි. බුදුරජාණන් වහන්සේ ‘අංකුර’ දිව්‍ය පුත්‍රයා අමතමින් මේ ආකාරයට විමසන්න පටන් ගනු ලැබූහ. “අංකුර දිව්‍යපුත්‍රයා” මෙහාට පැමිණෙන්න. ඔබ මාගේ වම්පස වාඩිවී බණ ඇසීමට පටන් ගනු ලැබූහ. ඒත් ඔබ දැන් දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පස්සෙන් පස්සට ගොස් ඈතට වී සිටියි. එයට හේතුවන කාරණාවක් තිබේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අතරතුරදීම අංකුර දිව්‍ය පුත්‍රයාගෙන් විමසනු ලැබූහ. බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රශ්නයට උත්තරයක් නොදී සිටීමත් එතරම් යහපත් ක්‍රියාවක් නොවේ. පිළිතුරු දීමට පිළිතුරකුත් තිබේ. එය බුදුරජාණන් වහන්සේට පැහැදිළි කිරීමටත් අවශ්‍ය බවට කල්පනා කරනු ලැබු අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ අමතා අනෙක් පිරිසටත් ඇසෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දෙනු ලැබූහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම පෙර ආත්ම භාවවල දඹදිව ධාරවතී නුවර ‘අංකුර’ නමින් රජකෙනෙකු ලෙස ජීවත් වුණි. දොළොස් යොදුන් පමණ පිළියෙළ කරගත් මහ දන් මහ සඟරුවනට මම ඉතාම සතුටින් පූජාකරනු ලැබූහ. ඒ දන් පිළිගැනීමට හාමුදුරුවරු වැඩම කර සිටියත් සිල්වත් භික්ෂූන් වහන්සේලා වැඩමවා සිටියේ නැහැ. දුසිල්වත් වු භික්ෂූන් වහන්සේල එම දානය පිළිගනු ලැබුවේ . එයින් මම බොහෝ දිව්‍යසැපයක් ලදිමි.මම පිළිගන්වනු ලැබූ දානය දුසිල්වතුන්ට පිළිගන්වනු ලැබූවද, එම දානය මම බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගන්වනු ලැබූ නිසාම එහි යහපත් විපාක මට පෙරළා ලැබුණි. එම සැප සම්පත් මම විඳිනු ලැබුවද, එම සැප සම්පත් එඩිතර සැපයක් බවට පත්වූයේ නැහැ. ඒ නිසා දොළොස් යොදුන් පමණ පසු බැස ගොස් සිටීමට අවසරයක් ලැබ සිටිති. මම පින්කම් කරනු ලැබූවත්, එම පින්කම් මහා බලයකින් යුක්ත නොවන්නේ මම පූජාකරනු ලැබු දානය පිළිගත් භික්ෂූන් වහන්සේලා සිල්වත්, ගුණවත් පිරිසක් නොවු නිසයි. මම දන් පූජාකළ ක්‍රියාවේ විපාකය ලෙස මම අද තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳුනු ලැබුවද එම සැප සම්පත්වල අභිමානය එතරම් එඩිතර නොවුනේ ඒ නිසයි. බුදුහාමුදුරුවනේ, යනුවෙන් මෙම කාරණාව ඈත සිට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවා. අංකුර දිව්‍ය පුත්‍රයා මෙම කාරණාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවේ බොහෝ දුර සිටයි.
බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිට බණ ඇසු “ඉන්දික’ දිව්‍ය පුත්‍රයාගෙන් මෙම ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විමසා සිටිනු ලැබුවේ ධර්මය දේශනා කරනු අතරතුරදීයි. “ඉන්දිකයිනි, ඔබ මාගේ සමීපයෙහි දකුණූ පස වාඩි වූවෙහිය. මාගේ වම් පස සමීපයෙහි වාඩි වූ අංකුරයන් මෙන් පසු නොබැස එම ස්ථානයෙහිම සිටිමින් බණ අසනු ලැබීමට හේතු වූ කාරණා මොනවාද? මෙම ආකාරයට බුදුරජාණන් වහන්සේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගෙන් ප්‍රශ්නය විමසූ විට ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයෙහි හිඳිමින්ම පිළිතුරු දෙනු ලැබූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මිනිස් ලොව දුගියෙක්ව ඉපිද ජීවිතය රැකගත් පුද්ගලයෙක්. ඒ කාලයේදි දවසක එක් අවස්ථාවක මට ලැබුණ එකම බත් හැන්දක් ඒ අවස්ථාවේ අනුරුද්ධ මහ රහතන් වහන්සේට මම පුජාකළා. මෙසේ බොහෝ සැප සම්පත් ලැබීමටත් එම සම්පත් එඩිතරව විඳීමටත් සිල්වතුන්ට දන් දුන් ඒ පින හේතු වුණා. එම එඩිතරභාවය වගේම තියෙන නිසා මම සිටි ස්ථානයෙහිම සිටින්නේ කියමින් දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනු ලැබූහ.
මෙම දෙදෙනාම දෙවිවරු වුවත් එහි කාරණා දෙකක් තිබෙන බව පැහැදිළියි. මෙම දෙවිවරු දෙදෙනාම දන් පැන් පූජාකර තිබුණත් එම දන් පැන් පිළිගෙන තිබෙන්නේ එකම වගේ සිල්වත් ගුණවත් අය නොවෙයි. එක දිව්‍ය පුත්‍රයෙක් දන් පැන් පුජාකර තිබුණද එම දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් නොවෙයි අනෙක් දෙවියා පූජාකළ දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් අපට පෙනෙන කාරණාව නම් තමන් සතුදේ අනුන්ට දීම යහපත් ක්‍රියාවකි.
තමන් දෙනු ලබන දෙය ලබන පුද්ගලයාත්, යහපත් දේ සමාජයට කරනවා නම් එය සිදුකරනු ලැබුවාවූ පින්කමේ අර්ථය වැඩියි. ඔහු කරනු ලබන්නේ සමාජයට අයහපත නම්, දුන් දෙය ලබන පුද්ගලයා සමාජයට අයහපත කරන නිසා එය පරිත්‍යාග කරනු ලබන දන් දෙන පුද්ගලයාටත් මෙය බලපානු ලබයි. දීම යහපත් ක්‍රියාවක් වුවද, වඩාත් වැදගත් වනුයේ අර්ථවත් ආකාරයෙන් පරිත්‍යාග කරන කාරණාව අපට මෙයින් පැහැදිලී වේ.
හේමමාලා රන්දුනු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සෝනක නම් වූ දිළිඳු තරුණයාගේ ධජ පූජාව

දුගී දුප්පතකු වූ සෝනකට තමා සන්තක ව තිබුණේ එක ම උතුරු සළුවක් පමණෙකි. එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ විසි රියන් පමණ වූ උණ ගසෙක අග කෙළවරෙහි කොඩියක් මෙන් ගැට ගසා චෛත්‍යය වටා ඔසවාගෙන යමින් සාදුකාර නඟමින් පිරිනිවන් පා වදාළ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අපිරිමිත වූ ශ්‍රද්ධාවෙන් ධජ පූජාවක් කෙළේ ය. සෝනක තරුණයාගේ තරමට එය අති විශිෂ්ට වූ මහානිසංස වූ උතුම් බුද්ධ පූජාවක් විය.
ලෝක සත්ත්වයා අනූපමේය මෛත්‍රී කරුණා ජලයෙන් සුවපත් කළා වූ සුවහසක් ලොවැ දනන් හට ශක්තියක් වූ තුන් ලෝකාග්‍ර වූ අසම සම වූ බුදුවරයන් වහන්සේ නමක උදෙසා පුද පූජා පවත්වමින් උපහාර දැක්වීමට සාමාන්‍ය මිනිසකු තුළ දැඩි ශ්‍රද්ධාවක් පහළ වූයේ නම් හෙතෙමේ මහා පුණ්‍යවන්තයෙකි. ඒ පිළිබඳව කතාන්තරයක් ධර්මයෙහි සඳහන් වන්නේ මෙසේ ය.
මේ මහා භද්‍ර කල්පයට පෙරාතු ව “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේ සමයෙහි “හංසවතී” නුවර එක් දුගී පවුලක පිරිමි දරුවෙක් උපන්නේ ය. නමින් ඔහු සෝනක නම් විය. අගහිඟකම් මැද ජීවත් වූ අසරණ පවුලක් නිසා නිසි වයසට පැමිණිය ද සෝනක දරුවාට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා දීමට ඔහුගේ මවුපියෝ අසමත් වූහ.
එදවස පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගෙන බණ ඇසීමට උන්වහන්සේ වැඩ විසූ විහාරය වෙත බොහෝ පිරිස් දිනපතා ගිය හ. ඒ බව නිතර දෙවේලේ දුටු සෝනක තරුණයා ද බුදුන් දැක බණ අසන්නට එම පිරිස් හා එක් විය.
ඔහු අනෙකුත් සැදැහැවතුන් මෙන් විහාරස්ථානය අතුපතු ගා පිරිසුදු කැරෙමින් මල් පහන් පුදමින් බුදුන් වැඳ බණ ඇසුවේ ය. තෙරුවන් සරණ ගිය ඔහු පංච ශීලය රක්ෂා කළ උපාසකයකු බවට පත් විය. මහා පරිමාණයෙන් දන් නොදුන්න ද විහාරස්ථානයෙහි කුදු මහත් කටයුතුවල දී ශ්‍රම දායකත්වයෙන් සිය යුතුකම් ඉටු කෙළේ ය. වත් පිළිවෙත් රකිමින් නිරන්තරයෙන් විහාරයට ගොස් පින්කම්වලට සහභාගි විය. මෙලෙස බුදුන් වඳින්නට ගිය සෝනක තරුණයා ගැන කා තුළත් පැහැදීමක් ඇති විය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සද්ධර්මය දේශනා කැරෙමින් වැඩ හිඳ අවසානයේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය කොටැ ප්‍රත්‍යක්ෂ කැරෙමින් පිරිනිවන් පා වදාළ සේක.
ආදාහනයෙන් පසු ශේෂ වූ ශාරිරීක ධාතූන් වහන්සේලා ඒකරාශී කොට සත් යොදුන් උස මහා චෛත්‍යයක් ඉදිකරවා එහි ධාතූන් තැන්පත් කළ හ. එසේ තැන්පත් කොටැ පදුමුත්තර සර්වඥ ධාතුන් නිදන් කරන ලද මහා චෛත්‍ය රාජයාණන්ට පුද පූජා පැවැත්වූ දහස් ගණන් සැදැහැවතුන් පින්වතුන් අතර සෝනක තරුණයා ද විය. මල් මාලා මල් වැල් ධජ පතාකාදියෙන් චෛත්‍යය සරසමින් ගෞරව උපහාර දැක් වූ මහා ජන සමූහයා මෙන් නොව, සෝනක තරුණයාගේ පූජාව වෙනස් මඟක් ගත්තේය.
දුගී දුප්පතකු වූ සෝනකට තමා සන්තකව තිබුණේ එක ම උතුරු සළුවක් පමණෙකි. එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ විසි රියන් පමණ වූ උණ ගසෙහි අග කෙළෙවරෙහි කොඩියක් මෙන් ගැට ගසා චෛත්‍යය වටා ඔසවාගෙන යමින් සාදු නාද නඟමින් පිරිනිවන් පා වදාළ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අපරිමිත වූ ශ්‍රද්ධාවෙන් ඔහු ධජ පූජාවක් කෙළේ ය. සෝනක තරුණයාගේ තරමට එය අති විශිෂ්ට වූ මහානිසංස වූ උතුම් බුද්ධ පූජාවක් විය.
සෝනක දුගී තරුණයාගේ අසහාය වූ බුද්ධ පූජෝපහාරය චෛත්‍යය ආරක්‍ෂාවට පැමිණ සිටි යක්ෂ සේනාධිපතියන් අතරින් නායක “අභිසම්මතක” නම් යක්ෂ සේනාධිපති තෙමේ දැක සෝනක තරුණයා කෙරෙහි අතිශයින් ම පැහැදුණේ ය. පැහැදී ඔහු ගැන මහත් අනුකම්පාව ඇති වැ,
“මෙම සෝනක තරුණ තෙමේ එසේ මෙසේ ව පුණ්‍යවන්තයකු නොවේ. පිනට දහමට ලැදි මොහු බෙහෙවින් ශ්‍රද්ධාවන්ත ය. දුගී දුප්පත්කමින් මිරිකී ගිය ද ඔහු සතු එක ම වස්තුව මෙම උතුරු සළුව පමණෙකි.
එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ කොඩියක් සේ උණ ගසෙක මුදුන් කෙළවර ගැට ගසා ඔසවා ගෙන චෛත්‍යය වටා ප්‍රදක්ෂිණා කැරෙමින් සර්වඥ ධාතූන් වහන්සේලා වෙතැ දක්වන මෙම උපහාරය සුළු පටු නොවූ පින්කමෙකි. මතු ආත්ම භාවයන්ට රැස්කර ගන්නා මහත් වූ කුසල ශක්තියකි. එසේ හෙයින් ම විසින් ද මොහුට යම් උපකාරයක් කළ යුතු යැ” යි සිතී ය.
ඉන්පසු කොඩියක් මෙන් උණ ගසේ මුදුන් කෙළවර ගැට ගසා චෛත්‍යය වටා ඔසවා ගෙන ගිය උතුරු සළුව යක්‍ෂ සේනාධිපති විසින් තමා අතට ගත්තේ ය. ගෙන අන්‍යයන්ට නොපෙනෙන සේ කොඩිය පමණක් ප්‍රදර්ශනය වන අයුරින් චෛත්‍යය වටා අහසින් යමින් එය ප්‍රදර්ශනය කෙළේ ය.
ආශ්චර්යවත් මේ සිද්ධිය දැකීමෙන් විස්මයට පත් වන්දනාකරුවන් මහත් සේ හඬ නඟා සාදු නාද පැවැත්වූහ. එයින් වඩාත් ප්‍රමෝදයට පත්ව ධෛර්යමත් වූ සෝනක වඩ වඩාත් පින්කම්වල යෙදෙමින් සැපවත් ජීවිතයක් ගෙවී ය. මෙලෙස කාලය ගෙවී යත් ම වියපත් ව මිය ගොස් දෙව් ලොව දිව්‍ය පුත්‍රයකු ලෙස පහළ විය.
එතැන් පටන් මහා කල්ප ලක්‍ෂයක් පුරා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල උපත ලබමින් අප්‍රමාණ වූ දිව්‍ය සැප මනුෂ්‍ය සැප අනුභව කැරෙමින් අවසානයේ මේ මහා භද්‍ර කල්පයෙහි අපගේ ශාන්ති නායක වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ සැවැත් නුවර වංශවත් බ්‍රාහ්මණ පවුලක උපත ලැබී ය. මෙසේ උපත ලද පින්වත් බ්‍රාහ්මණ කුමරු “උපවාන” නම් විය.
උපවාන කුමරු විසි වයස් පැමිණ කල්හි දක්‍ෂ ලෙස ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කෙළෙන් තරුණ විය එළැඹෙත් ම ඉගෙනීමේ කටයුතු නිම කෙළේ ය.
මෙම අවස්ථාව වන විට අනාථපිණ්ඩික මහා සිටාණෝ අප බුදුපියාණන් උදෙසා ජේතවන විහාරය ඉදිකිරීමේ පින්කමෙහි නිරතව සිටියහ. නිරන්තරයෙන් පිනට දහමට සිත් ඇලී සිටි උපවාන බමුණු තරුණයා ජේතවන මහා විහාරය බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වෙතැ පූජා කිරීමේ අති උතුම් පුණ්‍ය කර්මයට ද සහභාගි වෙමින් ඒ සඳහා දායකත්වය සපයමින් කුසල් සම්භාරයක් රැස්කර ගනිමින් අතිශය සතුටට පැමිණ සිටියේ ය.
ජේතවන මහා විහාරය බුදුරදුන් වෙතැ පූජා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ එහි වැඩ වාසයට පැමිණීම නිසා සැවැත්නුවර වාසීන්ට පින්දහම් හි යෙදීමට හොඳ ම අවස්ථාව උදා විය. මේ නිසා බුදුන් වැඳ බණ ඇසීමට යන පිරිස දිනෙන් දින දස දහස් ගණනින් වැඩි වන්නට විය.
උපවාන තරුණයා ද දිනපතා බණ අසන්නට ජේතවනාරාමයට ගියේ ය. එහෙයින් ඔහු තුළ පැවැති ශ්‍රද්ධාව වඩ වඩාත් දියුණු විය. එමෙන් ම බණ ඇසීමෙන් ජීවිතය පිළිබඳ යථාවබෝධයක් ලැබී ය.
ජීවිතයෙහි නිස්සාර බව දුටු හෙතෙම කළකිරීමට පත් විය. තෙරක් පරතෙරක් නැති කම්කටොලුවලින් ගහන ගිහි ජීවිතයෙහි කටුක දුක අවබෝධ කෙළේය. කළකිරීමට පත් උපවාන තරුණයාට පැවිදිවන්ට සිතක් පහළ විය.
නොබෝ කලෙකින් බුදුරජාණන් වහන්සේ වෙතැ එළැඹි උපවාන තරුණයා උන්වහන්සේගේ අනුදැනීම මත පැවිද්දට පත් වූයේ ය.
බුදුන් වහන්සේ ඇසුරු කැරෙමින් උන්වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් උපස්ථානයෙහි යෙදුන උපවාන භික්ෂූන් වහන්සේ බණ දහම් හදාරමින් දියුණු කැරගත් ප්‍රඥාව ඇත්තේ විවේකස්ථානයක් සොයා ගොස් බවුන් වඩා වැඩිකල් නොගොස් සව් කෙලෙසුන් ප්‍රහීන කොටැ ලබන්නා වූ ප්‍රණීත වූ මහ රහත්භාවයට පත් වූහ.
ධාතූන් වහන්සේලා නිදන් කළ චෛත්‍යය වටා පුරා මාසයක් ප්‍රදක්ෂිණයෙහි යෙදෙමින් පදුමුත්තර සර්වඥයන් වහන්සේ නමට ධජ පූජාවක් පැවැත්වීමෙන් උපහාර පැවැත්වීය. එහි කුසල් බලයෙන් මහා කල්ප ලක්ෂයක් පුරා දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා අප්‍රමාණ වූ සැප සම්පත් විඳ අවසානයේ මාගේ ශාසනයෙහි පැවිදව මහ රහත් භාවයට පත් වූහ” යි ;පර’පර සන්ධි ගලපා වදාළ සේක. බුදුන් වහන්සේගේ දේශනයට සවන් දුන් ශ්‍රාවකයින් බොහෝ දෙනෙක් මාර්ග ඵල ලාභීහු බවට පත් වූහ.
උඩුබද්දාවේ සෝමරත්න බන්නැහැක
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අකල් මරණින් මිදෙනු කැමතිද ?

කැලිගම විජිතනන්ද හිමි
බරණැස් නුවර සමීපයේ ධර්මපාල නම් බමුණු ගමෙක් විය. ඒ ගමේ ගම්දෙටු පවුලේ සාමාජිකයෝද එනමින්ම හැඳින්වුණහ. ධර්මපාල පවුල ඉතා ධාර්මිකය. ඒ අනුව ගමේ සෙස්සෝද ඉතා දැහැමින් ජීවත්වීමට පුරුදුව උන්හ. කුලී වැඩ කරන, බැලමෙහෙ කරන අය පවා ධාර්මික ජීවිත ගත කළහ. පොහොය අටසිල්ද නිත්‍ය පඤ්චසීලය ද කඩ නොකර ආරක්ෂා කළ ඔවුහු දස පින්කිරියවත්ද පුරුදු කළහ. දස අකුසල කර්මයෙන් වෙන් වූ ඔවුහු විහිළුවටවත් බොරුවක් නොකීහ. සදාචාර සම්පන්න වූහ.
ධර්මපාල දෙමහල්ලන්ගේ පුතෙක් තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙත ගොස් ඉගෙනීමේ නිරතව සිටියේය. මොහු හැඳීන්වුණේද ධර්මපාල නමින්මය. ගුණවත්කමින් මෙන්ම නැණවත් කමින්ද හේ කැපී පෙනුණේය. ඉතා ආචාර සම්පන්න වූ මොහු වයසට වඩා තැන්පත් පුද්ගලයෙක්ද විය. ඔහුගේ උසස් චරිත ලක්ෂණ නිසා ආචාර්යවරුද ශිෂ්‍යයෝද ඔහු ප්‍රිය කළහ. ඔහු යම් අදහසක් ඉදිරිපත් කළහොත් සියල්ලෝම ඒ කෙරෙහි අවධානය යොමු කළහ. ඊට ප්‍රධාන හේතුව ඔහු කිසිවිටෙක නිෂ්ඵල අදහස් නොපළ කිරීමයි.
මොහු තක්සලා නුවර විසූ කාලයේ දිසාපාමොක් ආචාරීන්ගේ බාල දරුවෙක් කිසියම් රෝගයකින් මියගියේය. තම දරුවාගේ අකල් මරණය නිසා ශෝකයට පත් දිසාපාමොක් ආචාර්ය තුමාද එතුමාගේ බිරිඳ ද හැඩූහ. සමහර ශිෂ්‍යයෝද හැඬූහ. මහලු වයසට නොගොස් කෙනකු මියයන බව ධර්මපාල කුමාරයා ඉන් පෙර දැන සිටියේ නැත. එහෙයින් මේ දරුවාගේ අකල් මරණය ඔහුට මහත් පුදුමයක් විය. දරුවාගේ අවසාන කෘත්‍යයෙන් පසු ඔහු තම සහෝදර සිසුන්ගෙන් මේ ගැන විමසන්න සිතුවේය.
“මේ- ඔය ගොල්ලෝ අහල තියෙනවාද වෙන තැන්වලත් මේ වගේ ළමයින් මිය යනවා කියලා ?”
“අහලා විතරක් නෙවෙයි දැකලාත් තියෙනවා” යි එක් ශිෂ්‍යයෙක් පිළිතුරු දුන්නේය.
“හරි පුදුමයක්නෙ ! ළමා කාලෙදී මැරෙනවා කියන එක”
“පුදුම වෙන්න දෙයක් නෑ ධර්මපාල, ඕනෑම වයසකදී කෙනකු මැරෙන්න පුළුවන්. මරණයට නියමිත වයසක් කොයින්ද ?”
“ධර්මපාල ගමේ කවුරුවත් අඩුවයසින් මැරිලා නැද්ද ?”
“එවැනි මරණයක් සිදුවුණා කියලා මා නම් කවදාවත් අහල නෑ”
ධර්මපාල කුමාරයා කී කරුණ ආචාර්යතුමාට ඉදිරිපත් කර ඒ සම්බන්ධ විස්තර දැන ගැනීමට ශිෂ්‍යයෝ තීරණය කළහ. ඒ අනුව එදින රාත්‍රී ආචාර්යතුමාට වත් දැක්වීමට ගිය අවස්ථාවේ සියලු දෙනා එතුමාට වැඳ නැගී සිටීමෙන් අනතුරුව එක් ශිෂ්‍යයෙක් ධර්මපාල කී කරුණ විමසීය. “ගුරුදේවයන් වහන්ස, මේ ධර්මපාලලයි ගමේ කවුරුවත් අඩු වයසින් මිය ගිහින් නැතිලු. එහෙම වෙන්න පුළුවන්ද දේවයිනි ?”
ආචාර්යතුමා :- “හැබෑද ධර්මපාල මේ දරුවා කියන කතාව ?”
ධර්මපාල :- “එහෙමයි ගුරුදේවයන් වහන්ස. අපේ ගමේ කිසිකෙනකු අඩුවයසින් මියගිය බවක් මා අහලා නෑ”
ආචාර්යතුමා:- “හොඳයි මම මේ ගැන පරීක්ෂා කරලා ඔය දරුවන්ට කියන්නම්. දැන් ගිහින් උද්ග්‍රහණධාරණාදී කටයුතුවල නිරත වෙනවා හොඳයි.”
සියලු ශිෂ්‍යයෝ දොහොත් මුදුනේ තබා ආචාර්යවරයාට නමස්කාර කොට තම තමන්ගේ නේවාසිකාගාරවලට ගියහ.
දින කිහිපයකට පසු, මියගිය එළුවකුගේ ඇටකටුවක් ගෙන්නා ගත් ආචාර්යතුමා එය සුදුරෙදිකඩක ඔතා අතවැස්සකු ලවා ගෙන්නා ගෙන ධර්මපාල කුමරුගේ නිවස බලා පිටත් විය. දිසාපාමොක් ආචාර්යතුමා අහම්බෙන් තම නිවසට එනු දුටු නිවැසියෝ පෙරටගමන් කොට පිළිගෙන මහත් හරසරින් ගෙට කැඳවාගන විත් ආගන්තුක සත්කාර කළහ. ආචාර්යතුමා පැමිණි බව ආරංචියෙන් දැනගත් බොහෝ දෙනා එතුමා දැක ගැනීම සඳහා ධර්මපාල නිවසට පැමිණියහ. සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව ගෘහමූලික ධර්මපාල තම පුතණුවන් ගැනද විමසුවේය.
“ධර්මපාල ඉගෙනීමට දක්ෂයි. හැසිරීමත් හොඳයි. සමහර අතවැස්සන් තමන්ට අමතක වෙන කරුණු අහගන්නෙත් ඒ දරුවාගෙන්. ඒ නිසා අනිත් අතවැස්සන් ධර්මපාලට ආදරෙයි. ඒ වුණත්....දවස් කීපයකට කලින් හටගත් ව්‍යාධියකින් දරුවා මියගියා!”
මේ වචන ඇසීමෙන් ධර්මපාල පවුලේ උදවියත් පැමිණි සිටි පිරිසත් සිනාසෙන්න පටන් ගත්හ.
“ඇයි දරුවා මළ බව කිව්වාම සන්තෝසෙන් හිනාවෙන්නේ ?”
“ආචාර්යතුමනි, අපේ පවුලේ අය, මේ ගමේ අය, එහෙම අකාලයේ මිය පරලොව යන්නේ නෑ”
“මිය පරලොව යන්නේ නෑ ? .... ඒ බව පිළිගන්න බැරිනම් මෙන්න ඇටකටු”යි ආචාර්යතුමා තමන් රැගෙන ආ ඇටකටු ඉදිරිපත් කළේය. ධර්මපාල ඇතුළු පිරිස එය අතට ගෙන පරීක්ෂාවෙන් බලා “මේක එළුවකුගේ හරි බල්ලකුගේ හරි ඇටකටුවක් ! ..... අපේ පුතාගේ නෙවෙයි’’
“ඔව්. ධර්මපාල උන්නැහේ. ඔබ කිව්වා හරි. මේක එළුවකුගේ ඇටකටුවක්. ඔබේ පුතා සනීපෙන් ඉන්නවා. මේ ගමේ අය අකාලේ මියයන්නේ නෑ. කියාපු කතාවේ ඇත්ත-නැත්ත ප්‍රත්‍යක්ෂ කර ගන්නයි මා මෙහෙම කළේ. ඒ ගැන මට ක්‍ෂාමාවෙන්න. ටික දවසකට කලින් මගේ දරුවකු මියගියා. ඒ වෙලාවේ මේ ධර්මපාල දරුවා අනිත් අතවැස්සන් එක්ක කියලා තිබුණා එහෙම අඩු වයසෙන් මිනිසුන් මැරෙන බවක් එයා අහලාවත් තිබුණේ නෑ කියලා. පස්සේ මාත් අහල බැලුවාම මටත් ඒ කතාව එහෙමම කිව්වා. දැන් එහි සත්‍යය මට වැටහුණා. මට දැනගන්න ඕන මේ ගමේ අය අකල් මරණයට පත්නොවන හේතු මොනවාද කියලයි.
මේ සියලු දෙනා සමගි සම්පණ්ණව දැහැමින් ජීවත්වෙන බවද කුලී වැඩ කර ජීවිකාව සපයා ගන්නා අය මෙන්ම වත් පොහොසත්කම් ඇති අයද නිත්‍ය පඤ්චසීලයත් පොහොය අෂ්ටාංග සීලයත් ආරක්ෂා කරන බවද, දානාදී පින්කම්වල නිරත වෙන බවද වැඩිහිටියන්ගේ උපදෙස් පිළිගෙන ඒ අනුව ක්‍රියාකරන බවද මේ නිසා අකල් මරණ දරුණු රෝගාබාධ ආදියෙන් තමන් පීඩාවට පත්නොවන බවද පිය ධර්මපාල විස්තර කළේය. ඔහුට සවන්දුන් ආචාර්ය තුමා ඒ විස්තරය පතක ලියවාගන පෙරලා තක්සලානුවරට ගොස් ධර්මපාල කුමාරයා කී කරුණු සත්‍ය බව අතවැස්සන්ට පැහැදිලි කර දී අධ්‍යයන කටයුතු නිමකර තම තමන්ගේ ගම්රටවලට ගිය පසු ඒ ප්‍රදේශවල ජනයා ගුණධර්මවලට යොමු කිරීමේ වැදගත්කමද පෙන්නා දුන්නේය.
Dhamma Patipada
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආසනයත් සමඟ අහසින් ගිය දෙවඟන

බුදුරජාණන් වහන්සේට අසදිස මහා දානය පිරිනැමුවෝ පසේනදි කෝසල රජ්ජුරුවෝය. එය සත් දවසක් මුළුල්ලේ පිරිනැමුණු සුවිශේෂ දාන කාර්යයක් විය. එයින් පසු අනේපිඬු සිටුතුමා ද විශාඛා මහෝපාසිකාවද නුවර වැස්සෝ ද තුන් දවසක් පුරා මහා දානමය පින්කමක් පැවැත්වූහ. මේ පුවත රට පුරා පැතිර යද්දී මහජනයාගේ සිත් තුළ කිසියම් කුකුසක් ද පහළ විණි. එනම්, මහත් උදාරතරව කෙරෙන දානාදියෙන් මහත් වූ ආනිසංස අත්වේද ශක්ති ප්‍රමාණයෙන් සුළුතර ව කෙරෙන දානාදියෙන් සුළු ආනිසංස අත්වේද යන්නයි. මේ සැක සංකා දුරු කරමින්, චිත්ත ප්‍රසාද ගුණයෙන් ද සිය හැකියාවේ තරමින් ද යම් කෙනකුන් විසින් පහන් සිතින් දෙන දානය මහත්ඵල මහානිසංස වන බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
මේ කාලයේ එක්තරා පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් මැනැවින් සිවුරු හැඳ පොරවා පාත්‍රය අතින්ගෙන සංවර ඉරියව්වෙන් සන්සුන් ලීලාවෙන් පිඬු සිඟා වඩිමින් එක්තරා ගෙදොරකොඩකට පැමිණියහ. ඒ ගෙදර වැසි ශ්‍රද්ධා සම්පන්න වූ කාන්තාව තෙරුන් වහන්සේ දැක මහත් ගෞරවාචාරයෙන් යුක්තව වැඳ නමස්කාර කොට කැඳවා ගෙහි තමන් හිඳ ගන්නා පුටුව මත රන්වන් වස්ත්‍රයක් අතුරා උන්වහන්සේට වැඩ සිටින්නට සැලැස්වීය.
ඈ මහත් සොම්නසින් එසේ කරද්දී ‘මට උතුම් වූ පින්කෙතක් පහළ වී යැ’යි පහන් සිත් ඇතිකර ගත්තාය. අනතුරුව තම හැකි පමණින් දානය පිළියෙළ කොට උන්වහන්සේට පිළිගන්වා දන් වළඳද්දී විජිනි පතක් ගෙන පවන් සලන්නට ද වූවා ය.
දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ වදාළ තෙරුන් වහන්සේ දානයෙහි ද ආසන පැනවීමෙහි ද අනුසස් දේශනා කොට වදාළහ. තම දානයෙන් හා ශ්‍රවණය කළ ධර්මයෙන් පිනාගොස් ශරීරය පුරා දැනුණු පී‍්‍රතියෙන් යුක්ත වූ ගෙහිමි කාන්තාව තෙරුන් වැඩහිඳී ආසනය ද විහාරයට ම පූජා කළා ය. එයින් කෙටි කාලයකට පසු එක්තරා රෝගයක් හේතුවෙන් ඈ කළුරිය කළා ය.
මිනිස් ආත්මයෙන් චුත වූ සැණින් තමන් විසින් කරන ලද කුසලානුභාවයේ මහිමයෙන් ඈ තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක ව උපත ලැබුවා ය. ඒ දිව්‍යාංගනාවට දොළොස් යොදුන් රන් විමානයක් ද පරිවාර ස්ත්‍රීන් දහසක් ද පහළ විණි. ආසන දානයේ අනුභාවයෙන් සතර ගව්වක ප්‍රමාණයේ රන් ආසනයක් ද පහළ විණි. ඒ රන් ආසනය අහසින් ගමන් කරන්නේ ය.
වේගවත් වූ ගමන් ඇත්තේ ය. එය උස් වූ මුදුන සහිත ආවරණයකින් සමන්විත විණි. එහෙයින් එය “පීඨ විමානය” නම් විය. පෙර දවස ඇය ආසනය පූජා කරද්දී එහි රන්වන් වස්ත්‍රයක් අතුරා එය පිරිනැමූ බැවින් එහි කුසල විපාකය දැකිය හැකි සේ මෙකී ආසනය ස්වර්ණමය නිර්මාණයක් විණි. එදා ඒ දාන පූජාවේ ආනිසංස බලවත් වූ බැවින් ශීඝ්‍ර ජව ගමන්වේග හිමි විය. ප්‍රසාද සිතින් දුන් බැවින් ප්‍රසාද වහනය වන්නා වූ රූප සම්පත්ති විය. ලෝභයෙන් තොර සද්ධාසමාධියෙන් දුන් බැවින් ස්වර්ණ වර්ණ විය. ද්වේෂයෙන් තොර ප්‍රඥා සමාධියෙන් දුන් බැවින් උදාරතර විය. මෝහයෙන් දුරුව වීර්ය සමාධියෙන් දුන් බැවින් මනෝමය ජව ඇති විය. මෙසේ මේ දිව්‍යාංගනාව ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ දිව්‍ය ශ්‍රී වින්දනය කරමින් හුන්නා ය.
එකල දෙව්ලොව දෙවියන්ගේ එක්තරා උත්සව අවස්ථාවක් එළැඹිණි. සෑම දෙවියෙක් ම දෙවඟනක්ම තම තමන්ට හිමි දිව්‍ය ලීලාවක් වේද දිව්‍යාලංකාරයක් වේද ඒ ඒ දිව්‍යානුභාවයෙන් බැබැළෙමින් දිව්‍යෝත්සවයට යන්නට පටන් ගත්හ. මෙකී දිව්‍යාංගනාවද සුන්දර දිව්‍ය සළුවක් හැඳ එවැනි සළුවක් ඒකාංශ කොට දිව්‍යාභාරණයෙන් සැරසී දිව්‍යාප්සරාවන් පිරිවරා පීඨ විමානයට නැග දිව්‍ය සෞභාග්‍යය ප්‍රකට කරමින් හිරු සඳු මෙන් වටපිටාව ශෝභාමත් කරමින් උයන් කෙළි පිණිස යන්නට වූවා ය.
එවේලේ දෙව්ලොවට වැඩම කොට හුන් මුගලන් මහ රහතන් වහන්සේ මෙකී දිව්‍යාංගනාව එමින් සිටි මඟ ආසන්නයේ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටු ඈ මහත් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව ගෞරව සම්ප්‍රයුක්තව පීඨ විමානයෙන් බැස විත් පසඟ පිහිටුවා වැඳ දොහොත් මුදුන් දී නමස්කාර කරමින් එකත්පස්ව සිටියා ය.
යම් දෙවියකු හෝ දෙවඟනක හෝ විසින් පෙර කරන ලද කුමන කුසල බලයකින් ඔහු හෝ ඇය දෙව්ලොව උපත ලැබීද යන්න මැනැවින් දැකිය හැකි ඥානය මුගලන් මහ තෙරුන් වහන්සේ සතුව තිබිණි. තමන් කුමන කුසලයකින් දෙව්ලොව උපන්නේ දැයි දැකීමේ හැකියාව ඒ ඒ දෙවියන්ට හෝ දෙවඟනට හෝ තිබිණි. මේ දෙවඟනගේ දිව්‍ය ඓශ්චර්යයත් අසාමාන්‍ය රූප ශෝභාවත් ඈ කවර කුසලානුභාවයකින් ලද්දී දැයි ඇගේ මුවින්ම ප්‍රකාශ කරවීම මහ තෙරුන්ගේ අභිප්‍රායය විය. එබැවින්, ‘එම්බා දෙව් දුවණිය, තෙපි කවර කුසල කර්මයක් හේතුකොටගෙන මේ සම්පත්තීන් ලද්දේ දැයි ප්‍රකාශ කරනු’ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“ස්වාමීනි, මවිසින් පෙර ආත්මයේ එක්තරා තෙරුන් වහන්සේ නමකට මහත් වූ ශ්‍රද්ධාවෙන් ස්වල්ප වූ දානයක් පිරිනැමීමෙන් මෙබඳු වූ දිව්‍ය සම්පත් ලඳිමි” යි දෙවඟන සිය දාන කාරිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කර සිටියා ය. එවිට ඒ කරුණ අරභයා මුගලන් මහරහතන් වහන්සේ විසින් දිව්‍ය සමූහයා අමතා විස්තර වශයෙන් ධර්ම දේශනා කරන ලදී. ඒ දේශනාව දෙවඟනට මෙන්ම පරිවාර පිරිසට ද මහත් ඵලදායක විණි.
මුගලන් මහ තෙරුන් වහන්සේ මනුලොවට වැඩම කොට මේ පුවත බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කොට සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ එය අරමුණු කොටගෙන ධර්මය දේශනා කළහ. ඒ දේශනාව බොහෝ ජනයාට මහත් වූ හිත සුව පිණිස වූයේ ය.
ආචාර්ය
ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.
අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.
එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.
සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.
සේනාසනයේ කි‍්‍රයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.
මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කි‍්‍රයා කරති.
කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.
එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.
”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.
”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.
එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කි‍්‍රයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පෙ‍්‍ර්තයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව ති‍්‍රපිටකයේ සඳහන් වෙයි.
ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.
”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.
යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.
භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.
”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා.
සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.
මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අප‍්‍රසන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.
මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා.
දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අප‍්‍රිය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.
මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.
මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්‍රියයන් අකී‍්‍රය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.
එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.
”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිත‍්‍රපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.
ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.
පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.
ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.
තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.
කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.)
එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා.
”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ ප‍්‍රකාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.
”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්‍යාව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.
මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.
වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.
එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.
නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා.
මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.
මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන ප‍්‍රමාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.
අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.
දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.
එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.
නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.
අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා.
තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා.
ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්‍ය සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.
”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.
කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.
ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමවාසී ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.
මතුගම මහින්ද විජේතිලක
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

කොට්ටාවේ සුමන හිමි
වෙනිවැල්කොල යෝගාශ්‍රාමාධිපති
උත්තිය කුමරු තම ආදරවන්තිය නොදැකීමෙන් බලවත් ශෝකයට පත්වී අවසානයේදී තමාගේ දුක දන්වමින් තල් පතක් ලියා, මහණ වෙස් ගැන්වූ තරුණයකු අත කුමරිය වෙතට ලැබීම සඳහා රජමැදුර වෙත යැවීය. එදින රජ මැදුරේ දානයකි.
භික්ෂුන් වහන්සේලා දනට වඩින අවස්ථාවෙහි පසුපසින් ගොස් මේ චීවරධාරියා ද දන් වළදා සෙත් පතා පුණ්‍යානුමෝදනාවෙන් අනතුරුව ආපසු එන ගමනේ දී දනට වැඩි රහතන් වහන්සේ නමක් පසුපසින් පැමිණ දේවියට පෙනෙන්නට තල්පත බිම හෙළුවේය. දේවිය තල්පත අහුලා ගත්තාය. ඒ බව දුටු රජතුමා සැක සිතී එය පරීක්ෂා කරන විට රහතන් වහන්සේගේ අත් අකුරු තම සොහොයුරාගේ අත් අකුරු හා සමාන වූ බැවින් රහතන් වහන්සේ සැක කළේය.
කැලණිතිස්ස රාජ පරම්පරාව සම්බන්ධ ඉතිහාස ගත තොරතුරු අද පවා ජනපි‍්‍රය ව්‍යවහාරයේ පවතී. කැලණිතිස්ස රජතුමාගේ මළවුවන් වන උත්තිය කුමරු රජ මෙහෙසිය සමඟ සදාචාරාත්මක නොවූ ආදර සබඳතාවකින් පසුවිය. මේ තහනම් ආදරය සැලවූ රජතුමා උත්තිය කුමරු සිරභාරයට ගත යුතු බවට අණ දුන්නේය.
ඒ බව ආරංචි වූ උත්තිය කුමාරයා රසහිගතව මාලිගාවෙන් පැනගොස් දුර බැහැර ප්‍රදේශයක සැඟවිණ. උත්තිය කුමරු තම ආදරවන්තිය නොදැකීමෙන් බලවත් ශෝකයට පත්වී අවසානයේදී තමාගේ දුක දන්වමින් තල් පතක් ලියා, මහණ වෙස් ගැන්වූ තරුණයකු අත කුමරිය වෙතට ලැබීම සඳහා රජමැදුර වෙත යැවීය.
එදින රජ මැදුරේ දානයකි. භික්ෂුන් වහන්සේලා දනට වඩින අවස්ථාවෙහි පසුපසින් ගොස් මේ චීවරධාරියා ද දන් වළදා සෙත් පතා පුණ්‍යානුමෝදනාවෙන් අනතුරුව ආපසු එන ගමනේ දී දනට වැඩි රහතන් වහන්සේ නමක් පසුපසින් පැමිණ දේවියට පෙනෙන්නට තල්පත බිම හෙළුවේය.
දේවිය තල්පත අහුලා ගත්තාය. ඒ බව දුටු රජතුමා සැක සිතී එය පරීක්ෂා කරන විට රහතන් වහන්සේගේ අත් අකුරු තම සොහොයුරාගේ අත් අකුරු හා සමාන වූ බැවින් රහතන් වහන්සේ සැක කළේය. මේ රහතන් වහන්සේ තම දේවිය සමඟ ආදර සම්බන්ධයක් පවත්වතියි සැක උපදවා උණු තෙල් කටාරමක බහා මරණයට පත් කිරීමට නියම කළේය.
මහාවංශය, රාජාවලිය, රසවාහිනිය යන ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රවල මෙම පුවත සවිස්තරව ඇතුළත් වේ. මේ රහතන් වහන්සේ මෙබඳු අවාසනාවන්ත හා භීෂණාත්මක ඉරණමකට ගොදුරු වීමෙන් පරිනිර්වාණයට භාජනය වූයේ පෙර භවයක දී ගොපල්ලකුව ඉපිද සිටි අවස්ථාවක මැස්සකු සමඟ කිරි මුට්ටියක් උණු කිරීමේ ප්‍රති විපාකයෙන් බව සඳහන් වේ.
සිව් පිළිසිඹියා පත් රහත්භාවය නිසා පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් මේ කාරණය දැන ගත් සේක. තෙල් කටාරමේ පැසෙමින් ගත කළ කාලය තුළ මේ රහතන් වහන්සේ ගාථා සියයක් දේශනා කරමින් පසුකාලීන ජනතාවට අවවාද අනුශාසනා කළ සේක. මෙම ගාථා ථේර කටාහ ගාථා යන නාමයෙන් පොළොන්නරු යුගයේ ජනපි‍්‍රය වී තිබිණි. එම ගාථා ධර්මවලින් කිහිපයක් මගින් දුන් ධර්මාවවාද මෙම ලිපියෙන් අනාවරණය වේ.
සත්වයාගේ මරණය පිළිබඳව දේශනා කරන ලද අමුතුම ආකාරයේ ධර්ම පාඨයක් මෙසේය. මහා සාගරයේ පැය විසි හතර තුළදීම මහා බියගෙන දෙන දළ රළ පංති නැගෙමින් වෙරළාසන්නය දක්වා පැමිණ වෙරළේ හැපී බිඳී යයි. එපරිද්දෙන්ම දෙව්, මිනිස්, සත්ව ජීවිත මරණය නම් ඉතා දරුණු වෙරළේ හැපී බිඳී යයි. ලෙඩට, දුකට, පීඩාවට පත්ව සිටින තැනැත්තෙක් දුටු විට අප තුළ අනුකම්පාවක් ඇතිවේ. එපමණක් නොව එසේ දුකට පත්වූ තැනැත්තාට යම් උපකාරයක්, පිහිටක් විය හැකි අවස්්ථාවක අප සිටී නම් ඔහුට උදව් කිරීමට අපි ඉදිරිපත් වෙමු. එහෙත් මරණය නම් වූ මාරයා තුළ කිසි විටෙකත් අනුකම්පාවකින් තොරව මරුවා සමඟම සටනට වැදුණු පුද්ගලයා මරණය නම් වූ තමා වසඟයට ගනී.
කෙළි දෙලෙන් පසුවෙමින් වැඩිහිටි සියල්ලන්ගේ නොමඳ ආදරය දිනාගත් සියුමැලි දරුවා වෙත පවා අනුකම්පා විරහිතව කිසියම් ප්‍රමාද දෝෂයක් බලාගෙන සිටින මරුවා දරුවාගේ ජීවිතය ඩැහැ ගන්නේ මව්පිය, වැඩිහිටි ඥාතීන් හඬවමිනි. මහා කැලෑවක් ලැව් ගින්නෙන් වැනසෙන්නා සේ ලෝක සත්වයා මරණය නම් වූ ගජේන්ද්‍රයා විසින් සිය වසඟයට ගෙන වනසා දමයි.
එම රහතන් වහන්සේ අපට දෙන අවවාදය නම් ජීවිතය මෙන් ධනයද මෙපරිද්දෙන්ම විනාශ මුඛයට යන බවයි. ඒ සියල්ල ක්ෂණිකය. මේවායේ සැබෑ තතු කෙසේ වේද යත් ඔන්චිල්ලාවක් මෙනි. වරෙක ඉහළ යයි. අනතුරුව පහළට එයි. භව භෝග සම්පත් ළඟා වේ. යළි ඒවා විනාශයට පත්වී දිළිඳු වේ. ප්‍රාර්ථනා කරන කිසිම සම්පතකට හිමිකමක් මට නැත. ඒවා අයිතිවන්නේ සොබාදහමටය.
භව භෝග සම්පත් ගිනි දැල්ලක් පරිද්දෙනි. යටින් පටන්ගෙන ඉහළින් අවසන් වේ. සුළං රැල්ලක් මෙන් හමාගෙන යයි. එක් අවස්්ථාවකදී අපට හිමිවී යළි අප හැර දමා යයි. ජීවිතය විදුලි එළියක් සේ වහා වෙනස් වේ. චපලය. ඇස්බැන්දුමක් මෙනි. සත්වයා මිරිඟුව පසුපස දුවන මුවන් සේ සැප සම්පත් ඇතුළු බොහෝ දේ සොයමින් දිවයයි. මේ දිවීමෙහි නිමාවක් නොපෙනේ. ලද දෙයක් ද නැත. එහෙත් දිව යන ගමන කෙදිනකවත් නවතින්නේද නැත. තණ්හාවෙන්, ආශාවෙන් අල්වාගන්නා මෙලොව තිබෙන කිසිවක් එක් අතකට ස්ථිරව පවතින්නේ නැත. අනෙක් අතට ඒ කිසිම දෙයක් සසර සැරිසරමින් යන ගමනේදී ගෙන යා නොහැකිය. එසේවූ තාවකාලික සතුටක්, සැපයක් සලසන දේවල් පසුපස හඹා යෑම මුළාවකි, මායාවකි.
ශරීරය මායාවකි. ඇස් බැන්දුමක් මෙනි. ඇත්තක් නොවේ. දිය දහරකට හඳක් පායා ඇති විටෙක එම දියකඩ තුළ පෙනෙන සඳේ ඡායාව වැන්න. කැඩපත ඉදිරිපිට ජීවමානව සිටගෙන සිටින මගේ අජීව, පුද්ගල නොවන ඡායාවන් ‘මම’ ම යැයි කිසිම තර්කයකින් තොරව පිළිගනී. කැඩපතේ ඡායාව පමණක් නොව මගේ ශරීරයත් මම හෝ මගේ ආත්මය නොවන බව තේරුම්ගත යුතුය. සත්වයාගේ මැවුම්කරු කවුද? යනුවෙන් මාරයා ඇසූ පැනයට වජිරා භික්ෂුණින් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙසේය.
‘මරු ඇයි ඔබ සත්ත්වයකු දකින්නේ? ඔබ (වැරැදි) දෘෂ්ටියකට හසුවෙලාද? මෙය තනිකර සංස්කාර මිටියක්. මෙතැන සත්වයෙක් ඇත්තේ නැත. රූප, වේදනා, සඤ්ඤා, සංකාර විඤ්ඤාණය යන ස්කන්ධ පහේ එකතුවක් පමණි. මෙසේ තමා පිළිබඳ වැරැදි දැක්ම සක්කාය දිට්ඨියයි. මා සතු කෙළෙස් ධර්ම සියල්ලම දැවටී තිබෙන්නේ මෙම ආත්ම දෘෂ්ටිය සමඟය.
සත්ත්වයාගේ ජීවිතය තුළ අනන්ත වූ රැවටීම් කන්දරාවක් තිබේ. මායා බන්ධන රැසකට හසුවී රැවටී අපි ජීවත් වෙමු. මේ මායා බන්ධනයෙන් ගැලවීමට අප වැටී සිටින මුළාවෙන් මිදීමට අපට ඇති එකම පිහිට තථාගත ධර්මය පමණි. තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය (සන්ධිට්ඨිකෝ) – ඇස් ඉදිරිපිට දැකගත හැක්කේය. (අකාලිකෝ) – කාලයකට සීමා නොවේ, (ඒහිපස්සිකෝ) - සමීපයට පැමිණ පිරික්සා බැලිය හැක, (ඕපනයිකෝ) – ඉදිරියටම යාමට නායකත්වය දෙයි, (පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි) නුවණැත්තවුන්ට තමන් තුළින් තමන් විසින්ම අත්දැකිය හැකිය.
යමෙක් දිය බුබුළුවලින් භාජනයක් තනා එම බඳුනට මිරිඟු දිය පුරවා පානය කරන්නේ යැයි කියන්නේ නම් එය මවිතයට කරුණක් නොවේ. ඇතැම් විට එය සත්‍යයක් විය හැක. එහෙත් කිසිම හරවත් දෙයක් නැති මේ ජීවිතය ආත්මයකැයි ගනීද එය නම් කිසි විටෙකත් විය නොහැකිමය. මගේ ශරීරය සංඛත ධර්මයකි. ශරීරය සැදී ඇත්තේ සතර මහා ධාතුන්ගෙනි. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් සංඛතයකි. හේතු ඵල දහමින් හටගත් දේවල් සංඛත ලෙස හැඳින්වේ.
අසීමිත සංස්කාර ධර්ම සමූහයක් විසින් ශරීරයේ පැවැත්මට අවශ්‍ය නොයෙකුත් දේවල් සංස්කාර කෙරෙමින්, නිෂ්පාදනය කෙරෙමින්, කය නඩත්තු කරන නිසා හෙවත් කය (සංඛතය) අභිසංස්කරණය කරන නිසා සංස්කාර යැයි කියයි.
හට ගැනීමක් පේනවා, වැනසීමක් පෙනේ, පවතින දේ තුළ වෙනස් වීමක් පෙනේ යන මේ ලක්ෂණ තුන තමයි හේතු ඵල දහමින් හටගත්ත දේ තුළ තිබෙන්නේ. ශරීරය සැදී ඇති රූප, වේදනාදී ස්කන්ධ පහම සංඛතයකි. හේතු ඵල දහමින් හටගත් දෙයකි. සංඛතය අභිසංස්කරණය කරන නිසා සංස්කාර නම් වේ. සංඛතය, අභිසංස්කරණය කිරීමයි කියන්නේ තිබුණු දේ විසින් නැවතත් එබඳු දෙයක්ම සකස් කිරීමයි. පැවැති මිනිස් රූපය වෙනුවට තවත් අලුත් මිනිස් රූපයක්ම සාදා දීමයි.
පැවැති මිනිස් රූපය වෙනුවට තවත් අලුත් මිනිස් රූපයක්ම සාදා දේ යැයි විශ්වාස කළ නොහැක. එසේ අලුතෙන් හැදෙන රූපය සිව්පාවෙක්, කෘමියෙක්, යක්ෂයෙක්, ප්‍රේතයෙක් වීමට පුළුවන. විඳීම විසින් නැවතත් විඳීමක් සාදා දෙයි. රූපය තවත් රූපයක් වීම යනු එම රූපයේම තවත් ඥාති රූපයක්ම නොවේ.
ස්කන්ධ පහකින් (රූප, වේදනා ආදී) නිමවී ඇති මේ ශරීරය ආත්ම යන ස්ථිර වෙනස් නොවන ධර්මතාවක් නොවේ. ස්ථිරව පැවැතීම කිසිවිටෙක සිදුවන්නේ නැත. මෙසේ තථාගතයන් වහන්සේ විසින් ශරීරය ස්කන්ධ පහකට වෙන් කර පැහැදිලි කර දුන්නේ ශරීරය කිසිම හරයක් නැති හා ස්්ථිරව නොපවතින (අනිත්‍ය) දෙයක් බව පෙන්වාදීමටය. රූපය වෙනස් වන දෙයකැයි පෙනී ගියත් ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් මවා ගනු ලැබුවේ ආත්ම යන සංකල්පයයි.
ආත්ම යනු අන් කිසිවකට සම්බන්ධකමක් නැති, තනිවම හටගෙන සිටින වෙනස් නොවන ධර්මතාවයක් යැයි ආත්මවාදීන් පවසා සිටියා. ආත්මය ස්්ථිරය වෙනස් නොවේ යන්න මිනිසා චින්තන ශක්තියෙන් පොහොසත්වීමට පටන්ගත් දා සිට ඇති කරගනු ලැබූ පුද්ගල ඇදහීමකි. සක්කාය දෘෂ්ටියකි. මේ වැරැදි දැක්ම වූ කලී පංචස්කන්ධය තුළට කා වැදී සියල්ල ආවරණය කෙරෙමින් බිහිවූ මිථ්‍යාවකි. මේ ආත්මවාදී වැරැදි දැක්ම උපාදාන වශයෙන් අල්ලා වැලඳ ගැනීමෙන් ජීවත්වීම එකම සැනසීම වේ යැයි ගැනීම අවිද්‍යාවේ අතිප්‍රබල මුළාවකි. මේ මුළාවෙන් සත්වයා මුදාගැනීම තථාගතයන් වහන්සේගේ මූලික අභිප්‍රාය විය.
ආදිකාලීන ආගමික විශ්වාසයන් සියල්ලක්ම ගොඩනැගී තිබෙන්නේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙනය. බෞද්ධයෝ බුදුදහමේ පෙන්වාදෙන අනාත්ම දර්ශනය පිළිගැනෙතත් ඒ සමගම එයම අමතක කරමින් ආත්ම දෘෂ්ටිය විසින් මුළාවට පත්ව සිටිති. කැඩපතෙහි දිස්වෙන අජීව පුද්ගල නොවන ඡායාව ‘මම’ යන පුද්ගලභාවයත් ආත්ම දෘෂ්ටියත් යන දෙකම දකින්නේ එකක් හැටියටය. මේ මුළාවෙන් වැරැදිම වැරැදි දැකීමෙන්, මායාවෙන් මිදෙන තුරු නිවැරැදිව තමා දෙසවත් ලෝකය දෙසවත් බැලිමට නුපුළුවන.
කවරවූද අනුවණයෙක් විනා, නැණවතකු නම් වස්තුව හා ජීවිතය පිළිබඳ ඡන්ද රාගයෙන් ඇල්මෙන් පසුවේද? එසේ අලාය කිරීම මුළාවකියි පවසමින් මේ මහරහතන් වහන්සේ පැසවමින් තිබෙන තෙල් කටාරමේ අර්හත් බලයෙන් පිරිනිවීම ප්‍රමාද කරමින් දේශනා කළ ථේර කටාහ ගාථා සියයෙන් තුනක් පමණි මෙසේ සඳහන් කරන්නට යෙදුණේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!
”නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි. නිසරු දෙය හා සරු දෙය වෙන් කොට දක්නා කෙනා පමණක් සරු දෙය හිමි කරගනියි.”
පින්වතුනේ, පින්වත් දරුවනේ,
උපතිස්ස කෝලිත කියන්නේ කවුද කියලා ඇසුවොත් සමහර විට දැනටමත් ඔබ ඒ ගැන දන්නවා ඇති. මේ ගෞතම බුදු සසුනේ මහානුභාව සම්පන්න උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩසිටියා. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් යන රහතන් වහන්සේලා දෙනම. උපතිස්ස කිව්වේ සැරියුත් මහරහතන් වහන්සේගේ පැවිදි වෙන්න කලින් තිබුණු නමයි. මුගලන් මහ රහතන් වහන්සේගේ පැවිදි වීමට කලින් තිබූ නම තමයි කෝලිත කියලා කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ ප‍්‍රඥාවෙන් දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. වරක් කෙනෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා ගෞතම බුද්ධ රාජ්‍යයේ සෙන්පතියා කවුද කියා. එවිට බුදුරජාණන් වහන්සේ විසින් මේ බුදුසසුනේ සෙන්පතියා වශයෙන් හඳුන්වන ලද්දේ සැරියුත් මහරහතන් වහන්සේවයි. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලයෙන් දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත හරිම පුදුමයි. හරිම ආශ්චර්යයයි.
උපතිස්ස තරුණයා ඉතාමත් ලස්සනයි. රත්තරන් පාටින් ඔහුගේ ශරීරය දිළිසුනා. එතරම්ම ලස්සන කෙනෙක්. කෝලිත කියන තරුණායා කළු පැහැයෙන් සිටියත්, හරිම ලස්සන කෙනෙක්, ඕනම කෙනෙක් දුටු පමණින් වසඟ වෙනවා. මේ දෙදෙනාගේ යහළුකම වුනත් හරිම පුදුමයි. කවරදාකවත් එකිනෙකාට වෙනස්කමක් කරගෙන නැහැ. කුඩා අවධියේ ඉඳලාම දෙදෙනා එකටමයි හැදුණේ වැඩුනේ. දෙදෙනාම අඹ යහළුවෝ. ඒ කාලෙත් දඹදිව් තලයේ ඉතාම වැදගත් උසස්ම කුලවන්ත පවුල්වල තමයි ඒ දෙන්නාම උපන්නේ. උපතිස්ස තරුණයාගේ උපන් ගම වුනේ රජාගහ නුවර නාලක නම් වූ බමුණු ගමයි. කෝලිත තරුණයාත් රජගහ නුවරම උපන් කෙනෙක්.
දිනක් මේ යහළුවන් දෙදෙනා රජගහ නුවර කඳු මුදුනක තිබෙන උත්සවයක් බැලීමට ගියා. මේ උත්සවයට කිව්වේ ‘ගිරග්ගසමජ්ජ’ කියලයි. මේ උත්සවයේ තිබුනේ නැටුම් ගැයුම් වැයුම් ආදී නොයෙක් කෙලි සෙල්ලම් පමණයි. නොයෙක් රසමසවුළු වලින් පිරි ආහාර පානත්, නොයෙක් බීම වර්ගත් පිරී ඉතිරී තිබුනා. හැමෝම සතුටු වුනා. එකම විනෝද සාගරයක්. මේ අඹ යහළුවන් දෙදෙනාත් තම යහළු මිතුරන් සමඟ උත්සවය බලමින් සතුටු වුනා. කා බී විනෝද වුනා. එහෙත් වචනයෙන් කිව නොහැකි විශාල අඩුවක් ඔවුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ උත්සවවල විනෝද වෙවී කල් ගෙවන එකේ තේරුම කුමක්ද කියලා ඔවුන් කතාබස් කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ උත්සවවලට තිබෙන ඇල්ම ඔවුන් තුළ නැතුව ගියා. ”ඇත්තෙන්ම මේ ජීවිතයේ මහා ලොකු දෙයක් හැටියට තියෙන්නෙ කන බොන එකයි, සිංදු අහන එකයි, නටන එකයි විතරද? ජීවිතයේ මීට වඩා විශේෂ දෙයක් නැද්ද? අන්තිමේදී හීනයක් දැක්කා වගේ මේ හැම දෙයක්ම අවසන් වෙලා යනවා. ඒ නිසා අපි මේ වගේ බොරු දේවල් පස්සේ දුවන ගමනේ තේරුමක් නැහැ. අපි මේ ජීවිතය අවබෝධ කරගන්න පිළිවෙලක් සොයා ගෙන යමු. මොකක්ද මේ ජීවිතයේ ඇති හැබෑ තත්වය. අපිට හැබෑවටම සැනසීමක් ඇතිව ජීවත් වෙන්න පිළිවෙලක් නැද්ද? ජීවිතයේ සත්‍ය තත්වය අවබෝධ කරගන්න ඇත්නම් කොයිතරම් අගේද? කියලා කතාබස් කළා.
පින්වතුනේ, පින්වත් දරුවනේ, දඹදිව හැටි දන්නවා නෙ. එක එක ආගම් පිරුණු කෞතුකාගාරයක් වගෙයි. විවිධාකාර මතිමතාන්තර විශ්වාස පිළිගත්තු මිනිසුන් තමයි හැම තැනම ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙ පවා ඒ ආගමික පරිසරයේ වෙනසක් තිබුනේ නැහැ. එක එක්කෙනා තම තමන්ට හිතුමනාපේ හිතුණු හිතුණු දේවල් කියා ආගමික නායකයන් වශයෙන් පෙනී සිටියා. ඒ දිනවලම රජගහ නුවර සංජය නම් වූ තාපසයෙක් හිටියා. ඔහු ඉතා ප‍්‍රසිද්ධයි. ඉතින් මේ උපතිස්ස කෝලිත නම් වූ සුන්දර තරුණයන් දෙදෙනාත්, ඒ සංජය පිරිවැජියාගේ ආශ‍්‍රමය කරා පසුවදාම පිටත් වුනා. තමන් ගේ උදාර යහළුවන් දෙදෙනා ජීවිතාවබෝධය සොයමින් පිටත් වීම ගැන දෙසිය පනහක් පමණ වූ යහළුවන් පිරිසත් මහත් සතුටට පත් වුනා. කෝලිත දෙදෙනා සමඟම සංජයගේ ආශ‍්‍රමයට පැමිණියා.
සංජය කියන්නෙ එතරම් දක්ෂ කෙනෙක් නොවෙයි. නමුත් බෙහොම ප‍්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසා තමයි උපතිස්ස කෝලිත දෙදෙනාත් එතැන ඔහුගේ අතවැසි තවුසන් බවට පත්වුනේ. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනා සංජයගේ ධර්මය ඉක්මනින් ඉගෙන ගත්තා. ඉතා සුළු කලකින්ම ඒ ධර්මයෙන් ප‍්‍රයෝජනයක් නැතිවග මේ නුවණැති යොවුන් තවුසන් හට අවබෝධ වුනා. දිනක් දෙදෙනාම කතිකා කරගත්තා. ”පින්වත් කෝලිත, අපට මෙහෙ ඉඳලා පලක් නැහැ. මෙහෙ ජීවිතාබෝධය පිණිස කිසි දෙයක් නැහැ. හොඳම වැඬේ අපි නිදහසේ පිටත් වෙලා යන එකයි. අපි දෙන්නා දෙපැත්තකට යමු. කාටහරි ජීවිතාවබෝධය පිණිස වූ ධර්මය මුණ ගැසුනොත් නොවැරදීම අනිත් කෙනාටත් කිව යුතුයි. මේ විදිහට කතිකා කරගත් දෙදෙනා මාවත් දෙකකින් පිටත්වෙලා ගියා.
පින්වතුනේ, පින්වත් දරුවනේ, ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුනේ චතුරාර්ය සත්‍යය ධර්මය ලෝකයට හෙළි කරදීම පිණිසමයි. ඒ බව උනවහන්සේ වදාළ පළමු දේශනාව වන දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාවෙන් හොඳින්ම ඔප්පු වෙනවා. ඒ දේශනාව වදාළේ බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන මිගදාය මේ සුන්දර වනයකයි. ඒ දෙසුම අහගෙන හිටියේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන ස්වමීන් වහන්සේලයි. ඊට පස්සෙ භික්ෂුන් වහන්සේලා පිරිස ඉතා ඉක්මනින් වැඩි වුනා. හොඳ බුද්ධිමත් තරුණ පිරිස හරිම ආශාවෙන් පැවිදි වුනා. සිල් රැක්කා. භාවනා කළා. ධර්මය අවබෝධ කළා. සුන්දර සිත් ඇති රහතන් වහන්සේලා බවට පත් වුනා. උන්වහන්සේලා හරිම නිදහස් සිතින් මංමාවත් පුරා වැඩම කළා. නුවණැති මිනිසුන්ට මේ ධර්මය කියලා දුන්නා. හරිම වාසනාවන්ත යුගයක් බිහි වුනා.
ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩසිටියෙත් රජගහ නුවරමයි. රජගහ නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමේ වාසනාව බිම්බිසාර රජතුමාටත් උදාවුනා. ඔහු සෝවාන් වූ ගිහි ශ‍්‍රාවකයෙක් බවට පත් වුනා. රජතුමාට හරි සතුටුයි. ධර්මාවබෝධයෙන් ලැබුණු පී‍්‍රතිය නිසා රජකම ලැබුණු දවසටත් වඩා සතුටු වුනා. බුදුරජාණන් වහන්සේ ආරාම පිළිගැනීමට අවසර දුන් බව දැනගෙන රජතුමා තවත් සතුටු වුනා. ඔහුට තිබුනා ලස්සන උද්‍යානයක්. හැමතැනම වවලා තිබුනේ සිහින් කොළ තිබෙන ලස්සන උණ පඳුරුයි. ලස්සනට මල් වවලා තිබුනා. හැම තැනම ලේනුන් පිරිලා සිටියා. ඒ උද්‍යානය නම් කරල තිබුනේ ලේනුන්ගේ අභයභූමිය කියලයි. රජතුමා එය වේළුවනාරාමය නමින් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ පූජාව තමයි පළමුවෙන්ම ලැබුණු ප‍්‍රධාන ආරාමය වුනේ. ‘වේළු’ කියන්නේ උණ ගසටයි. උණගස්වලින් පිරුණු නිසා ඒ ලස්සන උද්‍යානය වේළුවනාරාමය නමින් හැඳින්වුනා. ඒ වගේම ගිජ්ඣකූට පර්වත මුදුනේත් නිස්කලංක පරිසරයක කුටි තනවා පූජා කළා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩින ඉතා සුන්දර යුගයක් රජගහ නුවර බිහි වුනා.
එදා අස්සජි මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින මාවතේ තරුණ උපතිස්ස තවුසාද ගමන් කරමින් සිටියා. ඒ රහතන් වහන්සේගේ සුන්දර ඉරියව් දුටු සැණින් තරුණ උපතිස්සයන් ඇස පිය නොහෙළා බලා සිටියා. ”ම්… අමුතුම කෙනෙක්. අමුතුම සංවරයක්. ශාන්ත ගමනක්. නිවී ගිය පෙනුමක්. හරි පුදුමයි! මං බොහෝම තවුසන් දැක තිබෙනවා. පිරිවැජියන් දැක තියෙනවා. විවිධාකාර විමුක්ති ගවේෂකයන් දැක තිබෙනවා. නමුත් මේ ශ‍්‍රමණයන් වහන්සේ තුළින් ඒ කිසිවෙක් තුළ නොතිබූ වෙනසක් මට පේනවා. නිසැකවම මේ ශ‍්‍රමණයන් වහන්සේ සංසිඳී ගිය සිත් ඇති කෙනෙක්මයි.” උපතිස්ස පිරිවැජියා අස්සජි මහරහතන් වහන්සේ පසුපසින් ගමන් කළා. උන්වහන්සේ ඉතා සංසුන් ලෙස පිඬුසිඟා වැඞීමෙන් ලබාගත් දානය රැුගෙන වළදන්නට තැනැක් සොයා ගෙන පිටත් වුනා.
උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ පසුපසින්ම ගමන් කළා. උන්වහන්සේට පැන් පිළිගැන්වූවා. දන් වැළදීමෙන් පසුව අස්සජි මහරහතන් වහන්සේ සමඟ උපතිස්ස පිරිවැජියා කතාවට වැටුනා. අස්සජි මහරහතන් වහන්සේ දෙස ඇස පියා නොහෙළා බලා සිටියා. ඉතා දීප්තිමත් නෙත් යුග තුළින් අසාමාන්‍ය කාන්තියක් විහිදුනා. ඒ මඳ සිනහවෙන් අහිංසක පිවිතුරු බවක් දිස් වුනා. උන්වහන්සේ කතා කරන හැම වචනයකම අවංකකමත්, සත්‍යයත් දිළිසෙන්න වුනා. ”පින්වත් උපතිස්ස, ඇත්තෙන්ම මේ පැවිදි ජීවිතයට මං අලූත් කෙනෙක්. මාගේ ශාස්තෘන් වහන්සේ තුළ ඇති ජීවිතාවබෝධය මහා සාගරය වගේ පළල් එකක්. අහස වගේ අනන්ත එකක්. හිරු එළිය වගේ දීප්තිමත් එකක්. එනිසා පින්වත් උපතිස්ස ඔබට විස්තර වශයෙන් කියන්න තරම් මා තුළ දැනුමක් නැහැ. ඒ නිසා මා සිතන්නේ වඩාත්ම හොඳ දෙය නම් ඒ මාගේ ශාස්තෘන් වහන්සේ මුණගැසෙන එකයි.”
”පින්වත් ස්වාමීනී, එකෙ ඇත්තක් තියෙනවා. නමුත් ඔබවහන්සේ ගැන මගේ සිතේ ඇති වුන පැහැදීම අනන්තයි. ඇත්තෙන්ම ස්වාමීනි, මගේ ජීවිතයේ ප‍්‍රථම වතාවටයි මෙතරම් සුන්දර චරිතයක් මුණ ගැසුනේ. ඔබ වහන්සේගේ හැම ඉරියව්වක්ම මාව වසඟයට පත් කළා. අනේ ස්වාමීනී, ඉතා ස්වල්පයක් වුනත් කමත් නැහැ. ඔබවහන්සේ දන්නා දෙය මට පවසා වදාළ මැනව. තේරුම් ගැනීම මා සතු දෙයක්. ඒ ගැන මට විශ්වාසයි.” අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා දෙස බලා ඉතා අහිංසක ලෙස ගාථාවකින් උන්වහන්සේ තේරුම් ගත් ධර්මය මෙසේ පැවසුවා.
යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ
තේසඤ්චයෝ නිරෝධෝ – ඒවං වාදී මහාසමණෝ
හේතුන්ගෙන් උපදින – යම්තාක් දෙය ඇද්ද මෙලොවේ
ඒ හේතුන් පිළිබඳ – වදහළ සේක තථාගතයාණෝ
යම් තැනක ඒ සියලූ හේතුන් – සදහටම නැති වේ නම්
එබඳු දහමකි අපගේ – මහාසමණිඳු වදාරන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක්මයි. මේ උපතිස්ස තරුණයාගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුමයි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීවද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. ඒ තේරුම ඒ විදිහටම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුනේ නෑ. ඒ තරම්ම විශ්මිත හැකියාවක් තිබුනා. ඒ ධර්මය අහපු ගමන් අවබෝධ වුනා. උපතිස්ස තරුණයා බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ‍්‍රාවකයෙක් බවට පත් වුනා. උපතිස්සට ඉතාමත්ම සතුටුයි. මුව නොසෑහෙන සේ අස්සජි මහරහතන් වහන්සේට ප‍්‍රශංසා කළා. උන්වහන්සේගේ පා යුග සිඹිමින් බිම දිගා වී වන්දනා කළා. මහා සතුටකට පත් වුනා. සෑහීමකට පත් වුනා. රටක් රාජ්‍යයක් ජයගත් කෙනෙක් පරිද්දෙන් විජයග‍්‍රාහී ලීලාවෙන් තම මිත‍්‍ර කෝලිතයන් සොයා පිටත් වුනා. දුරින්ම පැමිණෙන උපතිස්සයන්ගේ මුහුණෙහි දිස්වන සිනහවෙන් අලූත් යුගයක ආලෝකයක් දිස් වුනා. ඒ දෑස්වලින් උදාර සොයා ගැනීමක අනුභාවය පැතිරුනා. උපතිස්සයන් පැමිණෙන ආකාරය බලා සිටි කෝලිතයන් ඉදිරියට ගියා. හරි සතුටුයි. උපතිස්සයන් සිදු වූ සියල්ල කෝලිතට විස්තර කළා. අස්සජි මහරහතන් වහන්සේ වදාළ ගාථාව ඔහුටත් පැවසුවා. ඔහුගේ විශ්මිත බුද්ධියේ කැඩපත තුළ බුදුරජුන්ගේ ධර්මය සදහටම පිහිටියා. ඔහුත් සෝතාපන්න ශ‍්‍රාවකයෙක් බවට පත් වුනා.
දෙදෙනාම කෙලින්ම ගියේ සංජය නම් වූ තම පැරණි ගුරුවරයා සොයාගෙනයි. ගුරුවරයා ළඟට ගිය දෙදෙනාම ඉතාමත් ආදරයෙන් ගුරුවරයාට කථා කළා. ”පින්වත් ආචාර්යතුමනි, ජීවිතාවබෝධය සොයා පැමිණි ගමනේදී අපි මෙතැනින් නැවතුනා. ඔබතුමා අපගේ ගුරවරයෙක් ලෙස ඒ අවධියේ කටයුතු කළා. දැන් පින්වත් ආචාර්යතුමනි, ගුරු පඬුරු පුදකිරීමට අපට වෙලාව පැමිනුනා. අප මෙතෙක් කල් සොයමින් සිටි ජීවිතාවබෝධය අපට ලැබුනා. අප ඔබට දෙන ගුරු පඬුර නම් ඒ ජීවිතාවබෝධයයි. පින්වත් ආචාර්යතුමනි, අතිදුර්ලභ වූ ප‍්‍රඥාවකින් යුතු කිසිවකින් වසාලිය නොහැකි බුද්ධි මහිමයකින් යුතු අසාමාන්‍ය වූ ඉර්ධි බලයකින් යුතු, අද්විතීය වූ දේශනා විලාසයකින් යුතු, සම්බුදුවරයාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වී සිටිනවා. පින්වත් ආචාර්යතුමනි, දැන් අපගේ ආචාර්යවරයාණෝ උන්වහන්සේය. අපි ඔබට ගුරු පඬුරු ලෙස පිළිගන්වන්නේ උන්වහන්සේගේ ශ‍්‍රාවකභාවයයි. පින්වත් ආචාර්යතුමනි, එයට කැමැති වුව මැනැව.”
ලාභසත්කාර වලින් වසඟ වූ සිත් ඇති අවසනාවන්ත සංජය පිරිවැජියා ඒ දුර්ලභ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තේ නෑ. ඔහු මෝඩ පිළිතුරක් දුන්නා. ”ඔව්, ඥානවන්ත උදවිය ග‍්‍රමණ ගෞතමයන් ළඟට ගියාපුවාවෙ. සියලූ දෙනාටම නුවණ නැහැ නෙව. මෝඩයන්ටත් යන්න තැනක් ඕන. උන්දැල මගේ ළඟට ආපුවාවේ.” උපතිස්ස කෝලිත දෙදෙනාට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. ඒ දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුනා. දෙසිය පණහක් පමණ වූ පිරිස පිරිවරාගත් මේ අඹ යහළුවන් දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුනා. සියල්ල නැති වී ගිය කලෙක මෙන් කම්පනයට පත් සංජය පිරිවැජියා තැතිගත්තා. වෙව්ලන්න පටන්ගත්තා. තමා ළඟ සිටි පිරිස වෙන් වී නොපෙනී යනවාත් සමඟ කටින් උණු ලේ ගලන්න පටන් ගත්තා.
වේළුවනාරාමයෙහි දම්සභා මණ්ඩපයෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ දුරින් පැමිණෙන උපතිස්ස කෝලිත දෙදෙනා දෙස බලා පිරිස අමතා මෙසේ වදාළ සේක. ”පින්වත් මහණෙනි, අර රන්වන් සිරුරු ඇති පියකරු තරුණයා මේ සසුනෙහි අග‍්‍ර වූ ශ‍්‍රාවකයා වන්නේය. පින්වත් මහණෙනි, අර ඊළඟට පැමිණෙන කාලවර්ණ වූ සුන්දර තරුණයා මේ සසුනෙහි ඊළඟ අග‍්‍ර වූ ශ‍්‍රාවකයා වන්නේය. මේ දෙදෙනා මගේ අග‍්‍ර ශ‍්‍රාවකවරුය.” ඒ මොහොතේ උපතිස්ස කෝලිත දෙදෙනා ප‍්‍රමුඛ සියලූ දෙනා බුදුරජාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් වන්දනා කොට උතුම් පැවිද්ද ඉල්ලා සිටියා. ”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කාන්තාරයෙහි පැන් සොයා යන පිපාසිතයන් සේ නිවන සොයා ගිය අපට ඔබවහන්සේ සිහිල් දිය උල්පත වන සේක. අඳුරු ලොවක අතරමං වී ආලෝකය සොයා පීඩිතව ගිය අපට ඔබවහන්සේ ආලෝකය වන සේක. රෝගපීඩා වලින් ගොදුරුව පිහිටක් සොයා ගිය රෝගීන් වැනි වූ අපට ඔබවහන්සේ දහම් ඔසු ලබා දෙන වෙදැදුරාණෝ වන සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහනස්, අපගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේය. අපි වනාහි ශ‍්‍රාවකයෝ වෙමු. අපගේ හිරු මඬල ඔබවහන්සේය. අපි වනාහී තරු කැළ වෙමු. ස්වාමීනී, භග්‍යවතුන් වහන්ස, අප කෙරෙහි අනුකම්පා උපදවා අපට පැවිදි උපසම්පදාව ලබාදෙන සේක්වා.”
උපතිස්ස කෝලිතයන් ප‍්‍රධාන සියල්ලෝම ඒහිභික්ෂු නම් වූ ඇති උත්තම වූ පැවිදිභාවයක් ලැබුහ. ඒහිභික්ෂු පැවිදිභාවය යනු ජීවමාන බුදු කෙනෙකුන් වෙතින් පමණක් ලබන පැවිදි බවයි. එය එක්තරා හාස්කමකින් සිදුවෙන දෙයකි. එනම්, බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක. ”පින්වත් මහණෙනි, මෙහි එන්න. මා විසින් ඉතා පැහැදිලි ලෙස ධර්මය පවසා තිබෙනවා. මේ ධර්මයෙහි හැසිර හැම දුකින් නිදහස් වෙන්න.” මේ වදන් පවසනවාත් සමඟ ඒ සියලු දෙනාගේ කෙස් රැවුල් අතුරුදහන් වුනා. ගිහි වස්ත‍්‍ර අතුරුදහන් වුනා. කණකර අභරණ අතුරුදහන් වුනා. මනාකොට සිවුරු හැඳ පොරොවාගත් භික්ෂූන් පිරිසක් බවට පත්වුනා. මේක මහා පුදුමයක්! කොහොමද මෙය වෙන්නෙ කියලා අපට නම් සිතාගන්නටවත් බැහැ. එතරම්ම පුදුම සහගතයි!
නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ නමකගෙන් පමණක් ලබාගන්නා ඒ පැවිදිබව මෙවැනි යුගයක ජීවත් වන අපට තේරුම් ගන්න අමාරු වීම ස්වාභාවික දෙයක්. අනික ඔය වාසනාව පැවිදිවන සියලූ දෙනාට ලැබෙන්නේ නැහැ. එයත් තමා සංසාරයේ කරන ලද පින්වලට අනුව ලැබෙන දෙයක්. ඉතින් සුළු කලකදී උපතිස්ස තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත්වුනා. කෝලිත තරුණයා මුගලන් මහරහතන් වහන්සේ බවට පත්වුනා. සංජය පිරිවැජියාගේ පිරිහීම ගැන හැමතැනම පැතිරුනා. නිසරු දෙයක් සරු දෙයක් වශයෙන් කරගෙන ගිය පුහු වර්ණනාවේ නිෂ්ඵලකම ගැනත් හැමතැනම පැතිරුනා. මෙය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා දෙක වදාළ සේක.
අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා
ලොවේ නිසරු දේවල් ගැන – සිතනා විට සරු දේ ලෙස
සාරවත් දහම් මාවත – දකිනා විට නිසරු විලස
වැරදි අදහසට ගොදුරුව – ඇත්ත නොදකිනා ඔවුනට
සරු වූ ඒ අමා නිවන – නැත කිසිදා හමුවන්නේ
සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡුන්ති සම්මාසංකප්පගෝචරා
සරු දෙය සරු ලෙස දැනගෙන – නිසරු දෙයද හඳුනාගෙන
සාරවත් දහම් මාවත – දකිනා විට සරු විලසින්
නිවැරදි දැකුමෙන් යුතු වී – ඇත්ත දකින විට ඔවුනට
සරු වූ ඒ අමා නිවන – හමු වෙනවාමයි නිසැකව
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් කෙනෙකුට ආගමක් අදහිය යුත්තේ මක් නිසාද කියා තේරුමක් නැහැ. එතකොට ඒ උදවිය ලාභ බඩුවලට රැවටෙනවා වගේ ආගම්වලටත් රැුවටෙනවා. එහෙම වෙන්නේ ආගමක් සෙවීමේ නියම තේරුම නොදන්නා නිසයි. සමහරු රැකියාවක් ලබාගනීම පිණිස, විවාහයක් පිණිස, දරුවන් පාසලට දමා ගැනීම පිණිස, රෝගයක් සුවපත් කරගැනීම පිණිස, ගෙවල් දොරවල් සදාගැනීම පිණිස, කෑම වේලක් පිරිමසා ගැනීම පිණිස ආගම වෙනස් කරනවා. නුවණ තියෙන අයට මේ උදවිය ගැන හරිම දුකයි. තාවකාලික ලාභ ප‍්‍රයෝජන පිණිස ආගම් අදහන අය කිසිසේත්ම නුවණ පාවිච්චි කරන්නේ නැහැ. තාවකාලික ප‍්‍රයෝජනය විතරයි සලකන්නේ. දුර බලන්නේ නැහැ. ඉතාමත් බොළඳ විදිහට ළඟ විතරයි බලන්නේ. ඇත්තෙන්ම එවැනි කරුණක් උදෙසා අපි කිසිසේත්ම ආගමක් ඇදහිය යුතු නෑ.
පින්වතුනේ, පින්වත් දරුවනේ, තාවකාලික ලාභයක් පිණිස ආගමක් අදහන පුද්ගලයා ඇත්තෙන්ම අනුවණ මෝඩයෙක්මයි. ආත්ම වංචාවෙන් යුතුව තමා විසින් තමාව රවටා ගන්නා පුද්ගලයෙක්මයි. ඒ විදිහට තමන්ගේ තාවකාලික වාසිය විතරක් ලබන පුද්ගලයා එ් ආගමට හසු වෙන්නේ ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. ඊට පස්සේ ඇත්ත නැත්ත තෝරාගැනීමට ඔහුට බැරිව යනවා. සරු නිසරු දේ තෝරගන්නත් බැරිව යනවා. හොඳ නරකත් තෝරාගැනීමට බැරිව යනවා. නමුත් වැටුණු වළෙන් ගොඩ එන්න බැරිව අන්තිමේදී එ් නිසරු දෙයම වර්ණනා කරන්න පටන් ගන්නවා. පුහු මාන්නය නිසා ජීවිතාවබෝධය අහිමි වෙලා යනවා.
නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයක අවබෝධ කළ යුතු පැති රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි උපදින්නේ කොහොමද? උපන්නාට පසු අපි මුහුණ දෙන්නේ මොන වගේ රෝග පීඩාවලටද? මොන වගේ කරදර කම්කටොළුවලටද? අපට මේ අනතුරුවලින් මඟ හැර ඉන්නට බැරිද? අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යද්දී අපට එය වළක්වන්නට බැරිද? අප අකමැති දේවල් අපට ලැබෙද්දී එය වළක්වන්නට බැරිද? අප මේවාට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? අපි කායිකවත්, මානසිකවත් ඉන්නේ ආරක්ෂා සහිතවද? ඔය වගේ දේවල් අපට ප‍්‍රශ්න හැටියට තියෙන බව ඇත්තෙන්ම අපි දන්නේ නැහැ.
බොහෝ දෙනෙක් හිතන්නේ නොපෙනෙන ලෝකයේ සිටින දෙවි දේවතාවුන් හට යාඥා කිරීමෙන් පුද පූජාවල් පැවැත්වීමෙන් ඔවැනි ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගන්න පුළුවන් කියලයි. නමුත් අපට පැහැදිලිවම පේනවා ඒ ක‍්‍රමයෙන් විසඳුම් ලැබූ කෙනෙක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. එහෙත් පැහැදිලිවම මේ සියලූම ප‍්‍රශ්න විසදාගත් කෙනෙක්ව අපට මුණ ගැසෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ, සියලූම ප‍්‍රශ්න ඉදිරියේ උන්වහන්සේ සිනහ මුසු මුහුණින් වැඩහිටියා පමණක් නොවේ, අනෙක් අයටත් අටලෝ දහමින් කම්පා නොවී සිටින ආකාරය මහා කරුණාවෙන් යුතුව කියා දුන්නා. සරවත් දේ කියලා කියන්නේ එයටයි. ඒ සාරවත් දේ නම් චතුරාර්ය සත්‍යය ධර්මයයි.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට අඳුරත්, එළියත් වෙන් කොට හඳුනාගන්නා පුළුවන් වගේම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය කරාම යනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි.....!!!
Path to Nirvana
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙතේ (මෛත්‍රිය) බෝසතාණන්ගේ කථාව

මෙසේ අසන්නට ලැබේ: හෙළදිව රුහුණු දනව්වෙහි කම්බෝජගමේ මලය නම් තෙරනමක් වසයි. ඒ තෙරනම පෙරවරු කාලයෙහි සිවුරු හැද පාත්‍ර සිවුරු රැගෙන කාම්බෝජගමට පිඩු පිණිස ඇතුල් වුණි. එක්තරා මිනිසෙක් උපුල්මල් මිටි අටක් රැගෙන එන්නේ තෙරුන් දැක ඒවා තෙරුන්ට දුණි. තෙරනම ඒවා රැගෙන මේවා මහසෑයට පුදන්නෙම්ද? සෑගිරියෙහි පුදන්නෙම්ද? මහබෝධියට පුදන්නෙම් දැ යි සිතී. එවිට එතුමාට "තව්තිසා භවනෙහි වූ සිළුමිණ සෑයේ දකුණු දළදාවට මේවා පුදන්නෙමි" යි සිතක් උපණි. එකෙණෙහි අහසට නැගී අසුරුසනක් ගසන කාලයක් තුළදී වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි නිලුපුල්මිටි රැගෙන පහළ විය. සක්දෙව් රජ දකුණු දළදාව ද කේශධාතුන්ද සිළුමිණ ඇතුළේ බහා වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි යොදුනක් වටැති සෑයක් පිහිටු විය. තෙරනම සෑය වෙත එළඹ අට තැනක වැද ප්‍රදක්ෂිණා කොට එක්පසෙක සිටියේය. ශක්‍ර තෙමේ තෙරුන් දැක පිරිස් සහිතව අවුත් තෙරුන්ට වැද පසෙක සිටගත්තේය. තෙරනම "මෙතේ බෝසත් මෙහි එන්නේදැ" යි සක්දෙව් රජුගෙන් ඇසීය. "එසේය ස්වාමීනි, අද අටවකය, බෝසත් තෙමේ මෙහි එන්නේය. එතුමා පක්ෂයේ පස්වෙනිදාත් අටවෙනිදාත් තුදුස්වක්දාත් පසළොස්වක්දාත් මෙහි වැදීම පිණිස එන්නේය" යි කීය. ඔවුන් මෙසේ කථාකරන කල්හි එක් දේවපුත්‍රයෙක් මහත් පිරිවරක් සමහ නැගෙනහිර දෙසැ පෙනුණි. ඔහු දැක තෙරනම " මේ මෙතේ බෝසත් දැ"යි ඇසීය. "මේ බෝසත් නොවේ, අන්‍ය දේවපුත්‍රයෙකැ" යි විචාළේය. " පෙර අනුරාධපුරයෙහි ඇදුම් මැසීමෙන් ජීවත් වූ බොහෝ පින් කළ සන්නාළිතෙමේය" යි දෙව්රජ කීය.
ඒ දේවපුත්‍රයා ඇවිත් දකුණු පැත්තෙහි සිටගත්තේය. නැවත තවත් දේවපුත්‍රයෙක් මහ පිරිවරින් ආයේ ය. තෙරුන් විචාළ විට ඒ බෝසත් නොවේයයි ද අන්‍ය දෙවියෙකැයි ද දෙව්රජ කීය. ඔහු කවරෙක්දැයි විචාළ විට "හරිතාලගමේ මහාදානපතියාව සිටි හරිතාලතිස්ස" යයි කීය. ඒ දේවපුත්‍රයා බටහිර දෙසැ සිටගත්තේය. ඉක්බිති මහ පිරිවරැති දෙවියෙකු එනු දැක ඒ කවරෙක්දැයි විචාළේය. "මේ තෙමේ දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු වූ සද්දාතිස්ස මහරජ " යි කීය. හෙතෙම උතුරු දිශාව හොබවමින් ඒ දිශාවෙහි සිටියේය. ඉන්පසු මහපිරිවරින් තවත් දෙවියකු එනු දැක ඒ කවරෙක්දැයි තෙරනම විචාළේය. "යමෙක් බුදුරදුන්ගේ මහසෑය කරවී නම් ඒ මේ දුටුගැමුණු මහරජය" යි දෙව්රද කීය. ඒ දේවතාවා අවුත් නැගෙනහිර දිශාව හොබවමින් එහි සිටගත්තේය.
ඔවුන්ට පසුව මෙතේ බෝසත් පැමිණියේය. ඔහුගේ එක් එක් පැත්තෙහි පිරිවර සහිත වූ අබරණින් සැරසුණු දෙවගනෝ සිවුදෙන බැගින් ආහ. දැල්වෙන ගිනිමෙන් ප්‍රභාවත් වූ ඒ දෙවගනන් දුටු තෙරනම මේ ස්ත්‍රීහු සිවුදෙන මිනිස් ලොවදී කිනම් පිනක් කළාහුදැ යි විචාළේය. එයින් එක් දෙවගනක් නානාවර්ණ නානාරශ්මි ඇත්තී ද විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තී ද විය. එක් අගනක් රතුරැස් ඇත්තී රතු වස්ත්‍රාභරණ වලින් යුක්ත විය. එක් අගනක් තඹ පැහැත්තී එවැනි රශ්මි හා වස්ත්‍රාභරණ ඇත්තී විය. එක් අගනක් කසාවන් රශ්මිය ද කසාවන් වස්ත්‍රාභරණ ද ඇත්තී විය. දෙව්රජ මෙසේ කීය:
ගම් රටවල් හැර යන අවස්ථාවක කුඹල් ගමක දැරියක් මිශ්‍ර පැහැති මල් පුදා දකුණු දෙස සිටියි. නාගදීපයේ මහලු ස්ත්‍රියක් උපුල්මලින් චෛත්‍යය පුදා වම්පසෙහි සිටියි. හෙළදිව කිණිහිරිය ගමෙහි දැරියක් සෑයට කිණිහිරි මල් පුදා දකුණු පසැ සිටියි. පෙර තම්මණ ගමෙහි විසූ ස්ත්‍රියක් ලුණුවිල පුදා වම්පසින් සිටියි. යම් දෙවි කෙනෙක් හෝ දිව්‍ය ස්ත්‍රී කෙනෙක් බෝසතානන්ට ප්‍රිය කෙරෙත් නම් ඔවුහු බෝසතුන් පිරිවරා ගෙන අහසෙහි යත්. ඒ බෝසත් තෙමේ පුණු පොහෝදා චන්ද්‍රයා මෙන්ද, ශරත් කාලයෙහි සූර්යයා මෙන්ද, මෘගයන් මැද සිංහයා මෙන් ද, ගවයන් මැද වෘෂභයා මෙන් ද, පර්වතයන් මැද මහමෙර මෙන් ද, පක්ෂීන් මැද ගුරුළා මෙන් ද, ගංගා මැද සාගරය මෙන් ද, ගස් අතරෙහි පරසතු රුක මෙන් ද, මල් අතරෙහි රත් පියුම මෙන් ද, මැණික අතරෙහි වෛදූර්ය මෙන් ද, මිනිසුන් අතරෙහි සක්විති රජ මෙන් ද, පර්වතයක් මුදුනෙහි ගින්නක් මෙන් ද, රන් කොතක් මෙන් ද සියලු දෙවියන් ඉක්මවා වර්ණයෙන් ද තේජසින් ද බබළයි. මෙසේ අප්‍රමෙය වර්ණනා ඇති මෙතේ බෝසත්තෙමේ දෙවගනන් හා දෙවියන් අතරෙහි දැල්වෙන්නා සේ ආයේය.
ඒ දෙවගනෝ සතර දෙන මිනිස් ලොවේ දී ජීවිතාන්තය දක්වා නොයෙක් පින් කොට තුසිත භවනෙහි ඉපිද මහත් පිරිවර ඇත්තියෝ බෝසතුන් පිරිවරා අවුත් තුන් යොදුන් සිළුමිණි සෑය වැද ප්‍රදක්ෂිණා කොට මාලෙය්‍ය තෙරුන් වෙත ගොස් වැද එකත් පසෙක සිටියාහුය. මෙතේ බෝසත් තෙමේ "ස්වාමීනි, කොයි රටකින් වැඩිසේක්දැ" යි ඇසී. "දඹදිවින් ආමි" යි තෙරනම කීය. දඹදිව වැසියන්ගේ ප්‍රාර්ථනාව කුමක්දැ යි විචාළ විට "ඔවුහු යම්කිසි කුශළයක් කොට මෙතේ බුදුන් දකින්නට ලැබේවා යි ප්‍රාර්ථනා කෙරෙති" යි කීය. බෝසත් තෙමේ "යම්කිසි කුශලයක් කොට මා දකින්නට ප්‍රාර්ථනා කෙරෙත් නම් ඒ සසර බියෙන් බිය පත්වූ ඔවුන් සසර සයුරෙන් එතෙර කරන්නෙක් වන්නෙමි. අවිද්‍යාවට වාසස්ථාන වූ තෘෂ්ණා නමැති දැලින් ගැවසීගත් සැඩපහරවලින් ගසාගෙන යනු ලබාන ලෝකයා මම එතර කරන්නෙමි. කෙලෙස් නමැති දියසුළිවලට අසුවූ තෘෂ්ණා නමැති සොරුන්ට හමුවූ සංසාර නමැති දිශාවන්හි මුළාවූවන්ට යහපත් මග පෙන්වන්නෙමි. සංජීවකාලසූත්‍රාදී මහානරකයන්හි උපන් හැම සතුන්ගේ දාහය නිවන්නෙමි. මෝහ බන්ධනයෙන් බැදුණු, තෘෂ්ණාවගේ දාස බවට පත් මිනිසුන්ගේ බැමි සිද නිවණට පමුණුවන්නෙමි. රාග ද්වේෂ නමැති අන්ධකාරයෙන් අන්ධ වූ නැසුනු ඇස් ඇති මිනිසුන්ගේ ඇස් ප්‍රඥා නමැති කූර යොදා ශුද්ධ කරන්නෙමි. ශෝකාතුර වූ ඒ ජරාමරණාදියෙන් පෙළුණු සත්වයන්ට ඥාන නමැති ඖෂධය දී සුවපත් කරන්නෙමි. මෝහ අදුරෙන් මුළා වී සිරගෙවල හැසිරෙන මිනිසුන්ට ඥානාලෝකය පතුරුවා ඒ සිරගෙය විවෘත කරන්නෙමි"යි කීය.
මෙසේ කියා මෙතේ බෝසත් තෙමේ තෙරුන් වැද තුසිත දෙව්ලොවට ගියේය. තෙරනම කාම්බෝජ ගමට හැරී ආවේය. 
සොළොස් අසංඛ්‍යයක් මුළුල්ලේ බොහෝ කුසල් රැස්කොට නුවණ මේරීමට පැමිණ ඒ බෝසත් තෙමේ බුදු වන්නේය. එසේ බුද්ධත්වයට පැමිණ සත්ත්වයන්ට අනුකම්පා කොට ඔවුන් දහම් නැවට නංවා එතෙර කරන්නේය. ඒ දහම් නැවට නැගුණු ධර්මප්‍රිය භික්ෂුවට සසරින් නික්ම නිවන් ලැබීය හැකිවන්නේය. ඒ බෝසත් තෙමේ අනාගතයෙහි හැම සත්ත්වයන්ටම පිහිට වන්නා වූ මෛත්‍රිය නම් බුදු රජ වන්නේය.

ඉතා පැරණි සිංහල බණකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී. මෙය මෙම කතාවේ ප්‍රථම අන්තර්ජාල පළකිරීම විය හැකියි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිල්වතුන් හා වෛර බැඳගැනීමේ විපාක

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.
දවසක් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ලක්ඛණ මහ රහතන් වහන්සේ සමග ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වඩිමින් සිටියා.එතකොට මුගලන් මහ රහතන් වහන්සේ යොදුන් විසි පහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා.උගේ හිසේ ගිනිදැල් මතුවෙනවා.වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා.ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා.හිස දක්වා ඇවිලීගෙන යනවා.ආයෙමත් හිස මුදුනෙනුත් වලිගය කෙළවරෙනුත් දෙපැත්තෙන්ම ඇවිලීගෙන එනවා.එතකොට මේ පිඹුරු පෙරේතයා මහත් වේදනාවකින් ඇඹරෙමින් බැගෑ හඬ නගනවා.මෙය දෙස මුගලන් මහ රහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් බලා සිටියා.මද සිනහවක් පහළ වුනා.නමුත් ලක්ඛණ මහ රහතන් වහන්සේ එය දැක්කේ නෑ.
"පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ අර පැත්ත දිහා බලාගෙනම ඉඳලා සිනහ වුණේ ඇයි?"
"ආයුෂ්මත් ලක්ඛණ, ඒක දැන්ම කියන්න බැහැ.අපි යමු වේළුවනයට.භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කරමු.එතකොට අහන්න මගෙන්..."
ඉතින් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටියා.ලක්ඛණ තෙරුන් මේ ප්‍රශ්නය ඉස්මතු කළා.මුගලන් මහ රහතන් වහන්සේ ඒ පිඹුරු පෙරේතයාගේ විස්තරය පැවසුවා.එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
"පින්වත් මහණෙනි, දිවැස් ඇති ශ්‍රාවකයින්ට ඇතැම් විට ඕවා දකින්ට ලැබෙනවා.මටත් ඔය ප්‍රේතයා මුණ ගැහුණා.ඒ මං නේරංජරා නදිය අසබඩ බෝ මැඩ සිටිද්දී.හැබැයි මං කාටවත් කිව්වෙ නෑ.දැන් මොග්ගල්ලානයන් දිවැසින් දුටු නිසා සාක්ෂියක් තියෙනවා නෙව.එනිසයි මං ඔය කතාව දැන් කියන්නේ.තමන්ම කරගත්තු දෙයක් තමයි ඔය විඳවන්නේ....
ඔය පෙරේතයා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලෙ මනුස්සයෙක්.ඒ කාලෙ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා.ඔහු රන් ගඩොල් බිම අතුරා ධනය විසුරුවලා මහා විහාරයක් කෙරෙව්වා.ඒ සුමංගල සිටුතුමා දිනපතා බුද්ධෝපස්ථානයට යනවා.එහෙම යද්දී නුවර දොරටුවේ එක් ශාලාවක එක සොරෙක් නිදාගෙන හිටියා.කකුල්වල මඩ තැවරිලා තිබුණා.ඔළුවෙ පටන් පොරවාගෙන නිදාගෙන හිටියා.සිටුතුමා මොහු දෙස බලා කිව්වා 'මෙයා නම් රෑ තිස්සෙ ඇවිදලා දවල්ට නිදියන කෙනෙක් වගෙයි' කියලා.එතකොට හොරා ඔළුව උස්සලා බැලුවා කවුද එහෙම කිව්වෙ කියලා.සිටුතුමාව දැක්කා.ඒ කියමනට වෛර බැඳ ගත්තා.කුරුමානම් අල්ල අල්ලා පළිගත්තා.හත් වතාවක්ම සිටුතුමාගේ හිඳට පැසුණු කුඹුරු යාය ගිනිතිබ්බා.ඒත් සෑහීමට පත්වුණේ නෑ.
සිටුතුමාට රිද්දන්න එක එක දේවල් කරනවා.සත් වතාවක් තියුණු ආයුධයක් ගෙන සිටුතුමාගේ ගවගාලට හැන්නා.අහිංසක ගවයන්ගේ කකුල් කපලා හැංගුණා.හත් වතාවක් සිටුතුමාගේ ගෙවල් ගිනිතිබ්බා.එහෙත් සිටුතුමාට රිදුණු බවක් පේන්න නෑ.දවසක් සිටුතුමාගේ සේවකයකුගෙන් මොහු මෙහෙම ඇහුවා.
"නුඹලාගේ සිටුතුමා හරි පුදුම කෙනෙක් නෙව.අපිට ආරංචියි හරියට කරදර වුණා කියලා.කුඹුරු ගිනිගත්තලු.හරක් කැපුවලු.සිටුතුමාට ගාණක් නෑ නේද? සිටුතුමාට ඒවා ප්‍රිය නැද්ද?"
"යහළුව, අපගේ සිටුතුමා බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තයි.භාග්‍යවතුන් වහන්සේට හැදූ ගන්ධකුටිය තරම් වෙන ප්‍රිය මනාප දෙයක් එතුමාට නැහැ."
එතකොට හොරා කල්පනාවට වැටුණා.
"හ්ම්....එහෙමද? එතකොට මූට රිද්දන්න බැරි ඒ නිසයි.ඈ....! හරි...එහෙනම් ගන්ධකුටියට කරන දේ බලා ගනින්..."
හොරා දවසක් කවුරුත් නැති වේලෙහි ගන්ධකුටියට ගිනිතිබ්බා.සිටුතුමාට ආරංචි වුණා.දුවගෙන ආවා.ගිනිගන්නා ගන්ධකුටිය බලා ප්‍රීතියෙන් අත්පොළොසන් දෙන්න පටන් ගත්තා.මෙය දුටු මිනිසුන් පුදුමයට පත්වුණා.
"ඇයි සිටුතුමනි....? මෙච්චර දෙයක් වෙලත් සතුටු වෙන්නේ...?"
"දරුවෙනි, මං ධනය තැන්පත් කළේ බුදු සසුනෙහි මිසක් මහ පොළොවෙහි නොවෙයි.මට මීටත් වඩා ලස්සනට ගන්ධකුටියක් හදන්නට අවස්ථාවක් ලැබීම ගැනයි මං මේ අත්පොළොසන් දෙන්නේ...."
සිටුතුමා ඉතාම ලස්සන අලංකාර ගන්ධකුටියක් හැදුවා.හොරාට තවත් කේන්තියි.'මේකාව මරණවා මිසක් මට වෙන විසඳුමක් නෑ' කියලා තීරණය කළා.ඉණේ පිහියක් බැඳගෙන දවස් හතක් මාන බැලුවා.සිටුවරයා ගන්ධකුටිය බුදුරජාණන් වහන්සේට පූජ කොට හත් දවසක් මහා දන් දුන්නා.හත්වෙනි දවසේ සෙනඟ මැද්දේ වන්දනා කොට මෙහෙම කිව්වා.
"ස්වාමීනි. භාග්‍යවතුන් වහන්ස, කවුදෝ පුද්ගලයෙක් මගේ කුඹුරු යාය හත් වතාවක් ගිනිතිබ්බා.මාගේ ගේ හත්වතාවක් ගිනිතිබ්බා.ගව පට්ටියට රිංගලා අහිංසක ගවයින්ගේ කකුල් හත් වතාවක් කැපුවා.මා හිතන්නේ ඔහුමයි ගන්ධකුටිය ගිනිතිබ්බෙත්.මේ පුද්ගලයා ගැන මට මහා අනුකම්පාවක් ඇතිවුණා.ස්වාමීනි, මා මේ ගන්ධකුටිය පූජා කිරීමෙන්, සත් දිනක් මහා සංඝයාට දන් දීමෙන් රැස් කළ පුණ්‍ය ධර්මය පළමු කොට ඒ පුද්ගලයාට අයිති වේවා! සැපවත් වේවා!" කියලා පින් දුන්නා.
ඉණේ පිහියක් සඟවාගෙන සිටි සොරාගේ වෛරය ඒ මොහොතේ සංසිඳුණා.
"හප්පේ! මෙබඳු කෙනෙකුටද මං මේ වෛර බැන්ඳේ...? මං සමාව නොගත්තොත් සත්තකින්ම දෙයියෝ මට අච්චු කරාවි" කියලා පිරිස මැද්දෙන් මතුවෙලා ඇවිත් සිටුතුමාගේ පාමුල වැඳ වැටුණා.සියලු විස්තර කියා හිටියා.
"එතකොට ඇයි ඔය තරම් වෛර බැඳගන්න මං කළ වැරැද්ද?"
"මං දවසක් දොරටුව ළඟ ශාලාවේ නිදාගෙන හිටියා.ඔබතුමා යනගමන් මං දිහා බලලා කිව්වා, 'මෙයා නම් රෑට ඇවිදින දවල් නිදන කෙනෙක් වගේ' කියලා.ඉතින් මට කේන්ති ගියා.ඒකට පළිගන්නයි මං මේ හැමදෙයක්ම කළේ."
"පින්වත් දරුව, ඔව්! මට අදාළ නැති දෙයක් මං කියලා..ඒක මගෙන් වෙච්ච වරදක්...ඒකට මට සමාවෙන්න....හොඳයි.දැන් ඒ සියලු වරදට මං ඔබට සමාව දෙනවා."
ඉතින් ඒ හොරා තමන්ගේ අඹුදරුවන් සමග සිටුතුමාගේ නිවසේ දාසයෝ වෙන්න කැමති වුණා.සිටුතුමා එයට සතුටු වුණේ නෑ.සමාව දීලා පිටත් කළා.ඒ සොරා මිය ගිහින් උපන්නේ අවීචි මහ නරකයේ.අනන්ත අප්‍රමාණ දුක් වින්ඳා.දැන් ඒ පාපයේ ඉතුරු විපාක තමයි ඔය විඳින්නේ.නුවණ මද තැනැත්තා පවේ භයානකකම ගැන කල්පනා කරන්නේ නෑ.නොසංසිඳෙන ආශාවකින් පළිගැනීම දිගටම කරගෙන යනවා.අන්තිමට ලැව් ගින්නක් වගේ තමාව දවනෙත් එයමයි.
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.
136.8.
අථ පාපානි කම්මානි - කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ - අග්ගිදඩ්ඨෝ'ව තප්පති

අනුවණයා කරමින් සිටියත් පව් - නැහැ කිසිදා වරදක් බව දන්නේ
අනුවණයා පව් වලින් හැදෙන්නේ - ලැව් ගින්නක් සේ ඔහුව දවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න පව්කාරකමේ මහත.අර පුංචි වචනය අත්හැරගන්න බැරිව ගියානේ.ඒකම හිත හිත දිගින් දිගටම පළිගත්තානේ.මොනතරම් අයහපතක් වුණාද? තව කොච්චර කල් විඳීවිද කවුද දන්නේ? එනිසා අපි අනුන්ගේ නින්දා බස් ඉවසන්න පුරුදු වෙමු.එතකොට එතනින්ම ප්‍රශ්නය ඉවර වෙනවා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10 ( දණ්ඩ වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -
Related Posts Plugin for WordPress, Blogger...