ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
කඩේට යන විට, වැසිකිළි කැසිකිළි යන විට, ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී මේ කමටහනේ ම ඉන්න බැහැ. සාමාන්‍යයෙන් දක්‌ෂ නැහැ. මේක හැම තැන දි ම කරන්න බැහැ. ඒ නිසා, ඒ වේලාවට පරිහරණය කරන්න, මනස රැක ගන්න, නීවරණ ධර්ම උපදින්නේ නැති විදිහට කමටහන් තබාගන්නවා. ඒකට කියනවා පරිහාරිය භාවනාව කියලා. ඒකට අතුරු නමක් විදියට කියනවා චතුරාරක්‌ෂක භාවනාව කියලා. බුදුගුණ, අශුභය, මරණය, මෛත්‍රිය තමයි ඒ හතර.
ලෝකයේ චරිත හයක් තියෙනවා. රාග චරිත, දොaස චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්‌ක චරිත කියලා. මේ වාගේ ඕනෑ ම චරිතයකට ගැලපෙන කමටහන් හතරක් තමයි මේ චතුරාරක්‌ෂක භාවනා. ලෝකය තුළ හැසිරෙද්දී, වැඩ කටයුතු කරද්දී, ආවරණීය ධර්ම ඇති නො වන විදිහට මේ හතර තමන්ගේ ආරක්‌ෂාවට තියා ගන්නවා. මොකද, අර වගේ සියුම් බොඡ්ධංග භාවනාවක් කරන්න අමාරුයි ඒ වේලාවට. ඒ වෙලාවට සති නිමිත්තේ ම සිත තියාගන්න ඕන. කුමන භාවනාවක් කළත්, සති නිමිත්තේ ම තියාගෙන, සති නිමිත්ත ඇසුරු කරමින්, දැඩි අවධානයෙන් ම කළ යුතුයි.
ඉරියව් පැවැත්ම තුළ දී කෙලෙස් අඩු වෙන තරමට, ඒ ටික පහසු වෙනවා. අපි කියමු දැන් කඩේට යන්න වෙනවා. නගරයට යන්න වෙනවා. කඩේ යැම තුළ නුවණින් කඩේ යනවා. බුද්ධිමත් ව කඩේ යනවා. මෝඩකමට කඩේ යනවා කියලා එකක් තියනව ද? හොඳයි කොහොම ද බුද්ධිමත්කමට කඩේ යන්නේ? කොහොම ද මෝඩකමට කඩේ යන්නේ? මෙහෙමයි. ඒ ක්‍රියාව තුළ ඇති කරගන්නා මානසික මට්‌ටමින් ඒ ක්‍රියාව නම් කරනවා.
අපි කියමු කඩේ යන්න ඉස්‌සෙල්ලා අරමුණක් අරමුණක් ගනේ රාග ෙච්තනා ඇති කරගන්නේ නැති ව ඉන්න තාම ඔබට හයිය නැහැ. ඒ බව ඔබ දන්නවා. ඉතින් ඔබ කල්පනා කරනවා කඩේ ගිහිල්ලා එනකොට ලාමක කෙලෙස් ධර්ම ඇති වෙන්න පුළුවන්. ඊට ඉස්‌සෙල්ලා මම සිහියෙන් යන්ඩ ඕන. තමාව රැකගෙන යන්න ඕන කියලා.
ලෝකය දිහා බැලුවත්, එයා තමන් ගේ දිහා බලාගෙනයි ඉන්නේ. හැම වේලාවෙ ම එයා තමන් ගේ පැත්තට නැමිලා, හැරිලා ඉන්නේ. ඒ කියන්නේ "රාග, ද්වේෂ, මෝහ අකුසල ධර්ම ඇති නො වෙන විදිහට මං ගිහින් එනවා" කියන තැනකින් ඉන්න වෙනවා. බුදුගුණ සිහි කර කර යනවා. ගිහිල්ලා බඩු ටිකත් අරගෙන එනකොටත් එහෙමයි එන්නේ.
මේ විදියට කළා ම කෙලෙස් ඇති වෙන්න කලින් ම, තමන්ව රැකගන්නවා. එහෙම ගියා ම නුවණින් ගිහිල්ලා ආව කියනවා. එහෙම තමන්ව රැකගන්නේ නැතිව, වටපිට බල බල, දකින දකින අරමුණට පැටලි පැටලී, රාග, ද්වේෂ, මෝහ ඇති වෙවී යන එකට කියනවා මෝඩකමට ගිහිල්ලා ආවා කියලා. එතකොට මෙතැන දී වගේ නුවණින් ඉරියව් පරිහරණය කරන එකට කියනවා පාරිහාරිය භාවනාව කියලා.
ඒ විදිහට ඉරියව් පරිහරණය කරන කොට, ඊට පස්‌සේ එක තැනක ඉඳගෙන ඉන්න කොට ආපහු තමන් ගේ අර හුරු පුරුදු කමටහනට එනවා.
දැන් මේ ටික කරන කොට ළිඳේ තියෙන මඩ සහිත, කුණු සහිත ජලය අයින් වෙනවා වගේ, වැඩ කටයුතු කරද්දීත් එක තැන ඉඳගෙනත් මෙහෙම පුළුවන් තරම් උත්සාහවත් වෙනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. හොඳ බැම්මක් දැම්මා වගේ. නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම අඩු වුණා, දුරු වුණා කියලා කියන්නේ හිතේ විසිරුණුකම ගිහිල්ලා, හොඳ චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. හිත එකඟ වෙනවා. කෙලෙස් කුණු ගියා ම හිත සමාධිගත තත්ත්වයකට පත් වෙනවා. නීවරණ ධර්ම දුරු වුණා ම සිත පිරිසිදු වෙනවා. හිත එකඟ වෙනවා. ළිඳ ඉහින කොට පිරිසිදු වතුර ආවා වගේ, ඒ වතුර ම අරගෙන ළිඳ හෝදනවා වගේ ඒ උපන්න සමාධිය ම උදව් කරගෙන විදර්ශනා කරනවා. ස්‌කන්ධයන් ගේ උදය වැය නුවණින් බලනවා.
මේ හේතුවත්, මේ හේතුව නිසා හටගන්නා ඵලයත්, හේතුව නැති වුණොත් මේ ඵලය නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ හේතු ඵල දහම දැකලා, හටගත්ත දෙයක් තියනවා නම්, නැති වෙනවා කියන දැනුම ඇවිල්ලා කෙලෙසුන් ගෙන් ආශ්‍රවයන් ගෙන් මනස මිදෙනවා.
මේ දහම ඉතා දක්‌ෂ මනසක් තියෙන කෙනාට හරි ම ලෙසි දෙයක්. බැරි වුණොත් ඒ තරම් අමාරු දේකුත් තව නෑ. හරියට අදින ගැට වාගෙයි. අදින පැත්තෙන් ඇද්දොත් ලිහෙයි. ඉතින් මේ දහම අවබෝධ කරගන්න ගිහිල්ලා ගැටේ අනිත් පැත්තෙන් එහෙම ඇද්දොත් ඒකමයි තද වෙන්නේ. කොහෙට වත් යන්නේ නැහැ.
ඉතින් මෙතැන දී නැත්නම් නිවන් දකිනවා කියන නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය විතර සරල, පහසු, වෙන එක දෙයක් වත් නැහැ. බැරි කෙනාට ඒ විතර ගැඹුරු වෙන එක ම දෙයක් වත් නෑ වගෙයි. ඉතින් මා පොඩි උපමාවක් කියලා විදර්ශනා කරන හැටි මතක් කරන්නම්. හැබැයි ගැඹුරුයි.
මා පොඩි කතාවක් කියලා ම විදර්ශනා කරන හැටි කියන්නම්.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ඡේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේ දී සැවැත් නුවර හිටියා යාළුවෝ දෙන්නෙක්. එක්‌කෙනෙක් ටිකක් වයසයි. එක්‌කෙනෙක් ටිකක් තරුණයි. නමුත් දෙන්නා හරි යාළුයි. දෙන්න ම ඡේතවනාරාමයට යන පිරිසකට එකතු වෙලා බණ අහන්න හෙම යනවා. බොහොම ශ්‍රද්ධාවෙන් බණ අහනකොට මේ දෙන්න ම කල්පනා කරනවා. "ගිහි ජීවිතේ නම් කරදර වැඩියි. ප්‍රශ්න වැඩියි. සම්බාධක වැඩියි අපි දෙන්න ම මහණ වෙමු ද" කියලා. එක්‌කෙනෙක් ටිකක් වයස වුණාට, අනෙක් කෙනා තරුණ වුණාට, දෙන්නා ගේ ම අදහස් බොහෝ ම දැහැමියි. දෙන්නා අනුමත කළා ඒක හොඳයි කියලා.
යාළුවෝ දෙන්න ම එකට ඇවිල්ලා මහණ වුණා. මහණ වෙලා බණ දහම් ඉගෙනගන්න ගුරුවරුන් ළඟට ගිහිල්ලා අහනවා. "ස්‌වාමීනි, මේ ශාසනේ කෙතෙක් ධුර තියෙනවා ද? කොහොම ද කොහොම ද යෙදෙන්න පුළුවන් මේ ශාසනේ?" එතකොට ස්‌වාමීන් වහන්සේලා කියනවා "මේ ශාසනේ තියනවා ග්‍රන්ථ ධුර හා විදර්ශනා ධුර කියලා දෙකක්. හොඳට ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන ඒවා අනුන්ට උගන්වමින් ශාසනයට සේවයකුත් කරලා, පසුව නිවන් දකින්න කෙනෙකුට පුළුවන්. එහෙම නැත්නම් තනියම, එහෙම ත්‍රිපිටක ධර්මය ගොඩාක් ඉගෙනගන්න කාලය ගත කරන්නේ නැතිව, තමන් ගේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ කරුණු ටික විතරක් ඉගෙනගෙන භාවනා කරන්නත් කෙනෙකුට පුළුවන්.
වයසක හාමුදුරුවෝ "මම දැන් වයසයි" මට ග්‍රන්ථ ධුරය කරන්න අමාරුයි. මම මගේ විමුක්‌තියට අදාළ කරුණු ටික විතරක් ඉගෙනගෙන භාවනා කරන්නම්" කිව්වා. "ලෝකයටත් සේවයක් කරලා ම මාත් නිවන් දකින්නම්" කියලා තරුණ කෙනා කිව්වා. දැන් ඔහොම දෙන්නා දෙපැත්තට ගියා.
අර තරුණ ස්‌වාමීන් වහන්සේ හරි දක්‌ෂයි. නොබෝ කලකින් ත්‍රිපිටකය ම කට පාඩම්. කටපාඩම් කියන්නේ, අහවල් නිකායේ අහවල් සඟියේ අහවල් වග්ගයේ තියෙන සූත්‍රය මොකක් ද කියලා ඇහුවොත් කිව්ව හැකි. ආයෙ පොත් බල්නන ඕන නැහැ. සම්පූර්ණ කටපාඩම්. දැන් මෙයා ත්‍රිපිටකය ම කටපාඩම් කරලා ගෝලයන්ට උගන්වනවා. ගෝලයෝ පන් සීයකුත් ඉන්නවා දැන්. ඒ අයත් බොහොම ගෞරව කරනවා. ගුරු හාමුදුරුවන්ට හොඳට වතාවත් කරනවා.
දැන් අර වයසක හාමුදුරුවෝ පැත්තකට ගිහිල්ලා තමන් ගේ වැඩක් කරගෙන ඉන්නවා. ටිකක් යනකොට අර තරුණ හාමුදුරුවන්ට හරි මාන්නයක් ආවා තමන් ගේ දක්‌ෂකම, ඉගෙනීම ඒ වාගේ ම තමන් ගේ පිරිස දිහා බලලා. දෙන්නා ම එකට ශාසනයට ආවාට, මගේ යාළුවාට මොකුත් නෑ නේ. මට මෙච්චර හැකියාවල් තියනවා කියලා යාළුවට පෙන්නන්ඩ ඕන කියලා හිතුණා අර තරුණ යාළුවාට. තරුණ යාළුවා ගේ නම පෝටිල. ඊට පස්‌සේ මෙයා කල්පනා කළා "මගේ යාළුවත් එක්‌ක මා පොඩි වාදයක් කරන්න ඕන. වාදයක් කරලා මගේ යාළුවාට වඩා මා දන්නවා කියලා පෙන්නන්න ඕන, පරද්දන්න ඕන. මෙයාට ලඡ්ජා කරවන්න ඕන. කියලා හිතුණා. ඊට පස්‌සේ පණිවිඩයක් යෑවුවා යාළුවාට, අර වයසක හාමුදුරුවන්ට, "මම එනවා. අපි දෙන්නා පොඩි ධර්ම සාකච්ඡාවක් කරමු. වාදයක් කරමු" කියලා.
දැන් අර වයසක හාමුදුරුවෝ හම්බ වෙන්න මේ තරුණ හාමුදුරුවෝ එද්දී බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්‌කා මේක. ඒකාන්තයෙන් අර වයසක හාමුදුරුවෝ පරාද වෙනවා. මේ ප්‍රශ්න අහන්න ගියහම කියලා. මේ තරුණ හාමුදුරුවෝ, පෝටිල හාමුදුරුවෝ අකුසලයකුත් සිද්ධ කරගන්නාවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ ඊට කලින් එතැනට වැඩියා. වැඩලා පනවපු ආසනේ ඉන්නකොට, ඔන්න අර තරුණ හාමුදුරුවොත් පෝටිලල හාමුදුරුවෝ - එතැනට ආවා. දැන් ඔන්න වයසක හාමුදුරුවොයි තරුණ හාමුදුරුවොයි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තරුණ හමුදුරුවන් ගෙන් සූත්‍ර පිටකයෙන් ප්‍රශ්න ඇහුවා. ක්‍ෂණික ව උත්තර දුන්නා. විනය පිටකයෙන්, අභිධර්ම පිටකයෙන් ප්‍රශ්න ඇහුවා. ක්‍ෂණිකව උත්තර දුන්නා. අහන අහන ප්‍රශ්නවලට වේගයෙන් උත්තර දුන්නා. හැබැයි මාර්ග ඵල පැත්තෙන් ප්‍රශ්න ඇහුවා. මොකුත් බෑ. මාර්ගඵල පැත්තෙන් ප්‍රශ්න ඇහුවා - මොකුත් බෑ.
ඉතින් වයසක හාමුදුරුවන් ගෙන් මාර්ගය ගැන, ඵලය ගැන විමුක්‌තිය ගැන, නිවන ගැන ප්‍රශ්න ඇහුවා. අහන අහන එකට හොඳට උත්තර දුන්නා. එයා ගෙන් ත්‍රිපිටකයෙන් ප්‍රශ්න ඇහුවේ නැහැ.
ඉතින් දැන් ඊට පස්‌සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ පෝටිල - මේ තුච්ඡ පෝටිල හිස් පුරුෂයෙක් කියලා, මෙයා අනුන් ගේ හරක් බලන කෙනෙක් වගේ කියලා. ඒ කියන්නේ අනුන් ගේ හරක් බලන කෙනා උදේ ඉ`දන් හවස් වෙන තුරු ම හරක් ටික අරගෙන පිට්‌ටනි ගානේ ඇවිදලා, තණකොළ කවලා, වතුර පොවලා,
හරියට මහන්සි වෙලා සවසට හරක් ටික ගිහිල්ලා දානවා. ගව හිමියා කිසි ම මහන්සියක් නැති ව ගෙදරට වෙලා කිරිත් බොනවා, ගිතෙලුත් වළ`දනවා, වෝඩරුත් ගන්නවා, ගෝරෝචන, ඔය වගේ පස්‌ගෝ රස ම වළඳනවා. අරයාට අච්චර මහන්සිවෙලත් ලැබෙන්නේ දවසකට වැටුපක් වශයෙන් කීයක් හරි විතරයි.
ඒ වගේ මේ පෝටිලත් අනුන් ගේ හරක් බලන්නෙක් වගේ අනුන්ට බණ දහම් කියලා දෙන එකට අනුන් ගෙන් දානේ ටිකක් ගෙනත් දෙනවා, වතක් පිළිවෙතක් ලැබෙනවා මිසක, පඩියක් ලැබෙනවා මිසක, මේ ශාසනේ කිසි ම රසයක් ලැබෙන්නේ නැහැ. මගේ පුතා හරියට ගව හිමියා වගෙයි කියලා අර වයසක හාමුදුරුවෝ පෙන්නනවා. මෙයා හරියට ගව හිමියා වාගෙයි. වෙහෙසක් නැතිව ම පස්‌ගෝරස වළඳන ගව හිමියා වගෙයි කියලා අර මහළු හාමුදුරුවන්ට ප්‍රසංසා කරනවා.
ඉතින් පෝටිල හාමුදුරුවෝ හරියට කලකිරෙනවා. හරි දුක හිතෙනවා. "මෙච්චර ත්‍රිපිටකය ඉගෙනගෙන, මෙච්චර ගෝලයන්ට උගන්වලා. ගෝලයන් හදපු මටත් බුදුරජාණන් වහන්සේ තුච්ඡ පෝටිල කියලා කිව්වා. එහෙනම් ඉතින් මේකේ තවදුරටත් ඉඳීමේ තේරුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මුකුත් උගන්වපු නැති, නමුත් දහමේ හැසිරෙච්ච කෙනාට "මගේ පුතා" කියලා කිව්වා. මට "තුච්ඡ පෝටිල" කියලා කිව්වා. මාගේ මේ ඉගැන්වීමත් මේ දැනුමත් ඵලක් නෑ කියලා තමන් ගැන ම හරියට කලකිරුණා. කලකිරී එතැනින් නැගිටලා පාත්තරෙත් සිවුරත් අරගෙන තමන් ගේ ගෝලයන්ටත් කියන්නේ නැති ව, තමන් ගේ වෙහෙරටත් යන්නේ නැතුව එහෙම ම පිට පාරේ යොදුන් සිය ගණනක් ඈත තැනකට ගියා.
ගිහිල්ලා එතැන විහාරස්‌ථානයකට ගිහිල්ලා ඒ විහාරස්‌ථානයේ හාමුදුරුවන්ට කිව්වා."ස්‌වාමීනි, මට භාවනා කරන්න ඕන. මට කමටහනක් දෙන්න" කියලා. මෙයා ගේ ස්‌වාභාවයෙන් ම හිත ටිකක් මාන්න සහිතයි. තවදුරටත් මාන්නය අඩු කරන අදහසින් ඒ හාමුදුරුවෝ කිව්වා. "මගෙන් නොවෙයි, අනික් පොඩි හාමුදුරුවන් ගෙන් ගන්න" කියලා. ඒ හාමුදුරුවෝ ළඟට ගිහාම "මගෙන් නො වෙයි අන්න අර පොඩි හාමුදුරුවන් ගෙන් ගන්න" කිව්වා. ඔහොම ඔහොම ගියහම, කිව්වා "මගෙන් නොවෙයි අර පොඩි හාමුදුරුවන් ගෙන්" කියලා. හත් හැවිරිදි වයසේ පොඩි හාමුදුරවන් ගාවට ගිහිල්ලා කමටහන් ඉල්ලුවහම කිව්වා "හොඳයි මං කමටහන් දෙන්නම් හැබැයි මම කියන දේ කරනව ද ඇහුවා. "ඕව්" කිව්වා. (පෝටිල හාමුදුරුවෝ කියන්නේ උපසම්පදා, හොඳට වැඩිහිටි ගුරු හාමුදුරු නමක්) "එහෙනම් අර පේන මඩ වළට බැහැලා එන්න. කියලා පොඩි හාමුදුරුවෝ මඩ වළක් පෙන්නුවා. ඉතින් දැන් මේ පෝටිල හාමුදුරුවෝ මානය ඔක්‌කොම අතහැරලා මඩ වළට බහින්න යනකොට සිවුර තෙමෙන මට්‌ටමට යනකොට, අනේ, ස්‌වාමීනි, වඩින්න කියලා කතා කරලා දැන් මේ පොඩි හාමුදුරුවෝ උපමාවකින් කමටහන් කියලා දෙනවා.
එක්‌තරා සිදුරු හයක් තියෙන හුඹහක් තියෙනවා. ඔය හුඹහට තලගොයෙක් යනවා. මේ තලගොයා අල්ලගන්න ඕන වෙන කෙනෙක් ඇවිල්ලා මේ හුඹහේ සිදුරු පහක් වහනවා. සිදුරු පහක් වහලා එක සිදුරකින් අත දාලා තලගොයා අල්ලගන්නවා. ඔය වගේ මේ ලේ, අසූචිවලින් හැදුණු, කන බොන ආහාර නිසා හැදුණු, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතූන් ගෙන් යුක්‌ත මේ ශරීරයේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන සිදුරු හයක් තියනවා. මේකෙන් ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන සිදුරු පහ වහලා අවධානය යොමු නො කර මනෝ විඤ්Æණ සම්ඵස්‌සය නමැති මේ එක ම සිදුර හරහා අත දාලා විමුක්‌තිය නැමැති තලගොයා අල්ලගන්නවා." කියලා කමටහන් දුන්නා. කමටහන් අරගෙන පැත්තකට ගිහිල්ලා භාවනා කරලා නොබෝ දිනකින් පෝටිල හාමුදුරුවෝ මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.
ඉතින් මම මේ කතාව කිව්වේ සමාධිගත බව ඇති වෙන්නත් එක්‌කයි.