රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

බුදුරජාණන්වහන්සේගේ සිනහවට ලක් වූ සූකර පෝතිකාව (ඊරිය )

එක් දිනක් බුදු රජානන්වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා වඩිනා විට, එක් සූකර පෝතිකාවක් (ඊරියක්) දැක උන්වහන්සේ සිනහ පහළ කළ සේක. මෙය දුටු ආනන්ද තෙරනුවන්, තථාගතයන් වහන්සේ මෙසේ සිනහ පහළකිරීමට හේතුව විචාළ කල්හී උන්වහන්සේ මෙසේ වදාළ සේක. " ආනන්දය, මෙම සූකර පෝතිකාව කකුසඳ බුදුරජානන්වහන්සේ ලොව වැඩ වසනා සමයෙහි කිකිළියක්ව ඉපිද, භික්ෂුන් දන් වලඳනා දාන ශාලාවක් අසල ගැවසෙමින් සිටියාය. දිනක් ශාලාව තුළ වූ එක් යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා භාවනාවේ කර්මස්ථානය හඬ නගා සජ්ජායනය කරනු මෙම කිකිළියට අසන්නට ලැබිනි. තිරිසන් ආත්මභාවයක පසුවු මැයට එම දර්මය අවබෝධ කරගැනීමට භාග්‍යයක් නොමැති වුවද සතුටින් එම කර්මස්ථානයේ සිත යොමා සිටි බැවින්, එම කුසලයේ බලයෙන් තිරිසන් ආත්මයෙන් මිදීමෙන් පසු "උබ්බරී" නම් රාජකුමාරිකාවක් ලෙස උපත ලැබුවාය.
මෙමෙ රාජ කුමාරිය දිනක් අශුචිවල සිටි පණුවන් සමූහයක් දැක කළකිරී "පුළවක" සංඥාව උපදවා,එය කර්මස්ථානය කොටගෙන භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට පත්වී,ධ්‍යානය නොපිරිහී කලුරිය කළ බැවින් බ්‍රහ්මපාරිසජ්ජ බඹ ලොව උපත ලැබීය. ඉන් බොහෝ කළක් බඹ ලොව සමාධි සුවයෙන් ගතකළ ඇය එයින් චුතව කකුසඳ,කෝණාගමන,කාශ්‍යප යන තුන් බුදු රජානන්වහන්සේලා ලොව පහලව,උන්වහන්සේලාගේ ශාසනයන්ද අවසන් වන තුරුම සසරෙහි සුගතින් මෙන්ම දුගතින්හී ද උපත ලබමින් සසර සැරි සරා, අද දින මෙලෙස ඌරු යෝනියේ උපත ලැබුවාය.
මෙලෙස අනවරාග්‍ර සසරෙහි, බියකරු බව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ පිඬුසිඟා වැඩි මහාවිථිය මධ්‍යයෙහිම,ආනන්ද හිමියන් ප්‍රධාන මහාසංඝ රත්නයට, සසරෙහි ආදීනව පහදා දෙමින් මෙසේ ධර්මය දේශනා කළ සේක.
"යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
ජින්නෝපි රුක්ඛෝ පුන රේව රූහති
ඒවම්පි තන්හානුසයේ අනූහතේ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං"
"මුල ශක්තිමත්ව නිරුපද්‍රිතව තිබෙනාතාක් කල් කැපූගස නැවත නැවත නැග ඒම, වැඩීම එහි ස්වභාවයයි.එලෙසම නිදන්නාක් මෙන් එනම් අනුශය ලෙස චිත්ත සන්තානයේ සැඟවී පවතින තෘශ්ණාව, නැවත නූපදනා පරිදි අනුත්පාද නිරෝධයෙන් නසනා තාක් කල්ම, මෙම පංචස්කන්ධ දුක්ඛය නැවත නැවත ඇතිවීම එහි ස්වභාවයයි"
රජගහනුවර මහමග මධ්‍යයෙහි සිට මෙම ධර්මය ශ්‍රවණය කළාවූ ස්වාමින් වහන්සේලා ඇතුළු බොහෝ පිරිස් සෝවාන් ආදී මාර්ගඵල ලබමින්,නිර්වානාවබෝධයට පත්වූ බව ධර්මයේ සඳහන්වේ.
සූකර පෝතිකාවගේ ඉරණම මෙතෙකින් අවසන් නොවීය. මෙම සූකර පෝතිකාව එම ආත්මභාවයෙන් මිදී ,මීලඟ ආත්ම භාවය ස්වර්ණ භූමි නම් රට ,රජකුලයක උපත ලැබීය.අනතුරුව එයින් චුතව බරණැස් නුවර මනුෂ්‍ය දියනියක් ලෙසද,එයින් පසු ආත්මභාවයක සුප්පරක පටුනෙහි දිවිගෙවූ අශ්ව වෙළෙන්දෙකුගේ දියණියක් ලෙසද ,එයිනුත් අනතුරුව කාවිර පටුනෙ නැවියකුගේ නිවසෙහිද උපත ලැබීය. මීලඟ ආත්ම භාවය අප ලක්දිව අනුරාධපුරයෙහි ඉසුරුමත් කුළගෙයක උපත ලැබීය.ඒ වනවිට අප ගෞතම සර්වඥයන්වහන්සේ පිරිනිවී වර්ෂ 300ක් පමණ ගතවී අවසන්ය. ඇයගේ එම ආත්ම භාවයද කෙළවර, ඇය යලි අනුරපුරයෙහිම දකුණුදිශා භාගයෙහි "ගෝකන්න" නම් ග්‍රාමයෙහි සුමන නම් කෙළෙඹියාගේ සුමනා නම් රූමත් දියනිය ලෙස උපත ලැබීය. ඇය උපත ලැබූ වකවානුව, දුටු ගැමුණු අනුරපුරේ රජ වීමට ආසන්න සමයයි. අනතුරුව සුමන කෙළෙඹියා ගෝකන්න ග්‍රාමය අත හැර දිගාවැව "මහමුනිගාමය" නම් ගමෙහි වාසයට පැමිනි බැවින් මහමුනිගාමය ඇගේද වාසභූමි බවට පත්විය. සුමණා දියණිය වැඩිවියට පත්වනවිට දුටු ගැමුණු ලක්දිව රජු ලෙස අභිෂේකය ලැබීය. දිනක් මහ රජුගේ මහ ඇමතියෙකු වූ "ලකුන්ටක අතින්බර" නැමත්තා රාජකාරියක් පිනිස මහමුනිගාමයට පැමිනි කල්හී, රූමත් සුමනාවන් දැක ඇය කෙරෙහි සිත් බැඳී ඇය සරණපාවා ගත්හ. එලෙස ඇය දුටුගැමුණු රජුගේ මහ ඇමතියකුගේ දේවිය බවට පත්ව ඔහු වසනා "මහපුණ්ණ නම් ග්‍රාමයට වාසය පිණිස පැමිනියාය.
දිනක් මහාවිහාර වාසී මහා අනුල මහරහතන් වහන්සේ භික්ෂුන්ද පිරිවරා පිඬු පිණිස "මහාපුණ්ණ" ගමට වැඩම කළ අවස්ථාවේදී ලකුණ්ටක අමාත්‍ය මාළිගයටද වැඩමකල සේක. මෙවිට පිණ්ඩපාතය පිළිගන්වනු පිනිස මාලිගයෙන් එලියට බට සුමණා දේවිය දුටු මහරහතන් වහන්සේ, ඇයගේ පෙර භවය සිය නුවණින් දැක ඇයට ඇසෙන ලෙස "ඇවත්නි, මහා ආශ්චර්යයකි. සූකර පෝතිකාව ලකුන්ටක අමාත්‍ය දේවිය බවට පත්ව සිටි". මහ රහතන් වහන්සේ නමක කිසිදා නිශ්ඵල වදන් නොකියන බැව් මනාකොට සුමනා දෙවිය, තම කන වැකුනු එම ප්‍රකාශය පිළිබඳව මෙනෙහි කිරීමට පටන් මොහොතෙහිම ඇයට ජාතිස්මරණ ඥානය එනම් පෙර භවයන් සිහිකිරීමේ ඥානය පහළවිය.ඉන් පසුව පෙර සසරෙහි තමා ගත කළ දුක්ඛිත ආත්ම භාවයන් සිහිවී මහත් කළකිරීමට පත්වූ ඇය අනතුරුව තම ස්වාමියා වූ ලකුණ්ටක ඇමතිතුමාගේද අවසරය ඇතිව සසුන්ගතවිය. නොබෝ කලකින්ම සුමනා මෙහෙනින්වහන්සේ තිස්ස මහාවිහාරයේදී දෙතිස ,සතිපට්ඨාන සූත්‍ර දෙශනාව ශ්‍රවනය කිරීමෙන් සෝවාන් ඵලයට පත්විය. ඉක්බිති ලක්දිව ඇතිවූ දුටුගැමුණු එලාර යුද්ධයෙන් පසු, තම මව්පියන් විසූ ගෝකන්න ග්‍රාමයට නැවත වාසය පිනිස වැඩම කළාය. අනතුරුව කල්ලන මහා විහාරයේදී "ආශිවිෂොපම සූත්‍ර දේශනාව ශ්‍රවනයෙන් සව් කෙලෙසුන් නසා රහත්භාවයට පත්ව මෙම බියකරු සසරින් සදහටම එතෙර විය.
සුමනා රහත් මෙහෙනින් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහිදී භික්ෂුන්,භික්ෂුනීන්,උපාසක,උපාසිකාවන් විශාල පිරිසක් එහි රැස්වූහ. එවෙලෙහි ඕතොමෝ අහසට පැන නැගී තමා කිකිළියක්ව උපන් තැන් පටන් තම පෙර ආත්ම 13ම මුල්කොට දම් දෙසා රැස්වූ පිරිස සංවේගයට පත්කොට පිරිනිවීය.
අප සර්වඥයන් වහන්සේ වරක් මෙසේ වදාළසේක.
"සබ්බේ සංඛාරා අනිච්චාතී
යදා පඥ්ඥාය පස්සතී
අථනිබ්බින්දතී දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා"
"සියළුම සංස්කාරයෝ අනිත්‍යයි යම් කෙනෙක් ප්‍රඥාවෙන් දකීද, එම විසුද්ධි සංඛ්‍යාත නිවන ඔහු දකින්නේය". එනිසා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කොට සියළුම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය අවබෝධයෙන්ම වටහාගෙන, ඒ අමිල නිර්වානය සාක්ශාත් කොට, අනවරාග්‍ර සසරින් හා සසර දුකින් එතෙරවීමට සියල්ලෝම උත්සහ කරත්වා..!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දන්දීමේ යහපත සහ අනුසස්

මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානාධික බව දුරුකරලීම සඳහා සැවැත්නුවරදී යමා මහ පෙළහර පානු ලැබූ සේක. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පානු ලබන අසිරිය දෙස බලාසිටි බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ පිළිබදව ගෞරවයක්, පැහැදීමක් ඇතිකර ගනු ලැබූහ. සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකි, ඉතාමත් අපහසු කාරණා වුවද ඉතා සරල ආකාරයෙන් සිදුකරන නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීමක් ඇතිකරගනු ලැබූහ. උන්වහන්සේගේ ගිහිකළ ඥාතීන් බුදුරදුන් පිළිබදව ප්‍රසාදයක් ඇතිකර ගනු ලැබුවේද මේ ආකාරයටයි.

බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහිකල ඥාතීන් ඉදිරියේ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබු සේක. තව්තිසා දිව්‍ය ලෝකය බුදුරජාණන් වහන්සේට විශේෂ වූවක්.උන්වහන්සේගේ ගිහිකල මෑණියන් මාතෘ දිව්‍ය පුත්‍රයකු ලෙස පිරිමි ආත්මභාවයක් ලබාගෙන උප්පත්තිය ලබා සැපසම්පත් විඳීමින් තව්තිසා දිව්‍ය ලෝකය තුළ කාලය ගතකරමින් වැඩ සිටි සේක. තමන්ගෙන් තමන්ගේ මවට යුතුකම් ඉටුවිය යුතු බව සිතන පුතුන් සිටියි. එවැනි පුතුන් බුදුබණ අනුගමනය කරවන පුතුන් ලෙස හඳුනාගත හැකියි. බුදුරජාණන් වහන්සේ වුවත්, තමන් වහන්සේ බුද්ධත්වයට පත්වූවාට පසුවදි වුවත්, තමන්ගේ මවට ඉටුවිය යුතු යුතුකම් මොනවාද? යන්න පිළිබඳව කල්පනා කරනු ලැබූ සේක. ඒ අනුව දිව්‍යාලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳින මාතෘ දිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කර මාතෘදිව්‍ය පුත්‍රයාගේ දැනුම තවදුරටත් වර්ධනය කර නිවන් මාර්ගයට පාර කියන්න අවශ්‍ය යැයි සිතා තව්තිසා දිව්‍යලෝකයට වැඩම කරනු ලැබූහ.
තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ තම මාතෘදිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේ දිව්‍ය ලෝකය තුළ වැඩ සිටි විවිධ දැනුම් මට්ටම්වලින් යුක්ත වූ දෙවිවරුද, විවිධ සැපසම්පත් විඳිමින් සිටි බොහෝ දෙවිවරුද ධර්මය ශ්‍රවණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. බුදුරජාණන් වහන්සේ වටේ වාඩිවී සිටින දෙවිවරු බණ අසමින් සිටින ලදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබු ධර්මය මෑණියන්ට පමණක් නොවන අයුරුත් සියලුම දෙවිවරුන්ටත් ගැලපෙන ආකාරයටත් ධර්මය දේශනා කළ සේක. එම දෙවිවරු පිරිස අතර “අංකුර’ නම් වු දිව්‍ය පුත්‍රයකු ද “ඉන්දික” නමින් දිව්‍ය පුත්‍රයකු ද වැඩ සිටියේය. බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබූ බුදු බණ බුදුරජාණන් වහන්සේ සමීපයටම වී ඉතාම කැමැත්තෙන් ශ්‍රවණය කිරීමට පටන් ගනු ලැබූහ. එම දෙවිවරු දෙදෙනාම බණ ඇසීමට ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූවා සේම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූ නිසාම බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වී ඉතාම කැමැත්තෙන් ධර්මය ශ්‍රවණය කරනු ලැබූහ. “ඉන්දික” දිව්‍ය පුත්‍රයා ධර්ම ශ්‍රවණය කරමින් සිටිනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ සමීපයෙහි දකුණු පසින් වූ අතර අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි වම්පසින් වාඩිවී ධර්මය ශ්‍රවණය කරන ලදී. මඳ වේලාවක් ගතවීමත් සමඟ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩිවෙන්නට පටන් ගත්හ. බුදුරජාණන් වහන්සේ සමීපයට වී වාඩිවෙමින් ධර්මය ශ්‍රවණය කරනු ලැබු අංකුර දිව්‍යපුත්‍රයා බණ ඇසීමට පිරිස පැමිණීමත් සමඟම, දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පසුපසට ගියේය. ඉන්දික දිව්‍ය පුත්‍රයා ධර්මය ශ්‍රවණය කරමින් සිටි ස්ථානයෙහමි තවදුරටත් බණ අසමින් සිටියි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේදී ඉන්දික සහ අංකුර යන දිව්‍ය පුත්‍රයන් දෙදෙනා බණ ඇසීමට බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වුවත් එක් අයකු බොහෝ දුරට ගොස් සිටීමත් අනෙක් දිව්‍ය පුත්‍රයා සිටි ස්ථානයෙහිම සිටීමත් පිළිබඳව බුදුරජාණන් වහන්සේටත් ප්‍රශ්නයක් වුණි. බුදුරජාණන් වහන්සේ ‘අංකුර’ දිව්‍ය පුත්‍රයා අමතමින් මේ ආකාරයට විමසන්න පටන් ගනු ලැබූහ. “අංකුර දිව්‍යපුත්‍රයා” මෙහාට පැමිණෙන්න. ඔබ මාගේ වම්පස වාඩිවී බණ ඇසීමට පටන් ගනු ලැබූහ. ඒත් ඔබ දැන් දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පස්සෙන් පස්සට ගොස් ඈතට වී සිටියි. එයට හේතුවන කාරණාවක් තිබේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අතරතුරදීම අංකුර දිව්‍ය පුත්‍රයාගෙන් විමසනු ලැබූහ. බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රශ්නයට උත්තරයක් නොදී සිටීමත් එතරම් යහපත් ක්‍රියාවක් නොවේ. පිළිතුරු දීමට පිළිතුරකුත් තිබේ. එය බුදුරජාණන් වහන්සේට පැහැදිළි කිරීමටත් අවශ්‍ය බවට කල්පනා කරනු ලැබු අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ අමතා අනෙක් පිරිසටත් ඇසෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දෙනු ලැබූහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම පෙර ආත්ම භාවවල දඹදිව ධාරවතී නුවර ‘අංකුර’ නමින් රජකෙනෙකු ලෙස ජීවත් වුණි. දොළොස් යොදුන් පමණ පිළියෙළ කරගත් මහ දන් මහ සඟරුවනට මම ඉතාම සතුටින් පූජාකරනු ලැබූහ. ඒ දන් පිළිගැනීමට හාමුදුරුවරු වැඩම කර සිටියත් සිල්වත් භික්ෂූන් වහන්සේලා වැඩමවා සිටියේ නැහැ. දුසිල්වත් වු භික්ෂූන් වහන්සේල එම දානය පිළිගනු ලැබුවේ . එයින් මම බොහෝ දිව්‍යසැපයක් ලදිමි.මම පිළිගන්වනු ලැබූ දානය දුසිල්වතුන්ට පිළිගන්වනු ලැබූවද, එම දානය මම බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගන්වනු ලැබූ නිසාම එහි යහපත් විපාක මට පෙරළා ලැබුණි. එම සැප සම්පත් මම විඳිනු ලැබුවද, එම සැප සම්පත් එඩිතර සැපයක් බවට පත්වූයේ නැහැ. ඒ නිසා දොළොස් යොදුන් පමණ පසු බැස ගොස් සිටීමට අවසරයක් ලැබ සිටිති. මම පින්කම් කරනු ලැබූවත්, එම පින්කම් මහා බලයකින් යුක්ත නොවන්නේ මම පූජාකරනු ලැබු දානය පිළිගත් භික්ෂූන් වහන්සේලා සිල්වත්, ගුණවත් පිරිසක් නොවු නිසයි. මම දන් පූජාකළ ක්‍රියාවේ විපාකය ලෙස මම අද තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳුනු ලැබුවද එම සැප සම්පත්වල අභිමානය එතරම් එඩිතර නොවුනේ ඒ නිසයි. බුදුහාමුදුරුවනේ, යනුවෙන් මෙම කාරණාව ඈත සිට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවා. අංකුර දිව්‍ය පුත්‍රයා මෙම කාරණාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවේ බොහෝ දුර සිටයි.
බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිට බණ ඇසු “ඉන්දික’ දිව්‍ය පුත්‍රයාගෙන් මෙම ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විමසා සිටිනු ලැබුවේ ධර්මය දේශනා කරනු අතරතුරදීයි. “ඉන්දිකයිනි, ඔබ මාගේ සමීපයෙහි දකුණූ පස වාඩි වූවෙහිය. මාගේ වම් පස සමීපයෙහි වාඩි වූ අංකුරයන් මෙන් පසු නොබැස එම ස්ථානයෙහිම සිටිමින් බණ අසනු ලැබීමට හේතු වූ කාරණා මොනවාද? මෙම ආකාරයට බුදුරජාණන් වහන්සේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගෙන් ප්‍රශ්නය විමසූ විට ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයෙහි හිඳිමින්ම පිළිතුරු දෙනු ලැබූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මිනිස් ලොව දුගියෙක්ව ඉපිද ජීවිතය රැකගත් පුද්ගලයෙක්. ඒ කාලයේදි දවසක එක් අවස්ථාවක මට ලැබුණ එකම බත් හැන්දක් ඒ අවස්ථාවේ අනුරුද්ධ මහ රහතන් වහන්සේට මම පුජාකළා. මෙසේ බොහෝ සැප සම්පත් ලැබීමටත් එම සම්පත් එඩිතරව විඳීමටත් සිල්වතුන්ට දන් දුන් ඒ පින හේතු වුණා. එම එඩිතරභාවය වගේම තියෙන නිසා මම සිටි ස්ථානයෙහිම සිටින්නේ කියමින් දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනු ලැබූහ.
මෙම දෙදෙනාම දෙවිවරු වුවත් එහි කාරණා දෙකක් තිබෙන බව පැහැදිළියි. මෙම දෙවිවරු දෙදෙනාම දන් පැන් පූජාකර තිබුණත් එම දන් පැන් පිළිගෙන තිබෙන්නේ එකම වගේ සිල්වත් ගුණවත් අය නොවෙයි. එක දිව්‍ය පුත්‍රයෙක් දන් පැන් පුජාකර තිබුණද එම දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් නොවෙයි අනෙක් දෙවියා පූජාකළ දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් අපට පෙනෙන කාරණාව නම් තමන් සතුදේ අනුන්ට දීම යහපත් ක්‍රියාවකි.
තමන් දෙනු ලබන දෙය ලබන පුද්ගලයාත්, යහපත් දේ සමාජයට කරනවා නම් එය සිදුකරනු ලැබුවාවූ පින්කමේ අර්ථය වැඩියි. ඔහු කරනු ලබන්නේ සමාජයට අයහපත නම්, දුන් දෙය ලබන පුද්ගලයා සමාජයට අයහපත කරන නිසා එය පරිත්‍යාග කරනු ලබන දන් දෙන පුද්ගලයාටත් මෙය බලපානු ලබයි. දීම යහපත් ක්‍රියාවක් වුවද, වඩාත් වැදගත් වනුයේ අර්ථවත් ආකාරයෙන් පරිත්‍යාග කරන කාරණාව අපට මෙයින් පැහැදිලී වේ.
හේමමාලා රන්දුනු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සෝනක නම් වූ දිළිඳු තරුණයාගේ ධජ පූජාව

දුගී දුප්පතකු වූ සෝනකට තමා සන්තක ව තිබුණේ එක ම උතුරු සළුවක් පමණෙකි. එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ විසි රියන් පමණ වූ උණ ගසෙක අග කෙළවරෙහි කොඩියක් මෙන් ගැට ගසා චෛත්‍යය වටා ඔසවාගෙන යමින් සාදුකාර නඟමින් පිරිනිවන් පා වදාළ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අපිරිමිත වූ ශ්‍රද්ධාවෙන් ධජ පූජාවක් කෙළේ ය. සෝනක තරුණයාගේ තරමට එය අති විශිෂ්ට වූ මහානිසංස වූ උතුම් බුද්ධ පූජාවක් විය.
ලෝක සත්ත්වයා අනූපමේය මෛත්‍රී කරුණා ජලයෙන් සුවපත් කළා වූ සුවහසක් ලොවැ දනන් හට ශක්තියක් වූ තුන් ලෝකාග්‍ර වූ අසම සම වූ බුදුවරයන් වහන්සේ නමක උදෙසා පුද පූජා පවත්වමින් උපහාර දැක්වීමට සාමාන්‍ය මිනිසකු තුළ දැඩි ශ්‍රද්ධාවක් පහළ වූයේ නම් හෙතෙමේ මහා පුණ්‍යවන්තයෙකි. ඒ පිළිබඳව කතාන්තරයක් ධර්මයෙහි සඳහන් වන්නේ මෙසේ ය.
මේ මහා භද්‍ර කල්පයට පෙරාතු ව “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේ සමයෙහි “හංසවතී” නුවර එක් දුගී පවුලක පිරිමි දරුවෙක් උපන්නේ ය. නමින් ඔහු සෝනක නම් විය. අගහිඟකම් මැද ජීවත් වූ අසරණ පවුලක් නිසා නිසි වයසට පැමිණිය ද සෝනක දරුවාට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා දීමට ඔහුගේ මවුපියෝ අසමත් වූහ.
එදවස පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගෙන බණ ඇසීමට උන්වහන්සේ වැඩ විසූ විහාරය වෙත බොහෝ පිරිස් දිනපතා ගිය හ. ඒ බව නිතර දෙවේලේ දුටු සෝනක තරුණයා ද බුදුන් දැක බණ අසන්නට එම පිරිස් හා එක් විය.
ඔහු අනෙකුත් සැදැහැවතුන් මෙන් විහාරස්ථානය අතුපතු ගා පිරිසුදු කැරෙමින් මල් පහන් පුදමින් බුදුන් වැඳ බණ ඇසුවේ ය. තෙරුවන් සරණ ගිය ඔහු පංච ශීලය රක්ෂා කළ උපාසකයකු බවට පත් විය. මහා පරිමාණයෙන් දන් නොදුන්න ද විහාරස්ථානයෙහි කුදු මහත් කටයුතුවල දී ශ්‍රම දායකත්වයෙන් සිය යුතුකම් ඉටු කෙළේ ය. වත් පිළිවෙත් රකිමින් නිරන්තරයෙන් විහාරයට ගොස් පින්කම්වලට සහභාගි විය. මෙලෙස බුදුන් වඳින්නට ගිය සෝනක තරුණයා ගැන කා තුළත් පැහැදීමක් ඇති විය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සද්ධර්මය දේශනා කැරෙමින් වැඩ හිඳ අවසානයේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය කොටැ ප්‍රත්‍යක්ෂ කැරෙමින් පිරිනිවන් පා වදාළ සේක.
ආදාහනයෙන් පසු ශේෂ වූ ශාරිරීක ධාතූන් වහන්සේලා ඒකරාශී කොට සත් යොදුන් උස මහා චෛත්‍යයක් ඉදිකරවා එහි ධාතූන් තැන්පත් කළ හ. එසේ තැන්පත් කොටැ පදුමුත්තර සර්වඥ ධාතුන් නිදන් කරන ලද මහා චෛත්‍ය රාජයාණන්ට පුද පූජා පැවැත්වූ දහස් ගණන් සැදැහැවතුන් පින්වතුන් අතර සෝනක තරුණයා ද විය. මල් මාලා මල් වැල් ධජ පතාකාදියෙන් චෛත්‍යය සරසමින් ගෞරව උපහාර දැක් වූ මහා ජන සමූහයා මෙන් නොව, සෝනක තරුණයාගේ පූජාව වෙනස් මඟක් ගත්තේය.
දුගී දුප්පතකු වූ සෝනකට තමා සන්තකව තිබුණේ එක ම උතුරු සළුවක් පමණෙකි. එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ විසි රියන් පමණ වූ උණ ගසෙහි අග කෙළෙවරෙහි කොඩියක් මෙන් ගැට ගසා චෛත්‍යය වටා ඔසවාගෙන යමින් සාදු නාද නඟමින් පිරිනිවන් පා වදාළ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අපරිමිත වූ ශ්‍රද්ධාවෙන් ඔහු ධජ පූජාවක් කෙළේ ය. සෝනක තරුණයාගේ තරමට එය අති විශිෂ්ට වූ මහානිසංස වූ උතුම් බුද්ධ පූජාවක් විය.
සෝනක දුගී තරුණයාගේ අසහාය වූ බුද්ධ පූජෝපහාරය චෛත්‍යය ආරක්‍ෂාවට පැමිණ සිටි යක්ෂ සේනාධිපතියන් අතරින් නායක “අභිසම්මතක” නම් යක්ෂ සේනාධිපති තෙමේ දැක සෝනක තරුණයා කෙරෙහි අතිශයින් ම පැහැදුණේ ය. පැහැදී ඔහු ගැන මහත් අනුකම්පාව ඇති වැ,
“මෙම සෝනක තරුණ තෙමේ එසේ මෙසේ ව පුණ්‍යවන්තයකු නොවේ. පිනට දහමට ලැදි මොහු බෙහෙවින් ශ්‍රද්ධාවන්ත ය. දුගී දුප්පත්කමින් මිරිකී ගිය ද ඔහු සතු එක ම වස්තුව මෙම උතුරු සළුව පමණෙකි.
එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ කොඩියක් සේ උණ ගසෙක මුදුන් කෙළවර ගැට ගසා ඔසවා ගෙන චෛත්‍යය වටා ප්‍රදක්ෂිණා කැරෙමින් සර්වඥ ධාතූන් වහන්සේලා වෙතැ දක්වන මෙම උපහාරය සුළු පටු නොවූ පින්කමෙකි. මතු ආත්ම භාවයන්ට රැස්කර ගන්නා මහත් වූ කුසල ශක්තියකි. එසේ හෙයින් ම විසින් ද මොහුට යම් උපකාරයක් කළ යුතු යැ” යි සිතී ය.
ඉන්පසු කොඩියක් මෙන් උණ ගසේ මුදුන් කෙළවර ගැට ගසා චෛත්‍යය වටා ඔසවා ගෙන ගිය උතුරු සළුව යක්‍ෂ සේනාධිපති විසින් තමා අතට ගත්තේ ය. ගෙන අන්‍යයන්ට නොපෙනෙන සේ කොඩිය පමණක් ප්‍රදර්ශනය වන අයුරින් චෛත්‍යය වටා අහසින් යමින් එය ප්‍රදර්ශනය කෙළේ ය.
ආශ්චර්යවත් මේ සිද්ධිය දැකීමෙන් විස්මයට පත් වන්දනාකරුවන් මහත් සේ හඬ නඟා සාදු නාද පැවැත්වූහ. එයින් වඩාත් ප්‍රමෝදයට පත්ව ධෛර්යමත් වූ සෝනක වඩ වඩාත් පින්කම්වල යෙදෙමින් සැපවත් ජීවිතයක් ගෙවී ය. මෙලෙස කාලය ගෙවී යත් ම වියපත් ව මිය ගොස් දෙව් ලොව දිව්‍ය පුත්‍රයකු ලෙස පහළ විය.
එතැන් පටන් මහා කල්ප ලක්‍ෂයක් පුරා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල උපත ලබමින් අප්‍රමාණ වූ දිව්‍ය සැප මනුෂ්‍ය සැප අනුභව කැරෙමින් අවසානයේ මේ මහා භද්‍ර කල්පයෙහි අපගේ ශාන්ති නායක වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ සැවැත් නුවර වංශවත් බ්‍රාහ්මණ පවුලක උපත ලැබී ය. මෙසේ උපත ලද පින්වත් බ්‍රාහ්මණ කුමරු “උපවාන” නම් විය.
උපවාන කුමරු විසි වයස් පැමිණ කල්හි දක්‍ෂ ලෙස ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කෙළෙන් තරුණ විය එළැඹෙත් ම ඉගෙනීමේ කටයුතු නිම කෙළේ ය.
මෙම අවස්ථාව වන විට අනාථපිණ්ඩික මහා සිටාණෝ අප බුදුපියාණන් උදෙසා ජේතවන විහාරය ඉදිකිරීමේ පින්කමෙහි නිරතව සිටියහ. නිරන්තරයෙන් පිනට දහමට සිත් ඇලී සිටි උපවාන බමුණු තරුණයා ජේතවන මහා විහාරය බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වෙතැ පූජා කිරීමේ අති උතුම් පුණ්‍ය කර්මයට ද සහභාගි වෙමින් ඒ සඳහා දායකත්වය සපයමින් කුසල් සම්භාරයක් රැස්කර ගනිමින් අතිශය සතුටට පැමිණ සිටියේ ය.
ජේතවන මහා විහාරය බුදුරදුන් වෙතැ පූජා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ එහි වැඩ වාසයට පැමිණීම නිසා සැවැත්නුවර වාසීන්ට පින්දහම් හි යෙදීමට හොඳ ම අවස්ථාව උදා විය. මේ නිසා බුදුන් වැඳ බණ ඇසීමට යන පිරිස දිනෙන් දින දස දහස් ගණනින් වැඩි වන්නට විය.
උපවාන තරුණයා ද දිනපතා බණ අසන්නට ජේතවනාරාමයට ගියේ ය. එහෙයින් ඔහු තුළ පැවැති ශ්‍රද්ධාව වඩ වඩාත් දියුණු විය. එමෙන් ම බණ ඇසීමෙන් ජීවිතය පිළිබඳ යථාවබෝධයක් ලැබී ය.
ජීවිතයෙහි නිස්සාර බව දුටු හෙතෙම කළකිරීමට පත් විය. තෙරක් පරතෙරක් නැති කම්කටොලුවලින් ගහන ගිහි ජීවිතයෙහි කටුක දුක අවබෝධ කෙළේය. කළකිරීමට පත් උපවාන තරුණයාට පැවිදිවන්ට සිතක් පහළ විය.
නොබෝ කලෙකින් බුදුරජාණන් වහන්සේ වෙතැ එළැඹි උපවාන තරුණයා උන්වහන්සේගේ අනුදැනීම මත පැවිද්දට පත් වූයේ ය.
බුදුන් වහන්සේ ඇසුරු කැරෙමින් උන්වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් උපස්ථානයෙහි යෙදුන උපවාන භික්ෂූන් වහන්සේ බණ දහම් හදාරමින් දියුණු කැරගත් ප්‍රඥාව ඇත්තේ විවේකස්ථානයක් සොයා ගොස් බවුන් වඩා වැඩිකල් නොගොස් සව් කෙලෙසුන් ප්‍රහීන කොටැ ලබන්නා වූ ප්‍රණීත වූ මහ රහත්භාවයට පත් වූහ.
ධාතූන් වහන්සේලා නිදන් කළ චෛත්‍යය වටා පුරා මාසයක් ප්‍රදක්ෂිණයෙහි යෙදෙමින් පදුමුත්තර සර්වඥයන් වහන්සේ නමට ධජ පූජාවක් පැවැත්වීමෙන් උපහාර පැවැත්වීය. එහි කුසල් බලයෙන් මහා කල්ප ලක්ෂයක් පුරා දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා අප්‍රමාණ වූ සැප සම්පත් විඳ අවසානයේ මාගේ ශාසනයෙහි පැවිදව මහ රහත් භාවයට පත් වූහ” යි ;පර’පර සන්ධි ගලපා වදාළ සේක. බුදුන් වහන්සේගේ දේශනයට සවන් දුන් ශ්‍රාවකයින් බොහෝ දෙනෙක් මාර්ග ඵල ලාභීහු බවට පත් වූහ.
උඩුබද්දාවේ සෝමරත්න බන්නැහැක
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අකල් මරණින් මිදෙනු කැමතිද ?

කැලිගම විජිතනන්ද හිමි
බරණැස් නුවර සමීපයේ ධර්මපාල නම් බමුණු ගමෙක් විය. ඒ ගමේ ගම්දෙටු පවුලේ සාමාජිකයෝද එනමින්ම හැඳින්වුණහ. ධර්මපාල පවුල ඉතා ධාර්මිකය. ඒ අනුව ගමේ සෙස්සෝද ඉතා දැහැමින් ජීවත්වීමට පුරුදුව උන්හ. කුලී වැඩ කරන, බැලමෙහෙ කරන අය පවා ධාර්මික ජීවිත ගත කළහ. පොහොය අටසිල්ද නිත්‍ය පඤ්චසීලය ද කඩ නොකර ආරක්ෂා කළ ඔවුහු දස පින්කිරියවත්ද පුරුදු කළහ. දස අකුසල කර්මයෙන් වෙන් වූ ඔවුහු විහිළුවටවත් බොරුවක් නොකීහ. සදාචාර සම්පන්න වූහ.
ධර්මපාල දෙමහල්ලන්ගේ පුතෙක් තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙත ගොස් ඉගෙනීමේ නිරතව සිටියේය. මොහු හැඳීන්වුණේද ධර්මපාල නමින්මය. ගුණවත්කමින් මෙන්ම නැණවත් කමින්ද හේ කැපී පෙනුණේය. ඉතා ආචාර සම්පන්න වූ මොහු වයසට වඩා තැන්පත් පුද්ගලයෙක්ද විය. ඔහුගේ උසස් චරිත ලක්ෂණ නිසා ආචාර්යවරුද ශිෂ්‍යයෝද ඔහු ප්‍රිය කළහ. ඔහු යම් අදහසක් ඉදිරිපත් කළහොත් සියල්ලෝම ඒ කෙරෙහි අවධානය යොමු කළහ. ඊට ප්‍රධාන හේතුව ඔහු කිසිවිටෙක නිෂ්ඵල අදහස් නොපළ කිරීමයි.
මොහු තක්සලා නුවර විසූ කාලයේ දිසාපාමොක් ආචාරීන්ගේ බාල දරුවෙක් කිසියම් රෝගයකින් මියගියේය. තම දරුවාගේ අකල් මරණය නිසා ශෝකයට පත් දිසාපාමොක් ආචාර්ය තුමාද එතුමාගේ බිරිඳ ද හැඩූහ. සමහර ශිෂ්‍යයෝද හැඬූහ. මහලු වයසට නොගොස් කෙනකු මියයන බව ධර්මපාල කුමාරයා ඉන් පෙර දැන සිටියේ නැත. එහෙයින් මේ දරුවාගේ අකල් මරණය ඔහුට මහත් පුදුමයක් විය. දරුවාගේ අවසාන කෘත්‍යයෙන් පසු ඔහු තම සහෝදර සිසුන්ගෙන් මේ ගැන විමසන්න සිතුවේය.
“මේ- ඔය ගොල්ලෝ අහල තියෙනවාද වෙන තැන්වලත් මේ වගේ ළමයින් මිය යනවා කියලා ?”
“අහලා විතරක් නෙවෙයි දැකලාත් තියෙනවා” යි එක් ශිෂ්‍යයෙක් පිළිතුරු දුන්නේය.
“හරි පුදුමයක්නෙ ! ළමා කාලෙදී මැරෙනවා කියන එක”
“පුදුම වෙන්න දෙයක් නෑ ධර්මපාල, ඕනෑම වයසකදී කෙනකු මැරෙන්න පුළුවන්. මරණයට නියමිත වයසක් කොයින්ද ?”
“ධර්මපාල ගමේ කවුරුවත් අඩුවයසින් මැරිලා නැද්ද ?”
“එවැනි මරණයක් සිදුවුණා කියලා මා නම් කවදාවත් අහල නෑ”
ධර්මපාල කුමාරයා කී කරුණ ආචාර්යතුමාට ඉදිරිපත් කර ඒ සම්බන්ධ විස්තර දැන ගැනීමට ශිෂ්‍යයෝ තීරණය කළහ. ඒ අනුව එදින රාත්‍රී ආචාර්යතුමාට වත් දැක්වීමට ගිය අවස්ථාවේ සියලු දෙනා එතුමාට වැඳ නැගී සිටීමෙන් අනතුරුව එක් ශිෂ්‍යයෙක් ධර්මපාල කී කරුණ විමසීය. “ගුරුදේවයන් වහන්ස, මේ ධර්මපාලලයි ගමේ කවුරුවත් අඩු වයසින් මිය ගිහින් නැතිලු. එහෙම වෙන්න පුළුවන්ද දේවයිනි ?”
ආචාර්යතුමා :- “හැබෑද ධර්මපාල මේ දරුවා කියන කතාව ?”
ධර්මපාල :- “එහෙමයි ගුරුදේවයන් වහන්ස. අපේ ගමේ කිසිකෙනකු අඩුවයසින් මියගිය බවක් මා අහලා නෑ”
ආචාර්යතුමා:- “හොඳයි මම මේ ගැන පරීක්ෂා කරලා ඔය දරුවන්ට කියන්නම්. දැන් ගිහින් උද්ග්‍රහණධාරණාදී කටයුතුවල නිරත වෙනවා හොඳයි.”
සියලු ශිෂ්‍යයෝ දොහොත් මුදුනේ තබා ආචාර්යවරයාට නමස්කාර කොට තම තමන්ගේ නේවාසිකාගාරවලට ගියහ.
දින කිහිපයකට පසු, මියගිය එළුවකුගේ ඇටකටුවක් ගෙන්නා ගත් ආචාර්යතුමා එය සුදුරෙදිකඩක ඔතා අතවැස්සකු ලවා ගෙන්නා ගෙන ධර්මපාල කුමරුගේ නිවස බලා පිටත් විය. දිසාපාමොක් ආචාර්යතුමා අහම්බෙන් තම නිවසට එනු දුටු නිවැසියෝ පෙරටගමන් කොට පිළිගෙන මහත් හරසරින් ගෙට කැඳවාගන විත් ආගන්තුක සත්කාර කළහ. ආචාර්යතුමා පැමිණි බව ආරංචියෙන් දැනගත් බොහෝ දෙනා එතුමා දැක ගැනීම සඳහා ධර්මපාල නිවසට පැමිණියහ. සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව ගෘහමූලික ධර්මපාල තම පුතණුවන් ගැනද විමසුවේය.
“ධර්මපාල ඉගෙනීමට දක්ෂයි. හැසිරීමත් හොඳයි. සමහර අතවැස්සන් තමන්ට අමතක වෙන කරුණු අහගන්නෙත් ඒ දරුවාගෙන්. ඒ නිසා අනිත් අතවැස්සන් ධර්මපාලට ආදරෙයි. ඒ වුණත්....දවස් කීපයකට කලින් හටගත් ව්‍යාධියකින් දරුවා මියගියා!”
මේ වචන ඇසීමෙන් ධර්මපාල පවුලේ උදවියත් පැමිණි සිටි පිරිසත් සිනාසෙන්න පටන් ගත්හ.
“ඇයි දරුවා මළ බව කිව්වාම සන්තෝසෙන් හිනාවෙන්නේ ?”
“ආචාර්යතුමනි, අපේ පවුලේ අය, මේ ගමේ අය, එහෙම අකාලයේ මිය පරලොව යන්නේ නෑ”
“මිය පරලොව යන්නේ නෑ ? .... ඒ බව පිළිගන්න බැරිනම් මෙන්න ඇටකටු”යි ආචාර්යතුමා තමන් රැගෙන ආ ඇටකටු ඉදිරිපත් කළේය. ධර්මපාල ඇතුළු පිරිස එය අතට ගෙන පරීක්ෂාවෙන් බලා “මේක එළුවකුගේ හරි බල්ලකුගේ හරි ඇටකටුවක් ! ..... අපේ පුතාගේ නෙවෙයි’’
“ඔව්. ධර්මපාල උන්නැහේ. ඔබ කිව්වා හරි. මේක එළුවකුගේ ඇටකටුවක්. ඔබේ පුතා සනීපෙන් ඉන්නවා. මේ ගමේ අය අකාලේ මියයන්නේ නෑ. කියාපු කතාවේ ඇත්ත-නැත්ත ප්‍රත්‍යක්ෂ කර ගන්නයි මා මෙහෙම කළේ. ඒ ගැන මට ක්‍ෂාමාවෙන්න. ටික දවසකට කලින් මගේ දරුවකු මියගියා. ඒ වෙලාවේ මේ ධර්මපාල දරුවා අනිත් අතවැස්සන් එක්ක කියලා තිබුණා එහෙම අඩු වයසෙන් මිනිසුන් මැරෙන බවක් එයා අහලාවත් තිබුණේ නෑ කියලා. පස්සේ මාත් අහල බැලුවාම මටත් ඒ කතාව එහෙමම කිව්වා. දැන් එහි සත්‍යය මට වැටහුණා. මට දැනගන්න ඕන මේ ගමේ අය අකල් මරණයට පත්නොවන හේතු මොනවාද කියලයි.
මේ සියලු දෙනා සමගි සම්පණ්ණව දැහැමින් ජීවත්වෙන බවද කුලී වැඩ කර ජීවිකාව සපයා ගන්නා අය මෙන්ම වත් පොහොසත්කම් ඇති අයද නිත්‍ය පඤ්චසීලයත් පොහොය අෂ්ටාංග සීලයත් ආරක්ෂා කරන බවද, දානාදී පින්කම්වල නිරත වෙන බවද වැඩිහිටියන්ගේ උපදෙස් පිළිගෙන ඒ අනුව ක්‍රියාකරන බවද මේ නිසා අකල් මරණ දරුණු රෝගාබාධ ආදියෙන් තමන් පීඩාවට පත්නොවන බවද පිය ධර්මපාල විස්තර කළේය. ඔහුට සවන්දුන් ආචාර්ය තුමා ඒ විස්තරය පතක ලියවාගන පෙරලා තක්සලානුවරට ගොස් ධර්මපාල කුමාරයා කී කරුණු සත්‍ය බව අතවැස්සන්ට පැහැදිලි කර දී අධ්‍යයන කටයුතු නිමකර තම තමන්ගේ ගම්රටවලට ගිය පසු ඒ ප්‍රදේශවල ජනයා ගුණධර්මවලට යොමු කිරීමේ වැදගත්කමද පෙන්නා දුන්නේය.
Dhamma Patipada
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආසනයත් සමඟ අහසින් ගිය දෙවඟන

බුදුරජාණන් වහන්සේට අසදිස මහා දානය පිරිනැමුවෝ පසේනදි කෝසල රජ්ජුරුවෝය. එය සත් දවසක් මුළුල්ලේ පිරිනැමුණු සුවිශේෂ දාන කාර්යයක් විය. එයින් පසු අනේපිඬු සිටුතුමා ද විශාඛා මහෝපාසිකාවද නුවර වැස්සෝ ද තුන් දවසක් පුරා මහා දානමය පින්කමක් පැවැත්වූහ. මේ පුවත රට පුරා පැතිර යද්දී මහජනයාගේ සිත් තුළ කිසියම් කුකුසක් ද පහළ විණි. එනම්, මහත් උදාරතරව කෙරෙන දානාදියෙන් මහත් වූ ආනිසංස අත්වේද ශක්ති ප්‍රමාණයෙන් සුළුතර ව කෙරෙන දානාදියෙන් සුළු ආනිසංස අත්වේද යන්නයි. මේ සැක සංකා දුරු කරමින්, චිත්ත ප්‍රසාද ගුණයෙන් ද සිය හැකියාවේ තරමින් ද යම් කෙනකුන් විසින් පහන් සිතින් දෙන දානය මහත්ඵල මහානිසංස වන බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
මේ කාලයේ එක්තරා පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් මැනැවින් සිවුරු හැඳ පොරවා පාත්‍රය අතින්ගෙන සංවර ඉරියව්වෙන් සන්සුන් ලීලාවෙන් පිඬු සිඟා වඩිමින් එක්තරා ගෙදොරකොඩකට පැමිණියහ. ඒ ගෙදර වැසි ශ්‍රද්ධා සම්පන්න වූ කාන්තාව තෙරුන් වහන්සේ දැක මහත් ගෞරවාචාරයෙන් යුක්තව වැඳ නමස්කාර කොට කැඳවා ගෙහි තමන් හිඳ ගන්නා පුටුව මත රන්වන් වස්ත්‍රයක් අතුරා උන්වහන්සේට වැඩ සිටින්නට සැලැස්වීය.
ඈ මහත් සොම්නසින් එසේ කරද්දී ‘මට උතුම් වූ පින්කෙතක් පහළ වී යැ’යි පහන් සිත් ඇතිකර ගත්තාය. අනතුරුව තම හැකි පමණින් දානය පිළියෙළ කොට උන්වහන්සේට පිළිගන්වා දන් වළඳද්දී විජිනි පතක් ගෙන පවන් සලන්නට ද වූවා ය.
දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ වදාළ තෙරුන් වහන්සේ දානයෙහි ද ආසන පැනවීමෙහි ද අනුසස් දේශනා කොට වදාළහ. තම දානයෙන් හා ශ්‍රවණය කළ ධර්මයෙන් පිනාගොස් ශරීරය පුරා දැනුණු පී‍්‍රතියෙන් යුක්ත වූ ගෙහිමි කාන්තාව තෙරුන් වැඩහිඳී ආසනය ද විහාරයට ම පූජා කළා ය. එයින් කෙටි කාලයකට පසු එක්තරා රෝගයක් හේතුවෙන් ඈ කළුරිය කළා ය.
මිනිස් ආත්මයෙන් චුත වූ සැණින් තමන් විසින් කරන ලද කුසලානුභාවයේ මහිමයෙන් ඈ තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක ව උපත ලැබුවා ය. ඒ දිව්‍යාංගනාවට දොළොස් යොදුන් රන් විමානයක් ද පරිවාර ස්ත්‍රීන් දහසක් ද පහළ විණි. ආසන දානයේ අනුභාවයෙන් සතර ගව්වක ප්‍රමාණයේ රන් ආසනයක් ද පහළ විණි. ඒ රන් ආසනය අහසින් ගමන් කරන්නේ ය.
වේගවත් වූ ගමන් ඇත්තේ ය. එය උස් වූ මුදුන සහිත ආවරණයකින් සමන්විත විණි. එහෙයින් එය “පීඨ විමානය” නම් විය. පෙර දවස ඇය ආසනය පූජා කරද්දී එහි රන්වන් වස්ත්‍රයක් අතුරා එය පිරිනැමූ බැවින් එහි කුසල විපාකය දැකිය හැකි සේ මෙකී ආසනය ස්වර්ණමය නිර්මාණයක් විණි. එදා ඒ දාන පූජාවේ ආනිසංස බලවත් වූ බැවින් ශීඝ්‍ර ජව ගමන්වේග හිමි විය. ප්‍රසාද සිතින් දුන් බැවින් ප්‍රසාද වහනය වන්නා වූ රූප සම්පත්ති විය. ලෝභයෙන් තොර සද්ධාසමාධියෙන් දුන් බැවින් ස්වර්ණ වර්ණ විය. ද්වේෂයෙන් තොර ප්‍රඥා සමාධියෙන් දුන් බැවින් උදාරතර විය. මෝහයෙන් දුරුව වීර්ය සමාධියෙන් දුන් බැවින් මනෝමය ජව ඇති විය. මෙසේ මේ දිව්‍යාංගනාව ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ දිව්‍ය ශ්‍රී වින්දනය කරමින් හුන්නා ය.
එකල දෙව්ලොව දෙවියන්ගේ එක්තරා උත්සව අවස්ථාවක් එළැඹිණි. සෑම දෙවියෙක් ම දෙවඟනක්ම තම තමන්ට හිමි දිව්‍ය ලීලාවක් වේද දිව්‍යාලංකාරයක් වේද ඒ ඒ දිව්‍යානුභාවයෙන් බැබැළෙමින් දිව්‍යෝත්සවයට යන්නට පටන් ගත්හ. මෙකී දිව්‍යාංගනාවද සුන්දර දිව්‍ය සළුවක් හැඳ එවැනි සළුවක් ඒකාංශ කොට දිව්‍යාභාරණයෙන් සැරසී දිව්‍යාප්සරාවන් පිරිවරා පීඨ විමානයට නැග දිව්‍ය සෞභාග්‍යය ප්‍රකට කරමින් හිරු සඳු මෙන් වටපිටාව ශෝභාමත් කරමින් උයන් කෙළි පිණිස යන්නට වූවා ය.
එවේලේ දෙව්ලොවට වැඩම කොට හුන් මුගලන් මහ රහතන් වහන්සේ මෙකී දිව්‍යාංගනාව එමින් සිටි මඟ ආසන්නයේ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටු ඈ මහත් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව ගෞරව සම්ප්‍රයුක්තව පීඨ විමානයෙන් බැස විත් පසඟ පිහිටුවා වැඳ දොහොත් මුදුන් දී නමස්කාර කරමින් එකත්පස්ව සිටියා ය.
යම් දෙවියකු හෝ දෙවඟනක හෝ විසින් පෙර කරන ලද කුමන කුසල බලයකින් ඔහු හෝ ඇය දෙව්ලොව උපත ලැබීද යන්න මැනැවින් දැකිය හැකි ඥානය මුගලන් මහ තෙරුන් වහන්සේ සතුව තිබිණි. තමන් කුමන කුසලයකින් දෙව්ලොව උපන්නේ දැයි දැකීමේ හැකියාව ඒ ඒ දෙවියන්ට හෝ දෙවඟනට හෝ තිබිණි. මේ දෙවඟනගේ දිව්‍ය ඓශ්චර්යයත් අසාමාන්‍ය රූප ශෝභාවත් ඈ කවර කුසලානුභාවයකින් ලද්දී දැයි ඇගේ මුවින්ම ප්‍රකාශ කරවීම මහ තෙරුන්ගේ අභිප්‍රායය විය. එබැවින්, ‘එම්බා දෙව් දුවණිය, තෙපි කවර කුසල කර්මයක් හේතුකොටගෙන මේ සම්පත්තීන් ලද්දේ දැයි ප්‍රකාශ කරනු’ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“ස්වාමීනි, මවිසින් පෙර ආත්මයේ එක්තරා තෙරුන් වහන්සේ නමකට මහත් වූ ශ්‍රද්ධාවෙන් ස්වල්ප වූ දානයක් පිරිනැමීමෙන් මෙබඳු වූ දිව්‍ය සම්පත් ලඳිමි” යි දෙවඟන සිය දාන කාරිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කර සිටියා ය. එවිට ඒ කරුණ අරභයා මුගලන් මහරහතන් වහන්සේ විසින් දිව්‍ය සමූහයා අමතා විස්තර වශයෙන් ධර්ම දේශනා කරන ලදී. ඒ දේශනාව දෙවඟනට මෙන්ම පරිවාර පිරිසට ද මහත් ඵලදායක විණි.
මුගලන් මහ තෙරුන් වහන්සේ මනුලොවට වැඩම කොට මේ පුවත බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කොට සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ එය අරමුණු කොටගෙන ධර්මය දේශනා කළහ. ඒ දේශනාව බොහෝ ජනයාට මහත් වූ හිත සුව පිණිස වූයේ ය.
ආචාර්ය
ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
Related Posts Plugin for WordPress, Blogger...