රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

දියුණුවට මග ධර්මයද? පුද පූජාද? කුරු ධර්ම ජාතකය ඇසුරින්


බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
ධර්මවේදී  නාලන්දේ විමලවංශ නාහිමි

මැති ඇමැතිවරුනි, කිමෙක්‌ද අප දැන් ගත යුතු පියවර? වැසි නැත, ජලය නැත, ආහාර හිගය තදින් බලපානවා. මේ කලිගු රට මහත් විපතකට පත් වෙලා. නියගය සමග මහා දුර්භික්‌ෂයක්‌. එපමණක්‌ද? භයානක වසංගත රෝග පැතිරිලා. රටෙහි සශ්‍රීකත්වය පතා කුරු රාජ්‍යයේ මංගල හස්‌තියා ගෙන ආවත් රටට සෞභාග්‍යය උදා වූයේ නැත. වැසි පතා මහා යාගයක්‌ කරමුද.? නොඑසේ නම් දහස්‌ ගණන් පරිෂ්කාර, ලක්‌ෂ සංඛ්‍යාත මල් පහන් රැගෙන මහා පූජාවක්‌ කරමුද? ඇතැම් රටවල කරන පරිදි පොල් ගසා දෙවියන්ට සැළ කර සිටිමුද ? මහ ඇමැතිය තොප කුමක්‌ කියන්නෙහිද?

මහ රජතුමනි, කුරු රට සශ්‍රීකවී ඇත්තේ මංගල හස්‌තියා වශයෙන් සළකන තිරිසන් සතා නිසා නොවේ. නොයෙක්‌ යාග හෝම අහස උසට කරන පරිෂ්කාර පූජා, ලක්‌ෂ සංඛ්‍යාත මල් පහන් පූජාවන් නිසා නොවේ. කුරු රටෙහි පාලකයන් එක්‌තරා රාජ ධර්මයක්‌ පිළිපදිනවා. එම රාජ ධර්මය රටෙහි රජතුමා පටන් සාමාන්‍ය වැසියා දක්‌වා සියලු දෙනාම හොඳින් ආරක්‌ෂා කරනවා. කුරු රට සශ්‍රීක වී ඇත්තේ එම නිසයි රජතුමනි ' 

'එසේනම් ඇමැතිවරුනි, අපි කුරු රටට දූත පිරිසක්‌ පිටත් කර යවමු. වහා කුරු රට රජ තුමන් බැහැ දැක එම රාජ ධර්මය හදාරා පැමිණිමට නියම කරමු. එම දූත පිරිසෙහි ප්‍රධානත්වයට අපේ මහ ඇමතිව පත් කරමි' රාජ නියමයෙන් එම දූත පිරිස දින කිහිපයක්‌ දුර කතර ගෙවා කෝරව්‍ය නුවරට ගොස්‌ කුරු රට මහ රජ තුමා බැහැ දැක්‌කේය. අසල්වැසි රාජ්‍යයකින් පැමිණි මෙම දූත පිරිස හරසරින් පිළිගත් රජ තුමා ඔවුන්ට කළ යුතු ආගන්තුක සත්කාර කර, කුමන දූත මෙහෙවරක්‌ සඳහා මෙහි පැමිණියේද ? යනුවෙන් විමසුවේය. 

' මහ රජතුමනි, අපගේ 'කලිඟු' රටෙහි මහා දුර්භික්‌ෂයක්‌ හටගෙන තිබෙන බව ඔබ තුමා දැනටමත් දන්නෙහි ය. වැසි නැතිව මුළු රටම නියඟයට ගොදුරුවෙලා. වගා කටයුතු නොහැකිවීමෙන් කෙත්වතු පාළු වෙලා. තුරු ලතා වැනසී ගොස්‌, ගංඟා ඇළ දොළ සිඳී ගොස්‌ ජනතාවට පානීය ජලය නොමැතිව ඔවුහු උද්ඝෝෂණ කරති. දියකඩිතිවල තියෙන ජලයටද අප ද්‍රව්‍ය මිශ්‍ර වෙලා. ආහාර අහේණිය නිසා ජනතාව නහර වැල් ඉල්පී ගොස්‌ ඇටසැකිලි බවට පත් වෙලා. ඒ අතර නොයෙක්‌ ලෙඩ රෝග පැතිරිලා, බැලු බැලූ අත මළ ගෙවල්. රජතුමනි, අපි ඔබ තුමාගේ මංගල හස්‌ති රාජයා ගෙන ගියෙමු. යාග හෝම කළෙමු. මෙතෙක්‌ කිසිදා නොකළ පුද පරිෂ්කාර පූජා කළෙමු. දෙවියන් ඉදිරියෙහි අපගේ කෝපය පළ කරනු වස්‌ පොල් ද ගැසුවෙමු. මේ කිසිවකින් ඵලක්‌ නොවුණි. මහ රජතුමනි, ඔබ වහන්සේගේ රාජ්‍යය බෙහෙවින් සශ්‍රීක බව පෙනෙයි. වැසියෝ කෙළිදෙලෙන් පසු වෙති. ඔවුන්ට අග හිඟයක්‌ නැති බව පෙනෙයි. සතර වාහල්කඩ දන් සැල් දැකීමෙන් අපට ඒ බැව් පසක්‌ වුණා.'

'තානාපතිවරුනි, එවැනි අහේනියක්‌ ඇති බැව් ඔබ රටෙහි මැතිs ඇමැතිවරු සහ ඔවුන්ගේ දරු පරපුර මෙන්ම ඥාති හිතවතුන්ගේත් චරියාව අනුව අපට නොපෙනෙයි. ඔවුන් බොහෝ සැපසේ සිටින බවක්‌ පෙනෙනවා. ඒ කෙසේ වෙතත් ඔබලාට අප රජයෙන් අවශ්‍ය කුමක්‌ද. සහනාධාර අවශ්‍යද? ධාන්‍ය අවශ්‍යද...? නොඑසේ නම් පොලී රහිතව කිසියම් ණය මුදලක්‌ අවශ්‍යයද. අපගේ භාණ්‌ඩාගාර වල මුඳල් සංචිත පිරී ඇත.' ' නැත නැත මහ රජ තුමනි, අපට එවැනි අවශ්‍යතාවයක්‌ නැත රජතුමනි. අපි මෙතුවක්‌ කාලයක්‌ ඒවැනි ආධාර මත යෑපුණෙමු. එහෙත් කිසිදු පලක්‌ වූයේ නැත එයට වඩා හරවත් දෙයක්‌ අප බලාපොරොත්තු වෙමු. ඔබ තුමාගේ රාජ්‍යයෙහි 'කුරු ධර්මය' ක්‍රියාත්මක වන බව දැන ගතිමු. එම ධර්මය අපට දෙනු මැනව. අප උදක්‌ම පැමිණියේ ඒ සඳහාමයි '

' බොහෝම සතුටුයි තානාපතිවරුනි, අපේ කුරු ධර්මය ඔබගේ රාජ්‍යයට ද අවශය වීම පිළිබඳ සතුටුයි. කුරු ධර්මය කියන්නේ අපේ රටෙහි ආණ්‌ඩුq ක්‍රම ව්‍යවස්‌ථාව කීවොත් වැරදි නැහැ. එය අපේ රාජ ධර්මයයි. එය අප දිවි හිමියෙන් රකිනවා. ඒ නිසාම අප රට සුත මුදිත වෙනවා. ආරාවුල් ගැටුම් උද්ඝෝෂණ ඇති වන්නෙත් නැහැ. සියලු දෙනාම සමගියෙන් සාමයෙන් වාසය කරනවා. කලට වැසි වසිනවා. කෙත්වතු සාර වෙනවා. වැසියන්ගේ සිත් මල් පිබිදෙනවා. එහෙත් දූතවරුනි, මට එය දීමට හැකියාවක්‌ නොවීම ගැන කනගාටුයි. එයට හේතුව මම පැහැදිළි කරන්නම්. අපේ ජාතික උත්සව අවස්‌ථාවෙහි ඊතළ හතරක්‌ හතර දිසාවට විදීම අපගේ සම්ප්‍රදායක්‌. එදා මම ඊ පහර හතරක්‌ මුදාහැරියා, එයින් තුනක්‌ වැටුන ස්‌ථානය දුටුවා. හතර වැන්න පොකුණ තුළට ඇදී ගියා. එය පොකුණ තුළ විසූ මත්සයයකුගේ වැදී එම සතා මරණයට පත්වන්නට ඇතැයි මට හැඟුණා. එයින් මා නොදැනුවත්ව හෝ ප්‍රාණඝාතයක්‌ සිදුවන්නට ඇති.මගේ කුරු ධර්මයට හානි වන්නට ඇතැ'යි සිතමි. එබැවින් මගේ මෑණියන් වෙත ගොස්‌ එය ලබා ගන්නා මෙන් ඉල්ලා සිටිමි 'රජ තුමාගේ එම ප්‍රකාශය අනුව ඔවුන් රාජ මාතාව සමීපයට ගොස්‌ තම ඉල්ලීම ඉදිරිපත් කළා.

'මම ඔබ ඉල්ලන කුරු ධර්මය දීමට ඉතා කැමැත්තෙමි.... එහෙත් එය දීමට අයිතියක්‌ ඇතැයි මම නොසිතමි. එයට හේතුව මම පැහැදිළි කරමි. දරුවනි, අසල් වැසි අපේ මිතුරු රජයකින් මට දහසක්‌ වටිනා රන් මාලයක්‌ සහ ලක්‌ෂයක්‌ වටිනා සඳුන් අරටුවක්‌ ත්‍යාග වශයෙන් ලැබුණා. එයින් මගේa දෙටු ලේලියට දහසක්‌ වටිනා රන් මාලාවත්, කණිටු දියණියට ලක්‌ෂයක්‌ වටිනා සඳුන් අරටුවත් පරිත්‍යාග කළා...... මෙහිදී දෙටු ලේලියට මගෙන් අසාධාරණයක්‌ සිදුවුණිදැ'යි මට සැකයක්‌ ඇත. එබැවින් ඔබ රාජ මහේෂිකාව වෙත් ගොස්‌ ඇගෙන් කුරු ධර්මය ලබා ගැනීම වඩාත් සුදුසුයි. එතුමිය එය හොඳින් ආරක්‌ෂා කරනවා' ඒ අනුව දූත පිරිස රාජ මහේෂිකාව වෙත ගොස්‌ කරුණු සැළ කර සිටියි.

'තානාපතිවරුනි, කලිඟු රට රජ තුමාලේ ඉල්ලීම මම බෙහෙවින් අගය කරමි, එහෙත් මට එම ඉල්ලීම ඉටු කර දීමට සදාචාරාත්මක අයිතියක්‌ ඇතැ'යි මම නොසිතමි. දවසක්‌ අපේ මහ රජු සමඟ එතුමාගේ මලණුවන් වන යුව රජු ඇතු පිටින් වීථි සංචාරය කළා. මා ඔවුන් දෙස කවුළුවෙන් බලා සිටියා. එහිදී රූසිරින් යුතු යුව රජු කෙරෙහි මසිත රාගයෙන් බැඳී ගියා. එය නරක සිතුවිල්ලකි. මගේ ශීලය ගැන මට සැකයි. එබැවින් තානාපතිවැරනි, යුව රජු වෙත ගොස්‌ කුරු ධර්මය ලබා ගත මැනවි ' ඔවුන් යුව රජු සමීපයට ගොස්‌ තම අවශ්‍යතාව ප්‍රකාශ කරති. යුව රජු මෙසේ පවසයි.

' තානාපතිවැරනි, ඔබලාගේ ඉල්ලීමට මම ගරු කරන්නෙමි.... එහෙත් එය ඉටු කිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙමි. දිනක්‌ මම මහ රජ තුමා බැහැදැකීමට ගියෙමි. රාත්‍රිය මාළිගාවේ ගත කළෙමි. ආපසු මාළිගාවෙන් පිටවන විට මා දුටුවේ මගේ සේවක පිරිස පෙර දින සිටි අයුරින් සීරුවෙන් සිටින ආකාරයයි. ඔවුන් වැස්‌සේ තෙමෙමින් , සීතලේ ගැහෙමින්, කුසගින්නේ මුළු රැය පුරාවටම සිටියා. මහත් පීඩාවට පත් වුණා. තානාපතිවරුනි, වැසියා පීඩාවට පත් කිරීම පාලකයන්ගේ කාරියක්‌ නොවේ. පෙර ඇතැම් රජවරු, ඇමතිවරු, ප්‍රභූවරු මහ මග ගියත් එයින් ජනතාව පීඩාවට පත් වූහ. එය මම කිසිසේත් අනුමත නොකරමි. වැරදීමකින් එවැනි වරදක්‌ මගෙන් සිදු විය. එබැවින් කුරු ධර්මය දීමට මම සුදුස්‌සකු නොවෙමි. අපගේ පුරෝහිත වෙත ගොස්‌ එය ලබාගත මැනවි. ඒ අනුව ඔවුහු පුරෝහිත සමීපයට ගියහ. 

පුරෝහිත මෙසේ පවසයි. තානාපතිවරුනි, වෙනත් රාජ්‍යයකින් අපේ මහ රජුට නවීන පන්නයේ සුඛෝපභෝගී රථයක්‌ ලැබුණා. එය රජුට නොව, වඩා සුදුසු වයෝවෘද්ධ මටයි යන පව්කාර හැඟීම මට ඇති වුණා. එයින් අප අනුගමනය කරන කුරු ධර්මයට හානියක්‌ සිදුවී'යි මම සිතමි. එබැවින් ඔබලා අපේ මිනුම් කටයුතු භාර ඇමති වෙත යනු මැනව ' ඒ අනුව ඔවුන් මිනුම් ඇමති වෙත ගොස්‌ කරුණු සැළ කරති. 

' තානාපතිවරුනි, මා වෙත එම උතුම් කුරු ධර්මය නැති බව මට හැඟෙනවා. එක්‌ දිනක්‌ රජයට අයත් කුඹුරක සීමා සලකුණු කරමින් ඉනි සිටුවූවෙමි. ඉන්නක්‌ සිටවන විට සතෙකගේ හඬක්‌ ඇසුණා. කකුළුවකු විය හැකිය'යි මම සිතමි. එම කකුළුවා මිය යන්නට ඇති. මාතින් ප්‍රාණඝාතයක්‌ සිදුවී'යි සැකයක්‌ ඇත. ඒ උතුම් දහම උතුමකුගෙන්ම ලබා ගත යුතුයි. එහෙත් මා එය දීමට සුදුස්‌සකු නොවන බව මම විශ්වාශ කරමි. මට වඩා හොඳින් කුරු දහම රකින රාජකීය රියෑදුරා වෙත ගොස්‌ එය ලබා ගත මැනව ' ඒ අනුව ඔවුහු රියෑදුරා වෙත ගොස්‌ ඉල්ලීම ඉදිරිපත් කළහ. ඔහු පැවසුවේ ' දිනක්‌ මම රථය පදවන විට අශ්වයන්ට තැලුවෙමි. එයින් අශ්වයෝ බියට පත් වූහ. මාගෙන් සත්ත්ව හිංසාවක්‌ සිදුවී'යි මම සිතමි. එබැවින් කුරු ධර්මය දීමට සුදුස්‌සෙක්‌ වශයෙන් නොසිතමි. ඔබලා රටෙහි සිටු තුමා වෙත යනු මැනව' ඒ අනුව සිටු තුමා ඔවුනට පැවසුවේ ' තානාපතිවරුනි, මා කෙසේනම් ඔබේ ඉල්ලීම ඉටු කරන්ටද ? රජුගේ හැල් කෙත දුටු මට රන්වන් කරලින් මාලාවක්‌ ගොතන්නට හිතුණා. රජුට දැනුම් නොදී මම හැල් කරල් මිටියක්‌ ගෙන්වා ගත්තා. රාජ්‍ය දේපල එසේ පෞද්ගලික පරිහරණය කිරීම කොතරම් බරපතළ වරදක්‌ද එය මගේ හිතට වද දෙන ප්‍රශ්නයක්‌. ඇතැම් රටවල මැති ඇමැතිවරු එසේ රාජ්‍ය දේපල අයථා අයුරෙන් පරිහරණය කරන බව මම අසා ඇත්තෙමි. තමන්ගේ පමණක්‌ නොව, තම නෑදෑ සනුහරේම සුඛ විහරණය සඳහා රාජ්‍ය දේපල යොදා ගන්නා මැති ඇමැතිවරුන් සිටින බව මම අසා ඇත්තෙමි. එය සොරකමති. දූෂිත ක්‍රියාවකි. එවැනි දූෂණයක්‌ වුණාදැ'යි මට සැකයක්‌ ඇති බැවින් කුරු ධර්මය දීමට තරම් මම සුදුස්‌සකු නොවෙමි. එබැවින් ඔබලා භාණ්‌ඩාගාරය භාර මුඳල් ඇමති වෙත යන්න '

දූත පිරිස මුදල් ඇමැතිට කරුණු සැළ කරති. මුඳල් ඇමති පැවසුවේ ' මම එම උතුම් ධර්මය දීමට සුදුස්‌සෙක්‌ නොවෙමි, රජයට සහ සිටුවරයාට අයිති ධාන්‍ය බෙදීමේ දී රජයට වැඩි කොටසකුත් සිටුවරයාට අඩු කොටසකුත් වෙන් කර ඇති බව මට වැටහුණා. එයින් සිටුවරයාට අවාසියක්‌ සිදුවී'යි මට හැඟෙනවා. එවැනි අසාධාරණයක්‌ සිදු කළ මාහට උතුම් ධර්මය පැවසීමට අයිතියක්‌ නැති බැවින් ඔබලා නගරයේ දොරටුපාලයා වෙත යන්න. ඔහු මැනවින් කුරු ධර්මය ආරක්‌ෂා කරනවා.' දූත පිරිස අදහා ගත නොහැකිව හිසෙහි අත තබා ගනිති. අනේ මොවුන් කොතරම් සාධාරණ නිලධාරීන්ද ? ඒකටත් අපේ රටේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඔවුන් රිසිසේ වංචා කරති. දූෂිත ක්‍රියා සිදු කරති. පොදු දේපළ පෞද්ගලිකව පරිහරණය කරති. එසේ කරමින් අනේකවිධ සැප සම්පත් අනුභව කරති. අපේ රට කොතරම් අවාසනාවන්තද? මෙසේ කථිකා කරමින් ඔව්හු දොරටුපාලයා වෙත ගියහ.

'එක්‌තරා දිළඳු පුද්ගලයකු සහ ඔහුගේ නැගණිය දොරටුවෙන් ඇතුල් වීමට ආවා. ඔවුන් පෙම්වතුන් යුවළක්‌ වශයෙන් සලකා මම ඔවුන්ට අපහාසාත්මකව කථා කළෙමි. තාගේ අඹුවත් සමඟ මහ වනයෙහි මෙතෙක්‌ වෙලා පෙම් කෙළියෙහි යෙදෙමින් සිටියේද? ආදී වශයෙන් මම ඔවුන්ට අපහාස කළෙමි. එම සිදුවීම මගේ හිත තුළ තාම දෝංකාර දෙනවා. එවැනි වරදක්‌ කළ මාහට කුරු ධර්මය පැවසීමට අයිතියක්‌ නැත '

දූත පිරිස මහත් සංවේගයට පත් වූහ. තවත් කාගෙන් නම් කුරු ධර්මය අසා ගන්නද ? අහෝ අප දැන් අපගේ කළිඟු රටෙහි රජ තුමාට කුමක්‌ පවසන්ටද ? අපේ රටට කාගේ පිහිටක්‌ද ? මෙසේ ශෝකයෙන් සිටින අතර කුරු රජතුමාගේ නිලධාරියෙක්‌ පැමිණ එම දූත පිරිස රජ මාළිගාව වෙත කැඳවාගෙන ගියේය. ඔවුනට ඇස්‌ අදහා ගත නොහැකි විය. රජු සිංහාසනයෙහි අසුන් ගෙන සිටි අතර, මැති ඇමැතිවරුන් සමග පෙර මුණගැසුණු සියලු දෙනාද අසුන් ගෙන සිටිති. ඔවුන්ට අසුන් ගන්නා ලෙස පැවසූ කුරු රජ තුමා ස්‌වකීය දේශනය ආරම්භ කළේය.

'තානාපති වරුනි, අපගේ ශ්‍රේෂ්ඨ කුරු ධර්මය ඉල්ලා අප වෙත පැමිණීම ගැන බෝහෝ සතුටු වෙමු..... එය අප මාතෘ භූමියට දැක්‌වූ ගෞරවයක්‌ වශයෙන් සළකමු. එසේ වුවත් ඔබලා මෙලෙස වෙහෙසට පත් කිරීමට සිදුවීම ගැන අප කනගාටු වෙනවා. අපට අවශ්‍ය නම් ඔබ ඉල්ලූ මොහොතෙහිම කුරු ධර්මය ලියා දීමට හැකියාව තිබුණා. එසේ නැතහොත් ඇතැම් රටවල කරන ආකාරයට විශාල වියදමක්‌ දරා, සංදර්ශනයක්‌ පවත්වා රජයේ මුඳල් කාබාසිනියා කර බොරු ආටෝපයක්‌ මවා පෙන්වා අපේ කුරු ධර්මය ඔබලාට දීමටත් හැකියාව තිබුණා. එහෙත් වඩාත් ඵලදායක අයුරෙන් එය ලබා දීමට මමත්, මගේ ඇමැති මණ්‌ඩලයත් තීරණය කළා. ඒ අනුව ඔබලාට එය ප්‍රායෝගික වශයෙන් ලබා දීමට පියවර ගත්තා. අප ලබා දුන් ප්‍රායෝගික දැනුම මඟින් මෙම ධර්මය කොතරම් අවංකව, කැපවීමෙන් රැකිය යුතු ධර්මයක්‌ද යනු ඔබලාට වැටහෙන්නට ඇතැ'යි විශ්වාස කරමු. 

මාත්, මගේ යුව රජු ඇතුළු පවුලේ සියලු දෙනාමත් මැති ඇමැතිවරුන්, නිලධාරීන් පමණක්‌ නොව රට වැසියන් ද කුරු ධර්මය පණ මෙන් සුරකින බව ඔබලාට වැටහෙන්නට ඇත. රටක රජු ආදර්ශවත් විය යුතුයි. මැති ඇමැතිවරුන් නිලධාරීන් ආදර්ශවත් විය යුතුයි. එවිට සමස්‌ත රට වැසියාම එය ආදර්ශයට ගනු ඇත. දැන් ඔබලාට කුරු ධර්මය පැහැදිළි කරන්නෙමි. එය නම් පංචසීල ප්‍රතිපත්තියයි. එනම්, පර පණ නැසීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්වන දෙයින් වැළකීම කියන මේවායි. මේවාට සම්බන්ධ වන තවත් කරුණු රැසක්‌ තිබෙනවා. කයින් වචනයෙන් මෙන්ම මනසින් පවා සංවර විය යුතු බව රාජ මාතාව, අග මෙහෙසිය, දොරටුපාලයා, රාජකීය රියෑදුරා වැනි අයගේ ක්‍රියාවන් මගින් වැටහෙන්නට ඇත. අපගේ රට තුළ තුරු ලතා වනසමින් වනාන්තර පාලු කරමින් මුදල් උපයන දැව ජාවාරම්කරුවන් නැත. අසරණ සත්ත්වයින් ඝාතනය කරන මස්‌ වැද්දන් ද නැත. ගංගා, ඇළ, දොළ වනසමින් මුදල් උපයන වැලි ජාවාරම් කරුවන් පස්‌ ජාවාරම්කරුවන්, නැත. කොටින්ම කියනවා නම් අපේ රටේ ජනතාව පරිසරයට ආදරය කරති. ඒනිසා අප රටෙහි කලට වැසි වසිනවා. කෙත් වතු සරු සාර වෙනවා. ආහාර හිඟයක්‌ නැහැ. මුළු පරිසරයම සුන්දරයි. මිනිසුන්ගේ සිත් සතන් සොම්නසින් පිරී ඇත. පාතාලයන් අපරාධකාරයන් නැත . ලෙඩ රෝග නැහැ. වෛද්‍ය ශාලාවල දිග පෝළිම් නැහැ. බෙහෙත් නැත පහසුකම් නැත. ජලය නැත. කියමින් උද්ඝෝෂණය කරන්නන් ද නැත. අප කුරු ධර්මය සුරැකීමේ ඵලය මැනවින් අත් විඳින්නෙමු. තානාපතිවරුනි, රන් පතෙහි ලියන ලද කුරු ධර්මය ඔබට පිළිගන්වමි. මෙය රැගෙන ගොස්‌ ඔබේ කලිඟු රට ද සෞභාග්‍යය කරා ගෙන යනු මැනවි. ....' පංචතූර්ය නාදය දසත පැතිරෙද්දී මාළිගා පරිශ්‍රය ජනතාවගේ සාධු නාදයෙන් ගිගුම් දෙන්නට විය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

"වෛර බැඳගැනීම කිසිසේත් කරන්න එපා"

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.
දවසක් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ලක්ඛණ මහ රහතන් වහන්සේ සමග ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වඩිමින් සිටියා.එතකොට මුගලන් මහ රහතන් වහන්සේ යොදුන් විසි පහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා.උගේ හිසේ ගිනිදැල් මතුවෙනවා.වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා.ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා.හිස දක්වා ඇවිලීගෙන යනවා.ආයෙමත් හිස මුදුනෙනුත් වලිගය කෙළවරෙනුත් දෙපැත්තෙන්ම ඇවිලීගෙන එනවා.එතකොට මේ පිඹුරු පෙරේතයා මහත් වේදනාවකින් ඇඹරෙමින් බැගෑ හඬ නගනවා.මෙය දෙස මුගලන් මහ රහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් බලා සිටියා.මද සිනහවක් පහළ වුනා.නමුත් ලක්ඛණ මහ රහතන් වහන්සේ එය දැක්කේ නෑ.
"පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ අර පැත්ත දිහා බලාගෙනම ඉඳලා සිනහ වුණේ ඇයි?"
"ආයුෂ්මත් ලක්ඛණ, ඒක දැන්ම කියන්න බැහැ.අපි යමු වේළුවනයට.භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කරමු.එතකොට අහන්න මගෙන්..."
ඉතින් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටියා.ලක්ඛණ තෙරුන් මේ ප්‍රශ්නය ඉස්මතු කළා.මුගලන් මහ රහතන් වහන්සේ ඒ පිඹුරු පෙරේතයාගේ විස්තරය පැවසුවා.එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
"පින්වත් මහණෙනි, දිවැස් ඇති ශ්‍රාවකයින්ට ඇතැම් විට ඕවා දකින්ට ලැබෙනවා.මටත් ඔය ප්‍රේතයා මුණ ගැහුණා.ඒ මං නේරංජරා නදිය අසබඩ බෝ මැඩ සිටිද්දී.හැබැයි මං කාටවත් කිව්වෙ නෑ.දැන් මොග්ගල්ලානයන් දිවැසින් දුටු නිසා සාක්ෂියක් තියෙනවා නෙව.එනිසයි මං ඔය කතාව දැන් කියන්නේ.තමන්ම කරගත්තු දෙයක් තමයි ඔය විඳවන්නේ....
ඔය පෙරේතයා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලෙ මනුස්සයෙක්.ඒ කාලෙ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා.ඔහු රන් ගඩොල් බිම අතුරා ධනය විසුරුවලා මහා විහාරයක් කෙරෙව්වා.ඒ සුමංගල සිටුතුමා දිනපතා බුද්ධෝපස්ථානයට යනවා.එහෙම යද්දී නුවර දොරටුවේ එක් ශාලාවක එක සොරෙක් නිදාගෙන හිටියා.කකුල්වල මඩ තැවරිලා තිබුණා.ඔළුවෙ පටන් පොරවාගෙන නිදාගෙන හිටියා.සිටුතුමා මොහු දෙස බලා කිව්වා 'මෙයා නම් රෑ තිස්සෙ ඇවිදලා දවල්ට නිදියන කෙනෙක් වගෙයි' කියලා.එතකොට හොරා ඔළුව උස්සලා බැලුවා කවුද එහෙම කිව්වෙ කියලා.සිටුතුමාව දැක්කා.ඒ කියමනට වෛර බැඳ ගත්තා.කුරුමානම් අල්ල අල්ලා පළිගත්තා.හත් වතාවක්ම සිටුතුමාගේ හොඳට පැසුණු කුඹුරු යාය ගිනිතිබ්බා.ඒත් සෑහීමට පත්වුණේ නෑ.
සිටුතුමාට රිද්දන්න එක එක දේවල් කරනවා.සත් වතාවක් තියුණු ආයුධයක් ගෙන සිටුතුමාගේ ගවගාලට හැන්නා.අහිංසක ගවයන්ගේ කකුල් කපලා හැංගුණා.හත් වතාවක් සිටුතුමාගේ ගෙවල් ගිනිතිබ්බා.එහෙත් සිටුතුමාට රිදුණු බවක් පේන්න නෑ.දවසක් සිටුතුමාගේ සේවකයකුගෙන් මොහු මෙහෙම ඇහුවා.
"නුඹලාගේ සිටුතුමා හරි පුදුම කෙනෙක් නෙව.අපිට ආරංචියි හරියට කරදර වුණා කියලා.කුඹුරු ගිනිගත්තලු.හරක් කැපුවලු.සිටුතුමාට ගාණක් නෑ නේද? සිටුතුමාට ඒවා ප්‍රිය නැද්ද?"
"යහළුව, අපගේ සිටුතුමා බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තයි.භාග්‍යවතුන් වහන්සේට හැදූ ගන්ධකුටිය තරම් වෙන ප්‍රිය මනාප දෙයක් එතුමාට නැහැ."
එතකොට හොරා කල්පනාවට වැටුණා.
"හ්ම්....එහෙමද? එතකොට මූට රිද්දන්න බැරි ඒ නිසයි.ඈ....! හරි...එහෙනම් ගන්ධකුටියට කරන දේ බලා ගනින්..."
හොරා දවසක් කවුරුත් නැති වේලෙහි ගන්ධකුටියට ගිනිතිබ්බා.සිටුතුමාට ආරංචි වුණා.දුවගෙන ආවා.ගිනිගන්නා ගන්ධකුටිය බලා ප්‍රීතියෙන් අත්පොළොසන් දෙන්න පටන් ගත්තා.මෙය දුටු මිනිසුන් පුදුමයට පත්වුණා.
"ඇයි සිටුතුමනි....? මෙච්චර දෙයක් වෙලත් සතුටු වෙන්නේ...?"
"දරුවෙනි, මං ධනය තැන්පත් කළේ බුදු සසුනෙහි මිසක් මහ පොළොවෙහි නොවෙයි.මට මීටත් වඩා ලස්සනට ගන්ධකුටියක් හදන්නට අවස්ථාවක් ලැබීම ගැනයි මං මේ අත්පොළොසන් දෙන්නේ...."
සිටුතුමා ඉතාම ලස්සන අලංකාර ගන්ධකුටියක් හැදුවා.හොරාට තවත් කේන්තියි.'මේකාව මරණවා මිසක් මට වෙන විසඳුමක් නෑ' කියලා තීරණය කළා.ඉණේ පිහියක් බැඳගෙන දවස් හතක් මාන බැලුවා.සිටුවරයා ගන්ධකුටිය බුදුරජාණන් වහන්සේට පූජ කොට හත් දවසක් මහා දන් දුන්නා.හත්වෙනි දවසේ සෙනඟ මැද්දේ වන්දනා කොට මෙහෙම කිව්වා.
"ස්වාමීනි. භාග්‍යවතුන් වහන්ස, කවුදෝ පුද්ගලයෙක් මගේ කුඹුරු යාය හත් වතාවක් ගිනිතිබ්බා.මාගේ ගේ හත්වතාවක් ගිනිතිබ්බා.ගව පට්ටියට රිංගලා අහිංසක ගවයින්ගේ කකුල් හත් වතාවක් කැපුවා.මා හිතන්නේ ඔහුමයි ගන්ධකුටිය ගිනිතිබ්බෙත්.මේ පුද්ගලයා ගැන මට මහා අනුකම්පාවක් ඇතිවුණා.ස්වාමීනි, මා මේ ගන්ධකුටිය පූජා කිරීමෙන්, සත් දිනක් මහා සංඝයාට දන් දීමෙන් රැස් කළ පුණ්‍ය කර්මය පළමු කොට ඒ පුද්ගලයාට අයිති වේවා! සැපවත් වේවා!" කියලා පින් දුන්නා.
ඉණේ පිහියක් සඟවාගෙන සිටි සොරාගේ වෛරය ඒ මොහොතේ සංසිඳුණා.
"හප්පේ! මෙබඳු කෙනෙකුටද මං මේ වෛර බැන්ඳේ...? මං සමාව නොගත්තොත් සත්තකින්ම දෙයියෝ මට අච්චු කරාවි" කියලා පිරිස මැද්දෙන් මතුවෙලා ඇවිත් සිටුතුමාගේ පාමුල වැඳ වැටුණා.සියලු විස්තර කියා හිටියා.
"එතකොට ඇයි ඔය තරම් වෛර බැඳගන්න මං කළ වැරැද්ද?"
"මං දවසක් දොරටුව ළඟ ශාලාවේ නිදාගෙන හිටියා.ඔබතුමා යනගමන් මං දිහා බලලා කිව්වා, 'මෙයා නම් රෑට ඇවිදින දවල් නිදන කෙනෙක් වගේ' කියලා.ඉතින් මට කේන්ති ගියා.ඒකට පළිගන්නයි මං මේ හැමදෙයක්ම කළේ."
"පින්වත් දරුව, ඔව්! මට අදාළ නැති දෙයක් මං කියලා..ඒක මගෙන් වෙච්ච වරදක්...ඒකට මට සමාවෙන්න....හොඳයි.දැන් ඒ සියලු වරදට මං ඔබට සමාව දෙනවා."
ඉතින් ඒ හොරා තමන්ගේ අඹුදරුවන් සමග සිටුතුමාගේ නිවසේ දාසයෝ වෙන්න කැමති වුණා.සිටුතුමා එයට සතුටු වුණේ නෑ.සමාව දීලා පිටත් කළා.ඒ සොරා මිය ගිහින් උපන්නේ අවීචි මහ නරකයේ.අනන්ත අප්‍රමාණ දුක් වින්ඳා.දැන් ඒ පාපයේ ඉතුරු විපාක තමයි ඔය විඳින්නේ.නුවණ මද තැනැත්තා පවේ භයානකකම ගැන කල්පනා කරන්නේ නෑ.නොසංසිඳෙන ආශාවකින් පළිගැනීම දිගටම කරගෙන යනවා.අන්තිමට ලැව් ගින්නක් වගේ තමාව දවනෙත් එයමයි.
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.
136.8.
අථ පාපානි කම්මානි - කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ - අග්ගිදඩ්ඨෝ'ව තප්පති

අනුවණයා කරමින් සිටියත් පව් - නැහැ කිසිදා වරදක් බව දන්නේ
අනුවණයා පව් වලින් හැදෙන්නේ - ලැව් ගින්නක් සේ ඔහුව දවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න පව්කාරකමේ මහත.අර පුංචි වචනය අත්හැරගන්න බැරිව ගියානේ.ඒකම හිත හිත දිගින් දිගටම පළිගත්තානේ.මොනතරම් අයහපතක් වුණාද? තව කොච්චර කල් විඳීවිද කවුද දන්නේ? එනිසා අපි අනුන්ගේ නින්දා බස් ඉවසන්න පුරුදු වෙමු.එතකොට එතනින්ම ප්‍රශ්නය ඉවර වෙනවා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10 ( දණ්ඩ වර්ගය )
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඵුස්සදේව තෙරනම

මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙර නමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයෙන් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙර නම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති.
ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙමින් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ: (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙරමක් කාළකන්දර ලෙණෙහි වසයි.
(2) හෙතෙම අඩු ආශා ඇත්තේ ය. ධුතාඞ්ග දරන්නේ ය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේ ය. විවේකයෙහි ඇලුණේ ය, ධ්‍යාන වඩන්නේ ය. මනා සිහි ඇත්තේ ය, ශාන්ත සිත් ඇත්තේ ය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ.
හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්තගුණ ඇත්තේ ය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.
තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු’ යි කීය.
ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේ ද, දික්කළ අතක් හකුළන්නේ ද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) ‘ස්වාමිනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු’යි යාඥා කළේ ය.
තෙරනම : (10) දේවේන්ද්‍රය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් ඍඩියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍඬිය මට නැතැ යි කීය. ‘ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට ඍඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ’යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේ ය.
ඔසවන කෙණෙහි ම තෙරනම ඇස් පියා ගත්තේ ය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා ය යි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ.
තෙරනම සංයුක්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය. ඒ දේශනාවසානයේ දී තෙරනම ‘දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේ ය’යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුක්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි.
එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස් ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන් ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය.
තෙරනම එක් දිනක් බෝමලුව මනාසේ ඇම ද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේ ය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත තෙරනම එය ඇම ද බුදුගුණ සිහිකරමින් සිටියේ ය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය ඇමද බුදුගුණ සිහිකරමින් සිටියේ ය.
නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) ‘පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ’යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේ ය.
(13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) ‘ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි’යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය.
ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්‍රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවල දී කුසල් රැස් කරන ලදී. (17) සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී.
සිල් රැක්කේ ය, තපසට ගියේ ය, ප්‍රඥාව පිරුවේය. (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය. සත්‍යයෙහි පිහිටියේ ය. අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ සැප දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවල දී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක.
(21)පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව්මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. (22) චක්‍රලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උස්ව සිටියාහ. විලුම්දෙක දිගය. කෙණ්ඩා දෙක ඒණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ.
(23) දකුණට කැරකුණු නාබියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂ ලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. (24) දික්වූ ඇගිලි ඇත්තාහ, තඹවන් නියපොතු ඇත්තාහ, උස්වූ නහයක් ඇත, මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත.
(25) සුමුදු වූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතු තොල් ඇත්තාහ. වසුපැටවුන්ගේ ඇස් වැනි ඇස් අත්තාහ.(26) දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙණ වැනි සුදු වූ ඌණී රෝමයක් ඇත. අදුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ.(27) උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය* බබළයි. රන්වන් ශරීරය ඇත්තේය. නුගගසක අතුපතර හා ගැලපෙන උස මෙන නිග්‍රෝධපරිමණ්ඩල ඇත්තේය. (28) සියලු සත්වයන්ට උත්තම වූ හැම මරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ.
(29) කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල් පැහැති රැස් විහිදුවන උණ්භීස සහිත බුදුන්ගේ ඒ කෙශයෝ අද නොදක්නා ලැබෙත්.(30) පුන් සදේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌර්ණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝකය පතුරුවා අද නොදක්නා ලැබේ.(31) දික් වූ පුළුල් වූ නිල්වූ නිර්මල වූ ආලෝකය සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ.
(32) දකුණට කැරකුණු නාභියද, කෝෂයෙන් වැසුණු ලිංගය ද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙන්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති.(36) බුදු රජුන්ගේ උඩි පතුල් පැලූ සක්ගෙඩියක් මෙනි, විලුම් දික්වෙති, යටිපතුල් චක්‍රලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ.(36) බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි, අප්‍රති පුද්ගල අසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය.
(37) මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. (38) මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචා කරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත්වී යයි දැනගත් ශක්‍ර තෙමේ එහි අවුත් "ස්වාමීනි, දෙව්ලොවට යමු" යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘඪියෙන් ස්වකීය විහාරයට පැමිණියේය.
ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සීයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්විය. තෙරනම නිශ්ශබ්දවීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර (=තම්බසුමනතෙර) නම ඵුස්සදේව තෙරුන් වැදීම සදහා පන්සීයක් භික්ෂූන් සමග එහි පමිණියේය. හෙතෙම තෙරුන් වැද " ස්වාමිනී, පින්ඩපාතය සදහා යාමට සුදුසු කාලය" යි කීය. "නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි" යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකග විය. ඉක්බිති නා රජ ගොස් "ස්වාමිනී, පිඩු සදහා වැඩීමට යෝග්‍ය කාලය" යි දැන්වීය. නා රජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්‍රමුඛ දහස්නමක් භික්ෂූහු නා රජුගේ විමානයට සමීපයෙහි වූ ගං ඉවුරෙහි වැඩි මහලු පිළිවෙලින් සිටගත්හ. නාරජ සිය පිරිස සමග අවුත් මහතෙරුන්ගේ පත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි; දිවසළු දෙකක් ද පාමුල තබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුණි. නාරජ නැවතත් පාත්‍රයක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි.
මෙසේ දහසක් පමණ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරැන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්නට නොකැමති වූහ. නාරජ එය දැක එතනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. "මහරජ අපි වත්බිදීම නොකරන්නෙමු" යි ඔවුහු කීහ. වත්බිදීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යැයි කීහ.
නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙනෙහි ඒ ජෝඩුදෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේගය උපදවනු සදහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය.
(39) කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහතෙරුන්ට මම බතින් ආරාධනා කළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙම්.(40) තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙරනම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. (41) ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි.(42) තෙරුන් විසින් පෙර ජාතිවලදී මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි, මෙය පිළිගත මැනවි.
(43) ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේය. රහත්ය, ආශ්‍රව නැත්තෙකි, ඒ ගුණ ඔබට නැත. එබැවින් පඩිවරුනි, මෙය පිළිගත මැනවි.(44) මේ වනරොදෙහි දරුණු වූ, නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. (45) ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා කරන සිත් දුරුකොට සැප ලැබූහ.(46) ඵුස්සදේව මහතෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාන්නයෙනි, මෙය පිළිගත මැනවි.
(47) යක්ෂයෝද, නාගයෝද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද (48) ඵුස්සදෙවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි.
(49) නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍රත් පිළිගත්හ. (50) මෙසේ ඵුස්සදේව තෙරනම නාගයන්ටද යක්ෂයන්ට ද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි.(51) මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දැන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග-යක්ෂ-භූත-මිනිස් යන මොවුන්ට ප්‍රිය වී ද එමෙන් අන්‍ය මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති.
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

රාහුල මහරහතන් වහන්සේ

රාහුල ස්වාමීන්වහන්සේ ගේ සංසාරයේ පෙරුම් පිරූ ප්‍රාර්ථනාව
ඒ පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයයි ... සුජාතා දේවිය හා ආනන්ද රජු පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ මව්පියන් වේ...පදුමුත්තර බෝසතාණෝ තමාගේ බිරිඳ වන සුදත්තා නම් බිසව උත්තර නම් පුතු බිහිකරපු දා ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කළහ ...අභිනිෂ්ක්රමනයෙන් පසු සත්දවසක් දුෂ්කර ක්‍රියා කර බුදුවන දා සළල බෝධිය කරාපැමිණ බෝධියට පිට දී වැඩ හිඳ මාර පරා ජය කර සම්මා සම්මබුද්ධත්වය ලබා ගත්හ ....එම බුදුරජාණන්වහන්සේ දෙවලය හා සුජාතය නම් අගසව් යුගලයක් හා අමිතා හා අසමාය යන අග්‍රශාවිකා යුගලයකින් සමන්විතය ......එම පදුමුත්තර බුදුරජාණන්වහන්සේ අවුරුදු ලක්ෂයක් (100000 ) ආයු වළඳා පිරිනිවන් පෑහ.....
ගෞතම බෝධිසත්වයෝ පදුමුත්තර බුදුහිමි ජීවමානව සිටියදී එම බුදුරජාණන්වහන්සේගේ පාද මූලයේදී ජටිල නම් රැටියෙක්ව බුදුපාමොක් මහා සඟනට ආහාර සහිතව සිවුරු පූජා කිරීම සිදු කළහ ...පදුමුත්තර බුදුරජාණන්වහන්සේ ගෞතම බෝසතුන්ට දස වැනි නියත විවරණය ලබා දුන් සේක ...
එකල රාහුල ස්වාමින් වහන්සේ හංසවතී නුවර සිටු ගෙදරක උපත ලැබුවා. තරුණ වියට පත් වූ ඔහු නිරන්තරයෙන් පදුමුත්තර බුදුරජාණන්වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කළා. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි මහදන් පවත්වමින් සිටිය දී උපරේවත නම් කුඩා රහත් තෙරනමක් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන බව දැක සතුටට පත් වුණා. ඒ උපරේවත තෙරුන් පදුමුත්තර බුදුරදුන්ගේ ගිහි කාලයේ පුතනුවන් බව දැන තමන් ද මතු බුදු කෙනෙකුන්ගේ පුතෙකු බවට පත් වන්නට ඇත්නම් ඉතා හොඳය යි ප්‍රාර්ථනා කළා.
එදා පටන් ඔහු බොහෝ සංඝෝපස්ථාන කළා. සේනාසන ආදිය පිරිසුදු කරමින්, දානමාන පූජා කරමින් ජීවිතයට පින් රැස්කර ගත්තා. දිනක් ඉතාමත් සෝභමාන අගනා ඇතිරිල්ලක් මේ තරුණයා විසින් අප්‍රමාණ පැහැදීමෙන් ‘මේ අගනා ඇතිරිල්ල දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණැති මහා මුනි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා’යි පවසා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තුළ ඇතිරුවා. දහසක් මහ රහතුන් පිරිවරා ගෙන ගන්ධ කුටියට පිවිසි උන් වහන්සේ මේ ඇතිරිල්ල පූජා කොට රැස් වූ පිනෙන් ‘කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වන ගෞතම බුදු සසුනේ මේ තරුණයා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරු ලබන්නේය’ යැයි අනාගතය දෙස බුදු නුවණින් බලා පවසා වදාළා.
අතිශයින්ම සතුටට පත් වූ ඒ තරුණයා එදා පටන් දිවි ඇති තෙක් තවත් බොහෝ පින්දහම් රැස් කළා. ඒ අගනා ඇතිරිල්ල පූජා කළ පින මේ තරුණයාට මරණින් මතු බොහෝ සැප ලබා දුන්නා. හැට හතර වතාවක් සක් දෙව් පදවිය ලබා දෙදෙව් ලොවට අධිපති ලෙස සැපසේ වාසය කළා. අනතුරුව ‘විමල’ නම් සක්විති රජු ලෙස ඉපදී මුළු පෘථිවියම ධාර්මික ලෙස පාලනය කළා. සක්විති රජු වූ ඔහුගේ රාජධානිය යොදුන් තුන්සීයක් විශාල ‘රේණුවතී’ නම් නගරයක්. එහි සත්රුවනින් නිමවන ලද උස් වූ කුළු ගෙවල් ඇති ‘සුදර්ශන’ නම් සුවිශාල ප්‍රාසාදයක් ඔහුගේ් මාලිගය වුණා. මේ සෑම උපතකදීම ඔහු උදෙසා රන්, රිදී, වෛරෝඩි ආදි වටිනා කැටපත් පහළ වුණා. මේ අයුරින් බුදු රජුන් උදෙසා කළ පූජාවේ විපාක ඔහු භුක්ති වින්දා.
රාහුල මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉටුවුන භවය
මේ මහා භද්‍ර කල්පයේ ඒ වනවිට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 ක් වී තිබුණා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මේ මනුලොව ඉපදී දහසය වෙනි වියේදී යශෝධරාවන් හා විවාහ වුණා. තුසිත ලොවින් චුත වූ මොහු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දාව යශෝධරාවන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අතීත ජීවිතයක ‘පඨවින්ධර’ නම් නා රජෙකුව ඉපදී සිටියදී බෝසතාණන් වහන්සේ නමකගේ පුත්‍රයෙකු ලෙස ඉපදේවායි බුදු කෙනකු හමුවේ කළ පැතුමක් නිසයි. ඒ අනුව මහා පුණ්‍යවන්තයෙකු වූ මොහු සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේගේ විසිනව වෙනි වියේ දී ඇසළ පුන් පොහෝ දිනයක යශෝධරාවගේ කුසින් ‘රාහුල’ නමින් උපත ලැබුවා. රාහුල උපත ගැන සැල වූ මහබෝසතාණන් වහන්සේ (රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං) රාහුලයෙක් උපන්නා, තවත් බන්ධනයක් ඇතිවුණා යැයි පැවසුවා. එදා තමා අප මහ බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළ උතුම් ඇසළ පුන්පොහෝ දිනය.
එදා පටන් තම මෑණියන් වූ යශෝධරාවගේ තුරුලේ සුද්ධෝදන රජුගේ රාජධානියේ රාහුල කුමාරයා ඇතිදැඩි වුණා. රාහුල කුමරුට වයස අවුරුදු සතක් පමණ වනවිට සුදොවුන් රජුගේ ඇරයුමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ් ගෞතම බුදුරජාණන් වහන්සේ ඤාතීන්ට අනුග්‍රහ පිණිස විසිදහසක් භික්ෂු සංඝයා පිරිවරාගෙන කපිලවස්තු පුරයට වැඩමකොට වදාළා. ‘යමක මහා ප්‍රාතිහාර්යය’ පවත්වා ඤාතීන් දමනය කොට වදාළා. එදින තරු පිරිවැරූ සඳ මඩල සේ බබලමින් බුදුරජාණන් වහන්සේ වඩිනා අයුරු යශෝධරාව සමඟ සිටි රාහුල කුමාරයාට දැක ගන්නට ලැබුණා.
“ඇයි, අම්මේ අඬන්නේ?” යසෝදරා අසල සිටි රාහුල කුමරු ඇසුවේ මවගේ දෙනෙත්වලින් ගලන කඳුළු බිඳු දුටු බැවිනි. වහා ම සළුපටින් දෙනෙත් පිසදාගත් ඇය පුතු තුරුලට ගෙන ඔහුගේ සිරස පිරිමදින්නට වූවා ය.
“මගේ පුතා, පියතුමා වඩිනවා දැක්ක ද?”
“කෝ කෝ, අම්මේ? මට පෙන්නන්නකෝ?”
කවුළුව තරමක් උසින් තිබෙන නිසා කුමරුට මාවත හොඳින් නොපෙනිණි. යසෝදරා පුතු ඔසවා උකුළට ගෙන මහසඟරුවන සමඟ මාවතේ වැඩම කරන බුදුහාමුදුරුවන් ඔහුට පෙන්වූවා ය. ඉක්බිති ඇය (ඒස හි තුයිහ පිතා නරසීහෝ) ‘පුතේ අර වඩින්නේ නරයන්ට ශ්‍රේෂ්ඨ වූ නුඹේ පියාණන්’ ලෙස පවසමින් ගාථා නවයකින් (නරසීහ ගාථා) බුදුරජාණන් වහන්සේව වර්ණනා කළා.
“පුතා, මුත්තණුවන්ගෙන් පස්සේ රජකම උරුම වෙන්නේ ඔබේ පියතුමාට යි. නමුත් එතුමා රජකම් කරන්නට එන්නේ නෑ. ඒ නිසා ඊළඟට ඔටුන්න හිමි මගේ පුතාට යි. පියතුමා සතු මහ නිදන් වස්තු රාශියකුත් තියෙනවා. එතුමා නුවරින් පිටවෙන්නට කලින් දුවලා ගිහින් පියතුමාගෙන් පුතාට දෑවැද්දක් හැටියට ඒ ඔක්කොම වස්තුව ඉල්ලාගන්න. යන්න, දුවලා යන්න,” කියමින් යසෝදරා බුදුහාමුදුරුවන් වෙත පුතු යැව්වා ය.
වේගයෙන් දිව ගිය ළදරු රාහුල කුමරුට සන්සුන් ගමනින් වඩිනා බුදුහාමුදුරුවන් සමීපයට ළඟා වීමට වැඩි වෙලාවක් ගත වුණේ නැත. උන් වහන්සේ පුතුගේ සුරත අල්ලාගත්හ. සන්සුන් ව පියවර තබන පියාණන් සමග පුතු ද නිහඬ ව ම ඉදිරියට පා නැගුවේ ය. මේ දසුන දුටු මග දෙපස රැඳී සිටි දහස් ගණනක් පිරිසගේ හදවත් දාරක ස්නේහයෙන් පිරී ඉතිරී ගියේ ය. සත් අවුරුද්දක් අහිමි ව තිබුණු පිය සෙනෙහස රාහුල පුතුට යළි ලැබී ඇති අයුරු දුටු ඇතැමුන්ගේ දෑස්වලින් සතුටු කඳුළු වැගිරිණි.
“ඔබේ හෙවණේ ඉන්න විට මගේ ඇඟට ලොකු සනීපයක් දැනෙනවා, පියාණනි,” කියමින් කුමරු හිස ඔසවා බුදු පියාණන්ගේ මුහුණ දෙස බැලී ය.
“පුතාට විතරක් නො වෙයි, මා ළඟ ඉන්න ඕනෑ ම කෙනකුගේ ගත – හිත දෙකට ලොකු සුවයක් දැනෙනවා” යැ යි බුදුහාමුදුරුවන් පවසද්දී ඒ වදන් වැටහුණු බව ඇඟවීමට මෙන් සුරතල් සිනාවක් පෑ කුමරු “පියාණනි, ඔබට අයිති ලොකු වස්තුවක් තිබෙන බව අම්මා කීවා. ඒ ඇත්ත ද?” යි ඇසුවේ ය.
“ඒ කථාව ඇත්තක් පුතා, මීට අවුරුද්දකට කලින් ගයාවේ ඇසතු ගහක් මුල දී ලැබුණ ඉතා වටිනා වස්තුවක් මා සන්තක ව තිබෙනවා. ඒ තමයි සප්තාර්ය ධනය!” පුතු දෙස බලා මඳ සිනාවක් පාමින් බුදුහාමුදුරුවෝ පැවසූහ.
“එහෙම නම් අම්මා මට කිව්ව දේ හරි. ඒ ඔක්කෝම වස්තුව තෑග්ගක් විධියට මට දෙන්න කෝ. පියාණනි, ඔබට ඒවයින් දැන් වැඩක් නෑ නේ. ඔබ රජකම් කරන්න එන්නැති වෙයි කියලා අම්මා කීවා.”
“හොඳයි, මම එය පුතාට දෙන්නම්. හැබැයි මාත් එක්ක ආරාමයට ගිහින් මහණ වුණොත් තමා එය ලබාගන්නට පුළුවන් වෙන්නේ. මගේ පුතා කැමති ද මහණ වෙන්න?” යනුවෙන් අසමින් බුදුහාමුදුරුවෝ කුමරු දෙස බැලූ හ. ඔහු එයට කැමති බව ඇඟෙව්වේ කිරිසුදු දසන් පෙන්නා සිනා සී හිස වැනීමෙනි.
රාහුල පුතු බුදු පියාණන්ගේ අත අල්ලාගෙන යන අයුරු යසෝදරා සොම්නසින් බලා සිටියා ය. පුතු වහා ම ආපසු එති යි ඇය සිතුවා ය. එහෙත් ඔහු බුදු හාමුදුරුවන් සමග ඈතින් ඈතට යන බව ඇයට පෙනිණි. ‘මගේ බුදුහිමි දින කීපයකට කලින් නන්ද කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කළ අන්දමට මගේ පුතාත් පැවිදි කරයි ද?’ යන සැකය ඇයට ඇති විය. ඒ නිසා ඇය, පුතා බුදු හාමුදුරුවන් සමඟ ගිය බව සුදොවුන් රජුට වහා ම දැන්වූවා ය.
පුත් කුමරු කැඳවාගෙන නිග්‍රෝධාරාමයට වැඩි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන් ඇමතූ හ.
“සාරිපුත්ත, මේ මගේ පුතා - රාහුල. මා සමඟ පැමිණියේ මා සන්තක වස්තුව ලබාගන්නට යි. ඔහු මෙලොව එළිය දුටු දවසේ මා අභිනිෂ්ක්‍රමණය කළ නිසා පියකු වශයෙන් මගෙන් ලැබිය යුතු දරු සෙනෙහස හෝ මගපෙන්වීම් ඔහුට ලැබුණේ නෑ. බුදුවරයකු සතු මහාකරුණාවෙන් ලෝවැසි සියලු දෙනා ම දරුවන් මෙන් සලකා ඒ සැමට ම සෙත සලසන මම, මගේ ම පුතාටත් සෙත සැලසිය යුතු යි.
“සාරිපුත්ත, රාහුල පැවිදි වීමට කැමැති යි. ශ්‍රද්ධාව, සිල්වත්කම, පව් කරන්නට ලජ්ජාව හෙවත් හිරිය, ඒ සඳහා බිය හෙවත් ඔත්තප්පය, දැන-උගත්කම හෙවත් ශ්‍රැතමය ඥානය, පරිත්‍යාගශීලි භාවය හා ප්‍රඥාව යන සප්තාර්ය ධනය තමයි ඔහුට දීමට මා සතු ව ඇති වස්තුව. ඔහුගේ ජීවිතය සැපවත් වන්නේ එයිනුයි. ඒ නිසා රාහුල පැවිදි කරන්න” යැ යි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දැන්වූ හ. ඒ අනුව උන් වහන්සේ කුමරු පැවිදි කළහ.
රාහුල හිමියන් පැවිදි කළ ආචාර්යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. උපාධ්‍යායන් වහන්සේ වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යි.
රාහුල හිමියන්ට තිබුණේ ඉතාමත්ම වාසනාවන්ත, පුණ්‍යවන්ත ගුණවත් ජීවිතයක්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට මේ අයුරින් අවවාද කළා. ‘පින්වත් රාහුලය, සැදැහැ සිතින් බුදු සසුනේ පැවිදි වූ ඔබ පස්කම් සැප අත්හැර දමා දුක් කෙළවර කර ගැනීමට මහන්සි වෙන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. හුදෙකලාවේ වාසය කරන්න. නුවණින් යුතුව දානය වළඳන්න. සිවුපසයට ගිජු නොවී වාසය කරන්න. ආයේ කවදාවත් මේ ලෝකයට නම් එන්න එපා! හොඳින් සිල්වත් වෙන්න. ඉඳුරන් සංවර කර ගන්න. කායානුපස්සනාවේ යෙදෙන්න. මේ සසර කෙරෙහි කළකිරෙන්න. රාගය ඇති කරන සුභ නිමිති අත්හැර දමන්න. අසුභ භාවනාවේ මැනවින් යෙදෙන්න. රාහුලයෙනි, හොඳින් විදසුන් වඩන්න. මාන්නය දුරින්ම දුරු කරන්න. කෙලෙස් සටහනක් නොමැතිව උපශාන්ත බවට පත්වී සැනසීමෙන් කල් ගෙවන්න. (මෙය සුත්ත නිපාතයේ රාහුල සූත්‍රයේ සඳහන් වේ)
රාහුල හිමියන්ද භාග්‍යතුන් වහන්සේගෙනුත් තම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙනුත් අවවාද අනුශාසනා ලැබීමට අතිශයින්ම ආසා කළා. උදෑසනම මුහුණකට සේදීමටත් පෙර මිදුලෙන් වැලි දෝතක් ගෙන ‘මේ වැලි දෝතේ වැලි කැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා’යි සිතමින් එය උඩට විසි කිරීම උන්වහන්සේගේ සිරිතක් වුණා. මේ සිදුවීම සැලවූ බුදුජාණන් වහන්සේ අතීත පුවතක් ගෙනහැර දක්වමින් ‘මිග ජාතකය’ දේශනා කළා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ හමුවේ රාහුල හිමියන් ලැබූ අවවාද අනුශාසනා අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල රාහුලෝවාද සූත්‍රය ආදී සූත්‍රවලත් රාහුලෝවාද සූත්‍ර වශයෙන් බොහෝ සූත්‍ර ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙනවා.
රාහුල හිමියන්ට බුදුරජාණන්වහන්සේ පැන් බඳුනක් උපකාරී කරගෙන කියාදුන් පාඩමක්
බුදුහු රාහුල හිමියන් අම්බලට්කාව නම් වනබද විහාරයකට පිටත් කළහ. ටික දිනකින් එහි වැඩි බුදුරදුන් වඩිනු දුරදීම දුටු රාහුල හාමුදුරුවෝ පා සෝදනු පිණිස දිය බඳුනක් තැබූහ. හිඳිනට අසුනක් ද පැන වූහ. එම අසුනෙහි වැඩ සිටි බුදුරදුන්ගේ දෙපා පැන් වක්කොට සේදූහ. දැන් බඳුනෙහි අඩක්ම හිස්ව ඇත.
රාහුලයෙනි! පළමුව මෙම බඳුනෙහි පැන් පිරී තිබුණා නේද? එසේය. භාග්‍යවතුන් වහන්ස,
පා සේදීම නිසා එයින් අඩක්ම හිස් විය. රාහුලයෙනි, අනුන් සිනා ගැන්වීමට හෝ බොරු බස් තෙපලන කළ එම පැවිද්දන්ගේ ගුණ ධර්මද අර ජලය මෙන්ම නැතිවී යන්නේය.
රාහුල, එම බඳුන මුනින් අතට හරවන්න.
දැන් මීට පිරිවිය හැකිද? රාහුල! නොහැකිය හිමියනි!
එපරිද්දෙන් රාහුල බොරු බස් තෙපලන පැවිදි තැනගේ ශ්‍රමණ ගුණයන් ද එකතු නොවන්නේය. රාහුලයෙනි, දැන්වහාම බඳුන උඩ අතට හරවන්න. රාහුලයෙනි, ශ්‍රමණ ගුණධර්මයන් පිරෙන්නේ උඩ අතට හැරවූ දිය බඳුනක මෙන් තමාගේ හිත කය වචනය වැරැදි වලින් වළකාගත් කල්හිම පමණෙකි.
සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන්ට අදාස තලය (කැඩපත හෙවත් කන්නාඩිය උපමා කරමින් තම ශ්‍රමණ ධර්මයන් හෙවත් පැවිදි බිමෙහි අපේක්‍ෂා කරන ගුණ ධර්මයන් තවත් අයුරෙකින් දක්වතොත් තම ශීලාදී ගුණධර්මයන් සපුරා ගනු ලබන පිළිවෙල ද සවිස්තරව දෙසූහ. රාහුල, මෙහිහි රන්මුවා කැඩපතකින් රජ ගෙයි දී ඔබ ලබා ගත් ප්‍රයෝජන කවරේද?
භාග්‍යවතුන් වහන්ස! විමස විමසා බලමින් මුහුණ ආදියෙහි වූ ඉවත් කළ යුතු වූ අප ද්‍රව්‍යයන් දැන හඳුනා ගෙන ඒවා ඉවත් කරමි. එපරිද්දෙන් රාහුල, නිරතුරුවම විමසා විමසා අපිරිසුදු පාප චේතනාවන් ඉවත් කොට තම පිරිහුණු බව රැක ගත යුතු ප්‍රධාන කරුණු 3 ක් තිබෙනවා. ඒවා නම් තමාගේ කාය කර්ම, වචී කර්ම, හා මනෝ කර්ම යනු මේවායි.
යම් කාය කර්මයක් කරන්නට සූදානම් වන කල්හි ද සිදු කරන කල්හිද සිදුකොට අවසන් වු කල්හිද එම කර්මය තමාට අනුන්හට අවැඩ පිණිස පවතින්නේද පළමුවෙන් කරන කල්හිත් කළායින් පසුවත් විමසා බලමින් (පච්චවේත්ඛිත්වා ප්‍රාත්‍යවේක්‍ෂා කරමින්) කැඩපතින් මුහුණ පිරිසුදු කරගන්නාක් මෙන් අවැඩදායක දෙයින් සම්පුර්ණයෙන් වැළැකී සිටීමට උත්සාහ කළ යුතුවේ.
එම කියන කරන සිතන දේ තමාට අහිතක් පිණිසවේද අනුන්ට අහිත පිණිස වේද උභය පක්‍ෂයටම අහිත පිණිස වේද එසේ නම් එය නොකටයුතුයයි අවවාද කළ සේක. මෙම කරුණු මැනවින් වටහාගත් පුංචි රාහුල හාමුදුරුවන් ශීල ගුණයෙන් ද එසේම සමථ විපස්සනා භාවනාවන්ගෙන් හා ප්‍රඥාවෙන් පරිපූර්ණව නිවන් සුව සලසා ගත් සේක.
රාහුල මහ රහතන් වහන්සේ වයස අවුරුදු හතේදී පැවිදි ව අවුරුදු විස්සේදී රහත් බව ලැබූ උන් වහන්සේ අවුරුදු පණහේදී පිරිනිවන් පෑ සේක. The Buddhist
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
Related Posts Plugin for WordPress, Blogger...