රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

රාහුල මහරහතන් වහන්සේ

රාහුල ස්වාමීන්වහන්සේ ගේ සංසාරයේ පෙරුම් පිරූ ප්‍රාර්ථනාව
ඒ පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයයි ... සුජාතා දේවිය හා ආනන්ද රජු පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ මව්පියන් වේ...පදුමුත්තර බෝසතාණෝ තමාගේ බිරිඳ වන සුදත්තා නම් බිසව උත්තර නම් පුතු බිහිකරපු දා ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කළහ ...අභිනිෂ්ක්රමනයෙන් පසු සත්දවසක් දුෂ්කර ක්‍රියා කර බුදුවන දා සළල බෝධිය කරාපැමිණ බෝධියට පිට දී වැඩ හිඳ මාර පරා ජය කර සම්මා සම්මබුද්ධත්වය ලබා ගත්හ ....එම බුදුරජාණන්වහන්සේ දෙවලය හා සුජාතය නම් අගසව් යුගලයක් හා අමිතා හා අසමාය යන අග්‍රශාවිකා යුගලයකින් සමන්විතය ......එම පදුමුත්තර බුදුරජාණන්වහන්සේ අවුරුදු ලක්ෂයක් (100000 ) ආයු වළඳා පිරිනිවන් පෑහ.....
ගෞතම බෝධිසත්වයෝ පදුමුත්තර බුදුහිමි ජීවමානව සිටියදී එම බුදුරජාණන්වහන්සේගේ පාද මූලයේදී ජටිල නම් රැටියෙක්ව බුදුපාමොක් මහා සඟනට ආහාර සහිතව සිවුරු පූජා කිරීම සිදු කළහ ...පදුමුත්තර බුදුරජාණන්වහන්සේ ගෞතම බෝසතුන්ට දස වැනි නියත විවරණය ලබා දුන් සේක ...
එකල රාහුල ස්වාමින් වහන්සේ හංසවතී නුවර සිටු ගෙදරක උපත ලැබුවා. තරුණ වියට පත් වූ ඔහු නිරන්තරයෙන් පදුමුත්තර බුදුරජාණන්වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කළා. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි මහදන් පවත්වමින් සිටිය දී උපරේවත නම් කුඩා රහත් තෙරනමක් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන බව දැක සතුටට පත් වුණා. ඒ උපරේවත තෙරුන් පදුමුත්තර බුදුරදුන්ගේ ගිහි කාලයේ පුතනුවන් බව දැන තමන් ද මතු බුදු කෙනෙකුන්ගේ පුතෙකු බවට පත් වන්නට ඇත්නම් ඉතා හොඳය යි ප්‍රාර්ථනා කළා.
එදා පටන් ඔහු බොහෝ සංඝෝපස්ථාන කළා. සේනාසන ආදිය පිරිසුදු කරමින්, දානමාන පූජා කරමින් ජීවිතයට පින් රැස්කර ගත්තා. දිනක් ඉතාමත් සෝභමාන අගනා ඇතිරිල්ලක් මේ තරුණයා විසින් අප්‍රමාණ පැහැදීමෙන් ‘මේ අගනා ඇතිරිල්ල දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණැති මහා මුනි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා’යි පවසා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තුළ ඇතිරුවා. දහසක් මහ රහතුන් පිරිවරා ගෙන ගන්ධ කුටියට පිවිසි උන් වහන්සේ මේ ඇතිරිල්ල පූජා කොට රැස් වූ පිනෙන් ‘කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වන ගෞතම බුදු සසුනේ මේ තරුණයා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරු ලබන්නේය’ යැයි අනාගතය දෙස බුදු නුවණින් බලා පවසා වදාළා.
අතිශයින්ම සතුටට පත් වූ ඒ තරුණයා එදා පටන් දිවි ඇති තෙක් තවත් බොහෝ පින්දහම් රැස් කළා. ඒ අගනා ඇතිරිල්ල පූජා කළ පින මේ තරුණයාට මරණින් මතු බොහෝ සැප ලබා දුන්නා. හැට හතර වතාවක් සක් දෙව් පදවිය ලබා දෙදෙව් ලොවට අධිපති ලෙස සැපසේ වාසය කළා. අනතුරුව ‘විමල’ නම් සක්විති රජු ලෙස ඉපදී මුළු පෘථිවියම ධාර්මික ලෙස පාලනය කළා. සක්විති රජු වූ ඔහුගේ රාජධානිය යොදුන් තුන්සීයක් විශාල ‘රේණුවතී’ නම් නගරයක්. එහි සත්රුවනින් නිමවන ලද උස් වූ කුළු ගෙවල් ඇති ‘සුදර්ශන’ නම් සුවිශාල ප්‍රාසාදයක් ඔහුගේ් මාලිගය වුණා. මේ සෑම උපතකදීම ඔහු උදෙසා රන්, රිදී, වෛරෝඩි ආදි වටිනා කැටපත් පහළ වුණා. මේ අයුරින් බුදු රජුන් උදෙසා කළ පූජාවේ විපාක ඔහු භුක්ති වින්දා.
රාහුල මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉටුවුන භවය
මේ මහා භද්‍ර කල්පයේ ඒ වනවිට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 ක් වී තිබුණා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මේ මනුලොව ඉපදී දහසය වෙනි වියේදී යශෝධරාවන් හා විවාහ වුණා. තුසිත ලොවින් චුත වූ මොහු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දාව යශෝධරාවන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අතීත ජීවිතයක ‘පඨවින්ධර’ නම් නා රජෙකුව ඉපදී සිටියදී බෝසතාණන් වහන්සේ නමකගේ පුත්‍රයෙකු ලෙස ඉපදේවායි බුදු කෙනකු හමුවේ කළ පැතුමක් නිසයි. ඒ අනුව මහා පුණ්‍යවන්තයෙකු වූ මොහු සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේගේ විසිනව වෙනි වියේ දී ඇසළ පුන් පොහෝ දිනයක යශෝධරාවගේ කුසින් ‘රාහුල’ නමින් උපත ලැබුවා. රාහුල උපත ගැන සැල වූ මහබෝසතාණන් වහන්සේ (රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං) රාහුලයෙක් උපන්නා, තවත් බන්ධනයක් ඇතිවුණා යැයි පැවසුවා. එදා තමා අප මහ බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළ උතුම් ඇසළ පුන්පොහෝ දිනය.
එදා පටන් තම මෑණියන් වූ යශෝධරාවගේ තුරුලේ සුද්ධෝදන රජුගේ රාජධානියේ රාහුල කුමාරයා ඇතිදැඩි වුණා. රාහුල කුමරුට වයස අවුරුදු සතක් පමණ වනවිට සුදොවුන් රජුගේ ඇරයුමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ් ගෞතම බුදුරජාණන් වහන්සේ ඤාතීන්ට අනුග්‍රහ පිණිස විසිදහසක් භික්ෂු සංඝයා පිරිවරාගෙන කපිලවස්තු පුරයට වැඩමකොට වදාළා. ‘යමක මහා ප්‍රාතිහාර්යය’ පවත්වා ඤාතීන් දමනය කොට වදාළා. එදින තරු පිරිවැරූ සඳ මඩල සේ බබලමින් බුදුරජාණන් වහන්සේ වඩිනා අයුරු යශෝධරාව සමඟ සිටි රාහුල කුමාරයාට දැක ගන්නට ලැබුණා.
“ඇයි, අම්මේ අඬන්නේ?” යසෝදරා අසල සිටි රාහුල කුමරු ඇසුවේ මවගේ දෙනෙත්වලින් ගලන කඳුළු බිඳු දුටු බැවිනි. වහා ම සළුපටින් දෙනෙත් පිසදාගත් ඇය පුතු තුරුලට ගෙන ඔහුගේ සිරස පිරිමදින්නට වූවා ය.
“මගේ පුතා, පියතුමා වඩිනවා දැක්ක ද?”
“කෝ කෝ, අම්මේ? මට පෙන්නන්නකෝ?”
කවුළුව තරමක් උසින් තිබෙන නිසා කුමරුට මාවත හොඳින් නොපෙනිණි. යසෝදරා පුතු ඔසවා උකුළට ගෙන මහසඟරුවන සමඟ මාවතේ වැඩම කරන බුදුහාමුදුරුවන් ඔහුට පෙන්වූවා ය. ඉක්බිති ඇය (ඒස හි තුයිහ පිතා නරසීහෝ) ‘පුතේ අර වඩින්නේ නරයන්ට ශ්‍රේෂ්ඨ වූ නුඹේ පියාණන්’ ලෙස පවසමින් ගාථා නවයකින් (නරසීහ ගාථා) බුදුරජාණන් වහන්සේව වර්ණනා කළා.
“පුතා, මුත්තණුවන්ගෙන් පස්සේ රජකම උරුම වෙන්නේ ඔබේ පියතුමාට යි. නමුත් එතුමා රජකම් කරන්නට එන්නේ නෑ. ඒ නිසා ඊළඟට ඔටුන්න හිමි මගේ පුතාට යි. පියතුමා සතු මහ නිදන් වස්තු රාශියකුත් තියෙනවා. එතුමා නුවරින් පිටවෙන්නට කලින් දුවලා ගිහින් පියතුමාගෙන් පුතාට දෑවැද්දක් හැටියට ඒ ඔක්කොම වස්තුව ඉල්ලාගන්න. යන්න, දුවලා යන්න,” කියමින් යසෝදරා බුදුහාමුදුරුවන් වෙත පුතු යැව්වා ය.
වේගයෙන් දිව ගිය ළදරු රාහුල කුමරුට සන්සුන් ගමනින් වඩිනා බුදුහාමුදුරුවන් සමීපයට ළඟා වීමට වැඩි වෙලාවක් ගත වුණේ නැත. උන් වහන්සේ පුතුගේ සුරත අල්ලාගත්හ. සන්සුන් ව පියවර තබන පියාණන් සමග පුතු ද නිහඬ ව ම ඉදිරියට පා නැගුවේ ය. මේ දසුන දුටු මග දෙපස රැඳී සිටි දහස් ගණනක් පිරිසගේ හදවත් දාරක ස්නේහයෙන් පිරී ඉතිරී ගියේ ය. සත් අවුරුද්දක් අහිමි ව තිබුණු පිය සෙනෙහස රාහුල පුතුට යළි ලැබී ඇති අයුරු දුටු ඇතැමුන්ගේ දෑස්වලින් සතුටු කඳුළු වැගිරිණි.
“ඔබේ හෙවණේ ඉන්න විට මගේ ඇඟට ලොකු සනීපයක් දැනෙනවා, පියාණනි,” කියමින් කුමරු හිස ඔසවා බුදු පියාණන්ගේ මුහුණ දෙස බැලී ය.
“පුතාට විතරක් නො වෙයි, මා ළඟ ඉන්න ඕනෑ ම කෙනකුගේ ගත – හිත දෙකට ලොකු සුවයක් දැනෙනවා” යැ යි බුදුහාමුදුරුවන් පවසද්දී ඒ වදන් වැටහුණු බව ඇඟවීමට මෙන් සුරතල් සිනාවක් පෑ කුමරු “පියාණනි, ඔබට අයිති ලොකු වස්තුවක් තිබෙන බව අම්මා කීවා. ඒ ඇත්ත ද?” යි ඇසුවේ ය.
“ඒ කථාව ඇත්තක් පුතා, මීට අවුරුද්දකට කලින් ගයාවේ ඇසතු ගහක් මුල දී ලැබුණ ඉතා වටිනා වස්තුවක් මා සන්තක ව තිබෙනවා. ඒ තමයි සප්තාර්ය ධනය!” පුතු දෙස බලා මඳ සිනාවක් පාමින් බුදුහාමුදුරුවෝ පැවසූහ.
“එහෙම නම් අම්මා මට කිව්ව දේ හරි. ඒ ඔක්කෝම වස්තුව තෑග්ගක් විධියට මට දෙන්න කෝ. පියාණනි, ඔබට ඒවයින් දැන් වැඩක් නෑ නේ. ඔබ රජකම් කරන්න එන්නැති වෙයි කියලා අම්මා කීවා.”
“හොඳයි, මම එය පුතාට දෙන්නම්. හැබැයි මාත් එක්ක ආරාමයට ගිහින් මහණ වුණොත් තමා එය ලබාගන්නට පුළුවන් වෙන්නේ. මගේ පුතා කැමති ද මහණ වෙන්න?” යනුවෙන් අසමින් බුදුහාමුදුරුවෝ කුමරු දෙස බැලූ හ. ඔහු එයට කැමති බව ඇඟෙව්වේ කිරිසුදු දසන් පෙන්නා සිනා සී හිස වැනීමෙනි.
රාහුල පුතු බුදු පියාණන්ගේ අත අල්ලාගෙන යන අයුරු යසෝදරා සොම්නසින් බලා සිටියා ය. පුතු වහා ම ආපසු එති යි ඇය සිතුවා ය. එහෙත් ඔහු බුදු හාමුදුරුවන් සමග ඈතින් ඈතට යන බව ඇයට පෙනිණි. ‘මගේ බුදුහිමි දින කීපයකට කලින් නන්ද කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කළ අන්දමට මගේ පුතාත් පැවිදි කරයි ද?’ යන සැකය ඇයට ඇති විය. ඒ නිසා ඇය, පුතා බුදු හාමුදුරුවන් සමඟ ගිය බව සුදොවුන් රජුට වහා ම දැන්වූවා ය.
පුත් කුමරු කැඳවාගෙන නිග්‍රෝධාරාමයට වැඩි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන් ඇමතූ හ.
“සාරිපුත්ත, මේ මගේ පුතා - රාහුල. මා සමඟ පැමිණියේ මා සන්තක වස්තුව ලබාගන්නට යි. ඔහු මෙලොව එළිය දුටු දවසේ මා අභිනිෂ්ක්‍රමණය කළ නිසා පියකු වශයෙන් මගෙන් ලැබිය යුතු දරු සෙනෙහස හෝ මගපෙන්වීම් ඔහුට ලැබුණේ නෑ. බුදුවරයකු සතු මහාකරුණාවෙන් ලෝවැසි සියලු දෙනා ම දරුවන් මෙන් සලකා ඒ සැමට ම සෙත සලසන මම, මගේ ම පුතාටත් සෙත සැලසිය යුතු යි.
“සාරිපුත්ත, රාහුල පැවිදි වීමට කැමැති යි. ශ්‍රද්ධාව, සිල්වත්කම, පව් කරන්නට ලජ්ජාව හෙවත් හිරිය, ඒ සඳහා බිය හෙවත් ඔත්තප්පය, දැන-උගත්කම හෙවත් ශ්‍රැතමය ඥානය, පරිත්‍යාගශීලි භාවය හා ප්‍රඥාව යන සප්තාර්ය ධනය තමයි ඔහුට දීමට මා සතු ව ඇති වස්තුව. ඔහුගේ ජීවිතය සැපවත් වන්නේ එයිනුයි. ඒ නිසා රාහුල පැවිදි කරන්න” යැ යි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දැන්වූ හ. ඒ අනුව උන් වහන්සේ කුමරු පැවිදි කළහ.
රාහුල හිමියන් පැවිදි කළ ආචාර්යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. උපාධ්‍යායන් වහන්සේ වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යි.
රාහුල හිමියන්ට තිබුණේ ඉතාමත්ම වාසනාවන්ත, පුණ්‍යවන්ත ගුණවත් ජීවිතයක්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට මේ අයුරින් අවවාද කළා. ‘පින්වත් රාහුලය, සැදැහැ සිතින් බුදු සසුනේ පැවිදි වූ ඔබ පස්කම් සැප අත්හැර දමා දුක් කෙළවර කර ගැනීමට මහන්සි වෙන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. හුදෙකලාවේ වාසය කරන්න. නුවණින් යුතුව දානය වළඳන්න. සිවුපසයට ගිජු නොවී වාසය කරන්න. ආයේ කවදාවත් මේ ලෝකයට නම් එන්න එපා! හොඳින් සිල්වත් වෙන්න. ඉඳුරන් සංවර කර ගන්න. කායානුපස්සනාවේ යෙදෙන්න. මේ සසර කෙරෙහි කළකිරෙන්න. රාගය ඇති කරන සුභ නිමිති අත්හැර දමන්න. අසුභ භාවනාවේ මැනවින් යෙදෙන්න. රාහුලයෙනි, හොඳින් විදසුන් වඩන්න. මාන්නය දුරින්ම දුරු කරන්න. කෙලෙස් සටහනක් නොමැතිව උපශාන්ත බවට පත්වී සැනසීමෙන් කල් ගෙවන්න. (මෙය සුත්ත නිපාතයේ රාහුල සූත්‍රයේ සඳහන් වේ)
රාහුල හිමියන්ද භාග්‍යතුන් වහන්සේගෙනුත් තම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙනුත් අවවාද අනුශාසනා ලැබීමට අතිශයින්ම ආසා කළා. උදෑසනම මුහුණකට සේදීමටත් පෙර මිදුලෙන් වැලි දෝතක් ගෙන ‘මේ වැලි දෝතේ වැලි කැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා’යි සිතමින් එය උඩට විසි කිරීම උන්වහන්සේගේ සිරිතක් වුණා. මේ සිදුවීම සැලවූ බුදුජාණන් වහන්සේ අතීත පුවතක් ගෙනහැර දක්වමින් ‘මිග ජාතකය’ දේශනා කළා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ හමුවේ රාහුල හිමියන් ලැබූ අවවාද අනුශාසනා අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල රාහුලෝවාද සූත්‍රය ආදී සූත්‍රවලත් රාහුලෝවාද සූත්‍ර වශයෙන් බොහෝ සූත්‍ර ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙනවා.
රාහුල හිමියන්ට බුදුරජාණන්වහන්සේ පැන් බඳුනක් උපකාරී කරගෙන කියාදුන් පාඩමක්
බුදුහු රාහුල හිමියන් අම්බලට්කාව නම් වනබද විහාරයකට පිටත් කළහ. ටික දිනකින් එහි වැඩි බුදුරදුන් වඩිනු දුරදීම දුටු රාහුල හාමුදුරුවෝ පා සෝදනු පිණිස දිය බඳුනක් තැබූහ. හිඳිනට අසුනක් ද පැන වූහ. එම අසුනෙහි වැඩ සිටි බුදුරදුන්ගේ දෙපා පැන් වක්කොට සේදූහ. දැන් බඳුනෙහි අඩක්ම හිස්ව ඇත.
රාහුලයෙනි! පළමුව මෙම බඳුනෙහි පැන් පිරී තිබුණා නේද? එසේය. භාග්‍යවතුන් වහන්ස,
පා සේදීම නිසා එයින් අඩක්ම හිස් විය. රාහුලයෙනි, අනුන් සිනා ගැන්වීමට හෝ බොරු බස් තෙපලන කළ එම පැවිද්දන්ගේ ගුණ ධර්මද අර ජලය මෙන්ම නැතිවී යන්නේය.
රාහුල, එම බඳුන මුනින් අතට හරවන්න.
දැන් මීට පිරිවිය හැකිද? රාහුල! නොහැකිය හිමියනි!
එපරිද්දෙන් රාහුල බොරු බස් තෙපලන පැවිදි තැනගේ ශ්‍රමණ ගුණයන් ද එකතු නොවන්නේය. රාහුලයෙනි, දැන්වහාම බඳුන උඩ අතට හරවන්න. රාහුලයෙනි, ශ්‍රමණ ගුණධර්මයන් පිරෙන්නේ උඩ අතට හැරවූ දිය බඳුනක මෙන් තමාගේ හිත කය වචනය වැරැදි වලින් වළකාගත් කල්හිම පමණෙකි.
සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන්ට අදාස තලය (කැඩපත හෙවත් කන්නාඩිය උපමා කරමින් තම ශ්‍රමණ ධර්මයන් හෙවත් පැවිදි බිමෙහි අපේක්‍ෂා කරන ගුණ ධර්මයන් තවත් අයුරෙකින් දක්වතොත් තම ශීලාදී ගුණධර්මයන් සපුරා ගනු ලබන පිළිවෙල ද සවිස්තරව දෙසූහ. රාහුල, මෙහිහි රන්මුවා කැඩපතකින් රජ ගෙයි දී ඔබ ලබා ගත් ප්‍රයෝජන කවරේද?
භාග්‍යවතුන් වහන්ස! විමස විමසා බලමින් මුහුණ ආදියෙහි වූ ඉවත් කළ යුතු වූ අප ද්‍රව්‍යයන් දැන හඳුනා ගෙන ඒවා ඉවත් කරමි. එපරිද්දෙන් රාහුල, නිරතුරුවම විමසා විමසා අපිරිසුදු පාප චේතනාවන් ඉවත් කොට තම පිරිහුණු බව රැක ගත යුතු ප්‍රධාන කරුණු 3 ක් තිබෙනවා. ඒවා නම් තමාගේ කාය කර්ම, වචී කර්ම, හා මනෝ කර්ම යනු මේවායි.
යම් කාය කර්මයක් කරන්නට සූදානම් වන කල්හි ද සිදු කරන කල්හිද සිදුකොට අවසන් වු කල්හිද එම කර්මය තමාට අනුන්හට අවැඩ පිණිස පවතින්නේද පළමුවෙන් කරන කල්හිත් කළායින් පසුවත් විමසා බලමින් (පච්චවේත්ඛිත්වා ප්‍රාත්‍යවේක්‍ෂා කරමින්) කැඩපතින් මුහුණ පිරිසුදු කරගන්නාක් මෙන් අවැඩදායක දෙයින් සම්පුර්ණයෙන් වැළැකී සිටීමට උත්සාහ කළ යුතුවේ.
එම කියන කරන සිතන දේ තමාට අහිතක් පිණිසවේද අනුන්ට අහිත පිණිස වේද උභය පක්‍ෂයටම අහිත පිණිස වේද එසේ නම් එය නොකටයුතුයයි අවවාද කළ සේක. මෙම කරුණු මැනවින් වටහාගත් පුංචි රාහුල හාමුදුරුවන් ශීල ගුණයෙන් ද එසේම සමථ විපස්සනා භාවනාවන්ගෙන් හා ප්‍රඥාවෙන් පරිපූර්ණව නිවන් සුව සලසා ගත් සේක.
රාහුල මහ රහතන් වහන්සේ වයස අවුරුදු හතේදී පැවිදි ව අවුරුදු විස්සේදී රහත් බව ලැබූ උන් වහන්සේ අවුරුදු පණහේදී පිරිනිවන් පෑ සේක. The Buddhist
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදුරජාණන්වහන්සේගේ සිනහවට ලක් වූ සූකර පෝතිකාව (ඊරිය )

එක් දිනක් බුදු රජානන්වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා වඩිනා විට, එක් සූකර පෝතිකාවක් (ඊරියක්) දැක උන්වහන්සේ සිනහ පහළ කළ සේක. මෙය දුටු ආනන්ද තෙරනුවන්, තථාගතයන් වහන්සේ මෙසේ සිනහ පහළකිරීමට හේතුව විචාළ කල්හී උන්වහන්සේ මෙසේ වදාළ සේක. " ආනන්දය, මෙම සූකර පෝතිකාව කකුසඳ බුදුරජානන්වහන්සේ ලොව වැඩ වසනා සමයෙහි කිකිළියක්ව ඉපිද, භික්ෂුන් දන් වලඳනා දාන ශාලාවක් අසල ගැවසෙමින් සිටියාය. දිනක් ශාලාව තුළ වූ එක් යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා භාවනාවේ කර්මස්ථානය හඬ නගා සජ්ජායනය කරනු මෙම කිකිළියට අසන්නට ලැබිනි. තිරිසන් ආත්මභාවයක පසුවු මැයට එම දර්මය අවබෝධ කරගැනීමට භාග්‍යයක් නොමැති වුවද සතුටින් එම කර්මස්ථානයේ සිත යොමා සිටි බැවින්, එම කුසලයේ බලයෙන් තිරිසන් ආත්මයෙන් මිදීමෙන් පසු "උබ්බරී" නම් රාජකුමාරිකාවක් ලෙස උපත ලැබුවාය.
මෙමෙ රාජ කුමාරිය දිනක් අශුචිවල සිටි පණුවන් සමූහයක් දැක කළකිරී "පුළවක" සංඥාව උපදවා,එය කර්මස්ථානය කොටගෙන භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට පත්වී,ධ්‍යානය නොපිරිහී කලුරිය කළ බැවින් බ්‍රහ්මපාරිසජ්ජ බඹ ලොව උපත ලැබීය. ඉන් බොහෝ කළක් බඹ ලොව සමාධි සුවයෙන් ගතකළ ඇය එයින් චුතව කකුසඳ,කෝණාගමන,කාශ්‍යප යන තුන් බුදු රජානන්වහන්සේලා ලොව පහලව,උන්වහන්සේලාගේ ශාසනයන්ද අවසන් වන තුරුම සසරෙහි සුගතින් මෙන්ම දුගතින්හී ද උපත ලබමින් සසර සැරි සරා, අද දින මෙලෙස ඌරු යෝනියේ උපත ලැබුවාය.
මෙලෙස අනවරාග්‍ර සසරෙහි, බියකරු බව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ පිඬුසිඟා වැඩි මහාවිථිය මධ්‍යයෙහිම,ආනන්ද හිමියන් ප්‍රධාන මහාසංඝ රත්නයට, සසරෙහි ආදීනව පහදා දෙමින් මෙසේ ධර්මය දේශනා කළ සේක.
"යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
ජින්නෝපි රුක්ඛෝ පුන රේව රූහති
ඒවම්පි තන්හානුසයේ අනූහතේ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං"
"මුල ශක්තිමත්ව නිරුපද්‍රිතව තිබෙනාතාක් කල් කැපූගස නැවත නැවත නැග ඒම, වැඩීම එහි ස්වභාවයයි.එලෙසම නිදන්නාක් මෙන් එනම් අනුශය ලෙස චිත්ත සන්තානයේ සැඟවී පවතින තෘශ්ණාව, නැවත නූපදනා පරිදි අනුත්පාද නිරෝධයෙන් නසනා තාක් කල්ම, මෙම පංචස්කන්ධ දුක්ඛය නැවත නැවත ඇතිවීම එහි ස්වභාවයයි"
රජගහනුවර මහමග මධ්‍යයෙහි සිට මෙම ධර්මය ශ්‍රවණය කළාවූ ස්වාමින් වහන්සේලා ඇතුළු බොහෝ පිරිස් සෝවාන් ආදී මාර්ගඵල ලබමින්,නිර්වානාවබෝධයට පත්වූ බව ධර්මයේ සඳහන්වේ.
සූකර පෝතිකාවගේ ඉරණම මෙතෙකින් අවසන් නොවීය. මෙම සූකර පෝතිකාව එම ආත්මභාවයෙන් මිදී ,මීලඟ ආත්ම භාවය ස්වර්ණ භූමි නම් රට ,රජකුලයක උපත ලැබීය.අනතුරුව එයින් චුතව බරණැස් නුවර මනුෂ්‍ය දියනියක් ලෙසද,එයින් පසු ආත්මභාවයක සුප්පරක පටුනෙහි දිවිගෙවූ අශ්ව වෙළෙන්දෙකුගේ දියණියක් ලෙසද ,එයිනුත් අනතුරුව කාවිර පටුනෙ නැවියකුගේ නිවසෙහිද උපත ලැබීය. මීලඟ ආත්ම භාවය අප ලක්දිව අනුරාධපුරයෙහි ඉසුරුමත් කුළගෙයක උපත ලැබීය.ඒ වනවිට අප ගෞතම සර්වඥයන්වහන්සේ පිරිනිවී වර්ෂ 300ක් පමණ ගතවී අවසන්ය. ඇයගේ එම ආත්ම භාවයද කෙළවර, ඇය යලි අනුරපුරයෙහිම දකුණුදිශා භාගයෙහි "ගෝකන්න" නම් ග්‍රාමයෙහි සුමන නම් කෙළෙඹියාගේ සුමනා නම් රූමත් දියනිය ලෙස උපත ලැබීය. ඇය උපත ලැබූ වකවානුව, දුටු ගැමුණු අනුරපුරේ රජ වීමට ආසන්න සමයයි. අනතුරුව සුමන කෙළෙඹියා ගෝකන්න ග්‍රාමය අත හැර දිගාවැව "මහමුනිගාමය" නම් ගමෙහි වාසයට පැමිනි බැවින් මහමුනිගාමය ඇගේද වාසභූමි බවට පත්විය. සුමණා දියණිය වැඩිවියට පත්වනවිට දුටු ගැමුණු ලක්දිව රජු ලෙස අභිෂේකය ලැබීය. දිනක් මහ රජුගේ මහ ඇමතියෙකු වූ "ලකුන්ටක අතින්බර" නැමත්තා රාජකාරියක් පිනිස මහමුනිගාමයට පැමිනි කල්හී, රූමත් සුමනාවන් දැක ඇය කෙරෙහි සිත් බැඳී ඇය සරණපාවා ගත්හ. එලෙස ඇය දුටුගැමුණු රජුගේ මහ ඇමතියකුගේ දේවිය බවට පත්ව ඔහු වසනා "මහපුණ්ණ නම් ග්‍රාමයට වාසය පිණිස පැමිනියාය.
දිනක් මහාවිහාර වාසී මහා අනුල මහරහතන් වහන්සේ භික්ෂුන්ද පිරිවරා පිඬු පිණිස "මහාපුණ්ණ" ගමට වැඩම කළ අවස්ථාවේදී ලකුණ්ටක අමාත්‍ය මාළිගයටද වැඩමකල සේක. මෙවිට පිණ්ඩපාතය පිළිගන්වනු පිනිස මාලිගයෙන් එලියට බට සුමණා දේවිය දුටු මහරහතන් වහන්සේ, ඇයගේ පෙර භවය සිය නුවණින් දැක ඇයට ඇසෙන ලෙස "ඇවත්නි, මහා ආශ්චර්යයකි. සූකර පෝතිකාව ලකුන්ටක අමාත්‍ය දේවිය බවට පත්ව සිටි". මහ රහතන් වහන්සේ නමක කිසිදා නිශ්ඵල වදන් නොකියන බැව් මනාකොට සුමනා දෙවිය, තම කන වැකුනු එම ප්‍රකාශය පිළිබඳව මෙනෙහි කිරීමට පටන් මොහොතෙහිම ඇයට ජාතිස්මරණ ඥානය එනම් පෙර භවයන් සිහිකිරීමේ ඥානය පහළවිය.ඉන් පසුව පෙර සසරෙහි තමා ගත කළ දුක්ඛිත ආත්ම භාවයන් සිහිවී මහත් කළකිරීමට පත්වූ ඇය අනතුරුව තම ස්වාමියා වූ ලකුණ්ටක ඇමතිතුමාගේද අවසරය ඇතිව සසුන්ගතවිය. නොබෝ කලකින්ම සුමනා මෙහෙනින්වහන්සේ තිස්ස මහාවිහාරයේදී දෙතිස ,සතිපට්ඨාන සූත්‍ර දෙශනාව ශ්‍රවනය කිරීමෙන් සෝවාන් ඵලයට පත්විය. ඉක්බිති ලක්දිව ඇතිවූ දුටුගැමුණු එලාර යුද්ධයෙන් පසු, තම මව්පියන් විසූ ගෝකන්න ග්‍රාමයට නැවත වාසය පිනිස වැඩම කළාය. අනතුරුව කල්ලන මහා විහාරයේදී "ආශිවිෂොපම සූත්‍ර දේශනාව ශ්‍රවනයෙන් සව් කෙලෙසුන් නසා රහත්භාවයට පත්ව මෙම බියකරු සසරින් සදහටම එතෙර විය.
සුමනා රහත් මෙහෙනින් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහිදී භික්ෂුන්,භික්ෂුනීන්,උපාසක,උපාසිකාවන් විශාල පිරිසක් එහි රැස්වූහ. එවෙලෙහි ඕතොමෝ අහසට පැන නැගී තමා කිකිළියක්ව උපන් තැන් පටන් තම පෙර ආත්ම 13ම මුල්කොට දම් දෙසා රැස්වූ පිරිස සංවේගයට පත්කොට පිරිනිවීය.
අප සර්වඥයන් වහන්සේ වරක් මෙසේ වදාළසේක.
"සබ්බේ සංඛාරා අනිච්චාතී
යදා පඥ්ඥාය පස්සතී
අථනිබ්බින්දතී දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා"
"සියළුම සංස්කාරයෝ අනිත්‍යයි යම් කෙනෙක් ප්‍රඥාවෙන් දකීද, එම විසුද්ධි සංඛ්‍යාත නිවන ඔහු දකින්නේය". එනිසා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කොට සියළුම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය අවබෝධයෙන්ම වටහාගෙන, ඒ අමිල නිර්වානය සාක්ශාත් කොට, අනවරාග්‍ර සසරින් හා සසර දුකින් එතෙරවීමට සියල්ලෝම උත්සහ කරත්වා..!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දන්දීමේ යහපත සහ අනුසස්

මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානාධික බව දුරුකරලීම සඳහා සැවැත්නුවරදී යමා මහ පෙළහර පානු ලැබූ සේක. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පානු ලබන අසිරිය දෙස බලාසිටි බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ පිළිබදව ගෞරවයක්, පැහැදීමක් ඇතිකර ගනු ලැබූහ. සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකි, ඉතාමත් අපහසු කාරණා වුවද ඉතා සරල ආකාරයෙන් සිදුකරන නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීමක් ඇතිකරගනු ලැබූහ. උන්වහන්සේගේ ගිහිකළ ඥාතීන් බුදුරදුන් පිළිබදව ප්‍රසාදයක් ඇතිකර ගනු ලැබුවේද මේ ආකාරයටයි.

බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහිකල ඥාතීන් ඉදිරියේ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබු සේක. තව්තිසා දිව්‍ය ලෝකය බුදුරජාණන් වහන්සේට විශේෂ වූවක්.උන්වහන්සේගේ ගිහිකල මෑණියන් මාතෘ දිව්‍ය පුත්‍රයකු ලෙස පිරිමි ආත්මභාවයක් ලබාගෙන උප්පත්තිය ලබා සැපසම්පත් විඳීමින් තව්තිසා දිව්‍ය ලෝකය තුළ කාලය ගතකරමින් වැඩ සිටි සේක. තමන්ගෙන් තමන්ගේ මවට යුතුකම් ඉටුවිය යුතු බව සිතන පුතුන් සිටියි. එවැනි පුතුන් බුදුබණ අනුගමනය කරවන පුතුන් ලෙස හඳුනාගත හැකියි. බුදුරජාණන් වහන්සේ වුවත්, තමන් වහන්සේ බුද්ධත්වයට පත්වූවාට පසුවදි වුවත්, තමන්ගේ මවට ඉටුවිය යුතු යුතුකම් මොනවාද? යන්න පිළිබඳව කල්පනා කරනු ලැබූ සේක. ඒ අනුව දිව්‍යාලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳින මාතෘ දිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කර මාතෘදිව්‍ය පුත්‍රයාගේ දැනුම තවදුරටත් වර්ධනය කර නිවන් මාර්ගයට පාර කියන්න අවශ්‍ය යැයි සිතා තව්තිසා දිව්‍යලෝකයට වැඩම කරනු ලැබූහ.
තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ තම මාතෘදිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේ දිව්‍ය ලෝකය තුළ වැඩ සිටි විවිධ දැනුම් මට්ටම්වලින් යුක්ත වූ දෙවිවරුද, විවිධ සැපසම්පත් විඳිමින් සිටි බොහෝ දෙවිවරුද ධර්මය ශ්‍රවණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. බුදුරජාණන් වහන්සේ වටේ වාඩිවී සිටින දෙවිවරු බණ අසමින් සිටින ලදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබු ධර්මය මෑණියන්ට පමණක් නොවන අයුරුත් සියලුම දෙවිවරුන්ටත් ගැලපෙන ආකාරයටත් ධර්මය දේශනා කළ සේක. එම දෙවිවරු පිරිස අතර “අංකුර’ නම් වු දිව්‍ය පුත්‍රයකු ද “ඉන්දික” නමින් දිව්‍ය පුත්‍රයකු ද වැඩ සිටියේය. බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබූ බුදු බණ බුදුරජාණන් වහන්සේ සමීපයටම වී ඉතාම කැමැත්තෙන් ශ්‍රවණය කිරීමට පටන් ගනු ලැබූහ. එම දෙවිවරු දෙදෙනාම බණ ඇසීමට ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූවා සේම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූ නිසාම බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වී ඉතාම කැමැත්තෙන් ධර්මය ශ්‍රවණය කරනු ලැබූහ. “ඉන්දික” දිව්‍ය පුත්‍රයා ධර්ම ශ්‍රවණය කරමින් සිටිනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ සමීපයෙහි දකුණු පසින් වූ අතර අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි වම්පසින් වාඩිවී ධර්මය ශ්‍රවණය කරන ලදී. මඳ වේලාවක් ගතවීමත් සමඟ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩිවෙන්නට පටන් ගත්හ. බුදුරජාණන් වහන්සේ සමීපයට වී වාඩිවෙමින් ධර්මය ශ්‍රවණය කරනු ලැබු අංකුර දිව්‍යපුත්‍රයා බණ ඇසීමට පිරිස පැමිණීමත් සමඟම, දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පසුපසට ගියේය. ඉන්දික දිව්‍ය පුත්‍රයා ධර්මය ශ්‍රවණය කරමින් සිටි ස්ථානයෙහමි තවදුරටත් බණ අසමින් සිටියි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේදී ඉන්දික සහ අංකුර යන දිව්‍ය පුත්‍රයන් දෙදෙනා බණ ඇසීමට බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වුවත් එක් අයකු බොහෝ දුරට ගොස් සිටීමත් අනෙක් දිව්‍ය පුත්‍රයා සිටි ස්ථානයෙහිම සිටීමත් පිළිබඳව බුදුරජාණන් වහන්සේටත් ප්‍රශ්නයක් වුණි. බුදුරජාණන් වහන්සේ ‘අංකුර’ දිව්‍ය පුත්‍රයා අමතමින් මේ ආකාරයට විමසන්න පටන් ගනු ලැබූහ. “අංකුර දිව්‍යපුත්‍රයා” මෙහාට පැමිණෙන්න. ඔබ මාගේ වම්පස වාඩිවී බණ ඇසීමට පටන් ගනු ලැබූහ. ඒත් ඔබ දැන් දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පස්සෙන් පස්සට ගොස් ඈතට වී සිටියි. එයට හේතුවන කාරණාවක් තිබේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අතරතුරදීම අංකුර දිව්‍ය පුත්‍රයාගෙන් විමසනු ලැබූහ. බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රශ්නයට උත්තරයක් නොදී සිටීමත් එතරම් යහපත් ක්‍රියාවක් නොවේ. පිළිතුරු දීමට පිළිතුරකුත් තිබේ. එය බුදුරජාණන් වහන්සේට පැහැදිළි කිරීමටත් අවශ්‍ය බවට කල්පනා කරනු ලැබු අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ අමතා අනෙක් පිරිසටත් ඇසෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දෙනු ලැබූහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම පෙර ආත්ම භාවවල දඹදිව ධාරවතී නුවර ‘අංකුර’ නමින් රජකෙනෙකු ලෙස ජීවත් වුණි. දොළොස් යොදුන් පමණ පිළියෙළ කරගත් මහ දන් මහ සඟරුවනට මම ඉතාම සතුටින් පූජාකරනු ලැබූහ. ඒ දන් පිළිගැනීමට හාමුදුරුවරු වැඩම කර සිටියත් සිල්වත් භික්ෂූන් වහන්සේලා වැඩමවා සිටියේ නැහැ. දුසිල්වත් වු භික්ෂූන් වහන්සේල එම දානය පිළිගනු ලැබුවේ . එයින් මම බොහෝ දිව්‍යසැපයක් ලදිමි.මම පිළිගන්වනු ලැබූ දානය දුසිල්වතුන්ට පිළිගන්වනු ලැබූවද, එම දානය මම බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගන්වනු ලැබූ නිසාම එහි යහපත් විපාක මට පෙරළා ලැබුණි. එම සැප සම්පත් මම විඳිනු ලැබුවද, එම සැප සම්පත් එඩිතර සැපයක් බවට පත්වූයේ නැහැ. ඒ නිසා දොළොස් යොදුන් පමණ පසු බැස ගොස් සිටීමට අවසරයක් ලැබ සිටිති. මම පින්කම් කරනු ලැබූවත්, එම පින්කම් මහා බලයකින් යුක්ත නොවන්නේ මම පූජාකරනු ලැබු දානය පිළිගත් භික්ෂූන් වහන්සේලා සිල්වත්, ගුණවත් පිරිසක් නොවු නිසයි. මම දන් පූජාකළ ක්‍රියාවේ විපාකය ලෙස මම අද තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳුනු ලැබුවද එම සැප සම්පත්වල අභිමානය එතරම් එඩිතර නොවුනේ ඒ නිසයි. බුදුහාමුදුරුවනේ, යනුවෙන් මෙම කාරණාව ඈත සිට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවා. අංකුර දිව්‍ය පුත්‍රයා මෙම කාරණාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවේ බොහෝ දුර සිටයි.
බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිට බණ ඇසු “ඉන්දික’ දිව්‍ය පුත්‍රයාගෙන් මෙම ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විමසා සිටිනු ලැබුවේ ධර්මය දේශනා කරනු අතරතුරදීයි. “ඉන්දිකයිනි, ඔබ මාගේ සමීපයෙහි දකුණූ පස වාඩි වූවෙහිය. මාගේ වම් පස සමීපයෙහි වාඩි වූ අංකුරයන් මෙන් පසු නොබැස එම ස්ථානයෙහිම සිටිමින් බණ අසනු ලැබීමට හේතු වූ කාරණා මොනවාද? මෙම ආකාරයට බුදුරජාණන් වහන්සේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගෙන් ප්‍රශ්නය විමසූ විට ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයෙහි හිඳිමින්ම පිළිතුරු දෙනු ලැබූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මිනිස් ලොව දුගියෙක්ව ඉපිද ජීවිතය රැකගත් පුද්ගලයෙක්. ඒ කාලයේදි දවසක එක් අවස්ථාවක මට ලැබුණ එකම බත් හැන්දක් ඒ අවස්ථාවේ අනුරුද්ධ මහ රහතන් වහන්සේට මම පුජාකළා. මෙසේ බොහෝ සැප සම්පත් ලැබීමටත් එම සම්පත් එඩිතරව විඳීමටත් සිල්වතුන්ට දන් දුන් ඒ පින හේතු වුණා. එම එඩිතරභාවය වගේම තියෙන නිසා මම සිටි ස්ථානයෙහිම සිටින්නේ කියමින් දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනු ලැබූහ.
මෙම දෙදෙනාම දෙවිවරු වුවත් එහි කාරණා දෙකක් තිබෙන බව පැහැදිළියි. මෙම දෙවිවරු දෙදෙනාම දන් පැන් පූජාකර තිබුණත් එම දන් පැන් පිළිගෙන තිබෙන්නේ එකම වගේ සිල්වත් ගුණවත් අය නොවෙයි. එක දිව්‍ය පුත්‍රයෙක් දන් පැන් පුජාකර තිබුණද එම දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් නොවෙයි අනෙක් දෙවියා පූජාකළ දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් අපට පෙනෙන කාරණාව නම් තමන් සතුදේ අනුන්ට දීම යහපත් ක්‍රියාවකි.
තමන් දෙනු ලබන දෙය ලබන පුද්ගලයාත්, යහපත් දේ සමාජයට කරනවා නම් එය සිදුකරනු ලැබුවාවූ පින්කමේ අර්ථය වැඩියි. ඔහු කරනු ලබන්නේ සමාජයට අයහපත නම්, දුන් දෙය ලබන පුද්ගලයා සමාජයට අයහපත කරන නිසා එය පරිත්‍යාග කරනු ලබන දන් දෙන පුද්ගලයාටත් මෙය බලපානු ලබයි. දීම යහපත් ක්‍රියාවක් වුවද, වඩාත් වැදගත් වනුයේ අර්ථවත් ආකාරයෙන් පරිත්‍යාග කරන කාරණාව අපට මෙයින් පැහැදිලී වේ.
හේමමාලා රන්දුනු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සෝනක නම් වූ දිළිඳු තරුණයාගේ ධජ පූජාව

දුගී දුප්පතකු වූ සෝනකට තමා සන්තක ව තිබුණේ එක ම උතුරු සළුවක් පමණෙකි. එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ විසි රියන් පමණ වූ උණ ගසෙක අග කෙළවරෙහි කොඩියක් මෙන් ගැට ගසා චෛත්‍යය වටා ඔසවාගෙන යමින් සාදුකාර නඟමින් පිරිනිවන් පා වදාළ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අපිරිමිත වූ ශ්‍රද්ධාවෙන් ධජ පූජාවක් කෙළේ ය. සෝනක තරුණයාගේ තරමට එය අති විශිෂ්ට වූ මහානිසංස වූ උතුම් බුද්ධ පූජාවක් විය.
ලෝක සත්ත්වයා අනූපමේය මෛත්‍රී කරුණා ජලයෙන් සුවපත් කළා වූ සුවහසක් ලොවැ දනන් හට ශක්තියක් වූ තුන් ලෝකාග්‍ර වූ අසම සම වූ බුදුවරයන් වහන්සේ නමක උදෙසා පුද පූජා පවත්වමින් උපහාර දැක්වීමට සාමාන්‍ය මිනිසකු තුළ දැඩි ශ්‍රද්ධාවක් පහළ වූයේ නම් හෙතෙමේ මහා පුණ්‍යවන්තයෙකි. ඒ පිළිබඳව කතාන්තරයක් ධර්මයෙහි සඳහන් වන්නේ මෙසේ ය.
මේ මහා භද්‍ර කල්පයට පෙරාතු ව “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේ සමයෙහි “හංසවතී” නුවර එක් දුගී පවුලක පිරිමි දරුවෙක් උපන්නේ ය. නමින් ඔහු සෝනක නම් විය. අගහිඟකම් මැද ජීවත් වූ අසරණ පවුලක් නිසා නිසි වයසට පැමිණිය ද සෝනක දරුවාට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා දීමට ඔහුගේ මවුපියෝ අසමත් වූහ.
එදවස පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගෙන බණ ඇසීමට උන්වහන්සේ වැඩ විසූ විහාරය වෙත බොහෝ පිරිස් දිනපතා ගිය හ. ඒ බව නිතර දෙවේලේ දුටු සෝනක තරුණයා ද බුදුන් දැක බණ අසන්නට එම පිරිස් හා එක් විය.
ඔහු අනෙකුත් සැදැහැවතුන් මෙන් විහාරස්ථානය අතුපතු ගා පිරිසුදු කැරෙමින් මල් පහන් පුදමින් බුදුන් වැඳ බණ ඇසුවේ ය. තෙරුවන් සරණ ගිය ඔහු පංච ශීලය රක්ෂා කළ උපාසකයකු බවට පත් විය. මහා පරිමාණයෙන් දන් නොදුන්න ද විහාරස්ථානයෙහි කුදු මහත් කටයුතුවල දී ශ්‍රම දායකත්වයෙන් සිය යුතුකම් ඉටු කෙළේ ය. වත් පිළිවෙත් රකිමින් නිරන්තරයෙන් විහාරයට ගොස් පින්කම්වලට සහභාගි විය. මෙලෙස බුදුන් වඳින්නට ගිය සෝනක තරුණයා ගැන කා තුළත් පැහැදීමක් ඇති විය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සද්ධර්මය දේශනා කැරෙමින් වැඩ හිඳ අවසානයේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය කොටැ ප්‍රත්‍යක්ෂ කැරෙමින් පිරිනිවන් පා වදාළ සේක.
ආදාහනයෙන් පසු ශේෂ වූ ශාරිරීක ධාතූන් වහන්සේලා ඒකරාශී කොට සත් යොදුන් උස මහා චෛත්‍යයක් ඉදිකරවා එහි ධාතූන් තැන්පත් කළ හ. එසේ තැන්පත් කොටැ පදුමුත්තර සර්වඥ ධාතුන් නිදන් කරන ලද මහා චෛත්‍ය රාජයාණන්ට පුද පූජා පැවැත්වූ දහස් ගණන් සැදැහැවතුන් පින්වතුන් අතර සෝනක තරුණයා ද විය. මල් මාලා මල් වැල් ධජ පතාකාදියෙන් චෛත්‍යය සරසමින් ගෞරව උපහාර දැක් වූ මහා ජන සමූහයා මෙන් නොව, සෝනක තරුණයාගේ පූජාව වෙනස් මඟක් ගත්තේය.
දුගී දුප්පතකු වූ සෝනකට තමා සන්තකව තිබුණේ එක ම උතුරු සළුවක් පමණෙකි. එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ විසි රියන් පමණ වූ උණ ගසෙහි අග කෙළෙවරෙහි කොඩියක් මෙන් ගැට ගසා චෛත්‍යය වටා ඔසවාගෙන යමින් සාදු නාද නඟමින් පිරිනිවන් පා වදාළ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අපරිමිත වූ ශ්‍රද්ධාවෙන් ඔහු ධජ පූජාවක් කෙළේ ය. සෝනක තරුණයාගේ තරමට එය අති විශිෂ්ට වූ මහානිසංස වූ උතුම් බුද්ධ පූජාවක් විය.
සෝනක දුගී තරුණයාගේ අසහාය වූ බුද්ධ පූජෝපහාරය චෛත්‍යය ආරක්‍ෂාවට පැමිණ සිටි යක්ෂ සේනාධිපතියන් අතරින් නායක “අභිසම්මතක” නම් යක්ෂ සේනාධිපති තෙමේ දැක සෝනක තරුණයා කෙරෙහි අතිශයින් ම පැහැදුණේ ය. පැහැදී ඔහු ගැන මහත් අනුකම්පාව ඇති වැ,
“මෙම සෝනක තරුණ තෙමේ එසේ මෙසේ ව පුණ්‍යවන්තයකු නොවේ. පිනට දහමට ලැදි මොහු බෙහෙවින් ශ්‍රද්ධාවන්ත ය. දුගී දුප්පත්කමින් මිරිකී ගිය ද ඔහු සතු එක ම වස්තුව මෙම උතුරු සළුව පමණෙකි.
එය මැනැවින් සෝදා පිරිසුදු කොටැ කොඩියක් සේ උණ ගසෙක මුදුන් කෙළවර ගැට ගසා ඔසවා ගෙන චෛත්‍යය වටා ප්‍රදක්ෂිණා කැරෙමින් සර්වඥ ධාතූන් වහන්සේලා වෙතැ දක්වන මෙම උපහාරය සුළු පටු නොවූ පින්කමෙකි. මතු ආත්ම භාවයන්ට රැස්කර ගන්නා මහත් වූ කුසල ශක්තියකි. එසේ හෙයින් ම විසින් ද මොහුට යම් උපකාරයක් කළ යුතු යැ” යි සිතී ය.
ඉන්පසු කොඩියක් මෙන් උණ ගසේ මුදුන් කෙළවර ගැට ගසා චෛත්‍යය වටා ඔසවා ගෙන ගිය උතුරු සළුව යක්‍ෂ සේනාධිපති විසින් තමා අතට ගත්තේ ය. ගෙන අන්‍යයන්ට නොපෙනෙන සේ කොඩිය පමණක් ප්‍රදර්ශනය වන අයුරින් චෛත්‍යය වටා අහසින් යමින් එය ප්‍රදර්ශනය කෙළේ ය.
ආශ්චර්යවත් මේ සිද්ධිය දැකීමෙන් විස්මයට පත් වන්දනාකරුවන් මහත් සේ හඬ නඟා සාදු නාද පැවැත්වූහ. එයින් වඩාත් ප්‍රමෝදයට පත්ව ධෛර්යමත් වූ සෝනක වඩ වඩාත් පින්කම්වල යෙදෙමින් සැපවත් ජීවිතයක් ගෙවී ය. මෙලෙස කාලය ගෙවී යත් ම වියපත් ව මිය ගොස් දෙව් ලොව දිව්‍ය පුත්‍රයකු ලෙස පහළ විය.
එතැන් පටන් මහා කල්ප ලක්‍ෂයක් පුරා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල උපත ලබමින් අප්‍රමාණ වූ දිව්‍ය සැප මනුෂ්‍ය සැප අනුභව කැරෙමින් අවසානයේ මේ මහා භද්‍ර කල්පයෙහි අපගේ ශාන්ති නායක වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ සැවැත් නුවර වංශවත් බ්‍රාහ්මණ පවුලක උපත ලැබී ය. මෙසේ උපත ලද පින්වත් බ්‍රාහ්මණ කුමරු “උපවාන” නම් විය.
උපවාන කුමරු විසි වයස් පැමිණ කල්හි දක්‍ෂ ලෙස ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කෙළෙන් තරුණ විය එළැඹෙත් ම ඉගෙනීමේ කටයුතු නිම කෙළේ ය.
මෙම අවස්ථාව වන විට අනාථපිණ්ඩික මහා සිටාණෝ අප බුදුපියාණන් උදෙසා ජේතවන විහාරය ඉදිකිරීමේ පින්කමෙහි නිරතව සිටියහ. නිරන්තරයෙන් පිනට දහමට සිත් ඇලී සිටි උපවාන බමුණු තරුණයා ජේතවන මහා විහාරය බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වෙතැ පූජා කිරීමේ අති උතුම් පුණ්‍ය කර්මයට ද සහභාගි වෙමින් ඒ සඳහා දායකත්වය සපයමින් කුසල් සම්භාරයක් රැස්කර ගනිමින් අතිශය සතුටට පැමිණ සිටියේ ය.
ජේතවන මහා විහාරය බුදුරදුන් වෙතැ පූජා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ එහි වැඩ වාසයට පැමිණීම නිසා සැවැත්නුවර වාසීන්ට පින්දහම් හි යෙදීමට හොඳ ම අවස්ථාව උදා විය. මේ නිසා බුදුන් වැඳ බණ ඇසීමට යන පිරිස දිනෙන් දින දස දහස් ගණනින් වැඩි වන්නට විය.
උපවාන තරුණයා ද දිනපතා බණ අසන්නට ජේතවනාරාමයට ගියේ ය. එහෙයින් ඔහු තුළ පැවැති ශ්‍රද්ධාව වඩ වඩාත් දියුණු විය. එමෙන් ම බණ ඇසීමෙන් ජීවිතය පිළිබඳ යථාවබෝධයක් ලැබී ය.
ජීවිතයෙහි නිස්සාර බව දුටු හෙතෙම කළකිරීමට පත් විය. තෙරක් පරතෙරක් නැති කම්කටොලුවලින් ගහන ගිහි ජීවිතයෙහි කටුක දුක අවබෝධ කෙළේය. කළකිරීමට පත් උපවාන තරුණයාට පැවිදිවන්ට සිතක් පහළ විය.
නොබෝ කලෙකින් බුදුරජාණන් වහන්සේ වෙතැ එළැඹි උපවාන තරුණයා උන්වහන්සේගේ අනුදැනීම මත පැවිද්දට පත් වූයේ ය.
බුදුන් වහන්සේ ඇසුරු කැරෙමින් උන්වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් උපස්ථානයෙහි යෙදුන උපවාන භික්ෂූන් වහන්සේ බණ දහම් හදාරමින් දියුණු කැරගත් ප්‍රඥාව ඇත්තේ විවේකස්ථානයක් සොයා ගොස් බවුන් වඩා වැඩිකල් නොගොස් සව් කෙලෙසුන් ප්‍රහීන කොටැ ලබන්නා වූ ප්‍රණීත වූ මහ රහත්භාවයට පත් වූහ.
ධාතූන් වහන්සේලා නිදන් කළ චෛත්‍යය වටා පුරා මාසයක් ප්‍රදක්ෂිණයෙහි යෙදෙමින් පදුමුත්තර සර්වඥයන් වහන්සේ නමට ධජ පූජාවක් පැවැත්වීමෙන් උපහාර පැවැත්වීය. එහි කුසල් බලයෙන් මහා කල්ප ලක්ෂයක් පුරා දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා අප්‍රමාණ වූ සැප සම්පත් විඳ අවසානයේ මාගේ ශාසනයෙහි පැවිදව මහ රහත් භාවයට පත් වූහ” යි ;පර’පර සන්ධි ගලපා වදාළ සේක. බුදුන් වහන්සේගේ දේශනයට සවන් දුන් ශ්‍රාවකයින් බොහෝ දෙනෙක් මාර්ග ඵල ලාභීහු බවට පත් වූහ.
උඩුබද්දාවේ සෝමරත්න බන්නැහැක
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
Related Posts Plugin for WordPress, Blogger...