රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ

සෘද්ධි බලයෙන් බුදුරජාණන්වහන්සේට පමණක් දෙවෙනි වූ ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ 

අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.

මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා.

ඒ දෙපල එතැන් පටන් නොයෙක් පින්කම් කරමින් ඉඳල මරණින් මතු සුගතියේ ඉපදිලා ගොඩක් කල් සසර සැරිසරලා ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලෙ “උපතිස්ස” හා “කෝලිත” නමින් රජගහනුවර බමුණු කුල වල උපත ලැබුවා. ඒ කාලෙ වාර්ෂිකව පැවැත්වුණු “ගිරග්ග සමජ්ජ” කියන නාට්‍ය සංදර්ශනේ බලලා, සසර කලකිරිලා, ගිහිගෙයින් නික්මිලා සත්‍ය සොයාගෙන ගිය කතාව ඔයාල දන්නවනෙ. ඉතින් ඉස්සෙල්ලම ගියේ “සංජය” පරිබ්‍රාජකතුමා ලඟට. එතනදී තවුස් භාවය ලබාගෙන, උගත් යුතු සියල්ල ඉගෙන ගෙන, එයින් පලක් නැති බව හිතලා නියම දහම් මඟ හොයාගෙන ගියානෙ. එහෙම ගිය ගමනෙදි තමා උපතිස්ස පරිබ්‍රාජකතුමාට “අස්සජි” මහ රහතන් වහන්සේ හමුවුණේ. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ දැක පැහැදිලා කිසිවක් නොකියා පසුපසින්ම ගමන් කළා. දන් වළඳලා ඉවර වුණාම ලඟට ගිහින් උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. එහිදී තමා “යේ ධම්මා හේතුප්පභවා...” ගාථාව දේශනා කළේ. උපතිස්ස පිරිවැජියාගේ නුවණැති බව කොච්චරද කියනවා නම් ගාථාවේ දෙපදයක් අහද්දීම සෝවාන් පලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේගෙන් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය අහල දැනගත්තු උපතිස්ස පිරිවැජියා කෙළින්ම ගියේ තම මිත්‍ර කෝලිත පිරිවැජියා මුණගැහෙන්න. ගිහින් “යේ ධම්මා හේතුප්පභවා..” ගාථාව පැහැදිලි හඬින් දේශනා කළා. සම්පූර්ණ ගාථාව අවසානයේ කෝලිත පිරිවැජියාත් සෝවාන් වුණා. බුදුන් දකින්නට යන්න පළමුව ඒ දෙදෙනාට මතක් වුණේ සංජය පිරිවැජියාව. ඔහුට කොතෙක් කතා කළත් ඔහු බුදුන් හමුවට යාම ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා උපතිස්ස- කෝලිත පිරිවැජියන් දෙදෙනා ඔවුන් සමඟ යාමට කැමති තවත් 250ක පිරිසක් එක්ක ගෙන වේළුවනාරාමය බලා පිටත් වුණා. (මේ කතාව ඔයාල හැමෝම දන්නවා නේද? දන්නෙ නැති එක්කෙනෙක් වත් හිටියොත් කියලයි කිව්වේ)

එවෙලෙ දම්සභාමණ්ඩපයෙහි වැඩහුන් බුදුන් වහන්සේ ඈත එන පිරිස දැකලා “මගේ ශාසනයේ දෑගසව්වන් වන්නේ ඉදිරියෙන්ම එන ඒ දෙදෙනා බවත්, උපතිස්ස තෙමේ “සාරිපුත්ත” නමින් දකුණත් සව් වන බවත් කෝලිත තෙමේ “මහා මොග්ගල්ලාන” නමින් වමත් සව් වන බවත්” වදාළා. ඊට පස්සෙ ඒ පිරිස බුදුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සියලු දෙනාටම “ඒහි භික්ඛු” භාවයෙන් පැවිද්ද ලබා දුන්නා. ඊට පස්සෙ ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ සැරියුත්, මහ මුගලන් තෙරුන් හැර අනික් 250 දෙනාම රහත් බව ලැබුවා.

උපතිස්ස- කෝලිත පැවදි වීම
එදිනම මහ මුගලන් තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මගධ රට “කල්ලවලමුත්ත” කියන පිටිසර ගමට ගියා භාවනා කරන්න. දවස් 7ක්ම සක්මන් කරමින් භාවනා කළා. නමුත් කිසිම මාර්ගඵලයක් ලැබුණේ නෑ. නිදි කිරා වැටෙමින් උන්නා. බුදුන් වහන්සේ දිවැසින් මේ සිද්ධිය දැකලා මුගලන් තෙරුන් වෙත වැඩම කරලා උන්වහන්සේට එයින් මිදෙන්න ධර්මාවවාද ලබා දුන්නා. ඊට පස්සෙ නැවත බුදුන් වහන්සේ උන්නු තැනටම වැඩියා. බුදුන් වහන්සේ දුන්නු අවවාද අනුව භාවනා කරලා මුගලන් තෙරණුවෝ මහ රහත් භාවයට පත් වුණා. එපමණක් නෙමේ, සෘධිමත් භාවයෙනුත් ඉහළම ස්ථානයට පැමිණුනා.
මුගලන් තෙරුන් රහත් බව ලබා සතියකින් සැරියුත් තෙරුන් රහත් බව ලැබුවා. අනතුරුව බුදුන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරා ගෙන වේළුවනාරාමයට වැඩලා සියළුම භික්ෂූන් රැස් කරලා සැරියුත්- මුගලන් දෙපළට අගසව් තනතුරු පිරි නැමුවා.

මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.

මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.

මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම
(මට මතක හැටියට බුද්ධත්වයෙන් 12 වන වස.. )මේ වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් සියළු සත්වයෝ අටලෝ දහමට මුහුණ දිය යුතු නිසා බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.

නන්දෝපනන්ද නා රජු දමනය
දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා.(බලන්න ඔයාලගේ ගමේ පන්සලෙත් මේ සිදුවීමට අදාළ චිත්‍රයක් ඇඳලා තියෙනවද කියලා)

නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම
නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්‍රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා.

කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම
මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ... ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.

බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම
බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස දැන්වූවා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.

මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.

මුගලන් මහ රහතන් වහන්සේ ඉතා ලඟින් ඇසුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා ලක්ඛණ තෙරුන් වහන්සේ. මුගලන් තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයේ වැඩ වාසය කරන කාලයේ රජගහනුවරට පිඬු සිඟා වැඩියේ ලක්ඛණ තෙරුන් සමඟයි. එසේ පිඬු සිඟා වඩින්නට පර්වතයෙන් බහින අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සිනා පහල කරනවා.(මගේ අභිධර්ම දැනුම නිවැරදි නම් රහතන් වහන්සේලා සිනා පහල කරන අවස්ථාවේ හට ගන්නා සිත හසිතුප්පාද සිත... )ඒ අවස්ථාවේදීම ලක්ඛණ තෙරුන් සිනහවට කරුණු විමසන නමුත් මුගලන් තෙරුන්ගේ පිළිතුර වෙන්නේ “සවස භාග්‍යවතුන්වහන්සේ හමුවේදී මගෙන් ඔය ප්‍රශ්නය අසන්න” කියායි. එසේ සවස බුදුන් වහන්සේ හමුවේ මුගලන් තෙරුන්ගෙන් ඒ පිලිබඳ ඇසුවාම උන්වහන්සේ තමා සිනා වුණු කාරණා පැහැදිලි කළා. බුදුන් වහන්සේ එම කතා අනුමත කරමින් තමන් වහන්සේද ඒ සිද්ධි එලෙසින්ම දැක ඇති බවත්, කිසියම් ශ්‍රාවකයෙකු ඒවා දකින තුරු එම සිද්ධි විස්තර නොකළ බවත් පවසමින් ඒවායේ අතීත කතා දේශනා කරනු ලැබුවා. මේ එවැනි සිද්ධි කීපයක් ලුහුඬින්.
• ඇටසැකිලි ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ගවයන් මරන්නෙක්
• මස් වැදැල්ලක් බඳු ප්‍රේතයෙක් - ඔහුත් රජගහ නුවරම සිටි ගවයන් මරන්නෙක්
• මස් පිඬක් බඳු ප්‍රේතයෙක් - රජගහ නුවර ලිහිණියන් මරා මස් විකිණූ තැනැත්තෙක්
• සිවිය නැති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බැටළුවන් මරන තැනැත්තෙක්
• අසිලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ඌරන් මරන තැනැත්තෙක්
• සැත්ලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි මුවන් මරන්නෙක්
• හී ලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි වධකයෙක්
• හිඳිලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි රථාචාර්යයෙක්
• හිඳිලොම් ඇති තවත් පුරුෂ ප්‍රේතයෙක් - රහගහ නුවර කේලම් කියමින් සිටි තැනැත්තෙක්
• කළගෙඩියක් තරම් අන්ඩයක් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බොහෝ අල්ලස් ගත් ඇමතියෙක්
• අසූචි වලක ගිලුණු පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි පරඅඹුවන් සේවනය කළ තැනැත්තෙක්
• අසූචි වලක ගිලී අසූචි කන පුරුෂ ප්‍රේතයෙක් - කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂු සංඝයාට දනට ආරාධනා කොට අසූචි වළඳන්නයි කියා, අසූචි පිරවූ ඔරු පෙන්වා නින්දා කළ පවිටු බමුණෙක්
• සිවිය නැති ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි ගණිකාවක්
• අතිශයින්ම කුණු ගඳ ගසන පිළිකුල් සහගත ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි මන්තර ගුරුකම් කළ යක්දැස්සියක්
• ගින්නෙන් පැසී ගිය, ගිනි අඟුරු වලින් වට කරගත් ප්‍රේත ස්ත්‍රියක් - කලිඟු රජතුමාගේ අග බිසව වූ තැනැත්තියයි. රජුගේ අනෙක් බිසව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇගේ ඇඟ මතට ගිනි අඟුරු කබලක් හෙලීම නිසා
• අහසෙහි ගමන් ගන්නා කවන්ධයක් - රජගහ නුවර “හාරිත” නමින් ප්‍රකට චෝරඝතකයෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මහණෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මහණෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මෙහෙණක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මෙහෙණක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සික්ඛමානාවක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සික්ඛමානාවක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරයෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරයෙක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරියක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරියක්සර්පයෙක් වැනි ප්‍රේතයෙක් - බරණැස් නුවර වැඩ හුන් පසේබුදු කෙනෙකුගේ අසපුව ගිනිබත් කළ දුෂ්ට ගොවියෙක්
• සට්ඨිකුට ප්‍රේතයා - “සුනෙත්ත” නම් පසේබුදු වරයන් වහන්සේට අතේ ඇඟිලි ශිල්පය යොදා ගනිමින් ගල් කැටයක් විදි පුරුෂයෙක්
• පිඹුරු ප්‍රේතයෙක් - කාශ්‍යප බුදුන් කළ සිටි “සුමංගල” නම් සිටුතුමා, බුදුන් වහන්සේට පිදූ විහාරය ගිනි තබා විනාශ කළ සොරා

මේ ඇතුළු තවත් ප්‍රේතයන් සමූහයක් මුගලන් තෙරුන් දුටුවා. ප්‍රේතයින් පමණක් නෙමේ, මුගලන් තෙරණුවෝ තව්තිසා දෙව්ලොව දේව චාරිකාවේ යෙදෙද්දී බොහෝ දෙවියන්, දිව්‍යාංගනාවන් මුණ ගැසුණා. ඔවුන් ඒ සා සැප සම්පත් ලැබීමට හේතු වූ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගෙන එම තොරතුරු බුදුන් වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ ඒ කරුණු මුල් කරගෙන දහම් දෙසුවා. මේ ඒ වගේ කතා කීපයක් ඉතා ලුහුඬින්;

• පතිව්‍රතා දෙවඟන - සැවැත්නුවර සිටි, දිවිහිමියෙන් පතිව්‍රතා ධර්මය රැකීම නිසා දෙව්ලොව ඉපිද මහත් සේ බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• පීඨවිමාන දෙව්දුව - පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ කෙනෙකුට සැදැහැයෙන් දන් පිරිනමා අවසානයේ උන්වහන්සේ වැඩ සිටි අසුනද පූජා කොට, දෙව්ලොව ඉපිද සිතේ වේගයෙන් අහසේ ගමන් කළ හැකි විමානයක් වන් අලංකාර පුටුවක් ලැබූ කෙනෙක්
• කුඤ්ඤර දෙව්දුව - සැරියුත් මහ තෙරුන් වහන්සේට තමාගේ අතින්ම සකස් කළ දානය පිළිගන්වා උන්වහන්සේ වැඩ හුන් පුටුවද පූජා කොට, දෙව්ලොව ඉපිද සුදු ඇත් වාහනයක් ලද තැනැත්තියක්
• නාවුකා දෙව්දුව - පිපාසයෙන් හා කායදාහයෙන් පීඩාවට පත්වී සිටි භික්ෂූන් වහන්සේලා 16 නමකට සැදැහැ සිතින්පැන් පිළිගන්වා, දෙව්ලොව ඉපිද මනහර පොකුණක්ද නැව්විමනක්ද ලැබූ තැනැත්තියක්
• දීප විමාන දෙව්දුව - ඝන අඳුරක් පැවති පොහෝ දින ධර්ම ශාලාවක රැය පහන් වන තුරු පහන් දල්වා, දෙව්ලොව ඉපිද සිකුරු තරුව මෙන් බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• තිලදක්ෂිණා දෙව්දුව - බුදුරදුන් හට තල දෝතක් පිරිනමා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලැබූ ගැබ්බර කාන්තාවක්
• සුණිසා දෙවඟන - තමාගේ ආහාර කොටස රහතන් වහන්සේ නමකට පිළිගන්වා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• භික්ඛාදායිකා දෙවඟන - බුදු රජාණන් වහන්සේට දන් පිළිගන්වා දෙව්ලොව ඉපිද සුරූපී බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• අනේකවර්ණ දිව්‍ය පුත්‍රයා - සුමේධ බුදුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයෙක්ව සිට, උන්වහන්සේගේ ධාතුන් නිධන් කොට තැනූ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර, දෙව්ලොව ඉපිද නොයෙක් වර්ණයෙන් බබළන ශරීරයක් ලැබූ අයෙක්
• සුවර්ණ දෙව් පුතු - බුදුන් වහන්සේට සියල්ල සපිරි මනරම් විහාරයක් සාදවා පූජා කොට, දෙව්ලොව ඉපිද සත් රුවනින් සැදි විමානයක් සහ රන්වන් ශරීරයක් ලැබූ අයෙක්

මේ ආකාරයෙන් දේව චාරිකාවේදී මුණ ගැසුණු දෙව් පුතුන් සහ දිව්‍ය අංගනාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඹ දෙව් පුතු, උළාරා දෙවඟන, පාරිච්ඡත්තක දෙවඟන, සුනික්ඛිත්ත දිව්‍ය පුත්‍රයා, කුණ්ඩලී දෙව්පුතු, භික්‍ෂාදායක දෙව්පුතු, මඤ්ජෙට්ඨක දෙවඟන, කඤ්ජිකදායිකා දෙවඟන, නාග විමාන දෙව්පුතු, උපස්සයදායක දෙව්පුතු, රජ්ජුමාලා දෙවඟන, කන්ථක දෙව්පුතු, කර්කටකරසාදයක දෙව්පුතු, ගෝපාල දෙව්පුතු වගේ අය....

දැන් එමු මුගලන් මහ රහතන් වහන්සේගේ අවසාන කාලයට.. තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.(වෛරයක් ඇති වුණේ මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩලා දිව්‍ය සම්පත් ලැබීමට හේතුවෙන කරුණු දැනගෙන ඒවා බුදුන් වහන්සේට පැවසීම නිසා බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යාම නිසා) ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළත් මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ සෘද්ධි බලය පාවිච්චි කරලා එතනින් ගැලවිලා ගියා. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.
තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්‍රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.

ඒත් එක්කම අහස දෙදරුවා. මහා භූමිකම්පාවක් ඇති උණා. මුහුදු රලේ වේගය වැඩි වුණා. දෙව් බෙර පැලුනා. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත්තු දෙවිවරු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කළුගල් ලෙනට වැඩියා. මුගලන් තෙරණුවෝ පිරිණිවන් පාද්දී සැරියුත් තෙරුන් පිරිණිවන් පාලා දින 15ක් ගත වෙලයි තිබුණේ.

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලවා මුගලන් මහ රහතන් වහන්සේගේ දේහය දෙවිවරු විසින් කරවපු සඳුන් චිතකයක නංවා ආදාහනය කළා. ඉතිරි වුණු ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය අනුග්‍රහ ඇතිව ස්ථුපයක් කරවලා ඒකෙ තැන්පත් කළා. එය වන්දනාවට ලක්වෙන වස්තුවක් බවට පත් කළා.

අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් චරපුරුෂයින් විසින් සොරු කණ්ඩායම අල්ලා ගත්තා. මුගලන් තෙරුන් මරා දැමීමේ විපාක වශයෙන් ඔවුන්ටත් දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙන් මරණ දඬුවම ලැබුනා.මුගලන් මහ රහතන් වහන්සේට මේ වගේ දුක්ඛිත මරණයක් උදා වුනේ ඇයි කියලත් හොයල බලන්න ඕනනේ නේද? බුදුන් වහන්සේ ඒකට හේතුවත් පසුකාලයේ වදාළා.

පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. (ඔන්‍න‍ බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)

මුගලන් මහ රහතන් වහන්සේගේ චරිතයට සම්බන්ධ වන පුද්ගලයින්

නොපැහැදිලි කියලා හිතෙන දේවල් :-
• පරිබ්‍රාජක - බුදුන් දවස දඹදිව 62ක් ආගම් පැවති බව කියවෙනවා. මේකත් එකක්.
• ඒහිභික්ඛු - බුදුන් වහන්සේ “එව මහණ” කියූ පමණින් හැඳ සිටි වස්ත්‍ර වෙනුවට සිවුරු පෙරවිලා, හිස මුඩු වෙලා පැවදි වෙස් ගැනීම
• දිට්ඨධම්මවේදනීය කර්ම පලදීම - මේ භවයේදී කරන හොඳ හෝ නරක කර්ම වල විපාක මේ භවයේදීම විඳින්නට සිදුවීම
• ආනන්තරීය පාපකර්ම - මේවා 5ක් තියෙනවා. මෙව්වා එකක් හරි කළොත් ගොඩක් කල් අපායේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම

ප.ලි - මේ පෝස්ට් එකට විස්තර සහ රූප ප්‍රධාන වශයෙන්ම ලබා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ අයියගේ “මුගලන් මහ රහතන් වහන්සේ” පොතෙන්. පින්තූර හොයාගන්න මට උදව් කළේ හසිත අයියා. ඔයාලත් පොත හොයාගෙන කියවන්න. විස්තර ගොඩක් තියෙනවා.
කියවූ හැමට පින් සිදු වේවා..
Budu Maga

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සොඳුරු පිනැත්ති

ඒ මීට වසර 2559කට විතර කලින් උදා වුණු සුන්දර දවසක්. රජගහනුවර වීදි දිගට මුව අයා ගත්තු අන්‍යාගමික පිරිස්, අන්‍යාගමික ශ‍්‍රාවකයෝ ඉහළ අහස දිහා පුදුමයෙන් බලාගෙන හිටියා. තෙරුවන් සරණ ගියපු ශ‍්‍රාවක පිරිස් සාදුකාර දිදී සතුටු කඳුළු වගුරවමින් හිටියා. සිටු මැදුරුවල, රජ මැදුරුවල ඉහළ සඳලූතලවලට නැගපු තරුණ පිරිස් ‘‘එ්කාන්තයෙන් ම එ් භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක….” කියලා බුදු ගුණ කියමින් හිටියා. හරිම අසිරිමත් සිදුවීමක් එවෙලෙහි සිදුවෙමින් තිබුණා. ඉහළ ආකාසෙන් අහස් වියනක් වගේ හැදුණු ලස්සන සුදු මල් වියනක් ජේතවනාරාමේ දෙසට පාවෙමින් තිබුණා…

එ් අතරතුරේ සුදත්ත නම් වූ අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසිලා සොඳුරු කථා බහක යෙදෙමින් හිටියා. අනේපිඬු සිටුතුමා පසු දිනට තමන්ගේ නිවසට දානෙට වඩිනා ලෙසට භාග්‍යවතුන් වහන්සේගෙන් ඇරයුම් කළා පමණයි. සොඳුරු මුව මඬලකින් හෙබි එ් අරහත් වූ සම්මා සම්බුදුරජාණෝ එවෙලෙහි සිටුතුමාට මේ දෙය පවසා සිටියා.
‘‘පින්වත් ගෘහපතිය, මම හෙට දානය පිළි අරගෙනයි තියෙන්නේ. ඔබේ චූටි දියණිය චූල සුභද්‍රා හෙට 500ක් රහතන් වහන්සේලා සමඟ ඇගෙ නිවසට දානයට වඩින්නට මේ දැන් මට ආරාධනා කළා. මම එ් ඇරයුම පිළිගත්තා.”
එතකොට අනාථ පිණ්ඩික සිටුතුමා කියනවා, ‘‘ස්වාමිනී ඇය ඉන්නේ බොහෝ දුර ඈතකනේ. අනික ඇගේ පණිවිඩකරුවෙක්වත් එනවා මම දැක්කේ නැහැනේ.” භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ‘‘සිටුතුමනි බලන්න ඉහළ අහස දෙස. ඔය ඇවිත් තියෙන සුදු මල් වියන පේනවා නේ ද? එ් තමයි ඔබේ දියණියගේ දාන ඇරයුම.” සිටුතුමා හරි ම සතුටු වුණා. සාදු සාදු කියලා අනුමෝදන් වුණා.
එදා සිද්ධ වුණේ හරි ලස්සන සිදුවීමක්. චූල සුභද්‍රා බාල වයසේ දී ම භාග්‍යවතුන් වහන්සේව සරණ ගියපු භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක දියණියක්. උදේ, දවල් උතුම් රහතන් වහන්සේලා සිය ගණනකට ඇගේ අතින් ම ඇයත් දන් බෙදුවා. ඈ බාල කාලේ ම තෙරුවන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවට පත් වුණු සෝතාපන්න ශ‍්‍රාවිකාවක්. කල වයස පැමිණියාම ඈව ආවාහ කරලා දෙන්න සිටුතුමාට සිදු වුණා. භයක් සැකක් නැතුව ම ඈව අන්‍යාගමික ශ‍්‍රාවක වූ සිටුවරයෙකුට සරණ පාවා දුන්නා. එ්කත් ඉතා දුර නගරෙක. සිටුතුමා දැනගෙන හිටියා තමන් සරණ ගියපු තිසරණය මොන හේතුවකටවත් චූල සුභද්‍රා දියණිය අත් හරින්නේ නැහැ ය කියලා…
ඇය විවාහයෙන් සම්බන්ධ වුණ නිවසේ අයත් පිනට දහමට කැමති අය. නමුත් ප‍්‍රශ්නයකට තිබුණේ ඔවුන්ට බුද්ධ, ධම්ම, සංඝ කියන උතුම් තෙරුවන මුණ නො ගැසී තිබීම යි. ඔවුන් රහතන් වහන්සේලා කියලා රැුවටිලා හිටියා, සරණ ගිහින් හිටියා ඇඳුම් නැතිව නිරුවත්ව හිඳීම තරම් අල්පේච්ඡ ජීවිතයක් වෙන නැතැයි කියපු, මැරිලා ගියත් ඇල්දිය පානය කරපු, එළවළුයි බතුයි විතරක් කකා අතිශය දුෂ්කර තාපස ක‍්‍රමයක් අනුගමනය කරපු නිගණ්ඨ පිරිසට. චූල සුභද්‍රා විවාහ වෙලා එ් නිවසට ගියා ම මේ ගෙදර අය කථා වුණා ඔවුන්ගේ එ් ‘රහතන් වහන්සේලාට’ දානයක් දෙන්න. පසුවදා ම එ් වෙනුවෙන් වෙන් කර ගත්තා.
චූල සුභද්‍රාවත් නිතර තෙරුවන ම සිහි කර ගනිමින්, තෙරුවනට වන්දනා කරමින් තමයි කාලය ගත කළේ. ඈට සංඝයා නො දැක සිටි අල්ප කාලය, සංඝයාට දානයක් පුජා නො කර හිටපු එ් පොඩි කාලය කල්පයක් වගේ වෙන්න ඇති. පසුවදා උදෙන් ම සේවිකාවක් චූල සුභද්‍රාවට පණිවිඩයක් ගෙනාවා.
‘‘ස්වාමි දියණිය, පහළට එන්න. රහතන් වහන්සේලා දානයට වැඩියා.”
චූල සුභද්‍රාවගේ සතුට ඉහ වහා ගියා. සතුට වැඩිකමට ඈ පඩිපෙළ හනි හනිකට බැහැගෙන බැහැගෙන ආවා. පහළට එද්දී ම ඈට පෙනුනේ පිළිකුල් සහගත දර්ශනයක්. මොනර පිල් කළඹක් අත්වලින් දරාගෙන, රැවුල් කොණ්ඩා වවාගෙන, දුහුවිලි පිරුණු අපිරිසිදු සිරුරුවලින් යුතුව උපන් ගමන් වගේ නිරුවතින් ඉන්න නිගණ්ඨයෝ පිරිසක්.
‘‘චී… මේ මොකද? මේ කවුද මේ?” කියලා ලැජ්ජාවෙන් යුතුව අහපු චූල සුභද්‍රා ආයෙත් ආවටත් වඩා වේගයෙන් දිව්වා කාමරයට. නිගණ්ඨයන්ට දරා ගන්නට බැරි වුණා, ලැජ්ජාවට පත් වුණා. ‘‘මේ මූසල කෙල්ලෙක් ගෙනල්ලා නේ මේ ගෙදරට… අපිට ඕනි නැහැ උඹලගේ ඔය දානය.” කියලා බැණ බැණ යන්න හැදුවා. එ් නිවසේ සිටුතුමා චූල සුභද්‍රාව කමා කරවන්නම් කියලා යාප්පු වෙලයි දානය නිගණ්ඨයන්ට පිළිගැන්නුවේ. එ් පිරිස ගියාට පස්සේ අර නිවසේ උදවිය, ‘‘අනේ මේ දැරිවි නිසා අපේ රහතන් වහන්සේලාට හිත් රිදවීමක් වුණා නෙව… ආයෙ වඞී ද දන්නෙත් නැහැ.” කියලා චූල සුභද්‍රාවට දොස් නගන්න ගත්තා. මාමණ්ඩිය ඇයව කැඳවලා ඇහුවා මේ කරපු වැඬේ තේරුම මොකක් ද කියලා…
අන්න එ් වෙලාවේ මේ අභීත දියණිය කියා සිටිනවා, ‘‘අනේ මේ නිරුවත් අය ද ඔයගොල්ලන්ගේ රහතන් වහන්සේලා? ඔයාලා රහතන් වහන්සේලා දැකලා නැද්ද? රහතන් වහන්සේලා හඳුනාගත්තේ නැද්ද? ඔයාලා එ් රහතන් වහන්සේලාගේ ගුණ දන්නේ නැද්ද?කියලා. ඉතින් එ් සිටුතුමා ඇහුවා ”එහෙනම් කාටද රහතන් වහන්සේලා කියන්නේ?” කියලා. ”ඔය රහතන් වහන්සේලා නෙවෙයි. රහතන් වහන්සේලා මෙන්න මෙහෙමයි.” කියලා, ඇය එ් සඟ ගුණ ගායනා කළා.
සන්තින්ද්‍රියා සන්ත මානසා
– සන්තං තේසං ගතං ඨිතං
ඔක්ඛිත්ත චක්ඛු මිතභාණී
– තාදිසා සමණා මම
‘‘මා සරණ ගියපු ශ‍්‍රාවක සංඝයා සන්සුන් ඉඳුරන් ඇත්තෝ ය. ශාන්ත වූ සිත් ඇත්තෝ ය. උන් වහන්සේලාගේ ගමනත්, සිටීමත් සන්සුන් ය. යටට හෙළන ලද නෙත් ඇත්තෝ ය. පමණට කථා කරන ස්වභාව ඇත්තෝ ය. මා සරණ ගිය රහතන් වහන්සේලා එවැන්නෝ ය.”
කාය කම්මං සුචි නේසං
– වාචාකම්මං අනාවිලං
මනෝකම්මං සුවිසුද්ධං
– තාදිසා සමණා මම
‘‘එ් රහතන් වහන්සේලාගේ කාය කර්මය පිරිසිදු ය. වාග් කර්මය දොස් රහිත ය. මනෝ කර්මය සුපිරිසිදු ය. මාගේ ශ‍්‍රමණයෝ එවැන්නෝ ය.”
විමලා සංඛමුත්තාභා
– සුද්ධා අන්තරබාහිරා
පුණ්ණා සුද්ධේහි ධම්මේහි
– තාදිසා සමණා මම
‘‘මා සරණ ගිය ශ‍්‍රාවක සංඝයා ඇතුළත, පිටත දෙකින් ම සක් සේ පිරිසිදු ය. මුතු සේ පිවිතුරු ය. ශුද්ධ වූ ගුණධර්මයන්ගෙන් යුතු ය. මාගේ ශ‍්‍රමණයෝ එවැන්නෝ ය.”
‘‘මා සරණ ගිය ශ‍්‍රාවක සංඝරත්නය ලාභ, අලාභ, යස, අයස ආදි අට ලෝ දහම ඉදිරියේ මුළා නො වන්නේ ය. ඇලී නො යන්නේ ය. මා සරණ ගිය ශ‍්‍රාවක සංඝයා එවැන්නෝ ය.”
ඔන්න ඔය විදිහට කළ ඇගේ සඟ ගුණ ගායනාව අහපු නිවැසියෝ ඇයට කිව්වා හෙට දවසේ සිටු මැදුරේ දානයට වඩින්න කියලා එ් රහතන් වහන්සේලාට පණිවිඩයක් යවන්න කියලා. ඇය උන්නේ සාකේත නුවර. ඇය දන්න රහතන් වහන්සේලා උන්නේ සැවැත් නුවර. එකිනෙකට සැතපුම් හත්සියයක් දුර නගර දෙකක් අතරේ ඉක්මන් පණිවිඩයක් කොහොම යවන්න ද?
ඇය සඳලූතලයට ගියා. උතුම් බුදුගුණ සිහි කරගෙන පිච්ච මල් දෝතක් අහසට විසී කළා, ‘‘මා සරණ ගිය මගේ භාග්‍යවතුන් වහන්සේ, පන්සියයක් සඟ පිරිස සමග හෙට දානය පිණිස මාගේ නිවසට වැඩමවාවා” කියලා. අන්න එ් ආරාධනාව තමයි අර වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තේ.
ඇත්තටම එ් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ වැඩ ඉඳපු කාලේ එ් භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා දැකලා, වන්දනාමාන කරලා උපස්ථාන කරලා හිත පුරෝගෙන බුදුගුණ, සඟගුණ දරාගන්න අපට පින් නැති වුණා තමයි. එහෙම කියලා දැන් වුණත් අපි නිකම් හිටියොත් එ්ක අපිට යහපත පිණිස පවතී ද?
චූල සුභද්‍රා වගේ ඉන්ද්‍රියන් ශාන්ත කරපු, මනස සංවර කරපු, කාය කර්ම, වචී කර්ම සුපිරිසිදු, ලාභ අලාභයන්ට යට නො වුණු, නිර්මලව සිල් ගුණ දම් දරාගෙන වැඩ සිටින ශ‍්‍රමණ පිරිස් ගැන අපි හරියට ම නො දන්නවා වෙන්න පුළුවන්. ඉතින් එ්ක එහෙම වුණා ය කියලා චූල සුභද්‍රලා ගුණ කියපු රහතන් වහන්සේලාගේ ගුණයන් හීන වෙලා ගියා ද? එ් ගුණ අද කාලෙට අදාළ නැද්ද? නැහැ නැහැ, මේ සද්ධර්මය වඳ බැහැපු ධර්මයක් නෙවෙයි. එ් බුදුරජාණන් වහන්සේ යම් විදිහකින් මේ ලෝකෙ උතුම් සම්බුදු ගුණ දරාගෙන වැඩ සිටියා ද එපරිද්දෙන් ම එ් ධර්මය අසා අවබෝධ කරපු ශ‍්‍රාවක සංඝයාත් මේ ලෝකේ වැඩ හිටියා. උන් වහන්සේලා අසංවර හිත සංවර කරපු හැටි, මුළා වුණු හිත් හරි මඟට යොමු කරපු හැටි, සද්ධර්මයේ ආශ්චර්යය අත් දැකපු හැටි මේ ධර්මයේ ම සඳහන් වෙනවා. අද කාලේ වුණත් මහා ලොකුවට ප‍්‍රසිද්ධ නො වුණට, පත්තරේ, රූපවාහිනියේ, ගුවන් විදුලියේ පෙනී නො සිටියාට එ් තෙරුවනට ජීවිතය පුදලා එ් උතුම් ගුණ පුරුදු කරන්න උත්සාහ ගන්න සුළු පිරිසක් හරි මේ ලෝකේ වැඩ ඉන්නවා.
එතකොට අපිට කරන්න තියෙන්නෙත් එ් ධර්මයේ සඳහන් එ් උතුම් රහතන් වහන්සේලා ගැන ම ඉගෙනගෙන, එ් දරා හිටි ගුණයන් ගැන ම පැහැදීම යි. එ් උතුම් නිවන් මඟ පුහුණුවෙන පිරිස ගැන, ‘‘අනේ මේ උත්සාහය පවා හොඳ දෙයක්නෙ” කියලා සතුටු වීමයි. ‘‘අර ස්වාමීන් වහන්සේ මෙහෙමයි, මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි” කිය කියා පුද්ගලික වශයෙන් බලන්න ගියොත් යහ මඟ වැහෙන්නේ අපේ ම යි. අපි හොඳින් ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි, චූල සුභද්‍රා තරම් අපි පින්වන්ත වුණේ නැහැ. විශාඛා, සුමනා, මල්ලිකා වගේ අපිට පින තිබුණේ නැහැ. එහෙම පින තිබුණා නම් අද අපිට මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපිට පිනේ අහේනියකුත් තියෙනවා. මේ ධර්මය ඉගෙන නොගෙන හරියකට පිනක් දහමක්වත් කර ගන්න අපිට පුළුවන්කමක් නැහැ. එ් නිසා එ් ශ‍්‍රාවක සංඝයා ගැන ගුණ වශයෙන් ම ඉගෙනගෙන, ජීවිතේට උතුම් පුණ්‍ය ධර්මයන් උපදවාගෙන සියලූ දුකින් නිදහස් වීමට සැමට ම වාසනාව උදා වේවා!
මෙම ධර්ම දානයේ ආනිසංසයන් මෙයට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබ අප සැමටත් ගෞතම සම්මා සම්බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සසර දුක් කෙලවර අමා මහා නිවන අවබෝධ වීම පිණිසම හේතු වේවා! තෙරුවන් සරණයි ඔබ සැමට!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දියුණුවට මග ධර්මයද? පුද පූජාද? කුරු ධර්ම ජාතකය ඇසුරින්


බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
ධර්මවේදී  නාලන්දේ විමලවංශ නාහිමි

මැති ඇමැතිවරුනි, කිමෙක්‌ද අප දැන් ගත යුතු පියවර? වැසි නැත, ජලය නැත, ආහාර හිගය තදින් බලපානවා. මේ කලිගු රට මහත් විපතකට පත් වෙලා. නියගය සමග මහා දුර්භික්‌ෂයක්‌. එපමණක්‌ද? භයානක වසංගත රෝග පැතිරිලා. රටෙහි සශ්‍රීකත්වය පතා කුරු රාජ්‍යයේ මංගල හස්‌තියා ගෙන ආවත් රටට සෞභාග්‍යය උදා වූයේ නැත. වැසි පතා මහා යාගයක්‌ කරමුද.? නොඑසේ නම් දහස්‌ ගණන් පරිෂ්කාර, ලක්‌ෂ සංඛ්‍යාත මල් පහන් රැගෙන මහා පූජාවක්‌ කරමුද? ඇතැම් රටවල කරන පරිදි පොල් ගසා දෙවියන්ට සැළ කර සිටිමුද ? මහ ඇමැතිය තොප කුමක්‌ කියන්නෙහිද?

මහ රජතුමනි, කුරු රට සශ්‍රීකවී ඇත්තේ මංගල හස්‌තියා වශයෙන් සළකන තිරිසන් සතා නිසා නොවේ. නොයෙක්‌ යාග හෝම අහස උසට කරන පරිෂ්කාර පූජා, ලක්‌ෂ සංඛ්‍යාත මල් පහන් පූජාවන් නිසා නොවේ. කුරු රටෙහි පාලකයන් එක්‌තරා රාජ ධර්මයක්‌ පිළිපදිනවා. එම රාජ ධර්මය රටෙහි රජතුමා පටන් සාමාන්‍ය වැසියා දක්‌වා සියලු දෙනාම හොඳින් ආරක්‌ෂා කරනවා. කුරු රට සශ්‍රීක වී ඇත්තේ එම නිසයි රජතුමනි ' 

'එසේනම් ඇමැතිවරුනි, අපි කුරු රටට දූත පිරිසක්‌ පිටත් කර යවමු. වහා කුරු රට රජ තුමන් බැහැ දැක එම රාජ ධර්මය හදාරා පැමිණිමට නියම කරමු. එම දූත පිරිසෙහි ප්‍රධානත්වයට අපේ මහ ඇමතිව පත් කරමි' රාජ නියමයෙන් එම දූත පිරිස දින කිහිපයක්‌ දුර කතර ගෙවා කෝරව්‍ය නුවරට ගොස්‌ කුරු රට මහ රජ තුමා බැහැ දැක්‌කේය. අසල්වැසි රාජ්‍යයකින් පැමිණි මෙම දූත පිරිස හරසරින් පිළිගත් රජ තුමා ඔවුන්ට කළ යුතු ආගන්තුක සත්කාර කර, කුමන දූත මෙහෙවරක්‌ සඳහා මෙහි පැමිණියේද ? යනුවෙන් විමසුවේය. 

' මහ රජතුමනි, අපගේ 'කලිඟු' රටෙහි මහා දුර්භික්‌ෂයක්‌ හටගෙන තිබෙන බව ඔබ තුමා දැනටමත් දන්නෙහි ය. වැසි නැතිව මුළු රටම නියඟයට ගොදුරුවෙලා. වගා කටයුතු නොහැකිවීමෙන් කෙත්වතු පාළු වෙලා. තුරු ලතා වැනසී ගොස්‌, ගංඟා ඇළ දොළ සිඳී ගොස්‌ ජනතාවට පානීය ජලය නොමැතිව ඔවුහු උද්ඝෝෂණ කරති. දියකඩිතිවල තියෙන ජලයටද අප ද්‍රව්‍ය මිශ්‍ර වෙලා. ආහාර අහේණිය නිසා ජනතාව නහර වැල් ඉල්පී ගොස්‌ ඇටසැකිලි බවට පත් වෙලා. ඒ අතර නොයෙක්‌ ලෙඩ රෝග පැතිරිලා, බැලු බැලූ අත මළ ගෙවල්. රජතුමනි, අපි ඔබ තුමාගේ මංගල හස්‌ති රාජයා ගෙන ගියෙමු. යාග හෝම කළෙමු. මෙතෙක්‌ කිසිදා නොකළ පුද පරිෂ්කාර පූජා කළෙමු. දෙවියන් ඉදිරියෙහි අපගේ කෝපය පළ කරනු වස්‌ පොල් ද ගැසුවෙමු. මේ කිසිවකින් ඵලක්‌ නොවුණි. මහ රජතුමනි, ඔබ වහන්සේගේ රාජ්‍යය බෙහෙවින් සශ්‍රීක බව පෙනෙයි. වැසියෝ කෙළිදෙලෙන් පසු වෙති. ඔවුන්ට අග හිඟයක්‌ නැති බව පෙනෙයි. සතර වාහල්කඩ දන් සැල් දැකීමෙන් අපට ඒ බැව් පසක්‌ වුණා.'

'තානාපතිවරුනි, එවැනි අහේනියක්‌ ඇති බැව් ඔබ රටෙහි මැතිs ඇමැතිවරු සහ ඔවුන්ගේ දරු පරපුර මෙන්ම ඥාති හිතවතුන්ගේත් චරියාව අනුව අපට නොපෙනෙයි. ඔවුන් බොහෝ සැපසේ සිටින බවක්‌ පෙනෙනවා. ඒ කෙසේ වෙතත් ඔබලාට අප රජයෙන් අවශ්‍ය කුමක්‌ද. සහනාධාර අවශ්‍යද? ධාන්‍ය අවශ්‍යද...? නොඑසේ නම් පොලී රහිතව කිසියම් ණය මුදලක්‌ අවශ්‍යයද. අපගේ භාණ්‌ඩාගාර වල මුඳල් සංචිත පිරී ඇත.' ' නැත නැත මහ රජ තුමනි, අපට එවැනි අවශ්‍යතාවයක්‌ නැත රජතුමනි. අපි මෙතුවක්‌ කාලයක්‌ ඒවැනි ආධාර මත යෑපුණෙමු. එහෙත් කිසිදු පලක්‌ වූයේ නැත එයට වඩා හරවත් දෙයක්‌ අප බලාපොරොත්තු වෙමු. ඔබ තුමාගේ රාජ්‍යයෙහි 'කුරු ධර්මය' ක්‍රියාත්මක වන බව දැන ගතිමු. එම ධර්මය අපට දෙනු මැනව. අප උදක්‌ම පැමිණියේ ඒ සඳහාමයි '

' බොහෝම සතුටුයි තානාපතිවරුනි, අපේ කුරු ධර්මය ඔබගේ රාජ්‍යයට ද අවශය වීම පිළිබඳ සතුටුයි. කුරු ධර්මය කියන්නේ අපේ රටෙහි ආණ්‌ඩුq ක්‍රම ව්‍යවස්‌ථාව කීවොත් වැරදි නැහැ. එය අපේ රාජ ධර්මයයි. එය අප දිවි හිමියෙන් රකිනවා. ඒ නිසාම අප රට සුත මුදිත වෙනවා. ආරාවුල් ගැටුම් උද්ඝෝෂණ ඇති වන්නෙත් නැහැ. සියලු දෙනාම සමගියෙන් සාමයෙන් වාසය කරනවා. කලට වැසි වසිනවා. කෙත්වතු සාර වෙනවා. වැසියන්ගේ සිත් මල් පිබිදෙනවා. එහෙත් දූතවරුනි, මට එය දීමට හැකියාවක්‌ නොවීම ගැන කනගාටුයි. එයට හේතුව මම පැහැදිළි කරන්නම්. අපේ ජාතික උත්සව අවස්‌ථාවෙහි ඊතළ හතරක්‌ හතර දිසාවට විදීම අපගේ සම්ප්‍රදායක්‌. එදා මම ඊ පහර හතරක්‌ මුදාහැරියා, එයින් තුනක්‌ වැටුන ස්‌ථානය දුටුවා. හතර වැන්න පොකුණ තුළට ඇදී ගියා. එය පොකුණ තුළ විසූ මත්සයයකුගේ වැදී එම සතා මරණයට පත්වන්නට ඇතැයි මට හැඟුණා. එයින් මා නොදැනුවත්ව හෝ ප්‍රාණඝාතයක්‌ සිදුවන්නට ඇති.මගේ කුරු ධර්මයට හානි වන්නට ඇතැ'යි සිතමි. එබැවින් මගේ මෑණියන් වෙත ගොස්‌ එය ලබා ගන්නා මෙන් ඉල්ලා සිටිමි 'රජ තුමාගේ එම ප්‍රකාශය අනුව ඔවුන් රාජ මාතාව සමීපයට ගොස්‌ තම ඉල්ලීම ඉදිරිපත් කළා.

'මම ඔබ ඉල්ලන කුරු ධර්මය දීමට ඉතා කැමැත්තෙමි.... එහෙත් එය දීමට අයිතියක්‌ ඇතැයි මම නොසිතමි. එයට හේතුව මම පැහැදිළි කරමි. දරුවනි, අසල් වැසි අපේ මිතුරු රජයකින් මට දහසක්‌ වටිනා රන් මාලයක්‌ සහ ලක්‌ෂයක්‌ වටිනා සඳුන් අරටුවක්‌ ත්‍යාග වශයෙන් ලැබුණා. එයින් මගේa දෙටු ලේලියට දහසක්‌ වටිනා රන් මාලාවත්, කණිටු දියණියට ලක්‌ෂයක්‌ වටිනා සඳුන් අරටුවත් පරිත්‍යාග කළා...... මෙහිදී දෙටු ලේලියට මගෙන් අසාධාරණයක්‌ සිදුවුණිදැ'යි මට සැකයක්‌ ඇත. එබැවින් ඔබ රාජ මහේෂිකාව වෙත් ගොස්‌ ඇගෙන් කුරු ධර්මය ලබා ගැනීම වඩාත් සුදුසුයි. එතුමිය එය හොඳින් ආරක්‌ෂා කරනවා' ඒ අනුව දූත පිරිස රාජ මහේෂිකාව වෙත ගොස්‌ කරුණු සැළ කර සිටියි.

'තානාපතිවරුනි, කලිඟු රට රජ තුමාලේ ඉල්ලීම මම බෙහෙවින් අගය කරමි, එහෙත් මට එම ඉල්ලීම ඉටු කර දීමට සදාචාරාත්මක අයිතියක්‌ ඇතැ'යි මම නොසිතමි. දවසක්‌ අපේ මහ රජු සමඟ එතුමාගේ මලණුවන් වන යුව රජු ඇතු පිටින් වීථි සංචාරය කළා. මා ඔවුන් දෙස කවුළුවෙන් බලා සිටියා. එහිදී රූසිරින් යුතු යුව රජු කෙරෙහි මසිත රාගයෙන් බැඳී ගියා. එය නරක සිතුවිල්ලකි. මගේ ශීලය ගැන මට සැකයි. එබැවින් තානාපතිවැරනි, යුව රජු වෙත ගොස්‌ කුරු ධර්මය ලබා ගත මැනවි ' ඔවුන් යුව රජු සමීපයට ගොස්‌ තම අවශ්‍යතාව ප්‍රකාශ කරති. යුව රජු මෙසේ පවසයි.

' තානාපතිවැරනි, ඔබලාගේ ඉල්ලීමට මම ගරු කරන්නෙමි.... එහෙත් එය ඉටු කිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙමි. දිනක්‌ මම මහ රජ තුමා බැහැදැකීමට ගියෙමි. රාත්‍රිය මාළිගාවේ ගත කළෙමි. ආපසු මාළිගාවෙන් පිටවන විට මා දුටුවේ මගේ සේවක පිරිස පෙර දින සිටි අයුරින් සීරුවෙන් සිටින ආකාරයයි. ඔවුන් වැස්‌සේ තෙමෙමින් , සීතලේ ගැහෙමින්, කුසගින්නේ මුළු රැය පුරාවටම සිටියා. මහත් පීඩාවට පත් වුණා. තානාපතිවරුනි, වැසියා පීඩාවට පත් කිරීම පාලකයන්ගේ කාරියක්‌ නොවේ. පෙර ඇතැම් රජවරු, ඇමතිවරු, ප්‍රභූවරු මහ මග ගියත් එයින් ජනතාව පීඩාවට පත් වූහ. එය මම කිසිසේත් අනුමත නොකරමි. වැරදීමකින් එවැනි වරදක්‌ මගෙන් සිදු විය. එබැවින් කුරු ධර්මය දීමට මම සුදුස්‌සකු නොවෙමි. අපගේ පුරෝහිත වෙත ගොස්‌ එය ලබාගත මැනවි. ඒ අනුව ඔවුහු පුරෝහිත සමීපයට ගියහ. 

පුරෝහිත මෙසේ පවසයි. තානාපතිවරුනි, වෙනත් රාජ්‍යයකින් අපේ මහ රජුට නවීන පන්නයේ සුඛෝපභෝගී රථයක්‌ ලැබුණා. එය රජුට නොව, වඩා සුදුසු වයෝවෘද්ධ මටයි යන පව්කාර හැඟීම මට ඇති වුණා. එයින් අප අනුගමනය කරන කුරු ධර්මයට හානියක්‌ සිදුවී'යි මම සිතමි. එබැවින් ඔබලා අපේ මිනුම් කටයුතු භාර ඇමති වෙත යනු මැනව ' ඒ අනුව ඔවුන් මිනුම් ඇමති වෙත ගොස්‌ කරුණු සැළ කරති. 

' තානාපතිවරුනි, මා වෙත එම උතුම් කුරු ධර්මය නැති බව මට හැඟෙනවා. එක්‌ දිනක්‌ රජයට අයත් කුඹුරක සීමා සලකුණු කරමින් ඉනි සිටුවූවෙමි. ඉන්නක්‌ සිටවන විට සතෙකගේ හඬක්‌ ඇසුණා. කකුළුවකු විය හැකිය'යි මම සිතමි. එම කකුළුවා මිය යන්නට ඇති. මාතින් ප්‍රාණඝාතයක්‌ සිදුවී'යි සැකයක්‌ ඇත. ඒ උතුම් දහම උතුමකුගෙන්ම ලබා ගත යුතුයි. එහෙත් මා එය දීමට සුදුස්‌සකු නොවන බව මම විශ්වාශ කරමි. මට වඩා හොඳින් කුරු දහම රකින රාජකීය රියෑදුරා වෙත ගොස්‌ එය ලබා ගත මැනව ' ඒ අනුව ඔවුහු රියෑදුරා වෙත ගොස්‌ ඉල්ලීම ඉදිරිපත් කළහ. ඔහු පැවසුවේ ' දිනක්‌ මම රථය පදවන විට අශ්වයන්ට තැලුවෙමි. එයින් අශ්වයෝ බියට පත් වූහ. මාගෙන් සත්ත්ව හිංසාවක්‌ සිදුවී'යි මම සිතමි. එබැවින් කුරු ධර්මය දීමට සුදුස්‌සෙක්‌ වශයෙන් නොසිතමි. ඔබලා රටෙහි සිටු තුමා වෙත යනු මැනව' ඒ අනුව සිටු තුමා ඔවුනට පැවසුවේ ' තානාපතිවරුනි, මා කෙසේනම් ඔබේ ඉල්ලීම ඉටු කරන්ටද ? රජුගේ හැල් කෙත දුටු මට රන්වන් කරලින් මාලාවක්‌ ගොතන්නට හිතුණා. රජුට දැනුම් නොදී මම හැල් කරල් මිටියක්‌ ගෙන්වා ගත්තා. රාජ්‍ය දේපල එසේ පෞද්ගලික පරිහරණය කිරීම කොතරම් බරපතළ වරදක්‌ද එය මගේ හිතට වද දෙන ප්‍රශ්නයක්‌. ඇතැම් රටවල මැති ඇමැතිවරු එසේ රාජ්‍ය දේපල අයථා අයුරෙන් පරිහරණය කරන බව මම අසා ඇත්තෙමි. තමන්ගේ පමණක්‌ නොව, තම නෑදෑ සනුහරේම සුඛ විහරණය සඳහා රාජ්‍ය දේපල යොදා ගන්නා මැති ඇමැතිවරුන් සිටින බව මම අසා ඇත්තෙමි. එය සොරකමති. දූෂිත ක්‍රියාවකි. එවැනි දූෂණයක්‌ වුණාදැ'යි මට සැකයක්‌ ඇති බැවින් කුරු ධර්මය දීමට තරම් මම සුදුස්‌සකු නොවෙමි. එබැවින් ඔබලා භාණ්‌ඩාගාරය භාර මුඳල් ඇමති වෙත යන්න '

දූත පිරිස මුදල් ඇමැතිට කරුණු සැළ කරති. මුඳල් ඇමති පැවසුවේ ' මම එම උතුම් ධර්මය දීමට සුදුස්‌සෙක්‌ නොවෙමි, රජයට සහ සිටුවරයාට අයිති ධාන්‍ය බෙදීමේ දී රජයට වැඩි කොටසකුත් සිටුවරයාට අඩු කොටසකුත් වෙන් කර ඇති බව මට වැටහුණා. එයින් සිටුවරයාට අවාසියක්‌ සිදුවී'යි මට හැඟෙනවා. එවැනි අසාධාරණයක්‌ සිදු කළ මාහට උතුම් ධර්මය පැවසීමට අයිතියක්‌ නැති බැවින් ඔබලා නගරයේ දොරටුපාලයා වෙත යන්න. ඔහු මැනවින් කුරු ධර්මය ආරක්‌ෂා කරනවා.' දූත පිරිස අදහා ගත නොහැකිව හිසෙහි අත තබා ගනිති. අනේ මොවුන් කොතරම් සාධාරණ නිලධාරීන්ද ? ඒකටත් අපේ රටේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඔවුන් රිසිසේ වංචා කරති. දූෂිත ක්‍රියා සිදු කරති. පොදු දේපළ පෞද්ගලිකව පරිහරණය කරති. එසේ කරමින් අනේකවිධ සැප සම්පත් අනුභව කරති. අපේ රට කොතරම් අවාසනාවන්තද? මෙසේ කථිකා කරමින් ඔව්හු දොරටුපාලයා වෙත ගියහ.

'එක්‌තරා දිළඳු පුද්ගලයකු සහ ඔහුගේ නැගණිය දොරටුවෙන් ඇතුල් වීමට ආවා. ඔවුන් පෙම්වතුන් යුවළක්‌ වශයෙන් සලකා මම ඔවුන්ට අපහාසාත්මකව කථා කළෙමි. තාගේ අඹුවත් සමඟ මහ වනයෙහි මෙතෙක්‌ වෙලා පෙම් කෙළියෙහි යෙදෙමින් සිටියේද? ආදී වශයෙන් මම ඔවුන්ට අපහාස කළෙමි. එම සිදුවීම මගේ හිත තුළ තාම දෝංකාර දෙනවා. එවැනි වරදක්‌ කළ මාහට කුරු ධර්මය පැවසීමට අයිතියක්‌ නැත '

දූත පිරිස මහත් සංවේගයට පත් වූහ. තවත් කාගෙන් නම් කුරු ධර්මය අසා ගන්නද ? අහෝ අප දැන් අපගේ කළිඟු රටෙහි රජ තුමාට කුමක්‌ පවසන්ටද ? අපේ රටට කාගේ පිහිටක්‌ද ? මෙසේ ශෝකයෙන් සිටින අතර කුරු රජතුමාගේ නිලධාරියෙක්‌ පැමිණ එම දූත පිරිස රජ මාළිගාව වෙත කැඳවාගෙන ගියේය. ඔවුනට ඇස්‌ අදහා ගත නොහැකි විය. රජු සිංහාසනයෙහි අසුන් ගෙන සිටි අතර, මැති ඇමැතිවරුන් සමග පෙර මුණගැසුණු සියලු දෙනාද අසුන් ගෙන සිටිති. ඔවුන්ට අසුන් ගන්නා ලෙස පැවසූ කුරු රජ තුමා ස්‌වකීය දේශනය ආරම්භ කළේය.

'තානාපති වරුනි, අපගේ ශ්‍රේෂ්ඨ කුරු ධර්මය ඉල්ලා අප වෙත පැමිණීම ගැන බෝහෝ සතුටු වෙමු..... එය අප මාතෘ භූමියට දැක්‌වූ ගෞරවයක්‌ වශයෙන් සළකමු. එසේ වුවත් ඔබලා මෙලෙස වෙහෙසට පත් කිරීමට සිදුවීම ගැන අප කනගාටු වෙනවා. අපට අවශ්‍ය නම් ඔබ ඉල්ලූ මොහොතෙහිම කුරු ධර්මය ලියා දීමට හැකියාව තිබුණා. එසේ නැතහොත් ඇතැම් රටවල කරන ආකාරයට විශාල වියදමක්‌ දරා, සංදර්ශනයක්‌ පවත්වා රජයේ මුඳල් කාබාසිනියා කර බොරු ආටෝපයක්‌ මවා පෙන්වා අපේ කුරු ධර්මය ඔබලාට දීමටත් හැකියාව තිබුණා. එහෙත් වඩාත් ඵලදායක අයුරෙන් එය ලබා දීමට මමත්, මගේ ඇමැති මණ්‌ඩලයත් තීරණය කළා. ඒ අනුව ඔබලාට එය ප්‍රායෝගික වශයෙන් ලබා දීමට පියවර ගත්තා. අප ලබා දුන් ප්‍රායෝගික දැනුම මඟින් මෙම ධර්මය කොතරම් අවංකව, කැපවීමෙන් රැකිය යුතු ධර්මයක්‌ද යනු ඔබලාට වැටහෙන්නට ඇතැ'යි විශ්වාස කරමු. 

මාත්, මගේ යුව රජු ඇතුළු පවුලේ සියලු දෙනාමත් මැති ඇමැතිවරුන්, නිලධාරීන් පමණක්‌ නොව රට වැසියන් ද කුරු ධර්මය පණ මෙන් සුරකින බව ඔබලාට වැටහෙන්නට ඇත. රටක රජු ආදර්ශවත් විය යුතුයි. මැති ඇමැතිවරුන් නිලධාරීන් ආදර්ශවත් විය යුතුයි. එවිට සමස්‌ත රට වැසියාම එය ආදර්ශයට ගනු ඇත. දැන් ඔබලාට කුරු ධර්මය පැහැදිළි කරන්නෙමි. එය නම් පංචසීල ප්‍රතිපත්තියයි. එනම්, පර පණ නැසීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්වන දෙයින් වැළකීම කියන මේවායි. මේවාට සම්බන්ධ වන තවත් කරුණු රැසක්‌ තිබෙනවා. කයින් වචනයෙන් මෙන්ම මනසින් පවා සංවර විය යුතු බව රාජ මාතාව, අග මෙහෙසිය, දොරටුපාලයා, රාජකීය රියෑදුරා වැනි අයගේ ක්‍රියාවන් මගින් වැටහෙන්නට ඇත. අපගේ රට තුළ තුරු ලතා වනසමින් වනාන්තර පාලු කරමින් මුදල් උපයන දැව ජාවාරම්කරුවන් නැත. අසරණ සත්ත්වයින් ඝාතනය කරන මස්‌ වැද්දන් ද නැත. ගංගා, ඇළ, දොළ වනසමින් මුදල් උපයන වැලි ජාවාරම් කරුවන් පස්‌ ජාවාරම්කරුවන්, නැත. කොටින්ම කියනවා නම් අපේ රටේ ජනතාව පරිසරයට ආදරය කරති. ඒනිසා අප රටෙහි කලට වැසි වසිනවා. කෙත් වතු සරු සාර වෙනවා. ආහාර හිඟයක්‌ නැහැ. මුළු පරිසරයම සුන්දරයි. මිනිසුන්ගේ සිත් සතන් සොම්නසින් පිරී ඇත. පාතාලයන් අපරාධකාරයන් නැත . ලෙඩ රෝග නැහැ. වෛද්‍ය ශාලාවල දිග පෝළිම් නැහැ. බෙහෙත් නැත පහසුකම් නැත. ජලය නැත. කියමින් උද්ඝෝෂණය කරන්නන් ද නැත. අප කුරු ධර්මය සුරැකීමේ ඵලය මැනවින් අත් විඳින්නෙමු. තානාපතිවරුනි, රන් පතෙහි ලියන ලද කුරු ධර්මය ඔබට පිළිගන්වමි. මෙය රැගෙන ගොස්‌ ඔබේ කලිඟු රට ද සෞභාග්‍යය කරා ගෙන යනු මැනවි. ....' පංචතූර්ය නාදය දසත පැතිරෙද්දී මාළිගා පරිශ්‍රය ජනතාවගේ සාධු නාදයෙන් ගිගුම් දෙන්නට විය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

"වෛර බැඳගැනීම කිසිසේත් කරන්න එපා"

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.
දවසක් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ලක්ඛණ මහ රහතන් වහන්සේ සමග ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වඩිමින් සිටියා.එතකොට මුගලන් මහ රහතන් වහන්සේ යොදුන් විසි පහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා.උගේ හිසේ ගිනිදැල් මතුවෙනවා.වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා.ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා.හිස දක්වා ඇවිලීගෙන යනවා.ආයෙමත් හිස මුදුනෙනුත් වලිගය කෙළවරෙනුත් දෙපැත්තෙන්ම ඇවිලීගෙන එනවා.එතකොට මේ පිඹුරු පෙරේතයා මහත් වේදනාවකින් ඇඹරෙමින් බැගෑ හඬ නගනවා.මෙය දෙස මුගලන් මහ රහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් බලා සිටියා.මද සිනහවක් පහළ වුනා.නමුත් ලක්ඛණ මහ රහතන් වහන්සේ එය දැක්කේ නෑ.
"පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ අර පැත්ත දිහා බලාගෙනම ඉඳලා සිනහ වුණේ ඇයි?"
"ආයුෂ්මත් ලක්ඛණ, ඒක දැන්ම කියන්න බැහැ.අපි යමු වේළුවනයට.භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කරමු.එතකොට අහන්න මගෙන්..."
ඉතින් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටියා.ලක්ඛණ තෙරුන් මේ ප්‍රශ්නය ඉස්මතු කළා.මුගලන් මහ රහතන් වහන්සේ ඒ පිඹුරු පෙරේතයාගේ විස්තරය පැවසුවා.එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
"පින්වත් මහණෙනි, දිවැස් ඇති ශ්‍රාවකයින්ට ඇතැම් විට ඕවා දකින්ට ලැබෙනවා.මටත් ඔය ප්‍රේතයා මුණ ගැහුණා.ඒ මං නේරංජරා නදිය අසබඩ බෝ මැඩ සිටිද්දී.හැබැයි මං කාටවත් කිව්වෙ නෑ.දැන් මොග්ගල්ලානයන් දිවැසින් දුටු නිසා සාක්ෂියක් තියෙනවා නෙව.එනිසයි මං ඔය කතාව දැන් කියන්නේ.තමන්ම කරගත්තු දෙයක් තමයි ඔය විඳවන්නේ....
ඔය පෙරේතයා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලෙ මනුස්සයෙක්.ඒ කාලෙ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා.ඔහු රන් ගඩොල් බිම අතුරා ධනය විසුරුවලා මහා විහාරයක් කෙරෙව්වා.ඒ සුමංගල සිටුතුමා දිනපතා බුද්ධෝපස්ථානයට යනවා.එහෙම යද්දී නුවර දොරටුවේ එක් ශාලාවක එක සොරෙක් නිදාගෙන හිටියා.කකුල්වල මඩ තැවරිලා තිබුණා.ඔළුවෙ පටන් පොරවාගෙන නිදාගෙන හිටියා.සිටුතුමා මොහු දෙස බලා කිව්වා 'මෙයා නම් රෑ තිස්සෙ ඇවිදලා දවල්ට නිදියන කෙනෙක් වගෙයි' කියලා.එතකොට හොරා ඔළුව උස්සලා බැලුවා කවුද එහෙම කිව්වෙ කියලා.සිටුතුමාව දැක්කා.ඒ කියමනට වෛර බැඳ ගත්තා.කුරුමානම් අල්ල අල්ලා පළිගත්තා.හත් වතාවක්ම සිටුතුමාගේ හොඳට පැසුණු කුඹුරු යාය ගිනිතිබ්බා.ඒත් සෑහීමට පත්වුණේ නෑ.
සිටුතුමාට රිද්දන්න එක එක දේවල් කරනවා.සත් වතාවක් තියුණු ආයුධයක් ගෙන සිටුතුමාගේ ගවගාලට හැන්නා.අහිංසක ගවයන්ගේ කකුල් කපලා හැංගුණා.හත් වතාවක් සිටුතුමාගේ ගෙවල් ගිනිතිබ්බා.එහෙත් සිටුතුමාට රිදුණු බවක් පේන්න නෑ.දවසක් සිටුතුමාගේ සේවකයකුගෙන් මොහු මෙහෙම ඇහුවා.
"නුඹලාගේ සිටුතුමා හරි පුදුම කෙනෙක් නෙව.අපිට ආරංචියි හරියට කරදර වුණා කියලා.කුඹුරු ගිනිගත්තලු.හරක් කැපුවලු.සිටුතුමාට ගාණක් නෑ නේද? සිටුතුමාට ඒවා ප්‍රිය නැද්ද?"
"යහළුව, අපගේ සිටුතුමා බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තයි.භාග්‍යවතුන් වහන්සේට හැදූ ගන්ධකුටිය තරම් වෙන ප්‍රිය මනාප දෙයක් එතුමාට නැහැ."
එතකොට හොරා කල්පනාවට වැටුණා.
"හ්ම්....එහෙමද? එතකොට මූට රිද්දන්න බැරි ඒ නිසයි.ඈ....! හරි...එහෙනම් ගන්ධකුටියට කරන දේ බලා ගනින්..."
හොරා දවසක් කවුරුත් නැති වේලෙහි ගන්ධකුටියට ගිනිතිබ්බා.සිටුතුමාට ආරංචි වුණා.දුවගෙන ආවා.ගිනිගන්නා ගන්ධකුටිය බලා ප්‍රීතියෙන් අත්පොළොසන් දෙන්න පටන් ගත්තා.මෙය දුටු මිනිසුන් පුදුමයට පත්වුණා.
"ඇයි සිටුතුමනි....? මෙච්චර දෙයක් වෙලත් සතුටු වෙන්නේ...?"
"දරුවෙනි, මං ධනය තැන්පත් කළේ බුදු සසුනෙහි මිසක් මහ පොළොවෙහි නොවෙයි.මට මීටත් වඩා ලස්සනට ගන්ධකුටියක් හදන්නට අවස්ථාවක් ලැබීම ගැනයි මං මේ අත්පොළොසන් දෙන්නේ...."
සිටුතුමා ඉතාම ලස්සන අලංකාර ගන්ධකුටියක් හැදුවා.හොරාට තවත් කේන්තියි.'මේකාව මරණවා මිසක් මට වෙන විසඳුමක් නෑ' කියලා තීරණය කළා.ඉණේ පිහියක් බැඳගෙන දවස් හතක් මාන බැලුවා.සිටුවරයා ගන්ධකුටිය බුදුරජාණන් වහන්සේට පූජ කොට හත් දවසක් මහා දන් දුන්නා.හත්වෙනි දවසේ සෙනඟ මැද්දේ වන්දනා කොට මෙහෙම කිව්වා.
"ස්වාමීනි. භාග්‍යවතුන් වහන්ස, කවුදෝ පුද්ගලයෙක් මගේ කුඹුරු යාය හත් වතාවක් ගිනිතිබ්බා.මාගේ ගේ හත්වතාවක් ගිනිතිබ්බා.ගව පට්ටියට රිංගලා අහිංසක ගවයින්ගේ කකුල් හත් වතාවක් කැපුවා.මා හිතන්නේ ඔහුමයි ගන්ධකුටිය ගිනිතිබ්බෙත්.මේ පුද්ගලයා ගැන මට මහා අනුකම්පාවක් ඇතිවුණා.ස්වාමීනි, මා මේ ගන්ධකුටිය පූජා කිරීමෙන්, සත් දිනක් මහා සංඝයාට දන් දීමෙන් රැස් කළ පුණ්‍ය කර්මය පළමු කොට ඒ පුද්ගලයාට අයිති වේවා! සැපවත් වේවා!" කියලා පින් දුන්නා.
ඉණේ පිහියක් සඟවාගෙන සිටි සොරාගේ වෛරය ඒ මොහොතේ සංසිඳුණා.
"හප්පේ! මෙබඳු කෙනෙකුටද මං මේ වෛර බැන්ඳේ...? මං සමාව නොගත්තොත් සත්තකින්ම දෙයියෝ මට අච්චු කරාවි" කියලා පිරිස මැද්දෙන් මතුවෙලා ඇවිත් සිටුතුමාගේ පාමුල වැඳ වැටුණා.සියලු විස්තර කියා හිටියා.
"එතකොට ඇයි ඔය තරම් වෛර බැඳගන්න මං කළ වැරැද්ද?"
"මං දවසක් දොරටුව ළඟ ශාලාවේ නිදාගෙන හිටියා.ඔබතුමා යනගමන් මං දිහා බලලා කිව්වා, 'මෙයා නම් රෑට ඇවිදින දවල් නිදන කෙනෙක් වගේ' කියලා.ඉතින් මට කේන්ති ගියා.ඒකට පළිගන්නයි මං මේ හැමදෙයක්ම කළේ."
"පින්වත් දරුව, ඔව්! මට අදාළ නැති දෙයක් මං කියලා..ඒක මගෙන් වෙච්ච වරදක්...ඒකට මට සමාවෙන්න....හොඳයි.දැන් ඒ සියලු වරදට මං ඔබට සමාව දෙනවා."
ඉතින් ඒ හොරා තමන්ගේ අඹුදරුවන් සමග සිටුතුමාගේ නිවසේ දාසයෝ වෙන්න කැමති වුණා.සිටුතුමා එයට සතුටු වුණේ නෑ.සමාව දීලා පිටත් කළා.ඒ සොරා මිය ගිහින් උපන්නේ අවීචි මහ නරකයේ.අනන්ත අප්‍රමාණ දුක් වින්ඳා.දැන් ඒ පාපයේ ඉතුරු විපාක තමයි ඔය විඳින්නේ.නුවණ මද තැනැත්තා පවේ භයානකකම ගැන කල්පනා කරන්නේ නෑ.නොසංසිඳෙන ආශාවකින් පළිගැනීම දිගටම කරගෙන යනවා.අන්තිමට ලැව් ගින්නක් වගේ තමාව දවනෙත් එයමයි.
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.
136.8.
අථ පාපානි කම්මානි - කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ - අග්ගිදඩ්ඨෝ'ව තප්පති

අනුවණයා කරමින් සිටියත් පව් - නැහැ කිසිදා වරදක් බව දන්නේ
අනුවණයා පව් වලින් හැදෙන්නේ - ලැව් ගින්නක් සේ ඔහුව දවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න පව්කාරකමේ මහත.අර පුංචි වචනය අත්හැරගන්න බැරිව ගියානේ.ඒකම හිත හිත දිගින් දිගටම පළිගත්තානේ.මොනතරම් අයහපතක් වුණාද? තව කොච්චර කල් විඳීවිද කවුද දන්නේ? එනිසා අපි අනුන්ගේ නින්දා බස් ඉවසන්න පුරුදු වෙමු.එතකොට එතනින්ම ප්‍රශ්නය ඉවර වෙනවා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10 ( දණ්ඩ වර්ගය )
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
Related Posts Plugin for WordPress, Blogger...