රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

බියකරුම බන්ධනාගාරය මිනිස් ජීවිතයයි


හිරු වලා රහිත අහසේ දීප්තිමත්ව බබළවන්නට පටන්ගෙන තිබුණේය. ගහ - කොළ සියල්ල දැවී වියළී ගිය සැටියක් පල කළේය. සැවැත්නුවර පුරාවෙහිම පැවැතියේ තද උණුසුම් කාලගුණයකි. වන මං අසල පවා සතෙකුට හෝ දියබීමට වතුර පොදක් ඉතිරිව නොයද්දී නියං රකුසා මිනිස් ජීවිත කෙරෙහි ද රළු බැලුම් හෙළන්නට පටන්ගත්තේය. දිළිඳු මිනිසුනට සිය ජීවිතවලදී අගහිඟ දැනුණේ තොරතෝංචියක් නැතිවය. එහි ඵල ලෙසින් කුසගින්නත් පිපාසාවත් පළමුවෙන් ඇවිත් මිනිස් ජීවන මං පෙත් ඇහිරී. එයින් නැඟුණු දහසක් දුක් දොම්නස් නිසා සැවැත් නුවර වැසියන් බොහෝ දෙනකුටම සොරකම් නොකර සිටීමට බැරි විය.

දිළිඳුකම් නිසා සොරකමට බසින ලද්දේ වුවද එය දහමට එකඟවූවක් නොවීය. යුක්තිය හා සාධාරණත්වයට එකඟ වූවක් නොවීය. රාජ නීතිය උපරිමයෙන් බල ගැන්වූ රජතුමා අල්ලා ගන්නා ලද සොර දෙටුවන්ට දැඩිව දඬුවම් දුන්නේ. ඒ නිසාය. දඬුවමට ගොදුරු වූ සොරුන් අන්තිමට නතර වූයේ ඝන අඳුරින් පිරී ගිය විශාල යකඩ පොලු වැටවල් ගණනාවකට පිටුපසින් වූ ගර්භාගාර (කාමර) රාශියකය. ආලෝකයේ නෙතු සඟල ඇරී දවස එළඹී සැන්දෑ අඳුර ගලා හැලෙන තෙක්ම මේ ගර්භාගාරවලට වන් හිරකාරයන්ට කරන්නට දෙයක් තිබුණේ නැත. එවන් බොහෝ අවස්ථාවලදී ඔවුහු නිශ්චලව ද කල්පනා සහිතව ද එකදිගට අතොරක් නැතිව පැතිර ගිය දුඹුරු වෙන් එලිය දෙස බලා සිටියෝය.
වැපිරීමෙන් තොරව දූලි ගැසී තිබුණු කෙත් යාය ඉහත්තාවෙන් ඇරුඹී විහිද ගිය ඇළ නියර මතින් වැඩියේ පින්වත් බුදුපුතුණුවන් පිරිසකි. කිනිහිරි ගසෙක මල් සෙල වෙන්නාක් මෙන් කහවත් සිවුරු පෙර වූ උන්වහන්සේලා මේ වඩින්නේ උදෑසන පිණ්ඩපාත චාරිකාවෙහිය. හිරුගේ එළියෙන් අඳුරු රෙදි දිය වී, එලිය වුණු සිර මැදිරිවල රැඳවූවන්ගේ මුවගින් බොහෝ විට ගිලිහී ගියේ හද සසල කරවන තරම් වූ විලාප නාදයන්ය. සිර ගෙදරට මඳක් ඈතින් වැඩියද, ස්වකීය වූ ජීවිතවලට පත් අපේක්ෂා නොකළ විපත ගැන සිරකාරයන් කී මේ නොයෙක් කතා භික්ෂූන් වහන්සේලාගේ ද සවන් ගැබ් විනිවිද ගියේය.

ජේතවනාරාමය මහ වෙහෙර පිහිටියේ නිල්වන් තුරු ගොමුවෙන් රැළි දුන් මනරම් නිහඬ නිසසල බිම් පෙදෙසකය. නියඟයේ හැඩි දැඩි බවින් මේ මනරම් භූමියෙහි තුරුලතා සියල්ල ද කරා ගැටී ගෑවී තිබිණි. එහෙත් සම්මා සම්බුදු අසිරියෙන් ඒ වියළි කඩතොළුවල අඳුරු අහු මුළු දියව ගොස් තිබුණේය. සිනාබර තුරු ලතාවන් සෙවණෙහි වැඩ හිඳ උදෑසනක පිණ්ඩපාතය වැළඳූ භික්ෂූහු ඒ වන විටත් ජේතවනාරාමයෙහි වැඩ සිටි සම්මා සම්බුදුන් අභිමුවට හෙමි හෙමින් වැඩම කළහ. විහාරයේ ඇතුළු ගැබටවැදී ගත් උන්වහන්සේලා බුදුපියාණන් වහන්සේ ඉදිරියෙන් නැමී වැඳ වැටුණේ ඵල ගත් රුක් සමූහයක් බිමට නැමී ගන්නාක් පරිද්දෙනි. ඉන් ඉක්බිතිව ඇරැඹුණේ සසර දුක දිනූ මහරු බල ඇති ඒ මහා මුනිවරයන් වහන්සේ්, මේ පින්වත් භික්ෂූන් වහන්සේලාත් අතර ඇති වූ ධර්ම කථෝපකථනයයි. කරුණා සයුරුදිය ගලා හැලෙන පිවිතුරු මහනෙල් මල් බඳු වූ සම්බුදු නෙතු සඟල දෙස බැලූ භික්ෂූන් වහන්සේලා පළමුව කතාව පිරූහ.
‘සසරට ප්‍රතිපක්ෂ වූ නිවනට දොර හගුවා වූ අපායට අකුල් හෙළූ පින්වත් මුනිවරයාණන් වහන්ස, අද අප සැවැත් නුවර බන්ධනාගාරය අසලින් පිඬුසිඟා වැඩියා. ඉඳින් පිනවත් හිමියනි, එහි සිරගත කර සිටි මිනිසුන් ඉතාම දුක්බර ජීිවිතයක් ගත කරමින් සිටියා. ඔවුන් එහි වැටී නැඟූ දුක්බර විලාපයේ හඬින් මුළුමහත් පරිසරයමත් කම්පාවට පත්වුණා සේයි. පින්වත් සුගතයන් වහන්ස, මේ වූ බන්ධනයට වඩා තවත් දරුණු වූ තියුණු වූ කටුක වූ බන්ධනයක් ලෝකයෙහි පවතිනවාද? අනේ හිමිියනි අපට අනුකම්පාකොට, සංසාර රෝදයෙහි ගරාදි සියල්ල සිඳ බිඳ වැටෙනු පිණිස එය හෙළි කොට වදාළ මැනවි’ භික්ෂූහු හදවත් පුරා උතුරා ගිය සැදැහැසිතිවිලි සරින් බුදු සමිඳාණෝ අමතා වදාළහ.
‘අසන්න පින්වත් මහණෙනි, මැනවින් අසන්න. මේ දරුණු වධ බන්ධනයට වඩා අති මහත් වූ දරුණු බන්ධනාගාරයක් ලොව ඇත්තේමය. ඒ දරුණු වධගෙය මේ ලොව බිම් කඩෙක දිය ගැඹුරෙක පිහිටියක් නොවෙයි. එය මේ සත්වයා සංසාරයෙන් සංසාරයට ගෙන යන ජීවිතය නමැති සංස්කාර පුඤ්ජය (කැටිය) තුළම මුල් බැස ගත්තේය. පිහිටියේය. පින්වත් මහණෙනි , ඒ බියකරු බන්ධනාගාරය කුමක්ද? ඒ අනෙකක් නොවෙයි මහණෙනි, මේ පංචකාම විෂය නමැති රුදුරු බන්ධනයමය එයින් ගැලවී යන්නට සසර අසරණ වූ මේ සත්වයට ලෙහෙසියෙන් බැහැ. එයට ලොල්වී යළි යළිත් එහිම වැටී ගන්නා සත්වයෝ සසරින් සසරට පනිමින් දුකම දායාදකොට ගන්නවා. එහෙත් සම්බෝධිසත්ව උත්තමයෝ මේ දුෂ්කර බන්ධනාගාරයක් කඩා බිඳ විසුරුවා සංසාර දුකිනුත් ගොඩනැඟුණා නොවේදැයි වදාළ බුදුපියාණන් වහන්සේ ඒ ඇසුරු කරගත් අතීත කතා පුවත ගෙනහැර දැක්වූහ.
එය බරණැස් පුරවරයෙහි බඹදත් මහ නිරිඳාණන් රාජ්‍යය විචාළ කාල වකවානුව විය. බෝධි සත්වයන් වහන්සේ උපත ලබා තිබුණු කුලගෙය යස ඉසුරු සුව සහන සම්පත්වලින් පිරී ඉතිරී ගිය තැනක් නොවීය. ඒ වෙනුවට එහි තිබුණේ දුප්පත්කමෙහි අඳුරු සේයාවන් පමණකි. කෙළවරක් නැති මේ ඈ නෙක කම්කටොලු ඉහටත් උඩින් පැවැතිය ද බෝසත්හු පරාජිතයෙක් නොවූහ. ඔවුහු කුඹුරු කෙටූහ. හේන් වැපුරූහ. ඒ අනුසරින් පොළොව පවා තෙමෙන්නට වගුළ රන් දහදියෙහි අස්වැන්න බෙහෙවින් සරුසාර විය.
බෝසතුන්ගේ ජීවිතයේ දුක් වේදනා මෙකල තුනීවී ගියේ හිරු දුටු පිනි මෙන්ය. තනිකඩව සිට ස්වකීය වූ ජීවිතය රකින්නට අපමණක් වෙහෙසවන බෝසතුන් දෙස ජීවිත රුකෙහි අගිස්සටම වන් මහලු මෑණියෝ දුකින් බලා සිටියහ. එය ඇයට තවත් බලා සිටින්නට පිළිවන් දෙයක් නොවීය. වැඩිකල් නොගොසින්ම ඈ ඒ අවටෙහිම විසූ කුලකතක් සරණයට ගෙනැවිත් දුන්නාය. කාලය කෙතරම් නම් අකාරුණික වීද? සියලු දේ උඩු යටිකුරු කරමින් වෙනස් කළ එය බෝසත් මෑණියන්ගේ ජීවිතය ද ගිලගෙන යන්න ගියේය. එනම් මෑණියන් මැරී ගියේ අවට ගස්කොළන් මැරී ගියාක් පරිද්දෙන්මය. එපමණක් නොවීය. කාලය තවත් වෙනසක් ඇති කළේය. එදින සවස් මානයේ බෝසතුන්ගේ බිරිය ඒ වෙනස බෝසතුන් වෙත සැල කළේ ඔහු නිසා තමා සිව්මසක ගැබිනියක් වී ඇතැයි කීවාය. එයින් බෝසත් මානවකයන්ගේ සිතෙහි අමුතු සොම්නසක් ඇති වූයේ නැත.

හෙතෙම සිතාගෙන සිටියේ තවත් නොබෝ දවසකින්ම ගිහි ජීවිතයෙන් සමුගෙන ගොස් වලට (කැලයට) වැදී තවුස්දම් රකින්නටය. එහෙත් බිරියගේ හදිසි සැලකිරීමෙන් ඔහුට ඒ තීරණය හකුළා ගැනීමට සිදුවිය. හෙතෙම එය පසු දිනයකට කල් දැම්මේය. කාලය වේගයෙන් ගැලීය. බෝසතාණන් වහන්සේ යළිත් වැටුණේ මහ අකරතැබ්බයකටය. යළිත් බිරිය ගැබ්ගෙන සිටියාය. එයින් තැතිගත් බෝසත්හු ඊළඟට කරන්නේ කුමක්දැයි කල්පනා කළහ. තවත් මේ ගිහි ගෙදර ගිනි සුළං කෝඩ අතරට වී සිටිය නොහැකිය. මීළඟට සිදුවන හරිය ඔහු හොඳින් දැන සිටියේය. එන්න එන්නම පුළුල්වන මේ ජීවන අඳුරු ගෘහයේ තවත් කොටුවීි සිටීමෙන් තම සැබෑ විමුක්තිය ද ඈතටම ඇදී යයි. සියලු බැඳුමන් සිතින් අත් හළ ඔහු එදින රැයෙහි රිදීවන් සඳරැස් අතරින් හිමවත් පෙදෙස බලා ගමනාරම්භ කළේය. හිමාල වනයට වැදී සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් මහණදම් පුරන්නට පටන් ගත්තේය. අඹුදරුවන් ඇතුළු පස්කම් සුවෙන් තොරවී දිරිය මිනිසකු මෙන් බවුන් වඩා පංච අභිඥා, අෂ්ට සමාපත්ති ලැබ බඹ ලෝතලයෙහි උපත ලැබුවේය.
ලෝකය පුදුම දෙයින් පිරී ගිය එකකි. ලොව පුරා ඇති වධ බන්ධනාගාරයන් ද මෙබඳු පුදුම දෙයින් කොටසකැයි කිව හැකිය. මේවායෙහි ඇදගෙන ගොස් දමන සිරකරුවන් කොතරම් නම් පුදුම දුක් කන්දක් විඳිනවා දැයි බලන්නට කෙනකු එහි යා යුතුය. එහෙත් මේ වධ බන්ධනාගාරවලටත් වඩා බියකරු වූත් පිළිකුල් වූත් බන්ධනාගාරය වන්නේ මනුෂ්‍යයන්ගේ ජීවිතයම පංචකාම සම්පත් අනුභවය විෂයෙහි මේ ජීවිතය යොදවන මිනිසුනට එයින් එහා පෙනෙන ඥාන දර්ශනයක් නැහැ. ඔවුහු එහිම ඇලී ගැලී එක තැනකට සීමා වී සිටිති. අවසානයේ සිදුවන්නේ නිදිගත් ගමක් මහ ගංවතුරකට කොටුවන්නාක් මෙන් ඔවුන් පාපී මාරයාගේම ගොදුරු බව පත්වීමයි. මේ අවාසනාවන්ත තත්ත්වය ඉක්මවිය හැක්කේ ධෛර්යයෙන් යුතුව ලොව හැර යන්නට වෑයම් දරන සත් පුරුෂයනටම පමණක් බව පෙන්වා දීම බන්ධනාගාර ජාතක කත කතාකරුවාගේ මූලික අරමුණ වූ බව පෙනේ.
Related Posts Plugin for WordPress, Blogger...