රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

කර්ම විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්

වේන්දළුවේ සෝරත හිමි


ණය නොදීමෙන් ඇති වූ එබඳු විපාකයක් ගැන මා අසා ඇති කථා ප්‍රවෘත්තියක්: මෙහිලා සඳහන් කරමි.
.
රත්නපුරයේ සිටි එක් මුදලාලි කෙනෙක් එහි සිටි තවත් යාපනේ ද්‍රවිඩ මිනිසකුගෙන් රු. 5000 ක් ණයට ඉල්වාගන එම ණය මුදල නොගෙවා පසු කලෙක ඔහු කාලක්‍රියා කළේය. ඔහුගේ පුත්තු මළ පියා ගැන බැලීමට එම නාඩි ශාස්ත්‍රය උපයෝගී කරගත්හ. එහි දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ ණයගත් තම පියා එය නුදුන් නිසා ණය හිමියා ළඟ ගොනෙකු වී ඇති බවත් ණය බේරූ විට චුතවන බවත්, ඔවුන්ට එම ණය ගෙවා වුව ද එම ගොනා ගෙන ආ නොහැකි බවත්ය.
.
එම ණය කරුගේ පුත්තු කෙසෙල් ඇවරියක්ද රැගෙන ලිපිනය අනු ව යාපනයේ ගොනා ඇති නිවස බලා පිටත් වූහ. එහි ගොස් ණය හිමියා දැක ආ හේතුව පවසා එම ගොනා බැලිය යුතු බව පැවසූ විට “ඌ මහ සැර ගොනෙක්, කිසිවෙකුට ළඟටවත් කිට්ටුවීමට බැරි යයි” ණය හිමියාකි විට “ඒකට කාරි නැත. අපට ගොනා දකින්ටම ඕනෑ යැ” යි කී විට, ගොනු සිටි තැනට පාර කීවා ම ණය කරුගේ පුතා කෙහෙල් ඇවරිය ද රැගෙන ගොනු සිටින ස්ථානය වෙත ගියේය. පුතා දුටු ගොනා පුත්‍ර සෙනෙහසින් පුතාගේ පා ලෙවූ බවත්, පසු ව එම පුතා ණය ගෙවා ගොනුගේ වටිනාකම ද ගෙවා ගොනු රැගෙන දුම්රියේ ගේනවිට පාදුක්කේ දී ගොනා මළ බවත් මා ඇසූ ප්‍රවෘත්තියයි.
.
පරලොව විපාක නො අදහන පව්කරන අයටත්, අනුන්ගෙන් ණය ගෙන ආපසු ණය නොදෙන අයටත් මේ ඉතා අගනා පාඩමකි. පංචානන්තරිය කර්ම කළහුට නොවරදවා ම දෙවැනි අත්බැව මහා කල්ප එකක් අවීචි යෙහි විපාක දෙනුයේ මේ හත්වැනි ජවනය වූ උපපජ්ජ වේදනීය කර්මයයි.
.
මහා කල්ප එකකින් එම පඤ්චානන්තරිය කර්ම විපාක ගෙවෙනවා කියතත් දෙපස ජවන යන්ගෙන් ශක්තිමත් වූ මැද ජවන පහෙි විපාකය වූ අපරාපරිය වේදනීය කර්මය කවදා ගෙවෙයි දැයි කිව නො හැකිය. එය භවයක් භවයක් පාසා විපාක දේමය. මහා මුගලන් මහරහතන් වහන්සේට පල්හොරු තැළුවේ ඒ කර්මයෙන් බව කිව හැකිය.
.
කර්මයක් විපාක දීමේ දී ප්‍රතිසන්ධි විපාක, ප්‍රඟවෘති විපාක, යැයි විපාක කොටස් දෙකකට බෙදිය හැකිය. විපාක දීමේ ක්‍රම වශයෙන් ගරුකර්මය, ආචීර්ණ කර්මය, කටත්තා කර්මය, යදාසන්න කර්ම යැයි සිව් ආකාරය. පාප කර්මයන්ගෙන්ගරුකර්ම වනුයේ මව් මැරීම,, පියා මැරීම, රහතන් මැරීම, බුදුරදුන්ගේ ඇඟින් ලේ සෙලවීම, සංඝ භේදකිරීම යන මේ පසයි. කුශල පක්ෂයෙන් ගරු කර්ම වනුයේ රූපාවචර, අරූපාවචර ධ්‍යානයි. ආචීර්ණ කර්ම නම් වැඩි වශයෙන් පුරුදු කළ දෙයයි. කෘතත්වාපන කර්ම නම් කවදා හෝ එක්වරක් කර නැවත සිහි නො කළ කර්මයයි. යදාසන්න නම් කර්මය මරණාසන්නයේ දී විපාක දෙන කර්මයි.
.
මෙයින් ගරු කර්මයක් තිබේ නම්, එයත් නැති නම් ආචීර්ණ කර්මයත්, ඒත් නොමැතිනම් යදාසන්න කර්මයත් එයත් නැතිනම් කෘතත්වාපන කර්මයත් විපාක වාරයට එළඹේ.
.
කොතෙක් කර්ම ඇතත් එකවරකට ප්‍රතිසන්ධි විපාකය දෙන්නේ එක කර්මයකින්ය. මරණයට ආසන්න වුවහුට එය කර්ම, කර්මනිමිති ගති නිමිති, යැයි තුන් අයුරකින් සිතට එළඹේ. කළ කර්ම එවේලේ සිදු කරන්නක් ලෙස මරණාසන්නයේ දී පෙනීම කර්මයයි. එම කර්මය සිදු කිරීමට උපකාර වූ දෙය හෝ පුද්ගලයන් දැක්ම කර්ම නිමිත්තයි. ගති නිමිත්ත නම් දෙවනුවට උපදින තැන දැකීමයි. එය දර්ශනය වන්නේ මෙසේය.
.
අගගික්‍ඛන්‍ධං නිරයක්‍දච
පෙතලොකම්හි අන්‍ධකං
තිරච්ඡාන වන සංකණ්ඩං
මංසකණ්ඩං ච මානුසිං
විමානං දිබ්බලොකම්හි
නිමිතතා පඤ්ච දිසසරෙ
.
යනුවෙන් පස් ආකාරයට ගති නිමිති පෙනේ. නිරයේ උපදින කෙනකුට ගිනි කඳක් ද, ප්‍රේත ලොව නම් අඳුරක් ද, තිරිසන් ලොව නම් වන වදුල් ද, මිනිස් ලොව නම් රතු මස් කඩයක් ද, දෙව් ලොව නම් දෙව් විමන් ද දක්නට ලැබේ.
.
කර්මයට අනුකූල ව මෙබඳු නිමිති දකිමින් සිටින්නහුගේ අවසාන චුති චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඒ සමග අවසාන වරට දුටු නිමිත්තෙහි එල්බ ගනිමින් දෙවැනි අත්බව සම්බන්ධ කරන පටිසන්ධි සිත පහළ වේ. පටිසන්ධි විපාකය කියනුයේ එයටයි.
.
එසේ පළමුවෙන් උපන් සත්ත්වයාට ඒ පළමුවෙන් පහළ වූ පටිසන්ධි සිතට සමාන සිතක් මුළු ජීවිත කාලයෙහි ම භවංග වශයෙන් තිබී චුති වශයෙන් අවසාන වෙයි. ඒ උපන් භවය තුළ දී යම් සැප දුක් දෙකක් විඳින්නේ ඒ ප්‍රති සන්ධි ගෙන දුන් කර්මයෙහි මැද ජවන සිත් පහෙනුත් තව ඉතුරුවට ඇති කර්මයන්ගේ මැද ඇති ජවනවලිනුත් කියා දත යුතුය. මෙසේ ප්‍රථම ජවනයෙන් දෘෂ්ටධර්ම විපාකත්, හත්වැන්නෙන් දෙවැනි අත් බැව් පටිසන්ධි විපාකත්, මැද ජවනයන්ගෙන් ප්‍රවෘත්ති විපාකත් ලැබේ. මේ කර්ම ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි විපාක ලබා නුදුන හොත් අහෝසි කර්ම වන බව දත යුතුය.
.
එයට ද හේතු ඇත. එනම් ප්‍රබල කර්මයන්ගේ විපාක වින්දනය නිසා දුර්වල කර්මයන්ගේ විපාකවලට කාලය නොලැබීයාම නිසා අහෝසි වේ. ප්‍රයෝග සම්පත්, කාල සම්පත්, ප්‍රදේශ සම්පත් ආදිය නිසා අකුශල විපාක නැතිවන අවස්ථා ද ප්‍රයෝග විපත් ආදියෙන් කුශලකර්ම විපාක නැති වන අවස්ථා ද ඇත.
.
සමහරු එබඳු අවස්ථා නිරූපණය කිරීමට මෙබඳු වදන් ප්‍රකාශ කරත්. “අනේ මම අසවල් වේලාවට, අසවල් විධියට ඒ ගමන නොගිය නිසා, ඒ වැඩය නොකරපු නිසා මට ලැබෙන්නට ගිය විශාල ලාභයකින් පිරිහුණා” මෙබඳු වදන් කියනුයේ ප්‍රයෝග විපත්තියෙන් කුශල විපාක නොලැබී යෑම ගැනය. “අනේ මෙහෙම කාලයක හැටි මේ කාලයේ මේ මැණිකට අපට ලැබෙන්නේ සුළු මුදලක්, පසුගිය කාලයේ නම් මැණික් බොහෝ ම ගණන්, ඒ කාලයේ දී වත් මෙය ලැබුණා නම් අපේ අත මිට පිරී සියලු සම්පත් ලබන්ට තිබුණා” මෙහෙම කියනුයේ කාල විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය.
.
අනේ මෙහෙම පළාතක්, අප කරන ගොවිතැන් වලින් අප කරන වැඩ වලින් වෙන පළාතක නම් අපිත් මිනිස්සු තමිඩ. මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය. “මේ දරුවා බොහොම පින්වන්තයි ඒත් අනේ මේ දුප්පත් අප ළඟ ඉපදිලා විඳින දුකක හැටියැ” යි කියනුයේ ගිත විපත්වලින් වැළකුණු කුශල විපාක වලටයි.
.
“මොහු අසවල් කාලේ අසවල් දවසේ අසවල් වේලාවේ ආවානම් මහාදුකකට පත් වෙනවා, යන්තං ඒක වැළකුණා, හොඳ වෙලාවට ඇවිත් යැ” යි මෙහෙම කියනුයේ කාල සම්පත්තියෙන් වැළකීගිය අකුශලවිපාකවලටයි. “මොහු මේ වැඩය අසවල් විධියට කළා නම් මේ දුකට පත් වන්නේ නැහැ නො වැ” යි කියනුයේ ප්‍රයෝග විපත්තිය ගැනය.” “මේ පළාතට ආවාට පසු ව අනේ මොහු විඳින දුකක් යැ” යි මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත් ගැනය. “මොහු වෙන තැනක උපන්නා නම් ජරදුක් විඳින්නේ, දැන් අප ළඟ උපන් බැවින් සැප විඳිනවා” මෙබඳු වදන්කියනුයේ ගති සම්පත් වලින් වැළකී ගිය අකුශලවිපාක වලටය.
.
මේ දැක්වූයේ ප්‍රයෝග සම්පත්, එම විපත් ආදිය අවබෝධ කර ගැනීමට ජනයා අතර ව්‍යවහාරික වදන් කීපයකි. මේ සියලු කර්මයන්ගේ විපාක නැති වන්ට නම් කර්ම ක්ෂයකර ඥානය ඉපිද විය යුතුය. අංගුලිමාල මහ රහතන් වහන්සේ කර්මක්ෂයකර නුවණ ඉපද වූ නිසා කරන ලද දරුණු කර්ම වල විපාක අහෝසි වී ස්කන්ධය පවත්නා නිසා ප්‍රථම ජවනයන්ගේ ප්‍රවෘත්ති කර්ම විපාක ශේෂ වූ හැටිත් බුදුරදුන්ගේ උපදෙස් පරිදි ප්‍රයෝග සම්පත් යොදා ගැනීමේත් එවා ද වැළකී ගිය සැටිත් අංගුලිමාල කථා වස්තුවෙන් අවබෝධ කර ගත යුතුය.
.
කොහොමත් සත්ත්ව සන්තානයක ඇති කර්ම රාශිය මහා සාගරය මෙනි. මහා සාගරයේ ජලය අඩුවීමක්ද, පිරීමක් ද නො පෙනේ. එමෙන් සත්ත්ව සන්තානයේ කර්ම පිරී, ගබඩාවී, අඩු නොවී පවතී. කොතෙක් වුවත් තවතවත් කර්ම රැස්වේ. ඒ අලුත් කර්මවලට ඉඩමදි වීමක්ද නැත. එම නිසා කර්මක්ෂය තරම් අමාරු දෙයක් තවත් නැත. ඒවා ක්‍ෂය කරන්ට ගතවන කාලය මහා කල්ප අසංඛ්‍ය 24 – 16 – 8 – 4 – 1 යනා දී වශයෙන් කාල ප්‍රමාණ අවශ්‍ය වේ. ඒ අතර අලුත් කර්ම නොඉපදවීමට ද වග බලාගත යුතුය. මහා ජලාශයක් හිස් කරන්ට එයට ජලය එන මාර්ග පළමුවෙන් වසා හිස් කිරීම පටන් ගත යුතුය. ජල මාරග හිර නොකර මැෂින්වලින් ජලය ඉස්සත් එම ජලාශය හිස් නො වේ. එසේ ම වසන ලද ජල මාර්ග පෑදී ආයිත් ජලය එනවා දැයි නිතර පරීක්ෂාවෙන් සිහියෙන් ජලාශය හිස් කිරීමේ කටයුතු කළොත් ජලාශය හිස්වේ.
.
එමෙන් කර්ම නමැති ජලාශය හිස් කිරීමේමේ ක්‍රියාවට පාරමී පුරණයැයි කියනු ලැබේ. ඒ අතර සිහිනුවණින් යුතු ව අලුත් පාපකර්ම අත්හරින විට පාරමී පිරීමේ දී කුශල කර්ම පමණක් ශේෂ විය හැකිය. ඒ කුසල කර්ම වියළවා ගැන්ම දුෂ්කර නො වේ. කල්පාන්ත වහ්නියෙන් නොසිඳෙන මහා සාගරය වියළී යන්නා සේ අවසානයෙහි කර්මක්ෂය කර නුවණින්සියලු ම කර්ම වියලේ. සියලු දුක් නැතිවන්නේ ද එවිටය. කර්ම විභාගය ඉතා දිගු පුළුල් එකෙකි. සියල්ල පූර්ව කර්මයෙන් නො සිදුවන බවත් දැනගනු මැනැවි. කුසල් අකුසල්, පින් පව්, හොඳ නොහොද දැනගෙන දුසිරිතෙන් මිදී සුසිරිතෙහි බැඳී තුන්දොරින් සුසිරි පිරුව යෙහේ. එසේ කොට දුකෙන් මිදී පරම ශාන්ත සර්ව සුන්දර අමාමහ නිවනින් සැන සෙන්නට වෑයම් කරන්නේ මැනවි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වීර ජාතකය

ජාතක පොතෙන් -  දෙව්දත් තෙරුන්ගේ කපුටු ආත්මය

උදාවූ වස්‌සාන සිහිල් සුළඟ නතරවී නොතිබිණි. ෙ-තවනාරාමය සිසාරා අනවරතයෙන් හමා ගිය ඒ සුළඟින් තුරු පතර සුපිපි මල්වල සුවඳ කැළඹිණි. කැළඹුණු ඒ නන්විධ මල් සුවඳ වැට කඩොලු පවුරු පදනම් ද පැන අසිරිමත් දෙව්රම් වෙහෙරට රිංගා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්‌කාර කළේය. මෙබඳුවූ අප්‍රමාණ මලින් ගැවසී ගත් තුරුමෙන්ම ලතාවන්ගෙන්ද ගහන වූ ෙ-තවනාරාමය අවට කොතෙක්‌ නම් විසිතුරු සිරියාවකින් සමන්විත වී තිබේද? සුරත් පැහැගත් සැඳෑ වලා අතරින් පෙරී එන හෙමින් මියයන හිරුගේ රැස්‌ ඒ තුරු මෙන්ම ලතාවලටද තවත් විසිතුරු සළු පළඳවන්නා සේය.

සැඳෑ කාලය එළඹෙන්නට පටන්ගෙන හෝරා කිහිපයක්‌ම ගෙවී ගොස්‌ තිබිණි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තවමත් දම් සභා මණ්‌ඩපයෙහි වැඩ හිඳිමින් අමා දහම් වැසි වස්‌සවන සේක. පිනැතියෝ ඒ දහම් වැස්‌සේ තෙමෙති. තෙමෙමින් තෙමෙමින් පිළිවෙළින් සෝවාන්, සෙදගැමි, අනාගාමී ආදී නිවන් මගඵල සපුරාගන්නා ඔවුහු නම් කොතරම් වාසනාවන්තයෝද? ඔවුනට ජාති, දුක්‌, නැතිවී යන අයුරුෘ රජා දුකක්‌ නැතිවී යන අයුරු ව්‍යාධි දුකක්‌ නැතිවී යන අයුරු, කැමැති දේ නොලැබීමේ දුක මෙන්ම මරණ දුඃඛ ආදී කොටගත් ඈ දහසකුත් දුක්‌ වේදනා සදහටම හැරදා ඔවුන් සංසාර සාගරයෙන් එතෙරවී යන අයුරුෘ මේ නම් කොතරම් පුණ්‍යභාග්‍යයක ඵල විපාක දීමක්‌ද?

සවණක්‌ ගන සම්මා සම්බුදු රැස්‌ විහිදී යන අයුරු. ඒ දෙස බලා සිටින්නකුට නම් සිතෙන්නේ මෙවන් වූ තවත් අසිරියක්‌ ලොව ඇත්තේ කොතැනකද? යන්නය. එතරම්ම එයින් දෙවියන්, බඹුන් මෙන්ම මිනිසුන්, යකුන් තිරිසන් සතුන්ද ලබන්නේ අප්‍රමාණ නිරාමිස සොම්නසක්‌ බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අෂ්aටාංග සමන්නාගත බ්‍රහ්ම ස්‌වරයෙන් යුක්‌තවූ මේ අමා දහම් කතාවට විෂය වූයේ දෙව්දත් තෙරණුවන්ය. එනම් පෙර එක්‌ දිනයකදී දෙව්දත් තෙරණුවෝ සමඟ වෙනත් පෙදෙසකට වැඩම කළෝය. එසේ වැඩම කළ දෙව්දත් තෙරණුවෝ උන්වහන්සේලාගේ සිත් සතන් තුළ වැපිරවූ මිථ්‍යාවේ බීජ නම් කොතෙක්‌ද? එවන් වූ මිසදිටු බවෙහි වල්බීජ අර පන්සියයක්‌ භික්‌ෂුන් වහන්සේලාගේ සිත් නමැති කෙත්වල වැට පැළ විණ. එයින් උන්වහන්සේලා වැටෙන්නට ගිය සතර අපායන්ගෙන් තරම නම් කොතෙක්‌ ද? එ විසල් වූ සව්මහ අපායන්ගෙන් උන්වහන්සේලා ගොඩ ආවේ පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිළිසරණයෙනි. දෙව්දත් තෙරුන් වහන්සේ සිදුකළ සංඝ භේදය පිළිබඳව සැවැත්නුවර පුරාවෙහි මෙන්ම ෙ-තවනාරාමය පුරාවෙහිද පැතිරී තිබිණි. බුදු මුවින් වැගිර ගලා ගිය මේ අමා දම් වැස්‌සට සැබැවින්ම හේතු පාදක වූයේ දෙව්දතුන්ගේ මේ ක්‍රියාකලාපයමය. පින්වත් මහණෙනි, මේ දේවදත්තයෝ දැන් මතු නොවෙයි, පෙරත් මෙසේම මාගේ බුද්ධ ක්‍රියාව සිදුකරන්නට ගොස්‌ බොහෝ විනාශයට පැමිණියෝ නොවේදැයි වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අනුව ඒ පිළිබඳ ඉකුත්වත් ගෙනහැර දක්‌වා වදාළ සේක.

ඒ දුර ඈත අතීතයයි. එය අතීතයේ එක දවසකි. බරණැස්‌ පුරවරයෙහි බ්‍රහ්මදත්ත නම් අසිරිමත් නිරින්දෙක්‌ රජකම් කළේය. කලින් කලට මේ සොඳුරු බාරාණසියේ පහළ වන රජුන් අතරින් මෙසේ මෙකල පහළවී සිටි නිරිඳු තෙම වූයේ දැහැමිකමද උපතින්ම ජීවන උරුමය කොට ගත්තෙක්‌ය. මේ සොඳුරු නරපති තෙම මල නොතලා මලෙන් රොන් ගන්නා බඹරකුසේ දැහැමෙන් මෙන්ම සෙමින්ද රජකම් කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ බරණැස පුරවරයෙහිම එක්‌ විලෙක දිය කාවෙක්‌ව ඉපදී සිටියෝය. මේ බෝසත් දිය කාවාගේ නම වූයේ 'වීරකය'. වීරක සුනිල් මිණි තලාවක්‌ බඳුවූ විල් ජල තලාවෙන් යට සොම්නසින් කාලය ගත කරද්දී බරණැස්‌ පුරවරයට නරක කල දසාවක්‌ පැමිණියේය. හුදෙක්‌ම ඒ එතෙක්‌ පැවැති යහපත් කාලගුණය විශාල වෙනසකට ලක්‌ වීමෙනි. තුරු පතර සුපිපි මල් ඒත් එක්‌කම බිම හැළිණි. ගිනියම් හිරු කිරණ උදැහැනැක්‌කේ පටන් මුළුදවස ගෙවී යන තෙක්‌ම වැහි තෙතමනය මුළුමනින්ම අතුරුදන්වී ගියේය. තුරු ලතාවල ඝන නීල කොළ හැලී ඈතට දිස්‌වූයේ සාරය සිඳී ගිය දර ඉපල් පරිද්දෙන්ය.

වේලුණු බරණැස්‌ නුවර ආහාර හිඟවී ගියේය. වෙනදා නම් මේ කාලයට බරණැස්‌ නුවරින් ඔබ්බෙහි වූ නිමක්‌ නැති බිම් තලාවක පිහිටි කෙත් ප්‍රවාහය සී සාන්නට පානා ගොවීන්ගේ අඬහැරයෙන් ගිගුම් දෙන්නේය. එහි ඇතැම් ගොවීහු තම තමන්ගේ කෙත් අස්‌වද්දන්නට සුනිල් දියවර බඳිති. ඇතැම් ගොවීහු නියර බැමි රහිති. තවත් ගොවියෙක්‌ උදැල්ලෙන් රැහී යන ඒ හිඩැසට මඩ වැඩය සිදු කරන වැඩ නිමාවීමෙන් ඉක්‌බිති කෙත් යායෙහිම බිජුවට වැපිරීම කරනුයේද එකටම. වපුරා සතිය දෙක ගත වෙනවාත් සමගම තෙරක්‌ නොපෙනෙන තෙක්‌ පැතිර ගිය මුළු කෙත් ප්‍රවාහයම නිලෙන් බබළයි. එහෙත් මෙතෙක්‌ නොකඩවා සිදුවී ගෙන ආ මේ ශ්‍රී විභූතියට මෙවර සිදු වූයේ කුමක්‌ද? හැම කෙතකම දිය කඳුළක්‌ හෝ දක්‌නට නොලැබිණි. අන්තයටම වේලී කරවී ගිය තණ පඳුරු මෙන්ම ඉපනැල්ලද එකම පඬු පැහැගෙන රත් වී තිබුණේය. අනියත භාවයක තරමෘ ලෞකික ලෝකයේ කොතැනකවත් හැමදාමත් මල් හටගන්නා වසන්තයම නෑ නොවේද? මේ ඒ සනාථන ලෝ දහම පිළිබිඹු කළ අපූරු කැඩපතක්‌ වැන්න.

මේ අයුරින් හදිසියේ පැමිණ නැවතුණු මේ අනපේක්‌ෂිත සාගතය මිනිසුන්ට පමණක්‌ නොව සතා සිව්පාවාටද තදින්ම දැනිණ. නමින් 'සවිට්‌ඨක' වූ කපුටුවාද මේ දරුණු සාගතයට හසුවූ එබඳුවූ එක්‌ පක්‌ෂියෙක්‌ වී. ඌ ඈත සිට බරණැස්‌ නුවරට පියාඹා ආවේ සිය කපුටු ෙනුවද කැටුවය. මෙසේ පැමිණි කපුටා වීරක නම් බෝසත් දියකාවා වසන විල සමීපයට පැමිණියේය. පැමිණ ඉමහත්වූ ආදර ගෞරවයකින් දියකාවා අමතන්නට පටන් ගත්තේය. කපුටුවාගේ මධුර මනෝහර වදන් ඇසෙත්ම දිය කාවාගේ සිත මහත් සේ පැහැදිණි. මෘදු මොළොක්‌ ද වී.

'සබඳ කපුටුව ඉඳින්,පවසන්න. කොයි සිට ඔබ මෙහි පැමිණියේද? කුමක්‌ නිසා මෙහි ආවේද?' බෝසත් දිය කාවා ඇසුවේය. කපුටුවා තම හඬ අවදි කළේ මෙයින් පසුවය.

''සබඳිනි, වෙන කිසිවක්‌ නිසා මේ බිරියද සමග මම මෙහි නොපැමිණියෙහි. නුඹ වහන්සේට මහත්වූ ආදර ගෞරවයෙන් උවටැන් කරනු රිසියෙන්ම මෙහි පැමිණියෙමි'' කපුටුවා පිළිවදන් දුන්නේය. සැබවින්ම මෙතැන් සිට මේ කපුටු දියකා මිත්‍රත්වය එක දම් වැලක සවිමත් පුරුක්‌ දෙකක්‌ මෙන්ම එකට බැඳුණේය. ඔවුහු ගඟට දිය මෙන්ම ගසට පොත්තක්‌ සේමද කාලය ගත කළෝය.

නියඟයක්‌, සාගතයක්‌ බරණැස්‌ පුරවරයට කොතෙක්‌ සරදම් කළත් කපුටුවාට දැන් එහි කිසිම අදාළත්වයක්‌ නැත. නිල් දිය පොකුණ යට පීනා යන බෝසත් දියකාවා ඇති තරම් ගොදුරු ගෙනැවිත් කපුටුවාට දුන්නේය. සෑහෙන තරම් ඒ ගොදුර කෑ කපුටුවා ඒවායින් සිය ෙනුවටද සංග්‍රහ කළේය. හෙමි හෙමින් ඉබි ගමනින් නික්‌ම ගිය කාලයේ ගඟ සීරුවෙන් ගලා ගියේය. සිදුවූයේ අරුම පුදුම දෙයකි. තොරතෝංචියක්‌ නොමැතිව කල්පනා කරන්නට පටන් ගත් කපුටුවාගේ සිත මහත් සේ වියවුලට පත්විය. එනම් කපුටුවා තාමත් , දිය කාවාත් පිළිබඳව සසඳමින් දිගින් දිගටම කල්පනා කරන්නට පටන් ගත්තේය. දහ අතේ කල්පනා කරන්නට පටන් ගත්තේය. 'මාත් කළු පාටයි. දිය කාවාත් කළුපාටයි. මගේත් ඇත්තේ පා දෙකයි. ඉදින් දියකාවාටත් ඇත්තේ එවැනිම පා දෙකක්‌ නොවේද? එසේ නම දියකාවා සොයාදෙන ගොදුරු මා කන්නේ කුමටකද? මම ම ගොදුරු සොයා කමි' යි සිතූ කපුටාගේ කෝපය නිම්හිම් නැතිවිය. ඒ කෝපයේ හා නොඉවසීමේ අනුසරින්ම කපුටුවා දියකාවා හමුවන්නටද ගියේය. හමුවන්නට ගියා පමණක්‌ නොව, ගොස්‌ දිය කාවාට හොඳටම අවලාදද කීවේය. අවලාද නඟා අවසානයේ ''මට මෙයින් මතු නුඹේ ගොදුරු ඕනෑ නැහැ. මගේ ගොදුරු මම්ම විලට බැස සොයා ගන්නවා'' යිද කීවේය.

කපුටුවාගේ මේ වදන් ඇසූ දිය කාවාගේ සිත තුළ තරහක්‌ ඇතිවූයේ නැත. කපුටුවාගේ දැඩි අනුවණ හා අදූරදර්ශීත්වය පිළිබඳව ඇති වූයේ ශෝකයක්‌ හා අනුකම්පාවක්‌මය.

''සබඳ එසේ නොකරව, අප දිය තුළ කිමිදීමට දන්නා අයයි. නුඹලාට එබඳු හැකියාවක්‌ නැහැ. එහෙයින් නුඹ ගොදුරු සොයා දියෙහි කිමිදෙන්නට වුවහොත් නිතැතින්ම නුඹේ ජීවිතය නැති වෙනවා' යි දියකාවා බැගෑපත් ස්‌වරයකින් කපුටුවා ආමන්ත්‍රණය කළේය. එහෙත් එබස්‌ ඇසුවේ හෝ එයින් නැවතුණේ හෝ කපුටුවා නොවේ. ඌ කීවා සේම ගොදුරු සොයනු රිසියෙන් වළට පැන්නේය. පැන දිය යටටම කිමිදී ගියේය. ඒ යාම ගියා පමණය. යළිත් කපුටුවා උඩට පැමිණියේ නැත. විල් පතුළේ වූ දිය සෙවෙල අතර හිරවී අධික ලෙස දියපෙවී මියගිය කපුටුවාගේ නිසල සිරුර දින කිහිපයකින් දිය කාවාට හමුවිය. 

වෙනදා තමාට ගොදුරු ගෙන එන කපුටුවාගේ නොපැමිණීමෙන් කපුටු ෙනුව මහත්වූ බියටත්, කලබලයටත් පත්වූවාය. කුසගින්න, මියයන තෙක්‌ම ඉවසා සිටිය හැකි වුවත්, සිය සෙනෙහෙබර ස්‌වාමි පුරුෂයාගේ නොපැමිණීම ඇයට කිසිසේත් ඉවසා දරාගත නොහැකි විය. එම ශෝකාතුර බව ඇතිවම ඒ අනුව ඇය බෝසත් වීරක දියකාවා විසූ විල වෙත පියාඹා ආවාය.

''පින්වත් වීරකයාණන් වහන්ස, මිහිරි කට හඬක්‌ ඇති මොණරුන්ගේ කරෙහි බඳුවූ නීල වර්ණ ග්‍රීවයක්‌ ඇති මාගේ සවිට්‌ඨික නම්වූ කපුටු ස්‌වාමියා දින ගණනාවකින් මා සොයා පැමිණියේ නැහැ. ඉඳින් ඔහු කොහේදැයි පවසන්න' යි කපුටු ෙනුව කඳුළු පිරි දෙනෙතින් යුතුව තෙපළාය.
''කපුටු ෙනුවනි, මාගේ කීමත් නොතකා නුඹගේ කපුටු ස්‌වාමියා ගොදුරු සොයන්නට දිය යටටම පීනා ගියා. එසේ ගොසින් සෙවෙල්වල පය පැටලී මළේ'' යෑයි නිසල මළ කඳ පෙන්වීය. එයින් මහත් ශෝකයට පත් කපුටුෙනුව ඒ අසලට වී අප්‍රමාණ හඬා වැළපී පෙරළා බරණැස්‌ නුවරට ගියේ යෑයි වදාළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වීර ජාතක දේශනාව නිමවා වදාළ සේක.
සුගත් වීරසූරිය

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පසේ බුදුවරයෙකුට මඟ පෙන් වූ සුනඛයෙකුගේ කතාව


ගම්/මණ්ඩාවල
ශ්‍රී නන්දාරාම පිරිවෙන් කෘත්‍යාධිකාරී
ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමි

දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්‍ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්‍ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක් ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි සිටියහ.

ගමන් අපහසුතාවයක්, ඉසිලිය නොහැකි තරමේ කුසගින්නත් තුළින් ගමන් කරන පුරුෂයා සිය බිරිය අමතා මෙසේ පැවසීය. අපට ගමන් විඩාවයි. කුස ගින්නයි. දරුවාත් රැගෙන මේ ගමන යා නොහැකි යි. දරුවා මඟ දමා යමු. සැමියාගේ මෙම අදහසට බිරිඳ විරුද්ධ වූවා ය. අවසනදී ඔවුන් දෙදෙනාම එක් නිගමනයකට එළැඹුණි. ඒ දෙදෙනා මාරුවෙන් මාරුවට දරුවා වඩාගෙන යෑමය.

මවගේ අතින් පියාගේ අතටත්, පියාගේ අතින් මවගේ අතටත් වශයෙන් වරින් වර මව්පියන්ගේ අතට මාරුවන දරුවාට ගමන් විඩාවත්, කුසගින්නත් නිසා පියාගේ අතේ දී නින්ද ගියේ ය. මේ අවස්ථාව දරුවා හැරදමා යෑමට හොඳයැයි කල්පනා කළ කොතුහලික තම බිරිඳ ඉදිරියෙන් ගමන් ගැනීමට සලස්වා ගසක් යට කොළරොඩු ගොඩක් උඩින් දරුවා තබා තමන් ද ගමන් ගත්තේ ය. සෑහෙන දුරක් ගමන්ගත් බිරිඳ තම පුරුෂයාගේ අතින් දරුවා ගැනීමට ආපසු හැරී බලද්දී පුරුෂයා අත දරුවා නොමැති නිසා මහත්සේ විලාප තබන්නට පටන් ගත්තේ ය. දරුවා නොමැතිව තමන් කොහේවත් නොයන බව විලාප තබමින් බිරිඳ පැවසීම නිසා තමා දරුවා හැරදමා පැමිණි ස්ථානයට වහාම දිවගිය ‘කොතුහලික’ දරුවා රැගෙන බිරිඳ සිටි ස්ථානයට පැමිණියේ ය. කුසගින්න සහ වෙහෙසකාරී තත්ත්වය මත දරුවා ඒ වන විට මරණයට පත් වී සිටියේ ය. එතෙක් ආදරයෙන් රැකගත් දරුවාගේ මෘත දේහය මහමඟ දමා ඔවුන් දෙදෙනා යළි කොසබෑ නුවර දක්වා ගමන් කරන්නට පටන් ගත්හ.

කොතුහලික සහ බිරිඳ මෙසේ ගමන් ගනිද්දී එක් ගොවිපල් ගෙදරකට (ගවයින් ඇතිකරන නිවසකට) පැමිණියෝ ය. මෙදින මේ නිවසෙහි උත්සවයකි. ඒ තමන් කිරි ලබා ගන්නා ගවදෙනුන් නාවා, ආහාර පානාදිය සපයා ඔවුන් වෙනුවෙන් කරනු ලබන ඉමහත් පුද සත්කාරයකි.

මෙම ගොපළු ගෙදර එක්තරා පසේ බුදු නම දන් වැළඳීම පිණිස නිරතුරුව වඩිති. මේ ගොපළු ගෙදරට මෙදින ද එම පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහ. පසේ බුදුරදුන් සඳහා දානය පිරිනැමීමෙන් අනතුරුව ගොපළුතෙමේ පැමිණි ආගන්තුක අඹු සැමි යුවළට ගිතෙල් සමඟ කිරිබත් කෑමට දුන්නේ ය. බිරිඳ සිය සැමියාට ඇති ගෞරවය නිසා ආගන්තුක නිවසකදී ලැබුණ ගිතෙල් සහ කිරිබත් පළමුව ඔහුට කෑමට සැලැස්සුවා ය. දින ගණනක් ආහාර අහේනියට ගොදුරුව සිටි කොතුහලික රසවත් කිරිබත සහ ගිතෙල් නොසෑහෙන සේ ගිල දැමුවේ ය. ගොපළු තෙමේ ආහාර ගන්නා අවස්ථාවේ දී ගෙදර සිටි බැල්ලට ද කිරිබත් සහ ගිතෙල් කෑමට දුන්නේ ය. මේ පිළිබඳව තණ්හාදික චිත්තයක් ඇතිකරගත් කොතුහලික “මේ බැල්ල මෙවන් රසවත් ආහාර ලැබීමට පින්කර ඇත්තියක්” යැයි කල්පනා කළේ ය. එම ආහාර දිරවා ගැනීමට නොහැකිව කෝතුහලික පමණට වඩා ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එදින රාත්‍රි මරණයට පත්විය.

කොතුහලිකගේ මරණාසන්න චේතනාවේ ප්‍රතිඵලයක් හැටියට එම බැල්ලගේ කුස බලු පැටියකු වී උපන්නේ ය. කොතුහලිකගේ බිරිඳ සිය සැමියාගේ දේහය ආදාහනය කර එම නිවසෙහිම සේවය කරමින් සිටියා ය. තමන් කරන ලද සේවයට සහල් නැළියක් උපයාගත් කොතුහලිකගේ බිරිඳ එයින් දානයක් උයා පසේ බුදුරදුන්ට පුද දී මියගිය තම සැමියාට පුණ්‍යානුමෝදනා සිදු කළාය. පසේ බුදුරදුන් උපස්ථාන කර පින් රැස්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව කල්පනා කළ කොතුහලිකගේ බිරිඳ එම නිවසෙහිම නතර වී සිටියා ය. නිවසේ සිටි බැල්ල කල්ගතවීමෙන් බලු පැටවෙකු වැදුවා ය. බලු පැටවා නොබෝ දිනකින් වැඩී ගියේ ය. පසේ බුදුරදුන් ගොපළු ගෙදරට දානයට වඩින සෑම දිනයකම මෙම සුනඛයාට බත් පිඩක් දීමට අමතක නොකළහ. එහෙයින් එම බල්ලා බුදුවරයාණන් කෙරෙහි දැඩිසේ හිතෛෂීකමක් දැක්වීය.

වනාන්තරගත අරණක වැඩ වාසය කරන පසේ බුදුවරයාට දිනකට දෙවරක් වතාවත් කිරීම පිණිස ගොපළුතැන යන සෑම අවස්ථාවකම නිවසේ සිටින මෙම සුනඛයා ද ඔහු සමඟ යන්නේ ය. වන සතුන් ඇති ගමන් මඟකින් යෑමට ඒමට ඇති නිසා මුගුරකින් ගස්කොළන් වලට තට්ටු කරමින් ශබ්ද නංවමින් යන මෙම ගමන ඉතාමත් බියකරු බව සුනඛයා ද අවබෝධ කරගෙන සිටියේ ය.

තමන්ට පැමිණීමට නොහැකි දිනට, තමන් ඇතිදැඩි කරන මෙම සුනඛයා එවා දානයට බුදුරදුන් කැඳවාගෙන ඒමට හැකිබව ගොපළු තෙමේ පසේ බුදුවරයාට දැනුම් දුන්හ. පසේ බුදුරදුන් ද ගොපල්ලාගේ එම ආරාධනාව සතුටින් පිළිගත්හ. මෙසේ දින කීපයක් ගතවෙද්දී ගොපල්ලා තමන්ගේ සුනඛයා අමතා මෙසේ කීය.

“අද දහවල් දානයට පසේ බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්න. තොප යන්න” යැයි ගොපල්ලා පැවසූ සැනින් සුනඛයා පිටත්විය. කටුක ගමන් මඟේ දී තමන්ගේ ස්වාමියා (ගෙහිමියා - ගොපල්ලා) ගස් කොළන් වලට පහරදී වනසතුන් පලවා හරින ස්ථාන දැනගෙන සිටි සුනඛයා එම ස්ථාන වලදී මහත් හඬනඟා බුරමින් වනසතුන්, පලවා හරිමින් ගමන් කරන්නේ ය. මෙසේ ගමන් කර පසේ බුදුවරයා වැඩ වාසය කරන පන්සලට ගොස් තුන් වරක් ශබ්ද නගා බුරමින් තමන් ආ බව දැනුම් දී සිටියි. නියමිත වේලාව එළඹී බුදුරදුන් දානයට වඩින අවස්ථාව වනතෙක්ම ආවාස කුටිය සමීපයට වී සිටින සුනඛයා බුදුවරයා දානයට පිටත්වීමට මඟට බසිද්දී ඌ ඉදිරියෙන් ගමන්ගනී. වන සතුන් ගැවසෙන ස්ථාන වලදී ශබ්ද නගා බුරමින් යන මේ සුනඛයා පරීක්‍ෂා කරනු පිණිස පසේ බුදුරදුන් සමහර තැනකදී වෙනත් අතුරු මාර්ගයකට හැරෙන්නට සැරසෙති. මාර්ගය වැරැදී යැයි සිතන සුනඛයා එවන් අවස්ථාවලදී පසේ බුදුවරයාගේ සිවුරු පොට කටින් අල්ලා නියමිත මාර්ගයට පමුණුවනු ලබයි. මෙම චර්යාව නිතරම සිදුවෙද්දී සුනඛයා පසේ බුදුරදුන් කෙරෙහි අසීමිත ස්නේහයකින් කල්ගත කළේ ය.

මෙසේ කාලයක් ගතවෙද්දී බුදුවරයාගේ සිවුර දිරාපත් වී ගියේ ය. එය දැකීමෙන් පසුව ගොපල්ලා විසින් සිවුරක් සකස් කර ගැනීම පිණිස පසේ බුදුවරයාට වස්ත්‍රයක් පූජා කරනු ලැබීය. තනි මට සිවුරක් සකස් කර ගැනීමට දින දීපයක් ගතවන බැවින් ඒ සඳහා සුදුසු ස්ථානයකට යා යුතු බව පසේ බුදුවරයා ගොපළු තැනට දැනුම් දී සිටියහ. මේ කතාව නිවසේ ඇති කළ සුනඛයා අසා සිටියේ ය. ගොපළු තැනගෙන් සමුගත් පසේ බුදුවරයා සුනඛයා දෙස බලා සෘද්ධියෙන් අහසට නැගී ‘ගන්ධ මාදන’ පර්වතය බලා වැඩියහ. අහසින් වඩිනා බුදුරදුන් දෙස බලා සිටි සුනඛයා බුදුරදුන් නොපෙනෙන තෙක් බලා සිටිමින් තෙවරක් බුරා හදවත පැළී මිය ගියේ ය.

එම සුනඛයා මරණින් මතු තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබුවේ ය. දෙවඟනන් දහසක් පිරිවරා දිව්‍ය සම්පත් ලබමින් සිටියි. කනට කොඳුරා කතා කරන විට එම හඬ දොළොස් යොදුනක් දුරට පැතිරී යන්නේ ය. පියවිහඬ දස දහසක් යොදුන් දුරට පැතිරී යන්නේ ය. ඒ නිසාම මෙම දිව්‍ය පුත්‍රයාට “ඝෝෂක” යන නාමය පට බැඳුනේ ය. පසේ බුදුවරයාට ස්නේහ වන්තව ගෞරවාන්විතව කටයුතු කිරීමේ කුඩා කුශලයෙන් මේ තරම් දිව්‍ය සම්පත් විඳීමට හේතුවූයේ පහන් සිතින් කුඩා වූ හෝ පුණ්‍ය කර්මයක් මහත්ඵල මහානිසංස වලට හේතු සාධක වන බව සනාථ කරමිනි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ

සෘද්ධි බලයෙන් බුදුරජාණන්වහන්සේට පමණක් දෙවෙනි වූ ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ 

අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.

මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා.

ඒ දෙපල එතැන් පටන් නොයෙක් පින්කම් කරමින් ඉඳල මරණින් මතු සුගතියේ ඉපදිලා ගොඩක් කල් සසර සැරිසරලා ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලෙ “උපතිස්ස” හා “කෝලිත” නමින් රජගහනුවර බමුණු කුල වල උපත ලැබුවා. ඒ කාලෙ වාර්ෂිකව පැවැත්වුණු “ගිරග්ග සමජ්ජ” කියන නාට්‍ය සංදර්ශනේ බලලා, සසර කලකිරිලා, ගිහිගෙයින් නික්මිලා සත්‍ය සොයාගෙන ගිය කතාව ඔයාල දන්නවනෙ. ඉතින් ඉස්සෙල්ලම ගියේ “සංජය” පරිබ්‍රාජකතුමා ලඟට. එතනදී තවුස් භාවය ලබාගෙන, උගත් යුතු සියල්ල ඉගෙන ගෙන, එයින් පලක් නැති බව හිතලා නියම දහම් මඟ හොයාගෙන ගියානෙ. එහෙම ගිය ගමනෙදි තමා උපතිස්ස පරිබ්‍රාජකතුමාට “අස්සජි” මහ රහතන් වහන්සේ හමුවුණේ. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ දැක පැහැදිලා කිසිවක් නොකියා පසුපසින්ම ගමන් කළා. දන් වළඳලා ඉවර වුණාම ලඟට ගිහින් උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. එහිදී තමා “යේ ධම්මා හේතුප්පභවා...” ගාථාව දේශනා කළේ. උපතිස්ස පිරිවැජියාගේ නුවණැති බව කොච්චරද කියනවා නම් ගාථාවේ දෙපදයක් අහද්දීම සෝවාන් පලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේගෙන් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය අහල දැනගත්තු උපතිස්ස පිරිවැජියා කෙළින්ම ගියේ තම මිත්‍ර කෝලිත පිරිවැජියා මුණගැහෙන්න. ගිහින් “යේ ධම්මා හේතුප්පභවා..” ගාථාව පැහැදිලි හඬින් දේශනා කළා. සම්පූර්ණ ගාථාව අවසානයේ කෝලිත පිරිවැජියාත් සෝවාන් වුණා. බුදුන් දකින්නට යන්න පළමුව ඒ දෙදෙනාට මතක් වුණේ සංජය පිරිවැජියාව. ඔහුට කොතෙක් කතා කළත් ඔහු බුදුන් හමුවට යාම ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා උපතිස්ස- කෝලිත පිරිවැජියන් දෙදෙනා ඔවුන් සමඟ යාමට කැමති තවත් 250ක පිරිසක් එක්ක ගෙන වේළුවනාරාමය බලා පිටත් වුණා. (මේ කතාව ඔයාල හැමෝම දන්නවා නේද? දන්නෙ නැති එක්කෙනෙක් වත් හිටියොත් කියලයි කිව්වේ)

එවෙලෙ දම්සභාමණ්ඩපයෙහි වැඩහුන් බුදුන් වහන්සේ ඈත එන පිරිස දැකලා “මගේ ශාසනයේ දෑගසව්වන් වන්නේ ඉදිරියෙන්ම එන ඒ දෙදෙනා බවත්, උපතිස්ස තෙමේ “සාරිපුත්ත” නමින් දකුණත් සව් වන බවත් කෝලිත තෙමේ “මහා මොග්ගල්ලාන” නමින් වමත් සව් වන බවත්” වදාළා. ඊට පස්සෙ ඒ පිරිස බුදුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සියලු දෙනාටම “ඒහි භික්ඛු” භාවයෙන් පැවිද්ද ලබා දුන්නා. ඊට පස්සෙ ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ සැරියුත්, මහ මුගලන් තෙරුන් හැර අනික් 250 දෙනාම රහත් බව ලැබුවා.

උපතිස්ස- කෝලිත පැවදි වීම
එදිනම මහ මුගලන් තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මගධ රට “කල්ලවලමුත්ත” කියන පිටිසර ගමට ගියා භාවනා කරන්න. දවස් 7ක්ම සක්මන් කරමින් භාවනා කළා. නමුත් කිසිම මාර්ගඵලයක් ලැබුණේ නෑ. නිදි කිරා වැටෙමින් උන්නා. බුදුන් වහන්සේ දිවැසින් මේ සිද්ධිය දැකලා මුගලන් තෙරුන් වෙත වැඩම කරලා උන්වහන්සේට එයින් මිදෙන්න ධර්මාවවාද ලබා දුන්නා. ඊට පස්සෙ නැවත බුදුන් වහන්සේ උන්නු තැනටම වැඩියා. බුදුන් වහන්සේ දුන්නු අවවාද අනුව භාවනා කරලා මුගලන් තෙරණුවෝ මහ රහත් භාවයට පත් වුණා. එපමණක් නෙමේ, සෘධිමත් භාවයෙනුත් ඉහළම ස්ථානයට පැමිණුනා.
මුගලන් තෙරුන් රහත් බව ලබා සතියකින් සැරියුත් තෙරුන් රහත් බව ලැබුවා. අනතුරුව බුදුන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරා ගෙන වේළුවනාරාමයට වැඩලා සියළුම භික්ෂූන් රැස් කරලා සැරියුත්- මුගලන් දෙපළට අගසව් තනතුරු පිරි නැමුවා.

මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.

මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.

මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම
(මට මතක හැටියට බුද්ධත්වයෙන් 12 වන වස.. )මේ වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් සියළු සත්වයෝ අටලෝ දහමට මුහුණ දිය යුතු නිසා බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.

නන්දෝපනන්ද නා රජු දමනය
දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා.(බලන්න ඔයාලගේ ගමේ පන්සලෙත් මේ සිදුවීමට අදාළ චිත්‍රයක් ඇඳලා තියෙනවද කියලා)

නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම
නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්‍රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා.

කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම
මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ... ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.

බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම
බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස දැන්වූවා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.

මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.

මුගලන් මහ රහතන් වහන්සේ ඉතා ලඟින් ඇසුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා ලක්ඛණ තෙරුන් වහන්සේ. මුගලන් තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයේ වැඩ වාසය කරන කාලයේ රජගහනුවරට පිඬු සිඟා වැඩියේ ලක්ඛණ තෙරුන් සමඟයි. එසේ පිඬු සිඟා වඩින්නට පර්වතයෙන් බහින අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සිනා පහල කරනවා.(මගේ අභිධර්ම දැනුම නිවැරදි නම් රහතන් වහන්සේලා සිනා පහල කරන අවස්ථාවේ හට ගන්නා සිත හසිතුප්පාද සිත... )ඒ අවස්ථාවේදීම ලක්ඛණ තෙරුන් සිනහවට කරුණු විමසන නමුත් මුගලන් තෙරුන්ගේ පිළිතුර වෙන්නේ “සවස භාග්‍යවතුන්වහන්සේ හමුවේදී මගෙන් ඔය ප්‍රශ්නය අසන්න” කියායි. එසේ සවස බුදුන් වහන්සේ හමුවේ මුගලන් තෙරුන්ගෙන් ඒ පිලිබඳ ඇසුවාම උන්වහන්සේ තමා සිනා වුණු කාරණා පැහැදිලි කළා. බුදුන් වහන්සේ එම කතා අනුමත කරමින් තමන් වහන්සේද ඒ සිද්ධි එලෙසින්ම දැක ඇති බවත්, කිසියම් ශ්‍රාවකයෙකු ඒවා දකින තුරු එම සිද්ධි විස්තර නොකළ බවත් පවසමින් ඒවායේ අතීත කතා දේශනා කරනු ලැබුවා. මේ එවැනි සිද්ධි කීපයක් ලුහුඬින්.
• ඇටසැකිලි ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ගවයන් මරන්නෙක්
• මස් වැදැල්ලක් බඳු ප්‍රේතයෙක් - ඔහුත් රජගහ නුවරම සිටි ගවයන් මරන්නෙක්
• මස් පිඬක් බඳු ප්‍රේතයෙක් - රජගහ නුවර ලිහිණියන් මරා මස් විකිණූ තැනැත්තෙක්
• සිවිය නැති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බැටළුවන් මරන තැනැත්තෙක්
• අසිලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ඌරන් මරන තැනැත්තෙක්
• සැත්ලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි මුවන් මරන්නෙක්
• හී ලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි වධකයෙක්
• හිඳිලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි රථාචාර්යයෙක්
• හිඳිලොම් ඇති තවත් පුරුෂ ප්‍රේතයෙක් - රහගහ නුවර කේලම් කියමින් සිටි තැනැත්තෙක්
• කළගෙඩියක් තරම් අන්ඩයක් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බොහෝ අල්ලස් ගත් ඇමතියෙක්
• අසූචි වලක ගිලුණු පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි පරඅඹුවන් සේවනය කළ තැනැත්තෙක්
• අසූචි වලක ගිලී අසූචි කන පුරුෂ ප්‍රේතයෙක් - කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂු සංඝයාට දනට ආරාධනා කොට අසූචි වළඳන්නයි කියා, අසූචි පිරවූ ඔරු පෙන්වා නින්දා කළ පවිටු බමුණෙක්
• සිවිය නැති ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි ගණිකාවක්
• අතිශයින්ම කුණු ගඳ ගසන පිළිකුල් සහගත ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි මන්තර ගුරුකම් කළ යක්දැස්සියක්
• ගින්නෙන් පැසී ගිය, ගිනි අඟුරු වලින් වට කරගත් ප්‍රේත ස්ත්‍රියක් - කලිඟු රජතුමාගේ අග බිසව වූ තැනැත්තියයි. රජුගේ අනෙක් බිසව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇගේ ඇඟ මතට ගිනි අඟුරු කබලක් හෙලීම නිසා
• අහසෙහි ගමන් ගන්නා කවන්ධයක් - රජගහ නුවර “හාරිත” නමින් ප්‍රකට චෝරඝතකයෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මහණෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මහණෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මෙහෙණක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මෙහෙණක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සික්ඛමානාවක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සික්ඛමානාවක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරයෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරයෙක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරියක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරියක්සර්පයෙක් වැනි ප්‍රේතයෙක් - බරණැස් නුවර වැඩ හුන් පසේබුදු කෙනෙකුගේ අසපුව ගිනිබත් කළ දුෂ්ට ගොවියෙක්
• සට්ඨිකුට ප්‍රේතයා - “සුනෙත්ත” නම් පසේබුදු වරයන් වහන්සේට අතේ ඇඟිලි ශිල්පය යොදා ගනිමින් ගල් කැටයක් විදි පුරුෂයෙක්
• පිඹුරු ප්‍රේතයෙක් - කාශ්‍යප බුදුන් කළ සිටි “සුමංගල” නම් සිටුතුමා, බුදුන් වහන්සේට පිදූ විහාරය ගිනි තබා විනාශ කළ සොරා

මේ ඇතුළු තවත් ප්‍රේතයන් සමූහයක් මුගලන් තෙරුන් දුටුවා. ප්‍රේතයින් පමණක් නෙමේ, මුගලන් තෙරණුවෝ තව්තිසා දෙව්ලොව දේව චාරිකාවේ යෙදෙද්දී බොහෝ දෙවියන්, දිව්‍යාංගනාවන් මුණ ගැසුණා. ඔවුන් ඒ සා සැප සම්පත් ලැබීමට හේතු වූ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගෙන එම තොරතුරු බුදුන් වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ ඒ කරුණු මුල් කරගෙන දහම් දෙසුවා. මේ ඒ වගේ කතා කීපයක් ඉතා ලුහුඬින්;

• පතිව්‍රතා දෙවඟන - සැවැත්නුවර සිටි, දිවිහිමියෙන් පතිව්‍රතා ධර්මය රැකීම නිසා දෙව්ලොව ඉපිද මහත් සේ බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• පීඨවිමාන දෙව්දුව - පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ කෙනෙකුට සැදැහැයෙන් දන් පිරිනමා අවසානයේ උන්වහන්සේ වැඩ සිටි අසුනද පූජා කොට, දෙව්ලොව ඉපිද සිතේ වේගයෙන් අහසේ ගමන් කළ හැකි විමානයක් වන් අලංකාර පුටුවක් ලැබූ කෙනෙක්
• කුඤ්ඤර දෙව්දුව - සැරියුත් මහ තෙරුන් වහන්සේට තමාගේ අතින්ම සකස් කළ දානය පිළිගන්වා උන්වහන්සේ වැඩ හුන් පුටුවද පූජා කොට, දෙව්ලොව ඉපිද සුදු ඇත් වාහනයක් ලද තැනැත්තියක්
• නාවුකා දෙව්දුව - පිපාසයෙන් හා කායදාහයෙන් පීඩාවට පත්වී සිටි භික්ෂූන් වහන්සේලා 16 නමකට සැදැහැ සිතින්පැන් පිළිගන්වා, දෙව්ලොව ඉපිද මනහර පොකුණක්ද නැව්විමනක්ද ලැබූ තැනැත්තියක්
• දීප විමාන දෙව්දුව - ඝන අඳුරක් පැවති පොහෝ දින ධර්ම ශාලාවක රැය පහන් වන තුරු පහන් දල්වා, දෙව්ලොව ඉපිද සිකුරු තරුව මෙන් බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• තිලදක්ෂිණා දෙව්දුව - බුදුරදුන් හට තල දෝතක් පිරිනමා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලැබූ ගැබ්බර කාන්තාවක්
• සුණිසා දෙවඟන - තමාගේ ආහාර කොටස රහතන් වහන්සේ නමකට පිළිගන්වා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• භික්ඛාදායිකා දෙවඟන - බුදු රජාණන් වහන්සේට දන් පිළිගන්වා දෙව්ලොව ඉපිද සුරූපී බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• අනේකවර්ණ දිව්‍ය පුත්‍රයා - සුමේධ බුදුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයෙක්ව සිට, උන්වහන්සේගේ ධාතුන් නිධන් කොට තැනූ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර, දෙව්ලොව ඉපිද නොයෙක් වර්ණයෙන් බබළන ශරීරයක් ලැබූ අයෙක්
• සුවර්ණ දෙව් පුතු - බුදුන් වහන්සේට සියල්ල සපිරි මනරම් විහාරයක් සාදවා පූජා කොට, දෙව්ලොව ඉපිද සත් රුවනින් සැදි විමානයක් සහ රන්වන් ශරීරයක් ලැබූ අයෙක්

මේ ආකාරයෙන් දේව චාරිකාවේදී මුණ ගැසුණු දෙව් පුතුන් සහ දිව්‍ය අංගනාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඹ දෙව් පුතු, උළාරා දෙවඟන, පාරිච්ඡත්තක දෙවඟන, සුනික්ඛිත්ත දිව්‍ය පුත්‍රයා, කුණ්ඩලී දෙව්පුතු, භික්‍ෂාදායක දෙව්පුතු, මඤ්ජෙට්ඨක දෙවඟන, කඤ්ජිකදායිකා දෙවඟන, නාග විමාන දෙව්පුතු, උපස්සයදායක දෙව්පුතු, රජ්ජුමාලා දෙවඟන, කන්ථක දෙව්පුතු, කර්කටකරසාදයක දෙව්පුතු, ගෝපාල දෙව්පුතු වගේ අය....

දැන් එමු මුගලන් මහ රහතන් වහන්සේගේ අවසාන කාලයට.. තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.(වෛරයක් ඇති වුණේ මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩලා දිව්‍ය සම්පත් ලැබීමට හේතුවෙන කරුණු දැනගෙන ඒවා බුදුන් වහන්සේට පැවසීම නිසා බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යාම නිසා) ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළත් මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ සෘද්ධි බලය පාවිච්චි කරලා එතනින් ගැලවිලා ගියා. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.
තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්‍රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.

ඒත් එක්කම අහස දෙදරුවා. මහා භූමිකම්පාවක් ඇති උණා. මුහුදු රලේ වේගය වැඩි වුණා. දෙව් බෙර පැලුනා. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත්තු දෙවිවරු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කළුගල් ලෙනට වැඩියා. මුගලන් තෙරණුවෝ පිරිණිවන් පාද්දී සැරියුත් තෙරුන් පිරිණිවන් පාලා දින 15ක් ගත වෙලයි තිබුණේ.

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලවා මුගලන් මහ රහතන් වහන්සේගේ දේහය දෙවිවරු විසින් කරවපු සඳුන් චිතකයක නංවා ආදාහනය කළා. ඉතිරි වුණු ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය අනුග්‍රහ ඇතිව ස්ථුපයක් කරවලා ඒකෙ තැන්පත් කළා. එය වන්දනාවට ලක්වෙන වස්තුවක් බවට පත් කළා.

අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් චරපුරුෂයින් විසින් සොරු කණ්ඩායම අල්ලා ගත්තා. මුගලන් තෙරුන් මරා දැමීමේ විපාක වශයෙන් ඔවුන්ටත් දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙන් මරණ දඬුවම ලැබුනා.මුගලන් මහ රහතන් වහන්සේට මේ වගේ දුක්ඛිත මරණයක් උදා වුනේ ඇයි කියලත් හොයල බලන්න ඕනනේ නේද? බුදුන් වහන්සේ ඒකට හේතුවත් පසුකාලයේ වදාළා.

පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. (ඔන්‍න‍ බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)

මුගලන් මහ රහතන් වහන්සේගේ චරිතයට සම්බන්ධ වන පුද්ගලයින්

නොපැහැදිලි කියලා හිතෙන දේවල් :-
• පරිබ්‍රාජක - බුදුන් දවස දඹදිව 62ක් ආගම් පැවති බව කියවෙනවා. මේකත් එකක්.
• ඒහිභික්ඛු - බුදුන් වහන්සේ “එව මහණ” කියූ පමණින් හැඳ සිටි වස්ත්‍ර වෙනුවට සිවුරු පෙරවිලා, හිස මුඩු වෙලා පැවදි වෙස් ගැනීම
• දිට්ඨධම්මවේදනීය කර්ම පලදීම - මේ භවයේදී කරන හොඳ හෝ නරක කර්ම වල විපාක මේ භවයේදීම විඳින්නට සිදුවීම
• ආනන්තරීය පාපකර්ම - මේවා 5ක් තියෙනවා. මෙව්වා එකක් හරි කළොත් ගොඩක් කල් අපායේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම

ප.ලි - මේ පෝස්ට් එකට විස්තර සහ රූප ප්‍රධාන වශයෙන්ම ලබා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ අයියගේ “මුගලන් මහ රහතන් වහන්සේ” පොතෙන්. පින්තූර හොයාගන්න මට උදව් කළේ හසිත අයියා. ඔයාලත් පොත හොයාගෙන කියවන්න. විස්තර ගොඩක් තියෙනවා.
කියවූ හැමට පින් සිදු වේවා..
Budu Maga

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සොඳුරු පිනැත්ති

ඒ මීට වසර 2559කට විතර කලින් උදා වුණු සුන්දර දවසක්. රජගහනුවර වීදි දිගට මුව අයා ගත්තු අන්‍යාගමික පිරිස්, අන්‍යාගමික ශ‍්‍රාවකයෝ ඉහළ අහස දිහා පුදුමයෙන් බලාගෙන හිටියා. තෙරුවන් සරණ ගියපු ශ‍්‍රාවක පිරිස් සාදුකාර දිදී සතුටු කඳුළු වගුරවමින් හිටියා. සිටු මැදුරුවල, රජ මැදුරුවල ඉහළ සඳලූතලවලට නැගපු තරුණ පිරිස් ‘‘එ්කාන්තයෙන් ම එ් භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක….” කියලා බුදු ගුණ කියමින් හිටියා. හරිම අසිරිමත් සිදුවීමක් එවෙලෙහි සිදුවෙමින් තිබුණා. ඉහළ ආකාසෙන් අහස් වියනක් වගේ හැදුණු ලස්සන සුදු මල් වියනක් ජේතවනාරාමේ දෙසට පාවෙමින් තිබුණා…

එ් අතරතුරේ සුදත්ත නම් වූ අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසිලා සොඳුරු කථා බහක යෙදෙමින් හිටියා. අනේපිඬු සිටුතුමා පසු දිනට තමන්ගේ නිවසට දානෙට වඩිනා ලෙසට භාග්‍යවතුන් වහන්සේගෙන් ඇරයුම් කළා පමණයි. සොඳුරු මුව මඬලකින් හෙබි එ් අරහත් වූ සම්මා සම්බුදුරජාණෝ එවෙලෙහි සිටුතුමාට මේ දෙය පවසා සිටියා.
‘‘පින්වත් ගෘහපතිය, මම හෙට දානය පිළි අරගෙනයි තියෙන්නේ. ඔබේ චූටි දියණිය චූල සුභද්‍රා හෙට 500ක් රහතන් වහන්සේලා සමඟ ඇගෙ නිවසට දානයට වඩින්නට මේ දැන් මට ආරාධනා කළා. මම එ් ඇරයුම පිළිගත්තා.”
එතකොට අනාථ පිණ්ඩික සිටුතුමා කියනවා, ‘‘ස්වාමිනී ඇය ඉන්නේ බොහෝ දුර ඈතකනේ. අනික ඇගේ පණිවිඩකරුවෙක්වත් එනවා මම දැක්කේ නැහැනේ.” භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ‘‘සිටුතුමනි බලන්න ඉහළ අහස දෙස. ඔය ඇවිත් තියෙන සුදු මල් වියන පේනවා නේ ද? එ් තමයි ඔබේ දියණියගේ දාන ඇරයුම.” සිටුතුමා හරි ම සතුටු වුණා. සාදු සාදු කියලා අනුමෝදන් වුණා.
එදා සිද්ධ වුණේ හරි ලස්සන සිදුවීමක්. චූල සුභද්‍රා බාල වයසේ දී ම භාග්‍යවතුන් වහන්සේව සරණ ගියපු භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක දියණියක්. උදේ, දවල් උතුම් රහතන් වහන්සේලා සිය ගණනකට ඇගේ අතින් ම ඇයත් දන් බෙදුවා. ඈ බාල කාලේ ම තෙරුවන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවට පත් වුණු සෝතාපන්න ශ‍්‍රාවිකාවක්. කල වයස පැමිණියාම ඈව ආවාහ කරලා දෙන්න සිටුතුමාට සිදු වුණා. භයක් සැකක් නැතුව ම ඈව අන්‍යාගමික ශ‍්‍රාවක වූ සිටුවරයෙකුට සරණ පාවා දුන්නා. එ්කත් ඉතා දුර නගරෙක. සිටුතුමා දැනගෙන හිටියා තමන් සරණ ගියපු තිසරණය මොන හේතුවකටවත් චූල සුභද්‍රා දියණිය අත් හරින්නේ නැහැ ය කියලා…
ඇය විවාහයෙන් සම්බන්ධ වුණ නිවසේ අයත් පිනට දහමට කැමති අය. නමුත් ප‍්‍රශ්නයකට තිබුණේ ඔවුන්ට බුද්ධ, ධම්ම, සංඝ කියන උතුම් තෙරුවන මුණ නො ගැසී තිබීම යි. ඔවුන් රහතන් වහන්සේලා කියලා රැුවටිලා හිටියා, සරණ ගිහින් හිටියා ඇඳුම් නැතිව නිරුවත්ව හිඳීම තරම් අල්පේච්ඡ ජීවිතයක් වෙන නැතැයි කියපු, මැරිලා ගියත් ඇල්දිය පානය කරපු, එළවළුයි බතුයි විතරක් කකා අතිශය දුෂ්කර තාපස ක‍්‍රමයක් අනුගමනය කරපු නිගණ්ඨ පිරිසට. චූල සුභද්‍රා විවාහ වෙලා එ් නිවසට ගියා ම මේ ගෙදර අය කථා වුණා ඔවුන්ගේ එ් ‘රහතන් වහන්සේලාට’ දානයක් දෙන්න. පසුවදා ම එ් වෙනුවෙන් වෙන් කර ගත්තා.
චූල සුභද්‍රාවත් නිතර තෙරුවන ම සිහි කර ගනිමින්, තෙරුවනට වන්දනා කරමින් තමයි කාලය ගත කළේ. ඈට සංඝයා නො දැක සිටි අල්ප කාලය, සංඝයාට දානයක් පුජා නො කර හිටපු එ් පොඩි කාලය කල්පයක් වගේ වෙන්න ඇති. පසුවදා උදෙන් ම සේවිකාවක් චූල සුභද්‍රාවට පණිවිඩයක් ගෙනාවා.
‘‘ස්වාමි දියණිය, පහළට එන්න. රහතන් වහන්සේලා දානයට වැඩියා.”
චූල සුභද්‍රාවගේ සතුට ඉහ වහා ගියා. සතුට වැඩිකමට ඈ පඩිපෙළ හනි හනිකට බැහැගෙන බැහැගෙන ආවා. පහළට එද්දී ම ඈට පෙනුනේ පිළිකුල් සහගත දර්ශනයක්. මොනර පිල් කළඹක් අත්වලින් දරාගෙන, රැවුල් කොණ්ඩා වවාගෙන, දුහුවිලි පිරුණු අපිරිසිදු සිරුරුවලින් යුතුව උපන් ගමන් වගේ නිරුවතින් ඉන්න නිගණ්ඨයෝ පිරිසක්.
‘‘චී… මේ මොකද? මේ කවුද මේ?” කියලා ලැජ්ජාවෙන් යුතුව අහපු චූල සුභද්‍රා ආයෙත් ආවටත් වඩා වේගයෙන් දිව්වා කාමරයට. නිගණ්ඨයන්ට දරා ගන්නට බැරි වුණා, ලැජ්ජාවට පත් වුණා. ‘‘මේ මූසල කෙල්ලෙක් ගෙනල්ලා නේ මේ ගෙදරට… අපිට ඕනි නැහැ උඹලගේ ඔය දානය.” කියලා බැණ බැණ යන්න හැදුවා. එ් නිවසේ සිටුතුමා චූල සුභද්‍රාව කමා කරවන්නම් කියලා යාප්පු වෙලයි දානය නිගණ්ඨයන්ට පිළිගැන්නුවේ. එ් පිරිස ගියාට පස්සේ අර නිවසේ උදවිය, ‘‘අනේ මේ දැරිවි නිසා අපේ රහතන් වහන්සේලාට හිත් රිදවීමක් වුණා නෙව… ආයෙ වඞී ද දන්නෙත් නැහැ.” කියලා චූල සුභද්‍රාවට දොස් නගන්න ගත්තා. මාමණ්ඩිය ඇයව කැඳවලා ඇහුවා මේ කරපු වැඬේ තේරුම මොකක් ද කියලා…
අන්න එ් වෙලාවේ මේ අභීත දියණිය කියා සිටිනවා, ‘‘අනේ මේ නිරුවත් අය ද ඔයගොල්ලන්ගේ රහතන් වහන්සේලා? ඔයාලා රහතන් වහන්සේලා දැකලා නැද්ද? රහතන් වහන්සේලා හඳුනාගත්තේ නැද්ද? ඔයාලා එ් රහතන් වහන්සේලාගේ ගුණ දන්නේ නැද්ද?කියලා. ඉතින් එ් සිටුතුමා ඇහුවා ”එහෙනම් කාටද රහතන් වහන්සේලා කියන්නේ?” කියලා. ”ඔය රහතන් වහන්සේලා නෙවෙයි. රහතන් වහන්සේලා මෙන්න මෙහෙමයි.” කියලා, ඇය එ් සඟ ගුණ ගායනා කළා.
සන්තින්ද්‍රියා සන්ත මානසා
– සන්තං තේසං ගතං ඨිතං
ඔක්ඛිත්ත චක්ඛු මිතභාණී
– තාදිසා සමණා මම
‘‘මා සරණ ගියපු ශ‍්‍රාවක සංඝයා සන්සුන් ඉඳුරන් ඇත්තෝ ය. ශාන්ත වූ සිත් ඇත්තෝ ය. උන් වහන්සේලාගේ ගමනත්, සිටීමත් සන්සුන් ය. යටට හෙළන ලද නෙත් ඇත්තෝ ය. පමණට කථා කරන ස්වභාව ඇත්තෝ ය. මා සරණ ගිය රහතන් වහන්සේලා එවැන්නෝ ය.”
කාය කම්මං සුචි නේසං
– වාචාකම්මං අනාවිලං
මනෝකම්මං සුවිසුද්ධං
– තාදිසා සමණා මම
‘‘එ් රහතන් වහන්සේලාගේ කාය කර්මය පිරිසිදු ය. වාග් කර්මය දොස් රහිත ය. මනෝ කර්මය සුපිරිසිදු ය. මාගේ ශ‍්‍රමණයෝ එවැන්නෝ ය.”
විමලා සංඛමුත්තාභා
– සුද්ධා අන්තරබාහිරා
පුණ්ණා සුද්ධේහි ධම්මේහි
– තාදිසා සමණා මම
‘‘මා සරණ ගිය ශ‍්‍රාවක සංඝයා ඇතුළත, පිටත දෙකින් ම සක් සේ පිරිසිදු ය. මුතු සේ පිවිතුරු ය. ශුද්ධ වූ ගුණධර්මයන්ගෙන් යුතු ය. මාගේ ශ‍්‍රමණයෝ එවැන්නෝ ය.”
‘‘මා සරණ ගිය ශ‍්‍රාවක සංඝරත්නය ලාභ, අලාභ, යස, අයස ආදි අට ලෝ දහම ඉදිරියේ මුළා නො වන්නේ ය. ඇලී නො යන්නේ ය. මා සරණ ගිය ශ‍්‍රාවක සංඝයා එවැන්නෝ ය.”
ඔන්න ඔය විදිහට කළ ඇගේ සඟ ගුණ ගායනාව අහපු නිවැසියෝ ඇයට කිව්වා හෙට දවසේ සිටු මැදුරේ දානයට වඩින්න කියලා එ් රහතන් වහන්සේලාට පණිවිඩයක් යවන්න කියලා. ඇය උන්නේ සාකේත නුවර. ඇය දන්න රහතන් වහන්සේලා උන්නේ සැවැත් නුවර. එකිනෙකට සැතපුම් හත්සියයක් දුර නගර දෙකක් අතරේ ඉක්මන් පණිවිඩයක් කොහොම යවන්න ද?
ඇය සඳලූතලයට ගියා. උතුම් බුදුගුණ සිහි කරගෙන පිච්ච මල් දෝතක් අහසට විසී කළා, ‘‘මා සරණ ගිය මගේ භාග්‍යවතුන් වහන්සේ, පන්සියයක් සඟ පිරිස සමග හෙට දානය පිණිස මාගේ නිවසට වැඩමවාවා” කියලා. අන්න එ් ආරාධනාව තමයි අර වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තේ.
ඇත්තටම එ් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ වැඩ ඉඳපු කාලේ එ් භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා දැකලා, වන්දනාමාන කරලා උපස්ථාන කරලා හිත පුරෝගෙන බුදුගුණ, සඟගුණ දරාගන්න අපට පින් නැති වුණා තමයි. එහෙම කියලා දැන් වුණත් අපි නිකම් හිටියොත් එ්ක අපිට යහපත පිණිස පවතී ද?
චූල සුභද්‍රා වගේ ඉන්ද්‍රියන් ශාන්ත කරපු, මනස සංවර කරපු, කාය කර්ම, වචී කර්ම සුපිරිසිදු, ලාභ අලාභයන්ට යට නො වුණු, නිර්මලව සිල් ගුණ දම් දරාගෙන වැඩ සිටින ශ‍්‍රමණ පිරිස් ගැන අපි හරියට ම නො දන්නවා වෙන්න පුළුවන්. ඉතින් එ්ක එහෙම වුණා ය කියලා චූල සුභද්‍රලා ගුණ කියපු රහතන් වහන්සේලාගේ ගුණයන් හීන වෙලා ගියා ද? එ් ගුණ අද කාලෙට අදාළ නැද්ද? නැහැ නැහැ, මේ සද්ධර්මය වඳ බැහැපු ධර්මයක් නෙවෙයි. එ් බුදුරජාණන් වහන්සේ යම් විදිහකින් මේ ලෝකෙ උතුම් සම්බුදු ගුණ දරාගෙන වැඩ සිටියා ද එපරිද්දෙන් ම එ් ධර්මය අසා අවබෝධ කරපු ශ‍්‍රාවක සංඝයාත් මේ ලෝකේ වැඩ හිටියා. උන් වහන්සේලා අසංවර හිත සංවර කරපු හැටි, මුළා වුණු හිත් හරි මඟට යොමු කරපු හැටි, සද්ධර්මයේ ආශ්චර්යය අත් දැකපු හැටි මේ ධර්මයේ ම සඳහන් වෙනවා. අද කාලේ වුණත් මහා ලොකුවට ප‍්‍රසිද්ධ නො වුණට, පත්තරේ, රූපවාහිනියේ, ගුවන් විදුලියේ පෙනී නො සිටියාට එ් තෙරුවනට ජීවිතය පුදලා එ් උතුම් ගුණ පුරුදු කරන්න උත්සාහ ගන්න සුළු පිරිසක් හරි මේ ලෝකේ වැඩ ඉන්නවා.
එතකොට අපිට කරන්න තියෙන්නෙත් එ් ධර්මයේ සඳහන් එ් උතුම් රහතන් වහන්සේලා ගැන ම ඉගෙනගෙන, එ් දරා හිටි ගුණයන් ගැන ම පැහැදීම යි. එ් උතුම් නිවන් මඟ පුහුණුවෙන පිරිස ගැන, ‘‘අනේ මේ උත්සාහය පවා හොඳ දෙයක්නෙ” කියලා සතුටු වීමයි. ‘‘අර ස්වාමීන් වහන්සේ මෙහෙමයි, මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි” කිය කියා පුද්ගලික වශයෙන් බලන්න ගියොත් යහ මඟ වැහෙන්නේ අපේ ම යි. අපි හොඳින් ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි, චූල සුභද්‍රා තරම් අපි පින්වන්ත වුණේ නැහැ. විශාඛා, සුමනා, මල්ලිකා වගේ අපිට පින තිබුණේ නැහැ. එහෙම පින තිබුණා නම් අද අපිට මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපිට පිනේ අහේනියකුත් තියෙනවා. මේ ධර්මය ඉගෙන නොගෙන හරියකට පිනක් දහමක්වත් කර ගන්න අපිට පුළුවන්කමක් නැහැ. එ් නිසා එ් ශ‍්‍රාවක සංඝයා ගැන ගුණ වශයෙන් ම ඉගෙනගෙන, ජීවිතේට උතුම් පුණ්‍ය ධර්මයන් උපදවාගෙන සියලූ දුකින් නිදහස් වීමට සැමට ම වාසනාව උදා වේවා!
මෙම ධර්ම දානයේ ආනිසංසයන් මෙයට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබ අප සැමටත් ගෞතම සම්මා සම්බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සසර දුක් කෙලවර අමා මහා නිවන අවබෝධ වීම පිණිසම හේතු වේවා! තෙරුවන් සරණයි ඔබ සැමට!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දියුණුවට මග ධර්මයද? පුද පූජාද? කුරු ධර්ම ජාතකය ඇසුරින්


බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
ධර්මවේදී  නාලන්දේ විමලවංශ නාහිමි

මැති ඇමැතිවරුනි, කිමෙක්‌ද අප දැන් ගත යුතු පියවර? වැසි නැත, ජලය නැත, ආහාර හිගය තදින් බලපානවා. මේ කලිගු රට මහත් විපතකට පත් වෙලා. නියගය සමග මහා දුර්භික්‌ෂයක්‌. එපමණක්‌ද? භයානක වසංගත රෝග පැතිරිලා. රටෙහි සශ්‍රීකත්වය පතා කුරු රාජ්‍යයේ මංගල හස්‌තියා ගෙන ආවත් රටට සෞභාග්‍යය උදා වූයේ නැත. වැසි පතා මහා යාගයක්‌ කරමුද.? නොඑසේ නම් දහස්‌ ගණන් පරිෂ්කාර, ලක්‌ෂ සංඛ්‍යාත මල් පහන් රැගෙන මහා පූජාවක්‌ කරමුද? ඇතැම් රටවල කරන පරිදි පොල් ගසා දෙවියන්ට සැළ කර සිටිමුද ? මහ ඇමැතිය තොප කුමක්‌ කියන්නෙහිද?

මහ රජතුමනි, කුරු රට සශ්‍රීකවී ඇත්තේ මංගල හස්‌තියා වශයෙන් සළකන තිරිසන් සතා නිසා නොවේ. නොයෙක්‌ යාග හෝම අහස උසට කරන පරිෂ්කාර පූජා, ලක්‌ෂ සංඛ්‍යාත මල් පහන් පූජාවන් නිසා නොවේ. කුරු රටෙහි පාලකයන් එක්‌තරා රාජ ධර්මයක්‌ පිළිපදිනවා. එම රාජ ධර්මය රටෙහි රජතුමා පටන් සාමාන්‍ය වැසියා දක්‌වා සියලු දෙනාම හොඳින් ආරක්‌ෂා කරනවා. කුරු රට සශ්‍රීක වී ඇත්තේ එම නිසයි රජතුමනි ' 

'එසේනම් ඇමැතිවරුනි, අපි කුරු රටට දූත පිරිසක්‌ පිටත් කර යවමු. වහා කුරු රට රජ තුමන් බැහැ දැක එම රාජ ධර්මය හදාරා පැමිණිමට නියම කරමු. එම දූත පිරිසෙහි ප්‍රධානත්වයට අපේ මහ ඇමතිව පත් කරමි' රාජ නියමයෙන් එම දූත පිරිස දින කිහිපයක්‌ දුර කතර ගෙවා කෝරව්‍ය නුවරට ගොස්‌ කුරු රට මහ රජ තුමා බැහැ දැක්‌කේය. අසල්වැසි රාජ්‍යයකින් පැමිණි මෙම දූත පිරිස හරසරින් පිළිගත් රජ තුමා ඔවුන්ට කළ යුතු ආගන්තුක සත්කාර කර, කුමන දූත මෙහෙවරක්‌ සඳහා මෙහි පැමිණියේද ? යනුවෙන් විමසුවේය. 

' මහ රජතුමනි, අපගේ 'කලිඟු' රටෙහි මහා දුර්භික්‌ෂයක්‌ හටගෙන තිබෙන බව ඔබ තුමා දැනටමත් දන්නෙහි ය. වැසි නැතිව මුළු රටම නියඟයට ගොදුරුවෙලා. වගා කටයුතු නොහැකිවීමෙන් කෙත්වතු පාළු වෙලා. තුරු ලතා වැනසී ගොස්‌, ගංඟා ඇළ දොළ සිඳී ගොස්‌ ජනතාවට පානීය ජලය නොමැතිව ඔවුහු උද්ඝෝෂණ කරති. දියකඩිතිවල තියෙන ජලයටද අප ද්‍රව්‍ය මිශ්‍ර වෙලා. ආහාර අහේණිය නිසා ජනතාව නහර වැල් ඉල්පී ගොස්‌ ඇටසැකිලි බවට පත් වෙලා. ඒ අතර නොයෙක්‌ ලෙඩ රෝග පැතිරිලා, බැලු බැලූ අත මළ ගෙවල්. රජතුමනි, අපි ඔබ තුමාගේ මංගල හස්‌ති රාජයා ගෙන ගියෙමු. යාග හෝම කළෙමු. මෙතෙක්‌ කිසිදා නොකළ පුද පරිෂ්කාර පූජා කළෙමු. දෙවියන් ඉදිරියෙහි අපගේ කෝපය පළ කරනු වස්‌ පොල් ද ගැසුවෙමු. මේ කිසිවකින් ඵලක්‌ නොවුණි. මහ රජතුමනි, ඔබ වහන්සේගේ රාජ්‍යය බෙහෙවින් සශ්‍රීක බව පෙනෙයි. වැසියෝ කෙළිදෙලෙන් පසු වෙති. ඔවුන්ට අග හිඟයක්‌ නැති බව පෙනෙයි. සතර වාහල්කඩ දන් සැල් දැකීමෙන් අපට ඒ බැව් පසක්‌ වුණා.'

'තානාපතිවරුනි, එවැනි අහේනියක්‌ ඇති බැව් ඔබ රටෙහි මැතිs ඇමැතිවරු සහ ඔවුන්ගේ දරු පරපුර මෙන්ම ඥාති හිතවතුන්ගේත් චරියාව අනුව අපට නොපෙනෙයි. ඔවුන් බොහෝ සැපසේ සිටින බවක්‌ පෙනෙනවා. ඒ කෙසේ වෙතත් ඔබලාට අප රජයෙන් අවශ්‍ය කුමක්‌ද. සහනාධාර අවශ්‍යද? ධාන්‍ය අවශ්‍යද...? නොඑසේ නම් පොලී රහිතව කිසියම් ණය මුදලක්‌ අවශ්‍යයද. අපගේ භාණ්‌ඩාගාර වල මුඳල් සංචිත පිරී ඇත.' ' නැත නැත මහ රජ තුමනි, අපට එවැනි අවශ්‍යතාවයක්‌ නැත රජතුමනි. අපි මෙතුවක්‌ කාලයක්‌ ඒවැනි ආධාර මත යෑපුණෙමු. එහෙත් කිසිදු පලක්‌ වූයේ නැත එයට වඩා හරවත් දෙයක්‌ අප බලාපොරොත්තු වෙමු. ඔබ තුමාගේ රාජ්‍යයෙහි 'කුරු ධර්මය' ක්‍රියාත්මක වන බව දැන ගතිමු. එම ධර්මය අපට දෙනු මැනව. අප උදක්‌ම පැමිණියේ ඒ සඳහාමයි '

' බොහෝම සතුටුයි තානාපතිවරුනි, අපේ කුරු ධර්මය ඔබගේ රාජ්‍යයට ද අවශය වීම පිළිබඳ සතුටුයි. කුරු ධර්මය කියන්නේ අපේ රටෙහි ආණ්‌ඩුq ක්‍රම ව්‍යවස්‌ථාව කීවොත් වැරදි නැහැ. එය අපේ රාජ ධර්මයයි. එය අප දිවි හිමියෙන් රකිනවා. ඒ නිසාම අප රට සුත මුදිත වෙනවා. ආරාවුල් ගැටුම් උද්ඝෝෂණ ඇති වන්නෙත් නැහැ. සියලු දෙනාම සමගියෙන් සාමයෙන් වාසය කරනවා. කලට වැසි වසිනවා. කෙත්වතු සාර වෙනවා. වැසියන්ගේ සිත් මල් පිබිදෙනවා. එහෙත් දූතවරුනි, මට එය දීමට හැකියාවක්‌ නොවීම ගැන කනගාටුයි. එයට හේතුව මම පැහැදිළි කරන්නම්. අපේ ජාතික උත්සව අවස්‌ථාවෙහි ඊතළ හතරක්‌ හතර දිසාවට විදීම අපගේ සම්ප්‍රදායක්‌. එදා මම ඊ පහර හතරක්‌ මුදාහැරියා, එයින් තුනක්‌ වැටුන ස්‌ථානය දුටුවා. හතර වැන්න පොකුණ තුළට ඇදී ගියා. එය පොකුණ තුළ විසූ මත්සයයකුගේ වැදී එම සතා මරණයට පත්වන්නට ඇතැයි මට හැඟුණා. එයින් මා නොදැනුවත්ව හෝ ප්‍රාණඝාතයක්‌ සිදුවන්නට ඇති.මගේ කුරු ධර්මයට හානි වන්නට ඇතැ'යි සිතමි. එබැවින් මගේ මෑණියන් වෙත ගොස්‌ එය ලබා ගන්නා මෙන් ඉල්ලා සිටිමි 'රජ තුමාගේ එම ප්‍රකාශය අනුව ඔවුන් රාජ මාතාව සමීපයට ගොස්‌ තම ඉල්ලීම ඉදිරිපත් කළා.

'මම ඔබ ඉල්ලන කුරු ධර්මය දීමට ඉතා කැමැත්තෙමි.... එහෙත් එය දීමට අයිතියක්‌ ඇතැයි මම නොසිතමි. එයට හේතුව මම පැහැදිළි කරමි. දරුවනි, අසල් වැසි අපේ මිතුරු රජයකින් මට දහසක්‌ වටිනා රන් මාලයක්‌ සහ ලක්‌ෂයක්‌ වටිනා සඳුන් අරටුවක්‌ ත්‍යාග වශයෙන් ලැබුණා. එයින් මගේa දෙටු ලේලියට දහසක්‌ වටිනා රන් මාලාවත්, කණිටු දියණියට ලක්‌ෂයක්‌ වටිනා සඳුන් අරටුවත් පරිත්‍යාග කළා...... මෙහිදී දෙටු ලේලියට මගෙන් අසාධාරණයක්‌ සිදුවුණිදැ'යි මට සැකයක්‌ ඇත. එබැවින් ඔබ රාජ මහේෂිකාව වෙත් ගොස්‌ ඇගෙන් කුරු ධර්මය ලබා ගැනීම වඩාත් සුදුසුයි. එතුමිය එය හොඳින් ආරක්‌ෂා කරනවා' ඒ අනුව දූත පිරිස රාජ මහේෂිකාව වෙත ගොස්‌ කරුණු සැළ කර සිටියි.

'තානාපතිවරුනි, කලිඟු රට රජ තුමාලේ ඉල්ලීම මම බෙහෙවින් අගය කරමි, එහෙත් මට එම ඉල්ලීම ඉටු කර දීමට සදාචාරාත්මක අයිතියක්‌ ඇතැ'යි මම නොසිතමි. දවසක්‌ අපේ මහ රජු සමඟ එතුමාගේ මලණුවන් වන යුව රජු ඇතු පිටින් වීථි සංචාරය කළා. මා ඔවුන් දෙස කවුළුවෙන් බලා සිටියා. එහිදී රූසිරින් යුතු යුව රජු කෙරෙහි මසිත රාගයෙන් බැඳී ගියා. එය නරක සිතුවිල්ලකි. මගේ ශීලය ගැන මට සැකයි. එබැවින් තානාපතිවැරනි, යුව රජු වෙත ගොස්‌ කුරු ධර්මය ලබා ගත මැනවි ' ඔවුන් යුව රජු සමීපයට ගොස්‌ තම අවශ්‍යතාව ප්‍රකාශ කරති. යුව රජු මෙසේ පවසයි.

' තානාපතිවැරනි, ඔබලාගේ ඉල්ලීමට මම ගරු කරන්නෙමි.... එහෙත් එය ඉටු කිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙමි. දිනක්‌ මම මහ රජ තුමා බැහැදැකීමට ගියෙමි. රාත්‍රිය මාළිගාවේ ගත කළෙමි. ආපසු මාළිගාවෙන් පිටවන විට මා දුටුවේ මගේ සේවක පිරිස පෙර දින සිටි අයුරින් සීරුවෙන් සිටින ආකාරයයි. ඔවුන් වැස්‌සේ තෙමෙමින් , සීතලේ ගැහෙමින්, කුසගින්නේ මුළු රැය පුරාවටම සිටියා. මහත් පීඩාවට පත් වුණා. තානාපතිවරුනි, වැසියා පීඩාවට පත් කිරීම පාලකයන්ගේ කාරියක්‌ නොවේ. පෙර ඇතැම් රජවරු, ඇමතිවරු, ප්‍රභූවරු මහ මග ගියත් එයින් ජනතාව පීඩාවට පත් වූහ. එය මම කිසිසේත් අනුමත නොකරමි. වැරදීමකින් එවැනි වරදක්‌ මගෙන් සිදු විය. එබැවින් කුරු ධර්මය දීමට මම සුදුස්‌සකු නොවෙමි. අපගේ පුරෝහිත වෙත ගොස්‌ එය ලබාගත මැනවි. ඒ අනුව ඔවුහු පුරෝහිත සමීපයට ගියහ. 

පුරෝහිත මෙසේ පවසයි. තානාපතිවරුනි, වෙනත් රාජ්‍යයකින් අපේ මහ රජුට නවීන පන්නයේ සුඛෝපභෝගී රථයක්‌ ලැබුණා. එය රජුට නොව, වඩා සුදුසු වයෝවෘද්ධ මටයි යන පව්කාර හැඟීම මට ඇති වුණා. එයින් අප අනුගමනය කරන කුරු ධර්මයට හානියක්‌ සිදුවී'යි මම සිතමි. එබැවින් ඔබලා අපේ මිනුම් කටයුතු භාර ඇමති වෙත යනු මැනව ' ඒ අනුව ඔවුන් මිනුම් ඇමති වෙත ගොස්‌ කරුණු සැළ කරති. 

' තානාපතිවරුනි, මා වෙත එම උතුම් කුරු ධර්මය නැති බව මට හැඟෙනවා. එක්‌ දිනක්‌ රජයට අයත් කුඹුරක සීමා සලකුණු කරමින් ඉනි සිටුවූවෙමි. ඉන්නක්‌ සිටවන විට සතෙකගේ හඬක්‌ ඇසුණා. කකුළුවකු විය හැකිය'යි මම සිතමි. එම කකුළුවා මිය යන්නට ඇති. මාතින් ප්‍රාණඝාතයක්‌ සිදුවී'යි සැකයක්‌ ඇත. ඒ උතුම් දහම උතුමකුගෙන්ම ලබා ගත යුතුයි. එහෙත් මා එය දීමට සුදුස්‌සකු නොවන බව මම විශ්වාශ කරමි. මට වඩා හොඳින් කුරු දහම රකින රාජකීය රියෑදුරා වෙත ගොස්‌ එය ලබා ගත මැනව ' ඒ අනුව ඔවුහු රියෑදුරා වෙත ගොස්‌ ඉල්ලීම ඉදිරිපත් කළහ. ඔහු පැවසුවේ ' දිනක්‌ මම රථය පදවන විට අශ්වයන්ට තැලුවෙමි. එයින් අශ්වයෝ බියට පත් වූහ. මාගෙන් සත්ත්ව හිංසාවක්‌ සිදුවී'යි මම සිතමි. එබැවින් කුරු ධර්මය දීමට සුදුස්‌සෙක්‌ වශයෙන් නොසිතමි. ඔබලා රටෙහි සිටු තුමා වෙත යනු මැනව' ඒ අනුව සිටු තුමා ඔවුනට පැවසුවේ ' තානාපතිවරුනි, මා කෙසේනම් ඔබේ ඉල්ලීම ඉටු කරන්ටද ? රජුගේ හැල් කෙත දුටු මට රන්වන් කරලින් මාලාවක්‌ ගොතන්නට හිතුණා. රජුට දැනුම් නොදී මම හැල් කරල් මිටියක්‌ ගෙන්වා ගත්තා. රාජ්‍ය දේපල එසේ පෞද්ගලික පරිහරණය කිරීම කොතරම් බරපතළ වරදක්‌ද එය මගේ හිතට වද දෙන ප්‍රශ්නයක්‌. ඇතැම් රටවල මැති ඇමැතිවරු එසේ රාජ්‍ය දේපල අයථා අයුරෙන් පරිහරණය කරන බව මම අසා ඇත්තෙමි. තමන්ගේ පමණක්‌ නොව, තම නෑදෑ සනුහරේම සුඛ විහරණය සඳහා රාජ්‍ය දේපල යොදා ගන්නා මැති ඇමැතිවරුන් සිටින බව මම අසා ඇත්තෙමි. එය සොරකමති. දූෂිත ක්‍රියාවකි. එවැනි දූෂණයක්‌ වුණාදැ'යි මට සැකයක්‌ ඇති බැවින් කුරු ධර්මය දීමට තරම් මම සුදුස්‌සකු නොවෙමි. එබැවින් ඔබලා භාණ්‌ඩාගාරය භාර මුඳල් ඇමති වෙත යන්න '

දූත පිරිස මුදල් ඇමැතිට කරුණු සැළ කරති. මුඳල් ඇමති පැවසුවේ ' මම එම උතුම් ධර්මය දීමට සුදුස්‌සෙක්‌ නොවෙමි, රජයට සහ සිටුවරයාට අයිති ධාන්‍ය බෙදීමේ දී රජයට වැඩි කොටසකුත් සිටුවරයාට අඩු කොටසකුත් වෙන් කර ඇති බව මට වැටහුණා. එයින් සිටුවරයාට අවාසියක්‌ සිදුවී'යි මට හැඟෙනවා. එවැනි අසාධාරණයක්‌ සිදු කළ මාහට උතුම් ධර්මය පැවසීමට අයිතියක්‌ නැති බැවින් ඔබලා නගරයේ දොරටුපාලයා වෙත යන්න. ඔහු මැනවින් කුරු ධර්මය ආරක්‌ෂා කරනවා.' දූත පිරිස අදහා ගත නොහැකිව හිසෙහි අත තබා ගනිති. අනේ මොවුන් කොතරම් සාධාරණ නිලධාරීන්ද ? ඒකටත් අපේ රටේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඔවුන් රිසිසේ වංචා කරති. දූෂිත ක්‍රියා සිදු කරති. පොදු දේපළ පෞද්ගලිකව පරිහරණය කරති. එසේ කරමින් අනේකවිධ සැප සම්පත් අනුභව කරති. අපේ රට කොතරම් අවාසනාවන්තද? මෙසේ කථිකා කරමින් ඔව්හු දොරටුපාලයා වෙත ගියහ.

'එක්‌තරා දිළඳු පුද්ගලයකු සහ ඔහුගේ නැගණිය දොරටුවෙන් ඇතුල් වීමට ආවා. ඔවුන් පෙම්වතුන් යුවළක්‌ වශයෙන් සලකා මම ඔවුන්ට අපහාසාත්මකව කථා කළෙමි. තාගේ අඹුවත් සමඟ මහ වනයෙහි මෙතෙක්‌ වෙලා පෙම් කෙළියෙහි යෙදෙමින් සිටියේද? ආදී වශයෙන් මම ඔවුන්ට අපහාස කළෙමි. එම සිදුවීම මගේ හිත තුළ තාම දෝංකාර දෙනවා. එවැනි වරදක්‌ කළ මාහට කුරු ධර්මය පැවසීමට අයිතියක්‌ නැත '

දූත පිරිස මහත් සංවේගයට පත් වූහ. තවත් කාගෙන් නම් කුරු ධර්මය අසා ගන්නද ? අහෝ අප දැන් අපගේ කළිඟු රටෙහි රජ තුමාට කුමක්‌ පවසන්ටද ? අපේ රටට කාගේ පිහිටක්‌ද ? මෙසේ ශෝකයෙන් සිටින අතර කුරු රජතුමාගේ නිලධාරියෙක්‌ පැමිණ එම දූත පිරිස රජ මාළිගාව වෙත කැඳවාගෙන ගියේය. ඔවුනට ඇස්‌ අදහා ගත නොහැකි විය. රජු සිංහාසනයෙහි අසුන් ගෙන සිටි අතර, මැති ඇමැතිවරුන් සමග පෙර මුණගැසුණු සියලු දෙනාද අසුන් ගෙන සිටිති. ඔවුන්ට අසුන් ගන්නා ලෙස පැවසූ කුරු රජ තුමා ස්‌වකීය දේශනය ආරම්භ කළේය.

'තානාපති වරුනි, අපගේ ශ්‍රේෂ්ඨ කුරු ධර්මය ඉල්ලා අප වෙත පැමිණීම ගැන බෝහෝ සතුටු වෙමු..... එය අප මාතෘ භූමියට දැක්‌වූ ගෞරවයක්‌ වශයෙන් සළකමු. එසේ වුවත් ඔබලා මෙලෙස වෙහෙසට පත් කිරීමට සිදුවීම ගැන අප කනගාටු වෙනවා. අපට අවශ්‍ය නම් ඔබ ඉල්ලූ මොහොතෙහිම කුරු ධර්මය ලියා දීමට හැකියාව තිබුණා. එසේ නැතහොත් ඇතැම් රටවල කරන ආකාරයට විශාල වියදමක්‌ දරා, සංදර්ශනයක්‌ පවත්වා රජයේ මුඳල් කාබාසිනියා කර බොරු ආටෝපයක්‌ මවා පෙන්වා අපේ කුරු ධර්මය ඔබලාට දීමටත් හැකියාව තිබුණා. එහෙත් වඩාත් ඵලදායක අයුරෙන් එය ලබා දීමට මමත්, මගේ ඇමැති මණ්‌ඩලයත් තීරණය කළා. ඒ අනුව ඔබලාට එය ප්‍රායෝගික වශයෙන් ලබා දීමට පියවර ගත්තා. අප ලබා දුන් ප්‍රායෝගික දැනුම මඟින් මෙම ධර්මය කොතරම් අවංකව, කැපවීමෙන් රැකිය යුතු ධර්මයක්‌ද යනු ඔබලාට වැටහෙන්නට ඇතැ'යි විශ්වාස කරමු. 

මාත්, මගේ යුව රජු ඇතුළු පවුලේ සියලු දෙනාමත් මැති ඇමැතිවරුන්, නිලධාරීන් පමණක්‌ නොව රට වැසියන් ද කුරු ධර්මය පණ මෙන් සුරකින බව ඔබලාට වැටහෙන්නට ඇත. රටක රජු ආදර්ශවත් විය යුතුයි. මැති ඇමැතිවරුන් නිලධාරීන් ආදර්ශවත් විය යුතුයි. එවිට සමස්‌ත රට වැසියාම එය ආදර්ශයට ගනු ඇත. දැන් ඔබලාට කුරු ධර්මය පැහැදිළි කරන්නෙමි. එය නම් පංචසීල ප්‍රතිපත්තියයි. එනම්, පර පණ නැසීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්වන දෙයින් වැළකීම කියන මේවායි. මේවාට සම්බන්ධ වන තවත් කරුණු රැසක්‌ තිබෙනවා. කයින් වචනයෙන් මෙන්ම මනසින් පවා සංවර විය යුතු බව රාජ මාතාව, අග මෙහෙසිය, දොරටුපාලයා, රාජකීය රියෑදුරා වැනි අයගේ ක්‍රියාවන් මගින් වැටහෙන්නට ඇත. අපගේ රට තුළ තුරු ලතා වනසමින් වනාන්තර පාලු කරමින් මුදල් උපයන දැව ජාවාරම්කරුවන් නැත. අසරණ සත්ත්වයින් ඝාතනය කරන මස්‌ වැද්දන් ද නැත. ගංගා, ඇළ, දොළ වනසමින් මුදල් උපයන වැලි ජාවාරම් කරුවන් පස්‌ ජාවාරම්කරුවන්, නැත. කොටින්ම කියනවා නම් අපේ රටේ ජනතාව පරිසරයට ආදරය කරති. ඒනිසා අප රටෙහි කලට වැසි වසිනවා. කෙත් වතු සරු සාර වෙනවා. ආහාර හිඟයක්‌ නැහැ. මුළු පරිසරයම සුන්දරයි. මිනිසුන්ගේ සිත් සතන් සොම්නසින් පිරී ඇත. පාතාලයන් අපරාධකාරයන් නැත . ලෙඩ රෝග නැහැ. වෛද්‍ය ශාලාවල දිග පෝළිම් නැහැ. බෙහෙත් නැත පහසුකම් නැත. ජලය නැත. කියමින් උද්ඝෝෂණය කරන්නන් ද නැත. අප කුරු ධර්මය සුරැකීමේ ඵලය මැනවින් අත් විඳින්නෙමු. තානාපතිවරුනි, රන් පතෙහි ලියන ලද කුරු ධර්මය ඔබට පිළිගන්වමි. මෙය රැගෙන ගොස්‌ ඔබේ කලිඟු රට ද සෞභාග්‍යය කරා ගෙන යනු මැනවි. ....' පංචතූර්ය නාදය දසත පැතිරෙද්දී මාළිගා පරිශ්‍රය ජනතාවගේ සාධු නාදයෙන් ගිගුම් දෙන්නට විය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

"වෛර බැඳගැනීම කිසිසේත් කරන්න එපා"

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.
දවසක් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ලක්ඛණ මහ රහතන් වහන්සේ සමග ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වඩිමින් සිටියා.එතකොට මුගලන් මහ රහතන් වහන්සේ යොදුන් විසි පහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා.උගේ හිසේ ගිනිදැල් මතුවෙනවා.වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා.ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා.හිස දක්වා ඇවිලීගෙන යනවා.ආයෙමත් හිස මුදුනෙනුත් වලිගය කෙළවරෙනුත් දෙපැත්තෙන්ම ඇවිලීගෙන එනවා.එතකොට මේ පිඹුරු පෙරේතයා මහත් වේදනාවකින් ඇඹරෙමින් බැගෑ හඬ නගනවා.මෙය දෙස මුගලන් මහ රහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් බලා සිටියා.මද සිනහවක් පහළ වුනා.නමුත් ලක්ඛණ මහ රහතන් වහන්සේ එය දැක්කේ නෑ.
"පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ අර පැත්ත දිහා බලාගෙනම ඉඳලා සිනහ වුණේ ඇයි?"
"ආයුෂ්මත් ලක්ඛණ, ඒක දැන්ම කියන්න බැහැ.අපි යමු වේළුවනයට.භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කරමු.එතකොට අහන්න මගෙන්..."
ඉතින් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටියා.ලක්ඛණ තෙරුන් මේ ප්‍රශ්නය ඉස්මතු කළා.මුගලන් මහ රහතන් වහන්සේ ඒ පිඹුරු පෙරේතයාගේ විස්තරය පැවසුවා.එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
"පින්වත් මහණෙනි, දිවැස් ඇති ශ්‍රාවකයින්ට ඇතැම් විට ඕවා දකින්ට ලැබෙනවා.මටත් ඔය ප්‍රේතයා මුණ ගැහුණා.ඒ මං නේරංජරා නදිය අසබඩ බෝ මැඩ සිටිද්දී.හැබැයි මං කාටවත් කිව්වෙ නෑ.දැන් මොග්ගල්ලානයන් දිවැසින් දුටු නිසා සාක්ෂියක් තියෙනවා නෙව.එනිසයි මං ඔය කතාව දැන් කියන්නේ.තමන්ම කරගත්තු දෙයක් තමයි ඔය විඳවන්නේ....
ඔය පෙරේතයා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලෙ මනුස්සයෙක්.ඒ කාලෙ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා.ඔහු රන් ගඩොල් බිම අතුරා ධනය විසුරුවලා මහා විහාරයක් කෙරෙව්වා.ඒ සුමංගල සිටුතුමා දිනපතා බුද්ධෝපස්ථානයට යනවා.එහෙම යද්දී නුවර දොරටුවේ එක් ශාලාවක එක සොරෙක් නිදාගෙන හිටියා.කකුල්වල මඩ තැවරිලා තිබුණා.ඔළුවෙ පටන් පොරවාගෙන නිදාගෙන හිටියා.සිටුතුමා මොහු දෙස බලා කිව්වා 'මෙයා නම් රෑ තිස්සෙ ඇවිදලා දවල්ට නිදියන කෙනෙක් වගෙයි' කියලා.එතකොට හොරා ඔළුව උස්සලා බැලුවා කවුද එහෙම කිව්වෙ කියලා.සිටුතුමාව දැක්කා.ඒ කියමනට වෛර බැඳ ගත්තා.කුරුමානම් අල්ල අල්ලා පළිගත්තා.හත් වතාවක්ම සිටුතුමාගේ හොඳට පැසුණු කුඹුරු යාය ගිනිතිබ්බා.ඒත් සෑහීමට පත්වුණේ නෑ.
සිටුතුමාට රිද්දන්න එක එක දේවල් කරනවා.සත් වතාවක් තියුණු ආයුධයක් ගෙන සිටුතුමාගේ ගවගාලට හැන්නා.අහිංසක ගවයන්ගේ කකුල් කපලා හැංගුණා.හත් වතාවක් සිටුතුමාගේ ගෙවල් ගිනිතිබ්බා.එහෙත් සිටුතුමාට රිදුණු බවක් පේන්න නෑ.දවසක් සිටුතුමාගේ සේවකයකුගෙන් මොහු මෙහෙම ඇහුවා.
"නුඹලාගේ සිටුතුමා හරි පුදුම කෙනෙක් නෙව.අපිට ආරංචියි හරියට කරදර වුණා කියලා.කුඹුරු ගිනිගත්තලු.හරක් කැපුවලු.සිටුතුමාට ගාණක් නෑ නේද? සිටුතුමාට ඒවා ප්‍රිය නැද්ද?"
"යහළුව, අපගේ සිටුතුමා බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තයි.භාග්‍යවතුන් වහන්සේට හැදූ ගන්ධකුටිය තරම් වෙන ප්‍රිය මනාප දෙයක් එතුමාට නැහැ."
එතකොට හොරා කල්පනාවට වැටුණා.
"හ්ම්....එහෙමද? එතකොට මූට රිද්දන්න බැරි ඒ නිසයි.ඈ....! හරි...එහෙනම් ගන්ධකුටියට කරන දේ බලා ගනින්..."
හොරා දවසක් කවුරුත් නැති වේලෙහි ගන්ධකුටියට ගිනිතිබ්බා.සිටුතුමාට ආරංචි වුණා.දුවගෙන ආවා.ගිනිගන්නා ගන්ධකුටිය බලා ප්‍රීතියෙන් අත්පොළොසන් දෙන්න පටන් ගත්තා.මෙය දුටු මිනිසුන් පුදුමයට පත්වුණා.
"ඇයි සිටුතුමනි....? මෙච්චර දෙයක් වෙලත් සතුටු වෙන්නේ...?"
"දරුවෙනි, මං ධනය තැන්පත් කළේ බුදු සසුනෙහි මිසක් මහ පොළොවෙහි නොවෙයි.මට මීටත් වඩා ලස්සනට ගන්ධකුටියක් හදන්නට අවස්ථාවක් ලැබීම ගැනයි මං මේ අත්පොළොසන් දෙන්නේ...."
සිටුතුමා ඉතාම ලස්සන අලංකාර ගන්ධකුටියක් හැදුවා.හොරාට තවත් කේන්තියි.'මේකාව මරණවා මිසක් මට වෙන විසඳුමක් නෑ' කියලා තීරණය කළා.ඉණේ පිහියක් බැඳගෙන දවස් හතක් මාන බැලුවා.සිටුවරයා ගන්ධකුටිය බුදුරජාණන් වහන්සේට පූජ කොට හත් දවසක් මහා දන් දුන්නා.හත්වෙනි දවසේ සෙනඟ මැද්දේ වන්දනා කොට මෙහෙම කිව්වා.
"ස්වාමීනි. භාග්‍යවතුන් වහන්ස, කවුදෝ පුද්ගලයෙක් මගේ කුඹුරු යාය හත් වතාවක් ගිනිතිබ්බා.මාගේ ගේ හත්වතාවක් ගිනිතිබ්බා.ගව පට්ටියට රිංගලා අහිංසක ගවයින්ගේ කකුල් හත් වතාවක් කැපුවා.මා හිතන්නේ ඔහුමයි ගන්ධකුටිය ගිනිතිබ්බෙත්.මේ පුද්ගලයා ගැන මට මහා අනුකම්පාවක් ඇතිවුණා.ස්වාමීනි, මා මේ ගන්ධකුටිය පූජා කිරීමෙන්, සත් දිනක් මහා සංඝයාට දන් දීමෙන් රැස් කළ පුණ්‍ය කර්මය පළමු කොට ඒ පුද්ගලයාට අයිති වේවා! සැපවත් වේවා!" කියලා පින් දුන්නා.
ඉණේ පිහියක් සඟවාගෙන සිටි සොරාගේ වෛරය ඒ මොහොතේ සංසිඳුණා.
"හප්පේ! මෙබඳු කෙනෙකුටද මං මේ වෛර බැන්ඳේ...? මං සමාව නොගත්තොත් සත්තකින්ම දෙයියෝ මට අච්චු කරාවි" කියලා පිරිස මැද්දෙන් මතුවෙලා ඇවිත් සිටුතුමාගේ පාමුල වැඳ වැටුණා.සියලු විස්තර කියා හිටියා.
"එතකොට ඇයි ඔය තරම් වෛර බැඳගන්න මං කළ වැරැද්ද?"
"මං දවසක් දොරටුව ළඟ ශාලාවේ නිදාගෙන හිටියා.ඔබතුමා යනගමන් මං දිහා බලලා කිව්වා, 'මෙයා නම් රෑට ඇවිදින දවල් නිදන කෙනෙක් වගේ' කියලා.ඉතින් මට කේන්ති ගියා.ඒකට පළිගන්නයි මං මේ හැමදෙයක්ම කළේ."
"පින්වත් දරුව, ඔව්! මට අදාළ නැති දෙයක් මං කියලා..ඒක මගෙන් වෙච්ච වරදක්...ඒකට මට සමාවෙන්න....හොඳයි.දැන් ඒ සියලු වරදට මං ඔබට සමාව දෙනවා."
ඉතින් ඒ හොරා තමන්ගේ අඹුදරුවන් සමග සිටුතුමාගේ නිවසේ දාසයෝ වෙන්න කැමති වුණා.සිටුතුමා එයට සතුටු වුණේ නෑ.සමාව දීලා පිටත් කළා.ඒ සොරා මිය ගිහින් උපන්නේ අවීචි මහ නරකයේ.අනන්ත අප්‍රමාණ දුක් වින්ඳා.දැන් ඒ පාපයේ ඉතුරු විපාක තමයි ඔය විඳින්නේ.නුවණ මද තැනැත්තා පවේ භයානකකම ගැන කල්පනා කරන්නේ නෑ.නොසංසිඳෙන ආශාවකින් පළිගැනීම දිගටම කරගෙන යනවා.අන්තිමට ලැව් ගින්නක් වගේ තමාව දවනෙත් එයමයි.
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.
136.8.
අථ පාපානි කම්මානි - කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ - අග්ගිදඩ්ඨෝ'ව තප්පති

අනුවණයා කරමින් සිටියත් පව් - නැහැ කිසිදා වරදක් බව දන්නේ
අනුවණයා පව් වලින් හැදෙන්නේ - ලැව් ගින්නක් සේ ඔහුව දවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න පව්කාරකමේ මහත.අර පුංචි වචනය අත්හැරගන්න බැරිව ගියානේ.ඒකම හිත හිත දිගින් දිගටම පළිගත්තානේ.මොනතරම් අයහපතක් වුණාද? තව කොච්චර කල් විඳීවිද කවුද දන්නේ? එනිසා අපි අනුන්ගේ නින්දා බස් ඉවසන්න පුරුදු වෙමු.එතකොට එතනින්ම ප්‍රශ්නය ඉවර වෙනවා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10 ( දණ්ඩ වර්ගය )
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඵුස්සදේව තෙරනම

මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙර නමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයෙන් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙර නම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති.
ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙමින් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ: (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙරමක් කාළකන්දර ලෙණෙහි වසයි.
(2) හෙතෙම අඩු ආශා ඇත්තේ ය. ධුතාඞ්ග දරන්නේ ය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේ ය. විවේකයෙහි ඇලුණේ ය, ධ්‍යාන වඩන්නේ ය. මනා සිහි ඇත්තේ ය, ශාන්ත සිත් ඇත්තේ ය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ.
හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්තගුණ ඇත්තේ ය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.
තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු’ යි කීය.
ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේ ද, දික්කළ අතක් හකුළන්නේ ද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) ‘ස්වාමිනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු’යි යාඥා කළේ ය.
තෙරනම : (10) දේවේන්ද්‍රය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් ඍඩියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍඬිය මට නැතැ යි කීය. ‘ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට ඍඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ’යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේ ය.
ඔසවන කෙණෙහි ම තෙරනම ඇස් පියා ගත්තේ ය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා ය යි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ.
තෙරනම සංයුක්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය. ඒ දේශනාවසානයේ දී තෙරනම ‘දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේ ය’යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුක්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි.
එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස් ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන් ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය.
තෙරනම එක් දිනක් බෝමලුව මනාසේ ඇම ද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේ ය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත තෙරනම එය ඇම ද බුදුගුණ සිහිකරමින් සිටියේ ය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය ඇමද බුදුගුණ සිහිකරමින් සිටියේ ය.
නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) ‘පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ’යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේ ය.
(13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) ‘ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි’යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය.
ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්‍රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවල දී කුසල් රැස් කරන ලදී. (17) සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී.
සිල් රැක්කේ ය, තපසට ගියේ ය, ප්‍රඥාව පිරුවේය. (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය. සත්‍යයෙහි පිහිටියේ ය. අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ සැප දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවල දී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක.
(21)පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව්මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. (22) චක්‍රලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උස්ව සිටියාහ. විලුම්දෙක දිගය. කෙණ්ඩා දෙක ඒණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ.
(23) දකුණට කැරකුණු නාබියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂ ලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. (24) දික්වූ ඇගිලි ඇත්තාහ, තඹවන් නියපොතු ඇත්තාහ, උස්වූ නහයක් ඇත, මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත.
(25) සුමුදු වූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතු තොල් ඇත්තාහ. වසුපැටවුන්ගේ ඇස් වැනි ඇස් අත්තාහ.(26) දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙණ වැනි සුදු වූ ඌණී රෝමයක් ඇත. අදුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ.(27) උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය* බබළයි. රන්වන් ශරීරය ඇත්තේය. නුගගසක අතුපතර හා ගැලපෙන උස මෙන නිග්‍රෝධපරිමණ්ඩල ඇත්තේය. (28) සියලු සත්වයන්ට උත්තම වූ හැම මරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ.
(29) කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල් පැහැති රැස් විහිදුවන උණ්භීස සහිත බුදුන්ගේ ඒ කෙශයෝ අද නොදක්නා ලැබෙත්.(30) පුන් සදේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌර්ණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝකය පතුරුවා අද නොදක්නා ලැබේ.(31) දික් වූ පුළුල් වූ නිල්වූ නිර්මල වූ ආලෝකය සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ.
(32) දකුණට කැරකුණු නාභියද, කෝෂයෙන් වැසුණු ලිංගය ද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙන්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති.(36) බුදු රජුන්ගේ උඩි පතුල් පැලූ සක්ගෙඩියක් මෙනි, විලුම් දික්වෙති, යටිපතුල් චක්‍රලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ.(36) බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි, අප්‍රති පුද්ගල අසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය.
(37) මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. (38) මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචා කරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත්වී යයි දැනගත් ශක්‍ර තෙමේ එහි අවුත් "ස්වාමීනි, දෙව්ලොවට යමු" යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘඪියෙන් ස්වකීය විහාරයට පැමිණියේය.
ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සීයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්විය. තෙරනම නිශ්ශබ්දවීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර (=තම්බසුමනතෙර) නම ඵුස්සදේව තෙරුන් වැදීම සදහා පන්සීයක් භික්ෂූන් සමග එහි පමිණියේය. හෙතෙම තෙරුන් වැද " ස්වාමිනී, පින්ඩපාතය සදහා යාමට සුදුසු කාලය" යි කීය. "නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි" යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකග විය. ඉක්බිති නා රජ ගොස් "ස්වාමිනී, පිඩු සදහා වැඩීමට යෝග්‍ය කාලය" යි දැන්වීය. නා රජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්‍රමුඛ දහස්නමක් භික්ෂූහු නා රජුගේ විමානයට සමීපයෙහි වූ ගං ඉවුරෙහි වැඩි මහලු පිළිවෙලින් සිටගත්හ. නාරජ සිය පිරිස සමග අවුත් මහතෙරුන්ගේ පත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි; දිවසළු දෙකක් ද පාමුල තබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුණි. නාරජ නැවතත් පාත්‍රයක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි.
මෙසේ දහසක් පමණ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරැන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්නට නොකැමති වූහ. නාරජ එය දැක එතනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. "මහරජ අපි වත්බිදීම නොකරන්නෙමු" යි ඔවුහු කීහ. වත්බිදීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යැයි කීහ.
නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙනෙහි ඒ ජෝඩුදෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේගය උපදවනු සදහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය.
(39) කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහතෙරුන්ට මම බතින් ආරාධනා කළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙම්.(40) තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙරනම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. (41) ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි.(42) තෙරුන් විසින් පෙර ජාතිවලදී මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි, මෙය පිළිගත මැනවි.
(43) ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේය. රහත්ය, ආශ්‍රව නැත්තෙකි, ඒ ගුණ ඔබට නැත. එබැවින් පඩිවරුනි, මෙය පිළිගත මැනවි.(44) මේ වනරොදෙහි දරුණු වූ, නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. (45) ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා කරන සිත් දුරුකොට සැප ලැබූහ.(46) ඵුස්සදේව මහතෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාන්නයෙනි, මෙය පිළිගත මැනවි.
(47) යක්ෂයෝද, නාගයෝද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද (48) ඵුස්සදෙවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි.
(49) නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍රත් පිළිගත්හ. (50) මෙසේ ඵුස්සදේව තෙරනම නාගයන්ටද යක්ෂයන්ට ද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි.(51) මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දැන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග-යක්ෂ-භූත-මිනිස් යන මොවුන්ට ප්‍රිය වී ද එමෙන් අන්‍ය මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති.
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
Related Posts Plugin for WordPress, Blogger...