රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

සිල්වතුන් හා වෛර බැඳගැනීමේ විපාක

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.
දවසක් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ලක්ඛණ මහ රහතන් වහන්සේ සමග ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වඩිමින් සිටියා.එතකොට මුගලන් මහ රහතන් වහන්සේ යොදුන් විසි පහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා.උගේ හිසේ ගිනිදැල් මතුවෙනවා.වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා.ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා.හිස දක්වා ඇවිලීගෙන යනවා.ආයෙමත් හිස මුදුනෙනුත් වලිගය කෙළවරෙනුත් දෙපැත්තෙන්ම ඇවිලීගෙන එනවා.එතකොට මේ පිඹුරු පෙරේතයා මහත් වේදනාවකින් ඇඹරෙමින් බැගෑ හඬ නගනවා.මෙය දෙස මුගලන් මහ රහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් බලා සිටියා.මද සිනහවක් පහළ වුනා.නමුත් ලක්ඛණ මහ රහතන් වහන්සේ එය දැක්කේ නෑ.
"පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ අර පැත්ත දිහා බලාගෙනම ඉඳලා සිනහ වුණේ ඇයි?"
"ආයුෂ්මත් ලක්ඛණ, ඒක දැන්ම කියන්න බැහැ.අපි යමු වේළුවනයට.භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කරමු.එතකොට අහන්න මගෙන්..."
ඉතින් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටියා.ලක්ඛණ තෙරුන් මේ ප්‍රශ්නය ඉස්මතු කළා.මුගලන් මහ රහතන් වහන්සේ ඒ පිඹුරු පෙරේතයාගේ විස්තරය පැවසුවා.එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
"පින්වත් මහණෙනි, දිවැස් ඇති ශ්‍රාවකයින්ට ඇතැම් විට ඕවා දකින්ට ලැබෙනවා.මටත් ඔය ප්‍රේතයා මුණ ගැහුණා.ඒ මං නේරංජරා නදිය අසබඩ බෝ මැඩ සිටිද්දී.හැබැයි මං කාටවත් කිව්වෙ නෑ.දැන් මොග්ගල්ලානයන් දිවැසින් දුටු නිසා සාක්ෂියක් තියෙනවා නෙව.එනිසයි මං ඔය කතාව දැන් කියන්නේ.තමන්ම කරගත්තු දෙයක් තමයි ඔය විඳවන්නේ....
ඔය පෙරේතයා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලෙ මනුස්සයෙක්.ඒ කාලෙ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා.ඔහු රන් ගඩොල් බිම අතුරා ධනය විසුරුවලා මහා විහාරයක් කෙරෙව්වා.ඒ සුමංගල සිටුතුමා දිනපතා බුද්ධෝපස්ථානයට යනවා.එහෙම යද්දී නුවර දොරටුවේ එක් ශාලාවක එක සොරෙක් නිදාගෙන හිටියා.කකුල්වල මඩ තැවරිලා තිබුණා.ඔළුවෙ පටන් පොරවාගෙන නිදාගෙන හිටියා.සිටුතුමා මොහු දෙස බලා කිව්වා 'මෙයා නම් රෑ තිස්සෙ ඇවිදලා දවල්ට නිදියන කෙනෙක් වගෙයි' කියලා.එතකොට හොරා ඔළුව උස්සලා බැලුවා කවුද එහෙම කිව්වෙ කියලා.සිටුතුමාව දැක්කා.ඒ කියමනට වෛර බැඳ ගත්තා.කුරුමානම් අල්ල අල්ලා පළිගත්තා.හත් වතාවක්ම සිටුතුමාගේ හිඳට පැසුණු කුඹුරු යාය ගිනිතිබ්බා.ඒත් සෑහීමට පත්වුණේ නෑ.
සිටුතුමාට රිද්දන්න එක එක දේවල් කරනවා.සත් වතාවක් තියුණු ආයුධයක් ගෙන සිටුතුමාගේ ගවගාලට හැන්නා.අහිංසක ගවයන්ගේ කකුල් කපලා හැංගුණා.හත් වතාවක් සිටුතුමාගේ ගෙවල් ගිනිතිබ්බා.එහෙත් සිටුතුමාට රිදුණු බවක් පේන්න නෑ.දවසක් සිටුතුමාගේ සේවකයකුගෙන් මොහු මෙහෙම ඇහුවා.
"නුඹලාගේ සිටුතුමා හරි පුදුම කෙනෙක් නෙව.අපිට ආරංචියි හරියට කරදර වුණා කියලා.කුඹුරු ගිනිගත්තලු.හරක් කැපුවලු.සිටුතුමාට ගාණක් නෑ නේද? සිටුතුමාට ඒවා ප්‍රිය නැද්ද?"
"යහළුව, අපගේ සිටුතුමා බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තයි.භාග්‍යවතුන් වහන්සේට හැදූ ගන්ධකුටිය තරම් වෙන ප්‍රිය මනාප දෙයක් එතුමාට නැහැ."
එතකොට හොරා කල්පනාවට වැටුණා.
"හ්ම්....එහෙමද? එතකොට මූට රිද්දන්න බැරි ඒ නිසයි.ඈ....! හරි...එහෙනම් ගන්ධකුටියට කරන දේ බලා ගනින්..."
හොරා දවසක් කවුරුත් නැති වේලෙහි ගන්ධකුටියට ගිනිතිබ්බා.සිටුතුමාට ආරංචි වුණා.දුවගෙන ආවා.ගිනිගන්නා ගන්ධකුටිය බලා ප්‍රීතියෙන් අත්පොළොසන් දෙන්න පටන් ගත්තා.මෙය දුටු මිනිසුන් පුදුමයට පත්වුණා.
"ඇයි සිටුතුමනි....? මෙච්චර දෙයක් වෙලත් සතුටු වෙන්නේ...?"
"දරුවෙනි, මං ධනය තැන්පත් කළේ බුදු සසුනෙහි මිසක් මහ පොළොවෙහි නොවෙයි.මට මීටත් වඩා ලස්සනට ගන්ධකුටියක් හදන්නට අවස්ථාවක් ලැබීම ගැනයි මං මේ අත්පොළොසන් දෙන්නේ...."
සිටුතුමා ඉතාම ලස්සන අලංකාර ගන්ධකුටියක් හැදුවා.හොරාට තවත් කේන්තියි.'මේකාව මරණවා මිසක් මට වෙන විසඳුමක් නෑ' කියලා තීරණය කළා.ඉණේ පිහියක් බැඳගෙන දවස් හතක් මාන බැලුවා.සිටුවරයා ගන්ධකුටිය බුදුරජාණන් වහන්සේට පූජ කොට හත් දවසක් මහා දන් දුන්නා.හත්වෙනි දවසේ සෙනඟ මැද්දේ වන්දනා කොට මෙහෙම කිව්වා.
"ස්වාමීනි. භාග්‍යවතුන් වහන්ස, කවුදෝ පුද්ගලයෙක් මගේ කුඹුරු යාය හත් වතාවක් ගිනිතිබ්බා.මාගේ ගේ හත්වතාවක් ගිනිතිබ්බා.ගව පට්ටියට රිංගලා අහිංසක ගවයින්ගේ කකුල් හත් වතාවක් කැපුවා.මා හිතන්නේ ඔහුමයි ගන්ධකුටිය ගිනිතිබ්බෙත්.මේ පුද්ගලයා ගැන මට මහා අනුකම්පාවක් ඇතිවුණා.ස්වාමීනි, මා මේ ගන්ධකුටිය පූජා කිරීමෙන්, සත් දිනක් මහා සංඝයාට දන් දීමෙන් රැස් කළ පුණ්‍ය ධර්මය පළමු කොට ඒ පුද්ගලයාට අයිති වේවා! සැපවත් වේවා!" කියලා පින් දුන්නා.
ඉණේ පිහියක් සඟවාගෙන සිටි සොරාගේ වෛරය ඒ මොහොතේ සංසිඳුණා.
"හප්පේ! මෙබඳු කෙනෙකුටද මං මේ වෛර බැන්ඳේ...? මං සමාව නොගත්තොත් සත්තකින්ම දෙයියෝ මට අච්චු කරාවි" කියලා පිරිස මැද්දෙන් මතුවෙලා ඇවිත් සිටුතුමාගේ පාමුල වැඳ වැටුණා.සියලු විස්තර කියා හිටියා.
"එතකොට ඇයි ඔය තරම් වෛර බැඳගන්න මං කළ වැරැද්ද?"
"මං දවසක් දොරටුව ළඟ ශාලාවේ නිදාගෙන හිටියා.ඔබතුමා යනගමන් මං දිහා බලලා කිව්වා, 'මෙයා නම් රෑට ඇවිදින දවල් නිදන කෙනෙක් වගේ' කියලා.ඉතින් මට කේන්ති ගියා.ඒකට පළිගන්නයි මං මේ හැමදෙයක්ම කළේ."
"පින්වත් දරුව, ඔව්! මට අදාළ නැති දෙයක් මං කියලා..ඒක මගෙන් වෙච්ච වරදක්...ඒකට මට සමාවෙන්න....හොඳයි.දැන් ඒ සියලු වරදට මං ඔබට සමාව දෙනවා."
ඉතින් ඒ හොරා තමන්ගේ අඹුදරුවන් සමග සිටුතුමාගේ නිවසේ දාසයෝ වෙන්න කැමති වුණා.සිටුතුමා එයට සතුටු වුණේ නෑ.සමාව දීලා පිටත් කළා.ඒ සොරා මිය ගිහින් උපන්නේ අවීචි මහ නරකයේ.අනන්ත අප්‍රමාණ දුක් වින්ඳා.දැන් ඒ පාපයේ ඉතුරු විපාක තමයි ඔය විඳින්නේ.නුවණ මද තැනැත්තා පවේ භයානකකම ගැන කල්පනා කරන්නේ නෑ.නොසංසිඳෙන ආශාවකින් පළිගැනීම දිගටම කරගෙන යනවා.අන්තිමට ලැව් ගින්නක් වගේ තමාව දවනෙත් එයමයි.
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.
136.8.
අථ පාපානි කම්මානි - කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ - අග්ගිදඩ්ඨෝ'ව තප්පති

අනුවණයා කරමින් සිටියත් පව් - නැහැ කිසිදා වරදක් බව දන්නේ
අනුවණයා පව් වලින් හැදෙන්නේ - ලැව් ගින්නක් සේ ඔහුව දවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න පව්කාරකමේ මහත.අර පුංචි වචනය අත්හැරගන්න බැරිව ගියානේ.ඒකම හිත හිත දිගින් දිගටම පළිගත්තානේ.මොනතරම් අයහපතක් වුණාද? තව කොච්චර කල් විඳීවිද කවුද දන්නේ? එනිසා අපි අනුන්ගේ නින්දා බස් ඉවසන්න පුරුදු වෙමු.එතකොට එතනින්ම ප්‍රශ්නය ඉවර වෙනවා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10 ( දණ්ඩ වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ -

දුක් දොම්නස් හට ගන්නේ ඇයි?

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ 
භික්ෂු අධ්‍යයනාංශයේ ප්‍රධානාචාර්ය 
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 

මහඔය අනුරුද්ධ හිමි

මේ සූත්‍රයේ සංවාද හා දෙබස් මඟින් එහි අන්තර්ගත මූලික අදහස මැනැවින් විස්තර කරයි. එසේ ම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු දිවියට ඉතා සමීප සිද්ධි මඟින් සියලු දෙනාටම වැටහෙන අයුරින් ඉදිරිපත් කැර ඇති බව පෙනේ.
පිය ජාතික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වර්ගයේ ඇතුළත් වෙයි. මේ සූත්‍රයේ සංවාද හා දෙබස් මඟින් එහි අන්තර්ගත මූලික අදහස මැනැවින් විස්තර කරයි. එසේ ම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු දිවියට ඉතා සමීප සිද්ධි මඟින් සියලු දෙනාටම වැටහෙන අයුරින් ඉදිරිපත් කැර ඇති බව පෙනේ. මෙහි සංවාද කිහිපයකි.
පළමුවෙන් බුදුරජාණන් වහන්සේ හා ගෘහපතියා අතර සංවාදය ඉදිරිපත් කරන අතර, ගෘහපතියා හා සූදුකාරයන් අතර සංවාදය දෙවනුව ඉදිරිපත් කරයි. තෙවනුව කොසොල් රජතුමා හා මල්ලිකාදේවිය අතර සංවාදය ද සිවුවෙනුව බමුණු පඬිවරයකු හා බුදුරජාණන් වහන්සේ අතර සංවාදය දැක්වෙයි. ඉන්පසු නැවත වරක් කොසොල් රජතුමා හා මල්ලිකා දේවිය අතර ඇතිවන අවසන් සංවාදය දැක්වෙයි. මෙකී සංවාද සාකච්ඡා තුළින් පි‍්‍රය දෙයින් ශෝක, දුක හා දොම්නස හටගනී යන බුදු වදන පියවරෙන් පියවර සැබෑ වන අයුරු පෙනෙයි. මේ තුළින් එදා සමාජයේ පැවැති සිද්ධි අද සමාජ ජීවිතයට කොතරම් සමීපද යන්න මැනැවින් ප්‍රකට වෙයි.
සැවැත් නුවර විසූ එක් ගෘහපතියකුට එක ම පුතෙක් විය. හේ අකාලයේ මිය ගියේ ය. පුතුගේ ආදාහන කටයුතු කළ හේ වැඩපල කිසිත් නොකළේ ය. කෑම බීම නොගත්තේ ය. දිනපතා සොහොනට ගොස් අනේ මගේ පුතු කොහිදැයි කියමින් හඬමින් ම හුන්නේ ය. දිනක් මේ ගැහැවි තෙමේ බුදුරදුන් දක්නට දෙව්රමට ගියේ ය. මොහු දුටු බුදුරදුන් ගෘහපතිය, ඔබේ ඉඳුරන් ප්‍රසන්න නැත. කිසියම් දුකකින් පෙළෙන්නෙහිදැ’යි ඇසීය.
බුදුරජාණන් වහන්ස, එසේ ය. මාගේ ඉන්ද්‍රියයන් කෙසේ ප්‍රසන්න වන්නද? මට සිටි එකම පි‍්‍රය මනාප පුතු අකාලයේ මිය ගියේ ය. ඒ දුක වේදනාව නිසා මට කෑම බීම වැඩපළ කිසිවක් වුවමනා නොවේ. දිනපතා සොහොන ළඟට ගොස් අඬමින් වැළපෙමින් කල් හරින්නෙමි’යි ගැහැවියා කීය.
ගෘහපතිය, එය එසේමය. පි‍්‍රය දේ නිසා දුක් දොම්නස් සෝක පරිදේවයන් ඇති වන්නේ ය.
ස්වාමීනි, එසේ වන්නේ කෙසේද? පි‍්‍රය දෙය නිසා දුක් දොම්නස් හට ගන්නේ ය යන කියමන මට නොතේරේ. පි‍්‍රය දේ නිසා ඇතිවන්නේ සතුට නොවේද? එහෙයින් පි‍්‍රය දේ නිසා දුක් ඇතිවේ යන්න මට පිළිගත නොහැකිය. බුදුරජාණන් වහන්සේගේ අදහසට නොසතුටු වූ ගෘහපති තෙමේ ඉන් පිටවී දෙව්රම අසල පිහිටි සූදු පිටියට ගියේ ය. එහි ගොස් සූදු කාරයන්ට සියලු විස්තර කීය. ඒ සියල්ල අසා සිටි සූදුකාර මිතුරෝ මෙසේ කීහ. පි‍්‍රය දෙය නිසා දුක් දොම්නස් ඇතිවේ යන බුදුරදුන්ගේ කියමන පිළිගත නොහැක්කකි. ඔබ නිවැරැදිය. පි‍්‍රය දෙයින් ඇතිවන්නේ සතුට හා සොම්නසයි. අපි ඔබේ කියමන හා එකඟ වන්නෙමු. සූදුකාර මගේ මිතුරන් මාගේ අදහසට එකඟයැයි සිතා සතුටට පත් ගෘපහතියා එතනින් බැහැරට ගියේ ය.
කෙසේ හෝ ප්‍රචාරයට පත් වූ මේ පුවත කොසොල් රජුට ද ආරංචි විය. එහි දී රජු හා මල්ලිකා දේවිය අතර සංවාදයක් ඇති විය. කොසොල් රජු මල්ලිකා දේවිය අමතා මෙසේ කීය. ඉදන්තේ මල්ලිකේ, සමණේන ගෝතමේන භාසිතං පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා - දේවිය, පි‍්‍රය දෙය මුල්කොට ගෙන ශෝක දුක් ආදිය ඇති වන්නේය යන බුදුරදුන් විසින් දේශිත කරුණ ඔබ පිළිගන්නේහිද? බුදුරජාණන් වහන්සේ විසින් එවන් දේශනයක් කළේ නම් මහරජ, එය එසේමය. මල්ලිකා දේවිය පිළිවදන් දුන්නීය. කොසොල් රජු ඒ කියමනට අසතුටු විය. හේ මෙසේ කීය. මල්ලිකා දේවිය පුදුම ගැහැනියකි. බුදුරදුන් කිනම් දේශනාවක් කළ ද එය එසේ ම යැයි කියයි. ගෝලයෙක් ගුරුවරයා කියන කරන දෑට එහෙමයි ගුරුතුමනි, එහෙමයි ගුරුතුමනි, කියන්නාක් මෙනි. මෙසේ කියා කෝපයෙන් යුතුව දේවිය එතැනින් එළවා දැමීය.
ඉන්පසු මල්ලිකා දේවිය නාලිජංඝ බමුණු පඬිවරයා කැඳවා මෙසේ කීය. පඬිතුමනි, දෙව්රමට යන්න. මගේ නමින් බුදු සිරිපා නමදින්න. සුව දුක් ආදිය විමසන්න. මේ කරුණත් අසන්න. පි‍්‍රය දෙයින් ශෝක දුක් වේදනා ආදිය ඇති වෙනවායැයි ඔබ වහන්සේ දේශනා කළා ද? මේ පැනයට උන්වහන්සේ දෙන පිළිතුර මනාව උගෙන සිත් හි දරා අවුත් මට කියන්න. බමුණා හා බුදුරදුන් අතර සංවාදයට මඟ පෑදුනේ මෙලෙසිනි.
මල්ලිකා දේවියගේ කියමන පරිදි ජේතවනයට ගිය බමුණා සුවදුක් විචාරා පි‍්‍රය දෙයින් ශෝක දුක් දොම්නස් හටගන්නේය යනුවෙන් දේශනා කළේ දැයි බුදුරදුන්ගෙන් විමසීය. එසේය බ්‍රාහ්මණය. ම විසින් එසේ දේශනා කරන ලදී. මෙසේ පවසා ඒ කරුණ සවිස්තර වශයෙන් මෙසේ පැහැදිලි කළහ.
බමුණ, පෙර කල මේ නුවර ම මව පියා දුව පුතා සොයුරා සොයුරිය ස්වාමියා බිරිඳ මළ කොතරම් නම් ගැහැනු උමතු වී සිහිය අවුල් වී වීදියක් වීදියක් ගානේ මගේ මව, පියා, සොයුරා, සොයුරිය, දුව, පුතා, ස්වාමියා, බිරිඳ දුටුවාද කියා විලාප කියමින් ඇවිද්ද හැටි මතක ද? පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේ ය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය කියා මා දේශනා කරන්නේ එනිසා ය.
එසේ ම බමුණ, මේ නුවර ම පසුගිය කාලයේ ගැහැනු ළමයෙක් විවාපත් වූවා ය. එසේ වුවත් ඇගේ නෑයෝ සැමියාගෙන් ඇය වෙන් කොට වෙනත් කෙනකුට විවාහ කැර දෙන්නට උපා යෙදූහ. ඇය එයට අකැමැති වූවා ය. ඇය ඇගේ ස්වාමියාට මෙසේ කීවාය. පි‍්‍රයය, මගේ නෑයෝ මා ඔබෙන් වෙන් කොට වෙනකෙකුට විවාහ කැර දෙන්නට සූදානම් වෙයි. මා එයට කැමැති නැත. මෙය අසා ඇගේ ස්වාමියා කඩුවක් ගෙන ඇගේ ගෙල සිඳ පරලොව දී අපි එකට හමුවෙමුයි කියා තම ගෙලත් කඩුවෙන් ම සිඳ ගත්තේ ය. බමුණ, මෙවැනි කරුණු නිසා මම පි‍්‍රය දෙයින් දුක ශෝකය හට ගන්නා බව කියමි. බමුණා මේ සියලු කරුණු බුදුරදුන්ගෙන් අසා දැන උගෙන මල්ලිකා දේවිය වෙතට ගොස් ඇයට කීවේ ය.
මේ සිදුවීමෙන් අනතුරුව නැවතත් කොසොල් රජු හා මල්ලිකා දේවිය අතර මෙබඳු සංවාදයක් ඇති විය. මල්ලිකා බිසව රජුගෙන් මෙසේ ප්‍රශ්න කළා ය. මහරජ, ඔබට වජිරි කුමරිය පි‍්‍රය ද? මල්ලිකාවෙනි, මට වජිරි කුමරිය පි‍්‍රයයි. මහරජ ඇය මළොත් නැතිනම් කා සමඟ හෝ රහසේ පැන ගියහොත් ඔබට මොකද වන්නේ? ඇයට එහෙම දෙයක් වුණොත් මගේ ජීවිතය නැතිවුණා හා සමානයි. මට ඇතිවන ශෝක දුක් දොම්නස් කියා නිම කරන්න බැහැ. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.
මේ කරුණ තව දුරටත් තහවුරු කරනු වස් මල්ලිකා බිසව රජුගෙන් මෙසේ ප්‍රශ්න කළාය. තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තේ වාසහා ඛත්තියාති? මහරජ ඔබට වාසභ ඛත්තියා මෙහෙසිය පි‍්‍රයද? එවං මල්ලිකේ, පියා මේ වාසභ ඛත්තියාති. මල්ලිකාවෙනි, එසේය. වාසභ ඛත්තියා මට පි‍්‍රයය. මහරජ ඈ මළොත්? ලෙඩ වුවහොත්? ඇයට එවැනි දෙයක් වූවොත් මට ඇතිවන දුක් දොම්නස් වේදනා ගැන කිවයුතු දෙයක් නැහැ. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේ ය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.
මල්ලිකා දේවිය තව දුරටත් රජුගෙන් ප්‍රශ්න කළාය. තං කිං මඤ්ඤසි මහාරාජ පියෝ තේ විඩූඩහෝ සේනාපතීති? මහරජ ඔබට ඔබේ පුත් විඩූඩහ සෙන්පති පි‍්‍රයද? එසේය මල්ලිකාවෙනි. ඔහු මළොත්. නපුරක් වුවහොත්? එය මට මහත් දුකක් වේදනාවක් වේවි. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.
ඊළඟට මල්ලිකා බිසව කදිම පැනයක් අසන්නීය. තං කිං මඤ්ඤසි මහාරාජ පියා තේ අහංති? මහරජ ඔබට මා පි‍්‍රයද? දේවිය මල්ලිකා ඔබ මට ඉතා ම පි‍්‍රයයි. මහරජ මා මළොත්? ඔබ අකැමැති දෙයක් වුවහොත්? මට මගේ ජීවිතය නැතිවුණා හා සමානයි. දුක් වේදනා ගැන කිවයුත්තක් නැහැ. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේ ය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.
අවසන දේවිය රජුට තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නීය. තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තේ කාසිකෝසලාති? මහරජ ඔබට කාසිකෝසල රාජ්‍යය පි‍්‍රයද? ඒවං මල්ලිකේ, පියා මේ කාසිකෝසලා, කාසිකෝසලානං මල්ලිකේ ආනුභාවේන කාසිකෝසලං කාසිකචන්දනං පච්චනුහෝම, මාලාගන්ධ විලේපනං ධාරයාම – මගේ රාජ්‍යය මට ඉතා පි‍්‍රයයි. මේ සියලු සැප සම්පත් යස ඉසුරු මේ රාජ්‍යය නිසාය. යම් අයුරකින් ඔබට මේ රාජ්‍යය නැති වුවහොත්? සොර සතුරන් පැහැර ගතහොත්? මට මගේ ජීවිතය නැතිවුණා හා සමානයි. දුක් වේදනා ගැන කිවයුත්තක් නැහැ. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේ ය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.
කරුණු වටහා ගත් රජු මල්ලිකා දේවියට මෙසේ කීවේ ය. අච්ඡරියං මල්ලිකේ, අබ්භූතං මල්ලිකේ, යාවඤ්ච සෝ භගවා පඤ්ඤාය අතිවිජ්ඣ මඤ්ඥේ පස්සති ඒහි මල්ලිකේ, ආචාමේහීති. මල්ලිකාවෙනි, හරි පුදුමයි. බුදුරදුන්ගේ විනිවිද දක්නා නුවණ සියල්ලම ඇති සැටියෙන් දන්නේ ය. උන්වහන්සේට කරුණු නොදැන දොස් කී කට පිරිසුදු දියෙන් දෝවනය කිරීම සඳහා වහාම දිය ගෙනෙන්න. රජු හුනස්නෙන් නැඟිට පිරිසුදු දියෙන් මුව දොවා බුදුරදුන් වැඩ සිටි දෙසට ඇඟිලි බැඳගෙන උතුරු සළුව සකස් කොට ගෙන තෙවරක් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යැයි කියමින් ප්‍රණාම දැක්වීය.

බියකරුම බන්ධනාගාරය මිනිස් ජීවිතයයි


හිරු වලා රහිත අහසේ දීප්තිමත්ව බබළවන්නට පටන්ගෙන තිබුණේය. ගහ - කොළ සියල්ල දැවී වියළී ගිය සැටියක් පල කළේය. සැවැත්නුවර පුරාවෙහිම පැවැතියේ තද උණුසුම් කාලගුණයකි. වන මං අසල පවා සතෙකුට හෝ දියබීමට වතුර පොදක් ඉතිරිව නොයද්දී නියං රකුසා මිනිස් ජීවිත කෙරෙහි ද රළු බැලුම් හෙළන්නට පටන්ගත්තේය. දිළිඳු මිනිසුනට සිය ජීවිතවලදී අගහිඟ දැනුණේ තොරතෝංචියක් නැතිවය. එහි ඵල ලෙසින් කුසගින්නත් පිපාසාවත් පළමුවෙන් ඇවිත් මිනිස් ජීවන මං පෙත් ඇහිරී. එයින් නැඟුණු දහසක් දුක් දොම්නස් නිසා සැවැත් නුවර වැසියන් බොහෝ දෙනකුටම සොරකම් නොකර සිටීමට බැරි විය.

දිළිඳුකම් නිසා සොරකමට බසින ලද්දේ වුවද එය දහමට එකඟවූවක් නොවීය. යුක්තිය හා සාධාරණත්වයට එකඟ වූවක් නොවීය. රාජ නීතිය උපරිමයෙන් බල ගැන්වූ රජතුමා අල්ලා ගන්නා ලද සොර දෙටුවන්ට දැඩිව දඬුවම් දුන්නේ. ඒ නිසාය. දඬුවමට ගොදුරු වූ සොරුන් අන්තිමට නතර වූයේ ඝන අඳුරින් පිරී ගිය විශාල යකඩ පොලු වැටවල් ගණනාවකට පිටුපසින් වූ ගර්භාගාර (කාමර) රාශියකය. ආලෝකයේ නෙතු සඟල ඇරී දවස එළඹී සැන්දෑ අඳුර ගලා හැලෙන තෙක්ම මේ ගර්භාගාරවලට වන් හිරකාරයන්ට කරන්නට දෙයක් තිබුණේ නැත. එවන් බොහෝ අවස්ථාවලදී ඔවුහු නිශ්චලව ද කල්පනා සහිතව ද එකදිගට අතොරක් නැතිව පැතිර ගිය දුඹුරු වෙන් එලිය දෙස බලා සිටියෝය.
වැපිරීමෙන් තොරව දූලි ගැසී තිබුණු කෙත් යාය ඉහත්තාවෙන් ඇරුඹී විහිද ගිය ඇළ නියර මතින් වැඩියේ පින්වත් බුදුපුතුණුවන් පිරිසකි. කිනිහිරි ගසෙක මල් සෙල වෙන්නාක් මෙන් කහවත් සිවුරු පෙර වූ උන්වහන්සේලා මේ වඩින්නේ උදෑසන පිණ්ඩපාත චාරිකාවෙහිය. හිරුගේ එළියෙන් අඳුරු රෙදි දිය වී, එලිය වුණු සිර මැදිරිවල රැඳවූවන්ගේ මුවගින් බොහෝ විට ගිලිහී ගියේ හද සසල කරවන තරම් වූ විලාප නාදයන්ය. සිර ගෙදරට මඳක් ඈතින් වැඩියද, ස්වකීය වූ ජීවිතවලට පත් අපේක්ෂා නොකළ විපත ගැන සිරකාරයන් කී මේ නොයෙක් කතා භික්ෂූන් වහන්සේලාගේ ද සවන් ගැබ් විනිවිද ගියේය.

ජේතවනාරාමය මහ වෙහෙර පිහිටියේ නිල්වන් තුරු ගොමුවෙන් රැළි දුන් මනරම් නිහඬ නිසසල බිම් පෙදෙසකය. නියඟයේ හැඩි දැඩි බවින් මේ මනරම් භූමියෙහි තුරුලතා සියල්ල ද කරා ගැටී ගෑවී තිබිණි. එහෙත් සම්මා සම්බුදු අසිරියෙන් ඒ වියළි කඩතොළුවල අඳුරු අහු මුළු දියව ගොස් තිබුණේය. සිනාබර තුරු ලතාවන් සෙවණෙහි වැඩ හිඳ උදෑසනක පිණ්ඩපාතය වැළඳූ භික්ෂූහු ඒ වන විටත් ජේතවනාරාමයෙහි වැඩ සිටි සම්මා සම්බුදුන් අභිමුවට හෙමි හෙමින් වැඩම කළහ. විහාරයේ ඇතුළු ගැබටවැදී ගත් උන්වහන්සේලා බුදුපියාණන් වහන්සේ ඉදිරියෙන් නැමී වැඳ වැටුණේ ඵල ගත් රුක් සමූහයක් බිමට නැමී ගන්නාක් පරිද්දෙනි. ඉන් ඉක්බිතිව ඇරැඹුණේ සසර දුක දිනූ මහරු බල ඇති ඒ මහා මුනිවරයන් වහන්සේ්, මේ පින්වත් භික්ෂූන් වහන්සේලාත් අතර ඇති වූ ධර්ම කථෝපකථනයයි. කරුණා සයුරුදිය ගලා හැලෙන පිවිතුරු මහනෙල් මල් බඳු වූ සම්බුදු නෙතු සඟල දෙස බැලූ භික්ෂූන් වහන්සේලා පළමුව කතාව පිරූහ.
‘සසරට ප්‍රතිපක්ෂ වූ නිවනට දොර හගුවා වූ අපායට අකුල් හෙළූ පින්වත් මුනිවරයාණන් වහන්ස, අද අප සැවැත් නුවර බන්ධනාගාරය අසලින් පිඬුසිඟා වැඩියා. ඉඳින් පිනවත් හිමියනි, එහි සිරගත කර සිටි මිනිසුන් ඉතාම දුක්බර ජීිවිතයක් ගත කරමින් සිටියා. ඔවුන් එහි වැටී නැඟූ දුක්බර විලාපයේ හඬින් මුළුමහත් පරිසරයමත් කම්පාවට පත්වුණා සේයි. පින්වත් සුගතයන් වහන්ස, මේ වූ බන්ධනයට වඩා තවත් දරුණු වූ තියුණු වූ කටුක වූ බන්ධනයක් ලෝකයෙහි පවතිනවාද? අනේ හිමිියනි අපට අනුකම්පාකොට, සංසාර රෝදයෙහි ගරාදි සියල්ල සිඳ බිඳ වැටෙනු පිණිස එය හෙළි කොට වදාළ මැනවි’ භික්ෂූහු හදවත් පුරා උතුරා ගිය සැදැහැසිතිවිලි සරින් බුදු සමිඳාණෝ අමතා වදාළහ.
‘අසන්න පින්වත් මහණෙනි, මැනවින් අසන්න. මේ දරුණු වධ බන්ධනයට වඩා අති මහත් වූ දරුණු බන්ධනාගාරයක් ලොව ඇත්තේමය. ඒ දරුණු වධගෙය මේ ලොව බිම් කඩෙක දිය ගැඹුරෙක පිහිටියක් නොවෙයි. එය මේ සත්වයා සංසාරයෙන් සංසාරයට ගෙන යන ජීවිතය නමැති සංස්කාර පුඤ්ජය (කැටිය) තුළම මුල් බැස ගත්තේය. පිහිටියේය. පින්වත් මහණෙනි , ඒ බියකරු බන්ධනාගාරය කුමක්ද? ඒ අනෙකක් නොවෙයි මහණෙනි, මේ පංචකාම විෂය නමැති රුදුරු බන්ධනයමය එයින් ගැලවී යන්නට සසර අසරණ වූ මේ සත්වයට ලෙහෙසියෙන් බැහැ. එයට ලොල්වී යළි යළිත් එහිම වැටී ගන්නා සත්වයෝ සසරින් සසරට පනිමින් දුකම දායාදකොට ගන්නවා. එහෙත් සම්බෝධිසත්ව උත්තමයෝ මේ දුෂ්කර බන්ධනාගාරයක් කඩා බිඳ විසුරුවා සංසාර දුකිනුත් ගොඩනැඟුණා නොවේදැයි වදාළ බුදුපියාණන් වහන්සේ ඒ ඇසුරු කරගත් අතීත කතා පුවත ගෙනහැර දැක්වූහ.
එය බරණැස් පුරවරයෙහි බඹදත් මහ නිරිඳාණන් රාජ්‍යය විචාළ කාල වකවානුව විය. බෝධි සත්වයන් වහන්සේ උපත ලබා තිබුණු කුලගෙය යස ඉසුරු සුව සහන සම්පත්වලින් පිරී ඉතිරී ගිය තැනක් නොවීය. ඒ වෙනුවට එහි තිබුණේ දුප්පත්කමෙහි අඳුරු සේයාවන් පමණකි. කෙළවරක් නැති මේ ඈ නෙක කම්කටොලු ඉහටත් උඩින් පැවැතිය ද බෝසත්හු පරාජිතයෙක් නොවූහ. ඔවුහු කුඹුරු කෙටූහ. හේන් වැපුරූහ. ඒ අනුසරින් පොළොව පවා තෙමෙන්නට වගුළ රන් දහදියෙහි අස්වැන්න බෙහෙවින් සරුසාර විය.
බෝසතුන්ගේ ජීවිතයේ දුක් වේදනා මෙකල තුනීවී ගියේ හිරු දුටු පිනි මෙන්ය. තනිකඩව සිට ස්වකීය වූ ජීවිතය රකින්නට අපමණක් වෙහෙසවන බෝසතුන් දෙස ජීවිත රුකෙහි අගිස්සටම වන් මහලු මෑණියෝ දුකින් බලා සිටියහ. එය ඇයට තවත් බලා සිටින්නට පිළිවන් දෙයක් නොවීය. වැඩිකල් නොගොසින්ම ඈ ඒ අවටෙහිම විසූ කුලකතක් සරණයට ගෙනැවිත් දුන්නාය. කාලය කෙතරම් නම් අකාරුණික වීද? සියලු දේ උඩු යටිකුරු කරමින් වෙනස් කළ එය බෝසත් මෑණියන්ගේ ජීවිතය ද ගිලගෙන යන්න ගියේය. එනම් මෑණියන් මැරී ගියේ අවට ගස්කොළන් මැරී ගියාක් පරිද්දෙන්මය. එපමණක් නොවීය. කාලය තවත් වෙනසක් ඇති කළේය. එදින සවස් මානයේ බෝසතුන්ගේ බිරිය ඒ වෙනස බෝසතුන් වෙත සැල කළේ ඔහු නිසා තමා සිව්මසක ගැබිනියක් වී ඇතැයි කීවාය. එයින් බෝසත් මානවකයන්ගේ සිතෙහි අමුතු සොම්නසක් ඇති වූයේ නැත.

හෙතෙම සිතාගෙන සිටියේ තවත් නොබෝ දවසකින්ම ගිහි ජීවිතයෙන් සමුගෙන ගොස් වලට (කැලයට) වැදී තවුස්දම් රකින්නටය. එහෙත් බිරියගේ හදිසි සැලකිරීමෙන් ඔහුට ඒ තීරණය හකුළා ගැනීමට සිදුවිය. හෙතෙම එය පසු දිනයකට කල් දැම්මේය. කාලය වේගයෙන් ගැලීය. බෝසතාණන් වහන්සේ යළිත් වැටුණේ මහ අකරතැබ්බයකටය. යළිත් බිරිය ගැබ්ගෙන සිටියාය. එයින් තැතිගත් බෝසත්හු ඊළඟට කරන්නේ කුමක්දැයි කල්පනා කළහ. තවත් මේ ගිහි ගෙදර ගිනි සුළං කෝඩ අතරට වී සිටිය නොහැකිය. මීළඟට සිදුවන හරිය ඔහු හොඳින් දැන සිටියේය. එන්න එන්නම පුළුල්වන මේ ජීවන අඳුරු ගෘහයේ තවත් කොටුවීි සිටීමෙන් තම සැබෑ විමුක්තිය ද ඈතටම ඇදී යයි. සියලු බැඳුමන් සිතින් අත් හළ ඔහු එදින රැයෙහි රිදීවන් සඳරැස් අතරින් හිමවත් පෙදෙස බලා ගමනාරම්භ කළේය. හිමාල වනයට වැදී සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් මහණදම් පුරන්නට පටන් ගත්තේය. අඹුදරුවන් ඇතුළු පස්කම් සුවෙන් තොරවී දිරිය මිනිසකු මෙන් බවුන් වඩා පංච අභිඥා, අෂ්ට සමාපත්ති ලැබ බඹ ලෝතලයෙහි උපත ලැබුවේය.
ලෝකය පුදුම දෙයින් පිරී ගිය එකකි. ලොව පුරා ඇති වධ බන්ධනාගාරයන් ද මෙබඳු පුදුම දෙයින් කොටසකැයි කිව හැකිය. මේවායෙහි ඇදගෙන ගොස් දමන සිරකරුවන් කොතරම් නම් පුදුම දුක් කන්දක් විඳිනවා දැයි බලන්නට කෙනකු එහි යා යුතුය. එහෙත් මේ වධ බන්ධනාගාරවලටත් වඩා බියකරු වූත් පිළිකුල් වූත් බන්ධනාගාරය වන්නේ මනුෂ්‍යයන්ගේ ජීවිතයම පංචකාම සම්පත් අනුභවය විෂයෙහි මේ ජීවිතය යොදවන මිනිසුනට එයින් එහා පෙනෙන ඥාන දර්ශනයක් නැහැ. ඔවුහු එහිම ඇලී ගැලී එක තැනකට සීමා වී සිටිති. අවසානයේ සිදුවන්නේ නිදිගත් ගමක් මහ ගංවතුරකට කොටුවන්නාක් මෙන් ඔවුන් පාපී මාරයාගේම ගොදුරු බව පත්වීමයි. මේ අවාසනාවන්ත තත්ත්වය ඉක්මවිය හැක්කේ ධෛර්යයෙන් යුතුව ලොව හැර යන්නට වෑයම් දරන සත් පුරුෂයනටම පමණක් බව පෙන්වා දීම බන්ධනාගාර ජාතක කත කතාකරුවාගේ මූලික අරමුණ වූ බව පෙනේ.

අරහත් මුණිඳුන්ගේ දානය ගිනි තැබූ පවින් සසර පුරා දුක්‌ විඳි මිනිසෙක්‌

කාලයේ දිගු මහ මං තලාව අතරින් හෙමි හෙමින් ගලා ගිය ගිම්හානය නතරවී තිබුණේ ය. ඉන් ඉක්‌බිතිව පැමිණ තිබුණේ වස්‌සාන කාලයයි. නොනැවතී වැටුණු වැසි දියෙන් හොඳටෝම තෙත් කෑ පොළෝ තලයෙන් නැඟුණු නවමු සුගන්ධය එපුර අහුමුළු නෑර ඉතිර පැතිර ගියේය. හැම ගහක පමණක්‌ නොව වැලක හා ළඳු දෙනිවලද අතොරක්‌ නැතිව මතුවැ දිලුණේ නීල වර්ණයට හුරුවූ හරිත පැහැයකි. ඒ නිල් තුරු ලතා මතුයෙහි හට ගැණුනු නෙක නෙක වණින් යුත් පුෂ්පයෝ සැබවින්ම කොතෙක්‌ නම් මනහර වූවෝද? එය දුර ඈත සිටියනට පවා දිස්‌ව පෙනුණේ දෙව්ලොවින් මිහිමතට පතිත අපූරුතම වූ පලසක්‌ පරිද්දෙන්ය.

කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පැමිණි තුන් ලෝ වැසි දනන්ගේ හැම දුක්‌ තැවුල් නිවමින් වැඩ සිටියහ. එනිසාම මුළු මහත් පුරවරයම කසාවතින් බැබලී තිබුණේ කිණිහිරි තුරෙක අප්‍රමාණ වූ මල් පිපුණාක්‌ මෙන්ය. එහෙත් මේ භික්‌ෂුව කවුරුන් උදෙසා පැවිදි බවට පත්වූවෙක්‌ දැයි කිසිවකුත් හරිහැටි නොදත්හ. හෙතෙම ඒ තරමින්ම සසර කතරින් එතෙරවන දහමට අවනතව නිවන් පිළිවෙත් පිරූවෙක්‌ නොවීය. එතෙකුදු වුවත් කසාවත හැඳ පොරවාගත් හේ ගමින් ගමට පියමැන්නේය. තැනින් තැන නැවතී ස්‌වකීය වූ ජීවිතය ගත කළේය. එවන්වූ ගමන් ස්‌වරූපයෙන් උන්වහන්සේ මේ දුෂ්කර ගම් පෙතට පැමිණ තවමත් බොහෝ කාලයක්‌ ඉක්‌ම ගොස්‌ නොතිබිණි. ගම්මානයට පැමිණි විගසින්ම උන්වහනසේ කෙරෙහි අපමණක්‌ පැහැදුණු මේ කෙළඹි පුත්‍රයා ජීවිතයෙන් බොහෝ කොටසක්‌ම ජීවත්කරවූයේ මහ පොළොව හා ඔට්‌ටු වූ දහිරියම ඇතිවය.

මේ නම් කෙතරම් යහපත් බුදුපුතණුවන් වහන්සේ නමක්‌ද? උන්වහන්සේ දුකින්ම පිරුණු මේ ගම්මානයට වැඩියේ අන් කරවකුගේවත් පිනකට නම් නොවේ. මගේම පෙර පින් මහිමයකට ය. භික්‌ෂුව දුටු සැණින්ම කෙළඹි පුත්‍රයාගේ සිත මහත්වූ ශ්‍රද්ධාවකින් පිරිණි. හේ වහා භික්‌ෂුවගේ දෙපා අභිමුව වැඳ වැටුණේය. ආ ගිය තොරතුරු හා පිළිසඳරද කතා කළේය. ඔහු අතින් භික්‌ෂුවට මනරම් සෙනසුනක්‌ පිළියෙළ කෙරුණේ ඉන් පසුවය. 

කාලය හෙමි හෙමින් යන්නට පටන් ගති. ජීව අජීව බොහෝ දේහි අනිසි බව හා අස්‌ථිරසාරත්වයද පළකරමින් ලෝකය පිබිදී තිබිණි. පළමුව පැමිණි භික්‌ෂුවට අමතරව වැඩමවා වදාළ මේ අරහත් භික්‌ෂුන් වහන්සේ කාශ්‍යප සර්වඥයන් වහන්සේ උදෙසා පැවිදි වූයේ ගම් නියම් ගම් කරා වඩිමින් සිටි සේක. සිල්වත් බවින් පමණක්‌ නොව ගුණවත් කමින් හා නැණවත් භාවයෙන්ද මහත් සේ පොහොසත්ව සිටි උන්වහන්සේ කෙළෙඹි පුත්‍රයා ජීවත්වූ ගමටද වැඩියේ අහම්බෙන් මෙන්ය.

කෙළඹි පුත්‍රයා මේ අසිරිමත් බුදු පුතණුවන් වහන්සේද දුටු සැටියෙන්ම මහත් සේ චිත්ත ප්‍රසාදයට පත්වීය. ඔහුගේ ඒ මානසික ප්‍රසාදශීලීත්වය කෙතෙක්‌ වී දැයි කියතොත් මොහු ඒ තෙරණුවන්ට සිය නිවස්‌නෙහිදීම දන් පැන් පිළිගැන්වීය. 

'හිමියනි, මේ ගම් පියස කෙළවර අර දුර කඳු අද්දර මනරම් අරණෙක්‌ ඇත. එහි ඔබ වහන්සේ වැනිම තවත් තෙරුන් වහන්සේ නමක්‌ වැඩ වාසය කරන සේක. එහෙයින්ම ඔබවහන්සේට ඒ විසිතුරු අරණෙහි බොහෝ විවේකී සුවයෙන් වැඩ වාසය කිරීමට පිsළිවන' යි කී කෙළඹි පුත්‍රයා අතිශය ප්‍රසන්න ඉරියා පථ ඇති මේ පින්බර භික්‌ෂුවටද තම අරමෙහි දොර කවුළු විවර කළේය. දෙවනුව කෙළඹි පුත්‍රයාගේ ගම්මානයට වැඩි අරහත් භික්‌ෂුව ඒ අරමට වැඩියේ එපරිද්දෙන්ය.

ප්‍රථමයෙන් ගම්මානයට වැඩි භික්‌ෂුන් වහන්සේ මේ ආගන්තුක භික්‌ෂුවගේ පැමිණීම පිළිබඳව කොහෙත්ම සතුටු වූයේ නැත. එය එසේ වූවද හෙතෙම දෙවැනිව පැමිණි මේ සිල්වත් හිමියන් සමග ආ ගිය තොරතුරු කතා කරන්නට මැලි නොවීය.

'ඇවැත්නි, නුඹ වහන්සේ සිව්පසය ලද්දේද? කොහෝ සිට මෙහි පැමිණියේද?' යි හේ විමසුවේ ඉන් ඉක්‌බිත්තෙන්ය. 'ඇවැත්නි, එසේය. සිව්පසය සුවසේම ලද්දෙමි'. සීලයෙන් අතිශය ප්‍රියජනක වූ භික්‌ෂුන් වහන්සේ පැවැසූහ. උන්වහන්සේ ඒ සියලු උවටැන් ලැබුයේ අන් කවරයකුගෙන් වත් නොව තෙරුවන් කෙරෙහි බොහෝ කොටම පැහැදුණු කෙළඹි පුත්‍රයාගෙන්ම බව තවදුරටත් විමසන විට පැහැදිලි විය. එයින් අරමට පළමුව පැමිණි භික්‌ෂුව තුළ හටගත්තේ මහත්වූ කැළඹීමකි. මේ භික්‌ෂුන් වහන්සේ තවදුරටත් මෙහි වාසය කළහොත් තමන්ට ලැබෙන ලාභ සත්කාර හිරු දුටු පිණිමෙන් අතුරුදන් විය හැකි නොවේදැයි සිතූ ඒ දුසිල් භික්‌ෂුව එතැන් පටන්ම දෙවැනිව ආ අරහත් භික්‌ෂුවට වෛර බැන්ඳේය.

සංසාර සාගරයෙහි තවමත් කෙළවර නොදැක පාපයෙහිම ගැලී ගත් දුසිල් භික්‌ෂුවගේ මේ සාහසික සිතිවිලි අරහත් භික්‌ෂුන් වහන්සේට දැනුණේ මුල පටන්මය. ඒ උන්වහන්සේ සකල විධ කෙලෙසුන් නසා අරහත් බව ලබන්නට තරම් භාග්‍යවත් වී සිටි බැවිනි. එසේ වුවත් උන්වහන්සේ අංශු මාත්‍රයකිනිදු ඒ බව අඟවන්නට ගියේ නම් නැත. ඒ වෙනුවට අරම තුළ උන්වහන්සේ කාලයෙන් වැඩියක්‌ම ගත කළේ ධ්‍යානයට සමවැදුණු නික්‌ලේශී සිත් හසරින්ම යුක්‌තවය.

උදා වූ රන් හිරු තවත් නව දවසකට අර ඇන්ඳේය. මල් පිපිණි. සියොත් හඬ ඇසිණි. සිහිල් සුළං හමා ගියේය. පිටිසර ගම්මානය අද්දරින් ගලාගිය ගඟ යළිදු ඉඩෝරයට හසුවී වැලිs කඳු අතරින් නොගැඹුරුව ගලා බැසීය. මේ අතර කෙළඹි පුත්‍රයාගේ නිවහනෙහි අලුතෙන් පැමිණි බුදු පුතුණුවන් වහන්සේලා දෙනමටම මහ දනක්‌ සැකසෙමින් තිබුණේය. දාන වේලාව ළංවෙමින් තිබිණි. පවිටු භික්‌ෂුව එහිලා සූදානම් වෙමින් සිටියේය. සියලු සංසාර දුක්‌ තැවුල් කෙළවර කළ මහරහතන් වහන්සේ මේ වනවිටත් සිය සුගන්ධ කුටිය තුළ වැඩසිටියේ ධ්‍යාන සුවයෙන් යුක්‌තවය. දන් පිණිස වැඩීමට ප්‍රථමයෙන් ගෙඩිය ගසා අන් භික්‌ෂුන්ටද ඒ බව දැක්‌වීම පුරාතනයේ පටන්ම අරම් සම්ප්‍රදායයෙ ආ සිරිතක්‌ බවට පත්වී තිබිණි. එහෙත් මේ නිහඬ අරණේ ජීවිතය ගත කළ පවිටු භික්‌ෂුව හදිසියේම අරණට වැඩි මහරහතන් වහන්සේ සමග පසුවූයේ දැඩි අමනාපයකිනි.

එහෙයින් දාන වේලාව ළංවූ බව දන්වන්නට පවිටු භික්‌ෂුව ගෙඩියට තට්‌ටු කළේ නිය පිටිනි. එයින් ගෙඩිය තුළින් කිසිදු හඬක්‌ නොනැගිණි. එසේ වුවත් 

අරහත් මුනිවරයන් වහන්සේගේ ඥනයට පවිටු භික්‌ෂුවගේ ඒ අදහස්‌ හා ක්‍රියා සියල්ලද අපූරුවට පෙණින. පින්වත් හිමියනි, අනෙක්‌ බුදු පුතණුවන් වහන්සේ දනට නොවැඩියේ කුමක්‌ නිසාද? උන්වහන්සේ කුමක්‌ හෝ අසනීපයකින්වත් පසුවනවාද? පවසන්න මට එය කෙළඹි පුත්‍රයා මහත්වූ කම්පනයකින් මෙන් කතා කළේය.

'පින්වත, ඒ භික්‌ෂුවට වැළඳී ඇති කිසිම රෝගයක්‌ නෑ. ඊයේ දින ඔබේ නිවසේ වැළ» මියුරු ආහාර දිරවාගත නොහී අන්න තවමත් නිදාගෙන සිටිනවා' යි පවිටු භික්‌ෂුව මුසාබස්‌ම තෙපළේය. එහෙත් අප්‍රමාණ ශ්‍රද්ධාවම සිය සිතෙහි එකම උරුමය බවට පත් කොටගෙන සිටි කෙළඹි පුත්‍රයාට උන්වහන්සේ කෙරෙහි කිසිදු අහිතක්‌ ඇති නොවිණ. මේ අතර තුර ධ්‍යානයෙන් පිබිදුණු මහරහතන් වහන්සේ භික්‌ෂාචාර (දාන) වේලාව පැමිණි බව දැන පාත්‍රය ගෙන අහසට පැන නැගී මහත්වූ සෘද්ධි බල ඇතිවම අනෙක්‌ පෙදෙසකට පිඬු පිණිස වැඩි සේක.

කෙළෙඹි පුතු නිවසේ දානය නිමවිය. 'පින්වත් හිමියනි, එසේ නම් උන්වහන්සේට මේ දාන පාත්‍රය ගොස්‌ පිළිගන්වන්න' යි කෙළඹි පුත්‍රයා ඒ ආරාමයෙහි වැඩ විසූ මහරහතන් වහන්සේට ප්‍රනීත ලෙස සැකසූ දානයෙන් පිරවූ පාත්‍රයක්‌ පවිටු භික්‌ෂුව අතට පත් කළේය. භික්‌ෂුව එය පිළිගති. ඈත ක්‌ෂිතිජය තෙක්‌ පැතිරී පෙනුණු අඳුරුවන් මහ කැලයේ මහ ගස්‌ කොලන් මත චණ්‌ඩ හිරු රැස්‌ පෙරළි කළේය. දාන පාත්‍රයද අතැතිව දුහුවිල්ලෙන් පිරුණු මහමග ගමන් ගත් පවිටු භික්‌ෂුවගේ දුර්ජන සිත අපායසහාය කර කෙලෙසුන්ගෙන් පිරී ඉතිරී ගියේය.

ඉදින් මේ දාන පාත්‍රය මා අර භික්‌ෂුවට දුනහොත් කවරදාකවත් ඔහු මේ අරමෙන් නම් පිටත්කර හරින්න බැරි වේවි. ඒ තරමටම උන්වහන්සේ මෙහි රසයෙන් මත්වී අරමේම රැඳෙනවා නිසැකයි. ඒ නිසා මේ දාන පාත්‍රයට මං කුමක්‌ කරන්නද? පවිටු භික්‌ෂුව ගමන් ගත්තේ ස්‌වකීය වූ සිත තුළ පෙරළි කරමින් සිටි අවාසනාවන්ත සිතිවිලි අතරින්ය.

මා මේ දන් පාත්‍රය මිනිසුන්ට දුනහොත් එයින් මගේ ඒ ක්‍රියාව එළිවන්නේය. යම් හෙයකින් මේ දිය මත දැමුවහොත් දියෙහි ගිතෙල් පෙනෙන්නේය. බිම හැළුවොත් ඒ වටා රැස්‌වන කපුටන් නිසා මට මහත් අපකීර්තිය ඇතිවන්නේය. එහෙයින් මේ දාන පාත්‍රය කොතැනක හලන්නද?' 

පවිටු භික්‌ෂුව තොරතෝංචියක්‌ නැතිවම කල්පනා කළේය. ඒත් එක්‌කම භික්‌ෂුවට දක්‌නට ලැබුණේ මැල පුළුස්‌සන්නා වූ සුවිසල් කෙතකි. එය ඉර මුදුන්වී චණ්‌ඩ හිරු රැස්‌ මහපොළොවට පතිතවන හෝරාවද වූ හෙයින් කෙතෙහි ගිනි මැල බුර බුරා දැල්වෙමින් තිබුණේය. ඒ අතරවූ එක්‌ මැලයක්‌ දැල්වී තද රත් පැහැයෙන් දිලෙන අඟුරු ගොඩක්‌ බවට පත්වී තිබිණි. ඒ අඟුරුගොඩට ළං වී එය දෙබෑ කළ පවිටු භික්‌ෂුව පාත්‍රයෙහි වූ දානය එයට හලා අඟුරෙන්ම වසා පාත්‍රය පමණක්‌ රැගෙන විහාරයට නික්‌මුණේය.

විහාරයට නික්‌මුණ භික්‌ෂුවට එතෙක්‌ වැඩ විසූ අරහත් මුනිවරයන් වහන්සේ දක්‌නට නොලැබිණි. උන්වහන්සේගේ සුගන්ධ කුටිය පමණක්‌ හුදෙකලාවේ නිසොල්මන්ව තිබුණේය. දොරගුලු පවා විවර නොකළ කුටියෙන් උන්වහන්සේ නික්‌ම වැඩියේ කෙසේද? බොහෝ වේලාවක්‌ කල්පනා කළ පවිටු භික්‌ෂුවට එහිමියන් ඒකාන්ත වශයෙන්ම සියලු කෙලෙසුන් කෙරෙන් අත මිදී සසරින් ගොඩනැඟුණු ක්‌ෂණාශ්‍රවයන් වහන්සේ නමක්‌ බව වටහා ගැනීමට අමාරු නොවීය.

එකෙණෙහිම භික්‌ෂුව තුළ හටගත්තේ බලවත්වූ කණස්‌සල්ලකි. 'අහෝ, කුස නිසා මා කරගත් පවක මහතෘ දැන් මා කුමක්‌ කරන්නද? කඳුළු පිරි දෙනෙතින් යුතුව හේ පසු තැවුනද ඒ වනවිට සියල්ල සිදුවී ඉවරය. එනම් අනන්ත දුක්‌ විපාකයන් විසින් සංසාරය පුරාවෙහිම තමන් ලුහුබැඳ එනු ලබන්නාවූ මහා අපරාධයකට හෙතෙම මේ වෙද්දී පාර කපාගෙන අවසානවී තිබුණේය. යළිදු ඒ අප්‍රසන්න මාවත අවහි කර වසා දමන්නට ලොව්තුරා බුදුවරයකුටවත් හැකිකමක්‌ නැත. ඒ තැවුල් සිතින්ම කාලයක්‌ ජීවත්වූ හෙතෙම මරණයෙන් ඉක්‌බිතිව ගොස්‌ වැටුණේ නිරයටය. එහි වර්ෂ සත සහශ්‍ර ගණන් දුකින් පැසුණු හේ වරෙක යකෙකු වී උපන්නේය. වරෙක සුනඛ යෝනියෙහි උපන්නේය. එනමුදු ඒ ආත්ම ලබා ජීවත්වූ කිසිදු දිනෙක ඔහුට කවදාවත් කුස පුරා අහරක්‌ නම් ලැබුණේම නැත.

එක්‌ සුනඛ ආත්මයකින් නික්‌මුණු ඔහු වරෙක දඹදිව කසී රට මිනිස්‌ උපතක්‌ ලැබුවේය. එහි උපන් ඔහු කවුරුත් හැඳින්වූයේ 'මිත්ත වින්දක' යනුවෙනි.

මිත්ත වින්දක උපන්දා පටන්ම ඒ පවුලටම කිසිම වගතුවක්‌ වූයේ නැත. හැමදාම කුසගින්න වැට පැන ගෙට ආවේය. එම කුසගිනි ඉවසාගත නොහුණු මව්පියෝ බැරිම තැන මිත්ත වින්දට වළං කබලක්‌දී ඔහු ගෙයින් පිටමං කළෝය. සිඟමන් යදිමින් ඒ ගිය ගමනේදී හේ තවත් පසල් ගම්මානයකට වැටුණේය. එහිදී එක්‌ ස්‌ත්‍රියක කෙරෙහි රාගයෙන් බැඳුණු හේ දරුවන් දෙදෙනකුගේ පියකු බවට පත්විය. එනිසාම දැන් ඔහු කෙරෙහි වූ ජීවන බරද අඩු නොවීය. එහෙයින් රැකියාවක්‌ සොයාගිය ගමනේ යාන්තමින් ඔහුට ලැබුණේ ඒ පසල් ගම්මානයෙහි ගම් දොර මුර කිරීමේ තනතුරකි. මිත්ත වින්දකට එම තනතුර ලැබී වැඩි කාලයක්‌ ගෙවී ගියේ නැත. ගම්වැසියෝ සත්වාරයක්‌ම රජුට දඩ මුදල් ගෙවූහ. සත් වාරයක්‌ම ගම්වැසියන්ගේ ගෙවල් ගින්නට හසුවී දැවුණේය.

'මේ සියලු විපත් මින් පෙර අපට තිබුණේ නැත. මේ හැමෙකම අපට ඇතිවූයේ මේ මිත්ත වින්දකයා පැමිණි දා පටන්ය'යි කථිකාකළ ගම්වැස්‌සෝ මිත්ත වින්දකයා තලා පෙළා ගම්මානයෙන් එළවා දැමූහ. අනතුරුව මිත්ත වින්දක තෙම සිය බිරිය හා දරුවන් ද ගෙන සේන්දු වූයේ අමනුෂ්‍යයන්ගෙන් ගහනවූ වන බිමකටය. එහි පැමිණ මසක්‌වත් ගත වූයේ නැත. ඔහුගේ බිරිය මෙන්ම දරුවෝද හිටි ගමන්ම මරුමුවට පත්වූහ. මිත්ත වින්දකට උරුම වූයේ ශෝකය හා හුදෙකලාවත් පමණි. මෙයින් පසුව හේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙහි ලෝසක යන නම ලබා ඉපදී අරහත් බවට පත්විය. එහෙත් එදා කළ මහා පාපයේ කර්ම විපාකයෙන් අර්හත් බව ලැබුවද ඔහුට අත මිදෙන්නට නම් හැකි නොවීය. බුදුරජාණන් වහන්සේ එදා ඡේතවනාරාමයේදී මේ ලෝසක ජාතකය දේශනා කොට වදාළේ ඒ සිදුවීම මුල්කරගෙනය.
සුගත් වීරසූරිය
Related Posts Plugin for WordPress, Blogger...