රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

තව්තිසාවේ උපන් කපුටු ජෝඩුව


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

තව්තිසාවේ උපන් කපුටු ජෝඩුව- අපේ ආච්චිගේ ලස්සන බණකතා.
අපේ ආච්චි රසට අග්ගලා හදන්ට දන්නවා. දවසක් ආච්චි අග්ගලා හැදුවා. එදා මුළු ගෙදර ම සුවඳයි. හාල් බැදලා බොහෝම පිළිවෙළකට අපේ ආච්චි අග්ගලා හදන හැටි අපි බලාගෙන හිටියා. ඊටපස්සේ ඒ අග්ගලා ගුලි බොහෝ ම ලස්සනට පෙට්ටියකට ඇසුරුවා.

“කෝ… ඔය දරුවොත් මෙහෙට එන්න. ආ… මේ අග්ගලා කන්න.”
“ආච්චියේ…. දැන් ඔය පෙට්ටියේ ඇසුරුවේ කාට ගෙනියන්ට ද?”
“දරුවෙනි…. දැන් ඔයාලා දන්නවා නේ මං ගොඩාක් බණදහම් දන්නා වග.”
“ආපෝ…. අපි විතරක් යැ දන්නේ…. දවසක් අපේ අප්පච්චි ආච්චිට කිව්වේ ‘අම්මා දැන් හරි බණකාරියක්’ කියලා.”
එතකොට ආච්චි මලක් පිපුනා වගේ ලස්සනට හිනාවුනා. “ඔව් පුතේ… දැන් නම් මාත් බණකාරියක් තමයි. හැබැයි පුතේ මීට අවුරුදු පහළොවකට ඉස්සරියෙන් නම් මං පන්සිල් පද පහේ තේරුමවත් දැනගෙන හිටියේ නෑ… දැන් නම් චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය වගේ මහා ගාම්භීර දේ පවා අපි දන්නවා නොවැ…. ඒක නේ පුතේ…. මං මේ අග්ගලා හදාන සූදානම් වෙන්නේ…!”
“ඇයි ආච්චියේ අග්ගලා හදාන සූදානම?”
“මයෙ දරුවනේ… කළුතර ඉන්නවා මං හඳුනන නංගියෙක්. අනේ…. එයා තමයි මාව මේ දහම් වැඩසටහන් වලට ඉස්සෙල්ලා ම එක්කරගෙන ගියේ…. මං එදා ඉඳලා මොන පින්කමක් කළත් ඈට පින් දෙනවා…. අපි ගම්පහ ආවාට පස්සේ ඈ බලන්ට ගියේ නෑ. මං මේ ඈ බලන්ට යන්ටයි මේ අග්ගලා හැදුවේ. මයෙ දරුවනේ…. ඉස්සර කාලෙ කපුටන්ටත් කෙළෙහි ගුණේ තිබිලා තියෙනවා.”
“අනේ ආච්චියේ අපිත් ආසයි ඒ කෙළෙහි ගුණ දන්නා කපුටන් ගේ කතාව අහන්ට.”
“දරුවනේ… රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ රුහුණු රටේ මාගම්පුරේ තිසාවැවට යටි පැත්තේ කපුටු බෝ ගසක් තිබුනා.”
“කපුටු බෝ කියන්නේ ඇයි ආච්චියේ?”
“පුතේ… කපුටු බෝ කියන්නේ අපේ ජය සිරිමා බෝරජුන්ට අයිති වෘක්ෂයක් නොවෙයි. කපුටෙක් බෝගෙඩි කාලා වසුරු කළ තැන හටගත්තු ගසයි… ඉතින් මේ කපුටු බෝධියේ කපුටු කූඩුවක කපුටෙක් වාසය කළා.
දවසක් මේ කපුටා ඈතට පියාඹා ගියා. උතුරු රටේ මණිනාග දිවයිනේ තැන් තැන්වල පියාඹා ගියා. ඒ පළාතේ ‘නාග’ කියන ගමේ තල්ගසක කූඩුවක සිටිය කපුටියක් එක්ක මේ කපුටා යාළු වුනා. රුහුණු රටේ හිටිය කපුටාගේ වාසස්ථානෙට කැන්දන් ආවා. මේ දෙන්නා ලැබෙන දෙයක් කාලා සතුටින් වාසය කළා. දවසක් මේ කපුටා වෙනත් කපුටියක ගේ කූඩුවක ලැගලා ඉන්නවා අර කපුටි දැක්කා. ඒකිට හොඳට ම කේන්ති ගියා.
‘මං නම් ආයෙත් නුඹ වැනි කපුටෙක් එක්ක පවුල් කන්ට එන්නේ නෑ’ කියලා ඒ කපුටි හඬ හඬා මණිනාග දිවයිනට ම ගියා.
කපුටාට හරිම දුකයි. කපුටා තමාගෙන් වෙච්චි වැරැද්ද ගැන පසුතැවි තැවී හඬ හඬා හිටියා. ‘ආයෙත් නම් වෙනත් කපුටියක ගේ මූණවත් බලන්නේ නෑ. මං කොහොම හරි මගේ සුදු කපුටිව එක්කරගෙන එනවා’ කියලා ඒකිව සොයාගෙන ගියා.
දැන් කපුටාට ගොඩාක් වෙහෙසයි. කපුටාත් අතරමග දී ‘තේලිය’ කියන ජනපදේ මාතුල කියලා විහාරයකට ගොඩ වුනා. එතන දානශාලාවේ පුටුවක මහතෙරුන්නාන්සේ නමක් වාඩිවෙලා සිටිද්දී මේ කපුටාව දැක්කා. උන්නාන්සේ කපුටු භාෂාව දන්නවා පුතේ. මේ කපුටාත් ගසක අත්තක වහලා තමන් ගේ දුක මෙහෙම කියන්ට පටන් ගත්තා.
ඇඟ පත වේලීයන්නට ශෝකය වැනි තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
ගමන් බිමන් යෑම තරම් වෙහෙස කරන තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
විලි ලැජ්ජාවක් නැති තණ්හා සමාන තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
කුස ගින්නේ සිටීම වැනි පීඩා ඇති තවත් දුකක්
මේ ලොව නම් නැත්තේ…
හනේ හපොයි මේ කියනා හැම දුකක් ම
දැන් මා හට ඇත්තේ…
දන් දීමේ සැප විපාක සඟරුවන ම දන්න නිසා
මං ආවා මේ පැත්තේ…

එතකොට මහ තෙරුන්නාන්සේට හොඳටෝ ම දුක හිතුනා. “හා… හා… කපුටෝ… දුක් වෙන්ට කාරි නෑ. මං නුඹ ගේ කුස ගින්න නිවා දමන්නම්” කියලා පොඩි නමකට කතා කළා.
“අනේ මෙහාට එන්න පොඩිනම…. අර කපුටා මහා බඩ ගින්නකින් ඉන්නේ. රෙදි කැබැල්ලක් ගෙනැවිත් පාන්තිර ටිකක් අඹරා දෙන්ට” කියලා පහන්වැටි අඹරවාගෙන ඒවා ගිතෙල්වල පෙඟෙව්වා. තැටියක දමා ටිකක් රත් කළා. කපුටාට අනුභව කරන්ට සැලැස්සුවා. කපුටා එය අනුභව කොට ගොඩාක් සතුටු වුනා. කපුටා තෙරුන් වහන්සේට තමන් යන කාරිය කිව්වා.
“අනේ ස්වාමීනී… මගෙන් වෙච්චි වැරැද්දකට අපේ කපුටි මාව දාල ගියා. මං මේ ඈව ආපහු එක්කරගෙන එන්ට යන ගමන්… ඔබවහන්සේ මා හට අනුකම්පාවෙන් කළ උපකාරයෙන් මට මහා සැපයක් දැනුනා. මං ආපසු යද්දී අපේ බිරිඳත් එක්ක එන්නම්” කියා පිටත්ව පියාඹා ගියා. කපුටා නාගදිවයිනට ගිහින් කපුටිත් එක්ක ටික දොහක් වාසය කළා. ආපසු යන්ට කැමති කරවා ගත්තා. එමින් ගමනේ දී මාතුල විහාරයටත් ආවා. මහතෙරුන්නාන්සේට ආ බව කියා සිටියා. එදාත් තෙරුන්නාන්සේ කපුටු ජෝඩුවට ම පහන් වැටි අඹරවලා ගිතෙලෙන් පොඟවා රත් කරවා කුස පිරෙන්ට දුන්නා.
ඉතින් පුතේ කපුටු ජෝඩුවට හරිම සතුටුයි. දෙන්නා ගේ වෙහෙස සංසිඳී ගියා. එදා කපුටා මහතෙරුන්නාන්සේට මෙහෙම කිව්වා.
“අනේ ස්වාමීනී… මේ කාක්කෝ කියන්නේ චපල සිත් ඇති සත්තු ජාතියක් තමයි. නමුත් හැම කපුටා ම එහෙම නෑ ස්වාමීනී. මා කියන්ට යන දේ ගැන පොඩිත්තක් ඇසුව මැනව. අපවිත්‍ර අශුචි ගොඬේ තිබුණත් මැණික වටිනවා නොවැ. ගඳ ගසන මඬේ පිපෙන මානෙල් මලත් පළඳින්ට ගන්නවා නොවැ. ගව කුණේ තිබ්බා කියල අහක නොදමා ගෝරෝචන ගන්නවා නොවැ… ඉතින් ස්වාමීනී අපි කල්පනා කළේ මෙතැන තමුන්නාන්සේලා දුකසේ වසන බව පෙනුනා. ප්‍රණීත දානමාන ඇති සැපදායක පළාත් ගැන අපි දන්නවා… මං මගේ ශක්ති පමණින් මේ සියලු සංඝයා වහන්සේට උපස්ථාන කරන්නම්. අපට අනුග්‍රහ පිණිස මාත් සමග වඩිනා සේක්වා!”
මේ කපුටා අවංකව කරුණු කියන බව මහතෙරුන්නාන්සේට වැටහුනා. සඟපිරිස රැස්කොරලා මෙහෙම කිව්වා.
“ඇවැත්නි… මේ කපුටා අපට උපස්ථාන කරන්ට කැමතියි. අපටත් යන්ට කතා කරනවා. අපිත් යමු” කියලා විසිපස් නමක් කපුටා සමග පිටත් වුනා.
ඉතින් පුතේ මාතුල විහාරයේ ඉඳලා මාගම මංජල විහාරයට යනකල් යොදුන් හතළිස් හතරක් තියෙනවා. මේ කපුටා ප්‍රණීත දානමාන ඇති ප්‍රදේශ වේලාසනින් හඳුනාගෙන ඒ පළාත්වලින් අපේ ස්වාමීන් වහන්සේලාව වැඩමවාගෙන ගියා. කපුටා මහ තෙරුන්නාන්සේ බැහැ දැක මෙහෙම කියනවා.
“ස්වාමීනී… අසවල් මගින් වඩින්ට එපා. ඒ ගමේ සැදැහැවත් උදවිය නෑ… ස්වාමීනී, මේ පැත්තේ වඩින්ට. මේ පැත්තේ සැදැහැවතුන් ඉන්නවා.” කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා කපුටා පෙන්වන පාරවල් වලින් වඩිනවා. සුවසේ දන්පැන් ලබාගෙන වැඩම කළා. ඉතින් පුතේ මේ කපුටු ජෝඩුව උන්නාන්සේලාට මංජල විහාරයේ වාසය කරන්ට සැලැස්සුවා. වස් තුන් මාසෙ ම උපස්ථාන කළා. වස් පවාරණය කරපු මහතෙරුන්නාන්සේ කපුටාට මෙහෙම කිව්වා.
“පින්වත් කපුට, දැන් අපි ආපසු මාතුල විහාරයට ම යන්ට සතුටු යි”
“හොඳයි… ස්වාමීනී… මං මේ භික්ෂූන් වහන්සේලා අතර සිවුරු දිරා ගිහින් තියෙනවා දැක්කා. ස්වාමීනී, සිවුරු ලබාගන්ටත් අවස්ථාවක් තිබෙන බව පේනවා. තව කිහිප දවසක් වැඩ සිටින්ට ස්වාමීනී” කියලා උන්නාන්සේලා පිටත්වෙන දවසේ “ස්වාමීනී…. මුහුදට කිට්ටුවෙන්ට ඇති අසවල් ගම්මානෙට වඩින්ට. ඒ ගමේ එක් උපාසිකාවක් ඉන්නවා. ඈ ගොඩාක් සිවුරු මසාගෙන පිරිකර සකසගෙන අනේ අපේ ස්වාමීන් වහන්සේලා මේ පැත්තේ කවරදාක නම් වඩිනවාද කියමින් මග බලාන ඉන්නවා”
ඉතින් පුතේ මහතෙරුන්නාන්සේ භික්ෂූන් කැඳවාගෙන ඒ ගමට වැඩියා. බොහෝ සිවුරු ලැබුනා. උන්නාන්සේලා ඉතා සුවසේ මාතුල වෙහෙරට වැඩියා.
“ඉතින් ආච්චියේ… ඒ කපුටු ජෝඩුවට මේ නිසා ගොඩාක් පින් ලැබෙන්ට ඇති නේද?”
“මොනවා කියනවද දරුවනේ… භික්ෂූන් වහන්සේලා ගැන සිත පහදවාගත් කපුටු ජෝඩුව මරණින් පස්සේ කොහේද උපන්නේ කියලා දන්නවා ද පුතේ? තව්තිසාවේ… ඔව් පුතේ… තව්තිසාවේ උපන්නේ… බලන්ට දරුවනේ තමන් ගේ කුසගින්න නිවාගන්ට කළ උපකාරය ඒ තිරිසන්ගත කපුටා මතක තියාගෙන හිටියා නොවැ. නුවණැත්තෝ එහෙම තමයි. ඔවුන් කවරදාකවත් මිත්‍රද්‍රෝහී වෙන්නේ නෑ. කළ උපකාරය සිහි කරනවා ම යි කියලා ආච්චි මිහිරට මේ කවිය කිව්වා.
කළ උපකාරය සිතන්න පුතුනේ
කපුටත් එය සිහි කෙරුවා නිතිනේ
නුවණැත්තා එය රඳවා සිතිනේ
මිත්‍රද්‍රෝහියෙක් නොවන්න පුතුනේ

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජාතක පොත් වහන්සේ පවසන පාරමිතා

අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

පාරමිතා බලය අපරිමිතයි. බුදු සසුනේ බුදු, පසේ බුදු, මහරහත් පදවි ලැබීමේ වාසනාව උදා වුණේ අධ්‍යාත්මික ගුණ දියුණුවෙන් පාරමිතා පිරීම නිසයි. ත්‍රිවිධාකාර වූ එය දාන පාරමිතාව, දාන උප පාරමිතාව, දාන පරමත්ථ පාරමිතාවයි. රහත්බව, පසේ බුද්ධත්වය සහ ලොවුතුරා බුද්ධත්වය ලැබීමට සුදුසුකම් ලැබුවේ මෙසේ සිතේ පහළවූ විශාල දියුණුවයි. ගෞතම මහ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක්ම දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව පුරමින් බෝධි පාක්ෂික ධර්ම දියුණුවෙන් අසමසම බුද්ධත්වයෙන් පිදුම් ලැබුවා.
උත්තරීතර බුද්ධත්වය පතන පින්වතුන් දාන පාරමිතාව පිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. අඟ පසඟ පරිත්‍යාගයෙන් පුරන උප පාරමිතාවත් ප්‍රමාණවත් නැහැ. එය ජීවිත පරිත්‍යාගයෙන් සපුරන දාන පරමත්ථ පාරමිතාවක්ම විය යුතුයි. එසේනම්, පෙර සඳහන් පරිදි තෙවදෑරුම් පාරමිතාවන් පිරීමෙන් තිලෝගුරු බුද්ධත්වය උදෙසා භාග්‍ය උදා වෙනවා.
අපේ ගෞතම බෝසතාණෝ ලොවුතුරා බුද්ධත්වය පිණිස අතීත සංසාර සාගරයේ ආත්ම තිස්පහක් දිවි හිමියෙන් පාරමිතා පිරුවා. එය ‘චර්යා පිටක ග්‍රන්ථයේ්’ (ජාතක පොත) මෙසේ සඳහන් වෙනවා.
එක්තරා ආත්ම භාවයක අපේ මහ බෝසතාණන් වහන්සේ කීර්ති නමින් දඹදිව උපත ලබා තරුණ වියේදීම තාපස පැවිද්දෙන් හිමාල පෙදෙසෙහි වාසය කළා. මේ පුවතින් දැනුම්වත් වූ පින්වතුන් හිමාලය වෙත පිවිසී තවුස්දම් පිරුවා. දහය, විස්ස, සියය, දහස, දස ලක්ෂය ලෙස කෝටි ගණනින් තවුස් දම් පිරුවා. මේ සැමටම ඉඳුම් හිටුම්, දානමාන පිරිනැමුවේ සක්දෙව් රජතුමාගේ උපදෙසින් විස්කම් දිව්‍ය පුත්‍රයයි. තාපස ඇඳුම් , ගිලන්පස දාන, දාන මළු සියල්ලක්ම කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. මේ පිරිසට අවවාද , අනුශාසනා ලබා දුන්නේ බෝධිසත්වයන් වූ කීර්ති මහා තාපස තුමයි. මෙලෙස අවවාද අනුශාසනා ලබමින් , භාවනාවෙන්, මිය ගිය බොහෝ පින්වතුන් උපත ලැබුවේ බඹලොව සහ දෙව්ලොවයි. බුද්ධ ශාසනයේ නිවන් සම්පත් පිණිස සුදුසුකම් සපුරා පාරමී ගුණ දහම් දියුණු කළේ එවැනි උතුමන් වහන්සේලායි.

එක්තරා දවසක කීර්ති තාපසතුමා එදා ‘කුරු දිවයින’ ලෙසින් හැඳින්වූ ලංකාදීපයට වැඩම කළා. එකල කරකොළ බහුල වූ ලක්දිව, කුරු දිවයින වූවා. කරදර පීඩා, බහුල කලෙක වුණත් කරකොළ අනුභවයෙන් දිවිගෙවන්න පුළුවන්. මේ කාලයේ බෝසතාණන් වහන්සේ හුදෙකලාවම කුරු දිවයිනේ උතුරු කරයේ වාසය කළා. එක්තරා දවසක බෝසත් කීර්ති තාපසතුමාට බොහෝ කලකින් දානයක් පිරිනමන්න අවස්ථාවක් නොලැබුණු බව කල්පනා වුණා. මේ මොහොතේ සක්දෙව් රජතුමා යාචක වේශයෙන් තෙදිනක්ම පැමිණ තාපසතුමාගේ කරකොළ දානය පිළිගත්තා. සිව්වන දිනත් පැමිණි සක්දෙව් රජතුමා මෙසේ පැවසුවා. තාපසතුමනි, ඔබතුමා තෙදිනක්ම නිරහාරව සිටිමින් මට කරකොළ දානය පූජා කළා. මට අවශ්‍ය වූයේ ඔබතුමාගේ කරකොළ දානය නොවෙයි. ඔබතුමා හොඳින් තවුස් දම් පුරනවාද, වංචනිකව තවුස් දම් පුරනවා දැ’යි සොයා බැලීමට පමණයි. නමුත් ඔබතුමා ගුණවන්ත තාපස තුමෙක්. ඔබතුමා, මගෙන් කැමැති වරයක් ඉල්ලන්න. එවිට තාපසතුමා මෙසේ පැවසුවා. මට සැමදාම දන් දෙන්න ලැබේවා! දානය ලබා ගන්න කෙනෙකු ලැබේවා! පින් දෙන්න කෙනෙකු ලැබේවා! ගතිගුණ දියුණු කරගන්න, සද්පුරුෂයන් ලැබේවා! අසද්පුරුෂයන් නොලැබේවා’යි! වර ගණනාවක්ම ඉල්ලුවා. සක්දෙව් රජතුමා තවත් වරයකට අවස්ථාව ලබා දුන්නා. මින්පසු ඔබතුමා මෙතනට එන්න එපා . එයයි මගේ ලොකුම ඉල්ලීම යැ’යි කීර්ති තාපසතුමාණන් පැවසුවා. ඇයි, ස්වාමීනි, එසේ පවසන්නේ? බොහෝ මිනිසුන් මා වෙනුවෙන් විවිධාකාර පූජා පවත්වමින් මට ආරාධනා කරනවා. නමුත්, මා එහෙම ආරාධනා පිළිගන්නේ නැහැ. එහෙත් ඔබතුමා මට නැවත එන්න එපාලු. එයට හේතුව කුමක්ද? සක්දෙව් රජතුමනි, ඔබ දැකීමෙන් මගේ ආශාව, තණ්හාව, ලෝභකම ලියලන්න පුළුවන්. ඒ නිසා මේ පෙදෙසට නොඑන්නැ’යි ඔබතුමාගෙන් ඉල්ලුවේ. මගේ තාපස දිවිය මා හොඳින් ගත කරනබව විශ්වාසයි.
එදා කීර්ති තාපසතුමා තමන්ගේ ආහාරය පිණිස තම්බා ගත් කරකොළ ස්වල්පය නිරහාරව දන්දීමෙන් සැපිරුවේ දාන පරමත්ථ පාරමිතාවයි. මේ හේතුවත් කීර්ති තාපසතුමාට ලොවුතුරා බුද්ධත්වය ලැබීමට භාග්‍ය උදාවුණා.
ඒ නිසා සැවොම ලොවුතුරා බුද්ධත්වය උදෙසා දානමාන ආදී උතුම් පින්දහමින් උත්තරීතර වෙනවා. නොඑසේනම් දන් දීමේ පිනෙන් අර්හත්වයට හේතු වාසනා වෙනවා. හැබැයි, මේ තුළින් පමණක් බුද්ධත්වය, පසේ බුදු බව ලබන්න බැහැ. ලොවුතුරා බුද්ධත්වය ලැබීමට ජීවිත පූජාවෙන් දන් දිය යුතුයි.
එක්තරා ආත්ම භාවයක අපේ මහා බෝසතාණන් වහන්සේ විශාල දන්සලක් පැවැත්වූවා. අබුද්ධෝත්පාදක කාලයක පැවැත්වූ මේ දන්සල වෙත දස දහස් ගණනින්, ලක්ෂ ගණනින් ජනතාව ගංඟාවක් සේ ගලා ආවා. මේ අය ඔල්වරසන් දෙමින්, ප්‍රීති ඝෝෂා නඟමින් කාබී සතුට පළ කළා. එදා මේ දන්සල වෙත පසේ බුදුවරයෙක් වැඩම කළා. මේ දසුනින් අපමණ ප්‍රීතියෙන් පිනා ගිය අප මහ බෝසතාණන් වහන්සේ ඉදිරියට පැමිණ පසේ බුදුරදුන් වැඳ නමස්කාර කරමින් දන් බෙදීමට පාත්‍රය ඉල්ලා ගත්තා. හොඳින් පිරිසුදු කර පිළියෙළ කරගත් පාත්‍රයට දන් බෙදා ගත් බෝසතාණන් වහන්සේ දන්සලෙන් පිටතට පා තබද්දී නොසිතූ ලෙසින් ඉමක් කොනක් නොපෙනෙන විශාල ගිනි අඟුරු වළක් පැන නැඟුණා. නමුත්, දන්සල අසල මෙවැනි බියකරු දසුනක් පෙර තිබුණේ නැහැ. මෙය දානය වැළැක්වීමේ අදහසින් මාරයාගේ පවිටු ක්‍රියාවක්දැ’යි සිතූ බෝසතාණන් වහන්සේ දිවිහිමියෙන් දන් පාත්‍රය පූජා කරන්න අදිටන් කළා. ගිනි අඟුරු වළ මැදින් පැනගෙන පැමිණි බෝසතාණෝ තම දෑත දිගුකරමින් මහත් ශ්‍රද්ධාවෙන් පසේ බුදුරදුන්ට දාන පාත්‍රය පූජා කළා.
ඇත්තටම එහි ගිනි අඟුරු වළක් නොතිබුණු බවත් එය මාරයාගේ මවා පෑමක් බවත් පසුව දැනගත්තා. එදා බෝසතාණන් වහන්සේ ගිනි අඟුරු වළට බිය නොවී දිවි හිමියෙන් ලබා දුන් දානය ‘දාන පරමත්ථ’ පාරමිතාවයි.
මෙලෙස බෝසතාණන් වහන්සේ දිවි හිමියෙන් ලබාදුන් දානයෙන් කෙතරම් පිනක් අත්වන්න ඇතිද? කෝටි ගණනින් ජන ගඟකට ලබා දෙන දානයට වඩා එක දන් හැන්දක් පසේ බුදුරදුන්ට පූජා කිරීමෙන් ලැබෙන පින කෙතරම් අනුසස් ඇතිද? සිල්්වත්, ගුණවත්, නැණවත් උතුමෝ ලොවේ දුර්ලභ වුවත් මෙවැනි උතුමන්ට ලබා දෙන දාන, පරිත්‍යාගයන් සැදැහැ සිතින් පිරිනැමීම මෙලොවට, පරලොවට මෙන්ම සංසාරයටම අගෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කර්ම විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්

වේන්දළුවේ සෝරත හිමි


ණය නොදීමෙන් ඇති වූ එබඳු විපාකයක් ගැන මා අසා ඇති කථා ප්‍රවෘත්තියක්: මෙහිලා සඳහන් කරමි.
.
රත්නපුරයේ සිටි එක් මුදලාලි කෙනෙක් එහි සිටි තවත් යාපනේ ද්‍රවිඩ මිනිසකුගෙන් රු. 5000 ක් ණයට ඉල්වාගන එම ණය මුදල නොගෙවා පසු කලෙක ඔහු කාලක්‍රියා කළේය. ඔහුගේ පුත්තු මළ පියා ගැන බැලීමට එම නාඩි ශාස්ත්‍රය උපයෝගී කරගත්හ. එහි දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ ණයගත් තම පියා එය නුදුන් නිසා ණය හිමියා ළඟ ගොනෙකු වී ඇති බවත් ණය බේරූ විට චුතවන බවත්, ඔවුන්ට එම ණය ගෙවා වුව ද එම ගොනා ගෙන ආ නොහැකි බවත්ය.
.
එම ණය කරුගේ පුත්තු කෙසෙල් ඇවරියක්ද රැගෙන ලිපිනය අනු ව යාපනයේ ගොනා ඇති නිවස බලා පිටත් වූහ. එහි ගොස් ණය හිමියා දැක ආ හේතුව පවසා එම ගොනා බැලිය යුතු බව පැවසූ විට “ඌ මහ සැර ගොනෙක්, කිසිවෙකුට ළඟටවත් කිට්ටුවීමට බැරි යයි” ණය හිමියාකි විට “ඒකට කාරි නැත. අපට ගොනා දකින්ටම ඕනෑ යැ” යි කී විට, ගොනු සිටි තැනට පාර කීවා ම ණය කරුගේ පුතා කෙහෙල් ඇවරිය ද රැගෙන ගොනු සිටින ස්ථානය වෙත ගියේය. පුතා දුටු ගොනා පුත්‍ර සෙනෙහසින් පුතාගේ පා ලෙවූ බවත්, පසු ව එම පුතා ණය ගෙවා ගොනුගේ වටිනාකම ද ගෙවා ගොනු රැගෙන දුම්රියේ ගේනවිට පාදුක්කේ දී ගොනා මළ බවත් මා ඇසූ ප්‍රවෘත්තියයි.
.
පරලොව විපාක නො අදහන පව්කරන අයටත්, අනුන්ගෙන් ණය ගෙන ආපසු ණය නොදෙන අයටත් මේ ඉතා අගනා පාඩමකි. පංචානන්තරිය කර්ම කළහුට නොවරදවා ම දෙවැනි අත්බැව මහා කල්ප එකක් අවීචි යෙහි විපාක දෙනුයේ මේ හත්වැනි ජවනය වූ උපපජ්ජ වේදනීය කර්මයයි.
.
මහා කල්ප එකකින් එම පඤ්චානන්තරිය කර්ම විපාක ගෙවෙනවා කියතත් දෙපස ජවන යන්ගෙන් ශක්තිමත් වූ මැද ජවන පහෙි විපාකය වූ අපරාපරිය වේදනීය කර්මය කවදා ගෙවෙයි දැයි කිව නො හැකිය. එය භවයක් භවයක් පාසා විපාක දේමය. මහා මුගලන් මහරහතන් වහන්සේට පල්හොරු තැළුවේ ඒ කර්මයෙන් බව කිව හැකිය.
.
කර්මයක් විපාක දීමේ දී ප්‍රතිසන්ධි විපාක, ප්‍රඟවෘති විපාක, යැයි විපාක කොටස් දෙකකට බෙදිය හැකිය. විපාක දීමේ ක්‍රම වශයෙන් ගරුකර්මය, ආචීර්ණ කර්මය, කටත්තා කර්මය, යදාසන්න කර්ම යැයි සිව් ආකාරය. පාප කර්මයන්ගෙන්ගරුකර්ම වනුයේ මව් මැරීම,, පියා මැරීම, රහතන් මැරීම, බුදුරදුන්ගේ ඇඟින් ලේ සෙලවීම, සංඝ භේදකිරීම යන මේ පසයි. කුශල පක්ෂයෙන් ගරු කර්ම වනුයේ රූපාවචර, අරූපාවචර ධ්‍යානයි. ආචීර්ණ කර්ම නම් වැඩි වශයෙන් පුරුදු කළ දෙයයි. කෘතත්වාපන කර්ම නම් කවදා හෝ එක්වරක් කර නැවත සිහි නො කළ කර්මයයි. යදාසන්න නම් කර්මය මරණාසන්නයේ දී විපාක දෙන කර්මයි.
.
මෙයින් ගරු කර්මයක් තිබේ නම්, එයත් නැති නම් ආචීර්ණ කර්මයත්, ඒත් නොමැතිනම් යදාසන්න කර්මයත් එයත් නැතිනම් කෘතත්වාපන කර්මයත් විපාක වාරයට එළඹේ.
.
කොතෙක් කර්ම ඇතත් එකවරකට ප්‍රතිසන්ධි විපාකය දෙන්නේ එක කර්මයකින්ය. මරණයට ආසන්න වුවහුට එය කර්ම, කර්මනිමිති ගති නිමිති, යැයි තුන් අයුරකින් සිතට එළඹේ. කළ කර්ම එවේලේ සිදු කරන්නක් ලෙස මරණාසන්නයේ දී පෙනීම කර්මයයි. එම කර්මය සිදු කිරීමට උපකාර වූ දෙය හෝ පුද්ගලයන් දැක්ම කර්ම නිමිත්තයි. ගති නිමිත්ත නම් දෙවනුවට උපදින තැන දැකීමයි. එය දර්ශනය වන්නේ මෙසේය.
.
අගගික්‍ඛන්‍ධං නිරයක්‍දච
පෙතලොකම්හි අන්‍ධකං
තිරච්ඡාන වන සංකණ්ඩං
මංසකණ්ඩං ච මානුසිං
විමානං දිබ්බලොකම්හි
නිමිතතා පඤ්ච දිසසරෙ
.
යනුවෙන් පස් ආකාරයට ගති නිමිති පෙනේ. නිරයේ උපදින කෙනකුට ගිනි කඳක් ද, ප්‍රේත ලොව නම් අඳුරක් ද, තිරිසන් ලොව නම් වන වදුල් ද, මිනිස් ලොව නම් රතු මස් කඩයක් ද, දෙව් ලොව නම් දෙව් විමන් ද දක්නට ලැබේ.
.
කර්මයට අනුකූල ව මෙබඳු නිමිති දකිමින් සිටින්නහුගේ අවසාන චුති චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඒ සමග අවසාන වරට දුටු නිමිත්තෙහි එල්බ ගනිමින් දෙවැනි අත්බව සම්බන්ධ කරන පටිසන්ධි සිත පහළ වේ. පටිසන්ධි විපාකය කියනුයේ එයටයි.
.
එසේ පළමුවෙන් උපන් සත්ත්වයාට ඒ පළමුවෙන් පහළ වූ පටිසන්ධි සිතට සමාන සිතක් මුළු ජීවිත කාලයෙහි ම භවංග වශයෙන් තිබී චුති වශයෙන් අවසාන වෙයි. ඒ උපන් භවය තුළ දී යම් සැප දුක් දෙකක් විඳින්නේ ඒ ප්‍රති සන්ධි ගෙන දුන් කර්මයෙහි මැද ජවන සිත් පහෙනුත් තව ඉතුරුවට ඇති කර්මයන්ගේ මැද ඇති ජවනවලිනුත් කියා දත යුතුය. මෙසේ ප්‍රථම ජවනයෙන් දෘෂ්ටධර්ම විපාකත්, හත්වැන්නෙන් දෙවැනි අත් බැව් පටිසන්ධි විපාකත්, මැද ජවනයන්ගෙන් ප්‍රවෘත්ති විපාකත් ලැබේ. මේ කර්ම ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි විපාක ලබා නුදුන හොත් අහෝසි කර්ම වන බව දත යුතුය.
.
එයට ද හේතු ඇත. එනම් ප්‍රබල කර්මයන්ගේ විපාක වින්දනය නිසා දුර්වල කර්මයන්ගේ විපාකවලට කාලය නොලැබීයාම නිසා අහෝසි වේ. ප්‍රයෝග සම්පත්, කාල සම්පත්, ප්‍රදේශ සම්පත් ආදිය නිසා අකුශල විපාක නැතිවන අවස්ථා ද ප්‍රයෝග විපත් ආදියෙන් කුශලකර්ම විපාක නැති වන අවස්ථා ද ඇත.
.
සමහරු එබඳු අවස්ථා නිරූපණය කිරීමට මෙබඳු වදන් ප්‍රකාශ කරත්. “අනේ මම අසවල් වේලාවට, අසවල් විධියට ඒ ගමන නොගිය නිසා, ඒ වැඩය නොකරපු නිසා මට ලැබෙන්නට ගිය විශාල ලාභයකින් පිරිහුණා” මෙබඳු වදන් කියනුයේ ප්‍රයෝග විපත්තියෙන් කුශල විපාක නොලැබී යෑම ගැනය. “අනේ මෙහෙම කාලයක හැටි මේ කාලයේ මේ මැණිකට අපට ලැබෙන්නේ සුළු මුදලක්, පසුගිය කාලයේ නම් මැණික් බොහෝ ම ගණන්, ඒ කාලයේ දී වත් මෙය ලැබුණා නම් අපේ අත මිට පිරී සියලු සම්පත් ලබන්ට තිබුණා” මෙහෙම කියනුයේ කාල විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය.
.
අනේ මෙහෙම පළාතක්, අප කරන ගොවිතැන් වලින් අප කරන වැඩ වලින් වෙන පළාතක නම් අපිත් මිනිස්සු තමිඩ. මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය. “මේ දරුවා බොහොම පින්වන්තයි ඒත් අනේ මේ දුප්පත් අප ළඟ ඉපදිලා විඳින දුකක හැටියැ” යි කියනුයේ ගිත විපත්වලින් වැළකුණු කුශල විපාක වලටයි.
.
“මොහු අසවල් කාලේ අසවල් දවසේ අසවල් වේලාවේ ආවානම් මහාදුකකට පත් වෙනවා, යන්තං ඒක වැළකුණා, හොඳ වෙලාවට ඇවිත් යැ” යි මෙහෙම කියනුයේ කාල සම්පත්තියෙන් වැළකීගිය අකුශලවිපාකවලටයි. “මොහු මේ වැඩය අසවල් විධියට කළා නම් මේ දුකට පත් වන්නේ නැහැ නො වැ” යි කියනුයේ ප්‍රයෝග විපත්තිය ගැනය.” “මේ පළාතට ආවාට පසු ව අනේ මොහු විඳින දුකක් යැ” යි මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත් ගැනය. “මොහු වෙන තැනක උපන්නා නම් ජරදුක් විඳින්නේ, දැන් අප ළඟ උපන් බැවින් සැප විඳිනවා” මෙබඳු වදන්කියනුයේ ගති සම්පත් වලින් වැළකී ගිය අකුශලවිපාක වලටය.
.
මේ දැක්වූයේ ප්‍රයෝග සම්පත්, එම විපත් ආදිය අවබෝධ කර ගැනීමට ජනයා අතර ව්‍යවහාරික වදන් කීපයකි. මේ සියලු කර්මයන්ගේ විපාක නැති වන්ට නම් කර්ම ක්ෂයකර ඥානය ඉපිද විය යුතුය. අංගුලිමාල මහ රහතන් වහන්සේ කර්මක්ෂයකර නුවණ ඉපද වූ නිසා කරන ලද දරුණු කර්ම වල විපාක අහෝසි වී ස්කන්ධය පවත්නා නිසා ප්‍රථම ජවනයන්ගේ ප්‍රවෘත්ති කර්ම විපාක ශේෂ වූ හැටිත් බුදුරදුන්ගේ උපදෙස් පරිදි ප්‍රයෝග සම්පත් යොදා ගැනීමේත් එවා ද වැළකී ගිය සැටිත් අංගුලිමාල කථා වස්තුවෙන් අවබෝධ කර ගත යුතුය.
.
කොහොමත් සත්ත්ව සන්තානයක ඇති කර්ම රාශිය මහා සාගරය මෙනි. මහා සාගරයේ ජලය අඩුවීමක්ද, පිරීමක් ද නො පෙනේ. එමෙන් සත්ත්ව සන්තානයේ කර්ම පිරී, ගබඩාවී, අඩු නොවී පවතී. කොතෙක් වුවත් තවතවත් කර්ම රැස්වේ. ඒ අලුත් කර්මවලට ඉඩමදි වීමක්ද නැත. එම නිසා කර්මක්ෂය තරම් අමාරු දෙයක් තවත් නැත. ඒවා ක්‍ෂය කරන්ට ගතවන කාලය මහා කල්ප අසංඛ්‍ය 24 – 16 – 8 – 4 – 1 යනා දී වශයෙන් කාල ප්‍රමාණ අවශ්‍ය වේ. ඒ අතර අලුත් කර්ම නොඉපදවීමට ද වග බලාගත යුතුය. මහා ජලාශයක් හිස් කරන්ට එයට ජලය එන මාර්ග පළමුවෙන් වසා හිස් කිරීම පටන් ගත යුතුය. ජල මාරග හිර නොකර මැෂින්වලින් ජලය ඉස්සත් එම ජලාශය හිස් නො වේ. එසේ ම වසන ලද ජල මාර්ග පෑදී ආයිත් ජලය එනවා දැයි නිතර පරීක්ෂාවෙන් සිහියෙන් ජලාශය හිස් කිරීමේ කටයුතු කළොත් ජලාශය හිස්වේ.
.
එමෙන් කර්ම නමැති ජලාශය හිස් කිරීමේමේ ක්‍රියාවට පාරමී පුරණයැයි කියනු ලැබේ. ඒ අතර සිහිනුවණින් යුතු ව අලුත් පාපකර්ම අත්හරින විට පාරමී පිරීමේ දී කුශල කර්ම පමණක් ශේෂ විය හැකිය. ඒ කුසල කර්ම වියළවා ගැන්ම දුෂ්කර නො වේ. කල්පාන්ත වහ්නියෙන් නොසිඳෙන මහා සාගරය වියළී යන්නා සේ අවසානයෙහි කර්මක්ෂය කර නුවණින්සියලු ම කර්ම වියලේ. සියලු දුක් නැතිවන්නේ ද එවිටය. කර්ම විභාගය ඉතා දිගු පුළුල් එකෙකි. සියල්ල පූර්ව කර්මයෙන් නො සිදුවන බවත් දැනගනු මැනැවි. කුසල් අකුසල්, පින් පව්, හොඳ නොහොද දැනගෙන දුසිරිතෙන් මිදී සුසිරිතෙහි බැඳී තුන්දොරින් සුසිරි පිරුව යෙහේ. එසේ කොට දුකෙන් මිදී පරම ශාන්ත සර්ව සුන්දර අමාමහ නිවනින් සැන සෙන්නට වෑයම් කරන්නේ මැනවි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වීර ජාතකය

ජාතක පොතෙන් -  දෙව්දත් තෙරුන්ගේ කපුටු ආත්මය

උදාවූ වස්‌සාන සිහිල් සුළඟ නතරවී නොතිබිණි. ෙ-තවනාරාමය සිසාරා අනවරතයෙන් හමා ගිය ඒ සුළඟින් තුරු පතර සුපිපි මල්වල සුවඳ කැළඹිණි. කැළඹුණු ඒ නන්විධ මල් සුවඳ වැට කඩොලු පවුරු පදනම් ද පැන අසිරිමත් දෙව්රම් වෙහෙරට රිංගා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්‌කාර කළේය. මෙබඳුවූ අප්‍රමාණ මලින් ගැවසී ගත් තුරුමෙන්ම ලතාවන්ගෙන්ද ගහන වූ ෙ-තවනාරාමය අවට කොතෙක්‌ නම් විසිතුරු සිරියාවකින් සමන්විත වී තිබේද? සුරත් පැහැගත් සැඳෑ වලා අතරින් පෙරී එන හෙමින් මියයන හිරුගේ රැස්‌ ඒ තුරු මෙන්ම ලතාවලටද තවත් විසිතුරු සළු පළඳවන්නා සේය.

සැඳෑ කාලය එළඹෙන්නට පටන්ගෙන හෝරා කිහිපයක්‌ම ගෙවී ගොස්‌ තිබිණි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තවමත් දම් සභා මණ්‌ඩපයෙහි වැඩ හිඳිමින් අමා දහම් වැසි වස්‌සවන සේක. පිනැතියෝ ඒ දහම් වැස්‌සේ තෙමෙති. තෙමෙමින් තෙමෙමින් පිළිවෙළින් සෝවාන්, සෙදගැමි, අනාගාමී ආදී නිවන් මගඵල සපුරාගන්නා ඔවුහු නම් කොතරම් වාසනාවන්තයෝද? ඔවුනට ජාති, දුක්‌, නැතිවී යන අයුරුෘ රජා දුකක්‌ නැතිවී යන අයුරු ව්‍යාධි දුකක්‌ නැතිවී යන අයුරු, කැමැති දේ නොලැබීමේ දුක මෙන්ම මරණ දුඃඛ ආදී කොටගත් ඈ දහසකුත් දුක්‌ වේදනා සදහටම හැරදා ඔවුන් සංසාර සාගරයෙන් එතෙරවී යන අයුරුෘ මේ නම් කොතරම් පුණ්‍යභාග්‍යයක ඵල විපාක දීමක්‌ද?

සවණක්‌ ගන සම්මා සම්බුදු රැස්‌ විහිදී යන අයුරු. ඒ දෙස බලා සිටින්නකුට නම් සිතෙන්නේ මෙවන් වූ තවත් අසිරියක්‌ ලොව ඇත්තේ කොතැනකද? යන්නය. එතරම්ම එයින් දෙවියන්, බඹුන් මෙන්ම මිනිසුන්, යකුන් තිරිසන් සතුන්ද ලබන්නේ අප්‍රමාණ නිරාමිස සොම්නසක්‌ බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අෂ්aටාංග සමන්නාගත බ්‍රහ්ම ස්‌වරයෙන් යුක්‌තවූ මේ අමා දහම් කතාවට විෂය වූයේ දෙව්දත් තෙරණුවන්ය. එනම් පෙර එක්‌ දිනයකදී දෙව්දත් තෙරණුවෝ සමඟ වෙනත් පෙදෙසකට වැඩම කළෝය. එසේ වැඩම කළ දෙව්දත් තෙරණුවෝ උන්වහන්සේලාගේ සිත් සතන් තුළ වැපිරවූ මිථ්‍යාවේ බීජ නම් කොතෙක්‌ද? එවන් වූ මිසදිටු බවෙහි වල්බීජ අර පන්සියයක්‌ භික්‌ෂුන් වහන්සේලාගේ සිත් නමැති කෙත්වල වැට පැළ විණ. එයින් උන්වහන්සේලා වැටෙන්නට ගිය සතර අපායන්ගෙන් තරම නම් කොතෙක්‌ ද? එ විසල් වූ සව්මහ අපායන්ගෙන් උන්වහන්සේලා ගොඩ ආවේ පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිළිසරණයෙනි. දෙව්දත් තෙරුන් වහන්සේ සිදුකළ සංඝ භේදය පිළිබඳව සැවැත්නුවර පුරාවෙහි මෙන්ම ෙ-තවනාරාමය පුරාවෙහිද පැතිරී තිබිණි. බුදු මුවින් වැගිර ගලා ගිය මේ අමා දම් වැස්‌සට සැබැවින්ම හේතු පාදක වූයේ දෙව්දතුන්ගේ මේ ක්‍රියාකලාපයමය. පින්වත් මහණෙනි, මේ දේවදත්තයෝ දැන් මතු නොවෙයි, පෙරත් මෙසේම මාගේ බුද්ධ ක්‍රියාව සිදුකරන්නට ගොස්‌ බොහෝ විනාශයට පැමිණියෝ නොවේදැයි වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අනුව ඒ පිළිබඳ ඉකුත්වත් ගෙනහැර දක්‌වා වදාළ සේක.

ඒ දුර ඈත අතීතයයි. එය අතීතයේ එක දවසකි. බරණැස්‌ පුරවරයෙහි බ්‍රහ්මදත්ත නම් අසිරිමත් නිරින්දෙක්‌ රජකම් කළේය. කලින් කලට මේ සොඳුරු බාරාණසියේ පහළ වන රජුන් අතරින් මෙසේ මෙකල පහළවී සිටි නිරිඳු තෙම වූයේ දැහැමිකමද උපතින්ම ජීවන උරුමය කොට ගත්තෙක්‌ය. මේ සොඳුරු නරපති තෙම මල නොතලා මලෙන් රොන් ගන්නා බඹරකුසේ දැහැමෙන් මෙන්ම සෙමින්ද රජකම් කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ බරණැස පුරවරයෙහිම එක්‌ විලෙක දිය කාවෙක්‌ව ඉපදී සිටියෝය. මේ බෝසත් දිය කාවාගේ නම වූයේ 'වීරකය'. වීරක සුනිල් මිණි තලාවක්‌ බඳුවූ විල් ජල තලාවෙන් යට සොම්නසින් කාලය ගත කරද්දී බරණැස්‌ පුරවරයට නරක කල දසාවක්‌ පැමිණියේය. හුදෙක්‌ම ඒ එතෙක්‌ පැවැති යහපත් කාලගුණය විශාල වෙනසකට ලක්‌ වීමෙනි. තුරු පතර සුපිපි මල් ඒත් එක්‌කම බිම හැළිණි. ගිනියම් හිරු කිරණ උදැහැනැක්‌කේ පටන් මුළුදවස ගෙවී යන තෙක්‌ම වැහි තෙතමනය මුළුමනින්ම අතුරුදන්වී ගියේය. තුරු ලතාවල ඝන නීල කොළ හැලී ඈතට දිස්‌වූයේ සාරය සිඳී ගිය දර ඉපල් පරිද්දෙන්ය.

වේලුණු බරණැස්‌ නුවර ආහාර හිඟවී ගියේය. වෙනදා නම් මේ කාලයට බරණැස්‌ නුවරින් ඔබ්බෙහි වූ නිමක්‌ නැති බිම් තලාවක පිහිටි කෙත් ප්‍රවාහය සී සාන්නට පානා ගොවීන්ගේ අඬහැරයෙන් ගිගුම් දෙන්නේය. එහි ඇතැම් ගොවීහු තම තමන්ගේ කෙත් අස්‌වද්දන්නට සුනිල් දියවර බඳිති. ඇතැම් ගොවීහු නියර බැමි රහිති. තවත් ගොවියෙක්‌ උදැල්ලෙන් රැහී යන ඒ හිඩැසට මඩ වැඩය සිදු කරන වැඩ නිමාවීමෙන් ඉක්‌බිති කෙත් යායෙහිම බිජුවට වැපිරීම කරනුයේද එකටම. වපුරා සතිය දෙක ගත වෙනවාත් සමගම තෙරක්‌ නොපෙනෙන තෙක්‌ පැතිර ගිය මුළු කෙත් ප්‍රවාහයම නිලෙන් බබළයි. එහෙත් මෙතෙක්‌ නොකඩවා සිදුවී ගෙන ආ මේ ශ්‍රී විභූතියට මෙවර සිදු වූයේ කුමක්‌ද? හැම කෙතකම දිය කඳුළක්‌ හෝ දක්‌නට නොලැබිණි. අන්තයටම වේලී කරවී ගිය තණ පඳුරු මෙන්ම ඉපනැල්ලද එකම පඬු පැහැගෙන රත් වී තිබුණේය. අනියත භාවයක තරමෘ ලෞකික ලෝකයේ කොතැනකවත් හැමදාමත් මල් හටගන්නා වසන්තයම නෑ නොවේද? මේ ඒ සනාථන ලෝ දහම පිළිබිඹු කළ අපූරු කැඩපතක්‌ වැන්න.

මේ අයුරින් හදිසියේ පැමිණ නැවතුණු මේ අනපේක්‌ෂිත සාගතය මිනිසුන්ට පමණක්‌ නොව සතා සිව්පාවාටද තදින්ම දැනිණ. නමින් 'සවිට්‌ඨක' වූ කපුටුවාද මේ දරුණු සාගතයට හසුවූ එබඳුවූ එක්‌ පක්‌ෂියෙක්‌ වී. ඌ ඈත සිට බරණැස්‌ නුවරට පියාඹා ආවේ සිය කපුටු ෙනුවද කැටුවය. මෙසේ පැමිණි කපුටා වීරක නම් බෝසත් දියකාවා වසන විල සමීපයට පැමිණියේය. පැමිණ ඉමහත්වූ ආදර ගෞරවයකින් දියකාවා අමතන්නට පටන් ගත්තේය. කපුටුවාගේ මධුර මනෝහර වදන් ඇසෙත්ම දිය කාවාගේ සිත මහත් සේ පැහැදිණි. මෘදු මොළොක්‌ ද වී.

'සබඳ කපුටුව ඉඳින්,පවසන්න. කොයි සිට ඔබ මෙහි පැමිණියේද? කුමක්‌ නිසා මෙහි ආවේද?' බෝසත් දිය කාවා ඇසුවේය. කපුටුවා තම හඬ අවදි කළේ මෙයින් පසුවය.

''සබඳිනි, වෙන කිසිවක්‌ නිසා මේ බිරියද සමග මම මෙහි නොපැමිණියෙහි. නුඹ වහන්සේට මහත්වූ ආදර ගෞරවයෙන් උවටැන් කරනු රිසියෙන්ම මෙහි පැමිණියෙමි'' කපුටුවා පිළිවදන් දුන්නේය. සැබවින්ම මෙතැන් සිට මේ කපුටු දියකා මිත්‍රත්වය එක දම් වැලක සවිමත් පුරුක්‌ දෙකක්‌ මෙන්ම එකට බැඳුණේය. ඔවුහු ගඟට දිය මෙන්ම ගසට පොත්තක්‌ සේමද කාලය ගත කළෝය.

නියඟයක්‌, සාගතයක්‌ බරණැස්‌ පුරවරයට කොතෙක්‌ සරදම් කළත් කපුටුවාට දැන් එහි කිසිම අදාළත්වයක්‌ නැත. නිල් දිය පොකුණ යට පීනා යන බෝසත් දියකාවා ඇති තරම් ගොදුරු ගෙනැවිත් කපුටුවාට දුන්නේය. සෑහෙන තරම් ඒ ගොදුර කෑ කපුටුවා ඒවායින් සිය ෙනුවටද සංග්‍රහ කළේය. හෙමි හෙමින් ඉබි ගමනින් නික්‌ම ගිය කාලයේ ගඟ සීරුවෙන් ගලා ගියේය. සිදුවූයේ අරුම පුදුම දෙයකි. තොරතෝංචියක්‌ නොමැතිව කල්පනා කරන්නට පටන් ගත් කපුටුවාගේ සිත මහත් සේ වියවුලට පත්විය. එනම් කපුටුවා තාමත් , දිය කාවාත් පිළිබඳව සසඳමින් දිගින් දිගටම කල්පනා කරන්නට පටන් ගත්තේය. දහ අතේ කල්පනා කරන්නට පටන් ගත්තේය. 'මාත් කළු පාටයි. දිය කාවාත් කළුපාටයි. මගේත් ඇත්තේ පා දෙකයි. ඉදින් දියකාවාටත් ඇත්තේ එවැනිම පා දෙකක්‌ නොවේද? එසේ නම දියකාවා සොයාදෙන ගොදුරු මා කන්නේ කුමටකද? මම ම ගොදුරු සොයා කමි' යි සිතූ කපුටාගේ කෝපය නිම්හිම් නැතිවිය. ඒ කෝපයේ හා නොඉවසීමේ අනුසරින්ම කපුටුවා දියකාවා හමුවන්නටද ගියේය. හමුවන්නට ගියා පමණක්‌ නොව, ගොස්‌ දිය කාවාට හොඳටම අවලාදද කීවේය. අවලාද නඟා අවසානයේ ''මට මෙයින් මතු නුඹේ ගොදුරු ඕනෑ නැහැ. මගේ ගොදුරු මම්ම විලට බැස සොයා ගන්නවා'' යිද කීවේය.

කපුටුවාගේ මේ වදන් ඇසූ දිය කාවාගේ සිත තුළ තරහක්‌ ඇතිවූයේ නැත. කපුටුවාගේ දැඩි අනුවණ හා අදූරදර්ශීත්වය පිළිබඳව ඇති වූයේ ශෝකයක්‌ හා අනුකම්පාවක්‌මය.

''සබඳ එසේ නොකරව, අප දිය තුළ කිමිදීමට දන්නා අයයි. නුඹලාට එබඳු හැකියාවක්‌ නැහැ. එහෙයින් නුඹ ගොදුරු සොයා දියෙහි කිමිදෙන්නට වුවහොත් නිතැතින්ම නුඹේ ජීවිතය නැති වෙනවා' යි දියකාවා බැගෑපත් ස්‌වරයකින් කපුටුවා ආමන්ත්‍රණය කළේය. එහෙත් එබස්‌ ඇසුවේ හෝ එයින් නැවතුණේ හෝ කපුටුවා නොවේ. ඌ කීවා සේම ගොදුරු සොයනු රිසියෙන් වළට පැන්නේය. පැන දිය යටටම කිමිදී ගියේය. ඒ යාම ගියා පමණය. යළිත් කපුටුවා උඩට පැමිණියේ නැත. විල් පතුළේ වූ දිය සෙවෙල අතර හිරවී අධික ලෙස දියපෙවී මියගිය කපුටුවාගේ නිසල සිරුර දින කිහිපයකින් දිය කාවාට හමුවිය. 

වෙනදා තමාට ගොදුරු ගෙන එන කපුටුවාගේ නොපැමිණීමෙන් කපුටු ෙනුව මහත්වූ බියටත්, කලබලයටත් පත්වූවාය. කුසගින්න, මියයන තෙක්‌ම ඉවසා සිටිය හැකි වුවත්, සිය සෙනෙහෙබර ස්‌වාමි පුරුෂයාගේ නොපැමිණීම ඇයට කිසිසේත් ඉවසා දරාගත නොහැකි විය. එම ශෝකාතුර බව ඇතිවම ඒ අනුව ඇය බෝසත් වීරක දියකාවා විසූ විල වෙත පියාඹා ආවාය.

''පින්වත් වීරකයාණන් වහන්ස, මිහිරි කට හඬක්‌ ඇති මොණරුන්ගේ කරෙහි බඳුවූ නීල වර්ණ ග්‍රීවයක්‌ ඇති මාගේ සවිට්‌ඨික නම්වූ කපුටු ස්‌වාමියා දින ගණනාවකින් මා සොයා පැමිණියේ නැහැ. ඉඳින් ඔහු කොහේදැයි පවසන්න' යි කපුටු ෙනුව කඳුළු පිරි දෙනෙතින් යුතුව තෙපළාය.
''කපුටු ෙනුවනි, මාගේ කීමත් නොතකා නුඹගේ කපුටු ස්‌වාමියා ගොදුරු සොයන්නට දිය යටටම පීනා ගියා. එසේ ගොසින් සෙවෙල්වල පය පැටලී මළේ'' යෑයි නිසල මළ කඳ පෙන්වීය. එයින් මහත් ශෝකයට පත් කපුටුෙනුව ඒ අසලට වී අප්‍රමාණ හඬා වැළපී පෙරළා බරණැස්‌ නුවරට ගියේ යෑයි වදාළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වීර ජාතක දේශනාව නිමවා වදාළ සේක.
සුගත් වීරසූරිය

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
Related Posts Plugin for WordPress, Blogger...